2වන පරිච්ඡේදය
ඔබට සැබවින්ම ‘දෙවිට ළං විය’ හැකිද?
1, 2. (අ) බොහෝදෙනෙකුට සිතාගන්ට බැරි අමුතු යමක් මෙන් පෙනී යා හැක්කේ කුමක්ද? එහෙත් බයිබලය අපට සහතික කර කියන්නේ කුමක්ද? (ආ) ආබ්‍රහම්ට කුමණාකාරයේ කිට්ටු සම්බන්ධතාවයක් භුක්ති විඳීමට ලැබුණාද? එමෙන්ම ඒ ඇයි?
ස්වර්ගයෙහිත් පොළොවෙහිත් මැවුම්කරුවාණන් “මේ මගේ මිතුරෙක්” කියා ඔබ ගැන පැවසුවහොත් ඔබට කොහොම හැඟේවිද? බොහෝදෙනෙක් සිතන්නේ එහෙම දෙයක් සිතාගන්ටවත් බැහැයි කියා. ඇත්තෙන්ම නිකම්ම නිකම් මිනිසෙකුට යෙහෝවා දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට හැක්කේ කෙසේද? බයිබලය අපට සහතික ලෙස කියා සිටින්නේ අපට සැබවින්ම දෙවිට ළං විය හැකි බවයි.
2 පුරාණයේ විසූ ආබ්‍රහම් එවන් සමීප බවක් භුක්ති විඳි කෙනෙක්. එම ආදි පිතෘවරයාව යෙහෝවා විසින් හඳුන්වනු ලැබුවේ “මාගේ මිත්‍රයා” ලෙසින්. (යෙසායා 41:8) ඔව්, යෙහෝවා ආබ්‍රහම්ව සැලකුවේ ඔහුගේ සමීප මිතුරෙකු ලෙසයි. ආබ්‍රහම්ට එවන් කිට්ටු සම්බන්ධයක් දෙවි සමඟ තබාගන්ට හැකියාව ලැබුණේ, ඔහු “යෙහෝවා කෙරෙහි ඇදහිල්ල තැබූ” නිසයි. (යාකොබ් 2:23, NW) අදදිනත්, ප්‍රේමයෙන් පෙලඹී තමන්ට සේවය කරන අයට ‘ඇලුම් වීමට’ යෙහෝවා ප්‍රස්තා සොයමින් සිටිනවා. (ද්විතීය කථාව 10:15) ඔහුගේ වචනය අපෙන් උදක්ම ඉල්ලා සිටින්නේ, ‘දෙවිට ළං වන්න. එවිට ඔහු නුඹලාට ළං වන්නේය’ කියායි. (යාකොබ් 4:8) මෙම වචනවල අපට ආරාධනාවක් මෙන්ම පොරොන්දුවක් දක්නට ලැබෙනවා.
3. යෙහෝවා අපට ඉදිරිපත් කරන්නේ කිනම් ආරාධනයද? මේ හා බැඳී පවතින පොරොන්දුව කුමක්ද?
3 තමන්ට ළං වන ලෙස යෙහෝවා අපට ආරාධනා කරනවා. අපව පිළිගෙන මිතුරන් ලෙස භාරගැනීමට ඔහු කැමැත්තෙන්ද සූදානමින්ද සිටිනවා. ඒ අතරම, අප ඔහුට ළංවීමට පියවර ගතහොත්, ඔහුද ඊට සරිලන ලෙස පියවර ගන්නා බවට පොරොන්දු වෙනවා. ඔහු අපට ළං වේවි. මෙසේ, සැබවින්ම අති අනර්ඝ වූ යමකට ඇතුළත් වීමට අපට හැකි වේවි. ඒ තමයි, “යෙහෝවා සමඟ සමීප මිත්‍රත්වය.”a (ගීතාවලිය 25:14, NW) “සමීප මිත්‍රත්වය” යනුවෙන් අදහස් කරන්නේ අති විශේෂ මිතුරෙකු සමඟ දැඩි විශ්වාසයකින් යුතුව යෙදෙන කතා බහ යන්නයි.
4. ඉතා සමීප මිතුරෙකුව ඔබ විස්තර කරන්නේ කෙසේද? යෙහෝවාට ළං වෙන අයට තමන් එවන් මිතුරෙකු වන බවට යෙහෝවා ඔප්පු කරන්නේ කිනම් ආකාරවලින්ද?
