හෙබ්‍රෙව්වරුන්ට
7 මෙල්කිසදෙක් කියන්නේ සාලම් නගරයේ රජ. උසස්ම දෙවියන්ගේ පූජකයා විදිහටත් එයා සේවය කළා. ආබ්‍රහම් රජවරුන්ව මරලා ආපහු ආවාම එයා ආබ්‍රහම්ව හම්බ වෙන්න ඇවිත් ආබ්‍රහම්ට ආශීර්වාද කළා.+ 2 ආබ්‍රහම් තමන් ළඟ තිබුණ හැම දේකින්ම දහයෙන් කොටසක් එයාට දුන්නා. මෙල්කිසදෙක් කියන නමේ තේරුම “ධර්මිෂ්ඨකමේ රජ” කියන එකයි. ඒ විතරක් නෙමෙයි එයා සාලම් නගරයේ රජ. ඒකෙන් අදහස් කළේ “සමාදානයේ රජ” කියන එකයි. 3 එයාගේ තාත්තා කවුද කියලවත් අම්මා කවුද කියලවත් දන්නේ නැහැ. එයාගේ පෙළපත ගැන කිසිම වාර්තාවකුත් නැහැ. එයා ඉපදුණේ කවදාද කියලවත් මැරුණේ කවදාද කියලවත් කවුරුත් දන්නේ නැහැ. එහෙම බලද්දී එයා දෙවියන්ගේ පුතාට සමානයි. එයා හැමදාටම පූජකයෙක් විදිහට ඉන්නවා.+
4 අපේ මුතුන්මිත්තා* වුණ ආබ්‍රහම් සටනෙන් පස්සේ ලබාගත්ත හොඳම දේවල්වලින් දහයෙන් කොටසක් දුන්න,+ මේ පුද්ගලයා කොච්චර උතුම් කෙනෙක්ද! 5 පූජකයන් විදිහට පත් කරන ලෙවීගේ පුතාලා+ සෙනඟගෙන් ඒ කියන්නේ එයාලාගේ සහෝදරයන්ගෙන් දහයෙන් කොටසක් ලබාගන්න ඕනෙ කියලා නීතියේ කියලා තියෙනවා.+ සෙනඟත් ආබ්රහම්ගෙන්ම පැවතෙන අය තමයි. ඒ වුණත් පූජකයන් එයාලාගෙන් දහයෙන් කොටස ලබාගන්න ඕනේ. 6 හැබැයි මේ කෙනා ලෙවීගෙන් පැවතෙන කෙනෙක් නෙමෙයි. ඒත් දෙවියන්ගෙන් පොරොන්දු ලැබිලා තිබුණ ආබ්‍රහම්ගෙන් එයා දහයෙන් කොටස ලබාගෙන ආබ්‍රහම්ට ආශීර්වාද කළා.+ 7 ආශීර්වාද ලබපු කෙනාට වඩා ආශීර්වාද කරපු කෙනා උතුම් කියලා ඕනෙම කෙනෙක් පිළිගන්නවා. 8 දහයෙන් කොටස ලැබුණ ලෙවීවරු මරණයට යටත් අය. ඒත් දහයෙන් කොටස ලැබුණ අනිත් කෙනා දිගටම ජීවත් වෙනවා කියන්න සාක්ෂි තියෙනවා.+ 9 දහයෙන් කොටස ලබන ලෙවී පවා ආබ්‍රහම් මාර්ගයෙන් දහයෙන් කොටස ගෙව්වා කියලා කියන්න පුළුවන්. 10 මොකද මෙල්කිසදෙක්ට ලෙවීගේ මුතුන්මිත්තා වුණ ආබ්‍රහම්ව හම්බ වෙද්දී ලෙවී ආබ්‍රහම්ගේ පෙළපතින් එන්න නියමිතව තිබුණා.+
11 ලෙවීගෙන් පැවතෙන පූජකයන්ට පුළුවන් වුණා නම් සෙනඟගේ වැරදි අයින් කරන්න+ මෙල්කිසදෙක් වගේ පූජකයෙක් අපිට අවශ්‍ය ඇයි?+ (මොකද පූජකයන් විදිහට සේවය කරන සැලැස්ම ඊශ්‍රායෙල් සෙනඟට දීපු නීතියේ එක අංගයක්.) ආරොන් වගේ පූජකයෙක් හිටියා නම් අපිට මදිද? 12 පූජකයන් විදිහට සේවය කරන සැලැස්මේ වෙනසක් වුණා නම් නීතියත් වෙනස් වෙන්න ඕනේ.+ 13 අපි කියපු මේ තොරතුරු අදාළ වෙන කෙනා වෙන ගෝත්‍රයකින් එන කෙනෙක්. ඒ ගෝත්‍රයෙන් ආපු කිසිම කෙනෙක් පූජාසනය ළඟ සේවය කරලා නැහැ.+ 14 අපි දන්නවා අපේ ස්වාමීන් ආවේ යූදා ගෝත්‍රයෙන් කියලා.+ ඒත් පූජකයන් විදිහට සේවය කරන අය ඒ ගෝත්‍රයෙන් එනවා කියලා මෝසෙස් කිව්වේ නැහැ.
