දහතුන්වෙනි පරිච්ඡේදය
‘දෙවි පැවසූ දේ ඒ අයුරින්ම ඉටු කළා’
1. යෙරුසලමේ විනාශය දුටු යෙරෙමියා, දෙවි දැන්වූ අනාවැකි ගැන පැවසුවේ කුමක්ද?
යෙරුසලම බිඳ වැටී ඇත. බැබිලෝනිවරුන් ඇවුළූ ගින්න තවමත් දැල්වෙමින් පවතියි. සෙනඟ මර ළතෝනි දුන් හඬ යෙරෙමියාගේ දෙසවන්වල තවමත් දෝංකාර නඟයි. යෙරුසලමේ වැසියන්ට මෙවැනි විපතකට මුහුණ දීමට සිදු වන බව දෙවි කලින්ම යෙරෙමියාට පවසා තිබුණා. දෙවි පැවසූ දේ අකුරටම ඉටු වුණා. “යෙහෝවා දෙවි තමා තීරණය කළ ලෙසම ක්‍රියා කළේය. ඔහු පැවසූ දේ ඒ අයුරින්ම ඉටු කළේය” කියා යෙරෙමියා පැවසුවේ ඒ නිසයි. ඇත්තෙන්ම යෙරුසලමට සිදු වූ විනාශය කොතරම් දරුණුද!—විලාප ගී 2:17 කියවන්න.
2. යෙරෙමියා දුටුවේ සියවස් ගණනාවකට කලින් පැවසූ කුමන අනාවැකියේ ඉටු වීමද?
2 යෙරුසලමේ විනාශය ඇතුළුව දෙවි තමා මාර්ගයෙන් හා අතීතයේ සිටි අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ බොහෝ දේවල ඉටු වීම යෙරෙමියා දුටුවා. උදාහරණයකට ඊශ්‍රායෙල් සෙනඟ දෙවිට කීකරුව ජීවත් වුණොත් ඔවුන්ට “ආශීර්වාද” අද්දකින්න හැකි වන බවත් ඔවුන් දෙවිට අකීකරු වුණොත් ඔවුන් පිටට “ශාප” පැමිණෙන බවත් සියවස් ගණනාවකට කලින් මෝසෙස් පැවසුවා. ඒ ශාප මොන තරම් දරුණුද කියනවා නම් දෙවි මෝසෙස් මාර්ගයෙන් ඔවුන්ට පැවසුවේ, “ඔබ ඔබේම පුත්‍රයන්ගේද දූවරුන්ගේද මාංස කන්නහුය” කියායි. පසු කාලයක යෙරෙමියාත් එම අනතුරු ඇඟවීම ඊශ්‍රායෙල් සෙනඟට මතක් කළා. (ද්වි. 30:19, 20; ලෙවී. 26:29; යෙරෙ. 19:9) ඒ වදන් ඒ අයුරින්ම ඉටු වුණා. බැබිලෝනිවරුන් යෙරුසලම වටලා සිටි කාලයේදී එහි සිටි වැසියන්ට කෑමට කිසිවක් නොතිබුණු නිසා ‘දරු සෙනෙහසින් පිරී සිටි මව්වරු පවා තම දරුවන්ව තම්බා කෑවා.’—විලා. 4:10.
3. දෙවි අනාගතවක්තෘවරුන්ව තම සෙනඟ වෙතට යැව්වේ ඇයි?
3 දෙවි යෙරෙමියා වැනි අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැමිණීමට නියමිත විනාශයන් ගැන දැනුම් දුන්නේ සෙනඟ කරමින් සිටි වැරදි ක්‍රියා අත්හැර නැවත තමා වෙතට හැරී එනවා දකින්න දෙවි කැමති වූ නිසයි. එස්රා පැවසූ මේ දෙයින් ඒ බව පැහැදිලියි. “ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා, තම සෙනඟට අනුකම්පා කළ නිසාත් තම ගෘහය ගැන ඔහුට සිහි වූ නිසාත් පණිවිඩකරුවන්ව එවා ඔවුන්ට නැවත නැවතත් අනතුරු ඇඟෙව්වේය.”—2 ලේක. 36:15; යෙරෙමියා 26:3, 12, 13 කියවන්න.
4. සෙනඟට දැන්වීමට තිබූ අනතුරු ඇඟවීම ගැන යෙරෙමියාට තිබුණේ මොන වගේ ආකල්පයක්ද?
4 දෙවිට මෙන් යෙරෙමියාටත් සෙනඟ ගැන අනුකම්පාවක් දැනුණා. වැරදි ක්‍රියා අත්හැර පසුතැවිලි වන්න කියා ඔහු මහත් ඕනෑකමින් සෙනඟගෙන් ඉල්ලා සිටියේ ඒ නිසයි. සෙනඟ ඔහුට සවන් දී ඊට එකඟව ක්‍රියා කළා නම් විනාශයෙන් බේරීමට ඔවුන්ට හැකිකම තිබුණා. නමුත් යුදෙව්වන් පසුතැවිලි නොවී දිගින් දිගටම මුරණ්ඩු ලෙස ක්‍රියා කළ නිසා ඔවුන්ට අනිවාර්යයෙන්ම දෙවි ගෙනෙන විනාශයට මුහුණ දීමට සිදු වන බව යෙරෙමියා දැන සිටියා. ඒ ගැන මහත් සේ දුකට පත් වූ යෙරෙමියා මෙසේ පැවසුවා. “අනේ, මට දැනෙන මේ වේදනාව කොතරම්ද! මගේ හදවත වේදනාවෙන් පිරී ඇත. මගේ සිත බොහෝ සෙයින් කැලඹී ඇත. මට දසත ඇසෙන්නේ යුද්ධය ගැන අනතුරු අඟවන හොරණෑ හඬ පමණි. ඒ නිසා මට මේ විපත ගැන ප්‍රකාශ නොකර සිටිය නොහැක.” (යෙරෙ. 4:19) ඔහුට තම සෙනඟ ගැන දැනුණු අනුකම්පාව නිසා ඔහු අත් නෑර පැමිණීමට නියමිත විනාශය ගැන අනතුරු ඇඟෙව්වා.
