රෝම
4 අපගේ මුතුන්මිත්තා වූ ආබ්රහම්+ ගැන කිව හැක්කේ කුමක්ද? 2 ආබ්රහම් ධර්මිෂ්ඨයි කියා ප්රකාශ කළ බව අපි දනිමු. දෙවි ඔහුව ධර්මිෂ්ඨයෙකු ලෙස සැලකුවේ ඔහු කළ ක්රියා නිසාද?+ එය එසේනම් තමා ගැන පුරසාරම් දෙඩීමට ඔහුට පදනමක් තිබෙනු ඇත. නමුත් දෙවිගේ ප්රමිතියට අනුව පුරසාරම් දෙඩීමට ඔහුට කිසිම පදනමක් නැත. 3 ශුද්ධ ලියවිල්ලේ ඔහු ගැන පවසන්නේ කුමක්ද? “ආබ්රහම් යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබුවේය. ඒ නිසා ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ගණන් ගන්නා ලදි”+ කියාය. 4 උදාහරණයකට යම් රැකියාවක් කරන මිනිසෙකු ගැන සිතන්න.+ ඔහුට ඒ වෙනුවෙන් ගෙවීමක් කරන්නේ ඔහුට කරුණාව පෙන්වමින් ලබා දෙන තෑග්ගක් ලෙස නොවේ.+ එය දෙනු ලබන්නේ ඔහු කළ දේට යම් ගෙවීමක් කළ යුතු නිසාය.+ 5 අනික් අතට තමන් කරන ක්රියා මත රඳා නොසිටින කෙනෙකු ගැන සිතන්න. ඔහු පව්කාරයන්ව ධර්මිෂ්ඨයන් ලෙස ප්රකාශ කරන තැනැත්තා කෙරෙහි විශ්වාසය තබන නිසා+ ඔහුව ධර්මිෂ්ඨයෙකු ලෙස සලකනු ලැබේ. ඒ අනුව කෙනෙකුව ධර්මිෂ්ඨයෙකු ලෙස සලකන්නේ ඔහු කරන ක්රියා නිසා නොව ඔහු තුළ තිබෙන විශ්වාසය නිසාය.+ 6 යම් තැනැත්තෙකුගේ ක්රියා පදනමක් කර නොගෙන දෙවි ඔහුව ධර්මිෂ්ඨයෙකු ලෙස සලකන ආකාරය ගැන දාවිත්ද කතා කළේය. එවැනි කෙනෙකුට මොන තරම් සන්තෝෂයක් දැනේද යන්න ගැන ඔහු සඳහන් කළේ මෙලෙසය. 7 “වරදට සමාව ලැබූ තැනැත්තා සන්තෝෂවත්ය.+ ඔහු කළ පාප මකා දැමූ විට ඔහු සන්තෝෂවත්ය.+ 8 යමෙකු කළ පාපය යෙහෝවා දෙවි සිහියේ තබා නොගන්නේ නම් ඔහු සන්තෝෂවත්ය.”+
9 එවැනි සන්තෝෂයක් අද්දකින්නේ චර්මච්ඡේදනය වූ අය පමණක්ද? චර්මච්ඡේදනය වී නැති අයටත් එය අද්දැකිය නොහැකිද?+ “ආබ්රහම් දෙවි කෙරෙහි විශ්වාසය තැබූ නිසා ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ගණන් ගන්නා ලදි”+ කියා අප පැවසුවා ඔබට මතක ඇති. 10 ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස සැලකුවේ කුමන අවස්ථාවේදීද? ඔහුව චර්මච්ඡේදනය කළ පසුද නැත්නම් එසේ කිරීමට පෙරද?+ ඇත්තෙන්ම එසේ සිදු වූයේ ඔහු චර්මච්ඡේදනය වීමට කලින්ය. 11 එසේනම් ඔහුව චර්මච්ඡේදනය කළේ යමක් සංකේතවත් කිරීමටය.+ එනම් ඔහුගේ විශ්වාසය නිසා දෙවි ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස සලකන බව සංකේතවත් කිරීමටය. චර්මච්ඡේදනය වීමට කලින් සිටම ඔහු තුළ විශ්වාසය තිබිණ. ඒ අනුව චර්මච්ඡේදනය නොවී සිටියත් තම විශ්වාසය නිසා ධර්මිෂ්ඨයන් ලෙස ප්රකාශ කරනු ලබන සියලුදෙනාගේම+ පියා බවට ඔහු පත් විය.+ 12 එසේම චර්මච්ඡේදනය වී ඇති අයගේද පියා ඔහුය. ඒ අනුව ඔහු චර්මච්ඡේදනය වීමේ පිළිවෙතට යටත්ව සිටින අයගේ පමණක් නොව චර්මච්ඡේදනය වීමට කලින් සිටම ඔහු පෙන්වූ විශ්වාසය අනුකරණය කරන අයගේද පියා වේ.+
