පරිච්ඡේදය 39
දේවරාජ්‍යයේ රජ ජය ලබයි!
දර්ශනය 13—එළිදරව් 19:11-21
සිදු වන දේ: සාතන්ගේ දුෂ්ට ලෝකය විනාශ කිරීමට යේසුස් සහ ඔහුගේ ස්වර්ගික හමුදාවන් පියවර ගනී
ඉටු වන කාලය: මහා බැබිලෝනියේ විනාශයෙන් පසුව
1. දෙවිගේ මහත් දවසේ යුද්ධයේදී සිදු වෙන්නේ කුමක්ද? ඊට පෙර සිදු වෙන්නේ මොනවාද?
මිනිසුන් ලෝක විනාශයක් ගැන මහත් බියකින් පසු වෙනවා. ඔවුන් හිතන්නේ මුළු ලෝකයම අඟුරු ගොඩක් බවට පත් වෙයි කියායි. නමුත් දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ඇලුම්ව සිටින අය ඉදිරියේදී ඇත්තටම සිදු වන දේ ගැන දැනුවත් වී සිටිනවා. යෙහෝවා දෙවි මෙම ලෝකයේ දුෂ්ට ජාතීන් මත තම විනිශ්චය ඉටු කරන කාලය අත ළඟ බව ඔවුන් දන්නවා. එය මිනිසුන්ගේ යුද්ධයක් නම් නෙවෙයි. නමුත් ‘සර්වපරාක්‍රම තැනැත්තා වන දෙවිගේ මහත් දවසේ යුද්ධයයි.’ එදාට ලෝකයේ සියලුම පාලකයන්ට සිදු වෙනවා දෙවිට ගණන් දෙන්න. (එළිදරව් 16:14, 16; එසකියෙල් 25:17) මෙම යුද්ධයට පෙර දේවල් කිහිපයක්ම සිදු විය යුතුයි. මුලින්ම මහා බැබිලෝනියේ විනාශය සිදු වෙනවා. මහත් පීඩාව ආරම්භ වෙන්නේ ඒ විනාශයත් සමඟයි. ඉන්පසුව සාතන්ගේ පෙලඹවීම් මත රතු පාට වන මෘගයා සහ එහි අං දසය දෙවිගේ ජනයාට ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගන්නවා. දෙවිගේ ස්ත්‍රිය වන ඔහුගේ ස්වර්ගික සංවිධානයට දැඩි ලෙස වෛර කරන යක්ෂයා ඒ අවස්ථාවේදී අදිටන් කරන්නේ තමාගේ අණසක යටතේ සිටින සියලුදෙනාව යොදාගෙන එම ස්ත්‍රියගෙන් බිහි වුණු ඉතිරි අය සමඟ අවසානය දක්වා සටන් කිරීමටයි. (එළිදරව් 12:17) සාතන්ට ඒ සඳහා ලැබෙන අන්තිම අවස්ථාව මෙයයි!
2. මාගොග් දේශයේ ගොග් කියන්නේ කාටද? තම සෙනඟට විරුද්ධව මෙම ප්‍රහාරය දියත් කිරීමට යෙහෝවා දෙවි ගොග්ව පොලඹවන්නේ කෙසේද?
2 යක්ෂයාගේ මෙම දරුණු ප්‍රහාරය ගැන එසකියෙල් 38වන පරිච්ඡේදයේ විස්තර කර තිබෙනවා. එහිදී සාතන්ව හඳුන්වන්නේ “මාගොග් දේශයේ ගොග්” හැටියටයි. යෙහෝවා දෙවි සංකේතවත් ආකාරයකින් ගොග්ගේ හකුවලට බිලි කොකු දමා ඔහුවත් ඔහුගේ අසංඛ්‍යාත හමුදාවත් ප්‍රහාරයකට ඇදගන්නවා. දෙවි මෙය කරන්නේ කෙසේද? දෙවිගේ සාක්ෂිකරුවන් කිසිම ආරක්ෂාවක් නැති පිරිසක් සේ දකින්න සැලැස්වීමෙනුයි. ගොග් ඔවුන්ව දකින්නේ වන මෘගයාට සහ උගේ රූපයට නමස්කාර කිරීම ප්‍රතික්ෂේප කළ එකම පිරිස ලෙසයි. ඔහු ඔවුන්ව ‘ජාතීන් අතරෙන් රැස් වූ . . . දේපළ උපයාගත් පොළොව මැද වසන සෙනඟක්’ ලෙස දකින බව පවසන්නේ එනිසයි. ඇත්තටම ඔවුන් යෙහෝවා දෙවිගෙන් ලබන ආශීර්වාද සහ ඔවුන් අතර ඇති ශක්තිමත් බැඳීමත් ගොග්ව ප්‍රකෝප කරනවා. මේ නිසා ගොග් සහ මුහුදෙන් මතු වූ අං දසය ඇති වන මෘගයා ඇතුළු ඔහුගේ හමුදාවන් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට ඔවුන් වෙතට වේගයෙන් ඇදී එනවා. නමුත් මහා බැබිලෝනියට සිදු වුණු දේ දෙවිගේ සෙනඟට නම් වෙන්නේ නැහැ. ඔවුන් දෙවිගේ පවිත්‍ර සේවකයන් ලෙස ඔහුගේ ආරක්ෂාව ලබනවා.—එසකියෙල් 38:1, 4, 11, 12, 15; එළිදරව් 13:1.
3. යෙහෝවා දෙවි ගොග් සහ ඔහුගේ මුළු සමූහය සුනුවිසුනු කරන්නේ කෙසේද?
3 යෙහෝවා දෙවි ගොග්ව සහ ඔහුගේ මුළු සමූහය සුනුවිසුනු කරන්නේ කෙසේද? දේවවචනය පිළිතුරු දෙන්නේ මෙසේයි. “ඔහුට විරුද්ධව කඩුවක් ගෙනෙන්ට මාගේ සියලු කඳුවලට අඬගසන්නෙමියි ස්වාමි වූ යෙහෝවා කියන්නේය. එක් එක් කෙනාගේ කඩුව තම තමාගේ සහෝදරයාට විරුද්ධ වන්නේය.” මෙම යුද්ධයේදී න්‍යෂ්ටික අවිවලින්වත් වෙනත් කිසිම අවියකින්වත් ප්‍රයෝජනයක් නැහැ. එයට හේතුව යෙහෝවා දෙවිම ප්‍රකාශ කරන්නේ මෙසේයි. “මම ඔහුට විරුද්ධව වසංගතයෙන්ද ලෙයින්ද සාක්ෂි දී ඔහු හා ඔහුගේ සමූහයා පිටද ඔහු සමඟ සිටින බොහෝ වර්ගයන් පිටද ගලා යන වර්ෂාවක්ද මහත් ගල් වර්ෂාවක්ද ගින්න හා ගෙන්දගම්ද වස්වන්නෙමි. මම උතුම් වන්නෙමි. ශුද්ධ බව පෙන්වන්නෙමි. බොහෝ වර්ගයන්ගේ ඇස් හමුයෙහිදී මා අඳුන්වා දෙන්නෙමි. මම යෙහෝවායයි ඔවුහු දැනගන්නෝය.”—එසකියෙල් 38:21-23; 39:11; යෝෂුවා 10:8-14ද, විනිශ්චයකාරයෝ 7:19-22ද, 2 ලේකම් 20:15, 22-24ද, යෝබ් 38:22, 23ද බලන්න.
