අවදිව සිටින්නන් සන්තෝෂවත්ය!
“බලව! මා පැමිණෙන්නේ සොරෙකු මෙනි. අවදිව සිට තමාගේ පිටත වස්ත්‍ර රැකගන්නා සන්තෝෂ ලද්දෙක්ය.”—එළිදරව් 16:15, NW.
1. යෙහෝවාගේ දවස ළඟ නිසා, අපට අපේක්ෂා කළ හැක්කේ මොකක්ද?
යෙහෝවාගේ මහත් දවස ළඟය; ඉන් අදහස් කරන්නේ යුද්ධයක්! ප්‍රේරිත යොහන් දර්ශනයකින් දුටුවා, සියලු “රජුන්” හෝ පොළොවේ පාලකයන් වෙත නික්ම යන මැඩියන් වැනි “යක්ෂයින්ගේ ආත්මයෝ.” මොනව කරන්නද යන්නේ? “සර්වපරාක්‍රමවූ දෙවි . . . ගේ මහත් දවසේ යුද්ධයට [ඔවුන්] රැස්කරන පිණිස”! යොහන් ඊට මෙහෙමත් එකතු කළා: “ඔව්හු හෙබ්‍රෙව් භාෂාවෙන් හර්–මගෙදොන් කියන ස්ථානයට ඔවුන් රැස්කළෝය.”—එළිදරව් 16:13-16.
2. මාගොග්හි ගොග් කියන්නේ කවුද? ඔහු යෙහෝවාගේ සෙනඟට ප්‍රහාර එල්ල කරන කොට මොකක් සිදු වෙයිද?
2 ළඟදීම යෙහෝවා මේ පිළිවෙළේ දේශපාලන අංශය පොලඹවයි, බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය වන මහ බබිලෝනිය විනාශ කරන්න. (එළිදරව් 17:1-5, 15-17) එවිට මේ පොළොවට හෙළා තියෙන මාගොග්හි ගොග්, ඒ කියන්නේ සාතන් නමැති යක්ෂයා, යෙහෝවාගේ සාමකාමී, අනාරක්ෂිතයි කියලා පෙනෙන සෙනඟට විරුද්ධව මුළු වැර යොදා ප්‍රහාරයක් දියත් කරන්න තම හමුදාවන් පෙළ ගස්සාවි. (එසකියෙල් 38:1-12) ඒත් දෙවි තම සෙනඟව බේරාගන්න ක්‍රියා කරාවි. ‘යෙහෝවාගේ මහත් වූ භයානක දවස’ එම සිද්ධියෙන් එළි දකියි.—යෝවෙල් 2:31; එසකියෙල් 38:18-20.
3. එසකියෙල් 38:21-23හි පුරෝකථනය කරලා තියෙන සිදුවීම් ඔබ කොහොමද විස්තර කරන්නේ?
3 ඔව්, හර්–මගෙදොන් හෝ අර්මගෙදොන් කියන ලෝක තත්වයට අපි පිවිසෙන කොට, යෙහෝවා තම සෙනඟව බේරා, සාතන්ගේ පිළිවෙළ අස්සක් මුල්ලක් නෑර විනාශ කරාවි. එසකියෙල් 38:21-23හි තියෙන අනාවැකිමය වදන් කියවා, දර්ශනය සිතේ මවාගන්න. ධාරානිපාත වැසි, විනාශකාරි ගල් වර්ෂා, වේගයෙන් පැතිරෙන ගිනි, මාරාන්තික වසංගත ආදිය ඇති කිරීමට යෙහෝවා තම බලය පායි. ගොග්ගේ සේනාවන් වියවුල් වී එකිනෙකා සමඟ සටන් වදිද්දී, වියරු වැටුණු ස්වභාවයක් ලොව පුරාම රජ කරයි. යෙහෝවා තම සේවකයන්ව ගළවාගැනීමට අධිස්වාභාවික ක්‍රම යොදාගනිද්දී, ඉතිරි වන සර්වබලධාරී දෙවිගේ සතුරන්වත් ඝාතනය කරනු ලබයි. පුරෝකථනය කළ “මහත් පීඩාව” නිම වෙද්දී, සාතන්ගේ අභක්තික පිළිවෙළේ කිසිම දෙයක් ඉතිරි වෙන්න යන්නේ නැහැ. (මතෙව් 24:21) කොහොම වුණත්, මර ලතෝනි දෙද්දී, දුෂ්ටයන්ට දැනගන්න ලැබේවි තම විපත්තිය පිටුපස සිටින්නේ කවුද කියන එක. අපේ ජයග්‍රාහී දෙවිම මෙසේ කියනවා: “මා යෙහෝවා බව ඔවුන්ට දැනගන්න සිදු වේවි.” පුදුමසහගත වූ මෙම සිදුවීම්, අපේ කාලයේ, යේසුගේ පැමිණසිටීම තුළදී සිදු වේවි.
