යෙහෝවඃ වහන්සේ—සැබෑ ජීවමාන දෙවියන් වහන්සේ ය
“යෙහෝවඃ වහන්සේ යනු කවුද?” යයි මිසරයේ ඵාරාවෝ ඇසූ අවස්ථාවෙහි ඔහු කථා කළේ විරුද්ධත්වයෙන් හා අපහාසාත්මක ස්වරයෙනි. (නික්මයාම 5:2, NW) කලින් ලිපියේ පෙන්වන ලද ආකාරයට, එම ආකල්පය ඵාරාවෝ හා ඔහුගේ යුද්ධ සේනාංකවලට ජලීය සොහොනක් ද ඇතුළු ව, මිසරවරුන් මතට වසංගත හා මරණය ගෙනෙන ලදි.
පුරාතන මිසරයේ දී, බොරු දෙවිවරුන්ට එරෙහි ව යෙහෝවඃ දෙවියන් වහන්සේ ස්වකීය ශ්‍රේෂ්ඨත්වය ඔප්පු කළ සේක. එහෙත් උන් වහන්සේ පිළිබඳ ව උගත යුතු තවත් බොහෝ දෑ ඇත. උන් වහන්සේගේ පුද්ගලිකත්වයේ සමහරක් පැති මොනවා ද? එමෙන් ම උන් වහන්සේට අපගෙන් අවශ්‍ය කරන්නේ කුමක් ද?
උන් වහන්සේගේ නාමය හා කීර්තිය
උන් වහන්සේ මිසරයේ ඵාරාවෝගෙන් යමක් ප්‍රබල ව ඉල්ලා සිටි විට, ‘ස්වාමීන් වහන්සේ මේ මේ දෑ ආදිය වදාරන සේක’ යයි මෝසෙස් කීවේ නැත. ඵාරාවෝ හා වෙනත් මිසරවරු තමන්ගේ බොහෝ බොරු දෙවිවරුන් ස්වාමිවරුන් යයි කල්පනා කළහ. එසේ නොව, මෝසෙස් යෙහෝවඃ යන දිව්‍ය නාමය පාවිච්චි කළේ ය. ඔහු දැවෙන පඳුර තිබූ මිදියන් හි සිටි අවස්ථාවේ දී එය ඉහළින් කථා කෙරෙනු අසා තිබුණි. දේවානුභාවය ලත් වාර්තාව මෙසේ පවසන්නේ ය:
“දෙවියන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මම යෙහෝවඃවහන්සේය. . . . ඇරත් මිසරවරුන් විසින් වහල්කමෙහි තබාගන සිටින ඉශ්රායෙල් පුත්‍රයන්ගේ කෙඳිරිගෑම මම අසා මාගේ ගිවිසුම සිහිකෙළෙමි. එබැවින් ඉශ්රායෙල් පුත්‍රයන්ට කථාකොට: මම යෙහෝවඃවහන්සේය, මිසරවරුන් තබන බරවලින් මම නුඹලා පිටතට ගෙනෙන්නෙමි, ඔවුන්ගේ වහල්කමෙන් නුඹලා නිදහස්කරන්නෙමි, දිගු කළ බාහුවකින්ද මහත් විනිශ්චයවලින්ද නුඹලා මුදන්නෙමි. නුඹලා මාගේ සෙනග කොට පිළිගෙන නුඹලාට දෙවිකෙනෙක් වන්නෙමි. මෙසේ මම මිසරවරුන්ගේ බරවලින් නුඹලා පිටතට ගෙනෙන නුඹලාගේ දෙවිවූ යෙහෝවඃවහන්සේ බව නුඹලා දැනගන්නහුය. [නුඹේ ආදි පිතෘන් වූ] ආබ්‍රහම්ටත් ඊසාක්ටත් යාකොබ්ටත් දෙන ලෙස යම් දේශයක් [කානාන්] ගැන මාගේ අත එසවීම්ද ඒ දේශයට නුඹලා පමුණුවා උරුමයක් කොට ඒක නුඹලාට දෙන්නෙමි. මම යෙහෝවඃ වහන්සේ[ය].”—නික්මයාම 6:1-8.
