බයිබල් පොත් අංකය 19—ගීතාවලිය
ලේඛකයන්: දාවිත් සහ වෙනත් අය
ලිවීම සම්පූර්ණ කළේ: පො.යු.පෙ. 460දී පමණ
ගීතාවලිය පොත පුරාණ කාලවල සිටි යෙහෝවාගේ සැබෑ නමස්කාර කරන්නන්ගේ දේවානුභාවය ලත් ගීතිකා පොත විය. එය තාලයකට අනුව සකස් කළ පරිශුද්ධ ගීත හෝ ගීතිකා 150ක එකතුවක් වූ අතර, ඒවා යෙරුසලමේ දේවමාළිගාවෙහි යෙහෝවා දෙවිට ප්‍රසිද්ධියේ නමස්කාර කිරීමේදී යොදාගත්තේය. ඒවා යෙහෝවාට පිරිනමන ප්‍රශංසා ගීතිකාය. දයාව සහ උපකාරය ඉල්ලා කරන කන්නලව්ද ඇතුළත් මෙම ගීතිකාවලින් යෙහෝවා කෙරෙහි ඇති විශ්වාසය හා නිසැකකම මනාව පිළිබිඹු වේ. ඒවායෙහි ප්‍රීති ප්රමෝදයේ හා කෘතඥතාවේ හැඟීම්ද නොඅඩුව ඇතුළත් වී ඇත. යෙහෝවාගේ ප්‍රේමනීය කරුණාව හා ශ්‍රේෂ්ඨ ක්‍රියා සිහි කරවන සමහරක් ගීතිකාවලින් කෙරෙන්නේ ඉතිහාසය සමාලෝචනය කිරීමකි. ඒවා අනාවැකිවලින් පිරී තිබේ. ඉන් බොහොමයකට කැපීපෙනෙන ආකාරයේ ඉටුවීම් තිබිණ. ප්‍රයෝජනවත් හා වර්ධනය ගෙන දෙන උපදෙස් බොහොමයක් ඒවායෙහි අඩංගු වී තිබේ. පාඨකයාගේ හද කලතන උසස් භාෂා ශෛලියෙන් හා උපමාලංකාරයෙන් ඒවා සපිරිය. ගීතාවලිය ඉතා අනර්ඝ ආත්මික භෝජනයකි. ප්‍රණීත ලෙස පිළියෙළ කොට ඇති එය සිත්ගන්නා ආකාරයෙන් අපට පිළිගන්වා තිබේ.
2 පොතට දී තිබෙන නාමයේ වැදගත්කම කුමක්ද? තවද ගීතාවලිය ලීවේ කවුද? හෙබ්‍රෙව් බයිබලයෙහි මෙම පොත හඳුන්වා ඇත්තේ සීʹෆර් ටෙහිල්·ලිම්ʹ යනුවෙනි. එහි අර්ථය “ප්‍රශංසා ඇතුළත් පොත” හෝ ටෙහිල්·ලිම්ʹ එනම් “ප්‍රශංසා” යන්නයි. මෙය ගීතාවලිය 145හි ශීර්ෂ පාඨයේ තිබෙන “ප්‍රශංසාව” හෝ “ප්‍රශංසා ගීතයක්” යන අරුතින් යුත් ටෙහිල්·ලාʹ යන යෙදුමේ බහු වචනයයි. මෙම පොත පුරාම යෙහෝවාව ප්‍රශංසාවට ලක් කරන බැවින්, “ප්‍රශංසා” යන නාමය එයට ඉතා උචිතය. “ගීතාවලිය” යන නම බිහි වූයේ ග්‍රීක් සෙප්ටූඅජින්ට් බයිබලයේ යොදාගත් සල්·මොයිʹ යන වචනයෙනි. එම ග්‍රීක් වචනයෙන් අදහස් කරන්නේ සංගීතය සමඟින් ගීත ගායනා කිරීමයි. ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිල්ලෙහි ලූක් 20:43 සහ ක්‍රියා 1:20 ඇතුළු ස්ථාන ගණනාවකම මෙම වචනය යොදාගෙන තිබේ. ගීතිකාවක් යනු දෙවිට ප්‍රශංසා කිරීමේදී හා නමස්කාර කිරීමේදී භාවිත කරන ලද ගීතයක් හෝ කවියකි.
