උත්පත්ති
13 ඉන්පසු ආබ්‍රම් ඔහුට තිබුණු සියල්ල රැගෙන ඔහුගේ භාර්යාව සමඟ ඊජිප්තුවෙන් පිටත්ව ගොස් නෙගෙබ්+ දක්වා ගමන් කළේය. ලොත්ද ඔහු සමඟ ගියේය. 2 ආබ්‍රම්ට සතුන් විශාල ප්‍රමාණයක් සිටි අතර රන් රිදී තොගයක්ද තිබිණ.+ 3 පසුව ඔහු නෙගෙබ් පළාතෙන් පිටත් වී බෙතෙල් දක්වා ගියේය. ඒ යන අතරමඟ තැනින් තැන කූඩාරම් ගසාගනිමින් ඔහු ජීවත් විය. ඔහු කලින් බෙතෙල් සහ ආයි අතර+ කූඩාරම් ගසාගත් ස්ථානයටම පැමිණියේය. 4 ආබ්‍රම්, තමා කලින් පූජාසනයක් සාදා තිබුණු එම ස්ථානයේදී+ යෙහෝවා දෙවිට ස්තුති ප්‍රශංසා කළේය.*+
5 ආබ්‍රම් සමඟ ගමන් කරමින් සිටි ලොත්ටද බැටළුවන් හා ගවයන් සිටියේය. ඔහුට කූඩාරම්ද තිබිණ. 6 බඩු බාහිරාදිය විශාල ප්‍රමාණයක් ඔවුන්ට තිබූ බැවින් ඔවුන් සියලුදෙනාටම එකට ජීවත් වීමට තරම් ප්‍රමාණවත් ඉඩකඩ දේශයේ නොතිබුණේය.+ 7 මේ අතරතුරේදී ආබ්‍රම්ගේ එඬේරුන් සහ ලොත්ගේ එඬේරුන් අතර ආරවුලක් ඇති විය. ඒ කාලයේදී කානානිවරු හා පෙරිස්සිවරු දේශයේ ජීවත් වූහ.+ 8 ආබ්‍රම් ලොත්ට+ මෙසේ කීවේය. “අපි සහෝදරයන්! ඒ නිසා අපි දෙන්නා අතරෙත් අපේ එඬේරුන් අතරෙත් මේ විදිහට දිගින් දිගටම ආරවුල් ඇති වීමට ඉඩ නොදෙමු.+ 9 අපි වෙන වෙනම ජීවත් වෙමු. ඔබට මේ දේශයෙන් ඕනෑම කොටසක් තෝරගන්න පුළුවන්. ඔබ වමට ගියොත් මම දකුණට යන්නම්. ඔබ දකුණට ගියොත් මම වමට යන්නම්.”+ 10 එවිට ලොත් යොර්දාන් දේශයේ ෂොවර්+ දක්වා ඇති ප්‍රදේශය දෙස බැලුවේය.+ ඒ දේශයේ කිසිදු ජල හිඟයක් නැති බව ඔහු දුටුවේය. එය යෙහෝවා දෙවිගේ උයන+ මෙන්ද ඊජිප්තුව මෙන්ද විය. (එලෙස තිබුණේ යෙහෝවා දෙවි සොදොම් සහ ගොමෝරාව විනාශ කිරීමට පෙරය.) 11 ලොත් මුළු යොර්දාන් දේශයම තෝරාගත්තේය. ලොත් තමන්ට තිබුණු සියල්ල රැගෙන නැඟෙනහිර දෙසට ගියේය. මෙලෙස ඔවුහු එකිනෙකාගෙන් වෙන්ව ගියෝය. 12 ආබ්‍රම් කානාන් දේශයේ ජීවත් වුණේය. නමුත් ලොත් ජීවත් වුණේ යොර්දාන් දේශයේ නුවරවල් අසලය.+ පසුව ඔහු සොදොම් නුවර ළඟින් තම කූඩාරම් ගසාගත්තේය. 13 සොදොම්හි ජීවත් වූ මිනිස්සු යෙහෝවා දෙවිට විරුද්ධව බොහෝ සේ පව් කළ නපුරු මනුෂ්‍යයෝ වූහ.+
14 ලොත් ආබ්‍රම්ගෙන් වෙන් වූ පසු යෙහෝවා දෙවි ආබ්‍රම්ට මෙසේ කීවේය. “ඔබ සිටින ස්ථානයේ සිට උතුර දෙසත් දකුණ දෙසත් නැඟෙනහිර දෙසත් බස්නාහිර දෙසත්+ බලන මෙන් ඔබෙන් ඉල්ලමි. 15 මන්ද ඔබට පෙනෙන ඒ මුළු දේශයම මම ඔබටත් ඔබෙන් පැවතෙන්නන්ටත් සදහටම උරුමයක් ලෙස දෙන්නෙමි.+ 16 මම ඔබෙන් පැවතෙන්නන්ව පොළොවේ දූවිලි මෙන් වැඩි කරන්නෙමි. යමෙකුට පොළොවේ දූවිලි අංශු ගණන් කිරීමට හැකි වේ නම් ඔබෙන් පැවතෙන අයවද ගණන් කිරීමට හැකි වෙයි.+ 17 නැඟිටින්න. දේශයේ සතර දිශාවටම යන්න. මන්ද මම එය ඔබට දෙන්නෙමි.”+ 18 ආබ්‍රම් දිගටම කූඩාරම්වල ජීවත් විය. පසුව ඔහු හෙබ්‍රොන්+ නගරයට ගොස් මම්රේහි විශාල ගස්+ අසල නතර වුණේය. එහිදී ඔහු යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනැඟුවේය.+