7වන කොටස
දෙවිගේ පාලනය ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵල
1-3. දෙවි පැවසූ දේ සැබෑවක් බව ඔප්පු වී තිබෙන්නේ කෙසේද?
මිනිසුන් දෙවිගේ පාලනය ප්‍රතික්ෂේප කර සියවස් ගණනාවක් පුරා මිනිස් පාලන අත්හදා බලා තිබෙනවා. නමුත් මිනිසුන්ගේ පාලනය දෙවිගේ පාලනයට වඩා හොඳ බව ඔප්පු වී තිබෙනවාද? ඈත අතීතයේ පටන් මිනිසුන් කර තිබෙන අමානුෂික ක්‍රියා දෙස බලන විට අපට එවැනි නිගමනයකට එළඹෙන්න බැහැ.
2 මුළු මිනිස් සංහතියම අද දුක්බර තත්වයකට ඇද වැටී තිබෙන්නේ ආදම් සහ ඒව දෙවිගේ පාලනය ප්‍රතික්ෂේප කළ නිසයි. එදා පටන් අද දක්වා සිදු වී ඇති සෑම දෙයකටම වග කිව යුත්තේ මිනිසුන්මයි. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “විනාශකාරී මඟක් ඔස්සේ කැමැත්තෙන්ම ගමන් කරන්නේ මිනිසාමය. ඔවුහු දෙවිගේ දරුවන් ලෙස ක්‍රියා නොකරති. ඔවුන්ගේ වැරදිවලට වග කිව යුත්තේ ඔවුන්මය.”—ද්විතීය කතාව 32:5.
3 ආදම් සහ ඒව දෙවිට අකීකරු වී ක්‍රියා කළොත් ඔවුන් මහලු වී අවසානයේදී මිය යන බව දෙවි ඔවුන්ට පැහැදිලිව පැවසුවා. (උත්පත්ති 2:17; 3:19) ඔවුන් දෙවිට අකීකරු වූ විට එය සැබවින්ම ඉටු වුණා.
4. අප සියලුදෙනා විවිධ අසනීපවලට ගොදුරු වෙන්නෙත් මිය යන්නෙත් ඇයි?
4 ආදම් සහ ඒවගෙන් බිහි වූ මිනිස් වර්ගයාට සිදු වූ දේ බයිබලයේ පැහැදිලි කර තිබෙන්නේ මෙසේයි. “එක් මිනිසෙකු [එනම් ආදම්] පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි.” (රෝම 5:12) ආදම් සහ ඒව දෙවිගේ පාලනයට විරුද්ධව කැරලි ගැසූ විට ඔවුන් පව්කාරයන් බවට පත් වුණා. ඉන්පසුව එම පව්කාර ස්වභාවය ඔවුන්ගෙන් පැවත එන්නන්ටත් උරුම වුණා. අප සියලුදෙනා විවිධ අසනීපවලට ගොදුරු වෙන්නෙත් මිය යන්නෙත් ඒ නිසයි.
5, 6. සාමය හා සෞභාග්‍යය උදා කිරීමට මිනිස් ආණ්ඩු ගෙන ඇති උත්සාහයන් ගැන පැවසිය හැක්කේ කුමක්ද?
5 මේ වන විට මිනිස් ඉතිහාසයේ සියවස් ගණනාවක් ගෙවී ගොස් තිබෙනවා. ඒ කාලය තුළ විවිධ අධිරාජ්‍යයන් පොළොව පාලනය කර තිබෙන අතර මිනිසුන් නොයෙකුත් පාලන ක්‍රමද අත්හදා තිබෙනවා. නමුත් මිනිසුන් අද්දකින දුක් කම්කටොලුවලට නිමාවක් ලැබී නැහැ. මිනිස් ආරම්භයේ සිට වසර 6,000ක පමණ කාලයක් ගෙවී ගොස් ඇති නිසා සාමය, යුක්තිය හා සමෘද්ධිය රජයන එමෙන්ම කරුණාව, දයාව සහ එකමුතුකම අගයන පරපුරක් මේ වන විට බිහි වී තිබිය යුතුයි කියා කෙනෙකුට සිතෙන්න පුළුවන්. නමුත් සිදු වී තිබෙන්නේ කුමක්ද?
6 මිනිසුන්ට සාමය හා සෞභාග්‍යය උදා කර දීමට කිසිම ආණ්ඩුවක් සමත් වී නැහැ. විසිවන සියවසේදී පමණක් සිදු වී තිබෙන දේවල් ගැන මොහොතකට සිතන්න. හිට්ලර්ගේ ඒකාධිපති පාලන සමයේදී ලක්ෂ ගණන් මිනිසුන්ව ඝාතනය කරනු ලැබුවා. එමෙන්ම යුද්ධ නිසා තවත් කෝටි දහයකට වඩා වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා. අපි ජීවත් වන මේ කාලයේ පවා දේශපාලන මතභේද හෝ වෙනත් භේද නිසා කොපමණ මිනිසුන් ප්‍රමාණයක් වධ හිංසාවලට ලක් වී මිය ගොස් තිබෙනවාද! කොතරම් ප්‍රමාණයක් සිරගත වී තිබෙනවාද!
