යාච්ඤාවේදී පක්ෂපාතී දෑත් දිගු කරන්න
“පුරුෂයන් සෑමතැන්හිම කෝපයත් විවාදයත් නැතුව, පිරිසිදු අත් ඔසවා, [පක්ෂපාතී දෑත් දිගු කර, NW] යාච්ඤාකරනවාට කැමැත්තෙමි.”—1 තිමෝති 2:8.
1, 2. (අ) යෙහෝවාගේ සෙනඟ සම්බන්ධ වන යාච්ඤාවට 1 තිමෝති 2:8 අදාළ වන්නේ කොහොමද? (ආ) අප දැන් සලකා බලන්න යන්නේ මොනවාද?
තම සෙනඟ තමාටත්, එකිනෙකාටත් පක්ෂපාතී වීම යෙහෝවා බලාපොරොත්තු වෙනවා. ප්‍රේරිත පාවුල් මෙසේ ලියූ විට, පක්ෂපාතිකම යාච්ඤාවත් සමඟ සම්බන්ධ කළා: “පුරුෂයන් සෑමතැන්හිම කෝපයත් විවාදයත් නැතුව, [පක්ෂපාතී දෑත් දිගු කර, NW] යාච්ඤාකරනවාට කැමැත්තෙමි.” (1 තිමෝති 2:8) පෙනෙන විදිහට පාවුල්, ක්‍රිස්තියානීන් හමු වන ‘සෑම තැනකම’ කරන ප්‍රසිද්ධ යාච්ඤාවට යොමු දක්වමින් සිටියා. සභා රැස්වීම්වලදී, දෙවිගේ සෙනඟව යාච්ඤාවෙන් නියෝජනය කිරීමට සිටියේ කවුද? දෙවි කෙරෙහි තිබෙන සියලුම ශුද්ධ ලියවිලිමය වගකීම් ඕනෑකමින් ඉටු කළ ශුද්ධ, ධර්මිෂ්ඨ සහ භක්තිවන්ත මනුෂ්‍යයන් පමණයි. (දේශනාකාරයා 12:13, 14) ඔවුන්ගෙන් ආත්මික සහ සදාචාරමය පිරිසිදුකම රැකගැනීම මෙන්ම කිසිම සැකයකින් තොරව දෙවිට කරන නමස්කාරයත් අවශ්‍ය වී තිබුණා.
2 විශේෂයෙන්ම සභා වැඩිමහල්ලන් විසින් “පක්ෂපාතී දෑත් දිගු කර” යාච්ඤා කිරීම අවශ්‍ය කෙරෙනවා. යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් කරන ඔවුන්ගේ හෘදයාංගම යාච්ඤාවන් තුළින් දෙවිට ඇති පක්ෂපාතකම නිරූපණය වන අතර, විවාද සහ කෝපය වේගයෙන් පිට කිරීම වැනි දේවල් මඟහරින්න ඒවා ඔවුන්ට උපකාර කරනවා. ඇත්තෙන්ම, ප්‍රසිද්ධියේ කරන යාච්ඤාවකින් ක්‍රිස්තියානි සභාව නියෝජනය කිරීමට වරප්‍රසාද ලබන ඕනෑම පුරුෂයෙක්, උදහසින් සහ ද්වේෂසහගත හැඟීම්වලින් නිදහස් විය යුතුයි. එමෙන්ම යෙහෝවාටත්, ඔහුගේ සංවිධානයටත් අපක්ෂපාතී නොවී සිටීමට වග බලාගත යුතුයි. (යාකොබ් 1:19, 20) ප්‍රසිද්ධියේ කරන යාච්ඤාවකින් අනිත් අයව නියෝජනය කිරීමට වරප්‍රසාද ලබන අය සඳහා තිබෙන්නේ තවත් කුමන බයිබල් මඟ පෙන්වීම්ද? ඒ වගේම අප පෞද්ගලික සහ පවුලක් වශයෙන් කරන යාච්ඤාවලදී අදාළ කළ යුතු සමහර ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්ති මොනවාද?
යාච්ඤාවට කලින් සිතා බලන්න
3, 4. (අ) ප්‍රසිද්ධියේ කරන යාච්ඤාවකට කලින් ඒ ගැන සිතා බැලීම ප්‍රයෝජනවත් වන්නේ ඇයි? (ආ) යාච්ඤාවල දීර්ඝභාවය සම්බන්ධයෙන් ශුද්ධ ලියවිලිවල පෙන්වන්නේ කුමක්ද?