4 ඔබට ඉමහත් විශ්වාසයකින් යුතුව යමක් පැවසීමට හැකි ඉතා කිට්ටු මිතුරෙකු සිටිනවාද? එවන් මිතුරෙක් ඔබ ගැන සැලකිල්ල දක්වන්නෙක්. ඔහු ඔබට පක්ෂපාත කෙනෙකු බව ඔප්පු කර තිබෙන නිසා ඔබ ඔහුව විශ්වාස කරනවා. ඔබ ප්‍රීති වන අවස්ථාවල් ගැන ඔහුට කියන විට ඔබේ ප්‍රීතිය දෙගුණ තෙගුණ වෙනවා. ඔබගේ දුක් කරදර කම්කටොලු ගැන ඔබ ඔහුට පවසන විට ඔහු දයානුකම්පිතව ඔබට සවන් දෙයි. ඉන් ඔබ යම් අස්වැසිල්ලක් ලබනවා. කිසි කෙනෙක් ඔබව තේරුම් නොගන්න බවක් පෙනෙන්ට තිබුණත්, ඔහු ඔබව තේරුම්ගන්නවා. ඒ හා සමානව, ඔබ දෙවි වෙතට ළං වන විට, ඔබව සැබවින්ම අගය කරන, ඔබ ගැන ගැඹුරින් සැලකිල්ල දක්වන, ඔබව මුළුමනින්ම තේරුම්ගන්නාවූ සුවිශේෂ මිතුරෙක් ඔබට ලැබෙනවා. (ගීතාවලිය 103:14; 1 පේතෘස් 5:7) ඔබේ හද පත්ලෙන්ම ඔබ ඔහුව විශ්වාස කරනවා. ඔබේ ගැඹුරුම හැඟීම් වුණත් හෙළි කරන්න ඔබ භය නැහැ. මන්ද, තමන්ට පක්ෂපාත වන අයට ඔහු පක්ෂපාත වන බව ඔබ දන්නවා. (ගීතාවලිය 18:25) කෙසේවෙතත්, මෙවැනි සමීප සම්බන්ධතාවයක් භුක්ති විඳීමේ වරප්‍රසාදය අපට ලැබී ඇත්තේ යෙහෝවාම එවන් දෙයකට දොරටු විවෘත කර තිබෙන නිසයි.
යෙහෝවා මාර්ගය විවෘත කර තිබෙනවා
5. අප විසින් යෙහෝවාට ළංවීමට හැකි වන පිණිස ඔහු කළේ කුමක්ද?
5 බාහිර උපකාරයක් නැතුව, පව්කාරයන් වන අපට කිසිවිටෙකත් දෙවි වෙතට ළං වෙන්ට බැහැ. (ගීතාවලිය 5:4) “නුමුත් [දෙවි] අප කෙරෙහි ඇති [තමන්ගේ] ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට [ක්‍රිස්තුස්] මරණය විඳීමෙන්ය” කියා ප්‍රේරිත පාවුල් ලිව්වා. (රෝම 5:8) ඔව්, “බොහෝදෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට [යේසුස්ගේ] ජීවිතය දෙන්ට” යෙහෝවා කටයුතු පිළියෙළ කළා. (මතෙව් 20:28) මිදීමේ මිලය කෙරෙහි අප දක්වන ඇදහිල්ල නිසා අපට දෙවි වෙතට ළං වෙන්න හැකියාව තිබෙනවා. දෙවි “පළමුකොට අපට ප්‍රේම කළ නිසා,” දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට පදනම සැපයුවේ ඔහුයි.—1 යොහන් 4:19.
6, 7. (අ) යෙහෝවා සැඟවී නොසිටින, දැනගත නොහැකි දෙවිකෙනෙකු නොවන බව අප දන්නේ කොහොමද? (ආ) යෙහෝවා තමාවම හෙළි කර තිබෙන්නේ කිනම් මාර්ගවලින්ද?
6 යෙහෝවා රැගෙන තිබෙන තවත් පියවරක් තමයි, ඔහු තමන් ගැනම අපට හෙළි කර තිබීම. ඕනෑම සමීප මිත්‍රත්වයක් තුළ, සමීප බව පදනම් වී ඇත්තේ පුද්ගලයාව සැබවින්ම දැනගෙන ඔහුගේ ගුණාංග සහ ක්‍රියා පිළිවෙත් අගය කිරීම මතයි. යෙහෝවා, සැඟවී සිටින දැනගත නොහැකි දෙවි කෙනෙකු නම්, ඔහුට ළං වෙන්ට අපට කවදාවත් නොහැකියි. එහෙත්, තමන් කවුරුන්ද යන්න සඟවාගෙන සිටිනවා වෙනුවට, ඔහුට වුවමනා වන්නේ අප විසින් ඔහුව දැනගැනීමයි. (යෙසායා 45:19) එපමණක්ද නොව, ඔහු තමා ගැන හෙළි කරන දෙය සියල්ලන්ටම දැනගැනීමට සලස්වනවා. මේ ලෝකයේ මිනුම් දඬුවලට අනුව පහත්යයි සැලකෙන අප අතර සිටින අයටද ඔහු තමා ගැන එළිදරව් කරනවා.—මතෙව් 11:25.
7 යෙහෝවා තමාවම අපට හෙළි කර තිබෙන්නේ කොහොමද? ඔහුගේ මැවිලි ඔහුගේ පෞද්ගලිකත්වයේ යම් අංග අපට හෙළි කර දෙනවා. ඒවා නම්, ඔහුගේ බලයේ තරම, ඔහුගේ ප්‍රඥාවේ ගැඹුර හා ඔහුගේ ප්‍රේමයේ බහුලත්වයයි. (රෝම 1:20) එහෙත්, යෙහෝවා තමන් ගැන හෙළි කරන දෙය මවා ඇති දෙයටම පමණක් සීමා වන්නේ නැහැ. තව තවත් තමන් ගැන බොහෝ දේ මිනිස් සංහතියට දැනුම් දීමට මහත් කැමැත්තක් දක්වන නිසා, ඔහු තම ලිඛිත වචනය වන බයිබලය තුළ තමන් ගැන හෙළි කර තිබෙනවා.
