හෙබ්‍රෙව්වරුන්ට
5 සෙනඟ අතරින් කෙනෙක්ව උත්තම පූජකයෙක් විදිහට පත් කරන්නේ මිනිස්සු වෙනුවෙන් දෙවියන්ට සේවය කරන්නයි.+ එයා තමයි තෑගි විදිහට සෙනඟ ගේන පූජා සහ පව් වෙනුවෙන් ගේන පූජා ඔප්පු කරන්නේ.+ 2 එයාට තමන්ගෙම දුර්වලකම් ගැන අවබෝධයක් තියෙන නිසා නොදැනුවත්කමින් වැරදි කරන* අයට අනුකම්පාවෙන්* සලකන්න පුළුවන්. 3 සෙනඟ වෙනුවෙන් පූජා ඔප්පු කරන විදිහටම එයා තමන්ගේ වැරදි වෙනුවෙනුත් පූජා ඔප්පු කරන්න ඕනේ. මොකද එයාටත් දුර්වලකම් තියෙනවා.+
4 ගෞරවයක් ලැබෙන ඒ පැවරුමට තමන්වම පත් කරගන්න කෙනෙක්ට බැහැ. එයාට ඒක ලැබෙන්නේ දෙවියන් එයාව පත් කළොත් විතරයි. හරියට ආරොන්ව පත් කළා වගේ.+ 5 ක්‍රිස්තුස්ගේ පත්වීමත් ඒ වගෙයි. උත්තම පූජකයා විදිහට ඔහු තමාවම පත් කරගත්තේ නැහැ.+ ඔහු තමාව ගෞරවයට පත් කරගත්තෙත් නැහැ. ඒ වෙනුවට “ඔබ මගේ පුතා. අද ඉඳන් ඔබේ තාත්තා මමයි”+ කියලා කියපු තැනැත්තා තමයි ඔහුව ගෞරවයට පත් කළේ. 6 ශුද්ධ ලියවිල්ලේ තවත් පදයක ඔහු මෙහෙම කියලා තියෙනවා. “ඔබ මෙල්කිසදෙක් වගේ පූජකයෙක් වෙනවා. ඔබ සදහටම පූජකයෙක් විදිහට සේවය කරනවා.”+
7 ක්‍රිස්තුස් පොළොවේ ජීවත් වුණ කාලේදී කෑගහලා අඬඅඬ, කඳුළු සලමින් තමාව මරණයෙන් ගලවගන්න පුළුවන් තැනැත්තාණන්ට කන්නලව් කළා.+ ඔහුට ඉල්ලීම් ඉදිරිපත් කළා. යේසුස්ගේ හිතේ දෙවියන් ගැන ලොකු ගරුබියක් තිබුණ නිසා ඔහුගේ යාච්ඤාවලට දෙවියන් ඇහුම්කන් දුන්නා. 8 ඔහු ඒ තැනැත්තාණන්ගේ පුතෙක් වුණත් ඔහු වින්ද දුක් පීඩාවලින් කීකරුකම කියන්නේ මොකක්ද කියලා ඔහු ඉගෙනගත්තා.+ 9 ඒ පැත්තෙන් ඔහු සම්පූර්ණ කෙනෙක් වුණාට පස්සේ*+ ඔහුට කීකරු වෙන හැමෝටම ඔහු මාර්ගයෙන් සදාකාල ගැලවීම ලබාගන්න පුළුවන් වුණා.+ 10 මොකද දෙවියන් ඔහුව මෙල්කිසදෙක්ට සමාන උත්තම පූජකයෙක් විදිහට පත් කළා.+
11 ඔහු ගැන කියන්න අපිට ගොඩක් දේවල් තිබුණත් ඒ දේවල් පැහැදිලි කරලා දෙන එක ලේසි නැහැ. මොකද කියන දේවල් තේරුම්ගන්න ඔයාලා කිසිම උත්සාහයක් ගන්නේ නැහැ.* 12 හරි නම් මේ වෙද්දී ඔයාලා ගුරුවරුන් වෙලා ඉන්න ඕනේ. ඒත් දෙවියන්ගේ වචනයෙන් ඔයාලා මුලින්ම ඉගෙනගත්ත දේවල්+ දැන් ඔයාලට ආයෙත් උගන්නන්න වෙලා තියෙනවා. ඔයාලා ඝන ආහාර කනවා වෙනුවට ආයෙත් කිරි බොන තත්වයට පත් වෙලා. 13 කිරි විතරක් දිගටම බොන්නේ ළදරුවෝ. ඒ නිසා ඒ වගේ අයට බැහැ හරි දේ ගැන අපිට කියලා දෙන දෙවියන්ගේ වචනය* තේරුම්ගන්න.+ 14 ඝන ආහාර තියෙන්නේ අවබෝධයෙන් වැඩ කරන අයට. එයාලා හිතලා බලලා වැඩ කරන්න ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා එයාලට පුළුවන්* හරි දේ සහ වැරදි දේ අතර වෙනස හොඳින් හඳුනගන්න.