සෙකරියා
7 දාරියුස් රජකම් කරපු හතරවෙනි අවුරුද්දේ නමවෙනි මාසයේ, ඒ කියන්නේ කිස්ලෙව්* මාසයේ හතරවෙනිදා යෙහෝවා දෙවියන්ගෙන් සෙකරියාට+ පණිවිඩයක් ලැබුණා. 2 ඒ කාලයේදී යෙහෝවා දෙවියන්ට කන්නලව් කරලා ඔහුගේ අනුමැතිය ලබාගන්න කියලා බෙතෙල් නගරයේ වැසියෝ ෂරෙෂෙර්, රෙගෙම්මෙලෙක් සහ එයාගේ සේවකයන්ව පිටත් කරලා යැව්වා. 3 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාගේ ගෘහයේ* ඉන්න පූජකයන්ගෙනුත් අනාගතවක්තෘවරුන්ගෙනුත් මෙහෙම අහලා දැනගන්න කියලා එයාලට කියලා තිබුණා. “අපි* අවුරුදු ගාණක් තිස්සේ කළා වගේ දිගටම පස්වෙනි මාසයේ+ නිරාහාරව ඉඳලා වැලපෙන්නද?”
4 එතකොට ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මට මෙහෙම කිව්වා. 5 “දේශයේ වැසියන්ටත් පූජකයන්ටත් මෙහෙම කියන්න. ‘ඔයාලා මේ අවුරුදු 70+ පුරා පස්වෙනි මාසයෙත් හත්වෙනි මාසයෙත්+ නිරාහාරව හිටියා. ඒත් ඔයාලා ඇත්තටම නිරාහාරව හිටියේ මං වෙනුවෙන්ද? 6 ඔයාලා කෑවේ බිව්වේ ඔයාලවම සතුටු කරගන්න නෙවෙයිද? 7 කලින් හිටපු අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් යෙහෝවා වන මං ඔයාලට කියපු දේවල්වලට ඔයාලට කීකරු වෙන්න තිබුණා නේද?+ ඒ කාලේදී නෙගෙබ් පළාතෙත් පහත් බිම්වලත්* යෙරුසලමෙත් ඒ අවට තියෙන නගරවලත් මිනිස්සු ජීවත් වුණා. එයාලා හැමෝම හිටියේ සමාදානයෙන්.’”
8 යෙහෝවා සෙකරියාට ආයෙත් කතා කරලා මෙහෙම කිව්වා. 9 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ඔයාලට කියන්නේ මෙහෙමයි. ‘විනිශ්චය කරද්දී යුක්තිය ඉටු කරන්න.+ එකිනෙකා එක්ක වැඩ කරද්දී නොසැලෙන ආදරයක්* පෙන්වන්න.+ එකිනෙකාට දයාවත් පෙන්වන්න. 10 වැන්දඹුවන්ටවත් පියා නැති දරුවන්ටවත්*+ ඔබ අතරේ ඉන්න විදේශිකයන්ටවත්+ දුප්පතුන්ටවත්+ වංචා කරන්න එපා. එකිනෙකාට විරුද්ධව හිතින්වත් දුෂ්ට දේවල් කුමන්ත්රණය කරන්න එපා.’+ 11 ඒත් එයාලා ඒ දේවල් කනකටවත් ගත්තේ නැහැ.+ එයාලා මුරණ්ඩු විදිහට මට පිටු පෑවා.+ මං කතා කරද්දී කන් වහගත්තා.+ 12 එයාලාගේ හිත් ගල්* වගේ දැඩි කරගත්තා.+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා තමන්ගේ බලය මාර්ගයෙන් අතීතයේ හිටපු අනාගතවක්තෘවරුන්ට දීපු නීතියට* එයාලා අකීකරු වුණා. ඔහු කියපු දේවල් ගැන එයාලා කිසි තැකීමක් කළේ නැහැ.+ ඒ නිසා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාට එයාලා එක්ක ඇති වුණේ ලොකු කේන්තියක්.”+
13 “‘මං* කතා කරද්දී එයාලා මට ඇහුම්කන් දුන්නේ නැහැ.+ ඒ නිසා එයාලා මට අඬගහද්දී මාත් එයාලට ඇහුම්කන් දුන්නේ නැහැ.’+ එහෙම කියන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවියන්. 14 ‘මම කුණාටුවක් යවලා නොදන්න දේශවලට එයාලව විසුරුවාහැරියා.+ එයාලාගේ දේශය පාළුවට ගියා. කිසිම කෙනෙක් ඒ දේශයට ආපහු හැරිලා ආවේවත් ඒ මැදින් ගමන් කළේවත් නැහැ.+ මොකද එයාලා අලංකාර දේශය නැති නාස්ති කරලා දැම්මා. කොච්චරද කියනවා නම් ඒක දැක්කාම මිනිස්සුන්ගේ ඇඟ කිලිපොළා යනවා.’”