3 ගීතිකා බොහොමයකට මාතෘකා හෝ ශීර්ෂ පාඨ තිබේ. තවද ශීර්ෂ පාඨවල බොහෝ විට ලේඛකයාගේ නම සඳහන් වේ. ‘ඉශ්‍රායෙල්ගේ මිහිරි ගීතිකාකාරයා වූ’ දාවිත්ගේ නාමය ශීර්ෂ පාඨ සැත්තෑ තුනකම සඳහන්ව තිබේ. (2 සාමු. 23:1) ගීතාවලිය 2, 72 සහ 95 දාවිත් විසින් ලියන ලද බවට කිසිම සැකයක් නැත. (ක්‍රියා 4:25, ගීතාවලිය 72:20 සහ හෙබ්‍රෙව් 4:7 බලන්න.) මීට අමතරව, ගීතාවලිය 10 සහ 71, අනුපිළිවෙළින් ගීතාවලිය 9 සහ 70හි ඉතිරි කොටස් බව පෙනෙන්ට තිබේ. එමනිසා ඒවාත් දාවිත්ගේ විය හැක. ගීතිකා දොළොසක් ආසාප් ලියූ බවට සඳහන් කොට තිබේ. එනමුත් මේවායින් සමහරක් ආසාප්ගේ කාලයට පසුව සිදු වූ සිද්ධීන් ගැන කතා කරන බැවින්, ඉන් ඇඟවෙන්නේ ඒවා ආසාප්ගෙන් පැවතෙන්නන් ලියූ බවයි. (ගීතා. 79; ගීතා. 80; 1 ලේක. 16:4, 5, 7; එස්රා 2:41) ගීතිකා එකොළහක් කෝරාගේ පුත්‍රයන් ලියූ බව කෙළින්ම සඳහන් කොට තිබේ. (1 ලේක. 6:31-38) ගීතාවලිය 43, ගීතාවලිය 42හි ඉතිරි කොටස බව පෙනෙන්ට තිබෙන නිසා එයත් කෝරාගේ පුත්‍රයන් ලියුවායයි සිතිය හැක. ‘කෝරාගේ පුත්‍රයන්’ ගැන සඳහන් කිරීමට අමතරව, ගීතාවලිය 88 ශීර්ෂ පාඨයෙහි හේමාන්ගේ නමද සඳහන් වේ. තවද ගීතාවලිය 89හි සඳහන් වන ආකාරයට එහි ලේඛකයා ඒතාන්ය. ගීතාවලිය 90 මෝසෙස්ගේ බව සඳහන් කොට තිබේ. තවද ගීතාවලිය 91ත් මෝසෙස්ගේ විය හැක. ගීතාවලිය 127 ලියුවේ සාලමොන්ය. මින් පැහැදිලි වන්නේ ගීතිකා තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් ලියනු ලැබුවේ විවිධ ලේඛකයන් විසින් බවය.
4 ගීතාවලිය පොත බයිබලයේ අඩංගු විශාලතම තනි පොතය. ගීතාවලිය 90, 126 සහ 137න් පැහැදිලි වන පරිදි, එය ලිවීමට දිගු කාලයක් ගත වී ඇත. එම කාලය අඩුම තරමින් මෝසෙස් ලියූ දා සිට (පො.යු.පෙ. 1513-1473) බබිලෝනියෙන් ඉශ්රායෙල්වරුන්ව මුදා නැවත පිහිටුවීම සිදු වන තෙක් හා ඉන්පසු සමහරවිට එස්රාගේ කාලය දක්වාද (පො.යු.පෙ. 537-460 පමණ) දිව ගියා විය හැක. ඒ අනුව, මෙම පොත ලිවීමට ආසන්න වශයෙන් අවුරුදු දහසක්වත් ගත වී තිබෙන බව පෙනෙන්ට තිබේ. මැවීමේ සිට අන්තිම ගීතිකාව සම්පාදනය කළ කාලය දක්වා යෙහෝවා තම සේවකයන් සමඟ කටයුතු කළ ආකාරය එහි සංක්ෂිප්ත කොට දක්වයි. එමනිසා, එහි අඩංගු දේවලින් ආවරණය කරන කාලය එය ලිවීමට ගත වූ කාල සීමාවට වඩා වැඩි බව පැහැදිලිය.
5 ගීතාවලිය පොතෙන් සංවිධානාත්මකභාවය පිළිබිඹු කෙරේ. දාවිත් මෙසේ පැවසුවේය. ‘මාගේ රජ වූ දෙවියනි, සියල්ලෝ ඔබේ ශුද්ධස්ථානයට යන පෙරහැර දකින්නෝය. ගායකයෝ පෙරටුවෙන්ද සංගීතකරුවෝ පිටුපසින්ද යන්නෝය. රබන් ගසන කන්‍යාවෝ මැදින් ගමන් කරන්නෝය. සභාව මැද යෙහෝවාව පසසන්න.’ (ගීතා. 68:24-26, NW) ශීර්ෂ පාඨවල බොහෝ විට නැවත නැවතත් “නායක වාද්‍යකරුටයි” යන ප්‍රකාශය දක්නට ලැබෙන්නෙත් බොහෝ කාව්‍යමය හා සංගීත යෙදුම් තිබෙන්නෙත් මන්ද කියා එමගින් පැහැදිලි වේ. ඇතැම් ශීර්ෂ පාඨ ගීතිකාව ලිවීමේ අරමුණ පැහැදිලි කරයි. එසේත් නැතහොත් ගීත වාදනය සම්බන්ධයෙන් උපදෙස් සපයයි. (ගීතාවලිය 6, 30, 38, 60, 88, 102 සහ 120හි ශීර්ෂ පාඨ බලන්න.) අඩුම තරමින් දාවිත්ගේ ගීතිකා 13කවත් ඒවා සම්පාදනය කිරීමට හේතු වූ සිද්ධීන් කෙටියෙන් විස්තර කර තිබේ. ගීතාවලිය 18 සහ 51 මෙයට නිදසුන් වේ. ගීතිකා තිස්හතරක ශීර්ෂ පාඨ කොහෙත්ම දක්නට නැත. ප්‍රධාන පාඨයෙහි 71 වාරයක් සඳහන් වන “සේʹලාහ්” යන වචනය සංගීතයේදී හෝ කටපාඩමෙන් කීමේදී යොදාගත් පාරිභාෂික යෙදුමක්යයි සැලකේ. නමුත් එහි සැබෑ වැදගත්කම අද සිටින අපට රහසකි. ඇතමෙකු අදහස් දක්වා ඇත්තේ, එය ගායනයේදී පමණක් නැතහොත් ගායනය සහ වාදනය යන දෙකේදීම විරාමයක් ගෙන නිශ්ශබ්දව මෙනෙහි කළ යුතු බව ඇඟවීමට යොදාගත් වදනක් බවය. එමනිසා, ගීතිකා ගැයීමේදී එය උච්චාරණය කිරීමට වුවමනා නැත.
