යෙරෙමියා
33 යෙරෙමියා, මුරකරුගේ මළුවේ තිබූ ගොඩනැඟිල්ලක සිරගෙයි භාරකරුවන් යටතේ සිටියදී+ දෙවන වරටත් යෙහෝවා දෙවිගෙන් ඔහුට පණිවිඩයක් ලැබිණ. දෙවි ඔහුට මෙසේ පැවසුවේය. 2 “පොළොව සාදා+ එය ස්ථිරව පිහිටෙව්වේ+ යෙහෝවා දෙවිය.+ ඔහුව හඳුන්වන්නේ යෙහෝවා යන නාමයෙන්ය.+ යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. 3 ‘මට කතා කරන්න. එවිට මම ඔබට පිළිතුරු දෙන්නෙමි.+ ඔබ කලින් නොදැන සිටි, ඔබට තේරුම්ගැනීමට අපහසු වූ පුදුම දේවල් මම ඔබට දැන් පහදා දෙන්නෙමි.’”+
4 “සතුරන් නගරය වටා ගොඩනැඟූ බැම්ම නිසාත් කඩු පහරට ලක් වීම නිසාත් විනාශ වූ මේ නගරයේ සියලු නිවාස හා යූදාහි රජවරුන්ගේ මාලිගා ගැන+ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා පණිවිඩයක් දුන්නේය. 5 එමෙන්ම කල්දිවරුන්ට විරුද්ධව යුද්ධ කිරීමට පැමිණෙන අය ගැනත් දෙවිගේ උදහසින් පහර කා+ මිය යන අයගේ මළ කඳන්වලින් පිරී යන මේ නගරය ගැනත් ඒ පණිවිඩයේ සඳහන් විය. ඔවුන්ගේ දුෂ්ටකම් නිසා දෙවි මේ නගරය අත්හැර දැමුවේය.+ 6 ඒ සියල්ල ගැන දෙවි දුන් පණිවිඩය මෙයයි. ‘මම මේ නගරයට සුවයක් ලබා දෙන්නෙමි.+ එහි වැසියන්ව සුව කර සමාදානය දසත පැතුරුණු කාලයක් ඔවුන්ට ලබා දෙන්නෙමි. සත්‍යය පිළිබඳ දැනුමෙන්ද ඔවුන්ව පූර්ණ කරන්නෙමි.+ 7 වහල්භාවයේ සිටින ඔවුන්ව එනම්, යූදාහි වැසියන්ව හා ඊශ්‍රායෙල්වරුන්ව මම නැවත මේ දේශයට ගෙනෙන්නෙමි.+ අතීතයේදී මෙන් ඔවුන්ව ස්ථිර ලෙස පිහිටුවන්නෙමි.+ 8 ඔවුන් මට විරුද්ධව කළ සියලු පාප මම මකා දමන්නෙමි.+ මට විරුද්ධව පව් කරමින් ඔවුන් කළ සියලු අයුතුකම්වලට ඔවුන්ට සමාව දෙන්නෙමි.+ 9 මේ නගරය මාගේ ඉමහත් ප්‍රීතියට හේතුවක් වනු ඇත.+ මෙය පොළොවේ සියලු ජාතීන් ඉදිරියේ මට ප්‍රශංසාවක් හා ගෞරවයක් ගෙන දෙනු ඇත. මන්ද මේ නගරයේ වැසියන් වෙනුවෙන් මා කරන සියලු යහපත් ක්‍රියා ගැන පොළොවේ සියලු ජාතීහු දැනගන්නෝය.+ මම මෙහි වැසියන් වෙනුවෙන් කරන සියලු යහපත්කම් ගැන හා ඔවුන්ට ලබා දෙන සමාදානය ගැන අසා+ සියලු ජාතීහු භීතියට පත්ව+ කැලඹෙන්නෝය.’”+
10 “යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. ‘මනුෂ්‍යයන්ද ඔවුන්ගේ සතුන්ද නැතුව යූදාහි නගරත් යෙරුසලමේ වීථිත් පාළුවට ගොස් ඇතැයි+ කියා ඔබ මේ දේශය ගැන පැවසුවත් නැවත වරක් මේ දේශය තුළම+ 11 ප්‍රීති ඝෝෂාවේ හඬද+ මනාලයාගේ හා මනාලියගේ හඬද ඇසෙනු ඇත. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න. යෙහෝවා ඉතා යහපත් දෙවි කෙනෙකි.+ ඔහුගේ අතිමහත් ප්‍රේමය* සැමදා පවතින්නේය”+ කියා සෙනඟ පවසන හඬ දේශයෙන් ඇසෙනු ඇත.’
“‘වහල්භාවයේ සිටින සෙනඟව මම මේ දේශයට ගෙනෙන්නෙමි. ඔවුහු අතීතයේදී මෙන් මෙහි සතුටින් වාසය කරනු ඇත.+ ඒ කාලයේදී සෙනඟ යෙහෝවා දෙවිගේ ගෘහයට ස්තුති පූජා රැගෙන එන්නෝය’+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.
