යෞවන අය අසති . . .
හැම තිස්සෙම දෝෂාරෝපණයට ලක්වීම වළක්වාගන්න මට පුළුවන් වෙන්නේ කොහොමද?
“හැම දේටම මටමයි දොස් කියන්නේ. ගෙදර අගුලු දාලා නැතත් ලිප නිවලා තිබුණේ නැතත් එහෙම නැත්තං මොකක් හරි තියෙන්න ඕන තැන තිබුණෙ නැත්තං හරි, එක්කො ඒක කරලා තිබුණෙ නැත්තං, ඒක රාමොන්ගෙයි වරද!”—රාමොන්.
ඔබ නහඹර වියේ පසු වන විට, ඕනෑම දෙයක වගේම වැරදෙන හැම දෙයකටම වැරදිකාරයා වෙන්නේ ඔබයි කියලා සමහරවිට පේන්න පුළුවන්. මීට ඉහත ලිපියකදී, දෙමාපියන් සමහර අවස්ථාවලදී දරුවන්ට දෝෂාරෝපණය කරන්න ඉක්මන් වැඩි බව අපි පිළිගත්තා.a මෙය සිදුවීමට හේතු සාමාන්‍ය දෙමාපිය සැලකිල්ලේ සිට ගැඹුරු චිත්තවේගීය පීඩාව දක්වා විහිදී යන්න පුළුවන්. හේතුව කුමක් වූවත්, ඔබ අතේ වරද නොමැති දේවලට පවා වග කියන්න සිදුවීම වේදනාකාරි මෙන්ම අවමන්සහගත දෙයක් වෙන්න පුළුවන්.
අසම්පූර්ණ මනුෂ්‍යයෙකු හැටියට, ඔබ අතින් විටින් විට වැරදි සිදු වෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. (රෝම 3:23) මීට අමතරව, ඔබ තරුණ නිසා ඔබ සාපේක්ෂ වශයෙන් අඩු අද්දැකීම් ඇතුවයි සිටින්නේ. (හිතෝපදේශ 1:4) ඔබගේ විනිශ්චයේදී ඉඳහිට වැරදි සිදු වෙනවාමයි. ඉතින් ඔබ වැරදි කරන විට, ඒවා සඳහා ඔබට වග කියන්න සිදුවීම නිවැරදි දෙය මෙන්ම සාධාරණ දෙයද වෙනවා.—දේශනාකාරයා 11:9.
එසේනම්, ඔබ ඇත්තටම කර ඇති දෙයකට ඔබට දොස් නඟන විට, ඔබ කෙසේද ප්‍රතික්‍රියා කළ යුත්තේ? සමහර යෞවනයන් හැසිරෙන්න උත්සාහ කරන්නේ හරියට ඔවුන් මහා අසාධාරණයකට ගොදුරු වූ අය විදහටයි. කිසිම හේතුවක් නැතුව තම දෙමාපියන් ඔවුන්ට දොස් නඟනවායයි දොඩවමින් ඔවුන් මහත් ආන්දෝලනයක් ඇති කරනවා. එහි ප්‍රතිඵලය? කලකිරීමට පත් දෙමාපියන් තම කරුණ අවධාරණය කරන්න ඊටත් වඩා දැඩි ක්‍රියාමාර්ග ගැනීමයි. බයිබලය මෙම උපදේශය සපයයි: “අඥානයෝ ප්‍රඥාවද ගුරුකමද හෙළාදකිති. මාගේ පුත්‍රය, නුඹේ පියාගේ ගුරුකම අසන්න, නුඹේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න.” (හිතෝපදේශ 1:7, 8) ඔබ ඔබගේ වැරදි පිළිගෙන අවශ්‍ය වෙනස්කම් කරන විට, ඔබගේ වැරදිවලින් ඔබට ඉගෙනගන්න පුළුවන්.—හෙබ්‍රෙව් 12:11.