යෙහෝවඃ වහන්සේ හරියට ම කළේ ඒ දෙයයි. උන් වහන්සේ ඊශ්‍රායෙලිතයන් ව මිසරයේ වහල්කමෙන් මුදා කානාන් දේශයේ පදිංචි වීමට ඔවුන්ට හැකියාව ලබා දුන් සේක. පොරොන්දු වූ ආකාරයට, දෙවියන් වහන්සේ මේ සියල්ල සිදු වෙන්ට සැලැස් වූ සේක. කොතරම් උචිත ද! යෙහෝවඃ යන උන් වහන්සේගේ නාමය, “උන් වහන්සේ සිදු වීමට සලස්වන සේක” යන්න අදහස් කරයි. “දෙවියන්වහන්සේ,” “පරමාධිපති දෙවි ස්වාමීන් වහන්සේ,” “මැවුම්කරුවාණෝ,” “පියාණන්වහන්සේ,” “සර්වපරාක්‍රමයාණන්,” හා “මහෝත්තමයාණෝ” වැනි පදවි නාමවලින් බයිබලය යෙහෝවඃ වහන්සේට යොමු දක්වයි. එහෙත් උන් වහන්සේගේ නාමය වන යෙහෝවඃ යන්න, ස්වකීය උදාර අරමුණ ක්රමානුකූල ව ඉටු කරන්නා වූ සැබෑ දෙවියන් වහන්සේ වශයෙන් හඳුන්වයි.—යෙසායා 42:8.
බයිබලයේ මුල් භාෂාවන්ගෙන් අප එය කියවන්නට යෙදුණේ නම්, අපට දෙවියන් වහන්සේගේ නාමය වාර දහස් ගණනක් සොයා ගත හැකි වනු ඇත. හෙබ්‍රෙව් භාෂාවෙන් එය ටෙට්රාග්රැමටන් යනුවෙන් හඳුන්වනු ලබන්නා වූ ද, දකුණේ සිට වමට කියවනු ලබන්නා වූ ද, යොඩ් හේ වෝ හේ )(יהוה යන ගාත්රාක්ෂර හතරකින් නියෝජනය කෙරේ. හෙබ්‍රෙව් කථා කරන්නන් ප්රාණාක්ෂර හඬවල් ඊට එකතු කළ ද, අද ජීවත් වන අය ඒවා කුමක් වී දැයි හරියට ම දන්නේ නැත. ඇතැමෙක් යාවේ යන අක්ෂර වින්‍යාසයට අනුග්‍රහයක් දැක්වුව ද, යෙහෝවඃ යන්නා වූ ස්වරූපය පොදු එකක් ව පවතින අතර එය අපගේ මැවුම්කරුවාණන් ව ඔබිනා අයුරින් හඳුන්වා දෙයි.
යෙහෝවඃ යන නාමයේ භාවිතය ගීතාවලිය 110:1 හි “මාගේ ස්වාමීන්” යයි හඳුන්වනු ලබන තැනැත්තාගෙන් ද දෙවියන් වහන්සේ ව වෙන් කොට දක්වයි. එක්තරා පරිවර්තනයක් එම වගන්තිය දක්වනුයේ: “ස්වාමීන්වහන්සේ [හෙබ්‍රෙව්, [יהוה මාගේ ස්වාමීන්ට කථාකොට: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරනතෙක් මාගේ දකුණු පැත්තෙහි හිඳින්නැයි කීසේක” යනුවෙනි. හෙබ්‍රෙව් මුල් පිටපතේ දෙවියන් වහන්සේගේ නාමය තිබීම පිළිගනිමින්, න වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් බයිබලයේ අපට එය කියවන්නට ඇත්තේ මෙසේ ය: “යෙහෝවඃ වහන්සේ මාගේ ස්වාමීන්ට පවසන වගනම්: ‘මා විසින් ඔබේ සතුරන් ඔබේ පාපුටුව කරන තෙක් මාගේ දකුණු පැත්තෙහි අසුන් ගන්න.’ ” යෙහෝවඃ දෙවියන් වහන්සේගේ එම වදන්, ලේඛකයා විසින් “මාගේ ස්වාමීන්” හැටියට යේසුස් ක්‍රිස්තුස් වහන්සේට අනාවැකිමය ලෙස යොමු දැක්වේ.