12 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. ‘කිසි මිනිසෙක්වත් සතෙක්වත් නැතුව පාළුවට ගිය මේ දේශයේත්+ එහි සියලු නගරවලත් ඇති තණබිම්වල නැවත වරක් එඬේරු තම රැළට තණ කවනු ඇත.+ එවැනි කාලයක් අනිවාර්යයෙන්ම ඉදිරියේදී පැමිණෙන්නේය.’
13 “‘කඳුකරයේ පිහිටි නගරවලද පහත් බිම්වල පිහිටි නගරවලද+ දකුණෙහි නගරවලද+ බෙන්ජමින් දේශයේද+ යෙරුසලම අවට ප්රදේශවලද+ යූදාහි නගරවලද+ සිටින එඬේරුන් විසින් තම රැළේ බැටළුවන් ගණන් කරනු ලබන කාලයක් නැවත පැමිණෙන්නේය’+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.”
14 “යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. ‘ඊශ්‍රායෙල් සෙනඟට+ හා යූදා වැසියන්ට මම දුන් පොරොන්දු ඉටු කරන්නෙමි.+ ඒ කාලය අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය.+ 15 දාවිත්ගේ පෙළපතින් ධර්මිෂ්ඨ තැනැත්තෙකුව ඒ කාලයේදී මම බිහි වීමට සලස්වන්නෙමි.+ ඔහු යුක්තිය ඉටු කරමින් ධර්මිෂ්ඨකමින් දේශය පාලනය කරනු ඇත.+ 16 ඒ කාලයේදී යූදා වැසියන්ට ගැලවීම ලැබෙන්නේය.+ යෙරුසලමේ වැසියෝද සුරක්ෂිතව වාසය කරනු ඇත.+ ‘අප ධර්මිෂ්ඨව සිටින්නේ යෙහෝවා දෙවි නිසාය’+ යන නාමයෙන් යෙරුසලම හඳුන්වනු ඇත.’”
17 “මන්ද යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘ඊශ්‍රායෙල්හි රජකම් කිරීමට දාවිත්ගෙන් පැවතෙන්නෙකු නොසිටින කාලයක් කවදාවත් ඉදිරියේදී පැමිණෙන්නේ නැත.+ 18 දිනපතා දවන පූජා ඔප්පු කිරීමටත් ධාන්‍ය පූජා දවා මට පිළිගැන්වීමටත් වෙනත් පූජා ඔප්පු කිරීමටත් ලෙවී ගෝත්‍රයේ පූජකයෙක් මා ඉදිරියේ සැමදා සිටිනු ඇත.’”+
19 යෙහෝවා දෙවි තවදුරටත් යෙරෙමියාට මෙසේ පැවසුවේය. 20 “යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. ‘රාත්‍රියත් දවාලත් නියමිත වේලාවට නොපැමිණෙන පිණිස මා දවාල සහ රාත්‍රිය සමඟ ඇති කරගත් ගිවිසුම කඩ කිරීමට කිසිවෙකුට කිසිදා නුපුළුවන.+ 21 එසේම සැමදා රජකම් කිරීමට දාවිත්ගේ පෙළපතෙන් කෙනෙකු සිටින බවට+ මාගේ සේවකයා වන දාවිත් සමඟ මා ඇති කරගත් ගිවිසුමත්+ මාගේ සේවකයන් වන ලෙවී ගෝත්‍රයේ පූජකයන් සමඟ මා ඇති කරගත් ගිවිසුමත්+ කිසිදා කඩ නොවන්නේය. 22 අහසේ තරුද මුහුදු වෙරළේ වැලිද කිසිවෙකුට ගණන් කිරීමට නොහැකි වන්නා සේම+ මාගේ සේවකයා වූ දාවිත්ගෙන් පැවතෙන්නන්ගේ ගණනද මට සේවය කරන ලෙවීවරුන්ගේ ගණනද කිසිවෙකුට ගණන් කිරීමට නොහැකි වන තරමට මම බොහෝ සෙයින් වැඩි කරන්නෙමි.’”+
23 යෙහෝවා දෙවි තවදුරටත් යෙරෙමියාට මෙසේ පැවසුවේය. 24 “‘යෙහෝවා දෙවි තෝරාගත් පවුල් දෙක+ ඔහුම ප්‍රතික්ෂේප කරයි’ කියා සෙනඟ පවසනවා ඔබට ඇසුණේ නැද්ද? සතුරෝ මාගේ සෙනඟට නින්දා අපහාස කරති.+ ඔවුන්ව ජාතියක් හැටියටද තවදුරටත් පිළි නොගනිති.
25 “යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘අහසටද පොළොවටද නියමයන් දී+ දවාල හා රාත්‍රිය සමඟ මා ඇති කරගත් ගිවිසුම+ ස්ථිරව පිහිටුවා තිබෙන්නාක් මෙන් 26 යාකොබ්ගේ පෙළපතත් දාවිත්ගේ පෙළපතත් මම ස්ථිරව පිහිටුවන්නෙමි.+ ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ්ගෙන් පැවතෙන්නන්ව පාලනය කිරීමට මාගේ සේවක දාවිත්ගේ පෙළපතින් පාලකයන්ව පත් කරන්නෙමි. එබැවින් වහල්භාවයේ සිටින ඔවුන්ට මා අනුකම්පා කර+ ඔවුන්ව නැවත මේ දේශයට ගෙනෙන්නෙමි.’”+