ඔබේ යාච්ඤා ‘සුවඳ දුම් මෙන් ඔප්පු කරනවාද?’
“මාගේ යාච්ඤාව ඔබ ඉදිරියේ සුවඳ දුම් මෙන් . . . ඔප්පු කෙරේවා.”—ගීතාවලිය 141:2, NW.
1, 2. සුවඳ දුම් ඔප්පු කිරීමෙන් සංකේතවත් කළේ කුමක්ද?
ඉශ්‍රායෙලිතයන්ගේ නමස්කාරය සඳහා වූ මණ්ඩපයේ ශුද්ධවත් සුවඳ දුම් ඔප්පු කිරීම සඳහා දේවල් පිළියෙළ කරන ලෙස, යෙහෝවා දෙවි තම අනාගතවක්තෘ වූ මෝසෙස්ට අණ කළා. දිව්‍ය සම්මිශ්රණයට සුවඳැති ද්‍රව්‍ය හතරක් ඇතුළත් වුණා. (නික්මයාම 30:34-38) ඇත්තවශයෙන්ම එයින් මිහිරි සුවඳක් නික්මුණා.
2 ඉශ්‍රායෙලිතයන්ව ඇතුළත් කර තිබූ ව්‍යවස්ථා ගිවිසුම මගින්, දිනපතා සුවඳ දුම් ඔප්පු කිරීමට ඉඩ සලසා දී තිබුණා. (නික්මයාම 30:7, 8) සුවඳ දුම් ඔප්පු කිරීමෙහි විශේෂ වැදගත්කමක් තිබුණාද? ඔව්. ඒ නිසයි ගීතිකාකරු මෙසේ ගායනා කළේ: “මාගේ යාච්ඤාව ඔබ [යෙහෝවා දෙවි] ඉදිරියේ සුවඳ දුම් මෙන්ද මාගේ අත් එසවීම සන්ධ්‍යා පූජාව මෙන්ද ඔප්පු කෙරේවා.” (ගීතාවලිය 141:2, NW) ස්වර්ගික සිංහාසනය වටා සිටින අයව, එළිදරව් පොතේ ප්‍රේරිත යොහන් විස්තර කරන්නේ, සුවඳ දුම්වලින් පිරුණු රන් පාත්‍රා ඇතුව සිටින අය ලෙසයි. “තවද සුවඳ දුම් ලෙස හඳුන්වන්නේ ශුද්ධවන්තයන්ගේ යාච්ඤා” බව දේවානුභාවය ලත් වාර්තාව පවසනවා. (එළිදරව් 5:8, NW) එමනිසා, දිවා රාත්‍රියේ යෙහෝවාගේ සේවකයන් ඔප්පු කරන පිළිගත හැකි යාච්ඤා, මිහිරි සුවඳ දුම් ඔප්පු කිරීමෙන් සංකේතවත් කරනවා.—1 තෙසලෝනික 3:10; හෙබ්‍රෙව් 5:7.
3. ‘අපගේ යාච්ඤා දෙවි ඉදිරියේ සුවඳ දුම් මෙන් ඔප්පු කිරීමට’ අපට උපකාර කළ යුත්තේ කුමක්ද?
3 අපගේ යාච්ඤා දෙවිට පිළිගත හැකිවීමට නම්, අප යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් ඔහුට යාච්ඤා කළ යුතුයි. (යොහන් 16:23, 24) නමුත් අපට, අපගේ යාච්ඤාවල ගුණය ඉහළ නංවාගත හැක්කේ කොහොමද? හොඳයි, අපගේ යාච්ඤා යෙහෝවා ඉදිරියේ සුවඳ දුම් මෙන් ඔප්පු කිරීම සඳහා අපට උපකාරවත් වන ශුද්ධ ලියවිලිමය ආදර්ශ කිහිපයක් සලකා බලමු.—හිතෝපදේශ 15:8.
ඇදහිල්ලෙන් යුක්තව යාච්ඤා ඔප්පු කරන්න
4. පිළිගත හැකි යාච්ඤාවට ඇදහිල්ල සම්බන්ධ වන්නේ කොහොමද?
