යෙහෝවාගේ දවසට ඔබ සූදානම්ද?
“ස්වාමීන්වහන්සේගේ [යෙහෝවාගේ, NW] මහත් දවස ළංව තිබේ, ඒක, . . . ළංව ඉතා ඉක්මනට එන්නේය.”—ශෙපනියා 1:14.
1. ශුද්ධ ලියවිලිවල යෙහෝවාගේ දවස විස්තර කරන්නේ කොහොමද?
ළඟදීම, යෙහෝවාගේ “මහත්වූ භයානකවූ දවස” මේ දුෂ්ට දේවල පිළිවෙළ කෙරෙහි පැමිණෙන්න යනවා. යෙහෝවාගේ දවස ශුද්ධ ලියවිලිවල විස්තර කර තියෙන්නේ සටනේ, අන්ධකාරයේ, උදහසේ, ශෝකයේ, සංවේගයේ, තැතිගැන්මේ හා පාළුවීමේ දවසක් හැටියටයි. ඒත්, බේරී ජීවත්වන්නන් ඉන්න යනවාමයි; එයට හේතුව “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවාගේ, NW] නම කියා යාච්ඤාකරන කවුරුනුමුත් ගැළවෙන” නිසාය. (යෝවෙල් 2:30-32; ආමොස් 5:18-20) ඔව්, එවිට දෙවි තම සතුරන්ව විනාශ කොට, තම සෙනඟව බේරාගනීවි.
2. යෙහෝවාගේ දවස ගැන අපට හදිසිතාවේ හැඟීමක් තිබිය යුත්තේ ඇයි?
2 දෙවිගේ ප්‍රොපේතවරුන් යෙහෝවාගේ දවසට හදිසිතාවේ හැඟීමක් මුසු කළා. නිදසුනක් හැටියට ශෙපනියා මෙහෙම ලිව්වා: “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවාගේ, NW] මහත් දවස ළංව තිබේ, ඒක, . . . ළංව ඉතා ඉක්මනට එන්නේය.” (ශෙපනියා 1:14) දෙවිගේ ප්‍රධාන වධකයා, ඒ කියන්නේ රජ වූ යේසුස් ක්‍රිස්තුස් ‘තම කඩුව ඉඟටියෙහි බැඳගෙන, සැබෑකමත් නිහතමානීකමත් ධර්මිෂ්ඨකමත් සඳහා ජය රථයෙන් ගමන් කරන්න’ යන නිසා, අදදින තත්වයට විශේෂ හදිසිතාවක් තියෙනවා. (ගීතාවලිය 45:3, 4) ඒ දවසට ඔබ සූදානම්ද?
ඔවුන්ට මහත් අපේක්ෂාවන් තිබුණා
3. තෙසලෝනිකයෙහි සමහර ක්‍රිස්තියානීන්ට තිබුණේ මොන අපේක්ෂාවන්ද? ඔවුන්ට වැරදී තිබුණේ මොන හේතු දෙක නිසාද?
3 බොහෝදෙනෙක්ට යෙහෝවාගේ දවස සම්බන්ධයෙන් ඉටු නොවුණු අපේක්ෂාවන් තිබිලා තියෙනවා. ‘යෙහෝවාගේ දවස ඇවිත්!’ කියලා තෙසලෝනිකයෙහි සිටි මුල් ක්‍රිස්තියානීන් සමහරදෙනෙක් කිව්වා. (2 තෙසලෝනික 2:2) ඒත් එය ළං නොවීමට මූලික හේතු දෙකක් තිබුණා. මින් එකක් ගැන සඳහන් කරමින්, ප්‍රේරිත පාවුල් මෙහෙම කියලා තිබුණා: ඔවුන් “සමාදානයය, අනතුරක් නැත කියා කියන විට . . . හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ.” (1 තෙසලෝනික 5:1-6) මෙම “අන්තිම කාලය” තුළ, එම වචනවල ඉටුවීම දෙස අපිත් බලාසිටිනවා. (දානියෙල් 12:4) යෙහෝවාගේ මහත් දවස පැමිණ තිබුණු බව කියන්න තෙසලෝනිකවරුන්ට තවත් එක සාක්ෂියක් තිබුණේ නැහැ. එයට හේතුව “ඇදහිල්ලෙන් වැටීයාම . . . පළමුවෙන් වුණොත් මිස ඒක නොපැමිණෙන්නේය” කියා පාවුල් ඔවුන්ට කියූ නිසයි. (2 තෙසලෝනික 2:3) පාවුල් එම වදන් ලියූ විට (පො.යු. 51දී පමණ), සැබෑ කිතුදහම තුළ “ඇදහිල්ලෙන් වැටීයාම” සම්පූර්ණයෙන්ම වර්ධනය වී තිබුණේ නැහැ. අතු රිකිලි දා වැඩී තිබෙන ගහක් මෙන් එය වර්ධනය වී තියෙන ආකාරය අදදින අපි ක්‍රිස්තියානි ලෝකය තුළ දකිනවා. හැබැයි, ඔවුන්ගේ අපේක්ෂා ඉටු නූණත්, මරණය දක්වාම දෙවිට විශ්වාසවන්තව සේවය කළ තෙසලෝනිකයෙහි විසූ එම ඇදහිලිවන්ත ආලේප ලත් අය අවසානයේදී ස්වර්ගික විපාකය අත් පත් කරගත්තා. (එළිදරව් 2:10) යෙහෝවාගේ දවස බලාසිටින අතරතුර අපි විශ්වාසවන්තව සිටියොත්, අපටත් විපාක ලැබේවි.