ස්ථිර විශ්වාසයක්
5. දෙවි තමන් මාර්ගයෙන් ප්‍රකාශ කළ පණිවිඩ ගැන යෙරෙමියාට මහත් විශ්වාසයක් තිබුණේ ඇයි?
5 දෙවි තමන් මාර්ගයෙන් ප්‍රකාශ කළ අනාවැකි අනිවාර්යයෙන්ම ඉටු වන බවට ස්ථිර විශ්වාසයක් යෙරෙමියා තුළ තිබුණා. (යෙරෙ. 1:17; 7:30; 9:22) එවැනි විශ්වාසයක් ඔහුට තිබුණේ දෙවි යමක් පැවසුවොත් එය අනිවාර්යයෙන්ම ඉටු කරන බව ශුද්ධ ලියවිලි හොඳින් අධ්‍යයනය කිරීමෙන් ඔහු තේරුම්ගෙන සිටි නිසයි. උදාහරණයකට ඊජිප්තුවේ වහලුන්ව සිටි ඊශ්‍රායෙල් සෙනඟව නිදහස් කරන බව දෙවි පවසා තිබුණා. මිනිසුන්ගේ කෝණයෙන් බලන විට නම් එම අනාවැකිය ඉටු වෙයි කියා සිතාගන්නවත් බැහැ. නමුත් දෙවි පොරොන්දු වූ ලෙස එය ඉටු කළා. ඒ පිළිබඳ විස්තර ඇතුළත් නික්මයාම වාර්තාව ගැනත් එම අනාවැකියේ ඉටු වීම ඇසින් දුටු යොෂුවා පසු කාලයක ඊශ්‍රායෙල් සෙනඟට පැවසූ මේ වදන් ගැනත් යෙරෙමියාට හොඳ අවබෝධයක් තිබුණා. “ඔබත් මමත් නමස්කාර කරන යෙහෝවා දෙවි අපට දුන් එක පොරොන්දුවක්වත් කඩ කළේ නැහැ කියා ඔබ හොඳින් දන්නවා. ඔහු දුන් සෑම පොරොන්දුවක්ම ඒ විදිහටම ඔහු ඉටු කළා.”—යොෂු. 23:14.
6, 7. (අ) යෙරෙමියා පැවසූ අනාවැකි අප සලකා බැලීම වැදගත් වන්නේ ඇයි? (ආ) ඔබ දේශනා කරන පණිවිඩය අනිවාර්යයෙන්ම ඉටු වන බවට වූ විශ්වාසය තවත් ශක්තිමත් කරගැනීමට ඔබට හැක්කේ කෙසේද?
6 යෙරෙමියාට දෙවිගේ අනාවැකිවල ඉටු වීම ගැන මහත් විශ්වාසයක් තිබූ නිසා ඔහු මාර්ගයෙන් දෙවි පැවසූ අනාවැකි ගැන අපත් සලකා බැලීම වැදගත්. යෙරෙමියා පැවසූ අනාවැකි සලකා බැලීමට තවත් ප්‍රබල හේතුවක් තිබෙනවා. එනම් දෙවි යෙරෙමියා මාර්ගයෙන් පැවසූ සමහරක් අනාවැකි අද ඉටු වෙමින් පවතින අතර තවත් සමහරක් අනාවැකි ඉදිරියේදී ඉටු වීමට නියමිත වීමයි. යෙරෙමියා අනාගතවක්තෘවරුන් අතරේ කැපීපෙනුණු අනාගතවක්තෘවරයෙකු වීමත් ඔහු පැවසූ අනාවැකි අප සලකා බැලීමට හේතුවක්. යෙරෙමියා කොතරම් කැපීපෙනුණු පුද්ගලයෙකුද කියනවා නම් යේසුස් පොළොවේ සිටි කාලයේදී මිනිසුන් ඔහුව යෙරෙමියාට සමාන කළා.—මතෙ. 16:13, 14.
7 යෙරෙමියා මෙන් අපත් ජීවත් වන්නේ බයිබලයේ තිබෙන අනාවැකි ඉටු වන කාලයකයි. ඒ නිසා යෙරෙමියාට මෙන් අපටත් දෙවිගේ පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු වන බවට ස්ථිර විශ්වාසයක් තිබීම අත්‍යවශ්‍යයි. (2 පේතෘ. 3:9-14) එවැනි විශ්වාසයක් අපට ඇති කරගත හැක්කේ කෙසේද? දෙවි පවසා තිබෙන අනාවැකි ඉටු වී තිබෙන ආකාරය සලකා බැලීමෙන් එවැනි විශ්වාසයක් ඇති කරගැනීමට අපට හැකියි. මේ පරිච්ඡේදය අපට ඒ සඳහා අත්වැලක්. අප මේ පරිච්ඡේදයේ යෙරෙමියා පැවසූ අනාවැකි කිහිපයක් ගැන සලකා බලනවා. ඊට යෙරෙමියාගේ කාලයේ ඉටු වූ අනාවැකි, පසු කාලයක ඉටු වූ අනාවැකි, අද දින ඉටු වන හා අනාගතයේ ඉටු වීමට නියමිත අනාවැකි ඇතුළත් වෙනවා. අප ඒවා අධ්‍යයනය කරන විට දෙවි පවසා තිබෙන දේවල් ඔහු අනිවාර්යයෙන්ම ඉටු කරන බවට වූ අපේ විශ්වාසය තවත් ශක්තිමත් වන බව නිසැකයි. එවිට “යෙහෝවා දෙවි තමා තීරණය කළ ලෙසම ක්‍රියා කළේය. ඔහු පැවසූ දේ ඒ අයුරින්ම ඉටු කළේය” කියා යෙරෙමියා මෙන් අපටත් පැවසීමට හැකි වෙයි.—විලා. 2:17.