පැමිණෙන්නේ සොරෙකු මෙන්
4. යේසු මේ දුෂ්ට දේවල පිළිවෙළ විනාශ කරන්න පැමිණෙන්නේ මොන ආකාරයෙන්ද?
4 තේජසට පත් ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් මෙහෙම කිව්වා: “බලව! මා පැමිණෙන්නේ සොරෙකු මෙනි.” සොරෙකු මෙන් පැමිණෙනවායයි කීමෙන් හදිසි, අනපේක්ෂිත අවස්ථාවක්, බොහෝදෙනෙක් නිදා සිටින අවස්ථාවක් අදහස් කරනවා. මේ දුෂ්ට පිළිවෙළ විනාශ කරන්න යේසු සොරෙකු මෙන් එද්දී, ඇත්තටම අවදියෙන් සිටින්නන්ව ඔහු රැකගන්න යනවා. ඔහු යොහන්ට මෙහෙම කිව්වා: “අවදිව සිට තමාගේ පිටත වස්ත්‍ර රැකගන්නා සන්තෝෂ ලද්දෙක්ය. එවිට නග්නව ඇවිදින්න සිදු නොවන නිසා, තමාගේ ලජ්ජාව මනුෂ්‍යයන්ට දැකගන්න සිදු වන්නේ නැත.” (එළිදරව් 16:15, NW) එම වදන්වලින් අදහස් කරන්නේ මොකක්ද? එමෙන්ම අපට ආත්මිකව අවදියෙන් ඉන්න පුළුවන් වෙන්නේ කොහොමද?
5. යේසු පොළොව මත ඉන්න කොට, දේවමාළිගා සේවාව සඳහා තිබුණේ මොන විධිවිධානයක්ද?
5 සාමාන්‍යයෙන්, මුරකාරයෙක් මුර සේවයේ යෙදෙද්දී නිදා වැටුණා නම්, ඔහුගේ ඇඳුම් ගළවා දමන එකක් නැහැ. ඒත් යේසු පොළොවේ සිටිද්දී, පූජකයන්ගේ හා ලෙවීවරුන්ගේ පංති යෙරුසලමේ දේවමාළිගාවේ සේවය කළ කාලයේදී ඒ වාගේ දෙයක් යෙරුසලමේ දේවමාළිගාවේ සිදු කෙරුණා. දාවිත් රජු ඉශ්‍රායෙල්ගේ පූජකයන් සිය ගණන හා ඔවුන්ගේ ලෙවී ගෝත්‍රික උදව්කාරයන් දහස් ගණන පංති 24කින් සෑදුණු සංවිධානයකට සකස් කළේ පො.යු.පෙ. 11වන සියවසේදියි. (1 ලේකම් 24:1-18) පුහුණුව ලැබූ සේවකයන් දහසකට වැඩිය සිටි සෑම පංතියක්ම, අඩුම තරමින් අවුරුද්දකට දෙවතාවක් සම්පූර්ණ සතියක් පුරා දේවමාළිගා සේවයේ අංගයන් බලාකියා ගැනීමේ තම වාරය පැමිණි විට සේවය කළා. ඒත් කූඩාරම් මංගල්‍ය කාලයේදී, රාජකාරිය සඳහා පංති 24ම ඉදිරිපත් වී සිටියා. පාස්කු මංගල්‍ය කාලයේදීත් අමතර උපකාරයක් අවශ්‍ය වුණා.
6. “අවදිව සිට තමාගේ පිටත වස්ත්‍ර රැකගන්නා සන්තෝෂ ලද්දෙක්” කියලා යේසු කියද්දී, ඔහු මොනව ගැන සඳහන් කළා වෙන්න පුළුවන්ද?