දෙමාපියන් සමඟ ‘සමීප කතා බහේ’ යෙදෙන්න
එහෙත්, ඔබ කර නැති දෙයකට දොස් නඟනවා නම් හෝ දොස් නැඟීම තොරතෝංචියක් නොමැතිව සිදු වෙනවා නම් හෝ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. තේරුම්ගත හැකි ලෙස, ඔබට කේන්තියක් හා අමනාපයක් දැනෙන්න පුළුවන්. කුමකින් කුමක් වුණත් ඔබට දොස් අහන්න සිදු වෙනවායයි නිගමනය කරමින්, සමහරවිට ඔබ වැරදි අන්දමින් හැසිරෙන්න පවා පෙලඹෙන්න පුළුවන්. (දේශනාකාරයා 7:7) කෙසේවුවත්, එදිරිවාදී ක්‍රියා සැම කෙනෙක්වම රිදවනවා. (යෝබ් 36:18, සසඳන්න.) හිතෝපදේශ 15:22 [NW] මෙසේ කියමින් කාරණා සමඟ වඩාත් හොඳින් කටයුතු කරන ආකාරය වෙත යොමු දක්වනවා: “සමීප කතා බහ නැති කල සැලසුම් නිෂ්ඵල වේ.” එසේය, දෙමාපියන් විසින් ඔබට සලකන ආකාරය වෙනස් කළ හැකි එක් ක්‍රමයක් නම්, ඔබට හැඟෙන ආකාරය ඔවුන්ට දැනගන්න සැලැස්වීමයි.
පළමුව, ‘සුදුසු කාලය’ යයි බයිබලය හඳුන්වන අවස්ථාව තෙක් සිටින්න. (හිතෝපදේශ 15:23) ක්ලේටන් බාර්බෝ මෙසේ යෝජනා කරයි: “හැමෝම නිවිසැනසිල්ලෙ ඉන්න කවුරු කවුරුත් හොඳින් ඉන්න අවස්ථාවකුයි තැනකුයි තෝරාගන්න.” තවදුරටත් බයිබලය මෙසේ අනතුරු අඟවයි: “කර්කශ වචනයකින් තරහ හටගනියි.” (හිතෝපදේශ 15:1) එමනිසා කාරණයට එළඹෙද්දී දබරයට නොව කාරුණික හා ගෞරවාන්විත වෙන්න උත්සාහ කරන්න. කෝපාවිෂ්ට වීමෙන් වැළකී සිටින්න. (හිතෝපදේශ 29:11) ඔබගේ දෙමාපියන්ට වචනයෙන් පහර දෙන්නේ නැතුව (‘මටයි ඕගොල්ලො හැම තිස්සෙම හැම දේටම දොස් කියන්නෙ!’), තොරතෝංචියක් නැතුව දොස් නඟන නිසා ඔබට හැඟෙන ආකාරය පහදා දෙන්න උත්සාහ කරන්න. (‘මගේ අතේ වැරැද්ද නැති වෙලාවටත් මට දොස් කියද්දි මට මං ගැනම දුකක් ඇති වෙනවා.’)—උත්පත්ති 30:1, 2, සසඳන්න.
යම් වරදවා වටහාගැනීමක් හේතුවෙන් ඔබේ දෙමාපියන්ට කේන්ති ගොස් ඇති විටෙකත් එම දේම අදාළ වෙනවා. යෞවන යේසු ආගිය තැන නොදැන සිටි විට ඔහුගේ දෙමාපියන් කලබලයට පත් වුණා. හැබැයි යේසු කන්කෙඳිරි ගෑවේවත් මැසිවිලි නැඟුවේවත් නැහැ. ඔහු හීන් සීරුවෙ තත්වය පැහැදිලි කළා. (ලූක් 2:49) ඔබ කරදරයට වැටී ඇති විටෙක, ඇයි ඔබේ දෙමාපියන් සමඟත් වැඩිහිටියෙකු මෙන් කටයුතු කරන්න උත්සාහ කරන්නේ නැත්තේ? ඔවුන් කලබලයට පත් වී ඉන්නේ ඔබ කෙරෙහි සැලකිල්ලක් දක්වන නිසා බව තේරුම්ගන්න. ගෞරවයෙන් යුතුව ඇහුම්කන් දෙන්න. (හිතෝපදේශ 4:1) කතන්දරයේ ඔබේ පැත්ත කියන්න පෙර ඔවුන්ගේ කෝපයේ උණුසුම නිවී යන තුරු ඉන්න.