13 ආබ්රහම්ටත් ඔහුගේ පෙළපතටත් මුළු පොළොවම උරුම වන බව දෙවි ඔහුට පොරොන්දු වුණේ ඔහු නීතියට කීකරු වූ නිසා නොවේ.+ ඔහු තුළ තිබූ විශ්වාසය හේතුවෙන් දෙවි ඔහුව ධර්මිෂ්ඨයෙකු ලෙස සැලකූ නිසාය.+ 14 උරුමක්කාරයන් බවට පත් වන්නේ නීතියට ඇලී සිටින අය නම් විශ්වාසයක් ඇතුව සිටීමෙන් කිසිදු පලක් නැත. දෙවි දෙන පොරොන්දුවේ කිසි තේරුමක්ද නැත.+ 15 ඇත්තටම නීතිය තුළින් කෙනෙක් දෙවිගේ උදහසට ලක් විය යුතු බව පෙන්වා දෙයි.+ එලෙසම නීතියක් දී තිබුණේ නැත්නම් ඒ තැනැත්තා වරදක් කළා කියා තීරණය වන්නේ නැත.+
16 ආබ්රහම් උරුමක්කාරයෙකු වන බවට දෙවි පොරොන්දු වුණේ ඔහු තුළ තිබූ විශ්වාසය නිසා බව පැහැදිලිය. ඒ පොරොන්දුවෙන් දෙවිගේ මහත් කරුණාව දැකගත හැකි විය.+ එවැනි පොරොන්දුවක් දීමට හේතුව+ ආබ්රහම් තුළ තිබූ විශ්වාසය වන නිසා ඒ පොරොන්දුව ඔහුගෙන් පැවතෙන සියලුදෙනා+ එනම්, නීතිය යටතේ සිටින අය පමණක් නොව ආබ්රහම් මෙන් විශ්වාසයක් ඇති සියලුදෙනා සම්බන්ධයෙන් සහතිකවම ඉටු වේ. (ඔහු අප සියලුදෙනාගේම පියාය.+ 17 මන්ද, “මම ඔබව බොහෝ ජාතීන්ගේ පියෙකු ලෙස පත් කළෙමි” කියා ලියා තිබේ.)+ එම පොරොන්දුව ඔහු විශ්වාස කළ දෙවි විසින්ම තහවුරු කරන ලදි. ඒ දෙවි, මිය ගොස් ඇති අයව නැවත ජීවත් කරවන,+ ඉටු වී නැති දේවල් පවා ඉටු වී ඇති බවට ප්රකාශ කරන දෙවිය.+ 18 ආබ්රහම් බොහෝ ජාතීන්ගේ පියා වන බව+ දෙවි පවසද්දී එය සිදු වන දෙයක් ලෙස නොපෙනුණත් ඔහුට ඒ ගැන බලාපොරොත්තුවක් මෙන්ම විශ්වාසයක්ද තිබිණ.+ එමනිසා “ඔබෙන් පැවතෙන අයත් එලෙසම වන්නේය”+ කියා දෙවි පැවසූ විට ඔහු එය සිදු විය හැකි දෙයක් ලෙස විශ්වාස කළේය. 19 ඒ වන විට තමාට අවුරුදු සියයක් වන නිසා+ තමා දුබල බවත්+ සාරාට දරුවෙකු බිහි කරන්න තරම් හැකියාවක් නැති බවත්+ දැන සිටියද ඔහු තුළ තිබූ විශ්වාසය දුර්වල වී ගියේ නැත. 20 එසේම දෙවි දුන් පොරොන්දුව+ ගැන සැක කරමින් තම විශ්වාසය නැති කරගත්තේද නැත.+ ඒ වෙනුවට විශ්වාසයෙන් ශක්තිමත් වූ ඔහු,+ දෙවිට ගෞරවය ගෙන දෙමින්, 21 දෙවි පොරොන්දු වී තිබූ දේ අනිවාර්යයෙන්ම ඉටු කරන බවට පූර්ණ විශ්වාසයකින් සිටියේය.+ 22 ‘ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ගණන් ගනු ලැබුවේ’ ඒ නිසාය.+
23 ‘ඔහුව එලෙස ගණන් ගනු ලැබූ’ බව+ ලියා තිබුණේ ඔහු උදෙසා පමණක් නොව,+ 24 අප උදෙසාත්ය. මන්ද අපගේ ස්වාමීන් වන යේසුස්ව මරණයෙන් නැඟිටෙවූ තැනැත්තා කෙරෙහි අපටත් විශ්වාසයක් තිබේ.+ එහෙයින් අපවත් ධර්මිෂ්ඨයන් ලෙස ගණන් ගනු ලැබේ. 25 යේසුස්ව මරණයට නියම කරනු ලැබුවේ අපගේ වැරදි උදෙසාය.+ එමෙන්ම ඔහුව නැවත නැඟිටුවනු ලැබුවේ අපව ධර්මිෂ්ඨයන් ලෙස ප්රකාශ කිරීම සඳහාය.+