“විශ්වාසවන්තය හා සැබෑය”
4. යොහන් යුද්ධයට සැරසී සිටින යේසුස් ක්‍රිස්තුස්ව විස්තර කරන්නේ කෙසේද?
4 යෙහෝවා දෙවි දැන් ගොග්ට සහ ඔහුගේ සමූහයට විරුද්ධව කඩුවක් ගෙනෙන්න කියා අණ කරනවා. මේ කඩුව තිබෙන්නේ කාගේ අතේද? මෙයට පිළිතුරු අපට එළිදරව් පොතේ තවත් දර්ශනයකින් දැනගත හැකියි. යොහන්ගේ ඇස් ඉදිරියේම ස්වර්ගය විවෘත වෙනවා. ඔහු දකින්නේ ඉතා පුදුමසහගත දර්ශනයක්. එනම් යේසුස් ක්‍රිස්තුස් යුද්ධයට සැරසී සිටින ආකාරයයි. “තවද මම ස්වර්ගය ඇරී තිබෙනවා දුටිමි. බලන්න! සුදු අශ්වයෙක් සිටියේය. ඌ මත ඉඳගෙන සිටි තැනැත්තා, විශ්වාසවන්තය හා සැබෑය කියා හඳුන්වනු ලැබේ. ඔහු ධර්මිෂ්ඨකමින් විනිශ්චයද යුද්ධයද කරන්නේය. ඔහුගේ ඇස් ගිනි දැල්ලක් මෙනි. ඔහුගේ හිස මත බොහෝ ඔටුනුද තිබේ.”—එළිදරව් 19:11, 12අ.
5, 6. (අ) ‘සුදු අශ්වයාගෙන්’ සංකේතවත් වෙන්නේ කුමක්ද? (ආ) “විශ්වාසවන්තය හා සැබෑය” යන නාමය අදාළ වෙන්නේ කාටද? (ඇ) “ඔහුගේ ඇස් ගිනි දැල්ලක් මෙනි” කියා කීමෙන් අදහස් වෙන්නේ කුමක්ද? (ඈ) ඔහුට “බොහෝ ඔටුනු” තිබීමෙන් අදහස් වෙන්නේ කුමක්ද?
5 අශ්වයන් හතරදෙනා පිළිබඳව මීට කලින් දුටු දර්ශනයේදී මෙන්ම මෙම ‘සුදු අශ්වයාගෙන්’ සංකේතවත් වෙන්නේ දෙවිගේ ප්‍රමිතියට අනුව සිදු වන ධර්මිෂ්ඨ යුද්ධයක්. (එළිදරව් 6:2) දෙවිගේ පුත්‍රයන් අතරින් මේ ධර්මිෂ්ඨ යුද්ධය සඳහා වඩාත්ම සුදුසු වෙන්නේ කවුද? ඔහුව හඳුන්වා ඇත්තේ “විශ්වාසවන්තය සහ සැබෑය” කියායි. එසේනම් ඔහු “විශ්වාසවන්ත, සැබෑ සාක්ෂිකරුවා” වන යේසුස් ක්‍රිස්තුස් විය යුතුයි. (එළිදරව් 3:14) ඔහු යුද්ධයට යන්නේ යෙහෝවා දෙවිගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් ඉටු කිරීමටයි. එමනිසා ඔහු දෙවි විසින් පත් කර ඇති විනිශ්චයකරු ලෙස එනම් “බලවත් දෙවි” කෙනෙක් ලෙස ක්‍රියා කරනවා. (යෙසායා 9:6, NW) තම සතුරන්ව විනාශ කිරීම වෙත යොමු කර තිබෙන ඔහුගේ ඇස් භය උපදනවනසුලුයි. ඒවා හරියට “ගිනි දැල්ලක්” වගෙයි.
6 යුද්ධයට සැරසී සිටින මෙම රජුගේ හිසේ බොහෝ ඔටුනු තිබෙනවා. මීට කලින් යොහන් දුටු දර්ශනයේ මුහුදෙන් මතු වූ වන මෘගයාට ඔටුනු දසයක් තිබෙනවා ඔබට මතක ඇති. එයින් සංකේතවත් වුණේ පොළොව මත ඌට තාවකාලිකව පාලනය කිරීමට බලය ලැබී තිබූ බවයි. (එළිදරව් 13:1) නමුත් යේසුස්ට “බොහෝ ඔටුනු” තිබෙනවා. එයින් අදහස් කරන්නේ කුමක්ද? ඔහු ‘රජවරුන්ගේ රජ සහ ස්වාමිවරුන්ගේ ස්වාමීන්’ වන නිසා ඔහුගේ පාලනයේ උතුම්කම එයින් කාවද්දනවා. ඇත්තටම ඔහුගේ තේජවත් පාලනය වෙන කිසිම පාලනයකට සම කරන්න බැහැ.—1 තිමෝති 6:15.
7. යේසුස්ට දී තිබෙන නම කුමක්ද?
7 යොහන් ඊළඟට පවසන්නේ මෙසේයි. “ඔහුම මිස වෙන කිසිවෙකු නොදන්නා, ලියා ඇති නමක් ඔහුට තිබේ.” (එළිදරව් 19:12ආ) දෙවිගේ පුත්‍රයාව බයිබලයේ යේසුස්, එම්මානුවෙල් සහ මිකායෙල් යනාදි විවිධ නම්වලින් හඳුන්වා තිබෙනවා. නමුත් මෙම ‘නොදන්නා නම’ යොදාගෙන තිබෙන්නේ ස්වාමීන්ගේ දවසේදී යේසුස් භුක්ති විඳින විශේෂ බලතල සහ වරප්‍රසාද දැක්වීමටයි. (එළිදරව් 2:17 බලන්න.) වර්ෂ 1914 සිට යේසුස් භුක්ති විඳින තත්වය ගැන විස්තර කරමින් යෙසායා පැවසුවේ මෙසේයි. “ඔහුව උතුම් උපදේශකයාණෝ කියාද, බලවත් දෙවි කියාද, සදාකාල පියාණෝ කියාද සමාදානයේ කුමාරයා කියාද හඳුන්වයි.” (යෙසායා 9:6, NW) යේසුස් භුක්ති විඳින ඉතා උතුම් වරප්‍රසාද ලත් තත්වය ඔහුගේ නාමයෙන් නියෝජනය වන බව පාවුල් පැහැදිලි කළා. ඔහු පැවසුවේ මෙසේයි. “දෙවි [යේසුස්ව] වඩා උසස් තත්වයකට පත් කළ අතර, අන් සියලු නාමවලට වඩා උසස් නාමය ඔහුට කරුණාවන්තව දුන්නේය. ඔහු එසේ කළේ ස්වර්ගයෙහිද, පොළොවෙහිද, පොළොව යට සිටින සියල්ලන් යේසුස්ගේ නාමයෙන් දණ නමන පිණිසය.”—ෆිලිප්පි 2:9, 10.