“යෙහෝවාගේ ප්‍රසන්නකම” දෙස බැලීම
8. බයිබලයම අප සඳහා වූ යෙහෝවාගේ ප්‍රේමයේ සාක්ෂියක් බව අපට කිව හැක්කේ මන්ද?
8 බයිබලයම අප සඳහා වූ යෙහෝවාගේ ප්‍රේමයේ සාක්ෂියක්. අපට තේරුම්ගත හැකි යෙදුම්වලින් ඔහු සිය වචනය තුළ ඔහු ගැන අපට හෙළි කර තිබෙනවා. ඔහු අපට ප්‍රේම කරන බවට පමණක් නොව, අප විසින් ඔහුව දැනහඳුනා ගන්නවාට සහ ප්‍රේම කරනවාට ඔහු කැමති බවටත් එය සාක්ෂියක්. අප මෙම වටිනා පොතේ කියවන දෙය තුළ, “යෙහෝවාගේ ප්‍රසන්නකම” දකින්න පුළුවන්. එය ඔහුට ළංවීමට අපව තව තවත් පොලඹවනවා. (ගීතාවලිය 90:17, NW) යෙහෝවා සිය වචනය තුළින් තමන්වම හෙළි කරන්නාවූ හද උණුසුම් කරවන ආකාර කිහිපයක් ගැන සාකච්ඡා කරමු.
9. බයිබලය තුළ දෙවිගේ ගුණාංග ඍජුව හඳුන්වා දෙන උදාහරණ සමහරක් මොනවාද?
9 දෙවිගේ ගුණාංග අපට හඳුන්වා දෙන ඍජු ප්‍රකාශයන් බොහොමයක් ශුද්ධ ලියවිල්ලේ අඩංගු වෙනවා. උදාහරණ සමහරක් සලකා බලන්න. ‘යෙහෝවා යුක්තියට ප්‍රේම කරන්නේය.’ (ගීතාවලිය 37:28) දෙවි “බලයෙන් උසස්ය.” (යෝබ් 37:23, NW) “‘මම පක්ෂපාතී වෙමි’ යයි යෙහෝවා කියයි.” (යෙරෙමියා 3:12, NW) “ඔහු සිතින් ප්‍රඥාවන්තය.” (යෝබ් 9:4) “[ඔහු] අනුකම්පාවෙන් පූර්ණ වූ දයාවන්ත වූ උදහස් වීමට ප්‍රමාද වන්නාවූ අධිකතර කරුණාව සහ සැබෑකමද ඇත්තාවූ දෙවි කෙනෙක්ය.” (නික්මයාම 34:6) ‘යෙහෝවා, යහපත්ය. කමා වෙන්ට සූදානම්ය.’ (ගීතාවලිය 86:5) මීට පෙර පරිච්ඡේදයේ සඳහන් වූවාක් මෙන්, එක් ගුණාංගයක් ප්‍රධානව පවතිනවා. එනම් ‘දෙවි ප්‍රේමයයි.’ (1 යොහන් 4:8) මෙම ප්‍රියජනක ගති ලක්ෂණ ගැන මෙනෙහි කරන විට, ඔබ මෙම අසමසම දෙවි වෙත ආකර්ෂණය වන්නේ නැද්ද?
10, 11. (අ) තම පෞද්ගලිකත්වය වඩාත් පැහැදිලිව දැකගත හැකි වනු පිණිස, යෙහෝවා සිය වචනය තුළ අඩංගු කර තිබෙන්නේ කුමක්ද? (ආ) දෙවිගේ බලය ක්‍රියාත්මක වන අන්දම මනසින් දැකගැනීමට අපට උපකාරවත් වන්නේ කිනම් බයිබල් උදාහරණයද?
10 තම ගුණාංග මොනවාද කියා අපට පවසනවාට අමතරව, මෙම ගුණාංග ඔහු ක්‍රියාවට නංවාලූ ආකාර පිළිබඳව සුවිශේෂ උදාහරණ සමහරක් යෙහෝවා ප්‍රේමනීය ලෙස තම වචනයේ ඇතුළත් කර තිබෙනවා. ඔහුගේ පෞද්ගලිකත්වයේ විවිධ පැති අපට වඩාත් පැහැදිලිව දැකගැනීමට උපකාරවත් වන පින්තූරයක්, එවන් වාර්තාවලින් අපගේ මනස තුළ ඇඳෙනවා. එය දෙවිට ළංවීමට අපට මහෝපකාරි වෙනවා. නිදසුනක් සලකා බලන්න.
