බයිබලයේ දෘෂ්ටිකෝණය
ක්‍රිස්තියානීන් පූජාව සැලකිය යුත්තේ කෙසේද?
ද නියූ යෝක් ටයිම්ස් සඟරාවට අනුව, “කතෝලිකයන් පූජාව අතපසු කළහොත් එය පාපයක් ලෙස පල්ලිය සලකන බව [මෑතකදී] නැවත තහවුරු කළ” IIවන ජුවාම් පාවුලු පාප් සමඟ ශ්රද්ධාවත් කතෝලිකයන් එකඟ වෙනවා. පූජාව කියන්නේ කුමක්ද? පල්ලිය සහ බයිබලය එම විෂය සම්බන්ධයෙන් එකඟ වෙනවාද?
කතෝලිකයන්ගෙන් විමසනු ලබන දෑ (ඉංග්‍රීසියෙන්) නමැති පොතේ මාර්ටින් ජේ. ස්කොට් නම් කතෝලික පූජකයා පහත සඳහන් ආකාරයට පූජාව විස්තර කරනවා: “රුධිරයෙන් තොරව ක්‍රිස්තුස්ගේ ශරීරය සහ රුධිරය ඔප්පු කිරීම පූජාව ලෙස හඳුන්වනවා. කල්වාරියේදී සිදු වූයේ රුධිරය සහිත ක්‍රිස්තුස්ගේ පූජාවයි. පූජාව මූලික වශයෙන් කුරුසියේ සිදු වූ යාගයමයි. මෙය සම්ප්‍රදායික යෙදුමක්, උපමාලංකාරයක් හෝ අතිශයෝක්තියක් නොවෙයි.” ඔහු මෙලෙසත් ප්‍රකාශ කරනවා: “පූජාවෙන් කරන්නේ, දෙවිගේ පුත්‍රයාව අපේ අල්තාරයට වැඩම කරවා ඔහුව ත්‍රිත්ව දෙවිට යාගයක් මෙන් ඔප්පු කිරීමක් වැනි වූ දෙයකුයි.”
පූජාව ශුද්ධ ලියවිලි මත පදනම් වූවක්ද?
පූජාව, ශුද්ධ ලියවිලිමය ඉගැන්වීම් මත පදනම්ව තිබෙන බව අවංක කතෝලිකයන් විශ්වාස කරනවා. ඔවුන් මෙය ඔප්පු කිරීම සඳහා, පොදු වශයෙන් අන්තිම රාත්‍රි භෝජනය ලෙස හඳුන්වන අවස්ථාවේ යේසු පැවසූ වදන් ගෙන හැර දක්වනවා. යේසු තම ප්‍රේරිතයන්ට රොටි සහ මුද්‍රිකපානය බෙදා දෙන විට, රොටිවලට යොමු දක්වමින් ඔහු මෙසේ පැවසුවා: ‘මේ මාගේ ශරීරයය.’ මුද්‍රිකපානයට යොමු දක්වමින් ඔහු මෙලෙස පැවසුවා: ‘මේ මාගේ රුධිරයය.’ (මතෙව් 26:26-28)a යේසු එම වචන පැවසූ විට, ඔහු ඇත්තටම රොටි සහ මුද්‍රිකපානය ඔහුගේ ශරීරය හා රුධිරය බවට පත් කළ බව කතෝලිකයන් විශ්වාස කරනවා. කොහොමවුණත්, නව කතෝලික විශ්වකෝෂය (1967) (ඉංග්‍රීසියෙන්) මෙසේ අවවාද කරනවා: “‘මේ මාගේ ශරීරය’ හෝ ‘මේ මාගේ රුධිරය’ යන වචනවල පදගතාර්ථමය අදහසට අප ඕනෑවට වඩා නැඹුරු විය යුතු නැහැ. “කපන කාලය නම් යුගාන්තය ය,” (මතෙ 13:39) හෝ “සැබෑ මිදි වැල නම් මම ය,” (යොහ 15:1) වැනි වාක්‍ය ඛණ්ඩවලින් [“වෙනවා” යන ක්‍රියා පදයෙන්] අදහස් කරන්නේ ඇඟවීමක් හෝ නියෝජනය කිරීමක් පමණයි.” එමනිසා, වැදගත් ගණයෙහිලා සලකන මෙම විශ්වකෝෂය පවා, අන්තිම රාත්‍රි භෝජනය සිදු කළ අවස්ථාවේදී රොටි සහ මුද්‍රිකපානය වචනානුසාරයෙන්ම යේසුගේ ශරීරය සහ රුධිරය බවට පත් වූ බව මතෙව් 26:26-28 සඳහන් පදවලින් ඔප්පු වන්නේ නැති බව පිළිගන්නවා.