6 පුරාණයේ සිටම, ගීතාවලිය පොත පහත සඳහන් පරිදි, තනි පොත් හෝ කාණ්ඩ පහකට බෙදා තිබේ. (1) ගීතාවලිය 1-41; (2) ගීතාවලිය 42-72; (3) ගීතාවලිය 73-89; (4) ගීතාවලිය 90-106; (5) ගීතාවලිය 107-150. මෙම ගීතිකා මුලින්ම එකතු කරන ලද්දේ දාවිත් විසින් බව පෙනෙන්ට තිබේ. නමුත් ගීතාවලිය පොත දැන් දක්නට ලැබෙන පිළිවෙළට සකස් කිරීම සඳහා යෙහෝවා යොදාගත්තේ “මෝසෙස්ගේ ව්‍යවස්ථාව ගැන සමර්ථ ලියන්නෙක්” වූ පූජක එස්රාව බව පැහැදිලිය.—එස්රා 7:6.
7 ගීතාවලිය 14 සහ 53; 40:13-17 සහ ගීතා. 70; 57:7-11 සහ 108:1-5 වැනි වෙනස් කාණ්ඩවලට අයත් සමහර ගීතිකාවල එකම අදහස නැවත නැවතත් සඳහන් වන්නේ කලින් කලට ගීතිකා එකතු කිරීම සිදු වූ නිසා වන්නට පුළුවන. කාණ්ඩ පහෙන් සෑම එකක්ම අවසන් වන්නේ යෙහෝවාට ප්‍රශංසා කිරීමකින් හෙවත් ස්තෝත්ර ගීතිකාවකිනි. මේවායින් පළමු සතරෙහි ජනයාගේ ප්‍රතිචාරයද දක්නට තිබේ. නමුත් අන්තිම ගීතිකාව ඊට වෙනස්ය. යෙහෝවාට දෙන ප්‍රශංසාව එම 150වන ගීතිකාව පුරාම දිව යයි.—ගීතා. 41:13, NW පාදසටහන.
8 ගීතිකා නවයක ඉතා විශේෂ සම්පාදන ශෛලියක් භාවිත කර තිබේ. එය අකාරාදි පිළිවෙළට නිර්මාණය කර ඇති නිසා, එය හඳුන්වා ඇත්තේ අක්ෂර බන්ධනය වශයෙනි. (ගීතාවලිය 9, 10, 25, 34, 37, 111, 112, 119 සහ 145) මේ ආකාරයට සකස් වූ ගීතිකාවක පළමු පදයේ මුල්ම වචනය ආරම්භ වන්නේ හෙබ්‍රෙව් හෝඩියේ ’ආʹලෙෆ් (א) යන පළමු අක්ෂරයෙනි. ඊළඟ පදයේ මුල්ම වචනය බෙත් (ב) යන දෙවන අක්ෂරයෙන් ආරම්භ වේ. මෙලෙස හෙබ්‍රෙව් හෝඩියේ අක්ෂර සියල්ලම හෝ සියල්ලක්ම වාගේ භාවිත කර තිබේ. මෙය මතක තබාගැනීම සඳහා ආධාරකයක් වන්ට ඇත. ගීතාවලිය 119 වැනි දීර්ඝ ගීතිකා දේවමාළිගාවේ සේවය කළ ගීතිකාකරුවන්ට මතක තබාගැනීමට සිදුවීම ගැන ටිකක් සිතා බලන්න! ගීතාවලිය 96:11හි මෙම ක්‍රමයටම යෙහෝවාගේ නාමයේ අක්ෂර යොදාගෙන තිබීම උනන්දුව ගෙන දෙන කාරණයකි. හෙබ්‍රෙව් භාෂාවෙහි මෙම පදයේ මුල් කොටස සෑදී ඇත්තේ වචන සතරකින්ය. මෙම වචනවල මුල් අකුරු, දකුණේ සිට වමට කියවන විට, හෙබ්‍රෙව් ව්යංජනාක්ෂර සතරින් (יהוה හෝ ය්හ්ව්හ්) යුත් ටෙට්‍රාග්‍රැමටනය සෑදේ.