3 අපට ප්‍රසිද්ධියේ යාච්ඤා කිරීමට පවසා තිබුණේ නම්, යම් තාක් දුරකට හෝ ඒ ගැන කලින් සිතා බලා යාච්ඤා කිරීමට අපට හැකියාවක් තිබෙනවා. මෙසේ කිරීම තුළින්, දීර්ඝ, වැල්වටාරම් සහිත යාච්ඤාවක් කරනවා වෙනුවට, යෝග්‍ය, වැදගත් කාරණා ආවරණය කිරීමට අපට හැකි කරවයි. හැබැයි අපේ පෞද්ගලික යාච්ඤාත් ශබ්ද නඟා කියන්න හැකියි. ඒවා ඕනෑ තරම් දීර්ඝ විය හැකියි. යේසු තම ප්‍රේරිතයන් 12දෙනාව තෝරාගැනීමට ප්‍රථමයෙන් මුළු රාත්‍රිය පුරාම යාච්ඤා කළා. කොහොමවුණත්, ඔහුගේ මරණය සිහි කිරීම ස්ථාපිත කළ විටදී, රොටි සහ මිදි යුෂ සම්බන්ධයෙන් කළ ඔහුගේ යාච්ඤාවන් පෙනෙන විදිහට තරමක් කෙටියි. (මාර්ක් 14:22-24; ලූක් 6:12-16) ඒත්, යේසුගේ කෙටි යාච්ඤාවන් පවා දෙවිට සම්පූර්ණයෙන්ම පිළිගත හැකිව තිබූ බව අප දන්නවා.
4 ආහාරයකට ප්‍රථමයෙන් යාච්ඤාවකින් පවුලක් නියෝජනය කිරීමේ වරප්‍රසාදය අපට ලැබෙනවායයි සිතන්න. එවැනි යාච්ඤාවක් තරමක් දුරට කෙටි විය හැකි අතර, එහිදී අප කුමක් සඳහන් කළත් ආහාර සඳහා කෘතඥතාව ප්‍රකාශ කිරීම ඇතුළත් කළ යුතුයි. අප ක්‍රිස්තියානි රැස්වීමක් ආරම්භයේදී හෝ අවසානයේදී ප්‍රසිද්ධියේ යාච්ඤා කරනවා නම්, කරුණු රාශියක් ආවරණය කරමින් දීර්ඝ යාච්ඤාවක් කිරීම අවශ්‍ය නැහැ. ‘වංචාකාරි ලෙස දීර්ඝ යාච්ඤා කරන’ ලියන්නන්ව යේසු හෙළාදැක්කා. (ලූක් 20:46, 47) දේවභක්තික පුද්ගලයෙකුට එය කිරීමට කිසිවිටක වුවමනා වන්නේ නැහැ. ඒ වුණත් සමහර අවස්ථාවලදී, ප්‍රසිද්ධියේ කරන යාච්ඤාවක් යම් දුරකට දීර්ඝව කිරීම යෝග්‍ය විය හැකියි. උදාහරණයකට, එක්රැස්වීමකදී අවසාන යාච්ඤාව කිරීමට තෝරාගනු ලබන වැඩිමහල්ලා ඒ සම්බන්ධයෙන් කලින් සිතා බැලිය යුතු අතර, කරුණු කීපයක් සඳහන් කිරීමට ඔහු කැමති විය හැකියි. නමුත් එවැනි යාච්ඤාවක් වුවද ඕනෑවට වඩා දීර්ඝ නොවිය යුතුයි.
භක්තිවන්ත ලෙස දෙවි වෙතට එළඹීම
5. (අ) ප්‍රසිද්ධියේ යාච්ඤා කරන විටදී, අප මනසේ තබාගත යුත්තේ මොනවාද? (ආ) ගෞරවාන්විත ආකාරයකින් යාච්ඤා කළ යුත්තේ ඇයි?
5 ප්‍රසිද්ධියේ යාච්ඤා කරන විටදී, අප මනුෂ්‍යයන්ට අමතමින් නොසිටින බව මතක තබාගත යුතුයි. ඒ වෙනුවට අප, පරමාධිපති ස්වාමි වූ යෙහෝවාට අයැදින පව්කාර මැවිලියි. (ගීතාවලිය 8:3-5, 9; 73:28) එමනිසා, අප කියන දේ තුළින් සහ එය ප්‍රකාශ කරන ආකාරයෙන්, ඔහුව අසතුටු කිරීමට තිබෙන ගෞරවාන්විත භිය අප විදහාපෙන්විය යුතුයි. (හිතෝපදේශ 1:7) ගීතිකාකාර දාවිත් මෙසේ ගායනා කළා: “මම වනාහි ඔබගේ අධික කරුණා ගුණය පෙරදැරිකොට ඔබගේ ගෘහයට ඇතුල්වන්නෙමි. ඔබ කෙරෙහි භයින් යුක්තව ඔබගේ ශුද්ධවූ මන්දිරය දෙසට නමස්කාර කරන්නෙමි.” (ගීතාවලිය 5:7) අපට එම ආකල්පය තිබෙනවා නම්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමකදී ප්‍රසිද්ධියේ යාච්ඤා කිරීමට අපෙන් ඉල්ලා සිටින විට, අප එය කරන්න යන්නේ කොහොමද? හොඳයි, අප මනුෂ්‍ය රජ කෙනෙකු සමඟ කතා කරමින් සිටියා නම්, අප කොතරම් ගෞරවාන්විතවද එය කරන්නේ! ‘සදාකාලික රජ’ වන යෙහෝවාට අප යාච්ඤා කරමින් සිටින නිසා අපගේ යාච්ඤා ඊටත් වඩා ගෞරවාන්විත විය යුතු නොවේද? (එළිදරව් 15:3, NW) එමනිසා යාච්ඤා කරන විට, “සුභ උදෑසනක් යෙහෝවා,” “අපි ඔබට අපේ ප්‍රේමය එවනවා” හෝ “ආයුබෝවන්” ආදී ප්‍රකාශනවලින් අප වැළකෙන්න යනවා. දෙවිගේ ඒකජාතක පුත්, යේසුස් ක්‍රිස්තුස්, කිසිවිටකත් තම ස්වර්ගික පියාට එයාකාරයෙන් ඇමතුවේ නැති බව ශුද්ධ ලියවිලි පෙන්වනවා.
