යෙහෝවඃවහන්සේට ප්‍රශංසා ගී ගයන්න
“මම ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] ගී කියන්නෙමි, මක්නිසාද උන්වහන්සේ තේජාන්විත ලෙස ජයගත්සේක.”—නික්මයාම 15:1.
1. යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කිරීම සඳහා අපට හේතු ලබා දෙන්නේ උන්වහන්සේගේ කිනම් ගතිලක්ෂණ හා ගුණාංගද?
එකසිය පනස්වෙනි ගීතිකාවේ දහතුන් වතාවක්ම යෙහෝවඃවහන්සේට හෙවත් යාඃට ප්‍රශංසා කරන ලෙසට අණ කරයි. අවසන් පදයේ මෙසේ ප්‍රකාශ වේ: “හුස්ම ඇති සියල්ලෝම ස්වාමීන්ට [යාඃට, NW] ප්‍රශංසාකෙරෙත්වා. ස්වාමීන්ට [ජනයෙනි යාඃට, NW] ප්‍රශංසාකරව්.” යෙහෝවඃවහන්සේ අපගේ ප්‍රශංසාව ලැබීමට වටින බව උන්වහන්සේගේ සාක්ෂිකරුවන් වශයෙන් අපි දනිමු. උන්වහන්සේ වනාහි විශ්වනීය පරමාධිපතියාණෝය, අති මහෝත්තමයාණෝය, සදාකාල රජාණෝය, අපගේ මැවුම්කරුවාණෝය, අපගේ උපකාරකයාණෝය. බොහෝ ආකාරවලින් උන්වහන්සේ අසමසමය, අද්විතීයය, අනුපමේයය, අතුල්‍යය. උන්වහන්සේ වූ කලි සර්වඥය, සර්වබලධාරීය, යුක්තියෙන් පරිපූර්ණය, එමෙන්ම ප්‍රේමයේ පුද්ගලාරෝපණයය. අන් සියල්ලන්ටම වඩා උන්වහන්සේ යහපත්ය; පක්ෂපාතය. (ලූක් 18:19; එළිදරව් 15:3, 4) උන්වහන්සේ අපගේ ප්‍රශංසාව ලැබීමට වටින සේක්ද? ඇත්තවශයෙන්ම, උන්වහන්සේ අපගේ ප්‍රශංසාව ලැබීමට බොහෝ සෙයින් වටින සේක!
2. යෙහෝවඃවහන්සේට අපගේ කෘතඥතාව පළකිරීමට අපට තිබෙන හේතු මොනවාද?
2 යෙහෝවඃවහන්සේ අපගේ නමස්කාරය හා ප්‍රශංසාව ලැබීමට වටිනවා පමණක් නොව, අප වෙනුවෙන් උන්වහන්සේ කර තිබෙන සියල්ල උදෙසා අපගේ කෘතඥතාව සහ ස්තුතියද ලැබීමට වටින සේක. උන්වහන්සේ වනාහි ‘සෑම යහපත්දීමේද සෑම සම්පූර්ණ දීමනාවේද’ දායකයාණෝය. (යාකොබ් 1:17) උන්වහන්සේ වූ කලි සියලු ජීවිතවල උල්පතය, හෙවත් ප්‍රභවයය. (ගීතාවලිය 36:9) මිනිස් ජාතියේ සමාජිකයන් වශයෙන් අප භුක්තිවිඳින සියල්ලම පැමිණ ඇත්තේ උන්වහන්සේගෙන්ය, මක්නිසාද අපගේ උදාර මැවුම්කරුවාණෝ උන්වහන්සේය. (යෙසායා 42:5) ස්වකීය ආත්මය, ස්වකීය සංවිධානය සහ ස්වකීය වචනය කරණකොටගෙන අප වෙතට පැමිණෙන ආත්මික ආශීර්වාද සියල්ලේ දායකයාණෝද උන්වහන්සේය. උන්වහන්සේ ස්වකීය පුත්‍රයාණන්ව අපගේ මිදීමේ මිලය වශයෙන් සැපයීමේ පදනම මත අපට පව්කමාව තිබේ. (යොහන් 3:16) ‘ධර්මිෂ්ඨකම වාසය කරනු ඇති අලුත් අහසක් සහ අලුත් පොළොවක්’ පිළිබඳව රාජ්‍යය බලාපොරොත්තුවද අපට තිබේ. (2 පේතෘස් 3:13) සෙසු ක්‍රිස්තියානින් සමඟ කදිම ඇසුරක්ද අපට ඇත. (රෝම 1:11, 12) උන්වහන්සේගේ සාක්ෂිකරුවන් වීමේ ගෞරවය හා ආශීර්වාදද අපට තිබේ. (යෙසායා 43:10-12) එමෙන්ම, අපට යාච්ඤාවේ අනගි වරප්‍රසාදයද ඇත. (මතෙව් 6:9-13) සැබවින්ම, යෙහෝවඃවහන්සේට ස්තුති දීම සඳහා බොහෝ හේතු අපට තිබේ!
යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කිරීමට අපට හැකි මාර්ග
3. යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කිරීමටත් උන්වහන්සේට අපගේ කෘතඥතාව පළකිරීමටත් තිබෙන විවිධ මාර්ග මොනවාද?
3 යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කිරීමටත්, අපගේ කෘතඥතාව පළ කිරීමටත් උන්වහන්සේගේ කැපවූ සේවකයන් වශයෙන් අපට හැක්කේ කෙසේද? ක්‍රිස්තියානි දේව සේවයේ මේ අයුරින් හවුල්වීම මගින් අපට එය කළ හැක—එනම්, ගෙයින් ගෙට සාක්ෂි දැරීම, නැවත බැලීම් කිරීම, බයිබල් පාඩම් පැවැත්වීම සහ වීදි සාක්ෂි දැරීම. ඉඩ සැලසෙන කොයියම් ප්රස්තාවකදී හෝ වේවා අනියම් සාක්ෂිදැරීමෙන්ද උන්වහන්සේට ප්‍රශංසා කිරීමට අපට පුළුවන. ඒ හා සමානව, අපගේ අවංක හැසිරීමෙන්, පිළිවෙළකට හා විනීත අන්දමින් අප වස්ත්‍ර අඳින හා හිසකෙස් සකස් කරන ආකාරවලින් පවා, යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කිරීමට අපට හැකිය. මෙම අංගයන් තුළ ආදර්ශවත් වීම නිසා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ බොහෝ විට පැසසුමට ලක් වී සිටිත්. එපමණක්ද නොව, යාච්ඤාව තුළින්ද යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කිරීමටත් ස්තුති කිරීමටත් අපට හැකියි.—1 ලේකම් 29:10-13 බලන්න.
4. අපහට අපගේ ආදරණීය ස්වර්ගීය පියාණන්ට ප්‍රශංසා කළ හැකි වඩාත්ම අලංකාර ක්‍රම අතුරින් එකක් කුමක්ද?
4 මීට අමතරව, අපගේ ආදරණීය ස්වර්ගීය පියාණන්ට ප්‍රශංසා කිරීමට අපට හැකි වඩාත්ම අලංකාර ක්‍රම අතුරින් එකක් නම් මිහිරි රාජ්‍යය ගීතිකාවලින් උන්වහන්සේගේ ගුණ ගයා උන්වහන්සේව පැසසීමය. වඩාත්ම මිහිරිම සංගීත භාණ්ඩය මිනිස් කටහඬ බවට සංගීතවේදීන් හා ගීත රචකයන් බොහෝ දෙනෙක් එකඟ වෙති. ශාස්ත්‍රීය සංගීත විශාරදයෝ ඔපරාවන් ලිවීමට යුහුසුලු වූයේ මන්දයත්, ගී ගැයීමට යොදන ලද ලයාන්විත මිනිස් කටහඬට සවන්දීමෙන් ඒ තරමටම ඉමහත් තෘප්තියක් ලැබිය හැකි බැවිනි.
5. රාජ්‍යය ගීතිකා ගැයීම අප විසින් බැරෑරුම් ලෙස සැලකිය යුත්තේ කිනම් හේතු උදෙසාද?
5 මිනිස් ගායනාවලට සවන්දීමෙන්, විශේෂයෙන්ම ඔවුන් ප්රශංසාවේ සහ කෘතඥතාවේ ගීතිකා ගායනා කරන විට ඒවාට සවන්දීමෙන්, යෙහෝවඃවහන්සේ කොතරම් සතුටක් භුක්ති විඳිනවා විය යුතුද! එසේනම්, සභා රැස්වීම්, චාරිකා එක්රැස්වීම්, විශේෂ එක්දින රැස්වීම්, දිස්ත්‍රික් සමුළු සහ ජාත්‍යන්තර සමුළු වැනි අපගේ විවිධ හමුවීම්වලදී රාජ්‍යය ගීතිකා ගැයීම සහතිකවම අප විසින් බැරෑරුම් ලෙස සැලකිය යුතුය. බාහිර පුද්ගලයන්ගේ පැසසුමට බොහෝ විට ලක්වී ඇති සැබවින්ම මධුර ස්වරයන්ගෙන් අපගේ ගීතිකා පොත ගහණය. ගැයෙන රාජ්‍යය ගීතිකාවල ස්ප්රීතුවට අප වඩ වඩාත් ඇතුල් වෙත්ම, අප අන්‍යයන්ටත් අපටත් ගෙනෙන රසාස්වාදය වඩාත් වැඩිය.
බයිබල් කාලවලදී යෙහෝවඃවහන්සේට ප්‍රශංසා ගී ගැයීම
6. ඉශ්රායෙල්වරු රතු මුහුදේදී තම මිදීම සම්බන්ධයෙන් අගය පළකළේ කෙසේද?