6 “අවදිව සිට තමාගේ පිටත වස්ත්‍ර රැකගන්නා සන්තෝෂ ලද්දෙක්” කියලා යේසු පැවසූ විට, ඒ කාලයේ දේවමාළිගාවේ මුර සේවාවට ඇතුළත් ක්‍රියා පිළිවෙළක් ගැන ඔහු සඳහන් කළා වෙන්න පුළුවන්. යුදෙව් මිෂ්නා ග්‍රන්ථය මෙහෙම කියනවා: “පූජකයෝ දේවමාළිගාවේ තුන් පොළක මුර කරමින් සිටියෝය: ඒ අබ්ටිනාස් කුටියේ, ගිනිදැල්ලේ කුටියේ හා උදුනේ කුටියේය; එමෙන්ම ලෙවීවරුන් සඳහා ස්ථාන විසි-එකක් තිබිණ: දේවමාළිගා කන්දේ දොරකොඩවල් පහේ පස්දෙනෙකු, ඇතුළේ කොන් සතරේ සතරදෙනෙකු, දේවමාළිගා මළුවේ දොරකොඩවල් පහේ පස්දෙනෙකු, ඒවායේ කොන් සතරේ එළියේ සතරදෙනෙකු, යාග කුටියේ එක් කෙනෙකු, තිර කුටියේ එක් කෙනෙකු සහ කරුණාසනය පිහිටා ඇති ස්ථානය පිටුපස [අතිශුද්ධස්ථානයේ පිටුපස තාප්පයට පිටින්] එක් කෙනෙකු ආදි වශයෙනි. දේවමාළිගා කන්දේ නිලධාරියා දැල්වෙන පහන් ගෙන සෑම මුරකාරයෙකු ළඟටම යනු ඇත; තවද ඕනෑම මුරකරුවෙකු නැඟිට, ‘දේවමාළිගා කන්දේ නිලධාරියෙනි, ඔබට සමාදානය වේවා!’ කියා ඔහුට පැවසුවේ නැත්නම්, එමෙන්ම ඔහු නිදා සිටියා කියා පැහැදිලි වූයේ නම්, ඔහු තම යෂ්ටියෙන් ඔහුට තළනවා ඇත; එමෙන්ම ඔහුගේ වස්ත්‍ර පුලුස්සා දැමීමටද අයිතිය ඒ නිලධාරියා සතු විය.”—මිෂ්නා, මිඩ්ඩොත් (“මිනුම්”), 1, 1-2 දක්වා ඡේද, පරිවර්තනය කළේ හ’බට් ඩැන්බි.
7. දේවමාළිගාවේ මුර සේවයෙහි යෙදී සිටි පූජකයන්ට හා ලෙවීවරුන්ට අවදිව සිටින්න අවශ්‍ය වුණේ ඇයි?
7 දේවමාළිගා මළු තුළට අපවිත්‍ර වූ කිසිවෙක් ඇතුල්වීම වළක්වාගැනීමට, සේවය කළ පංතියට අයත් ලෙවීවරුන් හා පූජකයන් සියලුදෙනා මුළු රාත්‍රිය පුරා මුර කරමින් සිටියා. “දේවමාළිගා කන්දේ නිලධාරියා” නැතහොත් “දේවමාළිගාවේ සේනාපතියා,” මුරකාරයන් සිටි ස්ථාන 24ම පරීක්ෂා කර බැලූ නිසා, තමා අනවධානයෙන් සිටිනවා කියා අසු නොවීමට, සෑම මුරකාරයෙක්ටම තම ස්ථානයෙහි අවදිව සිටින්න සිදු වුණා.—ක්‍රියා 4:1.
8. ක්‍රිස්තියානියෙකුගේ සංකේත පිටත වස්ත්‍ර මොනවාද?
8 ආලේප ලත් ක්‍රිස්තියානීන් මෙන්ම ඔවුන්ගේ හවුල් සේවකයන් ආත්මිකව අවදියෙන් සිට තම සංකේත පිටත වස්ත්‍ර රැකගැනීම අවශ්‍යයි. යෙහෝවාගේ ආත්මික දේවමාළිගාවේ උපස්ථාන කිරීම සඳහා අපට ලැබී තියෙන පැවරුමේ බාහිර සාක්ෂි හැටියට මේවා සලකන්න පුළුවන්. එහි ප්‍රතිඵලයක් වශයෙන්, අපේ යුතුකම් ඉටු කිරීමටත්, රාජ්‍ය ප්‍රකාශකයන් වශයෙන් අපේ වරප්‍රසාද මුදුන් පමුණුවාගැනීමටත් උපකාරයක් හැටියට අපට දෙවිගේ ශුද්ධාත්මය හෙවත් ක්‍රියාකාර බලය තියෙනවා. දෙවිගේ සේවකයන් වශයෙන් අපේ පැවරුම තුළ නිදි කිරා වැටුණොත්, ශ්‍රේෂ්ඨ ආත්මික දේවමාළිගාවේ නිලධාරියා වන යේසුස් ක්‍රිස්තුස්ගේ අතට අසුවීමේ අවදානමට අපි ලක් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී අපි ආත්මිකව නිදා වැටී සිටියොත්, අපිව සංකේතමය ආකාරයකින් නග්න කොට, අපේ සංකේත වස්ත්‍ර පුලුස්සනු ලබාවි. එනිසා අපිට ආත්මිකව අවදියෙන් ඉන්න පුළුවන් වෙන්නේ කොහොමද?
අපිට අවදිව සිටිය හැකි අන්දම
9. ක්‍රිස්තියානි ප්රකාශනවල උපකාරය ඇතුව බයිබලය අධ්‍යයනය කිරීම එතරම් වැදගත් වෙන්නේ ඇයි?