8. ලියවී ඇති නම යේසුස් පමණක් දැනගෙන සිටින්නේ ඇයි? තමා ලබන උතුම් වරප්‍රසාද සමහරක් ඔහු බෙදාගන්නේ කවුරුන් සමඟද?
8 යේසුස්ට ලැබෙන වරප්‍රසාද අද්විතීයයි. යෙහෝවා දෙවි හැරුණු කොට එතරම් උතුම් වරප්‍රසාද හිමි කරගැනීමෙන් අදහස් වන දේ තේරුම්ගෙන සිටින්නේ යේසුස් පමණයි. (මතෙව් 11:27ද බලන්න.) එමනිසා දෙවිගේ සියලුම මැවිලි අතරින් මෙම නම පූර්ණ ලෙස අවබෝධ කරගෙන සිටින්නේ යේසුස් පමණයි. නමුත් යේසුස් මේ වරප්‍රසාද සමහරක් තම මනාලිය සමඟද බෙදාගන්නවා. “ජයගන්නාට, මාගේ අලුත් නාමය ඔහු පිට ලියන්නෙමි” යන පොරොන්දුව ඔහු දෙන්නේ ඒ නිසයි.—එළිදරව් 3:12.
9. (අ) යේසුස් ‘ලේ ඉසිනු ලැබූ පිටත වස්ත්‍රයක් පැළඳ’ සිටීමෙන් අදහස් වෙන්නේ කුමක්ද? (ආ) යේසුස්ට “දෙවිගේ වචනය” යන නම දී තිබෙන්නේ ඇයි?
9 යොහන් මෙසේද පවසනවා. “ඔහු, ලේ ඉසිනු ලැබූ පිටත වස්ත්‍රයක් පැළඳ සිටින්නේය. දෙවිගේ වචනය යන නමින් ඔහුව හැඳින්වේ.” (එළිදරව් 19:13) මෙය කාගේ ‘ලේද?’ එය මිනිස් වර්ගයා උදෙසා යේසුස් වැගිරෙවූ ලේ විය හැකියි. (එළිදරව් 1:5) නමුත් මෙහි අවට පාඨ සම්බන්ධය දෙස බලද්දී අපට පෙනෙන්නේ යෙහෝවා දෙවිගේ විනිශ්චයන් ඉටු වෙද්දී වගුරුවන ලද ඔහුගේ සතුරන්ගේ ලේ එයින් නියෝජනය විය හැකි බවයි. කලින් දර්ශනයකදී අප දුටුවේ පොළොවේ මිදිවැලේ මිදි පොකුරු රැස් කර ඒවා දෙවිගේ කෝපය නමැති මහත් වයින් යන්ත්‍රයේ දමා පාගන විට එහි ලේ “අශ්වයන්ගේ කටකලියා තරම් ඉහළට” ආ බවයි. එයින් දෙවිගේ සතුරන්ට එරෙහිව විශිෂ්ට ජයක් ලැබූ ආකාරය පිළිබිඹු වුණා. (එළිදරව් 14:18-20) ඒ හා සමානව යේසුස්ගේ පිටත වස්ත්‍රය මත ලේ ඉස තිබීමෙන් අදහස් වෙන්නේ ඔහු ලබන ජයග්‍රහණය සම්පූර්ණ මෙන්ම තීරණාත්මක එකක් වන බවයි. (යෙසායා 63:1-6ද බලන්න.) දැන් යොහන් නැවතත් යේසුස්ව නමකින් හඳුන්වනවා. ඒ නම සියලුදෙනාටම හුරු “දෙවිගේ වචනය” යන නමයි. මෙයින් යුද්ධයට සැරසී සිටින යේසුස්, දෙවිගේ ප්‍රධාන නියෝජිතයා හා සත්‍යය වෙනුවෙන් සටන් කරන්නා බව දන්වනු ලබනවා.—යොහන් 1:1; එළිදරව් 1:1.
යේසුස් සමඟ යුද්ධයට යන අය
10, 11. (අ) මෙම යුද්ධයේදී යේසුස් සමඟ තවත් අය හවුල් වන බව යොහන් පෙන්වන්නේ කෙසේද? (ආ) අශ්වයන් සුදු අශ්වයන් වීමෙන් හා අසරුවන් “සුදු, පිරිසිදු, අනර්ඝ හණ වස්ත්‍ර” පැළඳගෙන සිටීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ඇ) ‘ස්වර්ගයේ සිටින මෙම සේනාවන්ට’ ඇතුළත් වී සිටින්නේ කවුරුන්ද?
10 මෙම යුද්ධයට යේසුස් සමඟ තවත් අය හවුල් වී සිටිනවා. යොහන් පවසන්නේ මෙසේයි. “තවද, ස්වර්ගයේ සිටි සේනාවෝ සුදු අශ්වයන් පිට ඔහු පසුපස යන්නෝය. ඔවුහු සුදු, පිරිසිදු, අනර්ඝ හණ වස්ත්‍ර පැළඳ සිටියෝය.” (එළිදරව් 19:14) මෙම අශ්වයන් “සුදු” අශ්වයන් වීමෙන් අදහස් කරන්නේ සිදු වන යුද්ධය දෙවිගේ ප්‍රමිතිවලට එකඟව ධර්මිෂ්ඨ එකක් වන බවයි. රජුගේ අසරුවන් “අනර්ඝ හණ වස්ත්‍ර” පැළඳ සිටීමත් ඉතා යෝග්‍යයි. ඔවුන්ගේ සුපිරිසිදු, දිදුලන වස්ත්‍රවලින් සංකේතවත් වෙන්නේ ඔවුන් යෙහෝවා දෙවි ඉදිරියේ පවිත්‍රව හා ධර්මිෂ්ඨව සිටින බවයි. මෙම ‘සේනාවන්ට’ ඇතුළත් වී සිටින්නේ කවුරුන්ද? අනිවාර්යයෙන්ම ශුද්ධ දේවදූතයන් එයට ඇතුළත් වෙනවා. ස්වාමීන්ගේ දවසේ ආරම්භයේදී සාතන්ව සහ ඔහුගේ භූතයන්ව ස්වර්ගයෙන් ඉවත් කර දැමුවේ මිකායෙල් සහ ඔහුගේ දේවදූතයනුයි. (එළිදරව් 12:7-9) මීට අමතරව යේසුස් තම තේජවත් සිංහාසනයේ ඉඳගෙන පොළොවේ ජාතීන්ව සහ ජනයාව විනිශ්චය කරන්න පටන්ගන්නා විට “සියලු දේවදූතයන්” ඔහු සමඟ සිටින බවත් සඳහන් වෙනවා. (මතෙව් 25:31, 32) එමනිසා යෙහෝවා දෙවිගේ විනිශ්චයන් ඉටු කරනු ලබන මෙම තීරණාත්මක යුද්ධයේදීත් යේසුස් සමඟ ඔහුගේ දේවදූතයන් අනිවාර්යයෙන්ම සිටින්න යන බව අපට කිව හැකියි.