‘ඔබේම ක්‍රියා මොනවාද කියා ඔප්පු කිරීම’
එහෙත්, ඇයි, සමහර දෙමාපියන් තම දරුවන් ගැන වැරදි නිගමනවලට එළඹෙන්න ඉක්මන් වෙන්නේ? ඇත්තම කියනවා නම්, සමහර අවස්ථාවලදී යෞවනයන් දෙමාපියන්ට එසේ සැක කරන්න හේතු සපයනවා. හිතෝපදේශ 20:11 [නව අනුවාදය] මෙසේ පවසයි: “ළමයෙකුගේ ක්‍රියාවලින් ඔහුගේ චරිතය හෙළි වේ, එයින් ඔහුගේ අවංකකම ද [ඍජුභාවයද, NW] පිරිසිදුකම ද දැනගත හැකි ය.” ඔබගේ දෙමාපියන් තුළ ඔබ ගොඩනඟා ඇත්තේ ඔබ ගැන කෙබඳු හැඟීමක්ද? ඔබගේ “ක්‍රියා” පෙන්නුම් කර තියෙන්නෙ ඔබ “සෘජු” හා මේරූ කෙනෙක් බවද නැතිනම් නොසැලකිලිමත් හා වගකීමකින් තොර කෙනෙක් බවද? අවසානයට කී දෙය සත්‍යයක් නම්, ඔවුන් ඔබ ගැන වැරදි නිගමනවලට ඉක්මනට එළඹුණොත් පුදුම නොවන්න. “මට මටම අවංක වෙන්න සිද්ධ වුණා; සමහර වෙලාවට ඒගොල්ලන්ගේ සැක කිරීම්වල පොඩි ඇත්තක් හරි තිබුණා” යයි ඉහත සඳහන් වූ තැනැත්තා වන රාමොන්ට, තම දෙමාපියන්ගේ විවේචනය කිරීම් ගැන පිළිගන්න සිදුවුණා.
ඔබ සම්බන්ධයෙන් මෙය සැබෑවක් නම්, ඔබට කිරීමට සමහරවිට ඉතිරි වී ඇත්තේ අතීත ක්‍රියාවලට හිලව් වන පරිදි වර්තමානයේ ජීවත් වීම පමණයි. විශ්වාස කටයුතු හා වගකීමකින් යුතු හැසිරීම් රටාවක් පිහිටුවාගැනීමෙන්, ඔබ වෙනස්කම් කර ඇති බවටත් ඔබ මත විශ්වාසය තැබිය හැකි බවටත් ඔබගේ දෙමාපියන්ට ටිකෙන් ටික ඒත්තුගන්වන්න ඔබට හැකි වෙයි.
රාමොන්ගේ අද්දැකීම මෙම කරුණ නිදර්ශනය කරයි. ඔහුට දේවල් අමතක වීමට තිබූ නැඹුරුවාව නිසා, ඔහුගේ පවුලේ අය ඇතුළු හිතමිත්‍රාදීන් හොඳ හිතින් ඔහුට උගත් පිස්සා යන නම පටබැන්දා. ඔබේ දෙමාපියන් ඔබට “බොළඳ” හෝ “කිසිම වගකීමක් නැති” වැනි නිෂේධාත්මක ලේබල පටබැඳ තියෙනවාද? කැතලින් මකොයි නම් ලේඛිකාව දකින පරිදි, දෙමාපියන්ට හැඟෙන්න පුළුවන් එවැනි ලේබල “වරද කුමක්ද යන්න වෙතට අවධානය යොමු කර, එතුළින් නහඹරයා එය දැක අවශ්‍ය වෙනස්කම් සිදු කරගනියි” කියා. එහෙත් යථාර්ථවාදීව බැලුවොත්, එවැනි ලේබල බොහෝවිට දැඩි අමනාපයක් ඇති කරවන්න පුළුවන්. ඒ වුණත්, එම පටබැඳි නම යම් වැදගත් කරුණක් තහවුරු කළ බව රාමොන්ට වැටහෙන්න පටන්ගත්තා. “ගොඩක් වෙලාවට මගේ මනස එක දෙයකට විතරයි යොමු වෙලා තිබුණේ; ඒ නිසා මම යතුරු නැත්තං මගේ ගෙදර වැඩ වගේ දේවල් නැති කරගන්නවා, ඒ වගේම මට දීලා ගිය වැඩත් අමතක වෙනවා” යයි ඔහු පිළිගනියි.