දෙවි අනාගතවක්තෘවරුන්ව සෙනඟ වෙතට යැව්වේ ඇයි? පැමිණීමට නියමිත විනාශය ගැන සඳහන් අනාවැකි ඉටු වන බව ඔබ විශ්වාස කරන්නේ ඇයි?
යෙරෙමියාගේ කාලයේ ඉටු වූ අනාවැකි
8, 9. බයිබලය අද්විතීය පොතක් කියා පැවසිය හැක්කේ ඇයි?
8 ආර්ථික විද්‍යාඥයන්, දේශපාලනඥයන්, ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් හා කාලගුණ විද්‍යාඥයන් විවිධ අනාවැකි පළ කරනවා. නමුත් ඔවුන්ට යම් දේවල් සතියකට කලින්, අඩුම තරමින් දවස් කිහිපයකට කලින්වත් නිවැරදිව පැවසිය නොහැකියි. කෙසේවෙතත් බයිබලයේ සඳහන් අනාවැකි නම් ඒ අයුරින්ම ඉටු වී තිබෙනවා. බයිබලය අද්විතීය පොතක් වීමට එය ප්‍රබල හේතුවක්. (යෙසා. 41:26; 42:9) යෙරෙමියා පැවසූ අනාවැකි සලකා බලන විට අපට එම කාරණය තවත් තහවුරු වෙනවා. ඔහු ජාතීන් ගැනත් යම් පුද්ගලයන් ගැනත් අනාවැකි පැවසුවා. දැන් අපි යෙරෙමියාගේ කාලයේදීම ඉටු වූ එවැනි අනාවැකි කිහිපයක් ගැන සලකා බලමු.
9 බැබිලෝනිය බලවත් ජාතියක් වී බොහෝ ජාතීන්ව යටත් කරගන්නා බව යෙරෙමියා දෙවිගේ මඟ පෙන්වීමෙන් දැන්වූවා. යූදා ඇතුළු ඒ අවට සිටි විවිධ ජාතීන්ට විරුද්ධව ඇවිළී තිබුණු දෙවිගේ උදහස දෙවි ප්‍රකාශ කරන්නේ බැබිලෝනිවරුන් මාර්ගයෙන් බව ඔහු පැවසුවා. එහි ප්‍රතිඵලයක් ලෙස එම ජාතීන් බැබිලෝනිවරුන්ගේ වහලුන් වන බව ඔහු ප්‍රකාශ කළා. (යෙරෙ. 51:7) දෙවි පැවසූ එම අනාවැකියේ ඉටු වීම යෙරෙමියා ඇතුළු ඔහුගේ කාලයේ සිටි අය අද්දැක්කා.—යෙරෙ. 25:15-29; 27:3-6; 46:13.
10. යූදාහි සිටි රජවරුන් හතරදෙනෙකු ගැන දෙවි පැවසූ අනාවැකි මොනවාද?
10 යූදාහි රජවරුන් හතරදෙනෙකුට සිදු වන දේ ගැනත් දෙවි යෙරෙමියා මාර්ගයෙන් අනාවැකි පැවසුවා. යොෂියාගේ පුත්‍රයෙකු වන යෙහෝයහාෂ් රජ (ෂල්ලුම්) ඔවුන්ගෙන් එක් කෙනෙක්. ඔහුව වහලෙකු ලෙස රැගෙන යන බවත් ඔහු නැවත කිසිදාක යූදා දේශයට පැමිණෙන්නේ නැති බවත් දෙවි පැවසුවා. (යෙරෙ. 22:11, 12) එම අනාවැකිය ඒ අයුරින්ම ඉටු වුණා. (2 රාජා. 23:31-34) යෙහෝයහාෂ් රජුගෙන් පසුව රජකමට පත් වූ යෙහෝයාකිම් ගැනත් යෙරෙමියා අනාවැකියක් පැවසුවා. ඔහු කියා සිටියේ, “මිය ගිය බූරුවෙකුව යෙරුසලමේ දොරටුවලින් පිටතට ඇදගෙන ගොස් වීසි කර දමන්නාක් මෙන් ඔහුගේ මළ කඳත් වීසි කර දමනු ඇත” කියායි. ඉන් පෙන්නුම් කළේ ඔහුට ගෞරවනීය භූමදානයක් නොලැබෙන බවයි. (යෙරෙ. 22:18, 19; 36:30) යෙහෝයාකිම් රජු මිය ගියේ කෙසේද කියාවත් ඔහුගේ මළ කඳට කළේ කුමක්ද කියාවත් බයිබලයේ නිශ්චිතව සඳහන් වන්නේ නැහැ. නමුත් ඔහුගේ පුත්‍රයා වූ යෙහෝයාකින් රජකමට පත් වුණේ බැබිලෝනිවරුන් යෙරුසලම වටලා සිටි කාලයේදී නිසා යෙහෝයාකිම් රජු මිය ගියේ යෙරුසලම සතුරු ආක්‍රමණයකට ලක්ව තිබූ අවදියකයි කියා පැවසිය හැකියි. දෙවි යෙහෝයාකින් රජු (කොනියා හා යෙකොනියා) ගැනත් අනාවැකියක් පැවසුවා. ඔහුව වහලෙකු ලෙස බැබිලෝනියට රැගෙන යන බවත් ඔහු එහිදී මිය යන බවත් එම අනාවැකියට ඇතුළත් වුණා. (යෙරෙ. 22:24-27; 24:1) එයත් එලෙසම ඉටු වුණා. යූදාහි අවසාන රජු වූ ශෙදකියා ගැන පැවසුවේ ඔහුව සතුරන්ගේ අතට හසු වන අතර සතුරන් ඔහුට කිසි අනුකම්පාවක් නොපෙන්වන බවයි. (යෙරෙ. 21:1-10) එම අනාවැකියත් සැබෑවක් වුණා. බැබිලෝනිවරුන් ඔහුව අල්ලාගත් අතර ඔහුගේ පුත්‍රයන්ව ඔහු ඉදිරියේම මරා දැමුවා. පසුව ඔහුගේ ඇස් අන්ධ කර ඔහුව බැබිලෝනියට රැගෙන ගිය අතර ඔහු මිය ගියේ එහිදීයි.—යෙරෙ. 52:8-11.