11 මෙම සේනාවන්ට තවත් අය ඇතුළත්. තියාතිරා සභාවේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට යේසුස් පොරොන්දු වුණේ මෙසේයි. “ජයගන්නාවූ, අවසානය දක්වා මාගේ ක්‍රියා පවත්වන්නාවූ තැනැත්තාට, මම ජාතීන් කෙරෙහි බලය දෙන්නෙමි. මාගේ පියාණන්ගෙන් මා ලැබූ ලෙසම ඔහුට එය දෙන්නෙමි. මැටි භාජන කැබලිවලට සුනුවිසුනු කරන්නාක් මෙන් සෙනඟව කැබලිවලට බිඳ දමනු ලබන පිණිස, ඔහු යකඩ දණ්ඩකින් ඔවුන්ව පාලනය කරන්නේය.” (එළිදරව් 2:26, 27) මේ යුද්ධය සඳහා කාලය පැමිණෙන විට දැනටමත් ස්වර්ගයේ සිටින යේසුස්ගේ අභිෂේක ලත් සහෝදරයන් ඒ යදණ්ඩෙන් මේ දුෂ්ට ලෝකයේ ජාතීන්ව සහ මිනිසුන්ව විනාශ කිරීමට හවුල් වෙනවා නිසැකයි.
12. (අ) පොළොව මත සිටින දෙවිගේ සේවකයන් දෙවිගේ යුද්ධයේදී සටන් කරනවාද? (ආ) ඒ අවස්ථාවේදී පොළොවේ සිටින දෙවිගේ ජනයා කරන්නේ කුමක්ද?
12 එසේනම් පොළොවේ සිටින දෙවිගේ සේවකයන් ගැන කුමක් කිව හැකිද? යොහන් පන්තිය සහ ඔවුන් සමඟ දෙවිගේ නමස්කාර ගෘහයට එක් රොක් වන වෙනත් බැටළුවන් මෙම සටනට කිසිම ආකාරයකින්වත් සම්බන්ධ වෙන්නේ නැහැ. සාමය ඇති කරන මොවුන් දැනටමත් තම කඩුවලින් හීවැල් හදාගෙන තිබෙනවා. (යෙසායා 2:2-4) නමුත් මෙම යුද්ධය ඇති වෙන්නේ ඔවුන්ව මුල් කරගෙනයි. ගොග් සහ ඔහුගේ මුළු සමූහය යෙහෝවා දෙවිගේ මෙම සේවකයන්ට විරුද්ධව දරුණු ප්‍රහාරයක් එල්ල කරන ඒ මොහොතේදී සිදු වෙන්නේ කුමක්ද? යෙහෝවා දෙවි පත් කර ඇති නව රජ වන යේසුස් හා ඔහුගේ ස්වර්ගික හමුදාවන් ක්‍රියාත්මක වී ගොග්ගේ සමූහය විනාශ කර දමන්න පියවර ගන්නවා. (එසකියෙල් 39:6, 7, 11; දානියෙල් 11:44–12:1ද බලන්න.) මෙම යුද්ධය පොළොවේ සිටින දෙවිගේ සේවකයන්ගේ මහත් උනන්දුවට හේතුවක් වෙන්නේ ඔවුන්ගේ ගැලවීම එමගින් ස්ථිර වන නිසයි. ඉන්පසුව යෙහෝවා දෙවිගේ මහත් දවසේ යුද්ධය ඇසින් දුටු සාක්ෂිකරුවන් ලෙස ඔවුන් සදාකල් ජීවත් වීමේ ප්‍රස්තාවද උදා කරගන්නවා.
13. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ආණ්ඩුවලට විරුද්ධව නැඟී සිටින අය නොවන බව අප දන්නේ කෙසේද?
13 යෙහෝවාගේ සාක්ෂිකරුවන් ආණ්ඩුවලට විරුද්ධව නැඟී සිටින අය බව මෙයින් අදහස් කරනවාද? නැහැ. කොහෙත්ම නැහැ! “සෑම කෙනෙකුම උසස් බලධාරීන්ට යටත් වන්න” යන පාවුල්ගේ උපදෙසට ඔවුන් කීකරුයි. මෙම දුෂ්ට ලෝකය පවතින තාක් කල් “උසස් බලධාරීන්” දෙවිගේ අවසරයෙන් මිනිස් සමාජයට යම් ප්‍රයෝජන සලසමින් පාලනයක් කරන බව ඔවුන් පිළිගන්නවා. ඒ නිසා යෙහෝවාගේ සාක්ෂිකරුවන් බදු ගෙවනවා. රටේ නීතිවලට කීකරු වෙනවා. මාර්ග නීතිවලට ගරු කරනවා. ලියාපදිංචි කිරීම් සහ බලපත්‍ර යනාදිය ලබාගන්නවා. (රෝම 13:1, 6, 7) මීට අමතරව ඔවුන් බයිබල් ප්‍රමිතිවලට එකඟව ඇත්ත කතා කරනවා. ඒ වගේම අවංකව ක්‍රියා කරනවා. ඔවුන් තම අසල්වාසීන්ට ප්‍රේම කරනවා. උසස් සදාචාර ප්‍රමිතිවලට අනුව තම පවුල ගොඩනඟනවා. ඒ වගේම තම දරුවන්ට ආදර්ශවත් පුරවැසියන් වීමට අවශ්‍ය පුහුණුවද ලබා දෙනවා. මේ අන්දමින් ඔවුන් ‘සීසර්ගේ දේ සීසර්ට දෙනවා’ පමණක් නොව ‘දෙවිගේ දේ දෙවිටත් දෙනවා.’ (ලූක් 20:25; 1 පේතෘස් 2:13-17) මේ ලෝකයේ පවතින ආණ්ඩු තාවකාලික බව දේවවචනයේ සඳහන් වී ඇති නිසා යෙහෝවාගේ සාක්ෂිකරුවන් දැන් සිටම සැලසුම් යොදන්නේ නුදුරු අනාගතයේදී යේසුස් ක්‍රිස්තුස්ගේ පාලනය යටතේ වඩා අර්ථවත් වූ සැබෑ ජීවිතයක් භුක්ති විඳීම සඳහායි. (1 තිමෝති 6:17-19) එමනිසා මේ ලෝකයේ ආණ්ඩුවලට විරුද්ධව නැඟී සිටින්න ඔවුන් කිසිම ආකාරයකින්වත් පියවර ගන්නේ නැහැ. නමුත් යෙහෝවා දෙවි මේ දුෂ්ට ලෝකය පිට ඉටු කරන විනිශ්චය ගැන ශුද්ධ බයිබලයේ සඳහන් දේට පූර්ණ අවධානය දෙමින් ඔවුන් දෙවිට ගරුබියෙන් යුතුව සේවය කරනවා.—යෙසායා 26:20, 21; හෙබ්‍රෙව් 12:28, 29.
