බයිබල් පොත් අංකය 26—එසකියෙල්
ලේඛකයා: එසකියෙල්
ලියූ ස්ථානය: බබිලෝනිය
ලිවීම සම්පූර්ණ කළේ: පො.යු.පෙ. 591දී පමණ
ආවරණය කරන කාලය: පො.යු.පෙ. 613-591දී පමණ
පොදු යුගයට පෙර 617දී, යූදාහි රජු වූ යෙහෝයාඛින් නෙබුකද්නෙශර්ට යටත් වීම නිසා යෙරුසලම ඔහු අතට පත් විය. නෙබුකද්නෙශර් දේශයේ උත්තමයන්ද යෙහෝවාගේ ගෘහයේ හා රජුගේ ගෘහයේ වස්තුද බබිලෝනියට රැගෙන ගියේය. වහලුන් අතර රජුගේ පවුලේ අයද, අධිපතීහුද, වික්‍රමාන්විත මෙන්ම බලවත් මනුෂ්‍යයෝද, ශිල්පීහුද, ගොඩනැඟිලි ඉදිකරන්නෝ හා පූජක බූසීගේ පුත්‍ර වූ එසකියෙල්ද වූහ. (2 රාජා. 24:11-17; එස. 1:1-3) මෙම වහල් ඉශ්රායෙල්වරු දොම්නසින් යුතුව හෙල්, ජල උල්පත් සහ නිම්න ඇති දේශයක සිට අතිවිශාල සමභූමියකට පැමිණීමෙන්, තමන්ගේ වෙහෙසකාරි ගමන නිමාවකට පත් කළහ. එතැන් පටන් ඔවුන් ජීවත් වූයේ අමුතු චාරිත්‍රවල හා මිථ්‍යා දෘෂ්ටික නමස්කාරයක නියැලුණු සෙනඟකගෙන් වට වූ බලවත් අධිරාජ්‍යයක් මධ්‍යයෙහි, කෙබාර් ගංගාව අසලය. තමන්ටම නිවෙස් සාදාගැනීමටත්, සේවකයන් තබාගෙන සිටීමටත්, ව්‍යාපාර කටයුතුවල යෙදී සිටීමටත් නෙබුකද්නෙශර් ඉශ්‍රායෙලිතයන්ට අවසර දුන්නේය. (එස. 8:1; යෙරෙ. 29:5-7; එස්රා 2:65) ඔවුන් උත්සාහවන්ත නම්, ඔවුන්ට සමෘද්ධිමත් වීමට හැකි විය. බබිලෝනීය ආගම හා එහි පැවති ද්‍රව්‍යවාදය වැනි මලපත්වලට ඔවුන් අසු වනු ඇද්ද? යෙහෝවාට එරෙහිව ඔවුන් නොකඩවා කැරලිගසනු ඇද්ද? තමන්ගේ වහල්භාවය ඔහුගෙන් පැමිණි හික්මවීමක් ලෙස ඔවුන් පිළිගනු ඇද්ද? වහල්භාවයේ ජීවත් වන දේශයේදී ඔවුන් මෙම අලුත් පරීක්ෂණවලට මුහුණ දෙනු ඇත.
