නික්මයාම
25 යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය.+ 2 “මා වෙනුවෙන් සම්මාදමක් එකතු කරන්න කියා ඊශ්‍රායෙල් සෙනඟට කියන්න. කැමැත්තෙන් දෙන සෑම කෙනෙකුගෙන්ම ඔබ එය එකතු කරගත යුතුයි.+ 3 ඔබ සම්මාදම් ලෙස මෙවැනි දේවල් එකතු කරගන්න. රන්ද+ රිදීද+ තඹද+ 4 නිල් පැහැති නූල්ද රත්නිල් පැහැගැන්වූ ලොම්ද තද රතු* පැහැති රෙදිද අගනා ලිනන් රෙදිද එළු රෝමද+ 5 රතු සායම් දැමූ බැටළු හම්ද සීල් මත්ස්‍යයාගේ හම්ද ෂිටිම් ලීද+ 6 පහන් සඳහා තෙල්ද+ ශුද්ධ තෛලය*+ හා සුවඳ ද්‍රව්‍ය+ සඳහා බෝල්සම්+ තෙල්ද 7 ඒෆොද් හැට්ටය+ හා ළයවැස්ම*+ සඳහා ඔනික්ස් ගල්ද වෙනත් අනර්ඝ ගල්ද එකතු කරගන්න. 8 මම ඊශ්‍රායෙල් සෙනඟ සමඟ වාසය කරන බැවින් ඔවුන් මා වෙනුවෙන් ශුද්ධස්ථානයක් සෑදිය යුතුයි.+ 9 ඔබ මාගේ ශුද්ධ කූඩාරම* හා එහි සියලු බඩු බාහිරාදිය සෑදිය යුත්තේ මා ඔබට ලබා දෙන සැලැස්මට අනුවය.+
10 “ඔවුන් ෂිටිම් ලීවලින් පෙට්ටියක් සෑදිය යුතුයි.+ එහි දිග රියන්* දෙකහමාරක්ද පළල රියන් එකහමාරක්ද උස රියන් එකහමාරක්ද විය යුතුයි. 11 පෙට්ටියේ ඇතුළත හා පිටත පවිත්‍ර රනින් ආලේප කර+ එහි උඩ දාරයට යටින් පෙට්ටිය වටාම රන් ලියවැලක් සෑදිය යුතුයි.+ 12 එම පෙට්ටියට කකුල් හතරක් සවි කර ඒවාට මදක් ඉහළින් රනින් සෑදූ වළලු හතරක් සවි කරන්න. වළලු දෙකක් පෙට්ටියේ එක් පැත්තකද අනික් දෙක පෙට්ටියේ අනික් පැත්තේද තිබෙන සේ සවි කරන්න.+ 13 ෂිටිම් ලීවලින් පොලු දෙකක් සාදා ඒවා රනින් ආලේප කරන්න.+ 14 පෙට්ටිය උසුලාගෙන යන පිණිස එහි දෙපැත්තේ තිබෙන වළලුවලට එම පොලු දෙක දමන්න. 15 එම පොලු වළලුවලින් කිසිවිටක ඉවත් නොකළ යුතුයි.+ 16 මා සාක්ෂියක් ලෙස ඔබට දෙන පුවරු* එම පෙට්ටිය ඇතුළේ තබන්න.+
17 “පවිත්‍ර රනින් එම පෙට්ටියට පියනක්* සාදන්න. එහි දිග රියන් දෙකහමාරක්ද පළල රියන් එකහමාරක්ද විය යුතුයි.+ 18 පෙට්ටියේ පියන මත තබන පිණිස රත්තරන් තළා කෙරුබ්වරුන් දෙදෙනෙකුව සාදාගන්න. එහි දෙකෙළවරෙහි ඔවුන්ව තබන්න.+ 19 පියනේ එක් කෙළවරක එක් කෙරුබ්වරයෙකුද අනික් කෙළවරේ අනික් කෙරුබ්වරයාවද සවි කර තබන්න.+ 20 ඔවුන්ව මුහුණට මුහුණ ලා සිටින සේ තබන්න. ඔවුන් තම පියාපත් ඉහළට ඔසවා පියන දෙසට තම හිස නමාගෙන සිටිය යුතුයි. ඔවුන්ගේ පියාපත් වියනක් සේ විහිදී යා යුතුයි.+ 21 මා සාක්ෂියක් ලෙස ඔබට දෙන පුවරු එම පෙට්ටිය ඇතුළේ තබන්න. ඉන්පසු පියනෙන්+ පෙට්ටිය වසා තබන්න. 22 ගිවිසුම් පෙට්ටියේ* පියනට ඉහළින් මම ඔබට පෙනී සිටින්නෙමි.+ කෙරුබ්වරුන් දෙදෙනා මැද සිට මම ඔබ සමඟ කතා කර ඊශ්‍රායෙල් සෙනඟට මා නියම කරන සියලු පනත් ඔබට දෙන්නෙමි.+