9 ක්‍රිස්තියානි ප්රකාශනවල උපකාරය ඇතුව ශුද්ධ ලියවිල්ල උත්සාහවන්තව අධ්‍යයනය කිරීම ආත්මිකව අවදියෙන් සිටීමට ශක්තිජනකයක්. එලෙස අධ්‍යයනය කිරීම අපිව දේවසේවය සඳහා සන්නද්ධ කරයි; අසීරුතාවලට මුහුණ දීමට උපකාර කරයි; එමෙන්ම අපව සදාතනික වූ සන්තෝෂයට මඟ පෙන්වයි. (හිතෝපදේශ 8:34, 35; යාකොබ් 1:5-8) අපි අධ්‍යයනය කරන කොට, අපේ අධ්‍යයනය කිසිම අඩුවක් නැති ප්රගතිශීලී එකක් වෙන්න ඕනේ. (හෙබ්‍රෙව් 5:14–6:3) නිතිපතා හොඳ ආහාර කෑම, අවදියෙන් හා පිබිද සිටින්න උපකාරයක් වෙන්න පුළුවන්. මන්දපෝෂණයේ අංග ලක්ෂණයක් විය හැකි අලසබව වළක්වන්න එයට පුළුවන්. දෙවි ආලේප ලත් “විශ්වාසවූ නුවණ ඇති දාසයා” මගින් ආත්මික ආහාර බහුල වශයෙන් සපයන නිසා, ආත්මික වශයෙන් මන්දපෝෂණයෙන් හා නිදිබරින් සිටීමට අපිට කිසිම හේතුවක් නැහැ. (මතෙව් 24:45-47) අවදිව සිටීමටත්, “ඇදහිල්ලෙහි සෞඛ්‍යසම්පන්නව” සිටීමටත් එක් මාර්ගයක් නම්, පෞද්ගලික හා පවුලේ පාඩම තුළින් ආත්මික ආහාර නිතිපතා අනුභව කිරීමයි.—තීතස් 1:13, NW (14).
10. ක්‍රිස්තියානි රැස්වීම්, එක්රැස්වීම් හා සමුළු අපට ආත්මිකව අවදිව සිටින්න උපකාර කරන්නේ කොහොමද?
10 අපව ආත්මික ලෙස අවදිව තබාගැනීමට ක්‍රිස්තියානි රැස්වීම්, එක්රැස්වීම් සහ සමුළු උපකාරවත් වෙනවා. ‘එකිනෙකාව ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට පොලඹවන්න’ මේවායින් දිරිගැන්වීමක් ලැබෙන අතර, එහෙම කරන්න ප්රස්තාවනුත් උදා වෙනවා. “ඒ දවස ළංවන බව” අපට “පෙනෙන” නිසා, නිතිපතා එක්රැස්වීම ඉතා වැදගත්. ඇත්තෙන්ම ඒ දවස ඉතාම ළඟයි. ඒ තමයි “යෙහෝවාගේ දවස;” එදාට තමයි ඔහු තම පරමාධිපත්‍යය නිදොස් කරන්නේ. අපිට වැදගත් විය යුතු ඒ දවස අපිට ඇත්තටම වැදගත් නම්, අපි ‘අපේම රැස්වීම අත්හරින්න යන්නේ නැහැ.’—හෙබ්‍රෙව් 10:24, 25; 2 පේතෘස් 3:10, NW.
11. ක්‍රිස්තියානි දේවසේවය ආත්මිකව පිබිද සිටීමට අත්‍යවශ්‍යයි කියලා කියන්න පුළුවන් වෙන්නේ ඇයි?
11 ආත්මිකව පිබිද සිටීමට ක්‍රිස්තියානි දේවසේවයේ මුළු හෘදයෙන්ම සහභාගි වීම අත්‍යවශ්‍යයි. ශුභාරංචිය දේශනා කිරීමේ නිතිපතා හා ජ්වලිතව සහභාගි වීම පිබිද සිටීමට අපට උපකාර කරනවා. දෙවිගේ වචනය, ඔහුගේ රාජ්‍යය හා අරමුණු ගැන ජනයාට කතා කරන්න අපේ දේවසේවයෙන් අපිට විවිධ ප්‍රස්තා සැලසෙනවා. ගෙයින් ගෙට සාක්ෂිදරන එකත්, නැවත බැලීම්වලට යන එකත්, සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම වැනි ප්‍රකාශනවලින් නිවාස බයිබල් පාඩම් පවත්වන එකත් තෘප්තිය ඇති කරවන දෙයක්. පාවුල් එපීසයෙහි සිටි වැඩිමහල්ලන්ට “ප්‍රසිද්ධයෙන්ද ගෙයින් ගෙටද” උගන්වා තිබූ බව ඔවුන්ට සාක්ෂිදරන්න පුළුවන් වුණා. (ක්‍රියා 20:20, 21) ඇත්තෙන්ම, යෙහෝවාගේ විශ්වාසවන්ත සාක්ෂිකරුවන් සමහරදෙනෙකුගේ සේවය යම් දුරකට බාධා කරවන බරපතළ සෞඛ්‍ය ගැටලු ඔවුන්ට තියෙන බව පිළිගන්න අවශ්‍යයි; එනමුත්, යෙහෝවා සහ ඔහුගේ රාජ්‍යයේ ආධිපත්‍යය ගැන අනුන්ට කියන්න මාර්ග ඔවුන් හොයාගන්න අතරම, එහෙම කිරීමෙන් ඔවුන් ඉමහත් ප්‍රීතියක් නෙළාගන්නවා.—ගීතාවලිය 145:10-14.
