අප්‍රිකාවේ වන සතුන් සුරකින්නේ කවුද?
දකුණු අප්‍රිකාවේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
අප්‍රිකානු ජාතිකයන් තමන්ට උරුම වන සතුන්ට සලකන ආකාරය පිළිබඳ ව අකාරුණික දේවල් සමහරක් කියා තිබේ. ‘ඔවුහු උන් ව සැබෑ අගය කිරීමකින් යුක්ත ව නොසලකති; ඔවුන් උන් ව සලකන්නේ නිකම් ම ආහාර සහ මුදල් උපයා ගැනීමේ මාධ්‍යයක් ලෙස පමණි,’ යනුවෙන් බැහැ දැකීමට පැමිණෙන සමහරු කියති. මෙබඳු නිගමනවලට බැසීමට හේතුවක් තිබේ ද? අභය භූමිවල බොහෝ විට බහුල ව සිටින්නේ බටහිර සංචාරකයෝ ය, එහි ස්වදේශීන් දක්නට ලැබෙන්නේ ඉතා අල්ප වශයෙනි. එහෙත් දකුණු අප්‍රිකාවේ සූලූ ජාතික නායකයෙක් වරක් මෙසේ පැහැදිලි කළේ ය: “කළු ජාතිකයන් අභය භූමිවලට යාමේ දී දුෂ්කරතා තිබේ. අපට නම්, වන සංරක්ෂණය සුඛෝපභෝගී යමකි, එය භුක්ති වීඳීමට සුදුසු ආර්ථික තත්ත්වයක සිටින්නේ කළු ජාතිකයන් අතළොස්සක් පමණි.”
අද දින අප්‍රිකානු ජාතිකයන්ගෙන් බොහෝ දෙනෙක්, ඔවුන්ගේ මුතුන් මිත්තන් මෙන් නොව, නගරයේ මුඩුක්කුවල හැදී වැඩෙන අතර, එහි දී ඔවුහු වන සතුන්ගෙන් සම්පූර්ණයෙන් ම ඈත් වී සිටිති. තව ද පිටිසර වාසීහු බොහෝ විට දිළිඳුකමට සහ නොසැලකිල්ලට ගොදුරු වූ අය වෙත්. “ස්වාභාවික සෞන්දර්යය, සංස්කෘතික සහ අධ්‍යාපනික හේතූන් උදෙසා සතුන් ව ආරක්ෂා කිරීම ආදියට හැකියාව තිබෙන්නේ බඩ පුරවා ගෙන සිටින අයට පමණි,” යනුවෙන් බටහිර අප්‍රිකානු රටක වන සත්ත්වාරක්ෂකයෙකු පැහැදිලි කළේ ය.
මෙවන් නිෂේධාත්මක සාධක තිබෙන නමුත්, අප්‍රිකානු කෞතුක වස්තු විකුණන සාප්පුවකට යාමෙන් පැහැදිලි වන පරිදි, වන සතුන් අප්‍රිකානු කලාවේ ජනප්‍රිය තේමාවකි. පුරාතන කාලයේ පටන්, වන සතුන් අප්‍රිකානු කලාවේ තේමාවක් වූ බවට පුරා විද්‍යාවෙන් හෙළි වේ. වන සතුන් කලාත්මක ලෙස අගය කරන බවට මෙය ඔප්පුවක් නොවේ ද?
දකුණුදිග අප්‍රිකාවේ අභය භූමිවල වසර ගණනාවක් නිවාඩු ගෙන ඇති ඒබල් සහ රෙබෙකා සැලකිල්ලට ගන්න. එසේ වුවත් ඔවුන් දෙදෙනා ම ඇති දැඩි වුණේ දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයන්ගේ ගම්මානවල ය. වන සතුන් සම්බන්ධයෙන් රෙබෙකා උනන්දුවක් දක්වන්නට පටන් ගත්තේ ජොහැනස්බර්ග් සහ ප්‍රෙටෝරියා හි පිහිටි සත්වෝද්‍යාන නිසා ය. “කුඩා දරුවෙක් ව සිටිද්දී වන සතුන් ව අපට දැක ගන්නට ලැබුණේ අපි මෙම සත්වෝද්‍යාන බලන්න ගිය විට පමණි.”