වරක් යේසු පැවසූ මෙම වදන් කෙනෙක් මතක් කළ හැකියි: “ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක භෝජනය මම ය. . . . යමෙක් මගේ මාංසය අනුභව කරන්නේ ද, මාගේ රුධිරය පානය කරන්නේ ද, ඔහුට සදාතන ජීවනය ඇත.” (යොහන් 6:51, 54) යේසුට ඇහුම්කන් දෙමින් සිටි ඇතමෙක් ඔහුගේ වචන වචනානුසාරයෙන්ම ගෙන පැකිලුණා. (යොහන් 6:60) නමුත් යේසු එම අවස්ථාවේදී තම මාංසය රොටි බවට පත් කළාද කියා අප අසන්න ඉඩ තිබෙනවා. ඇත්තවශයෙන්ම නැහැ! ඔහු කතා කරමින් සිටියේ සංකේතාත්මකවයි. ඔහුගේ පූජාව තුළින් තම ජීවිතය මනුෂ්‍යවර්ගයා සඳහා දෙන්න යන නිසා ඔහු තමාව රොටිවලට සමාන කළා. අනුභව කිරීම සහ පානය කිරීම සිදු කරන්න යන්නේ යේසුස් ක්‍රිස්තුස් මත ඇදහිල්ල තැබීමෙන් බව යොහන් 6:35, 40 පැහැදිලිවම අඟවනවා.
පූජාව, කතෝලික පල්ලියේ මූලික පිළිවෙතක් නිසා, මෙයට ශුද්ධ ලියවිලිමය පදනමක් ඇතැයි කෙනෙක් අපේක්ෂා කරන්න පුළුවන්. නමුත් එය එසේ නොවෙයි. එයට හේතුව කතෝලික විශ්වකෝෂය (1913 සංස්කරණය) (ඉංග්‍රීසියෙන්) මෙසේ පැහැදිලි කළා: “අපේ මූලධර්මයේ ප්‍රධාන පදනම වෙන්නේ . . . සම්ප්රදායයි. මෙය පුරාණ කාලයේ සිටම, පූජාව, දෙවිට අයැදීම සඳහා තිබෙන බලය ලෙස ගෙනහැර දක්වනවා.” ඔව්, රෝමානු කතෝලික පූජාව පදනම් වී තිබෙන්නේ සම්ප්රදාය මත මිස බයිබලය මත නොවෙයි.
බයිබලයට පටහැනි වන සම්ප්රදායක් කොතෙක් අවංකව පැවැත්වුවත්, එය දෙවි පිළිගන්නේ නැහැ. යේසු තම කාලයේ සිටි ආගමික නායකයන්ව මෙසේ පවසමින් හෙළා දැක්කා: “ඔබ තමන්ගේ පරම්පරාගත සම්ප්රදාය නිසා [දෙවිගේ] ආඥා අවලංගු කළහු ය.” (මතෙව් 15:6) යේසු දෙවිගේ වචනය අගය කළ නිසා, පූජාව පිළිබඳ ඉගැන්වීම අපි ශුද්ධ ලියවිලිමය දෘෂ්ටියෙන් විමර්ශනය කරමු.
ක්‍රිස්තුස්ගේ පූජාව—කොතරම් වරකටද?
කතෝලික පල්ලි, යේසු ඇත්තටම මිය ගියේ නැති බව සහ පූජාව රුධිරය රහිතව සිදු වෙනවාය යන මතයේ සිටියත්, පූජාව පවත්වන සෑම අවස්ථාවකදීම යේසුව පූජා කරන බව ඔවුන් උගන්වනවා. බයිබලය මෙම මතය සමඟ එකඟ වෙනවාද? හෙබ්‍රෙව් 10:12, 14 පවසන දේ සැලකිල්ලට ගන්න: ‘[යේසු] පව් උදෙසා සදහටම එකම පූජාවක් ඔප්පු කොට, දෙවිගේ දකුණු පස අසුන්ගත්තේය. ඔහු පවිත්‍ර කරනු ලබන්නන් එකම පූජාවකින් පරිපූර්ණත්වයට ගෙනාවේය.’