11 දෙවි ‘බලයෙන් මහත්’ කියා කියවන්න තිබීම එක දෙයක්. (යෙසායා 40:26) ඉශ්රායෙල් සෙනඟ මුදවා රතු මුහුදෙන් එතෙර කර අවුරුදු 40ක් පුරා පාළුකරය තුළ පෝෂණය කළ අන්දම කියවන්න ලැබීම තවත් එකක්. ජලය ඉහළට නඟිමින් බෙදී යන ආකාරය ඔබට මනසින් මවාගත හැකියි. සමහරවිට මිලියන තුනක් පමණ වූ එම ජාතිය වියළි බිම මැදින් ගමන් කළ සැටිත්, එම මිදුණු හෝ කැටි ගැසුණු ජලය සුවිසල් තාප්ප දෙකක් මෙන් දෙපැත්තේ රැඳී තිබූ සැටිත් ඔබට සිතින් මවාගන්ට පුළුවන්. (නික්මයාම 14:21; 15:8) පාළුකරයේ ගමන් කරන විට දෙවිගේ සුරක්ෂිත සැලකිල්ලේ සාක්ෂි ඔබට දැකිය හැකියි. ගල් පර්වතයෙන් ජලය ගලා ආවා. සුදු පැහැයෙන් යුත්, බීජ හා සමාන පෙනුමක් ඇති ආහාර භූමිය මතු පිට දිස් වුණා. (නික්මයාම 16:31; ගණන් කථාව 20:11) යෙහෝවා මෙහිදී තමාට බලය තිබෙනවා යන්න පමණක් නොව, නමුත් එම බලය තම ජනයා වෙනුවෙන් යොදාගන්ට හැකියි කියාත් පෙන්වනවා. එසේ නම්, අපගේ යාච්ඤා යොමු වන්නේ බලවත් දෙවි කෙනෙකුට පමණක් නොව, නමුත් ‘සරණ හා ශක්තිය මෙන්ම දුකේදී ඉතා ළං වූ පිහිටක් වන’ දෙවි කෙනෙකුට කියාත් දැනගැනීම අපගේ බිය සැක දුරු කරවන්නක් නොවේද?—ගීතාවලිය 46:1.
12. අපට තේරුම්ගත හැකි යෙදුම්වලින් යෙහෝවාව “දැකීමට” ඔහු අපට උපකාර කරන්නේ කෙසේද?
12 ආත්මයක් වන යෙහෝවා, තමා ගැන දැනගැනීමට අපට උපකාර කිරීම සඳහා ඊටත් වඩා දේ කර තිබෙනවා. මිනිසුන් හැටියට අපට දකින්න පුළුවන් වන්නේ ඇස්වලට පෙනෙන දේ පමණයි. එමනිසා ආත්ම විෂය දකින්න අපට බැහැ. ආත්ම විෂයේ සිටින දෙවි තමා ගැන අපට විස්තර කිරීම, ඔබ විසින් ඔබගේ ඇසේ වර්ණය හෝ සිරුරේ ඇති වන ලපවල පැහැය උපතේ සිට අන්ධ කෙනෙකුට විස්තර කිරීමට තැත් කරනවාක් වැනියි. ඒ වෙනුවට, අපට තේරුම්ගත හැකි යෙදුම්වලින් තමාව “දකින්න” යෙහෝවා කාරුණිකව අපට උපකාර කරනවා. ඇතැම් අවස්ථාවලදී ඔහු රූපාලංකාර සහ උපමාලංකාර යොදාගනිමින් අප දන්නා දේවල් මගින් තමා ගැන අපට විස්තර සපයයි. යම් යම් මිනිස් අවයව ඇති කෙනෙකු මෙන්ද ඔහු තමා ගැනම අපට විස්තර කරනවා.b
13. යෙසායා 40:11හි සඳහන් දෙය අප මනස තුළ කිනම් පින්තූරයක් මවයිද? තවද එය ඔබට බලපාන්නේ කෙසේද?
13 යෙසායා 40:11හි යෙහෝවා ගැන කර තිබෙන විස්තරය සලකා බලන්න. ‘එඬේරෙකු මෙන් ඔහු තමන්ගේ රැළ පෝෂ්‍ය කරයි. බැටළු පැටවුන්ද තමන්ගේ හස්තයෙන් රැගෙන, තමන්ගේ ළයේ දරමින්, කිරි දෙන බැටළු දෙනුන් හෙමින් ගෙනයන්නේය.’ යෙහෝවාව මෙහි සසඳා තිබෙන්නේ බැටළු පැටවුන්ව තම ‘හස්තයේ’ රැගෙන යන එඬේරෙකුටය. දෙවිගේ ජනයාව, ප්‍රහාර එල්ල විය හැකි තත්වයක සිටින අයව පවා ආරක්ෂා කර, උපකාර කිරීමට දෙවිට ඇති හැකියාව මින් ඇඟවෙනවා. ඔහුගේ බලවත් හස්තයේ සිටින අපට ආරක්ෂාව දැනෙනවා. අප ඔහුට පක්ෂපාතී නම්, ඔහු කිසිවිටෙකත් අපව ඉවත දමන්නේ නැහැ. (රෝම 8:38, 39) උතුම් එඬේරා බැටළු පැටවුන්ව “තමන්ගේ ළයේ” රැගෙන යනවා. “ළයේ” යන ප්‍රකාශයෙන් යොමු දැක්වෙන්නේ එඬේරෙක් තම පිටත සළුව නමා ඔලොගුවක් ලෙසින් සකසාගෙන අලුත උපන් බැටළු පැටවෙකුව ඒ තුළ බහා ගෙන යෑමටයි. මෙසේ, යෙහෝවා අපව ආදරයෙන් රැකබලා ගෙන අපට මුදු මොළොක් සැලකිල්ල දක්වන බවට සහතික වෙනවා. මේ ගැන සිතන විට, දෙවිට ළංවීමට නිරායාසයෙන්ම අප තුළ වුවමනාවක් ඇති වෙනවා.
‘පුත්‍රයා පියාව එළිදරව් කිරීමට කැමැත්තෙන් සිටී’
14. යෙහෝවා තමා ගැන ඉතා සමීප දසුනක් යේසුස් තුළින් අප වෙත පෙන්වා ඇති බව අපට පැවසිය හැක්කේ ඇයි?