යුද්ධය ඇරඹේ!
14. යේසුස්ගේ මුඛයෙන් නික්මෙන ‘තියුණු දිග කඩුවෙන්’ අදහස් කරන්නේ කුමක්ද?
14 යේසුස් තම ජයග්‍රහණය සම්පූර්ණ කිරීමට බලතල ලබන්නේ කාගෙන්ද? යොහන් අපට මෙසේ දැනුම් දෙනවා. “ජාතීන්ට පහර දෙන පිණිස, ඔහුගේ කටින් තියුණු දිග කඩුවක් නික්මෙන්නේය. ඔහු යකඩ දණ්ඩකින් ඔවුන්ව පාලනය කරන්නේය.” (එළිදරව් 19:15අ) එම ‘තියුණු දිග කඩුවෙන්’ නියෝජනය වෙන්නේ දේවරාජ්‍යයට පිටුපාන සියලුදෙනාවම විනාශ කිරීම සඳහා ඔහු යෙහෝවා දෙවිගෙන් බලතල ලබා ඇති බවයි. (එළිදරව් 1:16; 2:16) අනාගතවක්තෘ යෙසායා පැවසූ මෙම වචනවලින් එය සනාථ වෙනවා. “ඔහු [යෙහෝවා] තියුණු කඩුවක් මෙන් මාගේ කට සාදා තමන් අත් සෙවණේ මා සැඟෙව්වේය. ඔහු මා ඔප් නැඟු ඊයක් . . . කළේය.” (යෙසායා 49:2) මෙම පදය යෙසායාට අදාළ වුණත් යෙසායාගෙන් නියෝජනය වුණේ යේසුස්වයි. ඔහු දෙවිගේ විනිශ්චයන් ප්‍රකාශ කරමින් ඒවා ඉටු කරන්නේ ඉලක්කයට නිවැරදිව එල්ල කරන ඊයක් හා සමානවයි.
15. මීට කලින් යේසුස් ඉටු කළ විනිශ්චය කුමක්ද? ප්‍රතිඵලයක් ලෙස ආරම්භ වුණේ කුමක්ද?
15 නමුත් යම් ආකාරයකින් මෙම කඩුව කලිනුත් ප්‍රකාශ වී තිබෙනවා. ඒ කෙසේද? ඒ ගැන පාවුල් පවසන්නේ මෙසේයි. “ඉන්පසු, නීතිය නොතකන තැනැත්තාව හෙළි කරනු ලබන්නේය. ස්වාමීන් වන යේසුස් ඔහුගේ මුඛයේ හුස්මෙන් ඔහුව නැති කර දමා, තමාගේ පැමිණ සිටීම ප්‍රකාශ වීම තුළින් ඔහුව විනාශ කර දමන්නේය.” යේසුස් මෙම වචන ඉටු කළේ 1914 පටන් ආරම්භ වූ තමන් පැමිණ සිටින කාලයේදීයි (ග්‍රීක බසින්, පරූසියා). එසේ කළේ නීතිය නොතකන තැනැත්තා වන ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල පූජක පක්ෂයේ වැරදි හෙළි කිරීමෙන් හා ඔවුන්ව විනිශ්චය කිරීමෙනුයි. යේසුස් පැමිණ සිටින බව තවත් ප්රබලව ප්‍රකාශ වෙන්නේ රතු පාට වන මෘගයාගේ අං දසය එම විනිශ්චය ඉටු කරමින් ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලි සමූහය හා මහා බැබිලෝනියට අයත් අනිකුත් ආගම් විනාශ කර දමන විටයි. (2 තෙසලෝනික 2:1-3, 8) මහත් පීඩාව ආරම්භ වෙන්නේ ඒ සමඟිනුයි. ඊළඟට යේසුස් තම අවධානය යොමු කරන්නේ සාතන්ගේ දුෂ්ට සංවිධානයේ ඉතිරි කොටස් වෙතටයි. ඒ ගැන අනාවැකියක පවසන්නේ මෙසේයි. “ඔහුගේ මුඛය නමැති ඉපලෙන් පොළොවට පහර දී තොල්වල හුස්මෙන් දුෂ්ටයන් මරන්නේය.”—යෙසායා 11:4.
16. යෙහෝවා දෙවි යුද්ධය සඳහා පත් කළ තම රජ ඉටු කරන දේ ගීතාවලියේ සහ යෙරෙමියා පොතේ විස්තර කර තිබෙන්නේ කෙසේද?
16 යෙහෝවා දෙවි මෙම යුද්ධය සඳහා පත් කර ඇති රජ බේරී ජීවත් වන අයගෙන් විනාශ වන අයව පැහැදිලිව හඳුනාගන්නවා. ඒ ගැන යෙහෝවා දෙවි තම පුත්‍රයාට මෙසේ පවසන බව කලින් සඳහන් වුණා. “ඔබ ඔවුන් [ලෝක පාලකයන්ව] යදණ්ඩකින් බිඳින්නෙහිය. කුඹලෙකුගේ භාජනයක් මෙන් ඔවුන් කැබලි කොට දමන්නෙහිය.” මේ ලෝකයේ දූෂිත ආණ්ඩුවල පාලකයන් සහ ඔවුන්ගේ සේවකයන්ව අමතමින් යෙරෙමියා මෙසේ පැවසුවා. “එඬේරුනි, අඬා කෑසන්න. රැළේ ප්‍රධානියෙනි, අළුවල පෙරළී ඉඳින්න. මක්නිසාද ඔබ මැරීමට දවස් සම්පූර්ණ ලෙස පැමිණ තිබේ. මම ඔබ කැබලි කොට බිඳින්නෙමි. ඔබ ප්‍රිය භාජනයක් මෙන් වැටෙන්නහුය.” මේ දුෂ්ට ලෝකය තම පාලකයන්ට කොතරම් ප්‍රිය කළත්, අලංකාර බඳුනකට පහර දී එය සුනුවිසුනු කර දමනවා සේ රජුගේ යදණ්ඩේ එක් පහරකින් ඔවුන්ව විනාශ කර දමනවා. එම අවස්ථාවේදී තම ස්වාමියා වන යේසුස් ගැන දාවිත් පැවසූ මෙම අනාවැකිය ඉටු වෙනවා. “යෙහෝවා දෙවි සියොන්හි සිට තම බලවත් රාජ යෂ්ටිය එවන්නේය. ‘ඔබේ සතුරන්ව යටත් කරගන්න’ යයි ඔහුට කියන්නේය. යෙහෝවා දෙවි ඔබේ දකුණු පැත්තේ සිටින්නේය. ඔහු තම උදහස ප්‍රකාශ කරන දවසේදී රජවරුන්ව කැබලි කරන්නේය. ඔහු ජාතීන්ව විනිශ්චය කරන්නේය. එවිට මළ සිරුරු සැම තැන විසිරී තිබෙනු ඇත.”—ගීතාවලිය 2:9, 12; 83:17, 18; 110:1, 2, 5, 6, NW; යෙරෙමියා 25:34.