6. ‘ලබන්ට නොවටිනා තරම් වූ කරුණාවේ සිංහාසනයට ළඟා වන විටදී’ අප මනසේ තබාගත යුත්තේ කුමක්ද?
6 පාවුල් මෙසේ පැවසුවා: “අප . . . කතා කිරීමේ නිදහස ඇතුව ලබන්ට නොවටිනා තරම් වූ කරුණාවේ සිංහාසනයට ළඟා වෙමු.” (හෙබ්‍රෙව් 4:16, NW) යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාව කෙරෙහි තිබෙන අපගේ ඇදහිල්ල නිසා, අපගේ පව්කාර තත්වය තිබියදීත්, “කතා කිරීමේ නිදහස ඇතුව” අපට යෙහෝවා වෙතට එළඹෙන්න පුළුවන්. (ක්‍රියා 10:42, 43; 20:20, 21) ඒ වුණත් “කතා කිරීමේ නිදහස ඇතුව” සිටීම යන්නෙන්, අප දෙවිත් සමඟ අල්ලාප සල්ලාප දොඩමින් සිටීමවත්, ඔහුට අගෞරවනීය දේවල් පැවසිය යුතු බවක්වත් අදහස් කරන්නේ නැහැ. අප ප්‍රසිද්ධියේ කරන යාච්ඤා සම්බන්ධයෙන් යෙහෝවා සතුටු වීමට නම්, ඒවා සුදුසු ගෞරවයෙන් යුතුව ඔප්පු කළ යුතු අතර, නිවේදනය කිරීම්වලටවත්, පුද්ගලයන්ට උපදෙස් දීමටවත්, අසන්නන්ට තරවටු කිරීමටවත් එය භාවිත කිරීම සුදුසු වන්නේ නැහැ.
නිහතමානී ස්ප්රීතුවකින් යුතුව යාච්ඤා කරන්න
7. යෙහෝවාගේ දේවමාළිගය කැප කරන අවස්ථාවේ යාච්ඤා කරද්දී, සාලමොන් නිහතමානීකම විදහාපෙන්වූයේ කෙසේද?
7 අප ප්‍රසිද්ධියේ හෝ වේවා පෞද්ගලිකව හෝ වේවා යාච්ඤා කරමින් සිටිනවා නම්, මනසේ තබාගත යුතු වැදගත් ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්තියක් වන්නේ, අපගේ යාච්ඤාවලදී අප නිහතමානී ආකල්පයක් විදහාපෙන්විය යුතු බවයි. (2 ලේකම් 7:13, 14) යෙරුසලමේ යෙහෝවාගේ දේවමාළිගය කැප කරන අවස්ථාවේදී සාලමොන් රජ ප්‍රසිද්ධියේ කළ යාච්ඤාව තුළදී ඔහු නිහතමානීකම විදහාපෙන්නුවා. ඒ වන තෙක් පොළොවේ ඉදි කර තිබුණු අතිවිශිෂ්ට ගොඩනැඟිලි අතුරින් එකක්, සාලමොන් විසින් නිම කර තිබුණා විතරයි. ඒ වුණත්, ඔහු නිහතමානීව මෙසේ යාච්ඤා කළා: ‘දෙවි සැබවින්ම පොළොවෙහි වසන්ට සතුටු වන්නේද? ස්වර්ගයද ස්වර්ගවල ස්වර්ගයද ඔබට ඉඩ මදිය; එසේ නම් මා විසින් ගොඩනැඟූ මේ ගෘහය ඊට වඩා කොපමණ මදිද?’—1 රාජාවලිය 8:27.
8. ප්‍රසිද්ධියේ කරන යාච්ඤාවලදී නිහතමානීකම පෙන්වන සමහර ක්‍රම මොනවාද?