4. (අ) යෙහෝවාගේ දවස 2 තෙසලෝනික 2:1, 2හි [NW] සම්බන්ධ කර තියෙන්නේ මොකක් එක්කද? (ආ) ක්‍රිස්තුස්ගේ නැවත පැමිණීම සහ එයට අදාළ කාරණා සම්බන්ධයෙන් සභා පියවරුන් ලෙස ප්‍රසිද්ධ වූ අයට තිබුණේ මොන මතයන්ද?
4 බයිබලය, ‘යෙහෝවාගේ මහත් දවස’ “අපේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්ගේ පැමිණසිටීම” සමඟ සම්බන්ධ කරනවා. (2 තෙසලෝනික 2:1, 2, NW) සභා පියවරුන් හැටියට නම් දැරූ අයට ක්‍රිස්තුස්ගේ නැවත පැමිණීම, ඔහුගේ පැමිණසිටීම හා ඔහුගේ දහස් අවුරුදු පාලනය ගැන නොයෙක් අදහස් තිබුණා. (එළිදරව් 20:4) පොදු යුගයේ දෙවන සියවසේදී, හියරපොලිසෙහි පේපියස්, ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය තුළදී පොළොව මත පුදුමසහගත සශ්රීකත්වයක් ඇති වෙයි කියලා අපේක්ෂා කරමින් සිටියා. ජස්ටින් මාට’, යේසුගේ පැමිණසිටීම ගැන නැවත නැවත කතා කළ අතර, නැවත පිහිටුවන ලද යෙරුසලම ඔහුගේ රාජ්‍යයේ ආසනය කරගනීවි කියා අපේක්ෂා කළා. රෝම අධිරාජ්‍යය විනාශ වූවායින් පස්සේ, යේසු සියල්ලන් ඉදිරියෙහි දර්ශනය වී, සාතන්ව බැඳ, භූමික යෙරුසලමෙහි රජ කරන බව ලියෝන්ස්හි අයිරීනියස් ඉගැන්නුවා.
5. ක්‍රිස්තුස්ගේ “දෙවන පහළවීම” සහ ඔහුගේ දහස් අවුරුදු පාලනය ගැන ඇතැම් විශාරදයන් කියා තියෙන්නේ මොනවාද?
5 ඉතිහාසඥ ෆිලිප් ෂාෆ් අදහස් දක්වන ආකාරයට, පො.යු. 325දී පැවැත්වූ නයිසියා මන්ත්‍රණ සභාවට කලින් කාලපරිච්ඡේදයේ “විශේෂයෙන්ම කැපීපෙනුණු කරුණ” තමයි “සාමාන්‍ය නැවත නැඟිටීම හා විනිශ්චයට කලින්, ක්‍රිස්තුස් නැවත නැඟිටුවනු ලැබූ සාන්තුවරයන් සමඟ අවුරුදු දහසකට පොළොව මත තේජසින් යුක්තව දෘශ්‍යමානව රජකම් කිරීම පිළිබඳ විශ්වාසය.” ජේම්ස් හේස්ටිංස් සංස්කරණය කළ ඒ ඩික්ෂනරි ඔෆ් ද බයිබල් (බයිබලය පිළිබඳ ශබ්දකෝෂයක්) මෙසේ කියයි: “ට’ටූලියන්, අයිරීනියස් සහ හිපොලිටස් තවමත් බලා සිටින්නේ [යේසුස් ක්‍රිස්තුස්] විගස පහළ වෙයි කියලයි; ඒත් ඇලෙක්සැන්ඩ්‍රියානු පියවරුන් තුළින් සිතීමේ නව මාවතකට අපි පිවිසෙනවා . . . ඔගස්ටින්, දහස් අවුරුදු පාලනය සභාව මිහිපිට තිබෙන කාලපරිච්ඡේදයට සම්බන්ධ කර දැක්වීමෙන්, දෙවන පහළවීම ඈත අනාගතයට කල්දමා තිබෙනවා.”