6 මෝසෙස් හා සෙසු ඉශ්‍රායෙලිතයන් රතු මුහුදේදී ඵාරාවෝගේ හමුදාවෙන් මිදී යාමේදී ජයකෙහෙළි නංවමින් ගී ගැයූ බව දේව වචනය අපට කියයි. ඔවුන්ගේ ගීතිකාව ආරම්භ වූයේ මෙම වදන්වලිනි: “මම ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] ගී කියන්නෙමි, මක්නිසාද උන්වහන්සේ තේජාන්විත ලෙස ජයගත්සේක. උන්වහන්සේ අශ්වයා සහ අසරුවා මුහුදට හෙළූසේක. මාගේ ශක්තියද ගීතිකාවද ස්වාමීන්වහන්සේය [යාඃය, NW]. උන්වහන්සේ මාගේ ගැළවීම වූසේක. මේ මාගේ දෙවියන්වහන්සේය. උන්වහන්සේ වර්ණනාකරන්නෙමි.” (නික්මයාම 15:1, 2) තම ආශ්චර්යජනක ගැළවීමෙන් පසු ඉශ්රායෙල්වරුන් මෙම ගීය ගයද්දී ඔවුන් තුළ තිබූණා වූ උද්යෝගය සහ ප්‍රීතිය අපට හොඳින් සිතා ගත හැකියි!
7. ඉශ්රායෙල්වරු ගායනය තුළින් යෙහෝවඃවහන්සේව ප්‍රශංසාවට ලක් කරන, හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල සඳහන් වන වෙනත් කැපී පෙනෙන අවස්ථා මොනවාද?
7 දාවිත් ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට ගෙනා අවස්ථාවේ, ගීතිකා ගැයීමෙන්ද සංගීත භාණ්ඩ වාදනය කිරීමෙන්ද යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කරනු ලැබූ බව 1 ලේකම් 16:1, 4-36හි අපි කියවමු. එය වනාහි සැබවින්ම ප්‍රීතිදායක උත්සව අවස්ථාවක් විය. සාලමොන් රජ යෙරුසලමේ දේව මාලිගාව කැප කළ අවස්ථාවේ සංගීත භාණ්ඩවලින් වැයුණු සංගීතය සමඟ මුසුවූ ප්රශංසාත්මක ගී ගායනාද විය. දෙවෙනි ලේකම් 5:13, 14හි අපට මෙසේ කියවීමට තිබේ: “ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] ස්තුති ප්‍රශංසා කිරීමට නළා පිඹින්නන් හා ගීතිකාකාරයන් එක ශබ්දයක් ඇසෙන පිණිස එක්කෙනෙකු මෙන් සිට, නළාවලින්ද අත්තල්වලින්ද වෙනත් තූර්ය භාණ්ඩවලින්ද; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ [ප්‍රේමනීය, NW] කරුණාව සදාකාලේටම පවත්නේය කියා ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] ප්‍රශංසාකිරීමෙන් ශබ්ද පැවැත්වූ කල, ගෘහය එනම් ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] ගෘහය වලාපටලයෙන් පිරීගියේය. ඒ වලාපටලය නිසා පූජකයන්ට සේවය කිරීම පිණිස සිටින්ට බැරිවිය. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] තේජසින් දෙවියන්වහන්සේගේ ගෘහය පිරීගියේය.” මින් පෙන්වන්නේ කුමක්ද? එනම්, යෙහෝවඃවහන්සේ මෙම මධුරස්වර ප්‍රශංසාවට සවන්දී සිටි බවත්, ඒ ගැන සතුටු වී සිටි බවත්ය, එය එසේ බව අධිස්වාභාවික වලාපටලයෙන් අඟවනු ලැබීය. පසුව, නෙහෙමියාගේ දවස්වල යෙරුසලමේ පවුරු කැපකිරීමේ අවස්ථාවේදී ගායනා කණ්ඩායම් දෙකක් විසින් ගායනා ඉදිරිපත් කෙරිණි.—නෙහෙමියා 12:27-42.
8. ඉශ්රායෙල්වරුන් විසින් ගායනා කිරීම බැරෑරුම් ලෙස සලකනු ලැබූ බව පෙන්වන්නේ කුමකින්ද?
8 ඇත්තෙන්ම, දේව මාලිගා නමස්කාරයේ ගී ගැයීම කොතරම් වැදගත් කොටසක් වූවාදයත්, සංගීතමය සේවාවන් සඳහා ලෙවීවරුන් 4,000ක් වෙන් කොට තිබිණි. (1 ලේකම් 23:4, 5) මේ අය ගායකයන්ට සහාය වනු ඇත. සංගීතය, විශේෂයෙන්ම ගායකයන්, නමස්කාරයේ වැදගත් ස්ථානයක් දැරුවේ, හුදෙක් අනිවාර්යයෙන්ම ව්‍යවස්ථාවේ වැදගත් කාරණා පැලපදියම් කිරීම සඳහා නොව, නමුත් නමස්කාරය සඳහා හරි ස්ප්‍රීතුවක් සැපයීමටය. තම ප්‍රාණවත් ස්ප්රීතුවකින් යෙහෝවඃවහන්සේට නමස්කාර කිරීම සඳහා එය ඉශ්රායෙල්වරුන්ට උපකාරවත් විය. මෙම අංගයට යොමුකරන ලද පෙර සූදානම සහ අදාළ සියල්ලකට අවධානය යොමු කළ අයුරු සැලකිල්ලට ගන්න: “තම සහෝදරයන් හා එක්ව යෙහෝවඃවහන්සේට ගී ගැයීමෙහිලා පුහුණු කරන ලද සියලු ප්රවීණයන්ගේ ගණන දෙසිය අසූ අටක් විය.” (1 ලේකම් 25:7, NW) යෙහෝවඃවහන්සේට ප්‍රශංසා ගී ගැයීම ඔවුන් විසින් මොනතරම් බැරෑරුම් ලෙස සැලකුවාද යන්න සැලකිල්ලට ගන්න. ඔවුහු ගී ගැයීමේ පුහුණුව ලැබූ, ප්‍රවීණයෝ වූහ.
9. ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල ගායනා කිරීමට දී ඇති අවධාරණය කුමක්ද?
9 අපගේ පොදු යුගයේ පළමු සියවස කරා පැමිණීමේදී අපට දැකගන්නට ලැබෙන්නේ කුමක්ද? තමාව පාවා දෙනු ලැබූ රාත්රියේදී, එතරම්ම බරපතළ කාරණා රැසක් තම මනසේ ඇතුව සිටි යේසුස්වහන්සේට හැඟුණේ, තමන් විසින් පාස්කුව පැවැත්වීම හා සිය මරණයේ සිහිකිරීම ස්ථාපිත කිරීම, යෙහෝවඃවහන්සේට ප්‍රශංසා ගීයකින් අවසන් කිරීමේ අවශ්‍යතාවයි. (මතෙව් 26:30) එමෙන්ම, “මධ්‍යම රාත්‍රිය පමණේදී,” පාවුල් සහ සීලස්, පහරදෙනු ලැබ සිරගත කරනු ලැබීමෙන් පසු, “යාච්ඤාකරමින් දෙවියන්වහන්සේට ගී කීවෝය, හිරකාරයෝද ඔවුන්ට ඇහුම් කන්දීගන සිටියෝය” යනුවෙන් අපට කියවීමට තිබේ.—ක්‍රියා 16:25.
ප්‍රශංසා ගී ගැයීම—අපගේ නමස්කාරයේ වැදගත් කොටසකි
10. දෙවියන්වහන්සේව ගායනයෙන් ප්‍රශංසා කිරීම සඳහා දේව වචනයේ දී ඇති නියෝග මොනවාද?
10 රාජ්‍යය ගීතිකා ගැයීම ඔබේ හෘදයාංගම අවධානය දීමට තරම් වැදගත් නොවන යමක් සේ සමහරවිට ඔබට හැඟෙනවාද? එසේ හැඟෙන්නේ නම්, ප්‍රශංසා ගී ගැයීම කෙරෙහි යෙහෝවඃ දෙවියන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දක්වන වැදගත්කම දෙස බලන කල, ඔබ මෙම කාරණය යළිත් තක්සේරු කොට බැලිය යුතු නොවේද? ඇයි, යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කිරීමටත් උන්වහන්සේට ප්‍රශංසා ගී ගැයීමටත් කරන නියෝගවලින් දේව වචනය පිරී ඇත! නිදසුනක් වශයෙන්, යෙසායා 42:10හි අපට මෙසේ කියවීමට තිබේ: “මුහුදට බැසයන්නෙනි, එහි පිරී සිටින සියල්ලෙනි, දිවයින් හා එහි වැසියෙනි, ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] අලුත් ගීතිකාවක්ද පොළෝ සීමාවේ සිට උන්වහන්සේගේ ප්‍රශංසාවද ගායනාකරව්.”—ගීතාවලිය 96:1; 98:1ද බලන්න.
11. ගායනා කිරීම සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් දුන් අනුශාසනා මොනවාද?
11 ගීතිකා ගායනා කිරීමෙන් අපගේ ස්ප්‍රීතුව හෙවත් ස්වභාවය ඉහළ නැංවීමට හැකි බව පාවුල් දැන සිටියේය, එමනිසා මෙම කාරණය සම්බන්ධයෙන් ඔහු දෙවතාවක්ම අපට අනුශාසනා කළේය. එපීස 5:18, 19හි [NW] අපට මෙසේ කියවීමට තිබේ: “ගීතිකාවලින්ද දෙවියන්වහන්සේට කරන ප්රශංසාවලින්ද ආත්මික ගීවලින්ද ඔබටම කථාකරගනිමින්, ඔබගේ හදවත් තුළ යෙහෝවඃවහන්සේට ගී ගයමින් හා සංගීතයෙන් එක්වෙමින් ස්ප්‍රීතුවෙන් දිගටම පිරී සිටින්න.” තවද කොලොස්සි 3:16හි අපට කියවීමට ඇත්තේ මෙසේය: “ක්‍රිස්තුස්වහන්සේගේ වචනය නුඹලා තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධව වාසයකෙරේවා. නුඹලා ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට උගන්වමින්, දැනමුතුකම් දෙමින්, නුඹලාගේ සිත්වල [හදවත්වල, NW] අනුග්‍රහය ඇතුව දෙවියන්වහන්සේට ගීතිකාකරපල්ලා.”
