25වෙනි පරිච්ඡේදය
“මට සීසර්ගෙන් තීන්දුවක් ඕනේ!”
පාවුල් ශුභාරංචිය වෙනුවෙන් කතා කරයි
1, 2. (අ) පාවුල් ඉන්න තත්වය විස්තර කරන්න. (ආ) ඔහු සීසර්ගෙන් තීන්දුවක් ඉල්ලපු එක ගැන මතු වෙන ප්රශ්නය මොකක්ද?
මුරකරුවන්ගේ දැඩි විමසිල්ල යටතේ පාවුල් තවමත් ඉන්නේ සිසේරියේ සිරගතවයි. මීට අවුරුදු දෙකකට කලින් යුදෙව්වන් ඔහුව මරන්න තුන් වරක්ම උත්සාහ කළා. (ක්‍රියා 21:27-36; 23:10, 12-15, 27) මෙතෙක් ඔවුන් දරපු උත්සාහයන් අසාර්ථක වුණත් පාවුල්ව කොහොමහරි මරන්නයි ඔවුන්ට ඕනේ. ඔහුව අල්ලගන්න ඔවුන් නැවතත් උත්සාහ කරනවා. “මට සීසර්ගෙන් තීන්දුවක් ඕනෙ” කියලා පාවුල් කියන්නේ ඒ අවස්ථාවෙදියි.—ක්‍රියා 25:11.
2 පාවුල් රෝම අධිරාජ්‍යයාගෙන් තීන්දුවක් ඉල්ලන්න ගත් තීරණයට යෙහෝවාගේ අනුමැතිය ලැබුණාද? මේ අන්තිම දවස්වල දෙවියන්ගේ රාජ්‍යය ගැන හරිම පැහැදිලි සාක්ෂියක් දරන අප ඒ ප්‍රශ්නයට පිළිතුරු දැනගන්න එක හරිම වැදගත්. මොකද පාවුල්ට ඒකට දෙවියන්ගේ අනුමැතිය ලැබුණා නම් ‘ශුභාරංචිය වෙනුවෙන් කතා කරන’ එක ගැනත් ‘දේශනා කරන්න තියෙන අයිතිය නීත්‍යනුකූලව තහවුරු කරන’ එක ගැනත් ඔහුගෙන් අපට දෙයක් ඉගෙනගන්න පුළුවන්.—ෆිලි. 1:7.
“විනිශ්චයාසනය ඉස්සරහා” (ක්‍රියා 25:1-12)
3, 4. (අ) පාවුල්ව යෙරුසලමට ගෙනැවිත් විනිශ්චය කරන්න කියලා යුදෙව්වන් ඉල්ලුවේ ඇයි? පාවුල්ගේ ජීවිතය බේරුණේ කොහොමද? (ආ) යෙහෝවා අදත් තම සේවකයන්ව ශක්තිමත් කරන්නේ කොහොමද?
3 යූදා පළාතේ ආණ්ඩුකාරයා විදිහට පත් වෙලා දින තුනකට පස්සේ ෆෙස්ටස් යෙරුසලමට පිටත්ව ගියා.a එහෙදී නායක පූජකයන් හා යුදෙව්වන්ගේ ප්‍රධානීන් ඔහුව හමු වෙලා පාවුල්ට විරුද්ධව බරපතළ චෝදනා ඉදිරිපත් කළා. ආණ්ඩුකාරයා යුදෙව්වන් හා යුදෙව්වන්ගේ ප්‍රධානීන් සමඟ සාමය පවත්වගනියි කියලා උසස් බලධාරීන් බලාපොරොත්තු වන බව ඔවුන් දැන සිටියා. ඔවුන් ඒක ප්‍රයෝජනයට අරන් පාවුල්ව යෙරුසලමට ගෙනැවිත් විනිශ්චය කරන්න කියලා ඔහුගෙන් ඉල්ලීමක් කළා. ඔවුන් එහෙම කළේ පාවුල්ව සිසේරියේ සිට යෙරුසලමට අරන් එද්දී මඟ රැක සිට ඔහුව මරලා දාන අරමුණින්. නමුත් ෆෙස්ටස් ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා මෙහෙම කිව්වා. “ඒ මනුස්සයා ඇත්තටම වරදක් කරලා තියෙනවා නම්, ඔයාලාගේ නායකයන්ට පුළුවන් මාත් එක්ක ඇවිත් එහෙදී [සිසේරියේදී] එයාට විරුද්ධව චෝදනාවක් ඉදිරිපත් කරන්න.” (ක්‍රියා 25:5) ඒ නිසා නැවත වරක් පාවුල්ගේ දිවි රැකුණා!