11. හනනියා කියන්නේ කවුද? දෙවි ඔහු ගැන පැවසූ අනාවැකිය කුමක්ද?
11 බොරු අනාවැකි පැවසූ හනනියා නම් අනාගතවක්තෘවරයා ගැනත් යෙහෝවා දෙවි යෙරෙමියා මාර්ගයෙන් අනාවැකියක් පැවසුවා. ශෙදකියා රජුගේ පාලන කාලයේදී හනනියා කියා සිටියේ නෙබුකද්නෙෂර් රජු යූදා හා අනිකුත් ජාතීන් පිට තබා තිබෙන වියගහ දෙවි කඩා දමන බවයි. නමුත් හනනියා පවසන්නේ බොරුවක් බවත් බොහෝ ජාතීන්ට බැබිලෝනිවරුන්ට යටත් වීමට සිදු වන බවත් යෙරෙමියා නැවතත් ප්‍රකාශ කළා. බොරු අනාවැකි පැවසූ නිසා හනනියා එම අවුරුද්ද ඇතුළතදී මිය යන බවත් යෙරෙමියා පැවසුවා. ඒ අනාවැකියත් එලෙසම ඉටු වුණා.—යෙරෙමියා 28:10-17 කියවන්න.
12. යෙරෙමියා පැවසූ ප්‍රධානතම අනාවැකියට යුදෙව්වන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?
12 යෙරෙමියා මාර්ගයෙන් දෙවි පැවසූ අනාවැකි අතරින් ප්‍රධානම අනාවැකිය වුණේ යෙරුසලමේ විනාශය ගැන ප්‍රකාශ කළ අනාවැකියයි. යුදෙව්වන් වෙනත් දෙවිවරුන්ට කරමින් සිටි නමස්කාරයෙන් ඉවත් වී, අසාධාරණ, සැහැසික ක්‍රියාවන් අත්හැර, පසුතැවිලි වී නැවතත් දෙවි වෙතට හැරී ආවේ නැත්නම් යෙරුසලම පිටට අනිවාර්යයෙන්ම විනාශය පැමිණෙන බව නැවත නැවත යෙරෙමියා පැවසුවා. (යෙරෙ. 4:1; 16:18; 19:3-5, 15) නමුත් යුදෙව්වන් සිතුවේ දෙවිගේ ගෘහය යෙරුසලමේ තිබෙන නිසා දෙවි කවදාවත් යෙරුසලම විනාශ කරන්නේ නැහැ කියායි. කෙසේවෙතත් දෙවි බොරු නොකියන දෙවි කෙනෙකු නිසා ඔහු පැවසූ ලෙසම එම අනාවැකිය ඉටු වුණා.—යෙරෙ. 52:12-14.
13. (අ) අප ජීවත් වන කාලය යෙරෙමියා ජීවත් වූ කාලයට සමාන වන්නේ කෙසේද? (ආ) යෙරෙමියාගේ කාලයේ දෙවිට විශ්වාසවන්තව සිටි අයට දෙවි දුන් පොරොන්දු ඉටු වූ ආකාරය සලකා බැලීම ඔබට වැදගත් වන්නේ ඇයි?
13 යෙරෙමියාගේ කාලයේ දෙවිට විශ්වාසවන්තව සිටි අය සම්බන්ධයෙන් දෙවි පැවසූ දේවල් ඉටු වූ ආකාරය සලකා බැලීමෙන්ද අද දින අපට මහත් ශක්තියක් ලැබෙනවා. රේකාබ්වරුන් දෙවිට විශ්වාසවන්තව සිටි නිසාත් ඔවුන්ගේ මුතුන්මිත්තා දුන් ආඥාවලට කීකරු වූ නිසාත් දෙවි පැවසුවේ රේකාබ්වරුන් යෙරුසලමේ විනාශයෙන් බේරෙන බවයි. ඔවුන් ඇත්තටම යෙරුසලමේ විනාශයෙන් බේරුණු බව පැවසීමට අපට සාක්ෂි තිබෙනවා. මන්ද ආණ්ඩුකාර නෙහෙමියාගේ කාලයේ යෙරුසලමේ අලුත්වැඩියා කටයුතු කරන විට ඒ සඳහා “රේකාබ්ගේ පුත් මල්කියා” හවුල් වූ බව සඳහන් වී තිබෙනවා. (නෙහෙ. 3:14; යෙරෙ. 35:18, 19) දෙවි කෙරෙහි විශ්වාසය තබමින් යෙරෙමියාට උපකාර කළ ඒබෙද්-මෙලෙක්ද යෙරුසලමේ විනාශයෙන් බේරෙන බව දෙවි පැවසුවා. එයත් සැබෑවක් වුණා. (යෙරෙ. 38:11-13; 39:15-18) යෙරෙමියා සමඟ එක්ව සේවය කළ බාරුක්ගේ “ජීවිතය ආරක්ෂා කරන්නෙමි” කියාත් දෙවි පොරොන්දු වුණා. (යෙරෙ. 45:1, 5) දෙවි පොරොන්දු වූ ලෙස යෙරුසලමේ විනාශයෙන් බේරීමට බාරුක්ටත් හැකි වුණා. අපත් ජීවත් වන්නේ දෙවි දුෂ්ටයන්ට විරුද්ධව පියවර ගැනීමට ආසන්න කාලයකයි. එසේනම් ඔවුන් මෙන් අපත් දෙවිට විශ්වාසවන්තව සිටියොත් දෙවිගේ රැකවරණය ලැබිය හැකි බවට ඔබ තුළ නිසැකකමක් ඇති වන්නේ නැද්ද?—2 පේතෘස් 2:9 කියවන්න.