2 යෙරුසලමේ විනාශයට මඟ පෑදූ සිද්ධීන් සිදු වූ අතිදුෂ්කර කාලයේදී යෙහෝවා දිගින් දිගටම අනාගතවක්තෘවරුන්ව උපයෝගී කරගනිමින් ඉශ්රායෙල්වරුන්ට තම වචනය දැනුම් දුන්නේය. යෙරෙමියා යෙරුසලමෙහිම නැවතී සිටි අතර, දානියෙල් බබිලෝනීය රජ මාලිගාවෙහි සිටියේය. එසකියෙල් බබිලෝනියෙහි යුදෙව් වහලුන්ගේ අනාගතවක්තෘවරයා විය. එසකියෙල් පූජකයෙකු මෙන්ම අනාගතවක්තෘවරයෙකුද විය. යෙරෙමියා හා පසුව සෙකරියාද එවැනි විශේෂ වරප්‍රසාදයක් භුක්ති වින්දෝය. (එස. 1:3) ඔහුගේ පොත පුරාම වාර 90කට වඩා වැඩියෙන් ඔහුව අමතා ඇත්තේ “මනුෂ්‍ය පුත්‍රය” වශයෙනි. මෙය ඔහුගේ අනාවැකි අධ්‍යයනය කිරීමේදී දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයකි. මන්ද ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවල 80කට ආසන්න වාර ගණනකදී යේසුස්ව එලෙසම “මනුෂ්‍ය පුත්‍රයා” වශයෙන් හඳුන්වා ඇති නිසාය. (එස. 2:1; මතෙ. 8:20) එසකියෙල් (හෙබ්‍රෙව්, යෙකෙස්කෙල්) යන ඔහුගේ නාමයෙන් අදහස් කරන්නේ “දෙවි ශක්තිමත් කරයි” යන්නයි. යෙහෝවා විසින් එසකියෙල්ව අනාගතවක්තෘ හැටියට පත් කරන ලද්දේ පො.යු.පෙ. 613දීය. මෙය යෙහෝයාඛින් වහල්භාවයේ සිටි පස්වන අවුරුද්ද විය. වසර 22කට පසුව, එනම් වහල්භාවයේ සිටි 27වන අවුරුද්ද වන විටත් එසකියෙල් එම කාර්යයෙහිම නියුතුව සිටි බව අපට කියවීමට තිබේ. (එස. 1:1, 2; 29:17) ඔහු විවාහකයෙකු විය. එනමුත් නෙබුකද්නෙශර් යෙරුසලමේ අන්තිම වටලෑම සිදු කිරීමට පටන්ගත් දවසේදී ඔහුගේ භාර්යාව මිය ගියාය. (24:2, 18) ඔහුගේ මරණය සිදු වූ දිනය හා ආකාරය සම්බන්ධයෙන් කිසිම තොරතුරක් නැත.
3 එසකියෙල් ඔහුගේ නාමය දරන පොත සැබවින්ම ලියනු ලැබුවා යන කාරණය ගැනත්, ලියවිල්ලේ පිළිගත් ග්රන්ථ සමූහය තුළ ඊට නිසි ස්ථානයක් තිබීම ගැනත් මතභේදයක් නැත. එස්රාගේ දවසේදී එය පිළිගත් ග්රන්ථ සමූහයට ඇතුළත් කර තිබිණ. එමෙන්ම එය මුල් ක්‍රිස්තියානි කාලවලට අයත් නාමාවලිවලද, විශේෂයෙන්ම ඔරිගන්ගේ පිළිගත් ග්රන්ථ සමූහය තුළද දක්නට තිබේ. යෙරෙමියා හා එළිදරව් පොත්වල තිබෙන සංකේතමය වදන් සහ එසකියෙල් පොතේ තිබෙන සංකේතමය වදන් අතර තිබෙන කැපීපෙනෙන සමානකම්වලින් එහි විශ්වාසවන්තභාවය සනාථ කෙරේ.—එස. 24:2-12—යෙරෙ. 1:13-15; එස. 23:1-49—යෙරෙ. 3:6-11; එස. 18:2-4—යෙරෙ. 31:29, 30; එස. 1:5, 10—එළි. 4:6, 7; එස. 5:17—එළි. 6:8; එස. 9:4—එළි. 7:3; එස. 2:9; 3:1—එළි. 10:2, 8-10; එස. 23:22, 25, 26—එළි. 17:16; 18:8; එස. 27:30, 36—එළි. 18:9, 17-19; එස. 37:27—එළි. 21:3; එස. 48:30-34—එළි. 21:12, 13; එස. 47:1, 7, 12—එළි. 22:1, 2.
