යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙනත් ආගම් එක්ක සම්බන්ධ වෙනවද?
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැටියට අපි අනිත් ආගම්වල ඉන්න අයත් එක්ක එයාලගේ විශ්වාසයන් ගැන කතා කරන්නේ හරිම සතුටින්. හැබැයි අපි එයාලගේ ආගමික වත්පිළිවෙත්වලට කොහෙත්ම සම්බන්ධ වෙන්නේ නැහැ. සැබෑ ක්‍රිස්තියානීන් ගැන බයිබලයේ සඳහන් වෙන්නේ එයාලා එක ශරීරයක තියෙන අවයවයන් වගේ “සහයෝගයෙන්” වැඩ කරනවා කියලයි. එහෙම කරන්න එයාලට මූලිකවම පුළුවන් වෙලා තියෙන්නේ එයාලගේ විශ්වාසයන් සම්බන්ධයෙන් තියෙන ‘එකඟතාවය’ නිසයි. (එෆීස 4:16; 1 කොරින්ති 1:10; ෆිලිප්පි 2:2) ආදරය, දයානුකම්පාව, සමාව දීම වගේ දේවල වටිනාකම ගැන එකඟ වෙනවට වඩා වැඩි දෙයක් ඒකට ඇතුළත් වෙනවා. අපේ හැම විශ්වාසයක්ම රැඳිලා තියෙන්නේ බයිබලයේ තියෙන නිවැරදි දැනුම මතයි.—රෝම 10:2, 3.
අනිත් ආගම්වල ආගමික වත්පිළිවෙත්වලට සම්බන්ධ වෙන එක බයිබලයේ සමාන කරලා තියෙන්නේ නොගැළපෙන විදිහට වියගහක් යටට යන එකටයි. (2 කොරින්ති 6:14-17, පාදසටහන) එහෙම කරන එකෙන් ක්‍රිස්තියානීන්ගේ විශ්වාසයන්වලට හානියක් වෙන්න පුළුවන්. ඒ නිසයි යේසුස් ඔහුගේ ගෝලයන්ට අනිකුත් ආගමික වත්පිළිවෙත්වලට සම්බන්ධ වෙන්න ඉඩ දුන්නේ නැත්තේ. (මතෙව් 12:30; යොහන් 14:6) අසල්වැසි ජාතීන්ගේ ආගමික වත්පිළිවෙත්වලට සම්බන්ධ වෙන්න එපා කියලා දෙවියන් මෝසෙස් මාර්ගයෙන් ඊශ්‍රායෙල්වරුන්ට දීපු නීතියෙත් සඳහන් වුණා. (නික්මයාම 34:11-14) වෙනත් ආගම් අදහපු අය උදව් කරන්න ඉදිරිපත් වුණු අවස්ථාවකදී දෙවියන්ට විශ්වාසවන්තව හිටපු ඊශ්‍රායෙල්වරු ඒක ප්‍රතික්ෂේප කළේ එයාලගේ විශ්වාසයන්වලට ඒකෙන් හානියක් වෙයි කියලා හිතපු නිසයි.—එස්රා 4:1-3.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙනත් ආගම්වල ඉන්න අයගේ විශ්වාසයන් ගැනත් එයාලා එක්ක කතා කරනවද?
ඔව්. යේසුස්ගේ නියෝජිතයෙක් වුණු පාවුල් කළා වගේ අපිත් කැමතියි “හැකි තරම් පිරිසක්” එක්ක කතා කරලා එයාලා හිතන විදිහ ගැනත් එයාලගේ විශ්වාසයන් ගැනත් තේරුම්ගන්න. (1 කොරින්ති 9:19-22) ඒ විදිහට අපි එයාලත් එක්ක කතා කරද්දී බයිබලයේ සඳහන් වෙලා තියෙන විදිහට එයාලට “ගැඹුරු ගෞරවයක්” පෙන්වන්න අපි උත්සාහ කරනවා.—1 පේතෘස් 3:15.