4 ඇත්තෙන්ම පාවුල්ට හුඟක් පීඩාවලට මුහුණ දෙන්න වුණා. නමුත් යෙහෝවා ඒ හැම අවස්ථාවකදීම යේසුස් මාර්ගයෙන් ඔහුව ශක්තිමත් කළා. යේසුස් දර්ශනය වෙලා “හිතට ධෛර්යය ගන්න” කියලා ඔහුට කිව්වා ඔබට මතක ඇති. (ක්‍රියා 23:11) අද අපටත් විවිධ අභියෝගවලට හා මිනිසුන්ගේ තර්ජන ගර්ජනවලට මුහුණ දෙන්න සිදු වෙනවා. අප මුහුණ දෙන ඒ වගේ ප්‍රශ්න ගැටලුවලින් යෙහෝවා අපව ආශ්චර්යවත් විදිහට ගලවගන්නේ නැති බව ඇත්තයි. නමුත් ඒවාට සාර්ථකව මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය හා ප්‍රඥාව ඔහු අපට දෙනවා. ඇත්තෙන්ම අපට මොන දෙයකට මුහුණ දෙන්න වුණත් අපේ ආදරණීය දෙවි යෙහෝවා “මිනිස්සුන්ගේ ශක්තියෙන් ලබාගන්න බැරි බලයක්” දීලා අපව ශක්තිමත් කරන බව නිසැකයි.—2 කොරි. 4:7.
5. පාවුල් හා සම්බන්ධ නඩුව ෆෙස්ටස් විභාග කළේ කොහොමද?
5 දින කිහිපයකට පස්සේ නැවතත් සිසේරියට ආපු ෆෙස්ටස් “විනිශ්චයාසනයේ ඉඳගෙන” පාවුල්ව හා ඔහුට චෝදනා කරපු අයව තමා ඉදිරියට කැඳෙව්වා.b කිසිම පදනමක් නැතුව තමාට විරුද්ධව එල්ල කරපු චෝදනාවලට පාවුල් මේ විදිහට පිළිතුරු දුන්නා. “මම යුදෙව්වරුන්ගේ නීතියට විරුද්ධවත් දේවමාලිගාවට විරුද්ධවත් සීසර්ට විරුද්ධවත් කිසිම වරදක් කරලා නැහැ.” ඒකට සවන් දුන් ෆෙස්ටස් කිසිම වරදක් කර නැති මේ නියෝජිතයාව නිදහස් කරන්න තීන්දු කළාද? නැහැ. යුදෙව්වන්ගේ හිත් දිනාගන්න ඔහු පාවුල්ගෙන් මෙහෙම ඇහුවා. “යෙරුසලමට ගිහින් එහෙදී මං ඔයාව විනිශ්චය කරනවාට ඔයා කැමතිද?” (ක්‍රියා 25:6-9) ඒක ඇත්තෙන්ම කිසි තේරුමක් නැති යෝජනාවක්! විනිශ්චය කරන්න පාවුල්ව නැවත යෙරුසලමට යැව්වොත් එහෙදී ඔහුව විනිශ්චය කරන්නේ ඔහුගේ චෝදනාකරුවන්මයි. එතකොට ඔහුට මරණ දණ්ඩනය ලැබෙන බව නියතයි. ඒ අවස්ථාවේ ෆෙස්ටස් යුක්තිය ඉටු කරනවා වෙනුවට දේශපාලන වශයෙන් තමන්ට වාසියක් වන විදිහට වැඩ කළා. කලින් හිටපු ආණ්ඩුකාරයෙක් වුණ පොන්තියුස් පිලාත් යේසුස් හා සම්බන්ධ නඩුවේදී වැඩ කළෙත් ඒ හා සමානවයි. (යොහ. 19:12-16) අදත් සමහර විනිසුරුවන් අන් අයගේ හිත් දිනාගන්න අසාධාරණ තීන්දු දෙනවා. ඒ නිසා දෙවියන්ගේ සෙනඟට විරුද්ධව තියෙන නඩු විභාග කරද්දී ඒවාට අසාධාරණ තීන්දු ලැබීම ගැන පුදුම විය යුතු නැහැ.