17. (අ) යුද්ධයට සැරසී සිටින මෙම රජ විනිශ්චය ඉටු කරන ආකාරය ගැන යොහන් විස්තර කරන්නේ කුමක්ද? (ආ) දෙවිගේ උදහස් දවස ජාතීන්ට කොතරම් භයානක එකක් වෙයිද කියා පවසන අනාවැකිවල ඇති විස්තර මොනවාද?
17 යුද්ධයට සැරසී සිටින මෙම රජු ඊළඟට කරන්නේ මෙයයි. “තවද ඔහු, සර්වපරාක්‍රම තැනැත්තා වන දෙවිගේ උදහසේ කෝපය නමැති වයින් යන්ත්‍රයේ මිදි පාගන්නේය.” (එළිදරව් 19:15ආ) මේ වන විටත් ‘දෙවිගේ කෝපය නමැති මහත් වයින් යන්ත්‍රයේ’ මිදි පාගා දමනු ලැබූ ආකාරය යොහන් දර්ශනයකින් දැක තිබුණා. (එළිදරව් 14:18-20) මෙම මිදි යන්ත්‍රය ගැන යෙසායාත් විස්තර සපයන අතර, දෙවිගේ උදහස් දවස ලෝකයේ සියලු ජාතීන්ට කොතරම් භයානක එකක් වෙයිද කියා වෙනත් අනාගතවක්තෘවරුන්ද පැහැදිලි කළා.—යෙසායා 24:1-6; 63:1-4; යෙරෙමියා 25:30-33; දානියෙල් 2:44; ශෙපනියා 3:8; සෙකරියා 14:3, 12, 13; එළිදරව් 6:15-17.
18. යෙහෝවා දෙවි සියලු ජාතීන්ව විනිශ්චය කරන ආකාරය ගැන අනාගතවක්තෘ යෝවෙල් හෙළි කරන්නේ කුමක්ද?
18 යෙහෝවා දෙවි ‘අවට සිටින සියලු ජාතීන්ව විනිශ්චය කිරීම’ ගැන විස්තර කරද්දී අනාගතවක්තෘ යෝවෙල් මිදි යන්ත්‍රයක් ගැන කතා කරනවා. යෙහෝවා දෙවි තමා සමඟ විනිශ්චයට හවුල් වන යේසුස්ට සහ ඔහුගේ ස්වර්ගික සේනාවට මෙම අණ නිකුත් කරනවා. “අස්වැන්න පැසී තිබෙන නිසා දෑකැති යොදා කපාගන්න. ඇවිත් බලන්න, මිදි යන්ත්‍ර වයින්වලින් පිරිලා. බඳුන් පිරී ඉතිරී ගිහින්. මන්ද ඔවුන්ගේ නපුරුකම ඉතා මහත්ය. තීන්දු දීමේ මිටියාවතේ විශාල සමූහයක් රැස්ව සිටියි. මන්ද යෙහෝවා දෙවිගේ දවස ළඟය. හිරුත් සඳත් අඳුරු වී තාරකාවල ආලෝකය නිවී යයි. යෙහෝවා දෙවි සියොන්හි සිට සිංහයෙකු වගේ ගර්ජනා කරයි. යෙරුසලමේ සිට ඔහු මහා ශබ්දයෙන් කතා කරයි. අහසත් පොළොවත් දෙදරා යයි. නමුත් යෙහෝවා දෙවි තම සෙනඟට රැකවරණයක්ද ඊශ්‍රායෙල්වරුන්ට රක්ෂස්ථානයක්ද වෙයි. මාගේ ශුද්ධ කන්ද වන සියොන්හි වාසය කරන මම ඔබේ දෙවි වන යෙහෝවා බව ඔබ සියලුදෙනා දැනගනීවි.”—යෝවෙල් 3:12-17, NW.
19. (අ) පළමුවෙනි පේතෘස් 4:17හි සඳහන් ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන්නේ කෙසේද? (ආ) යේසුස්ගේ පිටත සළුවේ ලියා තිබෙන නම කුමක්ද? එය ඉතා සුදුසු නමක් වෙන්නේ ඇයි?
19 ඇත්තෙන්ම දෙවිට අකීකරු වූ ජාතීන්ට හා ජනයාට මෙය මොන තරම් භයානක දවසක් වේවිද! නමුත් යෙහෝවා දෙවිව සහ යුද්ධයට සැරසී සිටින ඔහුගේ රජු වන යේසුස්ව තම රක්ෂස්ථානය කරගෙන සිටින අයට එයින් මොන තරම් සහනයක් ලැබෙයිද! (2 තෙසලෝනික 1:6-9) එවිට 1918දී දෙවිගේ ගෘහයෙන් පටන්ගත් විනිශ්චය සම්පූර්ණයෙන්ම ඉටු වෙයි. ප්‍රතිඵලයක් ලෙස “දෙවිගේ ශුභාරංචියට කීකරු නොවන අයගේ අවසානය කුමක් වේවිද?” යන 1 පේතෘස් 4:17හි සඳහන් ප්‍රශ්නයට පිළිතුරකුත් ලැබෙනවා. මන්ද ජයග්‍රාහී රජු වන යේසුස් වයින් යන්ත්‍රයේ මිදි පාගා දැමීමේ කාර්යය සම්පූර්ණ කරන නිසයි. යොහන් ඊළඟට සපයන විස්තරය ජයග්‍රාහී යේසුස්ට කදිමට අදාළ වෙනවා. “ඔහුගේ කළව ප්‍රදේශය මත වැටී ඇති පිටත වස්ත්‍රය මත, රජවරුන්ගේ රජුය, ස්වාමිවරුන්ගේ ස්වාමියාය යන නම ලියා තිබේ.” (එළිදරව් 19:16) පොළොවේ සිටින කිසිම පාලකයෙකුට, කිසිම රජෙකුට හෝ ස්වාමියෙකුට වඩා ඔහු ශ්‍රේෂ්ඨ බලසම්පන්න රජෙක් බව ඔප්පු වී තිබෙනවා. “සැබෑකමත් මොළොක්කමත් ධර්මිෂ්ඨකමත්” උදෙසා ගොස් සදහටම සම්පූර්ණ ජයක් හිමි කරගෙන සිටින්නේ ඔහුයි. (ගීතාවලිය 45:4) යෙහෝවා දෙවි විශ්වයේ නියම පාලකයා බව ප්‍රධාන වශයෙන් තහවුරු කරන්නේ ඔහුයි. එමනිසා ලේ ඉහිරුණු ඔහුගේ වස්ත්‍රය මත ලියවී ඇති ඒ නම ඔහුට ලබා දී තිබෙන්නේ මෙම විශ්වයේ මහෝත්තම දෙවි යෙහෝවායි.