යෙහෝවාගේ දවස සහ යේසුගේ පැමිණසිටීම
6. යෙහෝවාගේ දවසට තවත් බොහෝ කල් තියෙනවා කියා අප නිගමනය නොකළ යුත්තේ ඇයි?
6 වරදවා වටහාගැනීම් බලාපොරොත්තු සුන්වීමට මඟ පාදා තිබුණත්, යෙහෝවාගේ දවසට තවත් සෑහෙන කල් තියෙනවයි කියලා නොහිතමු. ශුද්ධ ලියවිලි මාර්ගයෙන් යෙහෝවාගේ දවසට සම්බන්ධ කරලා තියෙන යේසුගේ අදෘශ්‍යමාන පැමිණසිටීම දැනටමත් ආරම්භ වෙලයි තියෙන්නේ. ක්‍රිස්තුස්ගේ පැමිණසිටීම 1914 වර්ෂයේ පටන්ගත් බවට, මුරටැඹ හා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වෙනත් අදාළ ප්‍රකාශන ශුද්ධ ලියවිලිමය සාක්ෂි නොයෙක් විට සපයා තියෙනවා.a එහෙමනං, යේසු තම පැමිණසිටීම ගැන කිව්වේ මොනවාද?
7. (අ) යේසුගේ පැමිණසිටීම හා දේවල පිළිවෙළේ නිමාව පිළිබඳ ලකුණේ ඇතැම් අංගයන් මොනවාද? (ආ) අපට ගැළවීම අත් වන්නේ කොහොමද?
7 යේසුගේ මරණයට ටිකකට කලින්, ඔහුගේ පැමිණසිටීම සාකච්ඡාවට බඳුන් වූ විෂයක් වුණා. යෙරුසලමේ දේවමාළිගාවේ විනාශය පිළිබඳව ඔහු කළ පුරෝකථනයට සවන් දීමෙන් පසුව, පේතෘස්, යාකොබ්, යොහන් සහ අන්දෘ කියන ඔහුගේ ප්‍රේරිතයන් මෙහෙම ඇසුවා: “මෙම දේවල් සිදු වනු ඇත්තේ කවදාද? තවද ඔබගේ පැමිණසිටීමටත්, දේවල පිළිවෙළේ නිමාවටත් ලකුණ කුමක් වනු ඇද්ද?” (මතෙව් 24:1-3, NW; මාර්ක් 13:3, 4) පිළිතුරු වශයෙන්, යුද්ධ, සාගත, භූමිකම්පා සහ ඔහුගේ පැමිණසිටීමේ හා දේවල පිළිවෙළේ නිමාවට අයත් ‘ලකුණෙහි’ වෙනත් අංග යේසු පුරෝකථනය කළා. ඔහු මෙහෙමත් කිව්වා: “එහෙත් ගළවනු ලබන්නේ අන්තිමය දක්වා විඳදරාගෙන සිටින්නාමය.” (මතෙව් 24:13, NW) අපි අපේ වර්තමාන ජීවිතයේ අන්තිමය දක්වා හෝ මේ දුෂ්ට පිළිවෙළේ අන්තිමය දක්වා හෝ විශ්වාසවන්තව විඳදරාගත්තොත්, අපට ගැළවීම අත් වේවි.
8. යුදෙව් පිළිවෙළේ අවසානයට කලින්, ඉටු කිරීමට තිබුණේ මොකක්ද? අදදින මේ සම්බන්ධයෙන් කරනු ලබන්නේ මොනවාද?
8 අන්තිමයට කලින්, යේසුගේ පැමිණසිටීමට සම්බන්ධ විශේෂයෙන්ම වැදගත් අංගයක් ඉටු වෙන්න යනවා. ඒ සම්බන්ධයෙන් ඔහු මෙහෙම කිව්වා: “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ජනාවාස පොළොව මුළුල්ලෙහි දේශනා කරනු ලබන්නේය; තවද එවිට අන්තිමය පැමිණෙනු ඇත.” (මතෙව් 24:14, NW) පොදු යුගයේ 70දී රෝමවරුන් යෙරුසලම විනාශ කර, යුදෙව් දේවල පිළිවෙළ අවසන් වෙන්න කලින්, ශුභාරංචිය “අහසින් යට මුළු මැවිල්ලෙහි දේශනා කරනු ලැබූ” බව කියන්න පාවුල්ට පුළුවන් වුණා. (කොලොස්සි 1:23, NW) කොහොම වුණත්, අදදින ඊටත් වඩා පුළුල් දේශනා කිරීමේ වැඩක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතින් “ජනාවාස පොළොව මුළුල්ලෙහි” කෙරෙනවා. මෑත වර්ෂ කිහිපය තුළදී, නැඟෙනහිර යුරෝපයේ මහත් සාක්ෂියක් දැරීමට දෙවි මඟ විවෘත කර තියෙනවා. ලොව පුරා මුද්‍රණාල හා වෙනත් පහසුකම් තියෙන නිසා, යෙහෝවාගේ සංවිධානය සැරසී සිටින්නේ වැඩිමනත් ක්‍රියාකාරකම්වලටයි; “අත නොගැසූ බලප්‍රදේශ” පවා මෙයට ඇතුළත්. (රෝම 15:22, 23, NW) අන්තිමය පැමිණෙන්න කලින් දරන සාක්ෂියට ඔබේ උපරිමය දෙන්න ඔබේ හෘදය ඔබව පොලඹවනවාද? එහෙම තියෙනවා නම්, ඉදිරියෙහි තියෙන වැඩවලට විපාකදායී ආකාරයකින් සහභාගි වෙන්න ඔබව ශක්තිමත් කරන්න දෙවිට පුළුවන්.—පිලිප්පි 4:13; 2 තිමෝති 4:17.