9 මෙම පරිශුද්ධ ගීත කාව්‍යයන් ලියා තිබෙන්නේ එළිසමයක් නැති හෙබ්‍රෙව් පද්‍ය රචනයක් ලෙසය. තවද එහි දිස් වන ශෛලියේ අලංකාරය සහ අදහස් ගලා යන රිද්මය අසමසමය. ඒවා කෙළින්ම මනසට හා හදවතට කතා කරයි. ඒවා විචිත්‍ර පින්තූර මවයි. එහි තිබෙන කරුණුවල හා එයින් ප්‍රකාශ වන බලවත් හැඟීම්වල පුළුල් පරාසයට දායක වී ඇත්තේ දාවිත්ගේ අසාමාන්‍ය ජීවිත අද්දැකීම්ය. බොහෝ ගීතිකාවලට එය පසුබිම සපයයි. දාවිත් එඬේර කොලුවෙකු, ගොලියත්ට එරෙහිව තනිව නැඟී සිටි හේවායෙකු, රජ මැදුරේ සංගීතඥයෙකු ලෙස විවිධ අද්දැකීම්වලට මුහුණ දුන්නේය. පාවා දෙන්නන් හා පක්ෂපාත මිතුරන් අතරෙහි පවා ඔහුව රාජ්‍ය ද්‍රෝහියෙකු ලෙස හංවඩු ගැසිණ. එමෙන්ම රජෙකු හා ජයගන්නෙකු, භේද හටගෙන තිබෙන පවුලක කටයුතු කළ ප්‍රේමනීය පියෙකු, දෙවරක්ම බරපතළ පාපයේ වේදනාකාරිබව අද්දුටු නමුත් හැමදාමත්යෙහෝවාට උද්යෝගයෙන් නමස්කාර කළ කෙනෙකු හා දෙවිගේ ව්‍යවස්ථාවට ඇලුම් කරන්නෙකු ලෙසද ඔහුව හැඳින්විය හැක. මෙවැනි නානාප්‍රකාර තත්වයන් තම ජීවිතය තුළ අද්දැක ඇත්තේ මනුෂ්‍යයන් ස්වල්පදෙනෙකි. එබඳු පසුබිමක් යටතේ ලියැවුණු ගීතාවලිය පොතෙහි මිනිස් චිත්තවේගවල මුළු පරාසයම දැකගැනීමට ලැබීම පුදුමයක් නොවේ! හෙබ්‍රෙව් කාව්‍යයේ අද්විතීය ලක්ෂණයක් වන එකම අදහස දෙතුන් වතාවක් සඳහන් කිරීම හා ප්‍රතිවිරුද්ධ අදහස් ප්‍රකාශ කිරීම මගින් ගීතිකාවේ අදහස් ප්‍රබල ලෙස කාවැද්දීමටත් එයට භාෂා අලංකාරය මුසු කිරීමටත් හැකි වී තිබේ.—ගීතා. 1:6; 22:20; 42:1; 121:3, 4.
10 ඉතාමත් පැරණි මෙම ගීතිකාවල නිරවද්‍යතාවය බොහෝ සෙයින් සනාථ වන්නේ ඒවා සෙසු ශුද්ධ ලියවිලි සමඟ මුළුමනින්ම එකඟ වන බැවිනි. ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල ලේඛකයෝ බොහෝ වතාවක් ගීතාවලිය පොතෙන් උපුටා දැක්වූහ. (ගීතා. 5:9 [රෝම 3:13]; ගීතා. 10:7 [රෝම 3:14]; ගීතා. 24:1 [1 කොරි. 10:25 ආ]; ගීතා. 50:14 [මතෙ. 5:33]; ගීතා. 78:24 [යොහන් 6:31]; ගීතා. 102:25-27 [හෙබ්‍රෙ. 1:10-12]; ගීතා. 112:9 [2 කොරි. 9:9]) තමාගේ අන්තිම ගීතිකාවෙහි දාවිත්ම මෙසේ පැවසීය. ‘යෙහෝවාගේ ආත්මය මා ලවා කතා කෙරෙව්වේය. ඔහුගේ වාක්‍යයද මාගේ දිවේ තිබුණේය.’ සාමුවෙල් ඔහුව ආලේප කළ දා පටන් ඔහු තුළ ක්‍රියා කළේ එම ආත්මයයි. (2 සාමු. 23:2; 1 සාමු. 16:13) මීට අමතරව, ප්‍රේරිතවරු ගීතාවලියෙන් උපුටා දැක්වූහ. ‘ශුද්ධාත්මය දාවිත්ගේ මුඛයෙන් පෙර කීවාවූ වාක්‍යය’ ගැන පේතෘස් සඳහන් කළේය. තවද, හෙබ්‍රෙව් පොතේ ලේඛකයා ගීතාවලියෙන් කරන ලද උපුටා දැක්වීම්, දෙවි විසින් පවසන ලද ප්‍රකාශ හැටියට හෝ ‘ශුද්ධාත්මය කතා කොට’ යන වචන යොදාගනිමින් හඳුන්වා දෙනු ලැබීය.—ක්‍රියා 1:16; 4:25; හෙබ්‍රෙ. 1:5-14; 3:7; 5:5, 6.