23 “ඔබ ෂිටිම් ලීවලින් මේසයක් සෑදිය යුතුයි.+ එහි දිග රියන් දෙකක්ද පළල රියනක්ද උස රියන් එකහමාරක්ද විය යුතුයි. 24 මේසය පවිත්‍ර රනින් ආලේප කර එහි ලෑල්ලේ දාරය වටා රන් ලියවැලක් සෑදිය යුතුයි.+ 25 ඉන්පසු මේසය වටා තිබෙන එම දාරයට අල්ලක* පමණ පළලින් යුත් පටියක් සවි කළ යුතුයි. එම පටිය වටාද තවත් රන් ලියවැලක් සාදන්න.+ 26 රනින් වළලු හතරක් සාදා ඒවා මේසයේ කකුල් හතරේ සවි කරන්න.+ 27 එම වළලු සවි කළ යුත්තේ මේසයේ ලියවැල සාදා ඇති පටියට යටිනි. මේසය පොලුවලින් උසුලාගෙන යෑමට මෙය උපකාරවත් වේ.+ 28 මේසය එහා මෙහා ගෙන යෑම සඳහා ඔබ ෂිටිම් ලීවලින් පොලු දෙකක් සාදා ඒවා රනින් ආලේප කරන්න.+
29 “ඔබ මේසය මත තැබීමට පවිත්‍ර රනින් දීසිද කුසලානද පාන පූජා වත් කිරීම සඳහා බඳුන්ද පාත්‍රද සෑදිය යුතුයි.+ 30 ඔබ මට පුදන රොටි හැමවිටම මා ඉදිරියේ එම මේසය මත තැබිය යුතුයි.+
31 “ඔබ පවිත්‍ර රත්තරන් තළා පහන් රුකක් සාදන්න.+ එයට කඳක්ද අතුද මල්ද පොහොට්ටුද මල් පෙතිද තිබිය යුතුයි. ඒවා එකිනෙකට සම්බන්ධ විය යුතුයි. 32 පහන් රුකෙහි අතු හයක් තිබිය යුතුයි. කඳෙහි එක් පැත්තකින් අතු තුනක්ද අනික් පැත්තෙන් තව අතු තුනක්ද විහිදී යා යුතුයි.+ 33 ඒ එක් අත්තක් ආමන්ඩ් මල් තුනකින් යුක්තය. ඒ සෑම ආමන්ඩ් මලකටම උඩින් පොහොට්ටුවක්ද ඒ සෑම පොහොට්ටුවකටම උඩින් මල් පෙතිද පිහිටා තිබේ.+ පහන් රුකෙන් විහිදී යන සෑම අත්තක්ම එලෙස සකස් කළ යුතුයි. 34 පහන් රුකෙහි කඳ කොටස ආමන්ඩ් මල් හතරකින් යුක්තය. ඒ සෑම මලකටම උඩින් පොහොට්ටුවක්ද ඒ සෑම පොහොට්ටුවකටම උඩින් මල් පෙතිද තිබෙන සේ කඳ සකස් කළ යුතුයි.+ 35 පහන් රුකෙහි දෙපැත්තට විහිදී යන අතු හය යුගළ වශයෙන් තිබිය යුතුයි. අතු යුගළය කඳට සම්බන්ධ වන සෑම තැනටම යටින් පොහොට්ටුවක් තිබිය යුතුයි.+ 36 පහන් රුකෙහි අතු සහ පොහොට්ටු කඳට සම්බන්ධ විය යුතුයි. ඒ සියල්ල සෑදිය යුත්තේ පවිත්‍ර රත්තරන් කුට්ටියක් තළාගැනීමෙන්ය.+ 37 ඉන්පසු පහන් රුක මත තැබීමට පහන් හතක් සාදන්න. පහන් රුක ඉදිරිපිට තිබෙන ස්ථානය ආලෝකවත් කරන පිණිස ඒ පහන් හත දල්වා තබන්න.+ 38 පහන් තිර ඇල්ලීමට අඬුද දැවී ගිය පහන් තිර දැමීමට භාජනද පවිත්‍ර රනින් සෑදිය යුතුයි.+ 39 පහන් රුකද පහන්ද එහි සියලු භාජනද පවිත්‍ර රන් තලෙන්තයකින්* සෑදිය යුතුයි. 40 ඔබට කන්දේදී පෙන්වන ලද සැලැස්මට අනුව සියල්ල සෑදීමට වගබලා ගන්න.+