4 එසකියෙල් පොතේ විශ්වාසවන්තභාවය පිළිබඳව තවත් සාක්ෂි තීර්, මිසරය හා ඒදොම් වැනි අසල්වැසි ජාතීන්ට එරෙහිව මෙම පොතේ කර තිබෙන අනාවැකිවල විස්මයජනක ඉටුවීම්වලින් සොයාගත හැක. උදාහරණයක් වශයෙන්, තීර් විනාශ වනු ඇතැයි එසකියෙල් පුරෝකථනය කළේය. වසර 13ක වටලෑමකින් පසු, නෙබුකද්නෙශර් නුවර අත් පත් කරගත් විට, මෙය තරමක් දුරට ඉටු විය. (එස. 26:2-21) එම සටනෙන් තීර් මුළුමනින්ම විනාශ වූයේ නැත. කෙසේවෙතත් එය මුළුමනින්ම විනාශ විය යුතු බව යෙහෝවා තීන්දු කර තිබිණ. එසකියෙල් මාර්ගයෙන් ඔහු මෙසේ පුරෝකථනය කොට තිබිණ. “මම එහි ධූලි එතනින් අතුගා දමා එය මුඩු පර්වතයක් කරන්නෙමි. . . . නුඹේ ගල්ද ලීද පස්ද ජල මැදට දමනවා ඇත.” (26:4, 12) වසර 250කට වඩා වැඩි කලකට පසු, මහා ඇලෙක්සැන්ඩර් තීර් දිවයින් නුවරට එරෙහිව පැමිණි විට, ඒ අනාවැකියේ සඳහන් සෑම දෙයක්ම ඉටු විය. ප්‍රධාන භූමියේ පිහිටි නගරය විනාශ කොට එහි සුන්බුන් සියල්ලක්ම ඇලෙක්සැන්ඩර්ගේ හේවායන් විසින් මුහුදට අතුගා දමා, දිවයින් නුවරට සම්බන්ධ කෙරෙන මීටර් 800ක මාර්ගයක් තනන ලදි. ඉන්පසු පො.යු.පෙ. 332දී, නුවර අත් පත් කරගැනීම සඳහා දුෂ්කර වටලෑමක් සිදු කොට, මීටර් 46ක් උස පවුරුවලට ඔවුහු නැඟගත්තෝය. දහස් ගණනක් දෙනා මරනු ලැබූහ. තවත් බොහෝදෙනෙක් වහල්කමට විකුණනු ලැබූහ. එසකියෙල් තවදුරටත් පුරෝකථනය කර තිබූ පරිදි තීර් ‘මුඩු පර්වතයක්ද දැල් ඇතිරීම පිණිස ස්ථානයක්ද’ විය. (26:14)a එසකියෙල්ගේ අනාවැකියේ තවත් ඉටුවීමක් වශයෙන්, පොරොන්දු දේශයේ අනික් පැත්තේ සිටි ද්‍රෝහි ඒදොම්වරුන්වද විනාශ කරනු ලැබීය. (25:12, 13; 35:2-9)b ඇත්තවශයෙන්ම, යෙරුසලමේ විනාශය ගැන හා ඉශ්‍රායෙල්ගේ නැවත පිහිටුවීම ගැන එසකියෙල් ප්‍රකාශ කළ අනාවැකිද නිවැරදි බව ඔප්පු විය.—17:12-21; 36:7-14.
5 එසකියෙල් අනාවැකි පැවසීමේ කාර්යයේ නිරත වූ මුල් අවුරුදුවලදී ප්‍රකාශ කළේ අවිශ්වාසවන්ත යෙරුසලමට එරෙහිව ස්ථිර ලෙස ක්‍රියාත්මක වීමට නියමිත වූ දෙවිගේ විනිශ්චයන් ගැනය. එමෙන්ම රූප නමස්කාරයට එරෙහිව අනතුරු ඇඟෙව්වේද ඒ කාලයේදීමය. (14:1-8; 17:12-21) වහල්කමේ සිටි යුදෙව්වරුන් සැබවින්ම පසුතැවිලි වූ බවක් නම් පෙනෙන්ට තිබුණේ නැත. ඔවුන්ගේ වග කිවයුත්තන් එසකියෙල්ගෙන් උපදෙස් ගැනීම පුරුද්දක් කරගෙන සිටියත්, යෙහෝවා එසකියෙල් මාර්ගයෙන් දැන්වූ පණිවුඩවලට ඔවුන් කිසිදු සැලකිල්ලක් දැක්වූයේ නැත. ඔවුහු තමන්ගේ රූප වැඳීමේ හා ද්‍රව්‍යවාදී පුරුදුවල දිගින් දිගටම නියැලී සිටියෝය. ඔවුන්ගේ දේවමාලිගාව, ශුද්ධ නගරය හා රජ පෙළපත අහිමි වීමෙන් බලවත් කම්පනයක් ඇති වුවද, යටහත් පහත්කම හා පසුතැවිල්ල පෙන්වීමට යුහුසුලු වුණේ ස්වල්පදෙනෙකු පමණි.—ගීතා. 137:1-9.