8 සාලමොන් මෙන් අපත්, ප්‍රසිද්ධියේ කරන යාච්ඤා තුළින් අනිත් අයව නියෝජනය කරන විට, නිහතමානී විය යුතුයි. බොරු භක්තිවන්තකම් මවාපෑමෙන් අප වැළකිය යුතු අතර, අප කතා කරන විලාසයෙන් නිහතමානීකම පෙන්වන්න අවශ්‍යයි. නිහතමානී යාච්ඤාවන් හිස උදුම්මවා ගත් ආකාරයේ හෝ භක්තිවන්තකම මවාපාන ආකාරයේ ඒවා නොවේ. එම නිහතමානී යාච්ඤාවලින් අවධානය යන්නේ අමතනු ලබන කෙනාට මිසක් යාච්ඤා කරන පුද්ගලයාට නොවෙයි. (මතෙව් 6:5) අප යාච්ඤාවේදී කියන දේවල් මගිනුත් නිහතමානීකම විදහාපෙන්වනවා. අප නිහතමානීව යාච්ඤා කරනවා නම්, අපට අවශ්‍ය කරන ආකාරයට ඇතැම් දේවල් කිරීමට දෙවිගෙන් අප බලෙන් ඉල්ලනවා යන හැඟීම දෙන්නේ නැහැ. ඒ වෙනුවට, තම පරිශුද්ධ කැමැත්තට එකඟ වන ආකාරයකින් ක්‍රියා කරන ලෙස අප යෙහෝවාගෙන් අයැදිනවා. ගීතිකාකරු මෙසේ ආයාචනා කළ විට සුදුසු ආකල්පය නිදර්ශනය කළා: ‘යෙහෝවා [කරුණාකර, NW] දැන් අප ගැළෙවුව මැනව! යෙහෝවා [කරුණාකර, NW] දැන් අප සඵල කළ මැනව!’—ගීතාවලිය 118:25; ලූක් 18:9-14.
හෘදයාංගමව යාච්ඤා කරන්න
9. යේසු විසින් දෙනු ලැබූ කිනම් කදිම උපදෙස් මතෙව් 6:7හි අඩංගු වේද? එමෙන්ම එය අදාළ කරගත හැක්කේ කොහොමද?
9 අපගේ ප්‍රසිද්ධ හෝ පෞද්ගලික යාච්ඤාවලින් යෙහෝවාව සතුටු කිරීමට නම්, ඒවා හෘදයෙන්ම නික්මිය යුතුයි. එමනිසා කියමින් සිටින දේ ගැන කල්පනා නොකර, කටපාඩම් කළ යාච්ඤාවක් අප නිකම්ම නැවත නැවත කියන්න යන්නේ නැහැ. තම කන්ද උඩ දේශනාවේදී යේසු මෙසේ උපදෙස් දුන්නා: “යාච්ඤාකිරීමේදී අන්‍ය ජාතීන් මෙන් නිරර්ථකවූ වචන කියාගන කියාගන නොයන්න. ඔව්හු තමුන්ගේ වචන රාශිය නිසා අසනු ලබන්නෝයයි [වැරදිසහගතව] සිතති.” වෙනත් වචනවලින් කියනවා නම් යේසු පැවසුවේ මෙයයි: “නිකම්ම වචන දොඩවන්න එපා; අර්ථයක් නැති දේවල් නැවත නැවත කියන්න එපා.”—මතෙව් 6:7, NW; පාදසටහන.
10. එකම කාරණය ගැන එක් වරකට වඩා යාච්ඤා කිරීම සුදුසු වන්නේ මන්ද?
10 අපට එකම කාරණය ගැන නැවත නැවත යාච්ඤා කිරීමට අවශ්‍ය විය හැකි බව ඇත්තයි. එය වැරදි දෙයක් වන්නේ නැහැ. මන්දයත් යේසු මෙසේ උනන්දු කළා: “ඉල්ලමින් සිටින්න, එවිට ඔබට දෙනු ලැබේ; සොයමින් සිටින්න, එවිට ඔබට සම්බ වේ; තට්ටු කරමින් සිටින්න, එවිට දොර අරිනු ලැබේ.” (මතෙව් 7:7, NW) ඇතැම්විට, යෙහෝවා ප්‍රාදේශීය දේශනා සේවය සඵල කරමින් සිටින නිසා, නව රාජ්‍ය ශාලාවක අවශ්‍යතාවක් තිබෙනවා වන්න පුළුවන්. (යෙසායා 60:22) පෞද්ගලිකව යාච්ඤා කරන විටදී හෝ යෙහෝවාගේ සෙනඟගේ රැස්වීම්වලදී ප්‍රසිද්ධියේ යාච්ඤා ඔප්පු කරන විටදී, මෙම අවශ්‍යතාව ගැන දිගටම සඳහන් කරමින් සිටීම සුදුසු දෙයක් වෙනවා. මෙය කිරීමෙන් අප ‘අර්ථයක් නැති දේවල් නැවත නැවත කීමක්’ අදහස් වන්නේ නැහැ.
ස්තුති ප්‍රශංසා දීමට මතක තබාගන්න
11. පෞද්ගලිකව සහ ප්‍රසිද්ධියේ කරන යාච්ඤාවලට පිලිප්පි 4:6, 7 අදාළ වන්නේ කොහොමද?