11 ගීතාවලියේ නිරවද්‍යතාවයට ප්රබලතම සාක්ෂිය සැපයුවේ නැවත නැඟිටුවන ලද ස්වාමි වූ යේසුස්ය. ඔහු තම ගෝලයන්ට මෙසේ පැවසුවේය. “මා ගැන මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහිද අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලද ගීතිකාවලද ලියනලද සියල්ල සම්පූර්ණ විය යුතුයයි මා . . . නුඹලාට කී වචන මේය.” යුදෙව්වරුන් විසින් වෙන් කොට දැක්වූ ආකාරයටම මුළු හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ල යේසුස් කොටස් තුනකට බෙදා දැක්වුවේය. එම ක්‍රමය යුදෙව්වරුන්ට හුරු පුරුදු යමක් විය. ගීතිකා කියා පවසද්දී ඔහු යොමු දක්වමින් සිටියේ මෙයින් තුන්වන කොටසටයි. හැගියොග්රැෆා (ශුද්ධ ලියවිලි) යනුවෙන් හඳුන්වන ලද මෙම කොටසෙහි පළමු පොත ගීතාවලිය විය. එම්මාවුස් වෙත ගමන් කරමින් සිටි දෙදෙනාට ඉහත වදන් පැවසීමට පැය කිහිපයකට කලින් යේසුස් “සියලු ලියවිලිවල තමන් ගැන තිබුණු කාරණා තෝරා දුන්නේය” යන ප්‍රකාශයෙන් සනාථ වන්නේ තුන්වන කොටසට තවත් පොත් අයත්ව තිබූ බවයි.—ලූක් 24:27, 44.
ප්‍රයෝජනවත් වීමට හේතු
23 ගීතිකාවල භාෂා අලංකාරය හා ශෛලිය උසස් මට්ටමක තිබෙන නිසා, ගීතාවලිය ඕනෑම භාෂාවක ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘති අතරට එක් කළ හැක. කෙසේවුවද, එය සාහිත්‍ය කෘතියකට වඩා වැඩි යමකි. එය මුළු විශ්වයේම ශ්‍රේෂ්ඨතම පරමාධිපති වූ යෙහෝවා දෙවිගෙන්ම ලැබී තිබෙන ජීවමාන පණිවිඩයකි. බයිබලයේ මූලික ඉගැන්වීම් සම්බන්ධයෙන් ගැඹුරු තීක්ෂ්ණ බුද්ධියක් එය අපට ලබා දෙයි. එහි මූලික වශයෙන් කතා කරන්නේ ගීතාවලියේ කර්තෘ වූ යෙහෝවා පිළිබඳවයි. ඔහු විශ්වයේ හා එහි ඇති සියල්ලේ මැවුම්කරු බව එහි පැහැදිලිව පෙන්වා තිබේ. (8:3-9; 90:1, 2; 100:3; 104:1-5, 24; 139:14) ගීතාවලිය පොතෙහි යෙහෝවා යන නාමය සැබවින්ම වර්ණනා කර තිබේ. එම නාමය 700 වතාවක් [NW] පමණ එහි දක්නට ලැබේ. මීට අමතරව, “යාහ්” යන කෙටි යෙදුම 43 වතාවක් [NW] සොයාගත හැක. එබැවින්, සෑම ගීතිකාවකම සාමාන්‍යයෙන්, දිව්‍ය නාමය 5 වතාවක් පමණ සඳහන් වී තිබේ. තවදුරටත්, ’එලො·හිම්ʹ හෙවත් දෙවි ලෙස 350 වතාවක් පමණ යෙහෝවාව අමතා තිබේ. ගීතිකා ගණනාවකම “පරමාධිපති ස්වාමීන්” [NW] ලෙස ඔහු ගැන සඳහන් කිරීමෙන් යෙහෝවාගේ උත්තරීතර පාලකත්වය හුවා දක්වා තිබේ.—68:20; 69:6; 71:5; 73:28; 140:7; 141:8.