12, 13. කෑම සහ බීම අධික ලෙස ගැනීමෙන් අපි වැළකිය යුත්තේ මොන මොන හේතු නිසාද?
12 තම ඉඳුරන් පිනවීමෙහි ඕනෑවට වඩා නියැලීමෙන් වැළකී සිටීම ආත්මිකව අවදියෙන් සිටීමට අපට උපකාරයක්. යේසු තම පැමිණසිටීම ගැන කතා කළ විට, ඔහු තම ප්‍රේරිතයන්ට මෙසේ උනන්දු කළා: “ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් නුඹලා කෙරේ නොපැමිණෙන පිණිස, අධික කෑමෙන්ද බීමත් කමින්ද මේ ජීවිතයේ වෙහෙසින්ද නුඹලාගේ සිත් බර නොවන හැටියට බලාගන්න. මක්නිසාද ඒක මුළු පොළෝතලය පිට වසන්නාවූ සියල්ලන් කෙරෙහි එසේ පැමිණෙන්නේය.” (ලූක් 21:7, 34, 35) කෑදරකම හා බේබදුකම බයිබල් ප්‍රමිතිවලට එකඟ නැහැ. (ද්විතීය කථාව 21:18-21) හිතෝපදේශ 23:20, 21 මෙහෙම කියනවා: “මුද්‍රිකපානයෙහි ලොල්වූවන්ටවත් මස් කෑමෙහි ගිජුවූවන්ටවත් එක් නොවන්න. මක්නිසාද බේබද්දාත් කෑදරයාත් දිළිඳුවන්නේය; නිදිමතද වැරහැලි ඇඳීමට පමුණුවන්නේය.”—හිතෝපදේශ 28:7.
13 කොහොම වුණත්, අධික කෑම හා බීම ඒ තරමටම වැඩි වී නොතිබුණත්, එහෙම කිරීමෙන් පුද්ගලයෙක් නිදිබර වෙන්න පුළුවන්; සමහරවිට දේවකැමැත්ත කිරීම සම්බන්ධයෙන් කම්මැළි වෙන්නත් නොසැලකිලිමත් වෙන්නත් පුළුවන්. පවුල් ජීවිතය, සෞඛ්‍ය තත්වය ආදිය සම්බන්ධයෙන් සිත්තැවුල් ඇතිවීම සාමාන්‍යයි. ඒත්, අපි අපේ ජීවිතයේ පළමු ස්ථානය රාජ්‍ය කටයුතුවලට දුන්නොත්, අපේ ස්වර්ගික පියා අපිට සපයයි කියලා නිසැකකමින් සිටියොත්, අපිට සන්තෝෂයෙන් ඉන්න පුළුවන් වේවි. (මතෙව් 6:25-34) එහෙම නූණොත්, “ඒ දවස මලපතක්” මෙන් අප පිටට පැමිණේවි; ඒවා එක්කෝ අපව නොදැනුවත්වම අසු කරන බොරු වළකට සමාන වෙන්න පුළුවන්; එහෙම නැත්නම්, අනතුරු ඇතැයි සැක නොකරන සතුන්ව ඩැහැගන්න ඇම යොදපු උගුල්වලට සමාන වෙන්නත් පුළුවන්. “අන්තිම කාලය” තුළ ජීවත් වන බව හොඳින් දැනගෙන අපි අවදියෙන් සිටිනවා නම්, මේ දේ අපිට වෙන්නේ නැහැ.—දානියෙල් 12:4.
14. අපි ඕනෑකමින් කරන යාච්ඤාවේ නියැලිය යුත්තේ ඇයි?