දෙවි පවසන අනාවැකි අනිවාර්යයෙන්ම ඉටු වන බව දැන සිටීම ඒබෙද්-මෙලෙක්ට, බාරුක්ට හා රේකාබ්වරුන්ට බලපෑවේ කෙසේද? දෙවි පැවසූ අනාවැකි ගැන ඔබට හැඟෙන්නේ කෙසේද?
පසු කාලයක ඉටු වූ අනාවැකි
14. බැබිලෝනිවරුන් ඊජිප්තුව යටත් කරගැනීම සම්බන්ධයෙන් දෙවි පැවසූ අනාවැකිය පුදුම දනවන අනාවැකියක් කියා පැවසිය හැක්කේ ඇයි?
14 නෙබුකද්නෙෂර් රජු යූදා දේශය පමණක් නොව ඊජිප්තුව යටත් කරගන්නා බවටත් දෙවි අනාවැකියක් පැවසුවා. (යෙරෙ. 25:17-19) එම අනාවැකිය ඉටු වෙයි කියා විශ්වාස කිරීම ඉතා අසීරු දෙයක් වෙන්න ඇති. මන්ද ඒ කාලයේ ඊජිප්තුව ඉතා බලවත් රාජ්‍යයක්ව තිබුණු අතර යූදා දේශය තිබුණෙත් ඊජිප්තුවේ පාලනය යටතෙයි. (2 රාජා. 23:29-35) එම අනාවැකිය පවසා කාලයක් ගත වූ පසු යෙරුසලම බැබිලෝනිවරුන් අතින් විනාශ වූ අතර එහි ඉතුරුව සිටි සමහර යුදෙව්වන් ආරක්ෂාව පතා ඊජිප්තුවට යෑමට උත්සාහ කළා. නමුත් දෙවි ඔවුන්ට පවසා තිබුණේ ඊජිප්තුවට නොයන්න කියායි. දෙවිට අකීකරු වී ඊජිප්තුවට පලා ගියොත් යුදෙව්වන් භයෙන් සිටින සතුරා වන නෙබුකද්නෙෂර් රජු එතැනටත් පැමිණ ඔවුන්ට පහර දෙන බවට දෙවි අනතුරු ඇඟෙව්වා. ඔවුන් දේශයේම රැඳී සිටියොත් ඔවුන්ව රැකබලා ගන්නා බවත් දෙවි පවසා තිබුණා. (යෙරෙ. 42:10-16; 44:30) බැබිලෝනිවරුන් ඊජිප්තුව යටත් කරගත් ආකාරය තමන් දුටු බව යෙරෙමියා තම වාර්තාවේ සඳහන් කර නැහැ. නමුත් ක්‍රි.පූ. හයවෙනි සියවසේ මුල්භාගයේදී බැබිලෝනිවරුන් ඊජිප්තුව යටත් කරගත් විට දෙවි පැවසූ අනාවැකියේ ඉටු වීම ඊජිප්තුවට පලා ගිය යුදෙව්වන් අද්දුටු බව නම් නිසැකයි.—යෙරෙ. 43:8-13.
15, 16. යුදෙව්වන්ව බැබිලෝනියෙන් නිදහස් කරන බවට දෙවි පැවසූ අනාවැකිය ඉටු වුණේ කෙසේද?
15 දෙවි යෙරෙමියා මාර්ගයෙන් පැවසූ තවත් අනාවැකියක් වන්නේ බැබිලෝනිවරුන්ගේ වැටීම ගැන ප්‍රකාශ කළ අනාවැකියයි. බැබිලෝනිය අධිරාජ්‍යය එක සැණින් වැටෙන බවත් එය සිදු වන්නේ කෙසේද කියාත් යෙරෙමියා අනාවැකි පැවසුවේ බැබිලෝනියේ වැටීමට සියවසකට පමණ පෙරයි. යෙරෙමියා පැවසුවේ බැබිලෝනියට ආරක්ෂාව සලසන ජල ධාරාවෝ ‘සිඳී යන’ අතර එය යටත් කරගන්නා විට එහි සිටින දක්ෂ යුධ සෙබළුන් කිසි සටනක් නොකර සිටින බවයි. (යෙරෙ. 50:38; 51:30) මේදිය හා පර්සියානු හමුදාවන් යුප්‍රටීස් ගඟේ ජලය වෙනතකට හරවා එහි ජල මට්ටම පහතට බැස ගිය පසු ඒ හරහා ගොස් බැබිලෝනිය නුවරට ඇතුල් වී අනපේක්ෂිත අයුරින් බැබිලෝනිය යටත් කරගත් විට යෙරෙමියා මාර්ගයෙන් දෙවි පැවසූ එම අනාවැකිය ඉටු වුණා. බැබිලෝනිය අධිරාජ්‍යය වැටී යන බව පමණක් නොව එය සදහටම කිසි මිනිස් වාසයක් නැති පාළු තැනක් වන බවත් යෙරෙමියා පැවසුවා. (යෙරෙ. 50:39; 51:26) අදටත් එම නුවර කිසිවෙකු වාසය නොකරන නටබුන් ගොඩක් වී තිබෙන නිසා දෙවි පැවසූ එම අනාවැකියත් කොතරම් නිවැරදිව ඉටු වී තිබෙනවාද කියා අපට පැහැදිලියි.
16 යුදෙව්වන් අවුරුදු 70ක් බැබිලෝනියේ වහලුන්ව සිටි පසු ඔවුන්ව නැවත මව්බිමට රැගෙන එන බව දෙවි යෙරෙමියා මාර්ගයෙන් අනාවැකියක් පැවසුවා. (යෙරෙමියා 25:8-11; 29:10 කියවන්න.) ඒ අනාවැකිය අනිවාර්යයෙන්ම ඉටු වන බවට දානියෙල් තුළ මහත් විශ්වාසයක් තිබුණා. ‘යෙරුසලම පාළුවට යන්න’ ඉඩහැර තිබෙන කාලය අවසන් වන්නේ කවදාද කියා තේරුම්ගැනීමට ඔහු යෙරෙමියා පැවසූ එම අනාවැකිය අධ්‍යයනය කළේ ඒ නිසයි. (දානි. 9:2) “යෙරෙමියා මාර්ගයෙන් යෙහෝවා දෙවි පැවසූ වචන ඉටු කරන පිණිස යෙහෝවා දෙවි සයිරස් රජුගේ සිත පෙලඹුවේය” කියා එස්රා වාර්තා කර තිබෙනවා. (එස්රා 1:1-4) එසේ දෙවි යුදෙව්වන්ව බැබිලෝනියෙන් නිදහස් කළ නිසා ඔවුන්ට නැවත යෙරුසලමට පැමිණ සාමකාමීව ජීවත් වීමට හැකි වූ අතර සැබෑ නමස්කාරය එහි නැවත පිහිටුවීමට හැකි වුණා.—යෙරෙ. 30:8-10; 31:3, 11, 12; 32:37.