4 අපගේ යාච්ඤා මිහිරි සුවඳ දුම් මෙන් දෙවි වෙතට නැඟීමට නම් අප ඇදහිල්ලෙන් දෙවිට යාච්ඤා කළ යුතුයි. (හෙබ්‍රෙව් 11:6) ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගේ ශුද්ධ ලියවිලිමය උපකාරවලට, ආත්මිකව රෝගී පුද්ගලයෙක් ප්‍රතිචාරය දක්වන විට, ඔවුන්ගේ “ඇදහිල්ලේ යාච්ඤාවෙන් රෝගාතුරයාට සුවය [ලැබෙනවා].” (යාකොබ් 5:15) ඇදහිල්ලෙන් ඔප්පු කරන යාච්ඤා අපේ ස්වර්ගික පියාව සතුටු කරන අතර, යාච්ඤාපූර්වකව දෙවිගේ වචනය අධ්‍යයනය කිරීමත් ඒ වගේම ඔහුව සතුටු කරනවා. ගීතිකාකරු මෙසේ ගායනා කළ විට, ඔහු කදිම ආකල්පයක් විදහාපෙන්නුවා: “මා ප්‍රේමකළාවූ ඔබගේ ආඥාවන් දෙස [මාගේ අත් විහිදුවමින්, NW] ඔබගේ පනත් [මෙනෙහි කරන්නෙමි, NW]. යහපත් විමර්ශනශක්තියත් ඥානයත් මට ඉගැන්නුව මැනව; මක්නිසාද මම ඔබගේ ආඥා විශ්වාස කෙළෙමි.” (ගීතාවලිය 119:48, 66) අපි නිහතමානීව යාච්ඤා කරන විටදී ‘අපගේ අත් විහිදුවමු’. ඒ වගේම දෙවිගේ ආඥාවලට අනුකූල වීමෙන් ඇදහිල්ල ක්‍රියාවට නංවමු.
5. අපට ප්‍රඥාව අඩු නම් අප කුමක් කළ යුතුද?
5 යම් පරීක්ෂණයකට මුහුණ දෙන්න අවශ්‍ය ප්‍රඥාව අපට අඩු නම් තත්වය කුමක් වෙයිද? ඇතැම්විට යම් බයිබල් අනාවැකියක් දැන් ඉටු වෙමින් පවතින බව අපට ස්ථිර නැති වෙන්න පුළුවන්. මෙයට අපව ආත්මිකව අසමබරතාවකට පත් කරන්න ඉඩ දෙනවා වෙනුවට, අපි ප්‍රඥාව ඉල්ලා යාච්ඤා කරමු. (ගලාති 5:7, 8; යාකොබ් 1:5-8) ආශ්චර්යවත් ආකාරයකින් පිළිතුරු දෙයි කියා අපට බලාපොරොත්තු වෙන්න බැරි බව ඇත්තයි. දෙවි තම සියලු සෙනඟගෙන් බලාපොරොත්තු වන දේ කිරීම තුළින්, අපේ යාච්ඤාවල තිබෙන අවංකභාවය පෙන්වීම අවශ්‍ය වෙනවා. “විශ්වාසවූ නුවණ ඇති දාසයා” තුළින් සපයන ප්රකාශනයන්ගේ ආධාරයෙන්, ඇදහිල්ල ගොඩනංවන ආකාරයට ශුද්ධ ලියවිලි අධ්‍යයනය කිරීම අවශ්‍ය වෙනවා. (මතෙව් 24:45-47; යෝෂුවා 1:7, 8) ඒ වගේම දෙවිගේ ජනයාගේ රැස්වීම්වලට නොකඩවා සහභාගි වීම තුළින්, අප දැනුම වර්ධනය කරගැනීමත් අවශ්‍ය වෙනවා.—හෙබ්‍රෙව් 10:24, 25.
6. (අ) අපගේ දවස ගැන සහ බයිබල් අනාවැකිවල ඉටුවීම ගැන අප සියලුදෙනාම අවබෝධ කරගත යුත්තේ කුමක්ද? (ආ) යෙහෝවාගේ නාමය විශුද්ධ කිරීම සඳහා යාච්ඤා කරනවාට අමතරව, අප කළ යුත්තේ කුමක්ද?
6 අප ‘අන්තිම කාලයේ’ අවසාන අදියරේ සිටින බවට ඇති වටහාගැනීම නැති වී ගොස් තිබෙන්නාක් මෙන් අදදින සමහර ක්‍රිස්තියානීන් පෞද්ගලික කාරණා සහ වෘත්තීන් ලුහුබඳිමින් සිටිනවා. (දානියෙල් 12:4) යෙහෝවා සතුරන් මැද ආණ්ඩු කරමින් සිටීම සඳහා ක්‍රිස්තුස්ව ස්වර්ගික රජු වශයෙන් පත් කළ විට, ඔහුගේ පැමිණ සිටීම 1914දී ආරම්භ වූ බවට තිබෙන ශුද්ධ ලියවිලිමය සාක්ෂි කෙරෙහි එවැනි අයගේ ඇදහිල්ල යළි පණගන්වන