11 බොහෝ මනුෂ්‍යයන් යාච්ඤා කරන්නේ යම් දෙයක් ඉල්ලීමට පමණක් වන නමුත්, පෞද්ගලිකව සහ ප්‍රසිද්ධියේ කරන යාච්ඤා දෙකේදීම, යෙහෝවා දෙවිට තිබෙන අපගේ ප්‍රේමය ඔහුට ස්තුති ප්‍රශංසා දීමට අපව පෙලඹවිය යුතුයි. පාවුල් මෙසේ ලිව්වා: “නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් [දෙවිට] දන්වන්න. එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ [දෙවිගේ] සමාදානය [ක්‍රිස්තුස් යේසුස්] තුළ නුඹලාගේ සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත.” (පිලිප්පි 4:6, 7) ඔව්, කන්නලව්වලට සහ අයැදීම්වලට අමතරව, ආත්මික සහ ද්‍රව්‍යමය ලෙස කර තිබෙන ආශීර්වාදවලට යෙහෝවාට අපගේ ස්තුතිය ප්‍රකාශ කළ යුතුයි. (හිතෝපදේශ 10:22) ගීතිකාකරු මෙසේ ගායනා කළා: ‘දෙවිට ස්තුති යාගය පුදන්න; මහෝත්තමයාට නුඹේ භාර ඉෂ්ට කරන්න.’ (ගීතාවලිය 50:14) ඒ වගේම, දාවිත් විසින් යාච්ඤාපූර්වකව කළ ගීතයක මෙම හදවතට කාවදින වචන ඇතුළත් වෙනවා: ‘ගීතිකාවකින් දෙවිගේ නාමයට ප්‍රශංසා කරන්නෙමි. ස්තුති කිරීමෙන් ඔහුව උසස් කරන්නෙමි.’ (ගීතාවලිය 69:30) අපත් ප්‍රසිද්ධියේ සහ පෞද්ගලිකව කරන යාච්ඤාවලදී එලෙසම කළ යුතු නොවේද?
12. ගීතාවලිය 100:4, 5 අද දින ඉටු වෙමින් පවතින්නේ කෙසේද? එමෙන්ම අපට, දෙවිට ස්තුති ප්‍රශංසා කළ හැක්කේ කුමක් සම්බන්ධයෙන්ද?
12 දෙවි සම්බන්ධව ගීතිකාකරු මෙසේ ගායනා කළා: ‘ස්තුති කරමින් ඔහුගේ දොරටුවලින් ඇතුල්ව, ප්‍රශංසා කරමින් ඔහුගේ මණ්ඩපවලට පැමිණෙන්න. ඔහුට ස්තුති කරමින් ඔහුගේ නාමයට ප්‍රශංසා කරන්න. මක්නිසාද යෙහෝවා යහපත්ය; ඔහුගේ කරුණාව සදාකාලේටද ඔහුගේ විශ්වාසකම සියලු පරම්පරාවලටද පවත්නේය.’ (ගීතාවලිය 100:4, 5) අදදින සියලු ජාතීන්ට අයත් ජනයා, යෙහෝවාගේ ශුද්ධස්ථානයේ මණ්ඩපයට ඇතුල් වෙමින් සිටින අතර, මේ සඳහා ඔහුට ස්තුති ප්‍රශංසා දීමට අපට හැකියි. ප්‍රාදේශීය රාජ්‍ය ශාලාව සඳහා ඔබේ කෘතඥතාව දෙවිට ප්‍රකාශ කරනවාද? ඒ වගේම, ඔහුට ප්‍රේම කරන අය සමඟ එහි නොකඩවා එකට රැස්වීමෙන් ඔබේ අගය කිරීම ප්‍රකාශ කරනවාද? එහි සිටින අතරතුර, අපගේ ප්‍රේමනීය ස්වර්ගික පියාට ප්රශංසාවේ ගීතිකාවලින් හෘදයාංගම ලෙස ඔබේ කටහඬ නංවමින් ස්තුතිවන්ත වෙනවාද?
යාච්ඤා කිරීමට කිසිවිටකත් ලජ්ජා නොවන්න
13. වරදකාරිබවේ හැඟීම් නිසා අප නුසුදුසුයි කියා හැඟුණත්, අප යෙහෝවාට කන්නලව් කළ යුතු බව පෙන්වන්නේ කුමන බයිබල් ආදර්ශයද?