14 යෙහෝවා සිය වචනයෙහි තමා ගැන ඉතා සමීප දසුනක් අප වෙත දක්වන්නේ සිය පුත්‍රයාණන් තුළිනුයි. දෙවිගේ සිතිවිලි සහ හැඟීම් වඩාත් සමීප ලෙස පිළිබිඹු කිරීමට හෝ ඔහුව වඩාත් චිත්තාකර්ෂණීය ලෙස විස්තර කිරීමට යේසුස්ට තරම් වෙන කිසිවෙකුට හැකි වූයේ නැහැ. ඒ මන්දයත්, වෙනත් ආත්ම මැවිලි සහ භෞතික විශ්වය මැවීමට පෙරාතුව එම කුලුඳුල් පුත්‍රයා සිය පියාණන් සමඟ එකට සිටි නිසයි. (කොලොස්සි 1:15) යේසුස් යෙහෝවා සමඟ ඉතා සමීප ඇසුරක් පැවැත්වූවා. “පියාණන් හැර අන් කිසිවෙක් පුත්‍රයා කවුදැයි හඳුනන්නේ නැත. පුත්‍රයා හැර අන් කිසිවෙක් පියාණන් කවුදැයි හඳුනන්නේ නැත. තවද පුත්‍රයා විසින් පියාව එළිදරව් කිරීමට කැමති යමෙක් වේද ඔහුත් හැර අන් කිසිවෙක් පියාණන් කවුදැයි හඳුනන්නේ නැත” කියා කීමට යේසුස්ට හැකි වූයේ එමනිසයි. (ලූක් 10:22, NW) පොළොව මත සිටි විට, යේසුස් සිය පියාණන් ගැන හෙළි කළේ අතිවැදගත් ක්‍රම දෙකකින්.
15, 16. යේසුස් සිය පියාණන්ව හෙළි කළේ කිනම් මාර්ග දෙකින්ද?
15 පළමුව, සිය පියාණන් ගැන දැනගැනීමට යේසුස්ගේ ඉගැන්වීම් අපට මහෝපකාරි වෙනවා. යේසුස් යෙහෝවා ගැන විස්තර කළේ අපගේ හදවත් කලතන යෙදුම්වලිනුයි. නිදසුනක් වශයෙන්, පසුතැවිලි වී ආපසු හැරී එන පව්කාරයන්ව පිළිගන්නාවූ දයානුකම්පිත දෙවි කෙනෙකු ගැන පැහැදිලි කිරීමට යේසුස් කී උපමාව සලකන්න. එම උපමාව තුළ, තමා කරා නැවත හැරී එන තම නාස්තිකාර පුත්‍රයාව දැක, හදවත උණු වී, ඔහු කරා දිව ගොස් තම පුතාගේ බෙල්ල වැලඳගෙන ඔහුව ආදරයෙන් සිප වැලඳගන්නා වූ සමාව දෙන ආදරණීය පියෙකුට යේසුස් යෙහෝවාව සමාන කළා. (ලූක් 15:11-24) ඒ වගේම, යෙහෝවා හරි හෘදයක් ඇති අයට තනි පුද්ගලයන් ලෙස ප්‍රේම කරන නිසා, ඔවුන්ව තමා වෙතට ‘ඇදගන්නාවූ’ දෙවි කෙනෙකු ලෙසත් යෙහෝවා ගැන යේසුස් විස්තර කළා. (යොහන් 6:44) ඉතා කුඩා ගේ කුරුල්ලෙකු බිමට වැටෙන්නේ කොයි වෙලේද කියා පවා ඔහු දන්නවා. “එබැවින් භය නොවෙන්න. නුඹලා බොහෝ ගේ කුරුල්ලන්ට වඩා වටින්නහුය” කියා යේසුස් පැහැදිලි කළා. (මතෙව් 10:29, 31) අප එවන් සැලකිල්ල දක්වන දෙවි කෙනෙකුට ළං වන බව අමුතුවෙන් කියන්ට අවශ්‍ය වන්නේ නැහැ.
16 දෙවනුව, යෙහෝවා කොයි වගේ දෙවි කෙනෙක්ද කියා යේසුස්ගේ ආදර්ශය අපට පෙන්වනවා. යේසුස් සිය පියාණන්ව කොයි තරම් පරිපූර්ණ ලෙස පිළිබිඹු කළාද කියනවා නම්, ‘මා දුටු තැනැත්තේ පියා දුටුවේය’ කියා පවසන්ට යේසුස්ට හැකි වුණා. (යොහන් 14:9) මෙසේ, යේසුස් පෙන්වූ හැඟීම් සහ ඔහු අනුන් සමඟ කටයුතු කළ ආකාරය ඇතුළත් ඔහු පිළිබඳ මනා විස්තරය සුවිශේෂයෙන් කියවද්දී, එක් අර්ථයකින් ගත් කල එය අප හරියට පියාගේ ජීවමාන චරිතය දකිනවා වගේමයි. යෙහෝවාගේ ගුණාංග ගැන මීටත් වඩා පැහැදිලි හෙළි කිරීමක් දෙන්ට බැරි තරම්. ඒ ඇයි?
17. තමා කුමන අන්දමේ කෙනෙක්ද කියා අප විසින් වටහාගනු පිණිස යෙහෝවා කර තිබෙන දෙය උපහැරණය කරන්න.