මෙන් හෝ ශක්තිමත් කරන මෙන් සෙසු ඇදහිලිවන්තයන්ට යෝග්‍ය ලෙස යාච්ඤා කරන්න පුළුවන්. (ගීතාවලිය 110:1, 2; මතෙව් 24:3) “මහා බබිලෝනිය” වන බොරු ආගම්වල විනාශය, යෙහෝවාගේ සෙනඟ මතට මාගොග්හි ගොග් වන සාතන් විසින් ගෙනෙන ප්‍රහාරය සහ අර්මගෙදොන් නම් යුද්ධයේදී සර්වපරාක්‍රම දෙවි විසින් ඔවුන්ව බේරාගැනීම ආදී, කලින් පුරෝකථනය කරන ලද සිද්ධීන් නොසිතුවිරූ අවස්ථාවක ක්ෂණිකව පහර දිය හැකි බව සහ සාපේක්ෂව කෙටි කාලපරිච්ඡේදයක් තුළදී සියල්ල සිදු වෙන්න පුළුවන් බව අප සියලුදෙනාම අවබෝධ කරගත යුතුයි. (එළිදරව් 16:14, 16; 18:1-5; එසකියෙල් 38:18-23) එමනිසා, අප ආත්මිකව අවදිව සිටීම සඳහා දෙවිගේ උපකාරය පතා යාච්ඤා කරමු. යෙහෝවාගේ නාමය විශුද්ධ කිරීම සඳහාත්, ඔහුගේ රාජ්‍යය පැමිණීම සඳහාත්, ඔහුගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවේ සිදුවීම සඳහාත්, අප සියලුදෙනාම ඉතා ඕනෑකමින් යාච්ඤා කරමු. අප නොකඩවා ඇදහිල්ල පවත්වමින් අපේ යාච්ඤා අවංක බවට සාක්ෂි දෙමින් සිටිමු. (මතෙව් 6:9, 10) ඇත්තවශයෙන්ම, යෙහෝවාට ප්‍රේම කරන සියල්ලන් ප්‍රථමයෙන් රාජ්‍යය සහ ඔහුගේ ධර්මිෂ්ඨකම සොයන අතරම, අවසානය පැමිණීමට ප්‍රථම ශුභාරංචිය දේශනා කිරීමෙහි හැකි උපරිමය කරමින් සිටීම අවශ්‍යයි.—මතෙව් 6:33; 24:14.
යෙහෝවාට ස්තුති ප්‍රශංසා කරන්න
7. 1 ලේකම් 29:10-13හි කොටසක් වශයෙන් වාර්තා කර ඇති දාවිත්ගේ යාච්ඤාවෙහි වැඩියෙන්ම ඔබේ සිත්ගන්නේ කුමක්ද?
7 ‘අපගේ යාච්ඤා සුවඳ දුම් මෙන් ඔප්පු කිරීමට’ තිබෙන වැදගත් මාර්ගයක් නම්, දෙවිට හෘදයාංගම ප්‍රශංසාව සහ කෘතඥතාව ප්‍රකාශ කිරීමයි. තමා සහ ඉශ්රායෙලයේ ජනයා යෙහෝවාගේ දේවමාළිගය ඉදි කිරීම වෙනුවෙන් සම්මාදම් කළ විට, දාවිත් රජ එයාකාර යාච්ඤාවක් ඔප්පු කළා. දාවිත් මෙලෙස යාච්ඤා කළා: ‘අපේ පිය වූ ඉශ්‍රායෙල්ගේ දෙවි වූ යෙහෝවා, ඔබට සදාකාලයටම ප්‍රශංසා වේවා; යෙහෝවා, මහන්තත්වයද, පරාක්‍රමයද, තේජසද, ජයද, මහිමයද අයිති ඔබටය. මක්නිසාද ස්වර්ගයෙහිත්, පොළොවෙහිත් ඇති සියල්ල ඔබගේය; රාජ්‍යයත් යෙහෝවා, ඔබට අයිතිය, ඔබ සියල්ල කෙරෙහි හිස මෙන් උසස්ව සිටින්නේය. වස්තුවද ගෞරවයද පැමිණෙන්නේ ඔබගෙන්ය, ඔබ සියල්ල කෙරෙහි ආණ්ඩු කරන්නේය; බලයද පරාක්‍රමයද ඔබගේ අතෙහිය; සියල්ලන් උසස් කරන්ටත් ශක්තිමත් කරන්ටත් බලය තිබෙන්නේ ඔබ අතෙහිය. එබැවින් අපේ දෙවියනි, අපි ඔබට ස්තුති කරමින් ඔබගේ තේජවත් නාමය වර්ණනා කරමුව.’—1 ලේකම් 29:10-13.
8. (අ) විශේෂයෙන්ම ඔබේ හෘදයට කාවදින්නේ ගීතාවලිය 148 සිට 150 දක්වා සඳහන් කර ඇති ප්රශංසාවේ කුමන වචනද? (ආ) ගීතාවලිය 27:4හි ප්‍රකාශ කර ඇති ආකාරයට සමානවම අපටත් හැඟෙනවා නම් අප කරන්න යන්නේ කුමක්ද?