24 සදාකාල දෙවිට වෙනස්ව, මරණයට ගොදුරු වන මිනිසා පාපය සහිතව උපත ලබා සිටින නිසා ගැළවුම්කරුවෙකු සඳහා ඇති අවශ්‍යතාව එහි පෙන්වා තිබේ. එමෙන්ම ඔහු මියයන බව හා ‘දූවිල්ලට’ [NW] හැරී යන බව, එනම් මනුෂ්‍යවර්ගයාගේ පොදු මිනිවළ වූ ෂෙයෝලට යන බවත් පෙන්වා තිබේ. (6:4, 5; 49:7-20; 51:5, 7; 89:48; 90:1-5; 115:17; 146:4) දෙවිගේ නීති පිළිපැදීමේ හා යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීමේ අවශ්‍යතාව ගීතාවලිය පොත අවධාරණය කරයි. (1:1, 2; 62:8; 65:5; 77:12; 115:11; 118:8; 119:97, 105, 165) හිතුවක්කාරකමට හා ‘නොදන්නාකමින් කරන වැරදිවලට’ එරෙහිව එය අවවාද කරයි. (19:12-14; 131:1) තවද අවංක හා යහපත් මිතුරන් ඇසුරු කිරීමටද එහි උනන්දු කරයි. (15:1-5; 26:5; 101:5) නිවැරදි හැසිරීම යෙහෝවාගේ අනුමැතිය ලැබීමට හේතු වන බවද එය පෙන්වයි. (34:13-15; 97:10) ‘ගැළවීම යෙහෝවාට අයිතිය’ කියා පැවසීම මගින් එය දීප්තිමත් බලාපොරොත්තුවක් ඉදිරිපත් කරයි. එමෙන්ම ඔහුට භය වන්නාවූ අයව ‘ඔහු මරණයෙන් ගළවනු ඇත.’ (3:8; 33:18ආ, 19අ) මෙතැන් සිට අපි අනාවැකිවලට අවධානය යොමු කරමු.
25 “දාවිත්ගේ පුත්‍රවූ” යේසුස් ක්‍රිස්තුස් වෙතට යොමු කරවන අනාවැකිවලින් හා යෙහෝවාගේ අභිෂේක ලත් තැනැත්තා හා රජු වශයෙන් ඔහුට හිමි කාර්යභාරය පිළිබඳ තොරතුරුවලින් ගීතාවලිය පොත පිරී තිබේ.a (මතෙ. 1:1) පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසේදී ක්‍රිස්තියානි සභාව බිහි වූ විට, මෙම අනාවැකිවල ඉටුවීම තේරුම්ගැනීම සඳහා දෙවි ශුද්ධාත්මය මගින් ප්‍රේරිතවරුන්ට උපකාර කළේය. එම දවසේදීම, තමන්ගේ ප්‍රසිද්ධ දේශනයේ තේමාව ගොඩනඟද්දී පේතෘස් නැවත නැවතත් ගීතාවලියෙන් උපුටා දැක්වුවේය. මේ උපුටා දැක්වීම් ‘නාසරිය යේසුස්’ හා සම්බන්ධව තිබිණ. ඔහුගේ තර්කයේ අන්තිම කොටස ගීතාවලියේ උපුටාගැනීම් මත මුළුමනින්ම පාහේ පදනම්ව ඇත. ඒවා යොදාගනිමින්, උතුම් දාවිත් ක්‍රිස්තුස් යේසුස් බවත්, යේසුස්ගේ ශරීරය හේදීසයෙහි පවතින්ට යෙහෝවා ඉඩ නොදෙන බවත්, ඒ වෙනුවට ඔහුව මළවුන්ගෙන් නැවත නැඟිටුවනු ලබන බවත් පේතෘස් ඔප්පු කළේය. “දාවිත් ස්වර්ගයට නැගුණේ නැත.” නමුත් ගීතාවලිය 110:1හි දාවිත්ම පුරෝකථනය කළ පරිදි, ඔහුගේ ස්වාමීන් ස්වර්ගයට ගියේය. දාවිත් ස්වාමීන් කියා ඇමතුවේ කාවද? පේතෘස් තමාගේ කතාව සමාප්තියකට ගෙන එමින්, ප්‍රබල ලෙස මෙසේ පිළිතුරු දෙයි. ඔහු නම්, ‘නුඹලා වධ කණුවෙහි ඇණගැසුවාවූ යේසුස්ය.’—ක්‍රියා 2:14-36; ගීතා. 16:8-11; 132:11අ, 12ආ.
26 ගීතාවලිය මත පදනම් වූ පේතෘස්ගේ කතාව ප්‍රයෝජනදායක යමක් වීද? එම දවසේදී බව්තීස්ම වූ 3,000ක් පමණ දෙනාව ක්‍රිස්තියානි සභාවට එකතු කරනු ලැබීමම එය ප්‍රයෝජනවත් වූ බවට සාක්ෂියකි.—ක්‍රියා 2:41.
27 ඉන් ටික කලකට පසු, විශේෂ රැස්වීමකදී ගෝලයෝ යෙහෝවාට ආයාචනා කරමින්, ගීතාවලිය 2:1, 2 උපුටා දැක්වූහ. දෙවි ‘ආලේප කළ ශුද්ධ සේවක වූ යේසුස්ට’ එරෙහිව පාලකයන් එක්සත්ව විරෝධතාව දැක්වීම මගින් එම අනාවැකිය ඉටු වී තිබේයයි ඔවුහු පැවසූහ. තවද එම අවස්ථාවේදී ඔවුන් ‘සියල්ලන්ම ශුද්ධාත්මයෙන් පූර්ණ වූ’ බවද වාර්තාව තවදුරටත් පවසයි.—ක්‍රියා 4:23-31.