6 පසු අවුරුදුවලදී එසකියෙල් ප්‍රකාශ කළ අනාවැකි මගින්, නැවත පිහිටුවීමේ බලාපොරොත්තුව අවධාරණය කෙරිණ. යූදාගේ වැටීම ගැන සතුටට පත් වූ ඇගේ අසල්වැසි ජාතීන්ව දැඩි විවේචනයටද ලක් කර තිබිණ. එම ජාතීන් අගෞරවයට පත්වීමත් සමඟම ඉශ්රායෙල්වරුන්ගේ නැවත පිහිටුවීම මගින් ඔවුන්ගේ ඇස් ඉදිරියෙහි යෙහෝවා ගෞරවයට පත් වනු ඇත. සාරාංශයක් කොට දක්වතොත්, වහල්කමේ හා නැවත පිහිටුවීමේ අරමුණ වූයේ මෙයයි. ‘මා යෙහෝවා බව ඔබට, එනම් යුදෙව්වරුන්ට හා ජාතීන්ට දැනගන්ට සිදු වෙනවා ඇත.’ (එස. 39:7, 22) මෙසේ යෙහෝවාගේ නාමය විශුද්ධවත් වීම පොත පුරාම කැපීපෙනෙන්න සලස්වා තිබේ. “මා යෙහෝවා බව නුඹලා [නැතහොත් ඔවුන්] දැනගන්නවා ඇත” යන ප්‍රකාශය 60 වාරයක් ඉක්මවා දක්නට ලැබේ.—6:7, NW පාදසටහන.
ප්‍රයෝජනදායක වීමට හේතුව
29 යෙහෝවා එසකියෙල්ට කළ ප්‍රකාශයන්, ඔහුට දුන් දර්ශන හා පොරොන්දු යන සියල්ලක්ම ඔහු වහල්කමේ සිටි යුදෙව්වන්ට විශ්වාසවන්තව දැනුම් දුන්නේය. බොහෝදෙනෙකු අනාගතවක්තෘවරයාට නින්දා කළත්, සමහරු ඔහු පැවසූ දෑ විශ්වාස කළහ. එවැනි අය ඉමහත් සේ ප්‍රයෝජන ලැබූහ. නැවත පිහිටුවීමේ පොරොන්දු මගින් ඔවුහු ශක්තිමත් වූහ. වහල්කමට රැගෙන ගිය වෙනත් ජාතීන් මෙන් නොව, ඔවුන් තමන්ගේ ජාතික අනන්‍යතාව රැකගත් අතර යෙහෝවා පුරෝකථනය කළ පරිදි පො.යු.පෙ. 537දී ඉතිරි කොටසක් නැවත පිහිටුවනු ලැබුවේය. (එස. 28:25, 26; 39:21-28; එස්රා 2:1; 3:1) යෙහෝවාගේ ගෘහය නැවත ගොඩනැඟීමෙහි හවුල් වූ ඔවුහු එහි සැබෑ නමස්කාරය යළි ආරම්භ කළහ.
30 එසකියෙල් පොතේ සඳහන් ප්‍රතිපත්ති අදදින සිටින අපටත් ඉතා වටී. ඇදහිල්ල අත්හැරීම, රූප වන්දනාව හා කැරලිගැසීම යනාදියෙහි ප්‍රතිඵලය යෙහෝවාගේ අප්‍රසාදයට ලක්වීමයි. (එස. 6:1-7; 12:2-4, 11-16) සෑම කෙනෙකුම තමන් කරන පාපවලට ගණන් දෙනවා ඇත. නමුත් තමාගේ වැරදි මාර්ගයෙන් හැරෙන තැනැත්තාට යෙහෝවා කමා වෙයි. එම තැනැත්තාට දයාව පෙන්වනු ලබන අතර, ඔහු දිගටම ජීවත් වන්නේය. (18:20-22) දුෂ්කර පැවරුම්වලදී හා නින්දා යටතේදී පවා, දෙවිගේ සේවකයන් එසකියෙල් හා සමානව විශ්වාසවන්ත මුරකරුවන් මෙන් සිටිය යුතුය. අප දුෂ්ටයන්ට අනතුරු ඇඟවිය යුතුයි. එසේ නොකළොත් ඔවුන්ගේ ලේවලට අප වරදකරුවන් වනු ඇත. (3:17; 33:1-9) දෙවිගේ සෙනඟ අතර සිටින එඬේරුන්ට රැළ රැකබලා ගැනීමෙහි බරපතළ වගකීම තිබේ.—34:2-10.