6, 7. පාවුල් සීසර්ගෙන් තීන්දුවක් ඉල්ලුවේ ඇයි? ඔහු වැඩ කරපු විදිහ අද දෙවියන්ගේ සෙනඟ අනුගමනය කරන්නේ කොහොමද?
6 යුදෙව්වන්ගේ හිත් දිනාගන්න ෆෙස්ටස්ට තිබුණ වුවමනාව නිසා පාවුල්ගේ ජීවිතයට අනතුරක් වෙන්න ඉඩ තිබුණා. නමුත් ඒ අවස්ථාවේ පාවුල් රෝම පුරවැසියෙක් විදිහට තමන් සතු අයිතිවාසිකමක් ප්‍රයෝජනයට අරන් ෆෙස්ටස්ට මෙහෙම කිව්වා. “මං දැන් ඉන්නේ සීසර්ගේ විනිශ්චයාසනය ඉස්සරහා. ඒ නිසා මාව විනිශ්චය කරන්න ඕනෙ මෙතනයි. මම යුදෙව්වරුන්ට විරුද්ධව කිසිම වරදක් කරලා නැහැ. ඒක ඔබතුමාත් හොඳටම දන්නවා. . . . මට සීසර්ගෙන් තීන්දුවක් ඕනේ!” සාමාන්‍යයෙන් කෙනෙක් එහෙම ඉල්ලීමක් කළාට පස්සේ ඒක වෙනස් කරන්න බැහැ. “ඔයා සීසර්ගෙන් තීන්දුවක් ඉල්ලපු නිසා ඔයාව සීසර් ළඟට යවනවා” කියලා ෆෙස්ටස් කිව්වේ ඒ නිසයි. (ක්‍රියා 25:10-12) විරුද්ධවාදීන් “දුෂ්ට අරමුණකින් නීති පනවන්න” උත්සාහ කරද්දී පාවුල් වැඩ කළ විදිහ අද අපට කදිම ආදර්ශයක්. ඒ වගේ අවස්ථාවලදී අපත් ශුභාරංචිය ප්‍රකාශ කරන්න තියෙන අයිතිය නීත්‍යනුකූලව තහවුරු කරන්න නීතියෙන් දීලා තියෙන අයිතිවාසිකම් ප්‍රයෝජනයට ගන්නවා.c—ගීතා. 94:20.
7 නොකළ වැරදිවලට අවුරුදු දෙකක් නිරපරාදේ සිරගතව සිටි පාවුල්ට තම නඩුව රෝමයේදී විභාග කරගන්න දැන් අවස්ථාව ලැබුණා. නමුත් සිසේරියෙන් පිටත්ව යන්න කලින් තවත් පාලකයෙක් ඉදිරියට යන්න ඔහුට සිදු වුණා.
“මං අකීකරු වුණේ නැහැ” (ක්‍රියා 25:13–26:23)
8, 9. අග්‍රිපා රජු සිසේරියට ආවේ ඇයි?
8 පාවුල් සීසර්ගෙන් තීන්දුවක් ඉල්ලලා දවස් කිහිපයකට පස්සේ ෆෙස්ටස්ට “සුබ පතන්න” අග්‍රිපා රජ හා ඔහුගේ සහෝදරිය වුණ බර්නීස් සිසේරියට ආවා.d අනිත් නිලධාරීන් අලුතින් නිලයට පත් වුණ ආණ්ඩුකාරයන්ව බැහැදකින්න යන එක රෝම චාරිත්‍රයක්. අග්‍රිපා ෆෙස්ටස්ට සුබ පතන්න ආවේ ෆෙස්ටස් එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න අරමුණින් බවට සැකයක් නැහැ. ඒ වගේ මිත්‍රත්වයක් ඇති කරගැනීම ඔහුට දේශපාලනික වශයෙන් වාසිදායකයි.—ක්‍රියා 25:13.