17 අපි මෙය මෙසේ නිදර්ශනය කරමු. කරුණාවන්තකම යන ගුණාංගය පැහැදිලි කිරීමට උත්සාහ කරනවායයි සිතන්න. ඔබ එය වචනවලින් අර්ථ දක්වන්ට පුළුවන්. නමුත් යම් කෙනෙක් කාරුණික ක්‍රියාවක් කරනවා දැක තව කෙනෙකුට එය පෙන්වා, “අන්න, කාරුණික ක්‍රියාවක්” කියා පවසන්නේ නම්, “කරුණාවන්තකම” යන වචනයට අමතර අරුතක් ලැබී එය තේරුම්ගැනීමට ඔහුට වඩාත් පහසු වෙනවා. ඒ හා සමානව තමා කුමන අන්දමේ කෙනෙක්ද යන්න අපට වටහාගැනීමට හැකි වන පිණිස යෙහෝවා ඊට සමාන දෙයක් කර තිබෙනවා. තමන් ගැන වචනයෙන් විස්තර කරනවාට අමතරව තම පුත්‍රයාගේ ජීවමාන ආදර්ශය අපට සපයා තිබෙනවා. යේසුස් තුළ දෙවිගේ ගුණාංග ක්‍රියාත්මක වෙනවා අපට දැකගත හැකියි. එය හරියට යේසුස් ගැන විස්තර සපයන සුවිශේෂ වාර්තා මගින් යෙහෝවා “මම මේ වගෙයි” කියා යෙහෝවා අපට කියනවාක් වැනියි. යේසුස් මේ පොළොව මත සිටින විට ඔහු කටයුතු කළ ආකාරය ගැන දේවානුභාවය ලත් වාර්තා විස්තර කරන්නේ කොහොමද?
18. බලය, යුක්තිය සහ ප්‍රඥාව යන ගති ලක්ෂණ යේසුස් විදහාපෑවේ කොහොමද?
18 දෙවිගේ ප්‍රධාන ගති ලක්ෂණ හතර යේසුස් තුළ දිස් වෙන්නේ ඉතා අලංකාරවත් ලෙසයි. අසනීප, කුසගින්න සහ මරණය කෙරෙහි පවා ඔහුට බලය තිබුණා. එහෙත්, තමන්ගේ බලය වැරදි ලෙස පාවිච්චි කරන ආත්මාර්ථකාමී මිනිසුන් මෙන් නොව, තමන් සතුව තිබූ එම ප්රාතිහාර්ය කිරීමේ බලය තමන්ගේ වාසිය සඳහාවත් අනුන්ට හිංසා කිරීම සඳහාවත් යේසුස් පාවිච්චි කළේ නැහැ. (මතෙව් 4:2-4) ඔහු යුක්තියට ප්‍රේම කළා. අසාධාරණ වෙළඳුන් ජනයාව සූරාකනවා දුටු ඔහු තුළ ධර්මිෂ්ඨ කෝපයක් ඇති වුණා. (මතෙව් 21:12, 13) දිළිඳුකමින් මිරිකී තැළී පොඩි වී ගිය මිනිසුන්ට සාධාරණ ලෙස සැලකූ ඔහු, එවන් අයට තම ආත්මවලට ‘ප්රබෝධයක් ලබාගැනීමට’ උපකාර කළා. (මතෙව් 11:4, 5, 28-30, NW) යේසුස්ගේ ඉගැන්වීම්වලට අසමසම ප්‍රඥාවක් මුසු වී තිබූ බැවින්, ඔහු “සාලමොන්ට වඩා උතුම් කෙනෙක්” වුණා. (මතෙව් 12:42) එහෙත්, යේසුස් කිසිවිටෙකත් තමාගේ ප්‍රඥාව ප්‍රදර්ශනය කරන්ට ගියේ නැහැ. යේසුස්ගේ ඉගැන්වීම් පැහැදිලි, සරල මෙන්ම ප්‍රායෝගික ඒවා වූ නිසා, ඔහුගේ වදන් පොදු ජනයාගේ හදවත්වලට කිඳා බැස්සා.
19, 20. (අ) යේසුස් ප්‍රේමයේ කැපීපෙනෙන ආදර්ශයක් වූයේ කොහොමද? (ආ) අප යේසුස්ගේ ආදර්ශය ගැන මෙනෙහි කරත්ම, මතකයේ තබාගත යුත්තේ කුමක්ද?