9. මතෙව් 24:36හි වාර්තා කරලා තියෙන විදිහට, යේසු ඒත්තුගන්වන්න හැදූ කාරණය මොකක්ද?
9 පුරෝකථනය කළ රාජ්‍ය දේශනා කිරීමේ වැඩය හා යේසුගේ පැමිණසිටීමේ ලකුණේ වෙනත් අංගයන් මේ දැන් ඉටු වෙමින් පවතිනවා. එමනිසා, මේ දුෂ්ට දේවල පිළිවෙළේ අන්තිමය ආසන්නයි. “ඒ දවස හා පැය මාගේ පියා . . . මිස දන්නා කෙනෙක් නැත; ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැත” කියා යේසු පැවසූ බව ඇත්තයි. (මතෙව් 24:4-14, 36) ඒත් “ඒ දවස හා පැය” සඳහා සූදානමින් සිටීමට යේසුගේ අනාවැකිය අපට උපකාරයක් වෙන්න පුළුවන්.
ඔවුන් සිටියේ සූදානමින්
10. ආත්මිකව අවදිව ඉන්න පුළුවන් බව අපි දන්නේ කොහොමද?
10 යෙහෝවාගේ මහත් දවසින් බේරී ජීවත්වීමට නම්, අපි ආත්මිකව අවදියෙන් සහ සැබෑ නමස්කාරය වෙනුවෙන් ස්ථිරව සිටිය යුතුයි. (1 කොරින්ති 16:13) පොදු යුගයට පෙර 2370දී, දුෂ්ට මනුෂ්‍යයන්ව විනාශ කළ ජලගැලීම තුළින් දේවභක්තික පවුලක් එහෙම කරලා බේරී ජීවත් වූ නිසා, එලෙස විඳදරාගැනීමක් කරන්න පුළුවන් බව අපි දන්නවා. එම යුගය තම පැමිණසිටීම සමඟ සන්සන්දනය කරමින් යේසු මෙහෙම පැවසුවා: “නෝවාගේ දවස් මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් [පැමිණසිටීමත්, NW] වන්නේය. මක්නිසාද ජලගැලීමට පළමු දවස්වලදී, නෝවා නැවට ඇතුල්වූ දවස දක්වා, ඔව්හු කමින් බොමින්, සරණපාවාගනිමින්, සරණපාවාදෙමින් සිටියෝය. ජලගැල්ම පැමිණ සියල්ලන්ම ගසාගෙන යනතුරු ඔව්හු නොදැන [ගණනකට නොගෙන, NW] සිටියෝය; මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් [පැමිණසිටීමත්, NW] එලෙසම වන්නේය.”—මතෙව් 24:37-39.
11. නෝවාගේ දවසේ දරුණු තත්වයක් පැවතුණත්, ඔහු ලුහුබැන්දේ මොන මාර්ගයද?
11 අපි වාගේ, නෝවා සහ ඔහුගේ පවුල දරුණු ලෝකයකයි ජීවත් වුණේ. ‘දෙවිගේ’ අකීකරු වූ දේවදූතමය “පුත්‍රයෝ” මනුෂ්‍ය වෙස්ගෙන භාර්යාවන් පාවාගෙන තිබුණා; ඔවුන්ට දාව මේ භාර්යාවන් අපකීර්තිමත් නෙඵිලීම්වරුන්ව වැදුවා; මේ දාමරිකයෝ තත්වය තවත් දරුණු අතට හැරවූ බවට කිසිම සැකයක් නැහැ. (උත්පත්ති 6:1, 2, 4; 1 පේතෘස් 3:19, 20) කොහොම වුණත්, ඇදහිල්ලෙන්, “නෝවා, සැබෑ දෙවි සමඟ ගමන් කළේය.” ඔහු “තම සමකාලීනයන්”—එනම් තම කාලයේ සිටි දුෂ්ට පරම්පරාව—“අතර නිර්දෝෂ කෙනෙක් බව ඔප්පු කළේය.” (උත්පත්ති 6:9-11, NW) දෙවි කෙරෙහි යාච්ඤාපූර්වකව රඳා සිටීමෙන් යෙහෝවාගේ දවස බලා සිටින ගමන්, මේ දරුණු හා දුෂ්ට ලෝකයේ අපට ඒ හා සමාන දෙයක් කරන්න පුළුවන්.