17. යෙරෙමියා 31:15හි සඳහන් අනාවැකිය අවස්ථා දෙකකදී ඉටු වූ ආකාරය විස්තර කරන්න.
17 තමා ජීවත් වූ කාලයට සෑහෙන කාලයකට පසුව ඉටු වන අනාවැකි ගැනත් යෙරෙමියා ප්‍රකාශ කළා. “යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘ශෝකයෙන් විලාප දෙන හඬක් රාමාහි ඇසිණ. ඒ තම පුත්‍රයන් වෙනුවෙන් හඬා වැලපෙන රාකෙල්ගේ හඬයි. පුත්‍රයන් අහිමි වූ නිසා හඬා වැලපෙමින් සිටින ඇයව සැනසවීමට කොතෙකුත් උත්සාහ කළත් ඇය සැනසීමට කැමති වුණේ නැත’” කියා පැවසූ අනාවැකිය එවැනි එක් අනාවැකියක්. (යෙරෙ. 31:15) ක්‍රිස්තු පූර්ව 607දී යෙරුසලම විනාශ වූ පසු බැබිලෝනිවරුන් යුදෙව් වහලුන්ව යෙරුසලමට කිලෝමීටර් අටක් පමණ උතුරු දෙසින් පිහිටි රාමා නම් නගරයට රැස් කළා. එහිදී වහලුන්ගෙන් සමහරදෙනෙකුව ඔවුන් ඝාතනය කරන්න ඇති. එසේනම් එය යෙරෙමියා 31:15හි සඳහන් අනාවැකියේ මුල්ම ඉටු වීම විය හැකියි. කෙසේවෙතත් එම සිද්ධියෙන් සියවස් හයකට පමණ පසු හෙරොද් රජ බෙත්ලෙහෙමේ සිටි පිරිමි දරුවන්ව මරා දැමුවා. මතෙව් එම සිද්ධිය විස්තර කර තිබෙන්නේ එය යෙරෙමියා මාර්ගයෙන් පැවසූ අනාවැකියක ඉටු වීමක් ලෙසයි.—මතෙ. 2:16-18.
18. ඒදොම්වරුන් සම්බන්ධයෙන් පැවසූ අනාවැකිය ඉටු වුණේ කෙසේද?
18 යෙරෙමියා මාර්ගයෙන් පැවසූ තවත් අනාවැකියක් ක්‍රිස්තු වර්ෂ පළමුවෙනි සියවසේදී ඉටු වුණා. බැබිලෝනිවරුන් යටත් කරගන්නා ජාතීන් අතරේ ඒදොම්වරුන් සිටින බව දෙවි පවසා තිබුණා. (යෙරෙ. 25:15-17, 21; 27:1-7) ඒ විතරක් නොව සොදොම් හා ගොමෝරාව මෙන් ඒදොම් දේශයත් සහමුලින්ම විනාශ කරන බවත් එය සදහටම පාළුවට යන බවත් දෙවි යෙරෙමියා මාර්ගයෙන් පැවසුවා. (යෙරෙ. 49:7-10, 17, 18) ඇත්තටම සිදු වුණෙත් ඒ දෙයමයි. අද ඒදොම් කියා දේශයක්වත් ඒදොම්වරුන් කියා ජාතියක්වත් පොළොවේ නැහැ. ඉතිහාසඥ ෆ්ලේවියස් ජොසීෆස්ට අනුව ක්‍රි.පූ. දෙවෙනි සියවසේදී පමණ ඒදොම්වරුන්ව බලෙන් යුදෙව් ආගමට හරවාගත් අතර ක්‍රි.ව. 70දී යෙරුසලම විනාශ වීමත් සමඟම ඒදොම් ජාතිය නැත්තටම නැති වුණා.
19. දෙවි පවසන අනාවැකි ඒ අයුරින්ම ඉටු වන බව යෙරෙමියා පොත අධ්‍යයනය කිරීමෙන් අපට පැහැදිලි වන්නේ කෙසේද?
19 විවිධ පුද්ගලයන් හා විවිධ ජාතීන් ගැන සඳහන් වන අනාවැකිවලින් යෙරෙමියා පොත පිරී තිබෙනවා. ඒ අනාවැකිවලින් බොහොමයක් මේ වන විට ඉටු වී හමාරයි. යෙරෙමියා පොත අධ්‍යයනය කිරීමට එයම හොඳ හේතුවක් නොවේද? දෙවි තමා තීරණය කළ ලෙසම ක්‍රියා කර තිබෙන බවත් ඔහු පැවසූ දේ ඒ අයුරින්ම ඉටු කරන බවත් යෙරෙමියා පොත අධ්‍යයනය කිරීමෙන් තහවුරු වන නිසා අනාගතයේදී දෙවි කිරීමට පොරොන්දු වී තිබෙන දේවල් ඉටු වන බවට අපට ස්ථිර විය හැකියි. (යෙසායා 46:9-11 කියවන්න.) ඇත්තටම යෙරෙමියා පවසා තිබෙන සමහරක් අනාවැකිවල ඉටු වීම අද අප අද්දකින අතර තවත් සමහරක් ඒවා අනාගතය හා සම්බන්ධයි. දැන් අපි ඒවායින් කිහිපයක් සලකා බලමු.