9 ෆෙස්ටස් පාවුල් හා සම්බන්ධ නඩුව ගැන අග්‍රිපා රජුට දන්වද්දී පාවුල්ට කියන්න තියෙන දේවලට සවන් දෙන්න කැමති බව රජු ෆෙස්ටස්ට කිව්වා. පහුවදා ඔවුන් දෙන්නාම පාවුල්ට සවන් දෙන්න විනිශ්චයාසනයේ ඉඳගත්තා. ඒ අවස්ථාවේ ඔවුන් දෙන්නා මහත් හරසරින් ඇවිත් තමන් සතු බලතල ප්‍රදර්ශනය කරලා රැස්ව සිටි අයට යම් බලපෑමක් කරන්න උත්සාහ කළා. නමුත් සියලුදෙනාට ප්‍රබල බලපෑමක් ඇති කළේ පාවුල් ඉදිරිපත් කළ කතාවයි.—ක්‍රියා 25:22-27.
10, 11. පාවුල් අග්‍රිපා රජුට ගෞරවය පෙන්නුවා කියන්නේ ඇයි? තම අතීතය ගැන පාවුල් කිව්වේ මොනවාද?
10 පාවුල් මුලින්ම තමා නිදොස් බව ඔප්පු කරන්න තමන්ට අවස්ථාව ලබා දීම ගැන ඉතා ගෞරවනීයව අග්‍රිපා රජුට ස්තුති කළා. යුදෙව්වන්ගේ සියලු චාරිත්‍ර වාරිත්‍ර ගැනත් ඔවුන් අතර පවතින මතභේද ගැනත් රජුට හොඳ දැනුමක් තියෙනවා කියලා තමා දන්නා බව පාවුල් කිව්වා. ඊටපස්සේ පාවුල් තම අතීතය මතක් කරමින් මෙහෙම කිව්වා. “මම ඒ කාලේ පරිසිවරුන්ගේ නිකායේ සාමාජිකයෙක් වෙලා හිටියා. අනිත් යුදෙව්වන්ට වඩා පරිසිවරු තමයි යුදෙව් ආගම අකුරටම පිළිපදින්නේ.” (ක්‍රියා 26:5) ඊටපස්සේ ඔහු පැහැදිලි කළේ පරිසිවරයෙක් විදිහට තමන් මෙසියස්ගේ, ඒ කියන්නේ ගැලවුම්කරුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි බවයි. දැන් ක්‍රිස්තියානියෙක් විදිහට තමන් බලාපොරොත්තුවෙන් සිටි ඒ ගැලවුම්කරු, යේසුස් ක්‍රිස්තුස් කියලා පිළිගන්නවා කියලත් ඔහු නිර්භීතව කිව්වා. තමාත් තමාට විරුද්ධව චෝදනා ඉදිරිපත් කළ අයත් බලාපොරොත්තුවෙන් ඉන්නේ එකම දේ ගැන කියලා ඔහු කිව්වා. ඒ කියන්නේ දෙවියන් ඔවුන්ගේ මුතුන්මිත්තන්ට දුන් පොරොන්දුවේ ඉටු වීම ගැන. නමුත් යුදෙව්වන් තමාට චෝදනා එල්ල කළෙත් තමාට තියෙන ඒ බලාපොරොත්තුව නිසයි කියලා පාවුල් කිව්වා. පාවුල් ඉදිරිපත් කළ ඒ කරුණු නිසා ඔහුට දිගටම සවන් දෙන්න අග්‍රිපා රජුට වුවමනා වුණා.e
11 තමා කලින් යේසුස්ගේ අනුගාමිකයන්ට සලකපු විදිහ පාවුල් මෙහෙම විස්තර කළා. “මමත් කාලයක් හිතාගෙන හිටියේ පුළුවන් තරම් නාසරෙත්වලින් ආපු යේසුස්ට විරුද්ධව වැඩ කරන්න ඕනෙ කියලා. . . . මම එයාලත් [යේසුස්ගේ අනුගාමිකයන්] එක්ක කොච්චර කේන්තියෙන් හිටියාද කියනවා නම් මං වෙන නගරවලටත් ගිහිල්ලා එයාලට පීඩා කළා.” (ක්‍රියා 26:9-11) පාවුල් ක්‍රිස්තියානීන්ට මොන තරම් දරුණු විදිහට පීඩා කළාද කියලා හුඟදෙනෙක් දැනගෙන හිටියා. ඒ නිසා ඔහු කිව්ව දේවල් සත්‍යය බව විශ්වාස කරන්න හොඳ හේතු තිබුණා. (ගලා. 1:13, 23) නමුත් ‘ඒ වගේ දරුණු කෙනෙක් දැන් ක්‍රිස්තියානියෙක් වෙලා ඉන්නේ ඇයි’ කියලා අග්‍රිපා රජ සමහරවිට කල්පනා කරන්න ඇති.