13 වරදකාරිබව නිසා අපට නොවටිනාකමේ හැඟීම් ඇති වුණත්, අප අවංක කන්නලව්වෙන් දෙවි වෙතට පිවිසිය යුතුයි. යූදාවරුන් විදේශීය ස්ත්‍රීන්ව සරණ පාවාගැනීමෙන් පව් කළ විට, එස්රා දණින් වැටී, දෙවිට ඔහුගේ පක්ෂපාතී දෑත් විහිදුවා නිහතමානීව මෙසේ යාච්ඤා කළා: ‘මාගේ දෙවියනි, මම ලජ්ජාවට පත් වී, මාගේ දෙවි වූ ඔබ දෙසට මාගේ මුහුණ ඔසවන්ට විළිබියෙන් සිටිමි. මක්නිසාද අපේ අපරාධ අපේ ඉස්වලටත් උඩින් වැඩි වී, අපේ වරදකාරකම ස්වර්ගය දක්වා නැඟී තිබේ. අපේ පියවරුන්ගේ දවස්වල පටන් අද දක්වා අපි අතිශයින් වරදකාරයෝව සිට, . . . අපේ නපුරු ක්‍රියාද මහත් වරදකාරකමද නිසා අපට පැමිණි සියල්ලට පසුව, අපේ දෙවි වූ ඔබ විසින් අපේ අයුතුකම්වල තරමට අච්චු නොකර මෙයාකාර ගැළවීමක් අපට ඉතිරි කර දී තිබියදීත්, අපි නැවත ඔබගේ ආඥා කඩ කර, මේ පිළිකුල් දේ කරන ජනයන් හා සමඟ නෑකම් බඳිමුද? එසේ කළොත්, එක්කෙනෙක්වත් ගැළවී ඉතුරු නොවන ලෙස අප නැති කර දමන තුරු ඔබ අප කෙරෙහි උදහස් නොවන්නේද? ඉශ්‍රායෙල්ගේ දෙවි වූ යෙහෝවා, ඔබ ධර්මිෂ්ඨය; මක්නිසාද අද තිබෙන ලෙස අපි ස්වල්පදෙනෙක්ව ඉතුරුව සිටිමුව. මෙන්න අපි ඔබ ඉදිරියේ අපේ අපරාධවල ගැලී සිටිමුව; මක්නිසාද මේ කාරණය නිසා ඔබ ඉදිරියේ කිසිවෙකුට සිටිය නොහැකිය.’—එස්රා 9:1-15; ද්විතීය කථාව 7:3, 4.
14. එස්රාගේ දවසේදී නිදර්ශනය වූ ආකාරයට දෙවිගේ සමාව ලබාගැනීමට අවශ්‍ය වන්නේ කුමක්ද?
14 දෙවිගෙන් සමාව ලැබීමට නම්, පව් හෙළි කිරීමත් සමඟ පසුතැවිලි වීමත්, “පසුතැවිල්ලට සුදුසු ඵල” උපදවීමත් අවශ්‍ය වෙනවා. (ලූක් 3:8; යෝබ් 42:1-6; යෙසායා 66:2) එස්රාගේ දවසේදී, විදේශීය ස්ත්‍රීන්ව ඉවත් කිරීම තුළින් වරද නිවැරදි කිරීමට ගත් උත්සාහයත් සමඟින් පසුතැවිලි වීමේ ආකල්පය විදහාපෙන්නුවා. (එස්රා 10:44, NW; සසඳන්න 2 කොරින්ති 7:8-13.) අප බරපතළ පාපයක් සඳහා දෙවිගෙන් සමාව අයැදිනවා නම්, නිහතමානී යාච්ඤාව තුළින් පාපොච්චාරණයක් කර පසුතැවීමට ඔබින ඵල නිපදවමු. පසුතැවිලි වීමේ ස්ප්‍රීතුව සහ වරද නිවැරදි කිරීමට ඇති කැමැත්ත ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගේ ආත්මික උපකාරය ලබාගැනීම සඳහා අපව පොලඹවන්න යනවා.—යාකොබ් 5:13-15.
යාච්ඤාව තුළින් සැනසිල්ල අත් කරගන්න
15. අපට යාච්ඤාවෙන් සැනසිල්ල ලබාගත හැකි බව හන්නාගේ අද්දැකීමෙන් පෙන්වන්නේ කෙසේද?