14 ඕනෑකමින් කරන යාච්ඤාව ආත්මිකව පිබිද සිටීමට තවත් ආධාරකයක්. තම ශ්‍රේෂ්ඨ අනාවැකියෙහි යේසු තවදුරටත් මෙහෙම උනන්දු කළා: “එබැවින් ඒ සිදුවන සියල්ලෙන් ජයගෙන ගැළවෙන පිණිසද මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි සිටින පිණිසද කන්නලව්කරමින්, සැම කාලයේදීම අවදිව හිඳින්න.” (ලූක් 21:36) ඔව්, මනුෂ්‍ය පුත්‍රයා වන යේසු මේ දුෂ්ට දේවල පිළිවෙළ විනාශ කරන්න පැමිණෙන විට, හැමවිටම යෙහෝවාගේ පැත්තේ ඉන්නත්, අනුමැතියක් ඇති තත්වයක් භුක්ති විඳින්න පුළුවන් වෙන්න කියලත් අපි යාච්ඤා කරමු. අපේම යහපත සඳහාත්, අප යාච්ඤා කරන සෙසු ඇදහිලිවන්තයන්ගේ යහපත සඳහාත් අපි ‘යාච්ඤාවෙහි අවදිව සිටිය’ යුතුයි.—කොලොස්සි 4:2; එපීස 6:18-20.
කාලය ඉකුත් වී යනවා
15. ධර්මිෂ්ඨකමේ දේශනාකරන්නන් වශයෙන් අපේ සේවයෙන් ඉටු වෙන්නේ මොකක්ද?
15 යෙහෝවාගේ මහත් දවස බලා සිටින අතරතුර, ඔහුගේ සේවයෙහි කළ හැකි සැමෙකක්ම කරන්න අප තුළ ආශාවක් තියෙන බවට සැකයක් නැහැ. මේ ගැන අපි ඔහුට ඕනෑකමින් යාච්ඤා කෙරුවොත්, “ක්‍රියාකාරකම්වලට මඟ පාදන විශාල දොරක්” අපහට විවෘත වෙන්න පුළුවන්. (1 කොරින්ති 16:8, 9, NW) දෙවිගේ නියමිත කාලයේදී, යේසු විනිශ්චය ප්‍රකාශ කොට, සදාකාලික විනාශය ලබන්න වටින අභක්තික “එළුවන්” කෙරෙන් සදාකාල ජීවනය ලබන්න වටින ධර්මිෂ්ඨ “බැටළුවන්” වෙන් කරන්න යනවා. (යොහන් 5:23අ) එළුවන් කෙරෙන් බැටළුවන් වෙන් කරන්නේ අපි නෙවෙයි. ඒත් ධර්මිෂ්ඨකමේ දේශනාකරන්නන් වශයෙන් අප කරන සේවය නිසා, මිනිසුන්ට ප්‍රස්තාවක් ලැබෙනවා දෙවිට සේවය කරන ජීවිතයක් තෝරාගන්න; එමෙන්ම එමගින් යේසු “තේජසින් එන කල” ජීවනය සඳහා වෙන් කරනු ලැබීමේ බලාපොරොත්තුව තියාගන්න හම්බ වෙනවා. මේ දේවල පිළිවෙළ සඳහා ඉතිරි වී තියෙන කාලය කෙටි නිසා, අපි “සදාකාල ජීවනයට නිසි නැඹුරුවාවක් දක්වන” අයව සොයද්දී හෘද පූර්ණව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව තව තවත් වැඩි වෙනවා.—මතෙව් 25:31-46; ක්‍රියා 13:48, NW.
16. අපි ජ්වලිත රාජ්‍ය ප්‍රකාශකයන් විය යුත්තේ ඇයි?
16 නෝවාගේ දවසේ හිටිය ලෝකයාට තිබුණු කාලය ඉකුත් වී ගියා වාගේම, මේ දේවල පිළිවෙළ සඳහා තියෙන කාලයත් ළඟදීම ඉකුත් වී යයි. එසේනම් අපි ජ්වලිත රාජ්‍ය ප්‍රකාශකයන් වෙමු. අපේ දේශනා කිරීමේ වැඩය දියුණු වෙමින් පවතිනවා; ඇයි කිව්වොත් දෙවිට කැපවීමේ සංකේතයක් හැටියට සියදහස් ගණනක් හැම අවුරුද්දකම බව්තීස්ම වන නිසයි. ඔවුන් යෙහෝවාගේ ආශීර්වාද ලත් සංවිධානයේ කොටසක් බවට පත් වෙනවා—ඒ කියන්නේ ඔහුගේ ‘සෙනඟ සහ ඔහුගේ ගොදුරුබිමේ බැටළුවෝ’ බවට පත් වෙනවා. (ගීතාවලිය 100:3) ‘යෙහෝවාගේ මහත් වූ භයානක දවසට’ කලින්, බොහෝදෙනෙක්ට බලාපොරොත්තුවක් ගෙන දෙන රාජ්‍ය-දේශනා කිරීමේ කාර්යයෙහි සහභාගි වීමට වරම් ලැබීම මොනතරම් ප්‍රීතියක්ද!
17, 18. (අ) අපි දේශනා කරන කොට, සමහරුන්ගෙන් අපි මොන වගේ ප්‍රතික්‍රියාවක් අපේක්ෂා කළ යුතුද? (ආ) සරදම් කරන්නන් නිසැකවම ගොදුරු වෙන්නේ මොකකටද?