12, 13. (අ) තමා ක්‍රිස්තියානියෙක් වෙන්න හේතුව පාවුල් විස්තර කළේ කොහොමද? (ආ) පාවුල් වැඩ කරපු විදිහ “කෙවිටට පයින් ගහන එකට” සමාන වුණේ කොහොමද?
12 රජු ඒ ගැන කල්පනා කරකර හිටියා නම් පාවුල් ඊළඟට කියපු මේ දෙයින් පිළිතුරු ලැබුණු බව නිසැකයි. “නායක පූජකයන් මට සම්පූර්ණ බලතල දුන්නා දමස්කයටත් ගිහින් ඒ දේම කරන්න. ඉතින් මම දමස්කයට යන්න පිටත් වුණා. රජ්ජුරුවෙනි, ඉර මුදුන් වෙන වෙලාවේදී වගේ අපි පාරේ යද්දී අහසින් ලොකු එළියක් විහිදුණා. හිරු එළියටත් වඩා දීප්තියෙන් බැබළුණ ඒ එළිය මං වටෙයි, මාත් එක්ක ගිය අය වටෙයි විහිදෙන්න ගත්තා. අපි හැම කෙනෙක්ම බිම ඇදගෙන වැටුණා. ඊටපස්සේ හෙබ්‍රෙව් භාෂාවෙන් මෙහෙම කියන හඬක් මට ඇහුණා. ‘සාවුල්, සාවුල්, ඔයා මට පීඩා කරන්නේ ඇයි? ඔයා කරන්නේ කෙවිටට පයින් ගහන එකයි. දිගින් දිගටම එහෙම කරද්දී ඒකෙන් හානියක් වෙන්නේ ඔයාටමයි.’ ඒ වෙලාවේ මම ‘ස්වාමීනි, ඔබ කවුද’ කියලා ඇහුවා. එතකොට ස්වාමීන් මෙහෙම කිව්වා. ‘මම යේසුස්. ඔයා පීඩා කරන්නේ මටයි.’”f—ක්‍රියා 26:12-15.
13 පාවුල් වැඩ කරපු විදිහ “කෙවිටට පයින් ගහන එකට” සමාන වුණේ කොහොමද? ඒ කාලයේ බර අදින සතුන්ව දක්කගෙන යන්න තියුණු යකඩ තුඩක් තියෙන දිග කෙවිටක් භාවිත කළා. යම් මඟ පෙන්වීමක් දෙද්දී සතා මුරණ්ඩු වෙලා කෙවිටට පයින් ගැහුවොත් ඒකෙන් හානියක් වුණේ සතාටමයි. යේසුස් දර්ශනය වීමට කලින් පාවුල් දෙවියන්ගේ කැමැත්තට විරුද්ධව වැඩ කරපු නිසා ඔහුත් “කෙවිටට පයින් ගහන” සතෙක් හා සමානයි කියලා කියන්න පුළුවන්. ඒකෙන් හානියක් වුණේ ඔහුටමයි. මොකද ඔහු වැඩ කරපු විදිහ නිසා දෙවියන් සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න ඔහුට බැරි වුණා. නමුත් ඔහු අවංකව හිතුවේ ඔහු වැඩ කරන්නේ දෙවියන්ගේ කැමැත්තට එකඟව කියලයි. ඒ නිසා දමස්කයට යන අතරේදී නැවත නැඟිටවපු යේසුස් ඔහුට දර්ශනය වෙලා ඔහුගේ අවබෝධය නිවැරදි කරගන්න ඔහුට උපකාර කළා.—යොහ. 16:1, 2.
14, 15. තම ජීවිතයේ කළ වෙනස්කම් ගැන පාවුල් කිව්වේ මොනවාද?