8 ස්තුති ප්‍රශංසා සම්බන්ධයෙන් මොනතරම් මනහර කියමන්ද! අපගේ යාච්ඤා ඒවා තරම් ව්‍යක්ත නොවිය හැකි නමුත්, එලෙස හෘදයාංගමව ඒවා කරන්න පුළුවන්. ගීතාවලිය පොත ස්තුති දීමේ සහ ප්‍රශංසා කිරීමේ යාච්ඤාවලින් පිරී තිබෙනවා. අනර්ඝම ආකාරයේ වචනවලින් කරන ප්‍රශංසා කිරීම් ගීතාවලිය 148 සිට 150 දක්වා තිබෙන කොටස්වල දක්නට ලැබෙනවා. දෙවිට දක්වන කෘතඥතාව ගීතිකා බොහොමයක ප්‍රකාශ කෙරෙනවා. දාවිත් මෙසේ ගායනා කළා: ‘යෙහෝවාගෙන් එක දෙයක් ඉල්ලීමි. ඒක සොයන්නෙමි; එනම් යෙහෝවාගේ අලංකාරය දකින පිණිසත්, ඔහුගේ මාළිගාවේදී [මෙනෙහි කරන, NW] පිණිසත් මාගේ ජීවිතයේ සියලු දවස්වලදී යෙහෝවාගේ ගෘහයෙහි වාසය කිරීමය.’ (ගීතාවලිය 27:4) යෙහෝවාගේ සෙනඟ එකතු වී කරන සියලුම ක්‍රියාකාරකම්වලට ජ්වලිතව සහභාගි වීම තුළින් එවැනි යාච්ඤාවලට එකඟව ක්‍රියා කරමු. (ගීතාවලිය 26:12) මෙය කිරීම සහ දිනපතා දෙවිගේ වචනය මෙනෙහි කිරීම, හෘදයාංගම ප්‍රශංසාවෙන් සහ කෘතඥතාවකින් යුතුව යෙහෝවා වෙතට ළඟාවීමට අපට බොහෝ හේතු සපයනවා.
නිහතමානීව යෙහෝවාගේ උපකාරය සොයන්න
9. ආසා රජු යාච්ඤා කළේ කොහොමද? එමෙන්ම කුමන ප්‍රතිඵල ඇතුවද?
9 අප යෙහෝවාට, ඔහුගේ සාක්ෂිකරුවන් මෙන් මුළු හෘදයෙන්ම සේවය කරමින් සිටිනවා නම්, උපකාර සඳහා අප කරන යාච්ඤා ඔහු අසන බවට අපට නිසැක වන්න පුළුවන්. (යෙසායා 43:10-12) යූදාහි ආසා රජුව සැලකිල්ලට ගන්න. අවුරුදු 41ක් වූ (පො.යු.පෙ. 977-937) ඔහුගේ රාජ්‍ය සමයේ පළමු අවුරුදු 10, සාමකාමීව පැවතුණා. පසුව ඉතියෝපීය සෙරා යටතේ සිටි මිලියන ගණනකින් යුත් හමුදාවක් විසින් යුදය ආක්‍රමණය කරනු ලැබුවා. තමන්ට වඩා විශාල සෙනඟක් සිටියත්, ආසා සහ ඔහුගේ මිනිස්සුන් ආක්රමිකයන් ඉදිරියට ගියා. කොහොමවුණත් ආසා, සටනට ප්‍රථමයෙන් මහත් ඕනෑකමකින් යුතුව යාච්ඤා කළා. බේරාගැනීම සඳහා යෙහෝවාට තිබෙන බලය ඔහු අවබෝධ කරගත්තා. රජ උපකාරය පතා අයැදිමින් මෙසේ පැවසුවා: ‘අපි ඔබ කෙරේ විශ්වාසය තබා, ඔබගේ නාමයෙන් මේ සමූහයාට විරුද්ධව ඇවිත් සිටිමුව. යෙහෝවා ඔබ අපේ දෙවිය; ඔබට විරුද්ධව මනුෂ්‍යයා ජය නොගනීවා.’ යෙහෝවා තම ශ්‍රේෂ්ඨ නාමය වෙනුවෙන් යූදාව බේරගත් නිසා, මහත් ජයග්‍රහණයක් එහි ප්‍රතිඵලය වුණා. (2 ලේකම් 14:1-15) දෙවි අපව පරීක්ෂණයකින් ගළවගත්තත්, එසේත් නැතිනම් එය විඳදරාගැනීමට අපව ශක්තිමත් කළත්, ඔහුගේ උපකාරය පතා අප කරන යාච්ඤා ඔහු අසන බවට කිසිම සැකයක් නැහැ.
10. යම් අර්බුදකාරි තත්වයක් සමඟ කටයුතු කරන්නේ කෙසේදැයි අප දන්නේ නැතිනම්, යෙහෝෂාපාට් රජුගේ යාච්ඤාව උපකාරවත් වනු ඇත්තේ කෙසේද?