17 නෝවාට මෙන් අපිට දෙවිගේ උපකාරය හා රැකවරණය තියෙනවා. ඔව්, නෝවාගේ පණිවිඩයට, ජනයා, මනුෂ්‍ය වෙස් අරගෙන සිටි දේවදූතයන් හා නෙඵිලීම්වරුන් සමච්චල් කළා වෙන්න පුළුවන්; ඒත් ඔහු එය බාධාවක් කරගත්තේ නැහැ. අදදින, අපි “අන්තිම දවස්වල” ජීවත් වෙනවා කියන එකට නොසලකා හරින්න බැරි සාක්ෂි තියෙනවා කියලා අපි පෙන්නුම් කරද්දී, සමහරු සමච්චල් කරනවා. (2 තිමෝති 3:1-5) ඒ වගේ සමච්චලයක් ක්‍රිස්තුස්ගේ පැමිණසිටීම පිළිබඳ බයිබල් අනාවැකි ඉටු කරනවා; එයට හේතුව පේතෘස් මෙසේ ලියූ නිසයි: “අන්තිම දවස්වලදී තමුන්ගේ තෘෂ්ණා ලෙස හැසිරෙන්නාවූ: පියවරුන් සැතපුණු පසු මැවීමේ පටන්ගැන්මේ සිට සියලු දේ තිබුණාක්මෙන් පවතින බැවින්, උන්වහන්සේගේ ඊමේ [පැමිණසිටීමේ, NW] පොරොන්දුව කොතැන්හිදැයි සරදම්කරමින් කියන්නාවූ කවටකම්කරන්නෝ පැමිණෙන්නෝය.” (ඇල අකුරු අපේය.)—2 පේතෘස් 1:16; 3:3, 4.
18 වර්තමානයේ සරදම් කරන්නන් මෙහෙම කල්පනා කරනවා වෙන්න පුළුවන්: ‘මැවීම සිද්ධ වෙච්ච දා ඉඳලා මොකුත් වෙනස් වෙලා නෑනේ. ජීවිතය දිගටම යන ගමන් මිනිස්සු කනවා, බොනවා, විවාහ වෙනවා, පවුලක් ඇති කරගන්නවා. යේසු පැමිණසිටියත්, ඔහු මගේ කාලේදී විනිශ්චය ඉටු කරන එකක් නෑ.’ ඔවුන්ගේ අදහස් මොනතරම් වැරදිසහගතද! මේ අතරතුර කාලයේදී වෙනත් හේතු නිසා ඔවුන් මියගියේ නැත්නම්, මේ දුෂ්ට පරම්පරාවේ කොටසක් වශයෙන් ඔවුන් පිට යෙහෝවාගේ භය උපදවන දවස පැමිණෙනවා නිසැකයි; ඒක හරියට නෝවාගේ දවසේදී සිද්ධ වුණ මහා විනාශය දුෂ්ට පරම්පරාවක් සිඳදැමුවා වගෙයි.—මතෙව් 24:34.
කොහොමහරි අවදියෙන් සිටින්න!
19. අපි අපේ ගෝලයන් සෑදීමේ ක්‍රියාකාරකම් සැලකිය යුත්තේ කොහොමද?
19 අපි යෙහෝවාට කැප වී සිටිනවා නම්, නුසුදුසු ආකාරයට තර්ක කිරීමෙන් අපි කිසිවිටකත් නිදි කිරා නොවැටෙමු. අවදියෙන් සිටින්නත්, දිව්‍ය අනාවැකි කෙරෙහි ඇදහිල්ල පවත්වන්නත්, “සියලු ජාතීන් ගෝලයන්” කිරීමේ අපේ පැවරුම ඉටු කරන්නත් මේක තමයි කාලය. (මතෙව් 28:19, 20) මේ පිළිවෙළ එහි සම්පූර්ණ අවසානයට මුහුණ දෙන මේ කාලයේදී, යේසුස් ක්‍රිස්තුස්ගේ නායකත්වය යටතේ යෙහෝවා දෙවිට සේවය කිරීමත්, අන්තිමය පැමිණෙන්න කලින් “රාජ්‍යයේ මේ ශුභාරංචිය” දේශනා කිරීමේ ලෝක ව්‍යාප්ත වැඩයට සහභාගි වීමත් තරම් උතුම් වරප්‍රසාදයක් අපට නැති තරම්.—මතෙව් 24:14; මාර්ක් 13:10.
20. කාලෙබ් සහ යෝෂුවා තැබුවේ මොන වගේ ආදර්ශයක්ද? ඔවුන් ගත් ක්‍රියාමාර්ගයෙන් අපිට ඇඟවෙන්නේ මොකක්ද?