12. (අ) නැවක් සෑදීමට අමතරව, නෝවා මොන වැඩයේද නිරත වුණේ? (ආ) මනුෂ්‍යයන් නෝවාගේ දේශනා කිරීමට ප්‍රතික්‍රියා කළේ කොහොමද? එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ට අත් වුණේ මොකක්ද?
12 ජලගැල්මෙන් ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා නැවක් සෑදූ තැනැත්තා හැටියට නෝවා ප්‍රසිද්ධියක් උසුලනවා. ඔහු “ධර්මිෂ්ඨකමේ දේශනාකාරයෙක්” වුවත්, ඔහුගේ සමකාලීනයන් දෙවිගෙන් ලැබූ ඔහුගේ පණිවිඩය ‘ගණනකට ගත්තේ නැහැ.’ ජලගැල්ම ඇවිත් ඔවුන් සියලුදෙනාම ගසාගෙන යන තුරු, ඔවුන් කා බී, විවාහ වෙමින්, පවුලක් ගෙනයමින්, ජීවිතයේ සාමාන්‍ය කටයුතුවල නිරත වුණා. (2 පේතෘස් 2:5; උත්පත්ති 6:14) “දෙවි . . . කෙරෙහි පසුතැවිල්ලත්,” ක්‍රිස්තුස් කෙරෙහි ඇදහිල්ලත්, ධර්මිෂ්ඨකමත්, “පැමිණෙන්නාවූ විනිශ්චය” ගැනත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට කියන්න තියෙන දේට අදදින දුෂ්ට පරම්පරාව තමුන්ගේ කන් වසාගන්නාක් මෙන්, ඔවුන් කැමති වුණේ නැහැ නිදොස් කතාව හා හැසිරීම ගැන අහන්න. (ක්‍රියා 20:20, 21; 24:24, 25) දෙවිගේ පණිවිඩය නෝවා ප්‍රකාශ කරද්දී, මිහිපිට කොතරම් ජනකායක් හිටියාද කියා දක්වන කිසිම වාර්තාවක් නැහැ. ඒත් එක දෙයක් නම් ස්ථිරයි: පො.යු.පෙ. 2370දී, පොළොවේ ජනගහනය ප්‍රබල ආකාරයකින් අඩු වුණා! එම ජලගැල්මෙන් දුෂ්ටයන් ගසාගෙන ගිය අතර, එම දේවක්රියාවට සූදානම් වූ අය, ඒ කියන්නේ නෝවා සහ ඔහුගේ පවුලේ අනික් සාමාජිකයන් හත්දෙනා විතරයි එයින් බේරුණේ.—උත්පත්ති 7:19-23; 2 පේතෘස් 3:5, 6.
13. නෝවා සම්පූර්ණ විශ්වාසයක් තැබුවේ මොන විනිශ්චයක නියෝගය කෙරෙහිද? මීට එකඟව ඔහු ක්‍රියා කළේ කොහොමද?
13 හරියටම ජලගැල්ම සිදු වන දවස සහ පැය ගැන නෝවාට දෙවි අවුරුදු ගණනාවකට කලින්ම දැනුම් දීමක් කළේ නැහැ. කොහොම වුණත්, නෝවාට අවුරුදු 480ක් වූ විට, යෙහෝවා මෙසේ තීන්දු කළා: “මාගේ ආත්මය මනුෂ්‍යයා හා සමඟ සදාකල්ම විවාද නොකරන්නේය; මක්නිසාද ඔහුත් මාංසයය. එසේවී නුමුත් ඔහුගේ කාලය එකසිය විසි අවුරුද්දක් වන්නේය.” (උත්පත්ති 6:3) නෝවා මෙම දිව්‍යමය විනිශ්චයක නියෝගය කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබුවා. වයස අවුරුදු 500ට පා තැබීමෙන් පස්සේ, ඔහුට “දාව ෂෙම්ද හාම්ද යඵෙත්ද” උපන් අතර, ඒ කාලයේ සිරිතට අනුව, ඔහුගේ පුතුන් විවාහ වුණේ අවුරුදු 50ක සිට 60ක කාලයක් ගෙවී ගියාට පස්සේ කියලා කියන්න පුළුවන්. ජලගැල්මෙන් බේරීම සඳහා නැවක් ගොඩනඟන්න නෝවාට අණ කළ විට, එම ප්රයත්නය සඳහා එම පුතුන් හා ඔවුන්ගේ භාර්යාවන් ඔහුට උපකාර කළ බව ප්‍රත්‍යක්ෂයි. නැව සෑදීමේ වැඩය සහ “ධර්මිෂ්ඨකමේ දේශනාකාරයෙක්” වශයෙන් නෝවා කළ සේවය ඇතැම්විට එකටම වගේ සිදු වුණ නිසා, ජලගැල්මට කලින් අවුරුදු 40 සිට 50ක කාලයක් ඔහු කාර්යබහුලව හිටියා. (උත්පත්ති 5:32; 6:13-22) ඒ අවුරුදු ගණනාව පුරාම, ඔහු සහ ඔහුගේ පවුල ඇදහිල්ලෙන් ක්‍රියා කළා. අපිත් ශුභාරංචිය දේශනා කරමින් යෙහෝවාගේ දවස බලාසිටින අතරේදී, ඇදහිල්ල විදහාපෙන්වමු.—හෙබ්‍රෙව් 11:7.