14 නිවැරදි අවබෝධය ලැබුණාට පස්සේ පාවුල් තම ජීවිතයේ හුඟක් වෙනස්කම් කළා. ඒ ගැන ඔහු අග්‍රිපා රජුට මෙහෙම කිව්වා. “යේසුස් ස්වර්ගයෙන් දර්ශනය වෙලා මට කියපු දේට මං අකීකරු වුණේ නැහැ. මම මුලින්ම දමස්කයටත් ඊළඟට යෙරුසලමටත් ඊටපස්සේ මුළු යුදය පුරාමත් වෙනත් ජාතීන් ළඟටත් ගියා. මම එයාලට කිව්වේ පසුතැවිලි වෙලා ආයෙත් දෙවියන් වෙතට හැරෙන්න කියලා. පසුතැවිලි වුණා කියලා එයාලා වැඩ කරන විදිහෙන් පෙන්නන්න කියලත් මං කිව්වා.” (ක්‍රියා 26:19, 20) යේසුස් දර්ශනය වෙලා ඔහුට භාර දුන්න පැවරුම පාවුල් අවුරුදු ගාණක් පුරා විශ්වාසවන්තව ඉටු කළා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට හුඟදෙනෙක් ශුභාරංචිය පිළිගෙන ඔවුන් කලින් ගත කරපු අනාචාර, වංක ජීවිත වෙනස් කරගත්තා. ඒ අය රටේ නීතියට ගරු කරන යහපත් පුරවැසියන් වුණා.
15 නමුත් පාවුල්ගේ සේවය නිසා ලැබුණු ඒ යහපත් ප්‍රතිඵල පාවුල්ගේ විරුද්ධවාදීන් අගය කළේ නැහැ. ඔහු කියපු මේ දෙයින් ඒක පැහැදිලියි. “යුදෙව්වන් මාව දේවමාලිගාවේදී අල්ලලා මරන්න හැදුවේ මං එහෙම කියපු නිසයි. ඒත් දෙවියන් මට උදව් කරපු නිසා අද වෙන කල් හැම තරාතිරමකම ඉන්න අයට සාක්ෂි දරන්න මට පුළුවන් වෙලා තියෙනවා.”—ක්‍රියා 26:21, 22.
16. අපේ විශ්වාසයන් ගැන විනිසුරුවන් හා පාලකයන් ඉදිරියේ කතා කරද්දී පාවුල්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?
16 සැබෑ ක්‍රිස්තියානීන් වන අපත් අපේ “බලාපොරොත්තුව ගැන ප්‍රශ්න කරන හැමෝටම උත්තර දෙන්න නිතරම ලෑස්ති පිට ඉන්නවා.” (1 පේතෘ. 3:15) විනිසුරුවන් හා රටේ පාලකයන් ඉදිරියේ අපේ විශ්වාසයන් ගැන කතා කරන්න වුණොත් අග්‍රිපා රජු හා ෆෙස්ටස් ඉදිරියේ පාවුල් කතා කරපු විදිහ අනුගමනය කරන්න අපට පුළුවන්. අපේ ජීවිත හා ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් දක්වන අයගේ ජීවිත වෙනස් කරගන්න බයිබල් සත්‍යයන් උදව් වුණ විදිහ ගැන ඔවුන්ට කියන්න පුළුවන්. ඒකෙන් ඒ බලධාරීන්ට අප ගැන තියෙන වැරදි වැටහීම් වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා.
“ඔයා මාවත් ක්‍රිස්තියානියෙක් කරයි” (ක්‍රියා 26:24-32)
17. පාවුල් කියපු දේවලට ආණ්ඩුකාර ෆෙස්ටස් ප්‍රතිචාරය දැක්වුවේ කොහොමද? ඔහුට තිබුණ ආකල්පය තියෙන අය අදත් ඉන්නවා කියලා කියන්නේ ඇයි?