19 යේසුස් ප්‍රේමයේ කැපීපෙනෙන ආදර්ශයක් වුණා. තම දේවසේවය පුරා යේසුස් සංවේදනය සහ දයානුකම්පාව ඇතුළු ප්‍රේමය, පැති බොහොමයකින් විදහාපෙන්වූවා. අනුන් වේදනා විඳිනවා දකින විට යේසුස්ගේ හදවත අනුකම්පාවෙන් උණු නොවූ අවස්ථාවක් තිබිලා නැහැ. යම් දේවල් කරන්නට යේසුස්ව යළි යළිත් පෙලඹවූයේ ඔහු තුළ තිබූ මේ දයානුකම්පාව මුසු සැලකිල්ලයි. (මතෙව් 14:14) රෝගීන්ව සුව කළත්, කුසගින්නේ සිටි අයට ආහාර දුන්නත්, යේසුස් ඊටත් වඩා උදාර අන්දමින් දයානුකම්පාව පෙන්වූවා. ඒ තමයි, මිනිස් සංහතියටම සදාතනික ආශීර්වාද ගෙනෙන දෙවිගේ රාජ්‍යය පිළිබඳ සත්‍යය දැනගැනීමටත්, පිළිගැනීමටත් ඊට ප්‍රේම කිරීමටත් ඔහු විසින් ජනයාට උපකාර කිරීම. (මාර්ක් 6:34; ලූක් 4:43) අනුන් වෙනුවෙන් තමන්ගේ ප්‍රාණය කැමැත්තෙන්ම පූජා කිරීමෙන් යේසුස් ආත්ම පරිත්‍යාගී ප්‍රේමය විදහාපෙන්වීම මේ සියල්ලම අභිභවා යනවා.—යොහන් 15:13.
20 එසේ නම්, සියලු වයස්වල හා පසුබිම්වල විසූ සියලු ජනයා මුදු මොළොක් උණුසුම්භාවයක් හා ගැඹුරු හැඟීම් තිබූ මේ මිනිසා වෙතට ඇදී යෑම පුදුමයක්ද? (මාර්ක් 10:13-16) කෙසේවෙතත්, යේසුස්ගේ ජීවමාන ආදර්ශය ගැන අප කියවා මෙනෙහි කරත්ම, මෙම පුත්‍රයා තුළින් අප දකින්නේ සිය පියාණන්ගේ පැහැදිලි ප්රතිරූපණයක් බව අපි තව තවත් මතකයේ තබාගනිමු.—හෙබ්‍රෙව් 1:3.
අපට උපකාර කිරීමට අධ්‍යයන ආධාරකයක්
21, 22. යෙහෝවාව සෙවීමට ඇතුළත් වන්නේ කුමක්ද? මෙම අධ්‍යයන ආධාරකය තුළ අඩංගු දෙය මෙම ප්රයත්නයේදී අපට උපකාරවත් වන්නේ කෙසේද?
21 තමන් ගැන තම වචනය තුළ මෙතරම් පැහැදිලිව හෙළි කිරීමෙන් පෙනී යන්නේ අප යෙහෝවාට ළං වෙනවා දකින්න ඔහුට සැබවින්ම වුවමනා බවයි. ඒ ගැන කිසිදු සැකයක් නැහැ. අනෙක් අතට, ඔහු සමඟ අනුමැතිය ලත් සබඳතාවක් භුක්ති විඳිනු පිණිස ඔහු අපට බල කරන්නේ නැහැ. ‘යෙහෝවා සම්බ වෙන්ට සිටිද්දී’ ඔහුව සෙවීම අපගේ වගකීමයි. (යෙසායා 55:6) යෙහෝවාව සෙවීම කීමෙන් අදහස් කරන්නේ බයිබලයේ හෙළි කර තිබෙන ප්‍රකාරයට ඔහුගේ ගුණාංග සහ මාර්ග ගැන දැනගැනීමයි. ඔබ දැන් කියවමින් සිටින මෙම අධ්‍යයන ආධාරකය සැලසුම් කර තිබෙන්නේ මෙම කර්තව්‍යය සඳහා ඔබට උපකාර කිරීමටයි.
22 මෙම පොත, යෙහෝවාගේ ප්‍රධාන ගති ලක්ෂණ හතර වෙන වෙනම කොටස්වලට බෙදා ඇති බව ඔබට පෙනී යනවා ඇති. ඒවා නම්, බලය, යුක්තිය, ප්‍රඥාව සහ ප්‍රේමයයි. සෑම කොටසක්ම ආරම්භ වන්නේ එම එක් එක් ගුණාංගය ගැන මූලික අදහසක් දෙමිනුයි. එම කොටසට අයත් පරිච්ඡේද කිහිපය තුළ සාකච්ඡා කෙරෙන්නේ යෙහෝවා එම එක් එක් ගුණාංගය විවිධ පැතිවලින් විදහා දක්වන අන්දමයි. තවද, මේ එක් එක් කොටස තුළ යේසුස් එම ගුණාංගය විදහාපෑ අන්දම ගැන පරිච්ඡේදයක් අඩංගු වන අතර, එම ගුණාංගය අපගේම ජීවිත තුළ පිළිබිඹු කළ හැකි අන්දම ගැනත් සෝදිසි කර තිබෙනවා.
23, 24. (අ) “මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න” යන විශේෂාංගය පැහැදිලි කරන්න. (ආ) දෙවි වෙතට තව තවත් ළංවීමට මෙනෙහි කිරීම අපට උපකාරවත් වන්නේ කෙසේද?