යෙරෙමියාගේ කාලයෙන් පසුව ඉටු වූ අනාවැකි සමහරක් මොනවාද? එම අනාවැකිවල ඉටු වීම ඔබට වැදගත් වන්නේ ඇයි?
දැන් ඉටු වන හා ඉදිරියේදී ඉටු වීමට නියමිත අනාවැකි
20-22. බයිබලයේ සඳහන් සමහරක් අනාවැකිවල ඉටු වීම එක් අවස්ථාවකට පමණක් සීමා වී නැහැ කියා පැවසිය හැක්කේ ඇයි? පැහැදිලි කරන්න.
20 බයිබලයේ සඳහන් සමහරක් අනාවැකිවල ඉටු වීම එක් අවස්ථාවකට පමණක් සීමා වී නැහැ. උදාහරණයකට යේසුස්ගේ ගෝලයන්, “ඔබ පැමිණ සිටින කාලය හා පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය දැනගන්න කුමක් හෝ ලකුණක් තිබෙනවාද” කියා යේසුස්ගෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරක් ලෙස ඔහු දුන් අනාවැකිය එවැනි එක් අනාවැකියක්. (මතෙ. 24:3) ක්‍රිස්තු වර්ෂ 66 සිට 70 දක්වා කාලයේදී එම අනාවැකිය යම් ප්‍රමාණයකින් ඉටු වුණා. නමුත් ඒ අනාවැකිය “මහත් පීඩාව” අතරතුරේ මහා පරිමාණයෙන් ඉටු වීමට නියමිතයි. ඒ මහත් පීඩාව “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නොවූ නැවත කිසිදාක සිදු නොවන” පීඩාවක් කියා යේසුස් පැවසුවා. (මතෙ. 24:21) ඒ හා සමානව යෙරෙමියා සඳහන් කර තිබෙන සමහරක් අනාවැකිවල ඉටු වීමත් එක් අවස්ථාවකට පමණක් සීමා වී නැහැ. ඔහු පැවසූ සමහරක් අනාවැකි ක්‍රි.පූ. 607දී ඉටු වූ අතර ඒවා පසු කාලයක නැවත වතාවක් ඉටු වීමට නියමිතව තිබුණා. “තම පුත්‍රයන් වෙනුවෙන් හඬා වැලපෙන රාකෙල්” ගැන සඳහන් අනාවැකිය ඊට එක් උදාහරණයක්. (යෙරෙ. 31:15) ඔහු සඳහන් කළ තවත් සමහරක් අනාවැකි නැවත වතාවක් ඉටු වන්නේ අපේ කාලයේ වන අතර ඒවා අපට බොහෝ සෙයින් වැදගත්.
21 අසත්‍යය උගන්වන ආගම් නියෝජනය කරන ‘මහ බැබිලෝනියේ’ වැටීම ගැන දෙවිගේ මඟ පෙන්වීමෙන් යොහන් පැවසූ අනාවැකිය සලකා බැලීමෙන් අපට එම කාරණය තේරුම්ගත හැකියි. ‘මහ බැබිලෝනියේ’ වැටීම ගැන යොහන් සඳහන් කර තිබෙන විස්තරය හා බැබිලෝනිය අධිරාජ්‍යයේ වැටීම ගැන යෙරෙමියා පැවසූ අනාවැකි අතර සමානකම් තිබෙනවා. (එළි. 14:8; 17:1, 2, 5; යෙරෙ. 50:2; 51:8) ක්‍රිස්තු පූර්ව 539දී බැබිලෝනිය අධිරාජ්‍යය වැටීමට පෙර ඇයට ආරක්ෂාවක් වූ ඇගේ ගංගාව සිඳී ගිය ලෙසම මහ බැබිලෝනිය වැටීමට පෙර එහි ‘ගංගාවත් සිඳී යනවා.’ ඉන් අදහස් කළේ අසත්‍යය උගන්වන ආගම් වෙතට ඇදී ගිය සෙනඟගේ ගණන ක්‍රමානුකූලව අඩු වන බවයි. (යෙරෙ. 51:36; එළි. 16:12) ඒ වගේම බැබිලෝනියට සිදු වූ විනාශයෙන් බේරීම සඳහා යුදෙව්වන්ට පලා දුවන්න සිදු වූ ලෙසම මහ බැබිලෝනියට සිදු වන විනාශයෙන් බේරීම සඳහා දෙවිගේ සෙනඟටත් අසත්‍යය උගන්වන ආගම් “අත්හැර පිටතට එන්න” සිදු වෙනවා.—එළි. 18:2, 4; යෙරෙ. 51:6.
22 පුරාණ බැබිලෝනිය දෙවිගේ සෙනඟට අයුතු ලෙස සැලකූ නිසා එම රාජ්‍යය දෙවිගෙන් දඬුවම් ලැබූ ලෙසම මහ බැබිලෝනියත් දෙවිගේ සේවකයන්ට බොහෝ පීඩා කර තිබෙන නිසා ‘ඇගේ ක්‍රියාවලට සුදුසු දඬුවම දෙවි ඇයට ලබා දෙනවා.’ එය ඉදිරියේදී ඉටු වීමට නියමිත අනාවැකියක්. (යෙරෙ. 50:29; 51:9; එළි. 18:6) එම අනාවැකියේ ඉටු වීමත් සමඟම අසත්‍යය උගන්වන ආගම් පොළොවෙන් සදහටම තුරන් වී යනවා.—යෙරෙ. 50:39, 40.
23. සැබෑ නමස්කාරය නැවත පිහිටුවීම ගැන යෙරෙමියා පැවසූ අනාවැකිය වර්තමානයේ ඉටු වී තිබෙන්නේ කෙසේද?