ඒබල් වන සතුන්ට ඇලුම් කරන්නට පටන් ගත්තේ වෙනත් ආකාරයකිනි. ඔහු බොහෝ විට පාසල් නිවාඩු ගත කළේ පිටිසරබඳ පළාත්වල ජීවත් වූ ඔහුගේ ආච්චි සහ සීයා සමඟ ය. “මගේ සීයා, මට විවිධ සත්ත්වයන් පෙන්වා ඔවුන්ගේ පුරුදු මට පැහැදිලි කරනවා. හනි බැජර් නමැති (වලස් පවුලට අයත්) සත්ත්වයෙකුත් සතුන් ව මී වදවලට මඟ පෙන්වන බවට විශ්වාස කරනු ලබන දක්ෂ කුඩා පක්ෂියෙක් වන හනි ගයිඩ් යනුවෙන් හඳුන්වනු ලබන කුරුල්ලෙකුත් ගැන ඔහු කීවා මට මතකයි” යනුවෙන් ඔහු මතකයට නංවයි. අවුරුදු 12ක පිරිමි ළමයෙකු වශයෙන් ඔහු ලැබූ මෙම අරුම පුදුම දනවන අත් දැකීම ඒබල් කියයි.
“එක දවසක්, අපි කැලෑවේ ඇවිදින්නට ගිය විට, අපට හඬ ගසනවා මෙන් පෙනෙන්නට තිබූ කුඩා පක්ෂියෙකු වෙතට සීයා මගේ අවධානය යොමු කළා. ඌ හනි ගයිඩ් පක්ෂියෙක්. ඉතින් එම පක්ෂියා පඳුරෙන් පඳුරට පියාසර කරනවාත් සමඟ ම අපත් ඌ පසු පසින් ගියා. මෙසේ පැය භාගයකටත් වැඩි කාලයක් ගත විය. අවසානයේ දී පක්ෂියා ගසක අත්තක් මත ලැඟුම් ගෙන හඬ නැගීම නතර කළා. අපි දැන් මී වදය සොයා ගන්න ඕනැ කියා මගේ සීයා කීවා. ඔහු කී ලෙස ම, ලොකු ගලක් යට තිබූ සිදුරක් තුළට මී මැස්සෝ ඇතුල් වෙනවා අප විගස දුටුවා. මගේ සීයා ප්‍රවේසමින් මී පැණි ටිකක් ගත්තා. ඊට පස්සේ ඔහු පිලවුන් සහිත මී වඳ කැබැල්ලක් රැගෙන එය ගල උඩ තිබ්බා. එය, මී වදය වෙතට අප ව ගෙන ආවාට පක්ෂියාට ස්තුති කිරීමේ ඔහුගේ ක්‍රමය විය.”
මිනිසා සහ හනි ගයිඩ් පක්ෂියා අතර තිබෙන මෙම අපූරු සම්බන්ධතාවය පක්ෂි විශේෂඥයන් විසින් හොඳින් ලේඛනගත කොට තිබේ. “එම අත් දැකීම මම කිසි දිනක අමතක කරන්නේ නැහැ” යනුවෙන් ඒබල් තවදුරටත් පවසයි. “වන ජීවිතය පිළිබඳ ව වඩා වැඩියෙන් ඉගෙන ගැනීමට එමගින් මට ආශාවක් ඇති වුණා.”