12. අප විසින් ගායනා කිරීමෙන් එකිනෙකාට ඉගැන්වීමටත් දැනමුතුකම් දීමටත් අපට උපකාරවත් වන්නාවූ කිනම් උදාහරණ අපට තිබේද?
12 ‘ගීතිකා, දෙවියන්වහන්සේට ප්‍රශංසා, ආත්මික ගී, ඔබගේ හදවත් තුළ යෙහෝවඃවහන්සේට ගී ගැයීම’ යනුවෙන් පාවුල් සඳහන් කරන විට, මේ එක් එක් අවස්ථාවේදී ඔහු ගී ගැයීමට යළි යළිත් යොමු දක්වන බව සැලකිල්ලට ගන්න. තවද, කොලොස්සිවරුන්හට ඔහු ඒ සමඟම වාගේ පැවසුවේ මෙමගින් අප ‘එකිනෙකාට දැනමුතුකම් දීමටත්, ඉගැන්වීමටත්’ හැකි බවයි. අපගේ ගීතිකාවල තේමාවලින්ම පෙනී යන පරිදි, අපි සහතිකවම මෙය කරන්නෙමු. මෙවන් ගීතිකාවල උදාහරණ කිහිපයක් මෙන්න, “සියලු මැවිලි, යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කරව!” (අංක 5), “නොසැලී ස්ථිරව සිටින්න!” (අංක 10), “රාජ්‍යය අපේක්ෂාව උදෙසා ප්‍රීතිවන්න!” (අංක 16), “ඔවුන්ට බිය නොවන්න!” (අංක 27), “අපේ දෙවිවූ යෙහෝවඃවහන්සේට ගෞරවය දෙන්න!” (අංක 100) යන මේවාය.
13. “විශ්වාසවූ නුවණ ඇති දාසයා,” අපගේ නමස්කාරයේ කොටසක් වශයෙන් ගායනා කිරීමේ වැදගත්කම අපට පෙන්වා ඇත්තේ කෙසේද?
13 මෙම නියෝගවලට අනුකූලව, “විශ්වාසවූ නුවණ ඇති දාසයා,” අපගේ රැස්වීම්—එනම්, සභා රැස්වීම්, චාරිකා එක්රැස්වීම්, එක්දින විශේෂ රැස්වීම්, දිස්ත්‍රික් සමුළු සහ ජාත්‍යන්තර සමුළු—රාජ්‍යය ගීතිකා ගැයීමෙන් ආරම්භ කිරීමට සහ අවසාන කිරීමට විධිවිධාන යොදා ඇත. (මතෙව් 24:45) මීට අමතරව, මෙම රැස්වීම් අතරතුරේ වෙනත් වේලාවලදී ගැයීම සඳහාද වැඩසටහනට ගීතිකා ඇතුළත් කොට ඇත. සාමාන්‍යයෙන් අපගේ රැස්වීම් ආරම්භ වන්නේ රාජ්‍යය ගීතිකාවක් ගායනා කිරීම සමඟින් වන බැවින්, අපගේ නමස්කාරයේ එම කොටසකට හවුල්වීම පිණිස වේලාසනින් පැමිණීමට අපි ඉලක්ක කර නොගත යුත්තෙමුද? එමෙන්ම, රැස්වීම් අවසන් වන්නේද ගීතිකාවක් සමඟ බැවින්, අවසාන ගීතිකාව හා යාච්ඤාව තෙක් අපි රැඳී නොසිටිය යුත්තෙමුද?
14. අපගේ වැඩසටහන්වලට ගැළපෙන ගීතිකා තේරීම සම්බන්ධව අපට තිබෙන උදාහරණ මොනවාද?