15 යම් හේතුවක් නිසා අප හෘද වේදනාවකින් පසු වන විටදී, අපට යාච්ඤාව තුළින් සැනසිල්ල ලබාගන්න පුළුවන්. (ගීතාවලිය 51:17; හිතෝපදේශ 15:13) පක්ෂපාතී හන්නා එසේ කළා. ඇය ජීවත් වුණේ, පවුලක දරුවන් වැඩි ප්‍රමාණයක් බිහි කිරීම ඉශ්රායෙලය තුළ පොදුවේ දක්නට ලැබුණු කාලයකයි. එසේ වුණත් ඇයට එක් දරුවෙක්වත් සිටියේ නැහැ. ඇගේ පුරුෂයා වන එල්කානාට ඔහුගේ අනිත් භාර්යාව වන පෙනින්නාට දාව පුත්‍රයන් සහ දූවරුන් සිටියා. හන්නා දරුවන් බිහි නොකිරීම නිසා පෙනින්නා ඇයට නින්දා කළා. හන්නා මහත් ඕනෑකමින් යාච්ඤා කළ අතර, ඇයට දරුවෙක් ලැබෙන ලෙස ආශීර්වාද කළොත්, ‘ඔහුගේ මුළු ජීවිත කාලයම යෙහෝවාට දෙන බවට ඇය’ පොරොන්දු වුණා. තම යාච්ඤාව තුළින් සහ උත්තම පූජක ඒලීගේ වචනවලින් සැනසිල්ලක් ලැබීමෙන් පසු හන්නාගේ ‘මුහුණ තවදුරටත් මලානිකව තිබුණේ නැහැ.’ සාමුවෙල්යයි නම තැබූ පිරිමි ළමයෙකුව ඇය ප්‍රසූත කළා. පසුව, යෙහෝවාගේ ශුද්ධස්ථානයේ සේවය සඳහා ඇය ඔහුව භාර දුන්නා. (1 සාමුවෙල් 1:9-28) ඇය වෙත දැක්වූ දෙවිගේ කරුණාවට කෘතඥතාව දැක්වීමක් වශයෙන්, යෙහෝවා අසමසම පුද්ගලයෙක්යයි හඬනඟා කළ ස්තුති දීමේ යාච්ඤාවක් ඇය ඔප්පු කළා. (1 සාමුවෙල් 2:1-10) ඔහුගේ කැමැත්තට එකඟ වන සියලුම ඉල්ලීම්වලට දෙවි පිළිතුරු දෙන බවට තිබෙන නිසැකකමින් යුතුව, හන්නා මෙන් අපට යාච්ඤාව තුළින් සැනසිල්ල අත් කරගන්න පුළුවන්. අප ඔහුට අපේ හෘද වගුරුවන විට, ඔහු අපේ බර ඉවත් කරන නිසා හෝ එය දරාගැනීමට අපට ශක්තිය දෙන නිසා, අප ‘තවදුරටත් මලානික නොවෙමු.’—ගීතාවලිය 55:22.
16. යාකොබ්ගේ සිද්ධියෙන් නිදර්ශනය වූ ආකාරයට, භයට පත් වී හෝ කාන්සාවෙන් සිටින විටදී අප යාච්ඤා කළ යුත්තේ ඇයි?
16 යම් හේතුවක් නිසා භිය, හෘද වේදනාව හෝ කාංසාව ඇති වෙනවා නම්, අප යාච්ඤාව තුළින් සැනසිල්ල සඳහා දෙවි වෙතට හැරෙන්න අසමත් නොවෙමු. (ගීතාවලිය 55:1-4) යාකොබ් තම භේද වූ සහෝදරයා වන ඒසව්ව මුණගැසීමට යන අවස්ථාවේදී ඔහු බියපත්ව සිටියා. ඒ වුණත් යාකොබ් මෙසේ යාච්ඤා කළා: ‘මාගේ පියා වන ආබ්‍රහම්ගේ දෙවියනි, මාගේ පියා වන ඊසාක්ගේ දෙවියනි, නුඹේ රටටත් නුඹේ නෑයන් වෙතටත් හැරී යන්න, මම නුඹට යහපත කරන්නෙමියි මට වදාළා වූ යෙහෝවා, ඔබගේ මෙහෙකරුවාට ඔබ දැක්වූ සියලු කරුණාවලින් ඉතා සුළු එකක්වත් ඔබගේ මුළු විශ්වාසකමවත් ලැබීමට නොවටිමි; මක්නිසාද මම මාගේ සැරයටිය පමණක් රැගෙන මේ යොර්දානෙන් මෙතර වුණෙමි; දැනුදු කණ්ඩායම් දෙකක්ව සිටිමි. මාගේ සහෝදරයා අතින්, ඒසව් අතින්, මා ගැළවුව මැනව, මක්නිසාද ඔහු ඇවිත් මටත්, මව්වරුන් සහ දරුවන්ටත් පහර දෙන්නේදෝහෝයි ඔහුට භය වෙමි. ඒකාන්තයෙන් මම නුඹට යහපත කර නුඹේ වංශය ගණන් කළ නොහැකි තරමට මුහුදේ වැලි මෙන් වැඩි කරන්නෙමියි ඔබ කීවේය.’ (උත්පත්ති 32:9-12) ඒසව් යාකොබ්ටවත්, ඔහු සමඟ සිටි අයටවත් පහර දුන්නේ නැහැ. මෙලෙස යෙහෝවා එම අවස්ථාවේදී යාකොබ්ට ඇත්තවශයෙන්ම ‘යහපත කළා.’
17. ගීතාවලිය 119:52ට අනුව, අප දරුණු පරීක්ෂා යටතේ සිටින විටදී, යාච්ඤාව තුළින් අපට සැනසිල්ල ලබාගත හැක්කේ කෙසේද?