10 යම් අර්බුදකාරි තත්වයක් සමඟ කටයුතු කරන්නේ කෙසේදැයි අප දන්නේ නැතිනම්, උපකාරය සඳහා කරන අපගේ ආයාචනයන්ට යෙහෝවා ඇහුම්කන් දෙන බවට අපට නිසැක වෙන්න පුළුවන්. පොදු යුගයට පෙර 936දී, තම විසිපස් අවුරුදු රාජ්‍ය සමය පටන්ගත් යූදා රජු වන යෙහෝෂාපාට්ගේ දවස්වලදී මෙය නිදර්ශනය වුණා. මෝවබ්, අම්මොන් සහ සේයිර් කඳුකරයේ වැසියන්ගෙන් සංයුක්ත සේනාවන් යූදාට තර්ජනය කළ විට, යෙහෝෂාපාට් මෙසේ කන්නලව් කළා: ‘අපේ දෙවියනි, ඔබ ඔවුන් විනිශ්චය නොකරන්නේද? මක්නිසාද අපට විරුද්ධව එන මේ මහත් සමූහයා ඉදිරියෙහි සිටින්ට අපට ශක්තිය නැත; අපි කුමක් කරමුද කියාත් නොදනිමුව. නුමුත් අපේ ඇස් ඔබ දෙසම යොමු කර තිබේ.’ යෙහෝවා යූදා වෙනුවෙන් සටන් කරමින්, එම නිහතමානී යාච්ඤාවට පිළිතුරු දුන්නා. තමන් විසින්ම එකිනෙකාව ඝාතනය කරගන්නා පිණිස යෙහෝවා සතුරු සේනාව වියවුලට පත් කරමින් ඔවුන්ට පහර දුන්නා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අවට ජාතීන් භයට පත් වූ අතර, යූදාහි සාමය සුරැකුණා. (2 ලේකම් 20:1-30) යම් අර්බුදකාරි තත්වයකට මුහුණ දීමට අවශ්‍ය ප්‍රඥාව අපට අඩු නම්, යෙහෝෂාපාට් මෙන් අපටත් මෙසේ යාච්ඤා කරන්න පුළුවන්: ‘අපි කුමක් කරමුද කියා නොදනිමුව. නුමුත් යෙහෝවා අපේ ඇස් ඔබ දෙසම යොමු කර තිබේ.’ ප්රශ්නය නිරාකරණය කරගැනීමට අවශ්‍ය ශුද්ධ ලියවිලිමය කරුණු අපට මතක් කර දෙන්න ශුද්ධාත්මයට පුළුවන්. එසේත් නැතිනම්, මනුෂ්‍යයන් සිතන ආකාරය ඉක්මවා යන අයුරින් දෙවි අපට උපකාර කරන්න පුළුවන්.—රෝම 8:26, 27.
11. යෙරුසලමේ පවුර සම්බන්ධයෙන් නෙහෙමියා ක්‍රියා කළ ආකාරය තුළින්, අපට යාච්ඤාව ගැන ඉගෙනගන්න පුළුවන් කුමක්ද?
11 දෙවිගේ උපකාරය සඳහා අප නොපසුබටව දිගටම යාච්ඤා කිරීම අවශ්‍ය වේවි. යෙරුසලමේ නටබුන් වූ පවුර සම්බන්ධයෙන් සහ යූදාහි සිටි වැසියන්ගේ අසරණ තත්වය ගැන නෙහෙමියා කීප දවසක් වැලපුණා, නිරාහාරව සිටියා, ඒ වගේම යාච්ඤා කළා. (නෙහෙමියා 1:1-11) පැහැදිලිවම ඔහුගේ යාච්ඤා මිහිරි සුවඳ දෙන දුම් මෙන් දෙවි වෙතට නැඟුණා. එක් දිනක අර්තක්ෂස්තා රජ, “නුඹ ඉල්ලා සිටින්නේ කුමක්ද” කියා කලකිරුණු තත්වයක සිටි නෙහෙමියාගෙන් විමසුවා. ‘එවිට මම ස්වර්ගයේ දෙවිට යාච්ඤා කළා’ කියා නෙහෙමියා වාර්තා කරනවා. එම කෙටි සහ නිශ්ශබ්ද යාච්ඤාවට පිළිතුරු ලැබුණු අතර, යෙරුසලමට ගොස් එහි නටබුන් වූ පවුර ගොඩනැඟීමෙන් තම හෘදයාංගම ආශාව සපුරාගන්න නෙහෙමියාට අවසර ලැබුණා.—නෙහෙමියා 2:1-8.
යාච්ඤා කරන ආකාරය ඔබට උගන්වන්න යේසුට ඉඩහරින්න
12. ඔබේම වචනවලින් යේසුගේ ආදර්ශ යාච්ඤාවේ තිබෙන ප්‍රධාන කරුණු ඔබ සාරංශ කරන්නේ කොහොමද?