දෙවිගේ මහත් සන්ධ්‍යා භෝජනය
20. “දෙවිගේ මහත් සන්ධ්‍යා භෝජනය” ගැන යොහන් විස්තර කරන්නේ කෙසේද? මෙයින් අපට මතක් වෙන්නේ මීට පෙර සඳහන් වූ කුමන දර්ශනයද?
20 එසකියෙල් දුටු දර්ශනයේදී ගොග්ගේ සමූහය විනාශ වීමෙන් පසු කුරුල්ලන්ව හා සතුන්ව භෝජනයකට ආරාධනා කරනු ලබනවා. ඔවුන්ගේ කාර්යය නම් යෙහෝවා දෙවිගේ සතුරන්ගේ මළකුණු අනුභව කර පොළෝ තලය පිරිසිදු කිරීමයි. (එසකියෙල් 39:11, 17-20) යොහන් ඊළඟට පවසන වචනවලින් අපට මතක් වෙන්නේ එසකියෙල් දුටු ඒ දර්ශනයයි. “තවද, දේවදූතයෙකු සූර්යයා ඉදිරියෙහි සිටගෙන සිටිනවා මම දුටිමි. ඔහු මහත් හඬින් කෑගසා, අහස මැද පියාසර කරන සියලු කුරුල්ලන්ට මෙසේ කීවේය: ‘දෙවිගේ මහත් සන්ධ්‍යා භෝජනයට ඇවිත් රැස් වන්න. ඔබ, රජවරුන්ගේ මාංසමය කොටස්ද, සේනාධිපතීන්ගේ මාංසමය කොටස්ද, ශක්තිමත් මිනිසුන්ගේ මාංසමය කොටස්ද, අශ්වයන්ගේ සහ උන් පිට ඉඳගෙන සිටින අයගේ මාංසමය කොටස්ද, දාස නිර්දාස, ලොකු කුඩා සියල්ලන්ගේ මාංසමය කොටස්ද කන්න.’”—එළිදරව් 19:17, 18.
21. (අ) දේවදූතයා “සූර්යයා ඉදිරියෙහි සිටගෙන සිටිනවා” කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) මළ සිරුරු භූමදාන නොකර පොළෝ තලය මත විසිර තිබීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ඇ) මිය ගිය අයට ඇතුළත් වන අය සඳහන් කිරීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ඈ) “දෙවිගේ මහත් සන්ධ්‍යා භෝජනය” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
21 මේ දේවදූතයා “සූර්යයා ඉදිරියෙහි සිටගෙන සිටිනවා” කීමෙන් අදහස් කරන්නේ ඔහු කුරුල්ලන්ගේ අවධානය ගන්න පුළුවන් පෙනෙන ස්ථානයක සිටින බවයි. ඔහු කුරුල්ලන්ට ආරාධනා කරන්නේ යේසුස් සහ ඔහුගේ ස්වර්ගික හමුදාවන් මරා දැමූ අයගේ මස් මාංස කන්න කියායි. භූමදානය නොකරන ලද මෙම මළ සිරුරු පොළෝ තලය මත විසිරී තිබීමෙන් අදහස් කරන්නේ ඔවුන් ඉතා ලජ්ජාසහගත මරණයක් අද්දකින බවයි. යෙසබෙල් බිසවට සමානව ඔවුන්ටත් ගෞරවණීය භූමදානයක් නම් ලැබෙන්නේ නැහැ. (2 රාජාවලිය 9:36, 37) මිය යන අය අතර විවිධාකාර පුද්ගලයන් සිටිනවා. එනම් රජවරුන්, සේනාධිපතීන්, ශක්තිමත් මිනිසුන්, දාසයන් සහ නිර්දාසයන් යනාදියයි. මෙයින් පැහැදිලි වෙන්නේ සිදු වන විනාශය කොතරම් පුළුල් එකක්ද කියායි. කිසිම කෙනෙක් ඉතිරි වෙන්නේ නැහැ. යෙහෝවා දෙවිට විරුද්ධ වූ මේ කැරලිකාර ලෝකයේ සෑම අංශු මාත්‍රයක්ම විනාශ වී යනවා. මෙම විනාශයෙන් පසු මුහුදට සමාන නොසන්සුන්කාරී කැළඹුණු මිනිස් සමාජයක් ඉතිරි වෙන්නේ නැහැ. (එළිදරව් 21:1) මෙය “දෙවිගේ මහත් සන්ධ්‍යා භෝජනය” කියා හඳුන්වන්නේ කුරුල්ලන්ට ඒ ඇරයුම යෙහෝවා දෙවිගෙන් ලැබෙන නිසයි.
22. මෙම අවසන් යුද්ධයේදී සිදු වන දේ යොහන් විස්තර කරන්නේ කෙසේද?
22 මෙම අවසන් යුද්ධයේදී සිදු වන දේ යොහන් විස්තර කරන්නේ මෙලෙසයි. “අශ්වයා පිට ඉඳගෙන සිටින තැනැත්තාටද ඔහුගේ සේනාවටද විරුද්ධව යුද්ධ කරන පිණිස, වන මෘගයා හා පොළොවේ රජවරුන්ද ඔවුන්ගේ සේනාද රැස්ව සිටිනවාත් මම දුටිමි. එවිට වන මෘගයාවද ඌ ඉදිරිපිට ලකුණු සිදු කර, වන මෘගයාගේ සලකුණ ලැබූ අයවත් උගේ රූපයට නමස්කාර කරන අයවත් නොමඟ යැවූ බොරු අනාගතවක්තෘවරයාවද හසු කරගන්නා ලදි. ඔවුන් දෙදෙනාව පණ පිටින් ගෙන්දගමින් දැවෙන ගිනිවිලට හෙළන ලදි. නමුත් ඉතිරි අයව, අශ්වයා පිට ඉඳගෙන සිටින තැනැත්තාගේ කටින් නික්මෙන දිග කඩුවෙන් මරනු ලැබුවේය. ඔවුන්ගේ මාංසමය කොටස්වලින් සියලු කුරුල්ලෝ තෘප්තිමත් වූහ.”—එළිදරව් 19:19-21.
23. (අ) “සර්වපරාක්‍රම තැනැත්තා වන දෙවිගේ මහත් දවසේ යුද්ධය” හර්–මගෙදොන් කියන ස්ථානයේදී සිදු වෙනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) “පොළොවේ රජවරුන්” කීකරු වී නැත්තේ කුමන අවවාදයටද? ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට සිදු වෙන්නේ කුමක්ද?