වර්තමාන තත්වය
7. මිනිස් වර්ගයා අද මුහුණ දෙන තත්වය විස්තර කරන්න.
7 මුළු මිනිස් වර්ගයාටම පොදුවේ මුහුණ දීමට සිදු වන දේවල් ගැනත් මදකට සිතන්න. අපරාධ හා ප්රචණ්ඩත්වය සෑම තැනම පැතිරිලා. මත්ද්‍රව්‍ය භාවිතය විශාල උවදුරක් වෙලා. සමාජ රෝග එන්න එන්නම වැඩි වෙමින් පවතිනවා. මිලියන ගණන් මිනිසුන් ඒඩ්ස් රෝගයට බිලි වෙලා. ධනවත් සුළු පිරිසකට මුදල් කන්දරාවක් තිබුණත් මිනිසුන් කෝටි ගණනක් හාමතේ මිය යනවා. පරිසරය දූෂණය වෙලා. පවුල් ජීවිත බිඳ වැටෙනවා. සදාචාරය එන්න එන්නම පිරිහෙනවා. “මේ සමාජයේ දෙවියා” යක්ෂයා බව ඒ සියල්ලෙන් පැහැදිලි වන්නේ නැද්ද? ඔහුගේ අණසක යටතේ පවතින මේ ලෝකය කුරිරු, දූෂිත, භයානක තැනක් බවට පත් වී තිබෙනවා.—2 කොරින්ති 4:4.
8. මිනිසා සැබෑ දියුණුවක් ලබා නැති බව පැවසිය හැක්කේ ඇයි?
8 විද්‍යාව සහ තාක්ෂණය අතින් උපරිම දියුණුවක් ලබන්න දෙවි මිනිසාට ඇති තරම් කාලයක් දී තිබෙනවා. ඒ වුණත් මිනිසුන් ඒ දැනුම යොදාගෙන ජීවිත දහස් ගණනක් එකවර විනාශ කළ හැකි තුවක්කු, යුද ටැංකි, බෝම්බ හෙළන ජෙට් යානා සහ න්‍යෂ්ටික මිසයිල නිෂ්පාදනය කර තිබෙනවා. එය සැබෑ දියුණුවක්ද? මිනිසුන් අභ්‍යවකාශය තරණය කළත් මිහිපිට එකිනෙකා සමඟ සමඟියෙන් ඉන්න මිනිසාට හැකි වී තිබෙනවාද? කොතරම් දියුණුවක් ලබා තිබුණත් මිනිසුන්ට බියක් සැකක් නැතුව පාර තොටේ ගමන් කරන්න හැකි වී තිබෙනවාද?
කාලයත් සමඟ ඔප්පු වී තිබෙන දේ
9, 10. (අ) කාලයත් සමඟ ඔප්පු වී තිබෙන්නේ කුමක්ද? (ආ) තීරණ ගැනීමට මිනිසාට ඇති නිදහස දෙවි අහිමි නොකළේ ඇයි?
9 දෙවිගේ පාලනය ප්‍රතික්ෂේප කර තමන්ට කැමති ආකාරයෙන් ජීවත් වෙන්න මිනිසුන් දරා තිබෙන උත්සාහයෙන් ඔප්පු වී තිබෙන්නේ කුමක්ද? ඉන් ඔප්පු වී තිබෙන්නේ දෙවිගේ පාලනය නොමැතිව මිනිසාට කිසිදාක සාර්ථක විය නොහැකි බවයි. කෑම බීම හෝ හුස්ම ගන්නේ නැතුව මිනිසෙකුට ජීවත් විය නොහැකි සේම දෙවිගේ මඟ පෙන්වීම් නොමැතිව මිනිසුන්ට සාර්ථක වෙන්න බැහැ. ඊට හේතුව දෙවි අපව නිර්මාණය කර තිබෙන්නේ ඔහුගේ මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වී සාර්ථක විය හැකි ආකාරයට නිසයි.
10 තීරණ ගැනීමට මිනිසාට ලැබී තිබෙන නිදහස ඉතා වටිනා දීමනාවක් නිසා දෙවි එය මිනිසුන්ට අහිමි කළේ නැහැ. ඒ වෙනුවට යම් කාලයකට පොළොවේ දුෂ්ටකම් පැවතීමට ඉඩහැරීම තුළින් තීරණ ගැනීමට මිනිසුන්ට තිබෙන අයිතිය වැරදි ලෙස පාවිච්චි කිරීමෙන් සිදු වෙන දේ ඔහු මිනිසුන්ට පෙන්වා තිබෙනවා. තීරණ ගැනීමේ නිදහස යොදාගෙන තමන් කැමති ලෙස කටයුතු කිරීම අනතුරුදායක බව බයිබලයේ විස්තර කර තිබෙන්නේ මෙසේයි. ‘මිනිසෙකුට තමන් යා යුතු මාර්ගය කුමක්ද කියා තනිව තීරණය කිරීමට අයිතියක් නැහැ.’ එමෙන්ම “මිනිසා අන් අයට හානියක් වන ලෙසින් තම බලය ක්‍රියාත්මක කර ඇත” කියාත් එහි සඳහන් වෙනවා.—යෙරෙමියා 10:23; දේශනාකාරයා 8:9.