ඵාරාවෝගේ දවසේ දී යෙහෝවඃ වහන්සේ, නමින් ප්‍රසිද්ධ වූ සේක. මෝසෙස් මගින්, දැඩි හෘදයක් තිබූ එම පාලකයාට දෙවියන් වහන්සේ මෙසේ වදාළ සේක: “මුළු පොළොවෙහි මා සමාන කෙනෙක් නැති බව නුඹ දැනගන්නා පිණිස මේ වතාවේ නුඹේ සිතටත් [හෘදයටත් NW] නුඹේ සේවකයන් පිටටත් නුඹේ සෙනග පිටටත් මාගේ සියලු පීඩාවන් පමුණුවන්නෙමි. මක්නිසාද දැනට මා විසින් මාගේ අත දිගුකොට නුඹට සහ නුඹේ සෙනගට වසංගතයෙන් පහර දෙන්ටත් එසේ නුඹ පොළොවෙන් සිඳිනු ලබන්ටත් තිබුණේය. සැබවින් මා විසින් නුඹ ආරක්ෂාකළේ නුඹට මාගේ බලය පෙන්වන පිණිසත් මාගේ නාමය මුළු පොළොවෙහි ප්‍රකාශවෙන පිණිසත්ය.”—නික්මයාම 9:14-16.
ඊශ්‍රායෙලිතයන් මිසරයෙන් නික්මයාම ගැනත් ඇතැම් කානානීය රජවරුන් බලයෙන් පහකිරීම ගැනත්, යෙරිකෝවේ රාහාබ් හෙබ්‍රෙව් ජාතික ඔත්තුකාරයන් දෙදෙනෙකුට මෙසේ පැවසුවා ය: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] දේශය නුඹලාට [ඊශ්‍රායෙල්වරුන්ට] දී තිබෙන [දෙනු ඇති NW] බවද නුඹලා නිසා භීතිය අප පිට පැමිණ තිබෙන බවද දේශයේ සියලු වැසියන්ගේ සිත් නුඹලා නිසා දියවී තිබෙන බවද දනිමි. මක්නිසාද නුඹලා මිසරයෙන් පිටතට එන කල ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] නුඹලා ඉදිරියෙහි රතු මුහුදේ වතුර සිඳෙවූ හැටිද නුඹලා විසින් සිඳදමනලද යොර්දානෙන් එතර සිටිය අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනාවූ සීහොන්ටත් ඕග්ටත් නුඹලා කළ දේද ඇසීමුව. ඒ ඇසූ කෙණෙහිම අපේ සිත් දියවගියේය, නුඹලා නිසා කිසිවෙකු තුළ ධෛර්ය්යයක් තවත් නොවීය. මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේම [යෙහෝවඃ වහන්සේ ම NW] ඉහළ ස්වර්ගයෙහිද පහත පොළොවෙහිද දෙවියන්වහන්සේය.” (යෝෂුවා 2:9-11) එසේ ය යෙහෝවඃ වහන්සේගේ කීර්තිය පැතිර ගොස් තිබුණි.