23 යෙහෝවා දෙවිගේ කෝපයෙන් පිරුණු හයවන බඳුන වත් කිරීමෙන් පසුව “මුළු ලොව පුරාම සිටින රජුන්ව” භූතයන්ගේ ප්‍රචාරයන් තුළින් “සර්වපරාක්‍රම තැනැත්තා වන දෙවිගේ මහත් දවසේ යුද්ධයට” රැස් කරන බව යොහන් කලින් සඳහන් කළා. බයිබලයට අනුව මෙම යුද්ධය සිදු වෙන්නේ හර්–මගෙදොන් කියන ස්ථානයෙහිදීයි. මෙය සැබෑ ස්ථානයක් නෙවෙයි. එයින් කියවෙන්නේ ලෝකයේ සියලුම ජාතීන් යෙහෝවා දෙවිට විරුද්ධව ලොව පුරාම නැඟී සිටින අවස්ථාවේදී ඇති වන තත්වයයි. ඒ අවස්ථාවේදී දෙවි ඔවුන්ව සහමුලින්ම විනාශ කරනවා. මෙය මුළු ලොවටම බලපාන විනාශයක්. (එළිදරව් 16:12, 14, 16) යුද්ධ කරන හමුදා පෙළගැසී සිටින ආකාරය දැන් යොහන් දකිනවා. “පොළොවේ රජවරුන්ද ඔවුන්ගේ සේනාද” පෙළගැසී සිටින්නේ දෙවිට විරුද්ධවයි. ඔවුන් යෙහෝවා දෙවි පත් කර ඇති රජුට යටත් වීම මුරණ්ඩු ලෙස ප්‍රතික්ෂේප කර තිබෙනවා. මීට කලින් මේ ගැන ඔවුන් අවවාද නොලැබුවාම නෙවෙයි. “දෙවි කෝපයෙන් නොදැවෙන පිණිසද ඔබ හරි මාර්ගයෙන් ඉවතට ගොස් විනාශ නොවන පිණිසද ඔහුගේ පුත්‍රයාව පිළිගන්න” කියා දෙවි ඔවුන්ට අවවාද කර තිබුණා. නමුත් ඔවුන් යේසුස්ගේ පාලනයට යටත් නොවන නිසා ඔවුන්ට මරණය හිමි විය යුතුයි.—ගීතාවලිය 2:12, NW.
24. (අ) වන මෘගයාට සහ බොරු අනාගතවක්තෘට සිදු වෙන්නේ කුමක්ද? උන්ව ‘පණ පිටින්’ ගිනිවිලට හෙළුවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) “ගිනිවිල” සැබෑ ස්ථානයක් නොවන බව අප පවසන්නේ ඇයි?
24 සාතන් යටතේ පවතින ලෝකයේ සියලුම පාලන නියෝජනය කරන මුහුදෙන් මතු වූ හිස් සතක් සහ අං දසයක් ඇති වන මෘගයාව සහ සත්වන ලෝක අධිරාජ්‍යය වන බොරු අනාගතවක්තෘව නැත්තටම නැති කරනවා. (එළිදරව් 13:1, 11-13; 16:13) ඔවුන්ව “ගිනිවිලට” හෙළනු ලබන්නේ “පණ පිටින්.” එයින් අදහස් වෙන්නේ පොළොව මත දෙවිගේ සෙනඟට සාමූහිකව විරුද්ධව සිටින අතරතුරේදී ඔවුන්ව එයට හෙළනවා යන්නයි. මෙහි සඳහන් වන මෘගයා සහ බොරු අනාගතවක්තෘවරයා සැබෑ සතුන් නොවන්නා සේම ගිනිවිලත් සැබෑ ස්ථානයක් නෙවෙයි. එයින් සංකේතවත් වෙන්නේ සදාකාල විනාශයක් සිදු වන බවයි. පසුව මරණය, මිනී වළ සහ යක්ෂයාවත් එම ගිනිවිලට හෙළනු ලබනවා. එයිනුත් අදහස් වෙන්නේ ඒවා නැත්තටම නැති කරන බවයි. (එළිදරව් 20:10, 14) මෙම ගිනිවිල දුෂ්ටයන්ට සදාකාලිකව වධ වේදනා දෙන ස්ථානයක් නම් නෙවෙයි. යෙහෝවා දෙවිට එවැනි දෙයක් කිරීමේ අදහස පවා පිළිකුල්සහගතයි.—යෙරෙමියා 19:5; 32:35; 1 යොහන් 4:8, 16.
25. (අ) “අශ්වයා පිට ඉඳගෙන සිටින තැනැත්තාගේ කටින් නික්මෙන දිග කඩුවෙන් මරනු” ලැබූ අය කවුරුන්ද? (ආ) මෙසේ “මරනු ලැබූ” අයට නැවත නැඟිටීමක් තිබෙයි කියා අප අපේක්ෂා කළ යුතුද?
25 මිනිස් ආණ්ඩුවලට කෙළින්ම සම්බන්ධ නොවුණත් යහමඟට ගන්න බැරි මෙම දුෂ්ට මිනිස් සමාජයට අයත් සියලුදෙනාව “අශ්වයා පිට ඉඳගෙන සිටින තැනැත්තාගේ කටින් නික්මෙන දිග කඩුවෙන් මරනු” ලබනවා. ඔවුන්ට මරණය නියම විය යුතු බව යේසුස් තීන්දු කරනවා. ඔවුන්ගේ මරණය ගැන කතා කරද්දී ගිනිවිල ගැන සඳහන් වෙන්නේ නැති නිසා ඔවුන්ට නැවත නැඟිටීමක් තිබෙයි කියා අප අපේක්ෂා කළ යුතුද? ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවිගේ විනිශ්චයකරු වන යේසුස් විසින් මරනු ලබන කිසිවෙකු නැවත නැඟිටිනවා කියා බයිබලයේ කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. යේසුස් පවා පැවසුවේ “බැටළුවන්” නොවන අය “යක්ෂයාටත් ඔහුගේ දූතයන්ටත් සූදානම් කර තිබෙන සදාකාල ගින්නට” නියම වන බවයි. එනම් ඔවුන්ව ‘සදහටම කපාහරිනු’ ලබනවා. (මතෙව් 25:33, 41, 46) “අභක්තික මිනිසුන්ගේ විනාශයේ දවස” අවසන් වෙන්නේ මෙලෙසයි.—2 පේතෘස් 3:7; නාහුම් 1:2, 7-9; මලාකි 4:1.
26. දෙවිගේ මහත් දවසේ යුද්ධයේ අවසන් ප්‍රතිඵලය කුමක්ද?
26 පොළොව මත සාතන් යටතේ පවතින සෑම දෙයක්ම අවසන් වෙන්නේ එලෙසයි. “පරණ අහස” එනම් ලෝකයේ පවතින සියලුම පාලන පහව යනවා. “පොළොව” එනම් සියවස් ගණනාවක් පුරා සාතන් විසින් ගොඩනඟා ඇති, බැලූ බැල්මට යම් ස්ථාවරත්වයක් ඇති බව පෙනෙන මිනිස් සමාජයත් විනාශ වී යනවා. “මුහුද” එනම් යෙහෝවා දෙවිට විරුද්ධ වී සිටින දුෂ්ට නොසන්සුන්කාරී මිනිස් සංහතියත් නැති වෙනවා. (එළිදරව් 21:1; 2 පේතෘස් 3:10) යෙහෝවා දෙවි සාතන් සඳහා තීන්දු කර ඇත්තේ කුමක්ද? යොහන් ඊළඟට සපයන්නේ ඒ විස්තරයි.