15 මෙල්කිසදෙක්+ වගේ තවත් පූජකයෙක් පත් වුණාම+ ඒ හැම දෙයක්ම තවත් පැහැදිලි වෙනවා. 16 ඒ කෙනා පූජකයෙක් විදිහට පත් වුණේ නීතියේ කියලා තියෙන ගෝත්‍රයෙන් ආපු නිසා නෙමෙයි. ඒ වෙනුවට කවදාවත් විනාශ කරන්න බැරි ජීවිතයක් ගත කරන්න ඔහුට ලැබිලා තියෙන හැකියාව* නිසයි.+ 17 ඔහු ගැන ශුද්ධ ලියවිල්ලේ එක තැනක මෙහෙම කියලා තියෙනවා. “ඔබ මෙල්කිසදෙක් වගේ පූජකයෙක් වෙනවා.+ ඔබ සදහටම පූජකයෙක් විදිහට සේවය කරනවා.”
18 ඉතින් කලින් දීපු ආඥාව අයින් කරලා දානවා. මොකද ඒක දුර්වලයි. ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ.+ 19 පාපය සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න* නීතියට පුළුවන්කමක් තිබුණේ නැහැ.+ ඒත් දෙවියන් අපිට ඊට වඩා හොඳ බලාපොරොත්තුවක් දුන්නා. ඒකට පුළුවන් පාපය සම්පූර්ණයෙන්ම නැති කරන්න.+ ඒක මාර්ගයෙන් අපි දෙවියන්ට තව ළං වෙනවා.+ 20 ඒ වගේම මේ කෙනාව පූජකයා විදිහට පත් කළේ දිවුරලා පොරොන්දුවක් දීලයි. 21 (දිවුරලා පොරොන්දුවක් දුන්නේ නැතත් පූජකයන් විදිහට පත් වුණ අය ඉන්නවා. ඒත් මේ කෙනා පූජකයෙක් වුණේ ඔහු ගැන දිවුරලා පොරොන්දුවක් දුන්න නිසයි. ඒ දිවුරුම දුන්න තැනැත්තා ඔහු ගැන කිව්වේ මෙහෙමයි. “‘ඔබ සදහටම පූජකයෙක් විදිහට සේවය කරනවා’ කියලා යෙහෝවා* දිවුරලා පොරොන්දු වුණා. ඒ තීරණය ඔහු කවදාවත් වෙනස් කරන්නේ නැහැ.”*)+ 22 ඒ විදිහට යේසුස්, වඩා උතුම් ගිවිසුම අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියන දේට සහතිකයක් ලබා දුන්නා.+ 23 තවත් කාරණයක් තමයි එක පූජකයෙක්ට දිගටම ඒ සේවය කරන්න බැරි එක. මොකද එයාලා මැරෙනවා. ඉතින් පූජකයෙක් මැරුණාම එයා වෙනුවට තව කෙනෙක් පත් වෙන්න ඕනේ.+ 24 ඒත් යේසුස් සදහටම ජීවත් වෙන නිසා+ ඔහුගේ පූජක තනතුරට තව කෙනෙක්ව පත් කරන්න ඕනෙ නැහැ. 25 ඉතින් ඔහු මාර්ගයෙන් දෙවියන් ළඟට එන අයට සීයට සීයක් ගැලවීම ලබා දෙන්න ඔහුට පුළුවන්. මොකද එයාලා වෙනුවෙන් කන්නලව් කරන්න ඔහු හැමදාටම ජීවත් වෙලා ඉන්නවා.+
26 ඒ වගේ උත්තම පූජකයෙක් ඒ කියන්නේ විශ්වාසවන්ත, නිර්දෝෂ, පවිත්‍ර,+ පව්කාරයන්ට වඩා හාත්පසින්ම වෙනස්, අහසටත් වඩා ඉහළින් ඉන්න කෙනෙක් තමයි අපිට අවශ්‍ය.+ 27 අනිත් උත්තම පූජකයන් කළා වගේ මුලින්ම තමන්ගේ වැරදි වෙනුවෙන්, ඊළඟට සෙනඟගේ වැරදි වෙනුවෙන්+ දවස ගාණේ පූජා ඔප්පු කරන්න ඔහුට ඕනෙ වෙන්නේ නැහැ.+ මොකද ඔහු තමන්ගේ ජීවිතේ දීලා ඒ පූජාව එක පාරක් ඔප්පු කළා. ඒ පූජාවෙන් සදහටම ප්‍රයෝජන ලැබෙනවා.+ 28 නීතිය මාර්ගයෙන් උත්තම පූජකයන් විදිහට පත් කරන්නේ දුර්වලකම් තියෙන පුරුෂයන්ව.+ ඒත් නීතිය දුන්නාට පස්සේ දිවුරලා දීපු පොරොන්දුව මාර්ගයෙන්+ දෙවියන්ගේ පුතාව ඒ තනතුරට පත් කළා. හැමදාටම ඒ සේවය කරන්න ඕනෙ කරන හැම සුදුසුකමක්ම+ ඔහු ලබාගෙනයි තියෙන්නේ.