ටැන්සානියාවේ මාසායි සටන්කරුවෙක් ව සිට, පසු ව වන සත්ත්ව සංරක්ෂකයෙකු වශයෙන් සුදුසුකම් ලැබූ, සොලමන් ඕලේ සයිබූල්, බටහිර කර්තෘවරයෙකුට පහත සඳහන් පරිදි සන්සුන් ව පැහැදිලි කළ විට නියම තත්ත්වය හෙළි විය: “වන සත්ත්ව සංරක්ෂණයේ අර්ථ-විද්‍යාව පමණක් නොව, නමුත් තක්සේරු කළ නොහැකි වටිනාකම් ද අගය කරන්නා වූ අප්‍රිකානුවන් විශාල සංඛ්‍යාවක් මම අඳුරනවා . . . මේ මිනිස්සු—එනම් අප්‍රිකානුවන්—ඔවුන්ට වාඩි වී, ස්වභාව ධර්මයා නොයෙක් සියුම් ආකාරවලින් හෙළි වන ආකාරය බැලිය හැකි අයයි. ලාදම් පැහැති කඳුවලට ඉහළින් ඉර බැස යාම, විචිත්‍ර දර්ශන සහ ගංගා හා තැනිතලාවලින් යුත් භූ දර්ශන, සම්පූර්ණ නිදහසේ හැසිරෙන ජීවීන්ගේ විවිධත්වය සහ බහුලත්වය—මේ සියල්ල ම මන බඳින ආශ්චර්යයන් රාශියක් ගොඩ නගයි. ඇත්තට ම, මෙම ඉතා සියුම් හැඟීම සීමා වී තිබෙන්නේ යුරෝපයටත් අමෙරිකාවටත් පමණක් ද?”
එසේ නොවේ, නගරයේ ජීවත් වන යටහත් පහත් වැසියන්ගේ සිට උසස් අධ්‍යාපනයක් ලැබූ විද්‍යාඥයන් දක්වා—අප්‍රිකාවේ වන සත්ත්ව උරුමය වෙත ඇදී නොයන්නේ කාගේ සිත ද? මෑතක දී දකුණු අප්‍රිකාව සහ එහි තිබෙන කෲගර් ජාත්‍යන්තර උද්‍යානය බලන්නට ගිය ජර්මානු පශු වෛද්‍ය සිසුවියක් මෙසේ පැවසුවා ය: “මේ රට සම්බන්ධයෙන් වඩාත් ම සිත් ඇදගන්නා මෙන් ම මන බන්ධනීය දෙය බවට මා සොයා ගත්තේ ස්වභාව ධර්මය සහ වන සතුන් ය. ජර්මනියේ, විශාල සත්ත්වයන්ගේත් බිම් ප්රමාණයේත් හීනතාවය නිසා, මෙතරම් විශාල පරිමාණයෙන් සතුන් නිදැල්ලේ හැසිරීම සහ වන සංරක්ෂණය තිබීම මගේ දැනුම ඉක්මවා යයි.”
තවදුරටත් බොට්ස්වානා, නැමීබියා සහ සිම්බාබ්වේ හි පුළුල් ව පැතිරී තිබෙන අභය භූමි කෙරෙහි ද සංචාරකයන්ගේ සිත් ඇදී යයි. එහෙත් මුළු අප්‍රිකාවේ ම සිටින විශාල සත්ත්වයන්ගෙන් වැඩි සංඛ්‍යාවක් සමහර විට සිටින්නේ ටැන්සානියාවේ පිහිටි සෙරෙන්ගෙටි ජාත්‍යන්තර වන උද්‍යානයේ සහ කෙන්යාවේ පිහිටි මසායි මාරා අභය භූමියේ ය. මෙම ප්‍රසිද්ධ උයන් දෙක එකිනෙකට යාබද ව තිබෙන අතර, එහි සතුන් ව කොටු කර තබා නැත. “සෙරන්ගෙටි-මාරා යන උද්‍යාන දෙක එකට ගත් කල, ලෝකයේ තිබෙන විශාලතම වන සත්ත්ව සංඛ්‍යාවක්: එනම් විල්ඩ්බීස්ට් නමැති ගව වර්ගයෙන් මිලියන 1.7ක්, කුරංගයෝ 5,00,000ක්, සීබ්‍රාවෝ 2,00,000 ක්, ඊලන්ඩ් නමැති මුව වර්ගයෙන් 18,000ක් මෙන් ම, අලි, සිංහ සහ චීටාවෝ සැලකිය යුතු ප්‍රමාණයක් රැකවල් ලැබෙන” බව ඉන්ටනැෂනල් වයිල්ඩ්ලයිෆ් සඟරාව පැහැදිලි කරයි.