23 මෙම පරිච්ඡේදයේ පටන් “මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න” යනුවෙන් විශේෂ අංගයක් තිබෙනවා. නිදසුනක් වශයෙන්, 24වන පිටුවේ සඳහන් කොටුව බලන්න. එහි තිබෙන ශුද්ධ ලියවිලි පාඨ සහ ප්‍රශ්න සැලසුම් කර තිබෙන්නේ එම පරිච්ඡේදයේ පුනරීක්ෂණයක් ලෙස නොවේ. ඒ වෙනුවට, එහි අරමුණ වනුයේ එම විෂයේ වෙනත් වැදගත් පැති ගැන මෙනෙහි කිරීමට ඔබට උපකාර කිරීමයි. මෙම විශේෂාංගය ඔබට වඩාත් බලපෑමෙන් යුතුව පාවිච්චි කළ හැක්කේ කෙසේද? සඳහන් කර ඇති එක එක පදය පෙරළා පරෙස්සමින් කියවා බලන්න. ඊළඟට ඒ ඒ පදය සමඟ දක්වා තිබෙන ප්රශ්නය සලකා බලන්න. උත්තරය ගැන මෙනෙහි කරන්න. ඔබට යම් පර්යේෂණ කරන්නත් පුළුවන්. මෙවන් අමතර ප්‍රශ්න කිහිපයක් ඔබගෙන්ම අසන්න. ‘මෙම තොරතුරු මට යෙහෝවා ගැන පවසන්නේ කුමක්ද? එය මගේ ජීවිතයට බලපාන්නේ කෙසේද? අනුන්ට උදව් කිරීම සඳහා මට මෙය යොදාගත හැක්කේ කොහොමද?’
24 අප එසේ මෙනෙහි කරනවා නම්, එය අපව තව තවත් යෙහෝවාට ළං කරනවා ඇති. ඒ ඇයි? බයිබලයෙහි මෙනෙහි කිරීම හදවත සමඟ සම්බන්ධ කරනවා. (ගීතාවලිය 19:14) අප දෙවි ගැන ඉගෙනගන්නා දෙය අගයෙන් යුතුව මෙනෙහි කරනවා නම්, එම තොරතුරු අපගේ සංකේතමය හදවතට පෙරා වැටෙයි. එහිදී අපගේ සිතිවිලිවලට ඒවා බලපා, අපගේ හැඟීම් කලතා, අවසානයේදී අපව ක්‍රියාවට පොලඹවනවා. එය දෙවි කෙරෙහි ඇති අපගේ ප්‍රේමය ගැඹුරු කරනවා. අනෙක් අතට එම ප්‍රේමය අපගේ හිතේෂිවන්තම මිතුරා හැටියට ඔහුව සතුටු කිරීමට අප තුළ වුවමනාවක් ඇති කරනවා. (1 යොහන් 5:3) එවන් සම්බන්ධතාවකට පැමිණීමට නම්, අප යෙහෝවාගේ ගුණාංග සහ මාර්ග ගැන දැනගත යුතුයි. එහෙත්, පළමුව, දෙවි වෙතට ඇදී යෑමට අපව පොලඹවන එක් ප්‍රධාන හේතුවක් සපයන දෙවිගේ ස්වභාවයේ එක් පැත්තක් ගැන අපි දැන් සාකච්ඡා කරමු. එය නම් ඔහුගේ ශුද්ධකමයි.
[පාදසටහන්වල]
a “සමීප මිත්‍රත්වය” යනුවෙන් පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනය ආමොස් 3:7හි [NW] යොදා තිබෙනවා. පරමාධිපති ස්වාමි වූ යෙහෝවා තමන්ගේ “රහසිගත කාරණය” තම සේවකයන්ට හෙළි කරන බවත්, තමන් කිරීමට අරමුණු කර ඇති දෙය කලින්ම ඔවුන්ට දැනුම් දෙන බවත් එහි පවසනවා.
b නිදසුනක් වශයෙන්, දෙවිගේ මුහුණ, ඇස්, කන්, නාසය, මුඛය, අත් සහ පාද ගැන බයිබලය කතා කරනවා. (ගීතාවලිය 18:15; 27:8; 44:3; යෙසායා 60:13; මතෙව් 4:4; 1 පේතෘස් 3:12) අප එම සංකේතාත්මක යෙදුම් පදගතාර්ථයෙන්ම නොගත යුතුයි. මන්ද, යෙහෝවා “පර්වතය” හෝ “පලිහක්” යන යෙදුම්වලින් තමාව විස්තර කරන විට එයද පදගතාර්ථයෙන්ම සැලකීමට නොහැකි වන්නාක් මෙනි.—ද්විතීය කථාව 32:4; ගීතාවලිය 84:11.
මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න
ගීතාවලිය 15:1-5 තමාව මිතුරෙකු කරගැනීමට කැමති අයගෙන් යෙහෝවා අපේක්ෂා කරන්නේ මොනවාද?
ගීතාවලිය 34:1-18 යෙහෝවා ළංව සිටින්නේ කාටද? එවන් අයට ඔහු කෙරෙහි තබාගත හැක්කේ කවර නිසැකකමක්ද?
ගීතාවලිය 145:18-21 අප යෙහෝවාට ළං වනු ඇත්තේ අපේ පැත්තෙන් කුමක් කළහොත්ද?
2 කොරින්ති 6:14–7:1 අප යෙහෝවා සමඟ කිට්ටු සම්බන්ධතාවක් පවත්වාගැනීමට නම්, කෙබඳු හැසිරීමක් අත්‍යවශ්‍ය වන්නේද?
[19වන පිටුවේ පින්තූරය]
යෙහෝවාට ළංවීමට බයිබලය අපට උපකාර වෙයි
[21වන පිටුවේ පින්තූර]
යෙහෝවා තමන්ව හෙළි කර තිබෙන්නේ ඔහුගේ මැවිලිවලින් සහ ඔහුගේ ලිඛිත වචනයෙනි