යෙහෝවඃ වහන්සේ හා ස්වකීය ගුණාංග
“යෙහෝවා නම්වූ ඔබ පමණක් මුළු පොළොවට මහෝත්තමයාණන් බව ඔවුන් [ජනයා NW] දැනගන්නා පිණිස” යන හෘදයාංගම ප්‍රාර්ථනාව ගීතිකාකරු ප්‍රකාශ කළේ ය. (ගීතාවලිය 83:17) යෙහෝවඃ වහන්සේගේ පරමාධිපත්‍යය විශ්වනීය එකක් වන බැවින්, පීඩාවට පත් කරන ලද යේසුස් වහන්සේගේ අනුගාමිකයන්ට, “මහෝත්තම [පරමාධිපති NW] ස්වාමීනි, අහසත්, පොළොවත්, මුහුදත්, එහි ඇති සියල්ලත් මැව්වේ ඔබ වහන්සේ ය” යයි යාච්ඤා කළ හැකි විය. (ක්‍රියා 4:24, නව අනුවාදය) තව ද යෙහෝවඃ වහන්සේ “යාච්ඤා අසන තැනන්වහන්ස” ව සිටින බව දැනගැනීම කොතරම් සහනයක් ද!—ගීතාවලිය 65:2.
යෙහෝවඃ වහන්සේගේ ප්‍රධාන ගුණාංගය ප්‍රේමයයි. ඇත්ත වශයෙන් ම, “දෙවියන්වහන්සේ ප්‍රේමයය”—මෙම ගුණාංගයේ සාරය වන සේක. (1 යොහන් 4:8) මීට අමතර ව, “ප්‍රඥාවත් බලයත් ඇත්තේ උන්වහන්සේ වෙතය.” යෙහෝවඃ වහන්සේ සර්ව-ප්‍රඥාවන්ත මෙන් ම සර්ව-බලධාරී වූවද, ස්වකීය බලය උන් වහන්සේ කිසිකලෙක අයුතු ලෙස භාවිතා කරන්නේ නැත. (යෝබ් 12:13; 37:23) “ධර්මිෂ්ඨකම හා යුක්තිය [විනිශ්චය NW] උන්වහන්සේගේ සිංහාසනයේ අත්තිවාරම” වන බැවින්, යෙහෝවඃ වහන්සේ සැමවිට ම අප සමඟ යුක්ති සහගත ආකාරයකට ක්‍රියා කරනු ඇතැයි අපට සහතික විය හැක. (ගීතාවලිය 97:2) අප වැරදි කරනමුත් පසුතැවිලි වන්නේ නම්, යෙහෝවඃ වහන්සේ “අනුකම්පාවෙන් පූර්ණවූ දයාවන්තවූ උදහස් වීමට ප්‍රමාදවන්නාවූ අධිකතර කරුණාව සහ සැබෑකමද ඇත්තාවූ දෙවි කෙනෙක්” ව සිටින බවට වූ දැනුමෙන් අපට සහනයක් ලැබිය හැක. (නික්මයාම 34:6) යෙහෝවඃ වහන්සේට සේවය කිරීමෙන් අපට ප්‍රීතිය ලැබිය හැකි වීම පුදුමයක් නොවේ!—ගීතාවලිය 100:1-5.
සැසඳිය නොහැකි ස්වර්ගික රජාණෝ
යෙහෝවඃ වහන්සේගේ පුත්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ “දෙවියන්වහන්සේ ආත්මයක්ය” යයි වදාළ සේක. (යොහන් 4:24) එබැවින්, යෙහෝවඃ වහන්සේ මනුෂ්‍ය ඇස්වලට නොපෙනේ. ඇත්ත වශයෙන් ම, යෙහෝවඃ වහන්සේ මෝසෙස් අමතා “මාගේ මුහුණ දකින්ට නුඹට නුපුළුවන. මක්නිසාද මනුෂ්‍යයා මා දැක ජීවත් නොවන්නේය” යයි වදාළ සේක. (නික්මයාම 33:20) මෙම ස්වර්ගික රජාණෝ කොතරම් මහානුභාසම්පන්න ව සිටින්නේ ද කියතොත්, මනුෂ්‍යයන්ට උන් වහන්සේ ව දැකීමේ අත්දැකීම දරා සිටිය නොහැකි ය.