කොහොමවුණත් අවංක කතෝලිකයෙක් මෙලෙස විරුද්ධ විය හැකියි: ‘යේසුව නිතර, නිතරම ඔප්පු කළ යුතු නැද්ද? අපි ඔක්කොම හුඟාක් අවස්ථාවලදී පව් කරනවා.’ බයිබලයේ පිළිතුර හෙබ්‍රෙව් 9:25, 26හි මෙසේ වාර්තා කර තිබෙනවා: ‘[ක්‍රිස්තුස්] නැවත නැවතත් තමන්ම ඔප්පු කරන පිණිස ඇතුල් නොවූයේය. එහෙත් ඔහු තමන්ම පූජා කිරීමෙන් පාපය දුරු කරන පිණිස මේ යුගාන්තයේදී සදහටම එක වරක් ප්‍රකාශ වූයේය.’ මෙය හොඳින් සැලකිල්ලට ගන්න: ක්‍රිස්තුස් ‘නැවත නැවතත් තමන්ම ඔප්පු කරන පිණිස ඇතුල් නොවූයේය.’ රෝම 5:19හි ප්‍රේරිත පාවුල් එයට හේතුව මෙසේ පැහැදිලි කරනවා: “එක මිනිසෙකුගේ [ආදම්ගේ] අකීකරුකමින් සියල්ලන් ම පව්කාරයන් වූ සේ ම එක මිනිසෙකුගේ [යේසුගේ] කීකරුකමින් සියල්ලෝ ම දේව-සබඳතාවට පමුණුවනු ලබන්නෝ ය.” ආදම්ගේ අකීකරුකමේ එක් ක්‍රියාවක් අප සියලුදෙනාවම මරණයට මඟ පෑදුවා. යේසුගේ එක් මිදීමේ ක්‍රියාව, එම පූජාව මත ඇදහිල්ල තබන අප සියලුදෙනාටම, දැන් අපේ පව් කමා කරනු ලැබීම සඳහා සහ අනාගතයේදී සදාතනික ජීවිතය භුක්ති විඳීම සඳහා පදනම සැපයුවා.
යේසුව එක් වරක් පූජා කරනු ලැබුවත්, ඔහුව නිතරම පූජා කරනු ලබනවා වුණත් එහි ඇති වෙනස කුමක්ද? එය යේසුගේ පූජාවේ වටිනාකම කෙරෙහි අගය දැක්වීම හා සම්බන්ධ කාරණයක්. එය මෙතෙක් දී තිබෙන උතුම්ම තෑග්ගයි. එය කොතරම් අනර්ඝ, කොතරම් පරිපූර්ණ තෑග්ගක්ද කියනවා නම්, එය කිසිවිටක නැවත නැවතත් කිරීමට අවශ්‍ය නැහැ.
යේසුගේ පූජාව නියත වශයෙන්ම සිහි කරනු ලැබීමට වටිනවා. නමුත් සිද්ධියක් සිහි කිරීම සහ එය නැවත නැවත කිරීම අතරේ වෙනසක් තිබෙනවා. උදාහරණයකට, යුවළක් ඔවුන්ගේ විවාහ සංවත්සරය සැමරීමෙන් තමන් විවාහ වූ දිනය සිහිපත් කරනවා විය හැකි අතර, ඇත්තෙන්ම ඔවුන් එම උත්සවය නැවත නැවතත් කරන්නේ නැහැ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් සෑම වසරකම, යේසුගේ මරණය සිහි කිරීමේ සංවත්සරය පවත්වනවා. යේසු අණ කළ ආකාරයට එසේ කිරීම තුළින් ඔහුව ‘සිහි කිරීමක්’ මිස ඔහුව පූජා කිරීමක් කරන්නේ නැහැ. (ලූක් 22:19) ඊට අමතරව, අවුරුද්ද පුරාම මෙම ක්‍රිස්තියානීන් තම ජීවිත, තම ක්‍රියාවන් සහ තම විශ්වාසයන් ශුද්ධ ලියවිලිවලට එකඟ කරගැනීම මගින් යේසුස් ක්‍රිස්තුස් තුළින් යෙහෝවා දෙවිත් සමඟ උණුසුම් සබඳතාවක් වර්ධනය කරගැනීමට වෙර දරනවා.
බොහෝවිට එසේ කිරීම තුළින් ඔවුන්ගේ සිතීම් රටාවේ වෙනස්කම් සිදු කිරීම අදහස් වුණා. නමුත් මනුෂ්‍ය සම්ප්රදායන්වලට සහය දක්වනවා වෙනුවට, පක්ෂපාතව දෙවිගේ වචනයට සහය දැක්වූවොත් තමන් ආශීර්වාද ලබන්න යන බවට වූ දැනුම තුළ යෙහෝවාගේ සාක්ෂිකරුවන් සන්තෝෂ වෙනවා. එමෙන්ම ඔවුන්, අවුරුදු දෙදහසකට පමණ ඉහතදී සියල්ලන් උදෙසා එක් වරක් වැගිරෙවූ යේසුගේ පූජනීය රුධිරය කෙරෙහි ඇදහිල්ල පවත්වනවා නම්, එය ඔවුන්ව සියලුම පාපවලින් පවිත්‍ර කරන්න යනවා.—1 යොහන් 1:8, 9.
[පාදසටහන]
a මෙම ලිපියේ උපුටා දක්වා ඇති සියලුම බයිබල් පද රැගෙන තිබෙන්නේ පොදු නව අනුවාදයෙනි.
[26වන පිටුවේ පින්තූරය]
ශාන්ත ජයීල්ගේ පූජාව (විශාල කර දැක්වීමක්)
[හිමිකම් විස්තර]
Erich Lessing/Art Resource, NY