-
මතෙව් 17:1-8ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
17 දවස් හයකට පස්සේ යේසුස් පේතෘස්වයි, යාකොබ්වයි, යාකොබ්ගේ සහෝදරයා වුණ යොහන්වයි විතරක් එක්කගෙන උස කන්දකට ගියා.+ 2 එහෙදී එයාලා ඉස්සරහා ඔහුගේ පෙනුම වෙනස් වුණා. ඔහුගේ මූණ සූර්යයා වගේ බැබළෙන්නත් ඔහුගේ ඇඳුම්වලින් දීප්තිමත්* එළියක් විහිදෙන්නත් පටන්ගත්තා.+ 3 එතකොටම එයාලා දැක්කා මෝසෙස් සහ එලියා යේසුස් එක්ක කතා කරකර ඉන්නවා. 4 ඒක දැක්කාම පේතෘස් යේසුස්ට මෙහෙම කිව්වා. “ස්වාමීනි, අපිට මෙතන ඉන්න ලැබුණ එක ලොකු සතුටක්. අපි කූඩාරම් තුනක් ගහන්නද? එකක් ඔයාට. එකක් මෝසෙස්ට. අනිත් එක එලියාට.” 5 එයා කතා කරන අතරේ දීප්තිමත් වලාකුළකින් එයාලව වැහිලා ගියා. ඒ වලාකුළෙන් මෙහෙම කියන හඬක් ඇහුණා. “මේ මගේ ආදරණීය පුතා. මම එයා ගැන සතුටු වෙනවා.+ එයාට ඇහුම්කන් දෙන්න.”+ 6 ඒක ඇහෙද්දී ගෝලයෝ හොඳටම බය වෙලා දණින් වැටිලා ඔළුව බිමටම පහත් කළා. 7 ඒත් යේසුස් එයාලා ළඟට ඇවිත් එයාලව අල්ලලා “නැඟිටින්න, බය වෙන්න එපා” කියලා කිව්වා. 8 ඔළුව උස්සලා බලද්දී එතන හිටියේ යේසුස් විතරයි කියලා එයාලා දැක්කා.
-
-
ලූක් 9:28-36ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
28 එහෙම කියලා දවස් අටකට විතර පස්සේ යේසුස් යාච්ඤා කරන්න කන්දකට ගියා. ඔහු ගියේ පේතෘස්, යොහන් සහ යාකොබ්වත් එක්කගෙනයි.+ 29 ඔහු යාච්ඤා කරකර ඉද්දී ඔහුගේ මුහුණේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඔහුගේ ඇඳුමෙන් දීප්තිමත් සුදු එළියක් විහිදිලා ඒක දිලිසෙන්න පටන්ගත්තා. 30 ඒත් එක්කම එයාලා දැක්කා මිනිස්සු දෙන්නෙක් ඔහුත් එක්ක කතා කරකර ඉන්නවා. එක් කෙනෙක් මෝසෙස්, අනිත් කෙනා එලියා. 31 ඒ දෙන්නාගෙනුත් ලොකු එළියක් විහිදුණා. අනාවැකිවල කියලා තියෙන විදිහට යේසුස් යෙරුසලමේදී මේ ලෝකයෙන් සමුගන්න විදිහ ගැන එයාලා කතා කරන්න පටන්ගත්තා.+ 32 ඔය අතරේ පේතෘස් සහ ඔහුත් එක්ක හිටපු අනිත් දෙන්නා හිටියේ නිදිකිරා වැටෙමින්. එයාලා ඇහැරුණාම යේසුස්ගේ තේජසත්+ ඔහු එක්ක හිටිය මිනිස්සු දෙන්නාවත් එයාලා දැක්කා. 33 ඒ මිනිස්සු දෙන්නා යේසුස්ගෙන් වෙන් වෙලා යද්දීම පේතෘස් යේසුස්ට මෙහෙම කිව්වා. “ගුරුතුමනි, අපිට මෙතන ඉන්න ලැබුණ එක ලොකු සතුටක්. අපි කූඩාරම් තුනක් ගහන්නද? එකක් ඔයාට. එකක් මෝසෙස්ට. අනික එලියාට.” ඒ වෙලාවේ පේතෘස් කියපු දේවල් එයාටවත් තේරුණේ නැහැ. 34 පේතෘස් කතා කරකර ඉද්දී එයාලට අහසේ වලාකුළක් පෙනුණා. ඒක ටිකෙන් ටික එයාලා ඉන්න තැනට ඇවිත් එයාලව වහගත්තා. ඒ වෙලාවේ එයාලට දැනුණේ ලොකු බයක්. 35 එතකොට ඒ වලාකුළෙන් මෙහෙම කියන හඬක්+ ඇහුණා. “මේ මගේ පුතා. මං තෝරගෙන තියෙන්නේ එයාවයි.+ එයාට ඇහුම්කන් දෙන්න.”+ 36 ඒ හඬ ඇහෙද්දී එතන හිටියේ යේසුස් විතරයි. එයාලා දැකපු දේවල් ගැන ඒ දවස්වල එයාලා කාත් එක්කවත් කතා කළේ නැහැ.+
-