14 අපගේ රැස්වීම්වලදී ගැයෙන ගීතිකා, වැඩසටහනට අනුකූලවීම සඳහා ප්‍රවේසමෙන් තෝරා ගනු ලැබ තිබේ. නිදසුනක් වශයෙන්, 1993 “දිව්‍ය ඉගැන්වීම” දිස්ත්‍රික් සමුළුවේදී, “සත්‍යය ඔබේම කරගන්න” යන මැයෙන් යුත් ගීතිකා අංක 191, එනම් සාතන්, ලෝකය සහ පහත වැටුනු මාංසය සමඟ සටන් කිරීමට ක්‍රිස්තියානින්ව දිරිගන්වන ගීතිකාව—මෙම සතුරන් තිදෙනා පිළිබඳව සාකච්ඡා කළ කථා තුනට පසුව ගායනා කරන ලදි (සිංහල සමුළුවල අංක 207). එලෙසම, දෙමාපියන්ට අනුශාසනාවලින් ගහණ වූ, “දරුවෝ—අගනා ත්‍යාගයකි” යන අංක 164 දරන ගීතිකාව ගායනා කරන ලද්දේ, තම දරුවන්ව පුහුණු කිරීමට දෙමාපියන්ට ඇති වගකීම කැපී පෙනෙන්ට සැලැස්වූ කථාවකට පසුවය. “යෙරෙමියා සේ වන්න” යන මැයෙන් යුත් ගීතිකා අංක 70, යෙරෙමියාගේ අනාවැකි මත පදනම් වූ කථා මාලාවකට පෙර ගායනා කෙරිණි. අපගේ රාජ්‍යය සේවයේ විවිධ අංග පිළිබඳව ඉදිරිපත් කරනු ලැබූ කථා මාලාවකට පසුව, සේවය මත බොහෝ සෙයින් කේන්ද්‍රගතවී ඇති “මම කැමැත්තෙමි” යන මැයෙන් යුත් ගීතිකා අංක 156 ගායනා කෙරිණි. (සිංහල සමුළුවල ගැයුවේ අංක 205.) මුරටැඹ පාඩම, සේවා රැස්වීම සහ දිව්‍යාණ්ඩු සේවා පාසල සඳහා ගීතිකා තේරීමේදී ඒ හා සමානවම ප්‍රවේසමෙන් සැලකිල්ල දක්වනු ලැබේ. එසේම, වැඩිමහල්ලන් ප්‍රසිද්ධ කථා ඉදිරිපත් කරන විට හා වැඩසටහන ආරම්භ කිරීමේදී යොදා ගනු ලබන ගීතිකාව අඟවන විට, ඔවුන් තම කථාවේ තේමාවට ගැළපෙන ගීතිකාවක් තෝරා ගත යුතුබව එනයින් පැහැදිලි වේ.
15. ගායනා කිරීමට තිබෙන ගීතිකාව කෙරෙහි අගය වැඩි කිරීමට රැස්වීමේ සභාපතිට හැක්කේ කෙසේද?
15 ගයනු ලැබීමට තිබෙන ගීතිකාව නිවේදනය කිරීමේදී, ගීතිකාවේ මාතෘකාව හෝ තේමා විෂය සඳහන් කිරීමෙන් ඒ කෙරෙහි අගය වැඩි කිරීමට සභාපතිට හැකිය. අප ගායනා කරන්නේ ගීතිකා අංක නොව ශුද්ධ ලියවිලිමය තේමා විෂයන්ය. තවද, ගීතිකාවේ මාතෘකාව යටතේ දී ඇති ශුද්ධ ලියවිලි පදයද සඳහන් කරනු ලබන්නේ නම්, ගීතිකාව වඩාත් අගය කිරීමට සභාවට උපකාරයක් වනවා ඇත. ඇරත් සියලු දෙනා මෙම ගීතිකාවේ ස්ප්‍රීතුව තුළට ඇතුල් වීමට දායකවන පරිදි, යමක් කෙටියෙන් පැවසිය හැකිය.
ගායනා කිරීම මගින් යෙහෝවඃවහන්සේගේ යහපත්කම කෙරෙහි අගය පෙන්වන්න
16. අපගේ ගීතිකාවල ස්ප්‍රීතුව තුළට ඇතුල්වීමට අපට හැක්කේ කෙසේද?
16 අපගේ රාජ්‍යය ගීතිකාවල ඇති පදමාලා අරුත්වලින් පිරී ඇති හෙයින්, ගායනා කරන විට අප වචන මත සිත ඒකාග්රව තැබිය යුතුය. එක් එක් ගීතිකාවේ ස්ප්‍රීතුව තුළට ඇතුල්වීමට අපට වුවමනාය. ප්‍රේමය, වැනි ශුද්ධාත්මයේ ඵලයක් හා සම්බන්ධ ඇතැම් ගීතිකා හෘදයාංගම ඒවාය. (ගලාති 5:22) අප මේවා ගයන්නේ තීව්රබවකින් හා උණුසුම්භාවයකින් යුතුවය. තවත් ඒවා ප්‍රීතිමත් ස්වභාවයක් දනවන අතර, අප ඒවා සන්තෝෂයෙන් යුතුව ගායනා කිරීමට උත්සාහ කළ යුතුය. තවත් ඒවා ප්රබලය, විධිමත් රිද්මයක් ඇති ගීය, මේවා ගායනා කළ යුත්තේ උද්යෝගයෙන් හා දැඩි නිසැකකමින් යුතුවය. අපගේ ඉදිරිපත් කිරීම්වලදී උණුසුම සහ හැඟීම් මෙන්ම උද්යෝගයද පළ කරන මෙන් අපගේ දිව්‍යාණ්ඩු පාසලේදී අපට උපදෙස් දෙනු ලැබේ. අප ගීතිකා ගායනා කරන විට උණුසුම්භාවය, හැඟීම් සහ උද්යෝගය විදහාපෑම ඊටත් වඩා වැදගත්ය.