14. අන්තිමේදී යෙහෝවා නෝවාට කිව්වේ මොකක්ද? ඒ ඇයි?
14 නැව සෑදීමේ කටයුතු නිමා වෙද්දී, ජලගැල්ම සිදු වන දවස නෝවා හරියටම දැන නොසිටියත්, එය අතළඟ බව ඔහු හිතන්න ඇති. අන්තිමේදී, යෙහෝවා ඔහුට මෙහෙම කිව්වා: “තව සත් දවසකින් දහවල් සතලිසක්ද රෑ සතලිසක්ද පොළොව පිට වැසි වස්වන්නෙමි.” (උත්පත්ති 7:4) ඒකෙන් නෝවාට සහ ඔහුගේ පවුලට ප්‍රමාණවත් කාලයක් ලැබුණා, ජලගැල්මේ ආරම්භයට කලින් සියලුම සත්ව වර්ග නැවට ඇතුල් කරන්නත් තමන්ට ඇතුල් වෙන්නත්. මේ පිළිවෙළේ විනාශයේ ආරම්භය සිදු වන දවසවත් පැයවත් දැනගන්න අපට අවශ්‍ය නැහැ; සතුන් බේරාගැනීම අපට භාර දී තියෙන වැඩක් නෙවෙයි; ඒ වගේම බේරී ජීවත්වීමට අපේක්ෂා කරන මනුෂ්‍යයන් දැනටමත් සංකේත නැවට, ඒ කියන්නේ දෙවිගේ සෙනඟගෙන් යුත් ආත්මික පාරාදීසයට ඇතුල් වෙනවා.
“අවදිව සිටින්න”
15. (අ) ඔබේම වචනවලින්, මතෙව් 24:40-44හි තියෙන යේසුගේ වදන් ඔබ පැහැදිලි කරන්නේ කොහොමද? (ආ) දෙවි වෙනුවෙන් පළිගන්න යේසු පැමිණෙන නියම වේලාව නොදැන සිටීමෙන් ඇති වන බලපෑම මොකක්ද?
15 තම පැමිණසිටීම ගැන යේසු මෙහෙම පැහැදිලි කළා: “එකල මනුෂ්‍යයන් දෙදෙනෙක් කෙතෙහි [වැඩ කරනවා] ඇත; එක්කෙනෙක් ගනු ලබන්නේය, එක්කෙනෙක් අත්හරිනු ලබන්නේය. ස්ත්‍රියන් දෙදෙනෙක් ඇඹරුම් ගලේ [ධාන්‍ය පිටිවලට] අඹරමින් සිටිනවා ඇත; එක් තැනැත්තියක් ගනු ලබන්නීය, එක් තැනැත්තියක් අත්හරිනු ලබන්නීය. එබැවින් අවදිව සිටින්න. මක්නිසාද නුඹලාගේ ස්වාමියා කොයි දවසේ එනසේක්දැයි නුඹලා දන්නේ නැත. නුමුත් සොරා කොයි යාමයේ එන්නේදැයි ගෙයි ස්වාමියා දැනගන සිටියේ නම්, ඔහු අවදිව සිටිමින් තමාගේ ගෙය උමංකණින්ට නොදෙන බව දැනගන්න. එබැවින් නුඹලාත් සෑදී සිටින්න. මක්නිසාද නුඹලා නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා එනසේක.” (මතෙව් 24:40-44; ලූක් 17:34, 35) දෙවි වෙනුවෙන් පළිගන්න යේසු පැමිණෙන නියම වේලාව අප නොදන්නා නිසා, අවදිව සිටීමට අපි නැඹුරු වෙන අතරම, අපි යෙහෝවාට සේවය කරන්නේ පරාර්ථකාමී චේතනාවලින් බව ඔප්පු කිරීමට එය අපහට දෛනික ප්‍රස්තාවක් උදා කර දෙනවා.