යෙහෝවඃ වහන්සේ අපගේ ඇස්වලට නොපෙනුන ද, සර්වබලධාරී දෙවියන් හැටියට උන් වහන්සේගේ පැවැත්මට ඕනෑ තරම් සාක්ෂි ඇත. ඇත්ත වශයෙන් ම, “ලෝකය මැවූ තැන් පටන් දෙවියන්වහන්සේගේ අදෘශ්‍යමාන දේ වන උන්වහන්සේගේ සදාකාලිකවූ බලය හා දෙවිකම මවනලද දේවලින් තේරුම් ගොස් පැහැදිලිලෙස පෙනීයන්නේය.” (රෝම 1:20) පොළොව එහි තෘණ, ගස්, පළතුරු, එළවළු, හා මල් සමඟින් යෙහෝවඃ වහන්සේගේ දේවත්වයට සාක්ෂි දරයි. නොවටිනා පිළිම දෙවිවරුන් මෙන් නොව, යෙහෝවඃ වහන්සේ වර්ෂාව සහ සාරවත් කාලවල් දෙන සේක. (ක්‍රියා 14:16, 17) රාත්‍රි අහසේ ඇති තාරකා දෙස බලන්න. යෙහෝවඃ වහන්සේගේ දේවත්වය හා සංවිධානශීලී හැකියාව පිළිබඳ කොතරම් මහත් සාක්ෂි ද!
යෙහෝවඃ වහන්සේ ස්වර්ගයේ සිටින ස්වකීය ශුද්ධ, බුද්ධිමත් ආත්මික මැවිලි ද සංවිධානය කර තිබෙන සේක. ගීතිකාකරු පවසන ආකාරයට, එකඟත්වයකින් යුත් සංවිධානයක් හැටියට, ඔවුහු දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරති: “උන්වහන්සේගේ වාග් ශබ්දය අසා උන්වහන්සේගේ වචන ඉෂ්ටකරන්නාවූ ශක්තියෙන් බලවන්තයෙනි, ස්වාමීන්ගේ [යෙහෝවඃ වහන්සේගේ NW] දූතයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්. ස්වාමීන්ගේ [යෙහෝවඃ වහන්සේගේ NW] සේනා සියල්ලෙනි, එනම් උන්වහන්සේගේ කැමැත්ත ඉෂ්ටකරන්නාවූ උන්වහන්සේගේ මෙහෙකරුවෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.” (ගීතාවලිය 103:20, 21) යෙහෝවඃ වහන්සේ පොළොව මත සිටින ස්වකීය ජනයා ව ද සංවිධානය කර ඇත. ඊශ්‍රායෙල් ජාතියත්, එසේ ම දෙවියන් වහන්සේගේ පුත්‍රයාගේ මුල් අනුගාමිකයන්වත් හොඳින් සංවිධානය කර තිබුණි. සමානාකාරයෙන් අද දවසේ, දේව රාජ්‍යය අත ළඟ බවට ප්‍රකාශ කරන්නා වූ ජ්වලිත සාක්ෂිකරුවන් සමන්විත ලෝක ව්‍යාප්ත සංවිධානයක් යෙහෝවඃ වහන්සේට ඇත.—මතෙව් 24:14.
යෙහෝවඃ වහන්සේ සැබෑ ජීවමාන දෙවියන් වහන්සේ ය
යෙහෝවඃ වහන්සේගේ දේවත්වය ආකාර බොහොමයකින් නිරූපනය කර ඇත! උන් වහන්සේ මිසරයේ බොරු දෙවිවරුන් ව අවමානයට පත්කර ඊශ්‍රායෙලිතයන් ව ආරක්ෂා සහිත ව පොරොන්දු දේශයට ගෙනා සේක. මැවිල්ල යෙහෝවඃ වහන්සේගේ දේවත්වයට අපමණ සාක්ෂි දෙයි. තව ද උන් වහන්සේ හා බොරු ආගමේ නොවටිනා පිළිම දෙවිවරුන් අතර සැසඳීමක් කිසිසේත් කළ නොහැක.