20 යෙහෝවාගේ සෙනඟගෙන් සමහරෙක් දශක ගණනාවක්, ඇතැම්විට ජීවිත කාලය පුරාම ඔහුට සේවය කර තියෙනවා. එමෙන්ම අපි සැබෑ නමස්කාරය ළඟදී වැලඳගත්තත්, ‘සම්පූර්ණ ලෙස යෙහෝවා අනුව ගිය’ ඉශ්රායෙල් ජාතික කාලෙබ් මෙන් වීමට අදිටන් කරගනිමු. (ද්විතීය කථාව 1:34-36) මිසර වහල්භාවයෙන් ඉශ්රායෙල් මිදී මද කලකට පසු, පොරොන්දු දේශයට පිවිසෙන්න ඔහුත් යෝෂුවාත් සූදානමින් හිටියා. කොහොම වුණත්, ඉශ්රායෙල් වැඩිහිටියන්ට ඇදහිල්ලේ ඌනතාවක් තිබුණු අතරම, පාළුකරයේ අවුරුදු 40ක් ගත කරන්න ඔවුන්ට සිදු වුණා; එහිදී ඔවුන් මියගියා. ඒ මුළු කාල සීමාව තුළදී ඔවුන් සමඟම කාලෙබ් සහ යෝෂුවා දුෂ්කරතා දරාගෙන සිටියත්, අන්තිමේදී මේ පුරුෂයන් දෙන්නා පොරොන්දු දේශයට ඇතුල් වුණා. (ගණන් කථාව 14:30-34; යෝෂුවා 14:6-15) අපි ‘සම්පූර්ණ ලෙස යෙහෝවා අනුව යනවා නම්,’ ආත්මික ලෙස අවදියෙන් සිටිනවා නම්, දෙවිගේ පොරොන්දු වූ නව ලොව තුළට ඇතුල්වීමේ ප්‍රීතිය අද්දකින්න අපට පුළුවන් වේවි.
21. අපි ආත්මිකව අවදියෙන් හිටියොත් අපේ අද්දැකීම කුමක් වේවිද?
21 අපි අන්තිම කාලයේ ජීවත් වන බවත්, යෙහෝවාගේ මහත් දවස ළඟ බවත් තියෙන සාක්ෂිවලින් පැහැදිලිවම ඔප්පු වෙනවා. නිදි කිරා වැටෙන්නවත්, දිව්‍ය කැමැත්ත කිරීම ගැන නොසැලකිලිමත් වෙන්නවත් කාලය මෙය නෙවෙයි. අපිට ආශීර්වාද ලැබෙන්නේ අපි ආත්මික වශයෙන් අවදිව ඉඳ, ක්‍රිස්තියානි දේවසේවකයන් හා යෙහෝවාගේ සේවකයන් වශයෙන් අපේ අනන්‍යතාවේ වස්ත්‍ර රක්ෂා කරගෙන ඉන්නවා නම් පමණයි. “අවදිව සිටින්න, ඇදහිල්ලේ ස්ථිරව සිටින්න, පුරුෂයන් මෙන් සිටින්න, ශක්තිමත් වෙන්න” අපි අධිෂ්ඨානය කරගනිමු. (1 කොරින්ති 16:13) යෙහෝවාගේ සේවකයන් වශයෙන්, අපි සැමදෙනාම ශක්තිමත්ව හා එඩිතරව සිටිමු. එවිට යෙහෝවාගේ මහත් දවස පහර දෙන විට සූදානමින් සිට, අවදියෙන් ඉන්න සන්තෝෂවත් සමූහයන් සමඟ විශ්වාසවන්තව සේවය කරන අය අතර ඉන්න අපිට පුළුවන් වේවි.
ඔබ උත්තර දෙන්නේ කොහොමද?
◻ අපේ සංකේත පිටත වස්ත්‍ර ඔබ පැහැදිලි කරන්නේ කොහොමද? ඒවා රැකගන්න අපට පුළුවන් වෙන්නේ කොහොමද?
◻ ආත්මිකව අවදියෙන් ඉන්න තියෙන සමහර මාර්ග මොනවාද?
◻ අපි සරදම් කරන්නන්ව අපේක්ෂා කළ යුත්තේ ඇයි? අපි ඔවුන්ව සැලකිය යුත්තේ කොහොමද?
◻ මේ අන්තිම දවස්වල අපි අපේ ගෝලයන් සෑදීමේ වැඩය සැලකිය යුත්තේ කොහොමද?
[16වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
අවදිව සිට තම යුතුකම් ඉටු කරන්න උපකාරයක් වශයෙන් ක්‍රිස්තියානීන්ට දෙවිගේ ශුද්ධාත්මය තියෙනවා
[15වන පිටුවේ පින්තූරය]
ආත්මිකව අවදියෙන් සිට, ඔබේ සංකේත පිටත වස්ත්‍ර රැකගන්න ඔබ අදිටන් කරගෙන ඉන්නවාද?