16. ‘අත්හරිනු ලබන’ හා ‘ගනු ලබන’ පුද්ගලයන්ට සිදු වන්නේ මොකක්ද?
16 දුෂ්ටයන් සමඟ විනාශය සඳහා ‘අත්හරිනු ලබන’ පුද්ගලයන්ට ඇතුළත් වන්නේ, වරක් ඥානාලෝකනය වුවත්, ආත්මාර්ථකාමී ජීවිතයකට ගොදුරු වන අයයි. ‘ගනු ලබන’ අය, ඒ කියන්නේ යෙහෝවාට සම්පූර්ණ භක්තියකින් කැප වී සිටින, “විශ්වාසවූ නුවණ ඇති දාසයා” තුළින් ඔහු සපයා තියෙන ආත්මික සැපයුම්වලට සැබෑ කෘතඥතාවක් දක්වන අය අතර අපිත් සිටිමු. (මතෙව් 24:45-47) “පිරිසිදු හෘදයකින් හා යහපත් හෘදය සාක්ෂියකින් හා කුහකකමින් තොර ඇදහිල්ලකින් යුත් ප්‍රේමය[ක්]” ඇතුව දෙවිට අන්තිමය දක්වාම සේවය කරමු.—1 තිමෝති 1:5, NW.
ශුද්ධ ක්‍රියා අත්‍යවශ්‍යයි
17. (අ) දෙවන පේතෘස් 3:10හි පුරෝකථනය කරලා තිබුණේ මොකක්ද? (ආ) දෙවන පේතෘස් 3:11 [NW] මගින් දිරිගන්වනු ලබන ක්‍රියා සමහරක් මොනවාද?
17 ප්‍රේරිත පේතෘස් මෙහෙම ලිව්වා: “සොරෙකුමෙන් ස්වාමීන්වහන්සේගේ [යෙහෝවාගේ, NW] දවස පැමිණෙන්නේය; ඒ දවසේදී අහස මහත් ඝෝෂාවකින් පහවයන්නේය, මහාභූතයෝද තද උෂ්ණයෙන් නාස්තිවී යන්නෝය, පොළොවද එහි තිබෙන කර්මාන්තද දාලායන්නේය.” (2 පේතෘස් 3:10) දෙවිගේ දැවෙන උදහසේ තාපයෙන් සංකේත අහස සහ පොළොව බේරෙන්නේ නැහැ. එනිසා පේතෘස් මේ කාරණය එකතු කරයි: “මේ දේවල් සියල්ල මෙසේ අහෝසි වී යෑමට නියම වී තිබෙන හෙයින්, ඔබ හැසිරීමෙන් ශුද්ධ ක්‍රියාද, ක්‍රියාවෙන් දේවභක්තියද දක්වන කවර අන්දමේ පුද්ගලයන් විය යුතුද!” (2 පේතෘස් 3:11, NW) ක්‍රිස්තියානි රැස්වීම්වලට නිතිපතා පැමිණසිටීම, අනුන්ට යහපත කිරීම සහ ශුභාරංචිය දේශනා කිරීමෙහි අර්ථවත් ආකාරයකින් සහභාගි වීම මෙම ක්‍රියාවලට අයත් වෙනවා.—මතෙව් 24:14; හෙබ්‍රෙව් 10:24, 25; 13:16.
18. ලෝකය කෙරෙහි ඇල්මක් අප තුළ වර්ධනය වෙනවා නම්, අපි කුමක් කළ යුතුද?
18 “හැසිරීමෙන් ශුද්ධ ක්‍රියාද, ක්‍රියාවෙන් දේවභක්තියද” පවත්වාගැනීමට නම්, අපි ‘ලෝකයෙන් කිලුටු නොවන ලෙස අපවම ආරක්ෂා කරගැනීම’ අවශ්‍යයි. (යාකොබ් 1:27) ඒත් අපි මේ ලෝකය කෙරෙහි යම් ඇල්මක් වර්ධනය කරගන්නවා නම්? අපවිත්‍ර විනෝදාස්වාදය සෙවීමෙන් හෝ මේ ලෝකයේ අභක්තික ආත්මයට අනුබල දෙන සංගීතයට හා ගීතිකාවලට සවන් දීමෙන්, දෙවි ඉදිරියෙහි අනතුරුදායක තත්වයකට අපිව පොලඹවාගන්නවා වෙන්න පුළුවන්. (2 කොරින්ති 6:14-18) එය සැබෑවක් නම්, අප ලෝකය සමඟ පහව නොගොස්, මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි අනුමැතිය ලත් තත්වයක ඉන්න පුළුවන් වන පරිද්දෙන්, යාච්ඤාවෙන් දෙවිගේ පිහිටෝපකාර පතමු. (ලූක් 21:34-36; 1 යොහන් 2:15-17) අපි දෙවිට කැප වී සිටිනවා නම්, ඔහු සමඟ උණුසුම් සබඳතාවක් ගොඩනඟා එය පවත්වාගැනීමටත්, එතුළින් යෙහෝවාගේ මහත් වූ භය උපදවන දවස සඳහා සූදානමින් සිටීමටත් අපි කැමති වෙනවාට කිසිම සැකයක් නැහැ.