17 හිතට කාවදින විදිහට පාවුල් කළ කතාව පාලකයන් දෙන්නාට බලපෑවේ කොහොමද? එක් කෙනෙක් දක්වපු ප්‍රතිචාරය ගැන වාර්තාවේ සඳහන් වන්නේ මෙහෙමයි. “පාවුල් එයාගේ නිර්දෝෂකම ඔප්පු කරන්න ඒ දේවල් කියද්දී ෆෙස්ටස් කෑගහලා මෙහෙම කිව්වා. ‘පාවුල්, ඔයාට පිස්සු හැදීගෙන එනවාද! ඕනෑවට වඩා ඉගෙනගන්න ගිහින් ඔයාගේ සිහිය විකල් වෙලා!’” (ක්‍රියා 26:24) ආණ්ඩුකාර ෆෙස්ටස් දක්වපු ප්‍රතිචාරය ගැන අප පුදුම විය යුතු නැහැ. මොකද එදා වගේ අදත් හුඟදෙනෙක් හිතන්නේ බයිබල් සත්‍යයන් උගන්වන අය ආගමික උන්මත්තකයන් කියලයි. සමාජයේ උගතුන් විදිහට සලකන හුඟදෙනෙක් කියන්නේ බයිබලයේ සඳහන් වන නැවත නැඟිටීමේ බලාපොරොත්තුව විශ්වාස කළ නොහැකි බවයි.
18. පාවුල් ආණ්ඩුකාර ෆෙස්ටස්ට පිළිතුරු දුන්නේ කොහොමද? ඒකට අග්‍රිපා රජු ප්‍රතිචාරය දැක්වුවේ කොහොමද?
18 පාවුල් ඒ අවස්ථාවේ ඔහුට මෙහෙම කිව්වා. “අතිගරු ෆෙස්ටස්තුමනි, මගේ සිහිය විකල් වෙලා නැහැ. මම කියන දේවල් ඇත්ත. මම හොඳට හිතලා බලලා පදනමක් ඇතුවයි ඒවා කියන්නේ. රජතුමාටත් මේ දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙනවා. මම කිසිම බයක් නැතුව ඔහුට ඒ දේවල් කිව්වේ ඒ නිසයි. . . . අග්‍රිපා රජ්ජුරුවෙනි, ඔබතුමන් අනාගතවක්තෘවරුන් කියපු දේවල් විශ්වාස කරනවාද? ඔබතුමන්ට ඒ දේවල් ගැන විශ්වාසයක් තියෙනවා කියලා මම දන්නවා.” එතකොට අග්‍රිපා “වැඩි වෙලාවක් යන්න කලින් ඔයා මාවත් ක්‍රිස්තියානියෙක් කරයි” කියලා පාවුල්ට කිව්වා. (ක්‍රියා 26:25-28) ඔහු එහෙම කිව්වේ අවංකවද නැද්ද කියලා අප හරියටම දන්නේ නැහැ. නමුත් පාවුල් දරපු සාක්ෂිය රජුට ප්රබලව බලපෑවා කියලා නම් ස්ථිරයි.
19. පාවුල් ගැන අග්‍රිපා රජු හා ආණ්ඩුකාර ෆෙස්ටස් ආපු නිගමනය මොකක්ද?
19 ඊටපස්සේ රැස්වීම අවසන් කියලා පෙන්වන්න අග්‍රිපා හා ෆෙස්ටස් අසුන්වලින් නැඟිට්ටා. වාර්තාවේ කියන්නේ “එතනින් යද්දී එයාලා මෙහෙම කතා වුණා. ‘මරණ දඬුවම දෙන්නවත් හිරේ දාන්නවත් තරම් කිසිම වරදක් මේ මනුස්සයා කරලා නැහැ’” කියලයි. ඒ අතර අග්‍රිපා ෆෙස්ටස්ට මෙහෙම කිව්වා. “මේ මනුස්සයා සීසර්ගෙන් තීන්දුවක් ඉල්ලලා තිබ්බේ නැත්නම් එයාව නිදහස් කරන්නත් තිබුණා.” (ක්‍රියා 26:31, 32) තමන් ඉදිරියේ පෙනී සිටියේ නිර්දෝෂ පුද්ගලයෙක් කියලා ඔවුන් තේරුම්ගත්තා. යම් දුරකට ක්‍රිස්තියානීන් ගැන හොඳ ආකල්පයක් ඔවුන් තුළ ඇති වෙන්නත් ඇති.
20. පාවුල් උසස් බලධාරීන් ඉදිරියේ සාක්ෂි දැරීමෙන් ලැබුණු ප්‍රතිඵල මොනවාද?