28 දැන්, හෙබ්‍රෙව්වරුන්ට ලියන ලද ලිපිය දෙස බලන්න. ස්වර්ගයෙහි සිංහාසනාරූඪ වූ දෙවිගේ පුත්‍රයා වශයෙන් යේසුස් දේවදූතයන්ට වඩා මොනතරම් ශ්‍රේෂ්ඨද කියා පෙන්වීමට ගීතාවලියෙන් කරන ලද උපුටා දැක්වීම් ගණනාවක්ම පළමු පරිච්ඡේද දෙක තුළ අපට දැකගත හැක. ආබ්‍රහම්ගේ වංශයේ කොටසක් වන හා ‘ස්වර්ගීය කැඳවීමකට පංගුකාරයන් වන’ ‘සහෝදරයන්ගෙන්’ යුත් සභාවක් යේසුස්ට තිබෙන බව ගීතාවලිය 22:22න් හා වෙනත් පදවලින් පාවුල් පෙන්නුම් කරයි. (හෙබ්‍රෙ. 2:10-13, 16; 3:1) ඊළඟට, හෙබ්‍රෙව් 6:20 සිට 7වන පරිච්ඡේදයේ අවසානය දක්වාම, “මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ හැටියට සදාකාලේටම උත්තම පූජකයෙක්” වශයෙන් යේසුස් දරන අමතර නිලය ගැන ප්‍රේරිතවරයා වැඩි විස්තර සපයයි. ගීතාවලිය 110:4හි ඇති දෙවිගේ දිවුරුමට එය අවධානය යොමු කරවයි. තවද ආරොන්ගේ පූජකත්වයට වඩා යේසුස්ගේ පූජකත්වයේ තිබෙන ශ්‍රේෂ්ඨභාවය ඔප්පු කිරීමේදී, පාවුල් නිතර නිතර එයට අවධානය යොමු කරවයි. යෙහෝවා දිවුරූ ලෙසම යේසුස් ක්‍රිස්තුස් පූජකයෙකු හැටියට කටයුතු කරන්නේ පොළොව මත නොව, නමුත් ස්වර්ගයෙහිය කියා පාවුල් පැහැදිලි කරයි. තවද ඔහු “නිතරම පූජකයෙක්ව පවතින්නේය.” එයින් පෙන්වන්නේ ඔහුගේ පූජක සේවාවේ ප්‍රයෝජන සදාකාලික වන බවය.—හෙබ්‍රෙ. 7:3, 15-17, 23-28.
29 තමා සඳහා දෙවි අරමුණු කළ ප්‍රාණ පරිත්‍යාගී ජීවිතය ලුහුබැඳීමට යේසුස් දැක්වූ හෘදයාංගම ආශාව හා දෙවිගේ කැමැත්ත ඉටු කිරීමට ඔහු තුළ තිබූ දැඩි අධිෂ්ඨානය ගැන හෙබ්‍රෙව් 10:5-10හි අපට පවසයි. මෙය පදනම් වී තිබෙන්නේ ගීතාවලිය 40:6-8හි සඳහන් දාවිත්ගේ වචන මතය. දෙවිගේ අනුමැතිය දිනාගන්නා පිණිස මෙම භක්තිවන්තකමේ ආදර්ශය සලකා බැලීමෙන් හා අනුකරණය කිරීමෙන් අප සියලුදෙනාටම ඉමහත් ප්‍රයෝජන අත් කරගත හැක.—ගීතාවලිය 116:14-19ද බලන්න.
30 වධ කණුව මත විඳි වේදනාවන්ගෙන් කෙළවර වූ යේසුස්ගේ කටුක අද්දැකීම් ගැන සවිස්තරාත්මකව ගීතාවලියෙහි පුරෝකථනය කර තිබිණ. මේවා අතර, ඔහුට පානය කිරීමට කාඩි දීම, ඔහුගේ පිට වස්ත්‍ර සඳහා දාදු දැමීම, ඔහුගේ අත්පා කුරිරු ලෙස තුවාල කිරීම හා කවටකම් කිරීම ගැන කළ පුරෝථනයන් තිබේ. එමෙන්ම වඩාත් දරුණු මානසික වේදනාවක්ද විඳිමින් “මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද?” කියමින් කළ මොරගැසීම පිළිබඳ පුරෝකථනයත් එයට ඇතුළත් වේ. (මතෙ. 27:34, 35, 43, 46; ගීතා. 22:1, 7, 8, 14-18; 69:20, 21) යොහන් 19:23-30 මගින් අඟවා තිබෙන පරිදි, එම තත්වයන්ට මුහුණ දෙද්දී පවා, ගීතාවලියේ තමන් ගැන තිබූ සෑම අනාවැකියක්ම අකුරටම ඉටු විය යුතු බවට වූ අවබෝධයෙන් යේසුස් බොහෝ සෙයින් සැනසිල්ල හා මඟ පෙන්වීම ලබන්ට ඇත. තම නැවත නැඟිටීම ගැනත් තමාට උසස් තත්වයක් ලබා දීම ගැනත් ගීතාවලියේ සඳහන්ව තිබෙන බව යේසුස් දැන සිටියේය. තමන්ගේ මරණයට පෙර අන්තිම රාත්රියේදී සිය ප්‍රේරිතවරුන් සමඟ ‘ප්‍රශංසා ගී ගායනා කිරීමෙහි’ හෙවත් ගීතිකා ගැයීමෙහි පෙරමුණ ගනිද්දී, නොඅනුමානවම එබඳු දේවල් ඔහුගේ මනසෙහි තිබෙන්ට ඇත.—මතෙ. 26:30, NW.