12 ශුද්ධ ලියවිලිවල වාර්තා කර තිබෙන සියලුම යාච්ඤා අතුරින් විශේෂයෙන්ම උපදෙස් සපයන යාච්ඤාව වන්නේ, යේසුස් ක්‍රිස්තුස් විසින් ඉගැන්වූ, මිහිරි සුවඳ දෙන දුම් මෙන් වූ ආදර්ශ යාච්ඤාවයි. ලූක්ගේ සුවිශේෂයේ මෙසේ සඳහන් වෙනවා: ‘[යේසුගේ] ගෝලයන්ගෙන් එක්කෙනෙක් කතා කොට: ස්වාමිනි, යොහන් තමාගේ ගෝලයන්ට ඉගැන්නුවාක් මෙන් අපටත් යාච්ඤා කරන්න ඉගැන්නුව මැනවයි කීවේය. ඔහු ඔවුන්ට කියන්නේ: නුඹලා යාච්ඤා කරන කල—පියාණෙනි, ඔබගේ නාමය [විශුද්ධ කරනු ලැබේවා, NW]. ඔබගේ රාජ්‍යය ඒවා. අපගේ දවස්පතා භෝජනය අපට දවසින් දවස දුන මැනව. අපේ පව් අපට කමා කළ මැනව; මක්නිසාද අපට ණයව සිටින සියල්ලන්ට අපිත් කමා වෙමුව. අපව පරීක්ෂාවට නොපැමිණෙවුව මැනවයි කියන්නයැයි කීවේය.’ (ලූක් 11:1-4; මතෙව් 6:9-13) කටපාඩම් කිරීමේ අරමුණින් නොව එහෙත් මඟ පෙන්වීම සපයා දීමේ අරමුණින් දුන් මෙම යාච්ඤාව අප සැලකිල්ලට ගනිමු.
13. ‘පියාණෙනි, ඔබගේ නාමය විශුද්ධ කරනු ලැබේවා’ යන වචනවල තිබෙන වැදගත්කම ඔබ පැහැදිලි කරන්නේ කොහොමද?
13 ‘පියාණෙනි, ඔබගේ නාමය විශුද්ධ කරනු ලැබේවා.’ යෙහෝවාව, පියා වශයෙන් ඇමතීමට ලැබීම ඔහුගේ කැප වූ සේවකයන්ට තිබෙන විශේෂ වරප්‍රසාදයක්. ඕනෑම කරදරයක් කියන්න දයාන්විත පියෙකු වෙත කැමැත්තෙන්ම ළඟා වන දරුවෙක් මෙන්, අපත් නොකඩවාම, ගෞරවාන්විත සහ භක්තිවන්ත ලෙස දෙවි වෙත යාච්ඤාවෙන් ළඟා විය යුතුයි. (ගීතාවලිය 103:13, 14) යෙහෝවාගේ නාමයට ඇති වූ සියලු අගෞරවය සම්පූර්ණයෙන්ම ඉවත් කරන තෙක් අප ඉතාමත් නොඉවසිල්ලෙන් බලා සිටින නිසා, යෙහෝවාගේ නාමය විශුද්ධ කිරීම සම්බන්ධයෙන් අප සැලකිලිමත් වන බව අපගේ යාච්ඤාවලින් පිළිබිඹු විය යුතුයි. ඇත්තෙන්ම, යෙහෝවාගේ නාමය උතුම්, ශුද්ධ හෝ පරිශුද්ධ දෙයක් වශයෙන් සලකනවාට අපි කැමතියි.—ගීතාවලිය 5:11; 63:3, 4; 148:12, 13; එසකියෙල් 38:23.
14. “ඔබගේ රාජ්‍යය ඒවා” කියා යාච්ඤා කිරීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
14 “ඔබගේ රාජ්‍යය ඒවා.” මෙම රාජ්‍යය නම්, ඔහුගේ පුත්‍රයාගේ සහ යේසුගේ හවුල් ‘ශුද්ධවන්තයන්ගේ’ දෑතේ තිබෙන ස්වර්ගික මෙසියානු ආණ්ඩුව තුළින් ප්‍රකාශ කරන, යෙහෝවා දෙවිගේ පාලනයයි. (දානියෙල් 7:13, 14, 18, 27; එළිදරව් 20:6) එය ඉක්මනින්ම දෙවිගේ පරමාධිපත්‍යයට එරෙහි වන සියලුම භූමික විරුද්ධවාදීන්ව දසුනෙන් ඉවත් කරමින් ඔවුන්ට එරෙහිව ‘පැමිණෙන්න’ යනවා. (දානියෙල් 2:44, 45) එවිට, යෙහෝවාගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වෙන්න යනවා. (මතෙව් 6:10) විශ්වනීය පරමාධිපත්‍යයට පක්ෂපාතීව සේවය කරන සියලු මැවිලිවලට එමගින් මොනතරම් සතුටක් ගෙන එයිද!
15. “අපගේ දවස්පතා භෝජනය” යෙහෝවාගෙන් ඉල්ලීමෙන් අඟවන්නේ කුමක්ද?
15 “අපගේ දවස්පතා භෝජනය අපට දවසින් දවස දුන මැනව.” යෙහෝවාගෙන් “දවස්පතා භෝජනය” ඉල්ලීමෙන් අඟවන්නේ, අපේ දෛනික අවශ්‍යතාවන් පමණක් මිසක්, අප මහත් පරිමාණයෙන් දේවල් නොඉල්ලන බවයි. දෙවි සපයන බවට අප විශ්වාසය තැබුවත්, ආහාර සහ අනිකුත් අවශ්‍යතා ලබාගැනීම සඳහා අපත් වැඩ කරන අතර, ඒ සඳහා තිබෙන ඕනෑම සුදුසු මාර්ගයක් උපයෝගි කරගන්නවා. (2 තෙසලෝනික 3:7-10) මෙම සැපයුම් පිටුපස ඔහුගේ ප්‍රේමය, ප්‍රඥාව සහ බලය තිබීම ගැන, අපි ඇත්තෙන්ම අපේ ස්වර්ගික සැපයුම්කරුට ස්තුතිවන්ත විය යුතුයි.—ක්‍රියා 14:15-17.