ජීවමාන දෙවියන් වන, යෙහෝවඃ වහන්සේ හා මනුෂ්‍යයා විසින් සාදන ලද අජීව පිළිම අතර මහත් වෙනස දිවැස්වර යෙරෙමියා පෙන්වී ය. එම අසමානත්වය යෙරෙමියා 10වන පරිච්ඡේදයේ හොඳින් ප්‍රකාශ කර ඇත. වෙනත් දෑ අතර, යෙරෙමියා “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] සැබෑවූ දෙවියන්වහන්සේය; උන්වහන්සේ ජීවමාන දෙවියන්වහන්සේය, සදාකාල රජකෙනෙක්ය [රජාණෝ ය NW]” යයි ද ලීවේ ය. (යෙරෙමියා 10:10) ජීවමාන හා සැබෑ දෙවියන් වන යෙහෝවඃ වහන්සේ සියල්ල මවා වදාළ සේක. උන් වහන්සේ මිසරයේ වහල් භාවය තුළ දුක් විඳිමින් සිටි ඊශ්‍රායෙලිතයන් ව මුදාහළ සේක. උන් වහන්සේට කළ නොහැකි කිසිවක් නැත.
“සදාකාල රජ්ජුරුවන්” වන යෙහෝවඃ වහන්සේ, “ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා” යන යාච්ඤාවට පිළිතුරු දෙනු ඇත. (1 තිමෝති 1:17; මතෙව් 6:9, 10) දැනටමත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ හස්තයට භාර ව පවතින ස්වර්ගික මෙසියානු රාජ්‍යය, ඉක්මනින් ම දුෂ්ටයන්ට විරුද්ධ ව ක්‍රියා කර යෙහෝවඃ වහන්සේගේ සියලු සතුරන් ව විනාශ කර දමනු ඇත. (දානියෙල් 7:13, 14) එම රාජ්‍යය කීකරු මනුෂ්‍ය වර්ගයා සඳහා නිම නොවන ආශීර්වාදවලින් යුත් අලුත් ලෝකයක් ද උදා වීමට සලස්වනු ඇත.—2 පේතෘස් 3:13.
යෙහෝවඃ වහන්සේ හා උන් වහන්සේගේ අරමුණු ගැන ඉගෙන ගැනීමට තවත් බොහෝ දෑ ඇත. එවන් දැනගැන්මක් ලබා ඊට එකඟ ව ක්‍රියා කිරීම ඔබගේ අධිෂ්ඨානය කර නොගන්නේ මන්ද? ඔබ මෙය කළොත්, රාජ්‍යය පාලනය යටතේ භූමික පාරාදීසයක සදාකාල ජීවිතයක් භුක්ති විඳීමේ වරප්‍රසාදය ඔබ ලබනු ඇත. එවිට ඔබ වැලපීම, වේදනාව, මෙන් ම මරණය පවා නොමැති එමෙන් ම යෙහෝවඃ වහන්සේ පිළිබඳ දැනගැන්මෙන් ලොව පිරී යන අවධියක ජීවත් වනු ඇත. (යෙසායා 11:9; එළිදරව් 21:1-4) “යෙහෝවඃ වහන්සේ යනු කවුද?” යන ප්‍රශ්නයට බයිබලය මත පදනම් පිළිතුර ඔබ විසින් සෙවීමට උත්සාහ ගෙන, එය සොයා, ඊට එකඟ ව ක්‍රියා කරන්නේ නම්, එය ඔබගේ ත්‍යාගය වනු ඇත.
[7වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Pictorial Archive (Near Eastern History) Est.