31 මෙලෙස, ‘දාවිත්ගේ පුත්‍රයා’ සහ රාජ්‍යයේ වංශය ක්‍රිස්තුස් යේසුස් බව ගීතාවලියෙහි පැහැදිලිවම හඳුන්වා දෙයි. තවද දැන් ස්වර්ගික සියොන්හි රජු හා පූජකයා වශයෙන් ඔහුව උසස් කර තිබේ. යෙහෝවාගේ මෙම අභිෂේක ලත් තැනැත්තා තුළ ඉටු වූ, ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල උපුටා දක්වා තිබෙන ගීතාවලියෙන් ගන්නා ලද ඡේද සියල්ලක්ම සවිස්තරාත්මකව සඳහන් කිරීමට තිබෙන ඉඩ ප්‍රමාණය මදිය. එනමුත් තවත් උදාහරණ ස්වල්පයක් මෙහි ලැයිස්තුගත කොට තිබේ. ගීතා. 78:2අ, 3ආ—මතෙ. 13:31-35; ගීතා. 69:4—යොහන් 15:25; ගීතා. 118:22, 23—මාර්ක් 12:10, 11 සහ ක්‍රියා 4:11; ගීතා. 34:20—යොහන් 19:33, 36; ගීතා. 45:6, 7—හෙබ්‍රෙ. 1:8, 9. යේසුස්ගේ සැබෑ අනුගාමිකයන්ගේ සභාව පිළිබඳවත් ගීතාවලියෙහි පුරෝකථනය කර තිබේ. එහි ඔවුන් ගැන සඳහන් වන්නේ තනි තනි පුද්ගලයන් වශයෙන් නොව, නමුත් යෙහෝවාගේ නාමයට ප්‍රශංසාව ගෙනෙන කාර්යයක හවුල් වීම සඳහා සියලු ජාතීන් අතරින් දෙවිගේ අනුග්‍රහය ලබන කණ්ඩායමක් වශයෙනි.—ගීතා. 117:1—රෝම 15:11; ගීතා. 68:18—එපී. 4:8-11; ගීතා. 95:7-11—හෙබ්‍රෙ. 3:7, 8; 4:7.
32 ගීතාවලිය පිළිබඳව අප කළ මෙම අධ්‍යයනය මගින්, යෙහෝවා දෙවිගේ රජකම පිළිබඳව අප තුළ ඇති අගය කිරීම බොහෝ සෙයින් වැඩි වේ. තමන්ගේ මහිමය සඳහාත් පරමාධිපත්‍යය නිදොස් කිරීම සඳහාත් යෙහෝවා තම පොරොන්දු වූ වංශය හා රාජ්‍යයේ උරුමක්කාරයා කරණකොටගෙන එම රජකම මෙහෙයවන්නේය. ‘දාවිත්ගේ ප්‍රශංසා ගීතයක්’ වශයෙන් සඳහන් කර තිබෙන ගීතාවලිය 145හි සඳහන් කර තිබෙන අයවලුන් හා ‘යෙහෝවාගේ ගෞරවයේ තේජෝමහිමය’ ගැන ප්‍රීති ප්රමෝදයට පත් වන පක්ෂපාත වූවන් අතරෙහි අපි සෑමවිටම සිටිමු. ‘දෙවිගේ [ඔබගේ, NW] බලවත් ක්‍රියාත් ඔහුගේ [ඔබගේ, NW] රාජ්‍යයේ තේජෝමහිමයත් මනුෂ්‍ය පුත්‍රයන්ට දන්වන පිණිස, ඔවුහු ඔබගේ රාජ්‍යයේ මහිමය වර්ණනා කරන්නෝය. ඔබගේ බලය ගැනද කතා කරන්නෝය. ඔබගේ රාජ්‍යය සදාකාලික රාජ්‍යයක්ය. ඔබගේ අධිපතිකමද සියලු පරම්පරාවලම පවතින්නේය.’ (ගීතා. 145:5, 11-13) අනාවැකිමය ගීතිකාව සැබෑවක් කරමින්, ක්‍රිස්තුස් කරණකොටගෙන දෙවි පිහිටුවා තිබෙන රාජ්‍යයේ තේජස ගැන දැන් පවා සියලු ජාතීන්ට දැනගැනීමට සලස්වා තිබේ. එම රාජ්‍යයට හා එහි රජුට අප මොනතරම් ස්තුතිවන්ත විය යුතුද! එමනිසා, “හුස්ම ඇති සියල්ලෙනි යාහ්ට ප්‍රශංසා කරන්න. ජනයෙනි යාට ප්‍රශංසා කරන්න!” යන වදන්වලින් ගීතාවලිය අවසන් කිරීම සැබවින්ම උචිතය.—150:6, NW.
[පාදසටහන]
a ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (සිංහලෙන් නොමැත) කාණ්ඩ 2, පිටු 710-11.