16. අපට දෙවිගෙන් සමාව ලබාගන්න පුළුවන් කොහොමද?
16 “අපේ පව් අපට කමාකළ මැනව; මක්නිසාද අපට ණයව සිටින සියල්ලන්ට අපිත් කමාවෙමුව.” අප අසම්පූර්ණ සහ පව්කාර තත්වයක සිටින නිසා, අපට යෙහෝවාගේ පරිපූර්ණ ප්රමිතීන්වලට සම්පූර්ණයෙන්ම අනුකූල වෙන්න බෑ. එමනිසා, යේසුගේ මිදීම මිල පූජාවේ පදනම මත අප ඔහුගෙන් සමාව ඉල්ලා යාච්ඤා කිරීම අවශ්‍යයි. නමුත් ‘යාච්ඤා අසන තැනැත්තා’ විසින් අපේ පව්වලට, පූජාවේ වටිනාකම අදාළ කරනවා දකින්න අපට අවශ්‍ය නම්, අප පසුතැවිලි විය යුතු අතර, ඔහු දෙන ඕනෑම හික්මවීමක් පිළිගැනීමට කැමැත්තෙන් සිටිය යුතුයි. (ගීතාවලිය 65:2; රෝම 5:8; 6:23; හෙබ්‍රෙව් 12:4-11) තවදුරටත්, අපට දෙවි විසින් සමාව දෙයි කියා බලාපොරොත්තු විය හැක්කේ අපට විරුද්ධව පව් කරන අය වන අපේ “ණයකාරයන්ට අප කමාකළා” නම් පමණයි.—මතෙව් 6:12, 14, 15.
17. ‘අපව පරීක්ෂාවට නොපැමිණෙවුව මැනව’ යන වචනවලින් අදහස් කරන්නේ කුමක්ද?
17 ‘අපව පරීක්ෂාවට නොපැමිණෙවුව මැනව.’ යෙහෝවා නිකම්ම ඒවාට ඉඩහරින විටදී, බයිබලය සමහර අවස්ථාවල යෙහෝවා දේවල් කරනවා කියා පවසනවා. (රූත්ගේ කථාව 1:20, 21) දෙවි අපව පව් කරන්න පොලඹවන්නේ නැහැ. (යාකොබ් 1:13) පව් කිරීමට පෙලඹීම ඇති වන්නේ යක්ෂයාගෙන්, අපේම පව්කාර මාංශයෙන් සහ මේ ලෝකයෙනුයි. දෙවිට විරුද්ධව පව් කිරීමට අපව පොලඹවන්න උත්සාහ කරන පරීක්ෂකයා වන්නේ සාතන්. (මතෙව් 4:3; 1 තෙසලෝනික 3:5) ‘අපව පරීක්ෂාවට නොපැමිණෙවුව මැනව’ කියා ඉල්ලන විට, දෙවිට අකීකරු වන්න පෙලඹවීමක් එන විට අපව අත් නොහරින ලෙස දෙවිගෙන් අප ඉල්ලමින් සිටිනවා. පරීක්ෂා හමුවෙහි අත්නෑර සිටින්නත්, “නපුරා” වන සාතන්ගෙන් යටපත් නොවන්නත් අපට මඟ පෙන්වන්න ඔහුට පුළුවන්.—මතෙව් 6:13; 1 කොරින්ති 10:13.
ඔබේ යාච්ඤාවලට එකඟව ක්‍රියා කරන්න
18. සන්තෝෂවත් විවාහයක් සහ පවුල් ජීවිතයක් සඳහා කරන අපේ යාච්ඤාවලට එකඟව අපට කටයුතු කරන්න පුළුවන් කොහොමද?