ඉතින් රාමොන් වෙනස්කම් කරන්න පටන්ගත්තා. “මම වගකීම් ගැනයි මුල්තැන දෙන්න ඕන දේවල් ගැනයි ඉගෙනගන්න පටන්ගත්තා; මම කාලසටහනක් හදාගෙන පෞද්ගලික බයිබල් පාඩම බැරෑරුම් දෙයක් හැටියට සලකන්න පටන්ගත්තා. යෙහෝවා සුළු දේවල් වගේම ලොකු දේවලුත් වැදගත් කොට සලකනවා කියන එක මම ඉගෙනගත්තා” යයි ඔහු මතකයට නඟයි. (ලූක් 16:10) බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන්, අමතක වීම නිසා අන්‍යයන් තුළ ඔහු ගැන තිබූ හැඟීම අන්තිමේදී රාමොන් නැති කර දැම්මා. ඇයි එවැන්නක්ම කරන්න උත්සාහ කරන්නේ නැත්තේ? එමෙන්ම යම් ලේබලයක් හෝ පටබැඳි නමක් ඔබට රුස්සන්නේ නැත්නම්, එය ඔබේ දෙමාපියන් සමඟ සාකච්ඡා කරන්න. සමහරවිට ඔවුන් දේවල් ඔබේ පැත්තෙන් දකියි.
එය අනිසි අනුග්‍රහයක් සේ පෙනෙන විට
සමහර අවස්ථාවලදී දොස් නැඟීම පිටුපස ඇත්තේ අනිසි අනුග්රහයයි. රාමොන් මෙසේ සිහියට නඟයි: “මගේ අයියලා අක්කලා පරක්කු වෙලා ගෙදර එනවා, ඒත් ඒගොල්ලන් කොහොම හරි බේරෙනවා. හැබැයි මම පරක්කු වෙලා ගෙදර ආවොත් කරදරේ තමයි.” ඇල්බ’ට් නම් ලත් එක් ගයානා ජාතික මිනිසෙකුටත් ඔහු වැඩෙන විට සමානාකාර හැඟීම් තිබුණ බව මතකයට නඟනවා. ඔහුට පෙනුණේ හරියට ඔහුගේ මව ඔහුගේ සහෝදරයාට වඩා තමාව වැඩියෙන් හික්මවන බවයි.
කොහොමවුණත්, යථාර්ථය සැමවිටම දේවල් පිටතින් දකින ආකාරයම නොවේ. දෙමාපියන් බොහෝවිට වැඩිමල් දරුවන්ට වැඩි නිදහසක් පිරිනමන්නේ අනිසි අනුග්‍රහයක් නිසාම නොව, නමුත් ඔවුන් වගකීමකින් යුතුව කටයුතු කරාවිය යන හැඟීම නිසා පමණයි. එසේත් නැතිනම් එයට විශේෂ තත්වයන් ඇතුළත් වෙන්න පුළුවන්. තමාගේ සහෝදරයා “කුඩාව හා ලෙඩව” සිටි නිසා ඔහුට ශාරීරිකව තරවටු නොකළ බව ඇල්බ’ට් පිළිගන්නවා. එක් දරුවෙකුට තිබිය හැකි යම් විශේෂ අවශ්‍යතාවක් හෝ සීමාවන් හඳුනාගැනීම, දෙමාපියෙකුගේ පැත්තෙන් දක්වන අනිසි අනුග්‍රහයක්ද?
සමහර අවස්ථාවලදී දෙමාපියන් විශේෂයෙන් ප්‍රිය කරන දරුවන් සිටිනවායයි අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ. (උත්පත්ති 37:3, සසඳන්න.) ඇල්බ’ට් තම රෝගාතුර සහෝදරයා ගැන මෙසේ පවසනවා: “අම්මට තිබුණා එයාට විශේෂ ලෙන්ගතුකමක්.” වාසනාවකට, ක්‍රිස්තියානි ප්‍රේමය විහිදී යන දෙයක්. (2 කොරින්ති 6:11-13) ඒ හේතුවෙන් ඔබේ දෙමාපියන් ඔබේ සොයුරු සොයුරියන්ගෙන් එක් කෙනෙක්ට “විශේෂ ලෙන්ගතුකමක්” දැක්වූවත්, එයින් අදහස් කරන්නේ නැහැ ඔබට ප්‍රේමය තවත් ඉතිරි වී නැහැයි කියා. එහෙත් සැලකිල්ලට භාජන විය යුතු නියම විෂය වන්නේ, සොයුරු සොයුරියන්ගෙන් එක් කෙනෙකුට ඇති අන්ධ ලෙන්ගතුකම නිසා ඔබට දොස් නඟමින් ඔවුන් ඔබට සලකන්නේ අසාධාරණ ආකාරයකටද යන්නයි. එවැන්නක් සත්‍යයක්ව පෙනේ නම්, ඔබට හැඟෙන ආකාරය නොවරදවාම ඔවුන්ට දැනගන්න සලස්වන්න. යටහත්, සාධාරණ ආකාරයකින්, ඔවුන් අනිසි අනුග්‍රහය දක්වා ඇති ආකාරය පිළිබඳ නිශ්චිත උදාහරණ දෙන්න. සමහරවිට ඔවුන් අසයි.