17. (අ) අපගේ ගායනා කිරීම සම්බන්ධයෙන් අදාළ වීමට අපට වුවමනා නොවන්නේ, නොඇදහිලිකාර ඉශ්‍රායෙලිතයන් මතට ආ කිනම් දෝෂාරෝපණයද? (ආ) අපගේ ගීතිකාවල අඩංගු වී ඇති අවවාදානුශාසනා අප බැරෑරුම් ලෙස සැලකිල්ලට ගන්නා විට කුමන ප්‍රතිඵල ඇති වේද?
17 අප රාජ්‍යය ගීතිකා ගයන්නේ, අපගේ මනස්වල වෙනත් දේවල් තබා ගෙන නම්, වචනවල අරුත් මුළුමනින්ම අගය නොකරමින් නම්, තම තොල්වලින් දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන අතර තම හෘදයන් උන්වහන්සේගෙන් බොහෝ දුරස්තරයෙන් තබා ගෙන සිටි නිසා තරවටු කරනු ලැබූ නොඇදහිලිකාර ඉශ්‍රායෙලිතයන්ට අප තරමක් දුරට සමාන නොවනු ඇත්ද? (මතෙව් 15:8) එම දෝෂාරෝපණය, අප රාජ්‍යය ගීතිකා ගයන ආකාරයට අදාළ කරනවාට අපට වුවමනා නොවේ, එසේ නොවේද? අපගේ රාජ්‍යය ගීතිකා නිසිලෙස නිසි ගෞරවයෙන් යුතුව ගැයීම මගින්, අපි අපවම පමණක් නොව, යෞවනයන් ඇතුලු අප අසල සිටින අයවද පුබුදුවාලන්නෙමු. එසේය, අපගේ රාජ්‍යය ශාලාවලදී ගායනා කරන සියල්ලන්ම මෙම ගීතිකාවල අඩංගුවන අවවාදානුශාසනා බැරෑරුම් ලෙස සලකන්නේ නම්, දේව සේවය තුළ ජ්වලිතවත් වීමටත්, වැරදි ක්‍රියාවන්හි මලපත්වලින් බේරීමටත් මෙය ප්‍රබල දිරිගැන්වීමක් වෙනවා ඇත.
18. රාජ්‍යය ගීතිකා ගැයීම, එක්තරා කාන්තාවක් කෙරෙහි ඇති කළ බලපෑම කුමක්ද?
18 බොහෝ අවස්ථාවලදී, අප විසින් රාජ්‍යය ගීතිකා ගැයීම ඇසූ බාහිර පුද්ගලයන්ගේ සිත් ඒ කරා ඇදී ගොස් තිබේ. වරෙක පළවූ ද වොච්ටවර් සඟරාවක මෙම කාරණය පිළිබඳව මෙසේ පළ විය: “අපගේ ගීතිකා ගායනය, මිනිසුන්ව යෙහෝවඃ දෙවියන්වහන්සේ පිළිබඳ දැනුම කරා ගෙන ඒමටද ඉවහල් වන බව, නිව් යොර්ක් නුවර, යැංකි ස්ටේඩියම්හි 1973දී පැවති ‘දිව්‍ය ජයග්‍රහණය’ එක්රැස්වීමේදී බව්තීස්ම ලැබූ කාන්තාවකගේ අද්දැකීමෙන් පැහැදිලි වේ. ඈ තම ප්‍රදේශයේ කිට්ටුවම තිබූ රාජ්‍යය ශාලාවට පළමු වතාවට ගොස් රැස්වීම් දෙක සඳහාම එහි රැඳී සිටියාය. සභාව විසින්, ‘ත්‍යාගය වෙත නෙත් යොමා ඉන්න’ යන ගීතිකාව ගායනා කළාත් සමඟම, එම වදන්වලට සහ ඒවා ගැයුණු ආකාරයට ඇගේ සිත කොතරම් තදින් ඇදී ගියේද යත්, තමා සිටීමට වුවමනා වුයේ මේ ස්ථානයේ යයි ඈ තීරණය කළාය. ඉන් අනතුරුව, එක් සාක්ෂිකරුවෙකු වෙතට එළැඹුණු [ඈ] බයිබල් පාඩමක් ඉල්ලා සිටි අතර, යෙහෝවඃවහන්සේගේ ක්‍රිස්තියානි සාක්ෂිකාරියක බවට පත්වන තෙක් ප්‍රගතිය ලැබුවාය.”
19. අප විසින් මුළු හදින්ම රාජ්‍යය ගීතිකා ගායනා කිරීම සම්බන්ධව දී ඇති අවසාන දිරිගැන්වීම කුමක්ද?