20 පේන විදිහට අග්‍රිපා රජුවත් ආණ්ඩුකාර ෆෙස්ටස්වත් ශුභාරංචිය පිළිගත්තේ නැහැ. එහෙනම් පාවුල් ඔවුන්ට සාක්ෂි දරපු එකෙන් පලක් තිබුණාද? ඔව්. පාවුල්ව යූදා පළාතේ ‘ආණ්ඩුකාරයන් සහ රජවරු ඉස්සරහට අරන්’ ගිය නිසා රෝම බලධාරීන්ට දේවරාජ්‍යය ගැන සාක්ෂි දරන්න ඔහුට අවස්ථාව ලැබුණා. එහෙම නොවුණා නම් රෝම බලධාරීන්ට සාක්ෂි දරන්න අවස්ථාවක් නොලැබෙන්නත් තිබුණා. (ලූක් 21:12, 13) ඒ විතරක් නෙවෙයි, පාවුල් මුහුණ දුන් දේවල් ගැන හා පීඩා මැද ඔහු විශ්වාසවන්තව හිටිය විදිහ ගැන අහලා සහෝදර සහෝදරියන් ලොකු දිරිගැන්වීමක් ලැබුවා.—ෆිලි. 1:12-14.
21. අත් නෑර ශුභාරංචිය දේශනා කරන එකෙන් අද්දකින්න පුළුවන් ප්‍රතිඵල මොනවාද?
21 පීඩා හා විරුද්ධවාදිකම් මැදත් අත් නෑර ශුභාරංචිය දේශනා කිරීමෙන් අද අපටත් ඒ වගේ ප්‍රතිඵල අද්දකින්න පුළුවන්. හමු වීමට අපහසු උසස් නිලධාරීන්ට සාක්ෂි දරන්නත් ඒකෙන් අපට අවස්ථාව උදා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අප විඳදරාගෙන කරන සේවය දැකලා අපටත් වඩා නිර්භීතව දේශනා කිරීමට අපේ සහෝදර සහෝදරියන් පෙලඹෙන්න ඉඩ තියෙනවා. ඇත්තෙන්ම අප විඳදරාගනිමින් කරන සේවය අපේ සහෝදරයන්ට ලොකු දිරිගැන්වීමක්!
a “රෝම ආණ්ඩුකාරයෙක් වුණ පෝර්ෂස් ෆෙස්ටස්” කියන කොටුව බලන්න.
b “විනිශ්චයාසනය” තිබුණේ වේදිකාවක් මතයි. විනිසුරුවා උස් ස්ථානයක සිට තීන්දුව ලබා දෙන නිසා ඒක වෙනස් කළ නොහැකි තීන්දුවක් විදිහට සලකලා හැමෝම ඒකට ගරු කළා. යේසුස්ට විරුද්ධව නඟපු චෝදනාත් පිලාත් විභාග කළේ විනිශ්චයාසනයක සිටයි.
c “සාක්ෂිකරුවන් සැබෑ නමස්කාරය වෙනුවෙන් කතා කරයි” කියන කොටුව බලන්න.
d “දෙවෙනි හෙරොද් අග්‍රිපා රජ” කියන කොටුව බලන්න.
e පොරොන්දු වුණ ගැලවුම්කරු යේසුස් බව ක්‍රිස්තියානියෙක් විදිහට පාවුල් පිළිගත්තා. නමුත් යුදෙව්වන් යේසුස්ව ප්‍රතික්ෂේප කළ නිසා ඔවුන් පාවුල්ව සැලකුවේ යුදෙව් ආගමට විරුද්ධව වැඩ කරන කෙනෙක් විදිහටයි.—ක්‍රියා 21:21, 27, 28.
f බයිබල් විශාරදයෙක් කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් ගමනක් යද්දී “ඉර මුදුන් වෙන වෙලාවේදී” විවේකයක් ගන්නවා කියලයි. නමුත් පාවුල් කියන්නේ “ඉර මුදුන් වෙන වෙලාවේදී” ඔහු ගමන් කරමින් හිටියා කියලයි. ඒකෙන් තේරෙන්නේ ඔහුට ඒ ගමන කොතරම් ඉක්මනින් යන්න ඕනෙ වෙලා තිබුණාද කියලා. යේසුස්ගේ අනුගාමිකයන්ට විරුද්ධව වැඩ කරන්න පාවුල්ට මොන තරම් උනන්දුවක් තිබුණාද කියා අපට ඒකෙන් පැහැදිලි වෙනවා.