17 අපගේ කන්නලව්වලදී, දෙවිගේ වචනයේ පවසා තිබෙන දේවල් මතක් කරගැනීමෙන් අපට සැනසිල්ලක් ලැබෙන්න පුළුවන්. දීර්ඝතම ගීතිකාව, එනම් සංගීතය සමඟින් කිව හැකි අලංකාරවත් යාච්ඤාවක් මෙසේ ගායනා කරන්න ඇත්තේ හෙසකියා කුමරු විසින් විය හැකියි: ‘යෙහෝවා, පුරාණයේ සිට තිබුණ ඔබගේ විනිශ්චයන් සිහි කොට සැනසීම ලබාගතිමි.’ (ගීතාවලිය 119:52) නිහතමානී යාච්ඤාව තුළදී, අප දරුණු පරීක්ෂා යටතේ සිටින විට අප ස්වර්ගික පියාව සතුටු කරමින් සිටින බවට සහතිකයක් සපයන ක්‍රියාමාර්ගයක් ලුහුබැඳීමට උපකාර කළ හැකි බයිබල් ප්‍රතිපත්තියක් හෝ නීතියක් අපට මතක් වෙන්න පුළුවන්.
පක්ෂපාත අය යාච්ඤාවේ නොකඩවා පවතිනවා
18. ‘සෑම පක්ෂපාත කෙනෙක්ම දෙවිට යාච්ඤා කරන්න යන බව’ අපට පවසන්න පුළුවන් ඇයි?
18 යෙහෝවා දෙවිට පක්ෂපාත සියලුම අය ‘යාච්ඤාවේ නොකඩවා පවතිනවා.’ (රෝම 12:12) බොහෝදුරට බැත්-ෂෙබා සමඟ දාවිත් පව් කිරීමෙන් පසුව ගායනා කළා විය හැකි 32වන ගීතිකාවේදී, දෙවි ඉදිරියේ සමාව අයැදීමට මුලින්ම අසමත් වීමත්, පසුතැවිලි වීම සහ නොසඟවා පව් හෙළි කිරීම තුළින් ඔහුට ගෙන දුන් සහනය කලින් අත් කරගැනීමට අසමත් වීමත් නිසා ඇති වූ අධික වේදනාව ඔහු විස්තර කළා. දාවිත් මෙසේ ගායනා කළා: “එසේ හෙයින් [අව්‍යාජ ලෙස පසුතැවිලි වන අයට යෙහෝවාගෙන් සමාව ලබාගත හැකි නිසා] ඔබව සම්බ විය හැකි ප්රස්තාවකදී සෑම පක්ෂපාත කෙනෙක්ම ඔබට යාච්ඤා කරාවි.”—ගීතාවලිය 32:6, NW.
19. අප යාච්ඤාවේදී පක්ෂපාතී දෑත් දිගු කරන්න අවශ්‍ය වන්නේ ඇයි?
19 යෙහෝවා දෙවිත් සමඟ තිබෙන අපේ සම්බන්ධතාව අප ආදරයෙන් රැකබලා ගන්නවා නම්, යේසුගේ මිදීමේ මිල පූජාවේ පදනම මත ඔහුගේ දයාව උදෙසා අප යාච්ඤා කරන්න යනවා. දයාව සහ කාලෝචිත උපකාරය අත් කරගැනීම සඳහා, කතා කිරීමේ නිදහස ඇතුව ලබන්ට නොවටිනා තරම් වූ කරුණාවේ සිංහාසනය වෙතට අපට ඇදහිල්ලෙන් යුතුව ළඟා විය හැකියි. (හෙබ්‍රෙව් 4:16) යාච්ඤා කිරීම සඳහා තව බොහෝ හේතු තිබෙනවා! එමනිසා අප නිතරම හෘදයාංගම ප්රශංසාවේ සහ දෙවිට කෘතඥතාව දැක්වීමේ වචනවලින් ‘නොකඩවා යාච්ඤා කරමු.’ (1 තෙසලෝනික 5:17) අපි උදේ හවා යාච්ඤාවේදී පක්ෂපාතී දෑත් දිගු කරමු.
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
◻ප්‍රසිද්ධියේ යාච්ඤා කිරීමට කලින් ඒ ගැන සිතා බැලීමේ ඇති ප්‍රයෝජනය කුමක්ද?
◻අප ගෞරවාන්විත ආකාරයකින් යාච්ඤා කළ යුත්තේ ඇයි?
◻යාච්ඤා කරන විටදී අප විදහාපෙන්විය යුත්තේ කුමන ස්ප්රීතුවද?
◻යාච්ඤා කරන විටදී, ස්තුති ප්‍රශංසා දීමට අප මතක තබාගත යුත්තේ ඇයි?
◻අපට යාච්ඤාවෙන් සැනසිල්ල අත් කරගත හැකි බව බයිබලය පෙන්වන්නේ කෙසේද?
[17වන පිටුවේ පින්තූරය]
යෙහෝවාගේ දේවමාළිගය කැප කරන අවස්ථාවේදී සාලමොන් රජ ප්‍රසිද්ධියේ කළ යාච්ඤාවේදී නිහතමානීකම විදහාපෙන්නුවා
[18වන පිටුවේ පින්තූර]
හන්නා මෙන් ඔබටත් යාච්ඤාව තුළින් සැනසිල්ල අත් කරගන්න පුළුවන්