19. මේ දුෂ්ට දේවල පිළිවෙළේ නිමාවෙන් ගැළවී ජීවත් වෙන්න රාජ්‍ය ප්‍රකාශකයන් සමූහයකට අපේක්ෂා කරන්න පුළුවන් වෙන්නේ ඇයි?
19 පුරාණ ලෝකය විනාශ කළ ඒ ජලගැල්මෙන් දේවභක්තික නෝවා සහ ඔහුගේ පවුල බේරී ජීවත් වුණා. පොදු යුගයේ 70දී යුදෙව් දේවල පිළිවෙළේ අවසානයෙන් නිර්දෝෂ පුද්ගලයන් බේරී ජීවත් වුණා. නිදසුනක් වශයෙන්, ප්‍රේරිත යොහන් පො.යු. 96-98 පමණ කාලයේදී, එළිදරව් පොත, තම සුවිශේෂ වාර්තාව හා දේවානුභාවයෙන් ලැබූ ලිපි තුන ලියූ විට, ඒ වෙද්දිත් දෙවිගේ සේවයෙහි ක්‍රියාශීලීව සිටියා. පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසේදී සැබෑ ඇදහිල්ල වැලඳගත් දහස් ගණන අතුරින් බොහෝදෙනෙක් යුදෙව් පිළිවෙළේ අවසානයෙන් ගැළවී ජීවත් වුණා කියා සිතාගන්න පුළුවන්. (ක්‍රියා 1:15; 2:41, 47; 4:4) අදදින වර්තමාන දුෂ්ට දේවල පිළිවෙළේ නිමාවෙන් ගැළවී ජීවත්වීමට රාජ්‍ය ප්‍රකාශකයන් සමූහයකට බලාපොරොත්තු වෙන්න පුළුවන්.
20. අපි ‘ධර්මිෂ්ඨකමේ’ ජ්වලිත ‘දේශනාකරන්නන්’ විය යුත්තේ ඇයි?
20 නව ලොවට ආරක්ෂා සහිතව පිවිසීමේ ප්‍රස්තාව අප ඉදිරියෙහි තියෙන නිසා, අපි ‘ධර්මිෂ්ඨකමේ’ ජ්වලිත ‘දේශනාකරන්නන්’ වෙමු. මේ අන්තිම දවස්වල දෙවිට සේවය කිරීමට ලැබීම මොනතරම් වරප්‍රසාදයක්ද! එමෙන්ම වර්තමාන “නැව” වෙත, ඒ කියන්නේ දෙවිගේ සෙනඟ භුක්තිවිඳින ආත්මික පාරාදීසය වෙත ජනයාව යොමු කිරීමට ලැබීම මොනතරම් ප්‍රීතියක්ද! දැන් එතුළ සිටින දශලක්ෂ ගණන් දෙනා, දිගටම විශ්වාසවන්තකම පවත්වා, ආත්මිකව අවදියෙන් හා යෙහෝවාගේ මහත් දවසට සූදානමින් සිටීවා! ඒත් අවදිව සිටින්න අපට උපකාර කරන්න යන්නේ මොනවාද?
[පාදසටහන]
a සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම යන පොතෙහි 10වන සහ 11වන පරිච්ඡේද බලන්න; ප්‍රකාශකයෝ: වොච්ටව’ බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්.
ඔබ උත්තර දෙන්නේ කොහොමද?
◻ යෙහෝවාගේ දවස සහ ක්‍රිස්තුස්ගේ පැමිණසිටීම ගැන සමහරුන්ට තිබිලා තියෙන්නේ මොන වගේ අපේක්ෂාවන්ද?
◻ නෝවා සහ ඔහුගේ පවුල ජලගැල්ම සඳහා සූදානමින් හිටියා කියලා අපට කියන්න පුළුවන් වෙන්නේ ඇයි?
◻ ‘අවදියෙන් සිටින’ අයට හා එසේ නොසිටින අයට සිද්ධ වෙන්න යන්නේ මොකක්ද?
◻ විශේෂයෙන්ම අපි යෙහෝවාගේ මහත් දවසට තව තවත් ළං වෙත්ම, ශුද්ධ ක්‍රියා අත්‍යවශ්‍ය වන්නේ ඇයි?