19 අපගේ රැස්වීම් වැඩිහරියක, සබයේ සිටින අයට තම හැඟීම් සහ අගය පළකිරීමට තිබෙන්නේ සන්සන්දනාත්මක වශයෙන් ප්‍රස්තා ස්වල්පයකි. එහෙත්, රාජ්‍යය ගීතිකා ගැයීමෙහිලා මුළු හදින්ම හවුල්වීමෙන් යෙහෝවඃවහන්සේගේ යහපත්කම ගැන අපට හැඟෙන ආකාරය පළකිරීමට අප සියල්ලන්ටම හැකිය. තවත් දෙයක් නම්, අප එකට එක්රැස්වන විට, අප සිටින්නේ හොඳ ස්ප්රීතුවකින් නොවේද? එමනිසා, ගායනා කිරීමට හැඟීමක් අප තුළ තිබිය යුතුය! (යාකොබ් 5:13) ඇත්තෙන්ම, අප යෙහෝවඃවහන්සේගේ යහපත්කම සහ උන්වහන්සේගෙන් ලබන්ට නොවටිනා තරම්වූ කරුණාව අගය කරන තරමට, අපි අපගේ මුළු ආත්මයෙන් උන්වහන්සේව පසසමින් ගායනා කරමු.
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
◻ යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කිරීමට තිබෙන ප්‍රධාන හේතු දෙක කවරේද?
◻ යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කිරීමට අපට හැකි විවිධ ක්‍රම මොනවාද?
◻ යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කිරීමට අපට හැකි වඩාත්ම අලංකාර ක්‍රම අතුරින් එකක් කුමක්ද?
◻ ගීතිකාවෙන් යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කිරීම සම්බන්ධව අපට තිබෙන ශුද්ධ ලියවිලිමය ආදර්ශ මොනවාද?
◻ රාජ්‍යය ගීතිකා නිසි අයුරින්, නිසි ගෞරවයෙන් ගැයීමට අපට හැක්කේ කෙසේද?
[11වන පිටුවේ කොටුව]
එම ගීතිකා සතුටින් භුක්ති විඳින්න!
ඇතැම් අයට ගීතිකා කිහිපයක් ඉගෙනගැනීමේදී මඳ වශයෙන් දුෂ්කරතාවලට මුහුණදී ඇති බව පෙනෙන්නට තිබේ. කෙසේවෙතත්, බෘක්ලින් බෙතෙල් පවුලේ මෙන්ම නිව්යෝර්ක්හි ඇතැම් සභාවන්ට මෙම ගීත වැඩිහරියක් ගායනා කිරීම විශාල ගැටලුවක් වී නැත. අවශ්‍ය විය හැක්කේ, සමහරවිට නුපුරුදු යයි පළමු අවස්ථාවේදී පෙනෙන්ට තිබෙන ගීතිකා ඉගෙන ගැනීමට තව ටිකක් වැඩියෙන් ප්රයත්න දැරීම පමණක් විය හැක. එවැනි ගීතිකාවලට හුරුපුරුදු වීමෙන් පසු, කිසිඳු ප්රයත්නයක් නැතුව ඉගෙනගත් ගීතිකාවලට වඩා ඒවා බොහෝවිට සභාව විසින් අගය කරනු ලැබේ. එවිට සභාවේ සියල්ලන්ට ඒවා නිසැකකමින් යුතුව ගායනා කළ හැක. එසේය, ඔවුන්ට එම ගීතිකා සතුටින් රසවිඳිය හැක.
[12වන පිටුවේ කොටුව]
සුහද හමුවීම්වලදී රාජ්‍යය ගීතිකා ගයන්න
අප විසින් රාජ්‍යය ගීතිකා ගැයීම රාජ්‍යය ශාලාවට පමණක් සීමා නොවිය යුතුය. පාවුල් සහ සීලස් සිරගතව සිටින විට යෙහෝවඃවහන්සේට ප්‍රශංසා ගී ගැයූහ. (ක්‍රියා 16:25) තවද ශ්‍රාවක යාකොබ් පැවසුවේ මෙසේයි: “යමෙක් හොඳ ස්ප්රීතුවකින් සිටින්නේද? ඔහු දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී ගයාවා.” (යාකොබ් 5:13, NW පාද සටහන) සුහද හමුවීම්වලදී සෑම කෙනෙකුම සිටින්නේ හොඳ ස්ප්රීතුවකිනි. එසේනම්, රාජ්‍යය ගීතිකා නොගයන්නේ මන්ද? ගායනයට පියානෝවක හෝ ගිටාරයක හඬ මුසුවන්නේ නම්, මෙය විශේෂයෙන්ම කන්කලු විය හැකිය. එසේ නැත්නම්, අපගේ රාජ්‍යය ගීතිකාවල පියානෝ ටේප් පටි ඇත; බොහෝ සාක්ෂිකාර පවුල්වලට මෙම ටේප් පටිවල ඇල්බමය තිබේ. මේවා ගායනය සමඟ හොඳින් මුසුවෙනවා පමණක් නොව, අලංකාර පසුබිම් සංගීතයක් සඳහාද කදිමය.
[8, 9වන පිටුවේ පින්තූරය]
රතු මුහුදෙන් මිදී ආ පසු, ඉශ්රායෙල්වරුන් තම ප්‍රීතිය පළ කළේ ගීයකිනි
[10වන පිටුවේ පින්තූරය]
ප්‍රීතිමත් ගීතිකා අදදින ක්‍රිස්තියානි නමස්කාරයේ කොටසක්ය