11. දුක් පීඩා නිමා කරන්න කිසිම මිනිස් පාලකයෙකු සමත් වී ඇද්ද?
11 අවුරුදු 6,000ක් පුරා දෙවි මිනිස් පාලනවලට ඉඩ දීමෙන් ඔප්පු වී තිබෙන්නේ කුමක්ද? එනම් මිනිසුන් අද්දකින දුක් පීඩාවලට නිමාවක් ගෙනෙන්න මිනිස් පාලනවලට නොහැකි බවයි. අඩුම තරමින් කෙටි කාලයකටවත් දුක් පීඩා නිමා කරන්න මිනිසා සමත් වී නැහැ. උදාහරණයකට ඉතා ප්‍රඥාවන්ත, ධනවත් හා බලවත් පුද්ගලයෙක් වූ ඊශ්‍රායෙලයේ සලමොන් රජටවත් එය කිරීමට හැකි වුණේ නැහැ. (දේශනාකාරයා 4:1-3) අද තත්වයත් ඒ හා සමානයි. තාක්ෂණය කොතරම් දියුණු වී තිබුණත් ඒ තුළින් මිනිසුන්ගේ දුක් පීඩාවලට නිමාවක් ගෙන ඒමට මිනිස් පාලකයන්ට හැකි වී නැහැ. ඉතිහාසයෙන් ඔප්පු වෙන්නේ දෙවිගේ පාලනය ප්‍රතික්ෂේප කිරීමෙන් මිනිසා දුක් පීඩාවලට නිමාවක් ගෙනෙනවා වෙනුවට ප්‍රශ්න ගැටලු තව තවත් උග්‍ර කර ඇති බවයි.
අනාගතය දැකීමට දෙවිට තිබෙන හැකියාව
12-14. දෙවි දුක් වේදනාවලට ඉඩහැර තිබීමෙන් දිගු කාලීනව අත් වන ප්‍රයෝජන මොනවාද?
12 දෙවිට අනාගතයේදී සිදු වන දේවල් දැනගැනීමට හැකියාව තිබෙනවා. ඒ නිසා ඔහු දුක් පීඩා පවතින්න ඉඩහැර තිබෙන්නේ හොඳ හේතුවක් ඇතුව කියා පැවසිය හැකියි. කෙටි කාලයකට දුක් පීඩා පැවතීමට ඉඩහැරීමෙන් මිනිසුන්ට සදාකාලයටම යහපත් ප්‍රතිඵල අත්වෙන බව ඔහු දැන සිටියා. එසේ පවසන්නේ ඇයි?
13 අද පවතින සියලු දුෂ්ටකම්වලට දෙවි නිමාවක් ගෙනා පසුව යම් කෙනෙක් දෙවිගේ පාලනයට අභියෝග කළොත් එය විසඳීම සඳහා නැවත යම් කාලයකට ඉඩ දෙන්න දෙවිට කිසිදාක අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට හේතුව මෙතෙක් කල් දුක් වේදනාවලට ඉඩහැරීමෙන් තමාට මිස වෙන කිසිම කෙනෙකුට සාර්ථකව පාලනය කරන්න හැකියාවක් නැති බව දෙවි සදහටම සරිලන සේ ඔප්පු කර තිබීමයි.
14 ඊට අමතරව දුක් වේදනා පැවතීමට ඉඩහැරීම තුළින් දෙවිගේ මඟ පෙන්වීම් නොමැතිව මිනිසාට කිසිම ආකාරයකින්වත් සාර්ථක විය නොහැකි බවත් ඔප්පු වී තිබෙනවා. මිනිසුන්ටවත් දේවදූතයන්ටවත් දෙවිගේ මඟ පෙන්වීම්වලින් බැහැරව කටයුතු කිරීමෙන් සාර්ථකත්වය ලබා දීමට හැකි වී නැති බව පැහැදිලියි. එමනිසා දෙවිගේ පාලනයට විරුද්ධව යම් කිසි කෙනෙක් කැරලි ගැසුවොත් එවැනි අයට විරුද්ධව වහාම පියවර ගන්න දෙවිට හැකියි. ඒ සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් වෙන්නේ “සියලු දුෂ්ටයන්ව ඔහු සහමුලින්ම විනාශ කර දමන්නේය” කියායි.—ගීතාවලිය 145:20; රෝම 3:4.
[15වන පිටුවේ පින්තූරය]
ආදම් සහ ඒව දෙවිගේ පාලනය ප්‍රතික්ෂේප කළ නිසා ඔවුන් මහලු වී මිය ගියා
[16වන පිටුවේ පින්තූර]
මිනිස් පාලනයේ ප්‍රතිඵල ඛේදනීයයි
[හිමිකම් විස්තර]
U.S. Coast Guard photo