දකුණු අප්‍රිකානු සඟරාවක් වන එන්ඩේන්ජර්ඩ් වයිල්ඩ්ලයිෆ් නමැති සඟරාවේ සංස්කාරක, ජෝන් ලෙජර්, 1992 දී ප්‍රථමවරට කෙන්යාව බැලීමට ගිය අතර, ඔහු එම රට ගැන විස්තර කළේ ‘සැබෑ වූ සිහිනයක්’ බඳු තැනක් වශයෙනි. මසායි මාරා උයන හරියට “කෝන්වාලස් හැරිස් [19වන ශතවර්ෂයේ කර්තෘවරයෙක් සහ දඩයක්කාරයෙක්] 1820 ගණන්වල දී දකුණු අප්‍රිකාවේ අභ්‍යන්තරය ගවේෂණය කළ විට දුටු භූ දර්ශන මෙන් විය යුතුයි. එහි ඇසට පෙනෙන තෙක් මානයේ පැතිරී යන තණ බිම් ද, තැනින් තැන පිහිටි කටු පඳුරු ද, එමෙන් ම වන සතුන් විශාල ප්‍රමාණයක් ද විය!” යයි ඔහු ලීවේ ය.
අතීත මහිමයේ සේයාවක්
අප්‍රිකාවේ බොහෝ තැන්වල, අතීත ශතවර්ෂවල දී යුරෝපියානු පදිංචිකරුවන් දුටුවාටත් වඩා අඩු සත්ත්ව සංඛ්‍යාවක් අපට අද දින දක්නට තිබීම කනගාටුවට හේතුවකි. නිදසුනක් වශයෙන්, 1824 දී ප්‍රථම සුදු ජාතිකයා, නටාල් (දැන් දකුණු අප්‍රිකාවේ ප්‍රදේශයක්) නමැති බ්‍රිතාන්‍යය ජනාවාසය බවට පත් වූ ස්ථානයේ පදිංචි වූයේ ය. එම කුඩා ජනාවාසය වන සතුන් රාශියකගෙන් පිරී ඉතිරුණ හෙයින්, දඩයමේ ජය සලකුණු සහ වන සත්ත්වයන්ගෙන් සාදන ලද වෙනත් දෑ එහි ප්‍රධාන ව්‍යාපාරය බවට පත් විය. එක වසරක් ඇතුළත, විල්ඩිබීස්ට් සහ සීබ්‍රාවෝ 62,000කගේ හම්, ඩර්බන් වරායෙන් නැව්ගත කරන ලදි, තවත් ප්‍රධාන වසරක් තුළ, ඇත් දළ ටොන් 19කට වඩා වැඩියෙන් අපනයනය කරන ලදි. ඉක්මනින්, සුදු ජාතිකයන්ගේ සංඛ්‍යාව 30,000 දක්වා වැඩි වී තිබූ නමුත්, සතුන්ගෙන් වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබුණි. “ඉතිරි වී සිටින්නේ සත්ත්වයන්ගෙන් ඉතා සුළු කොටසක් පමණි” යනුවෙන් නටාල් හි මහේස්ත්‍රාත්වරයෙක් වාර්තා කළේ ය.