18 යේසුගේ ආදර්ශ යාච්ඤාවෙන් මූලික අංග ආවරණය කරන නමුත්, අපට ඕනෑම කාරණයක් ගැන යාච්ඤා කරන්න පුළුවන්. උදාහරණයකට, සන්තෝෂවත් විවාහයක් සඳහා තිබෙන අපේ ආශාව සම්බන්ධයෙන් අප යාච්ඤා කරනවා විය හැකියි. විවාහ වන තෙක් සදාචාරමය පිරිසිදුකම පවත්වාගැනීමට ආත්ම දමනය ඉල්ලා යාච්ඤා කරනවා විය හැකියි. එසේ නම් අප, අසභ්‍ය පොත් පත්වලින් සහ විනෝදාංශවලින් වැළකීම තුළින් අපේ යාච්ඤාවලට එකඟව කටයුතු කරමු. ඒ වගේම අප ‘ස්වාමීන් තුළ පමණක්’ විවාහ වීමටත් අධිෂ්ඨාන කරගනිමු. (1 කොරින්ති 7:39; ද්විතීය කථාව 7:3, 4) විවාහයෙන් පසු, සන්තෝෂය ලබාගැනීම සඳහා දෙවිගේ උපදෙස් අදාළ කරගනිමින්, අපේ යාච්ඤාවලට එකඟව කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම අපට දරුවන් සිටිනවා නම්, ඔවුන් යෙහෝවාගේ සේවකයන් වෙන ලෙස යාච්ඤා කරන එක පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. බයිබල් පාඩම මගින් සහ නොකඩවා ඔවුන් සමඟ ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වීම මගින්, ඔවුන්ගේ මනස් තුළ දෙවිගේ සත්‍යය පැලපදියම් කරන්න පුළුවන් සෑම දෙයක්ම අප කරන්න අවශ්‍යයි.—ද්විතීය කථාව 6:5-9; 31:12; හිතෝපදේශ 22:6.
19. අපගේ සේවය ගැන අප යාච්ඤා කරමින් සිටිනවා නම්, අප කුමක් කළ යුතුද?
19 සේවය තුළ ආශීර්වාද ලබා දෙන මෙන් අප යාච්ඤා කරමින් සිටිනවාද? එසේ නම්, රාජ්‍යය දේශනා කිරීමේ වැඩය අර්ථවත් ආකාරයකින් කිරීම තුළින්, අපි එවැනි යාච්ඤාවලට එකඟව ක්‍රියා කරමු. සදාකාල ජීවනයට යන මාවතට පිවිසෙන්න අනුන්ට උපකාර කිරීම සඳහා අවස්ථාවන් උදා කරන මෙන් අප යාච්ඤා කරනවා නම්, උනන්දුව දක්වන අය ගැන හොඳ වාර්තාවක් තබාගැනීම සහ බයිබල් පාඩම් මෙහෙයවීම අපේ කාලසටහනට ඇතුළත් කරගැනීම අවශ්‍ය වෙනවා. පුරෝගාමියෙක් ලෙස පූර්ණ කාලීන දේශනා සේවය අත් කරගන්න අප ආශා වන්නේ නම් තත්වය කුමක්ද? එසේ නම්, අපේ දේශනා සේවය පුළුල් කිරීමෙන් සහ පුරෝගාමීන් සමඟ සේවයේ හවුල් වීමෙන් අපේ යාච්ඤාවලට එකඟව පියවර ගනිමු. එවැනි පියවර ගැනීමෙන්, අපේ යාච්ඤාවලට එකඟව අපි කටයුතු කරන බව පෙන්වමු.
20. ඊළඟ ලිපිය අවධානය දෙන්නේ කුමකටද?
20 අප යෙහෝවාට ඇදහිලිවන්තව සේවය කරමින් සිටිනවා නම්, ඔහුගේ කැමැත්තට එකඟව කරන අපගේ යාච්ඤාවලට ඔහු පිළිතුරු දෙයි කියා අපට නිසැක වෙන්න පුළුවන්. (1 යොහන් 5:14, 15) ස්ථිරවම, බයිබලයේ වාර්තා කර ඇති සමහර යාච්ඤා සලකා බැලීමෙන් ප්‍රයෝජනවත් කරුණු නෙළාගෙන තිබෙනවා. ‘යෙහෝවා ඉදිරියේ තම යාච්ඤා සුවඳ දුම් මෙන් ඔප්පු කරන්න’ කැමති අය සඳහා දී ඇති වෙනත් ශුද්ධ ලියවිලිමය මඟ පෙන්වීම්, අපේ ඊළඟ ලිපියෙන් සලකා බලන්න යනවා.
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
◻ අප ඇදහිල්ලෙන් යාච්ඤා ඔප්පු කළ යුත්තේ ඇයි?
◻ අපේ යාච්ඤාවලදී, ස්තුති ප්‍රශංසාවට අප කුමන ස්ථානයක් දිය යුතුද?
◻ යාච්ඤාවේදී, නිසැකභාවයකින් යුතුව යෙහෝවාගේ උපකාරය සෙවිය යුත්තේ ඇයි?
◻ ආදර්ශ යාච්ඤාවේ තිබෙන සමහර ප්‍රධාන කරුණු මොනවාද?
◻ අපට අපගේ යාච්ඤාවලට එකඟව කටයුතු කරන්න පුළුවන් කොහොමද?
[12වන පිටුවේ පින්තූරය]
යෙහෝෂාපාට් මෙන් ඇතැම්විට අපටත් මෙසේ යාච්ඤා කිරීමට අවශ්‍ය විය හැකියි: ‘අපි කුමක් කරමුද කියාත් නොදනිමු. නුමුත් යෙහෝවා අපේ ඇස් ඔබ දෙසම යොමු කර තිබේ’
[13වන පිටුවේ පින්තූරය]
ඔබ යේසුගේ ආදර්ශ යාච්ඤාවට එකඟව යාච්ඤා කරනවාද?