පීඩිත පවුල්
හැම තත්වයක්ම ලේසියෙන් වෙනස් කළ නොහැකි බව පිළිගන්න සිදු වෙනවා. ලජ්ජාවට පත් කිරීම හා දොස් නැඟීම, සමහර දෙමාපියන් තුළ පැලපදියම් වී තියෙන පුරුදු හැටියට සලකන්න පුළුවන්. චිත්තවේගීය ගැටලු තිබෙන හෝ යම් ඇබ්බැහි වීමක් සමඟ සටන් කරන දෙමාපියෙකු සම්බන්ධයෙන්, මෙවැන්නක් විශේෂයෙන්ම සත්‍යයක් වෙන්න පුළුවන්. එවැනි තත්වයන් යටතේ, දේවල් කතා බහ කරන්න උත්සාහ කිරීමෙන් වැඩි ප්‍රයෝජනයක් අත් නොවන්න පුළුවන්. මෙය ඔබේ තත්වය සම්බන්ධයෙන් සැබෑවක් සේ පෙනෙනවා නම්, ඔබේ දෙමාපියන්ට ඇති ගැටලුව ඔබේ ග්රහණයෙන් ඈත්ව ඇති බවත්, බොහෝදුරට එය විසඳිය හැක්කේ පිටස්තර උදව්වක් ඇතුව පමණක් බවත් වටහාගන්න. ඔබට කළ හැකි හොඳම දෙය වන්නේ ඔවුන්ට සුදුසු ගෞරවය පෙන්වීම හා අනවශ්‍ය ගැටුම්වලින් වැළකී සිටින්න උත්සාහ කිරීමයි. (එපීස 6:1, 2) හිතෝපදේශ 22:3 කියන්නේ: “නුවණ ඇත්තා විපත්තිය දැක සැඟවෙයි.”b
ඒ අතර වාරයේදීම, පවුලෙන් පිට උපකාරයත් පතන්න. මේරූ වැඩිහිටියෙක් සමඟ කතා කරන්න; සමහරවිට ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් සමඟ. සැමවිටම වරද ඔබගේ අතේ යන හැඟීම නැති කර දමන්න, එවැනි තැනැත්තෙකුගෙන් ලැබෙන ප්‍රේමනීය අවධානයට බොහෝ දේ කරන්න පුළුවන්. ඒ අතර වාරයේදීම, ‘දෙවිට ළං වෙන්න.’ (යාකොබ් 4:8) අනික් අය ඔබට අසාධාරණ අයුරින් දොස් නැඟිය හැකි වූවත්, ‘දෙවි සැම කල්හිම වරද සොයමින් නොසිටියි; සදාකාලයට කෝපය නොපවත්වයි. මන්ද ඔහු අපේ ස්වභාවය දනී; අප ධූලි බව ඔහු සිහි කරයි.’ (ගීතාවලිය 103:9, 14) දෙවිගේ නෙත් හමුවේ ඔබ අගනායයි දැන සිටීම, අසාධාරණ දොස් නැඟීම විඳදරාගන්න උපකාර කරන්න පුළුවන්.
[පාදසටහන්වල]
a 1997 අගෝස්තු 8 කලාපයේ පළ වී ඇති “යෞවන අය අසති . . . හැමතිස්සෙම මමම වැරදි මොකද?” යන ලිපිය බලන්න.
b පිබිදෙව්! 1989 දෙසැම්බර් 8 කලාපයේ “යෞවන අය අසති . . . මා හට පීඩාකාරී වචන මැඩපැවැත්විය හැක්කේ කෙසේ ද?” යන ලිපිය බලන්න. එමෙන්ම 1996 ඔක්තෝබර් 22 කලාපයේ (ඉංග්‍රීසියෙන්) “රිදවීමේ වචනවල සිට සුවවීමේ වචන දක්වා,” යන ලිපි මාලාවද බලන්න.
[21වන පිටුවේ පින්තූරය]
අපගේ වැරදි පිළිගැනීම අපගේම වැරදිවලින් ඉගෙනගන්න උපකාර කරනවා