23 වහලුන්ව සිටි යුදෙව්වන් බැබිලෝනියෙන් නිදහස් වී තම මව්බිමට නැවත පැමිණෙන බවට යෙරෙමියා පැවසූ අනාවැකියටද වර්තමාන ඉටු වීමක් තිබෙනවා. එය ඉටු වුණේ යේසුස් ස්වර්ගයේ රජු වීමෙන් පසු දෙවි තම සෙනඟව මහ බැබිලෝනියේ වහල්භාවයෙන් නිදහස් කළ විටයි. එලෙස දෙවි මෑත කාලයේදී සැබෑ නමස්කාරය නැවත පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා. දෙවිගේ සෙනඟ ඒ ගැන ඉමහත් සේ ප්‍රීති වන අතර දෙවිට ප්‍රශංසා කිරීමටද ඔවුන් පෙලඹී තිබෙනවා. ඒ විතරක් නොවෙයි දෙවිව දැන හඳුනා ගෙන සැබෑ නමස්කාරයේ හවුල් වීමට ඔවුන් අන් අයටත් උපකාර කරමින් සිටිනවා. ඔවුන් දරන එම වෑයමට දෙවි ඔවුන්ට ආශීර්වාද කර තිබෙන බව පැහැදිලියි. (යෙරෙමියා 30:18, 19 කියවන්න.) දෙවි තම සෙනඟව රැකබලා ගැනීමට ප්‍රේමණීය මෙන්ම සැලකිලිමත් එඬේරුන්ව පත් කරන බවට දී තිබෙන අනාවැකියත් අද දින ඉටු වන ආකාරය අප එක් එක් කෙනා පෞද්ගලිකව අද්දකිනවා.—යෙරෙ. 3:15; 23:3, 4.
24. ඉදිරියේදී ඉටු වීමට නියමිත ප්‍රබල අනාවැකිය කුමක්ද?
24 දෙවිට කීකරුව සිටින අයට ලැබෙන ආශීර්වාද ගැන පමණක් නොව දෙවිට අකීකරුව ක්‍රියා කරන අය අද්දකින දරුණු විනාශය ගැන අනතුරු ඇඟවීම්ද දෙවි යෙරෙමියා මාර්ගයෙන් එදා සිටි යුදෙව්වන්ට ලබා දුන්නා. ඔහු මෙසේ පැවසුවා. “ඒ දවසේදී යෙහෝවා දෙවි වන මාගේ අතින් මරණයට පත් වන අය පොළොවේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා වැටී සිටිනු ඇත. කිසිවෙක් ඔවුන් ගැන වැලපෙන්නේවත් ඔවුන්ගේ මළ කඳන් එකතු කරන්නේවත් ඒවා තැන්පත් කරන්නේවත් නැත. ඔවුහු පොළොව මතුපිටම කුණු වී පොහොර වී යන්නෝය.” (යෙරෙ. 25:33) එම අනාවැකිය අපේ කාලයේදීත් ඉටු වීමට නියමිතයි.
25. දෙවිගේ සෙනඟට තිබෙන වගකීම කුමක්ද?
25 යෙරෙමියාට මෙන් අනාවැකි කීමට දෙවි අද අපට බලය ලබා දෙන්නේ නැහැ. නමුත් දුෂ්ට සමාජයේ අවසානය පැමිණෙන තෙක් දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමට අවශ්‍ය උපකාර දෙවි අපට ලබා දෙනවා. අප ඉදිරිපත් කරන බයිබලයේ සඳහන් පණිවිඩයට මිනිසුන් දක්වන ප්‍රතිචාරය මත ඔවුන්ගේ අනාගතය රඳා පවතිනවා. ඒ නිසා යෙරෙමියා ජීවත් වූ කාලය මෙන් මෙයත් ඉතා තීරණාත්මක කාලයක්. (මතෙ. 28:19, 20) ඒ කාරණය තේරුම්ගෙන සිටින අප, ‘දෙවිගේ වදන් මිනිසුන්ගෙන් සොරාගන්නේ’ නැහැ. ඉන් අදහස් කරන්නේ ඉදිරියේදී සිදු වීමට නියමිත දේවල් අප මිනිසුන්ගෙන් සඟවන්නේ නැති බවයි. (යෙරෙමියා 23:30 කියවන්න.) දෙවිගේ පණිවිඩය කොතරම් ප්‍රබල පණිවිඩයක් වුණත් අප එය බාල නොකර මිනිසුන්ට ඉදිරිපත් කළ යුතුයි. යෙරෙමියා මාර්ගයෙන් දෙවි පැවසූ අනාවැකිවලින් බොහොමයක් මේ වන විටත් ඉටු වී හමාරයි. ඉටු වීමට නියමිත ඉතුරු අනාවැකිත් ඒ අයුරින්ම ඉටු වන බව නිසැකයි. ඒ නිසා ‘දෙවි පැවසූ දේ ඔහු ඒ අයුරින්ම ඉටු කරන බවත් අතීතයේදී ඔහු අනතුරු ඇඟවූ ලෙස ක්‍රියා කරන බවත්’ අපි අත් නෑර මිනිසුන්ට දන්වමු.—විලා. 2:17.
26. අප ඊළඟට සලකා බලන්නේ කුමන අනාවැකිය ගැනද?
26 තම නීතිය හදවත්වල ලියන බවට දෙවි පොරොන්දු වෙමින් ඇති කරගත් “අලුත් ගිවිසුම” ගැන සඳහන් අනාවැකියට යෙරෙමියා පැවසූ අනාවැකි අතරින් වැදගත් තැනක් හිමි වී තිබෙනවා. ඇත්තෙන්ම ඒ අනාවැකිය සලකා බැලිය යුතුම අනාවැකියක්. (යෙරෙ. 31:31-33) ඒ නිසා අප ඊළඟ පරිච්ඡේදයෙන් සලකා බලන්නේ ඒ ගැනයි.
යෙරෙමියා පැවසූ අනාවැකි අතරින් මෑත කාලවලදී ඉටු වූ අනාවැකි මොනවාද? ඉටු වූ අනාවැකි ගැන සලකා බැලීමෙන් ඉදිරියේදී ඉටු වීමට නියමිත අනාවැකි ගැන ඔබට හැඟෙන්නේ කෙසේද?