-
මාක් 9:2-8ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 දවස් හයකට පස්සේ පේතෘස්, යාකොබ් සහ යොහන්ව විතරක් එක්කගෙන යේසුස් උස කන්දකට ගියා. එතකොට එයාලා ඉස්සරහා ඔහුගේ පෙනුම වෙනස් වුණා.+ 3 ඔහුගේ ඇඳුම් සුදු පාටින් දිලිසෙන්න පටන්ගත්තා. ඒක කොච්චරද කියනවා නම් රෙදි හෝදන කිසිම කෙනෙක්ට සුදු කරන්න බැරි තරමට ඒවා සුදු වෙලා තිබුණා. 4 මෝසෙස් සහ එලියා යේසුස් එක්ක කතා කරකර ඉන්නවත් එයාලා දැක්කා. 5 එතකොට පේතෘස් යේසුස්ට මෙහෙම කිව්වා. “ගුරුතුමනි,* අපිට මෙතන ඉන්න ලැබුණ එක ලොකු සතුටක්. අපි කූඩාරම් තුනක් ගහන්නද? එකක් ඔයාට. එකක් මෝසෙස්ට. අනික එලියාට.” 6 ඇත්තටම කියන්නේ මොනවාද කියලවත් පේතෘස්ට හිතාගන්න බැරි වුණා. මොකද එයාලා හැමෝම ගොඩක් බය වෙලයි හිටියේ. 7 එතකොට එයාලට ඉහළින් වලාකුළක් පෙනුණා. ඒ වලාකුළෙන් මෙහෙම කියන හඬක්+ ඇහුණා. “මේ මගේ ආදරණීය පුතා.+ එයාට ඇහුම්කන් දෙන්න.”+ 8 ඒ තුන්දෙනා වටපිට බැලුවාම දැක්කා එයාලා එක්ක ඉන්නේ යේසුස් විතරයි කියලා.
-
-
ලූක් 9:28-36ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
28 එහෙම කියලා දවස් අටකට විතර පස්සේ යේසුස් යාච්ඤා කරන්න කන්දකට ගියා. ඔහු ගියේ පේතෘස්, යොහන් සහ යාකොබ්වත් එක්කගෙනයි.+ 29 ඔහු යාච්ඤා කරකර ඉද්දී ඔහුගේ මුහුණේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඔහුගේ ඇඳුමෙන් දීප්තිමත් සුදු එළියක් විහිදිලා ඒක දිලිසෙන්න පටන්ගත්තා. 30 ඒත් එක්කම එයාලා දැක්කා මිනිස්සු දෙන්නෙක් ඔහුත් එක්ක කතා කරකර ඉන්නවා. එක් කෙනෙක් මෝසෙස්, අනිත් කෙනා එලියා. 31 ඒ දෙන්නාගෙනුත් ලොකු එළියක් විහිදුණා. අනාවැකිවල කියලා තියෙන විදිහට යේසුස් යෙරුසලමේදී මේ ලෝකයෙන් සමුගන්න විදිහ ගැන එයාලා කතා කරන්න පටන්ගත්තා.+ 32 ඔය අතරේ පේතෘස් සහ ඔහුත් එක්ක හිටපු අනිත් දෙන්නා හිටියේ නිදිකිරා වැටෙමින්. එයාලා ඇහැරුණාම යේසුස්ගේ තේජසත්+ ඔහු එක්ක හිටිය මිනිස්සු දෙන්නාවත් එයාලා දැක්කා. 33 ඒ මිනිස්සු දෙන්නා යේසුස්ගෙන් වෙන් වෙලා යද්දීම පේතෘස් යේසුස්ට මෙහෙම කිව්වා. “ගුරුතුමනි, අපිට මෙතන ඉන්න ලැබුණ එක ලොකු සතුටක්. අපි කූඩාරම් තුනක් ගහන්නද? එකක් ඔයාට. එකක් මෝසෙස්ට. අනික එලියාට.” ඒ වෙලාවේ පේතෘස් කියපු දේවල් එයාටවත් තේරුණේ නැහැ. 34 පේතෘස් කතා කරකර ඉද්දී එයාලට අහසේ වලාකුළක් පෙනුණා. ඒක ටිකෙන් ටික එයාලා ඉන්න තැනට ඇවිත් එයාලව වහගත්තා. ඒ වෙලාවේ එයාලට දැනුණේ ලොකු බයක්. 35 එතකොට ඒ වලාකුළෙන් මෙහෙම කියන හඬක්+ ඇහුණා. “මේ මගේ පුතා. මං තෝරගෙන තියෙන්නේ එයාවයි.+ එයාට ඇහුම්කන් දෙන්න.”+ 36 ඒ හඬ ඇහෙද්දී එතන හිටියේ යේසුස් විතරයි. එයාලා දැකපු දේවල් ගැන ඒ දවස්වල එයාලා කාත් එක්කවත් කතා කළේ නැහැ.+
-