විසිවන ශතවර්ෂයේ සෑහෙන කාලයක් ගත වන තෙක් යටත් විජිත ආණ්ඩු ක්‍රම මගින් වන සතුන් ව විනාශ කිරීමට ඉඩ දෙනු ලැබූ අප්‍රිකාවේ වෙනත් ප්‍රදේශ ගැන ද ඊට සමාන දුක්ඛිත කථාන්තරයක් කිව හැකි ය. වර්ෂ 1975 දී පෘතුගාලයෙන් නිදහස් වූ ඇන්ගෝලාව සැලකිල්ලට ගන්න. මයිකල් මෑන්ගේ කලහාරී නමැති පොතේ ඔහු ලීවේ, “පෙර තිබූ යටත් විජිත පාලන ක්රමයේ වාර්තාව, ප්‍රසන්න එකක් නොවේ. ගව පාලනය සඳහා ඌඊලා පළාත සූදානම් කිරීම සඳහා, 1950වන වර්ෂයේ අපකීර්තියට පත් ඩිප්ලෝමා ලෙජීස්ලෙටිවෝ අංක 2242 යන අඥා පනත එම ප්‍රදේශය නිදහස් දඩයම් කලාපයක් බවට ප්‍රකාශ කළේ ය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මහත් සත්ත්ව ඝාතනයක් සිදු විය . . . සම්පූර්ණයෙන් ම වාගේ සෑම විශාල ක්ෂීරපායී සත්ත්වයෙක් ම තුරන් කරන ලදි. එම ඝාතනයට කළු රයිනොසිරසයෝ 1,000ක්, ජිරාෆ් දහස් ගණනක් මෙන් ම, විල්ඩිබීස්ට්, සීබ්‍රාවෝ සහ මී හරක් දස දහස් සංඛ්‍යාවක් ඇතුළත් විය. වර්ෂ දෙකහමාරකට පමණ එම ආඥා පනත පත්‍රය අවලංගු නොකරනු ලැබූ අතර, එසේ කරනු ලබන විට හානිය සිදු කර හමාර වූ හෙයින්, කිසි සත්ත්වයෙක් ඉතිරි වී සිටියේ නැත.”
එසේ වුවත් අද දින කෙබඳු තත්ත්වයක් තිබේ ද, එමෙන් ම අප්‍රිකාවේ වන සතුන්ට ඇත්තේ කෙබඳු අනාගතයක් ද? g93 11/8
[5 පිටුවෙහි ඇති කොටුව]
මුදල් සඳහා වන සතුන්ගේ සංරක්ෂණය
අප්‍රිකාවේ අභය භූමි සහ ජාත්‍යන්තර උද්‍යාන එම විශාල මහාද්වීපය හරහා තක්සේරු කරන ලද වර්ග සැතපුම් 3,30,000ක විසිරී තිබේ. මෙය බ්‍රිතාන්‍යය සහ ජර්මනිය එකතු කළාටත් වඩා අතිශයින් විශාල වූ ප්‍රදේශයකට සමාන වේ.
මෙම වන සත්ත්ව සංරක්ෂණ ස්ථාන බොහොමයක, විශාල පහ යනුවෙන් හඳුන්වනු ලබන සත්ත්වයන් ව—එනම් අලියන්, රයිනෝසිරසයන්, සිංහයන්, දිවියන් සහ මී හරකුන් ඔබට දැකිය හැක. අහසේ පියාසර කරන මහානුභාව සම්පන්න රාජාලීන්ගේ සිට පාරවල් හරහා උන්ගේ ගොම ගුළි පෙරළමින් යන පහත් ගොම කුරුමිණියන් දක්වා, චිත්තාකර්ෂණීය සත්ත්වයන් ගණනාවක් ඇත.
පිටදේශයන්ගෙන් පැමිණෙන දහස් සංඛ්‍යාත සංචාරකයෝ මෙම වන සතුන් අගය කරති. ඔවුහු සෑම වසරක් පාසා ම වන සත්ත්වයන් කෙරෙහි උනන්දුව දක්වන අයට වුවමනා දේ සලසා දෙන රටවලට ඩොලර් බිලියනයකටත් වඩා වැඩි මුදලක් ලබා දෙති. එසේ ය, වන සත්ත්ව සංරක්ෂණ ස්ථාන මුදල් උපයා දෙයි.
[4 පිටුවෙහි ඇති පින්තූර]
ජය සලකුණු සහ හම් සඳහා, දකුණු අප්‍රිකාවේ වන සතුන් අසංඛ්‍යාත දහස් ගණනකින් මරනු ලැබුවේ බොහෝ කලකට පෙර නොවේ
[හිමිකම් වඟන්තිය]
Courtesy Africana Museum, Johannesburg