31 මෙසියස් පිළිබඳ අනාවැකි එසකියෙල් පොතෙහි කැපීපෙනෙන ලක්ෂණයකි. මෙසියස්ව හඳුන්වා ඇත්තේ දාවිත්ගේ සිංහාසනයේ “අයිතිවාසිය ඇති තැනැත්තා” වශයෙන් සහ එහි අසුන්ගත යුතු තැනැත්තා වශයෙනි. ස්ථාන දෙකකදී “මාගේ සේවකයා වූ දාවිත්” වශයෙනුත්, “එඬේරා,” “රජ” සහ “අධිපතියා” වශයෙනුත් ඔහුව හඳුන්වා තිබේ. (21:27; 34:23, 24; 37:24, 25) දාවිත් බොහෝ කලකට පෙර මිය ගොස් සිටි බැවින්, එසකියෙල් කතා කරමින් සිටියේ දාවිත්ගේ පුත්‍රයා හා ස්වාමීන් වීමට සිටි තැනැත්තා ගැනයි. (ගීතා. 110:1; මතෙ. 22:42-45) යෙහෝවා විසින් උසස් කරනු ලබන්නාවූ ළපටි රිකිල්ලක් පැළ කිරීම ගැන, යෙසායා මෙන් එසකියෙල්ද කතා කරයි.—එස. 17:22-24; යෙසා. 11:1-3.
32 දේවමාලිගාව පිළිබඳව එසකියෙල් පොතේ සඳහන් දර්ශනය සමඟ “ශුද්ධ නුවර වූ යෙරුසලම” පිළිබඳ එළිදරව් පොතේ සඳහන් දර්ශනය සැසඳීම උනන්දුව ගෙන දෙන්නකි. (එළි. 21:10) එම දර්ශන දෙකේ සැලකිල්ලට ගත යුතු වෙනස්කම්ද තිබේ. උදාහරණයක් වශයෙන්, එසකියෙල්ගේ දේවමාලිගාව නුවරෙන් වෙන්ව තිබූ අතර, එය පිහිටා තිබුණේ නුවරේ උතුරු දිසාවට වෙන්නයි. නමුත් එළිදරව් පොතේ සඳහන් නුවරෙහි දේවමාලිගාව වන්නේ යෙහෝවාමයි. කෙසේවෙතත්, ඒ දර්ශන දෙකේදීම, ජීවන ගංගාව ගලා බසියි. සුව කිරීම පිණිස මාස්පතා කොළ හා පල දරන ගස්ද, යෙහෝවාගේ තේජසද දක්නට තිබේ. යෙහෝවාගේ රජකම හා ඔහුට පරිශුද්ධ සේවය පිරිනමන අයගේ ගැළවීම සඳහා ඔහු පිළියෙළ කර තිබෙන සැපයුම කෙරෙහි අගය ඇති කිරීමට මේ එක් එක් දර්ශනය දායක වෙයි.—එස. 43:4, 5—එළි. 21:11; එස. 47:1, 8, 9, 12—එළි. 22:1-3.
33 යෙහෝවා ශුද්ධව සිටින බව එසකියෙල්ගේ පොතෙහි අවධාරණය කෙරේ. යෙහෝවාගේ නාමය විශුද්ධවත් කිරීම අන් කිසිවකට වඩා වැදගත් බව එමගින් ප්‍රකාශ කරයි. “මාගේ මහත් නාමය විශුද්ධ කරන්නෙමි. . . . මා යෙහෝවා බව ඔවුන් [ජාතීන්] දැනගන්නවා ඇතැයි ස්වාමි වූ යෙහෝවා කියන්නේය.” අනාවැකියේ පෙන්වන පරිදි, මාගොග්හි ගොග් ඇතුළුව ඔහුගේ නාමය කෙලෙසන සියල්ලන්ම විනාශ කර දැමීමෙන් දෙවි සිය නාමය ගෞරවයට පත් කරනු ඇත. දෙවිට පිළිගත හැකි ආකාරයෙන් නමස්කාර කිරීමෙන් යෙහෝවාව ගෞරවයට පත් කරන සියල්ලෝ ඥානවන්තයෝය. ඔහුගේ දේවමාලිගාවෙන් ගලා බසින ගංගාවෙන් ඔවුන් සුවය හා සදාකාල ජීවනය ලබනු ඇත. ‘යෙහෝවා එහිය’ යනුවෙන් හඳුන්වනු ලබන නුවරෙහි තේජස හා අලංකාරය අතිරමණීයයි!—එස. 36:23; 38:16; 48:35.
[පාදසටහන්වල]
a ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස්, 2 වෙළුම, 531, 1136 පිටු.
b ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස්, 1 වෙළුම, 681-2 පිටු.