‘දෙවි එක් කළ’ දේට ගෞරව කරන්න
“දෙවි ඔවුන්ව එලෙස එක් කළ නිසා කිසි මිනිසෙක් ඔවුන්ව වෙන් නොකළ යුතුයි.”—මාක් 10:9.
1, 2. හෙබ්‍රෙව් 13:4 අපිව දිරිගන්වන්නේ මොකක් කරන්නද?
අපි හැමෝටම ඕනෙ අපේ ගෞරවය ලබන්න වටින යෙහෝවා දෙවිට ගෞරවය දෙන්න. අපි ඔහුව ගෞරවයට පත් කරද්දී දෙවිත් අපිට ගෞරව කරනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. (1 සාමු. 2:30; හිතෝ. 3:9; එළි. 4:11) අපි රජයේ නිලධාරීන්ට ගෞරව කරයි කියලත් දෙවි බලාපොරොත්තු වෙනවා. (රෝම 12:10; 13:7) ඒත් අපි ගෞරවයෙන් සලකන්න ඕනෙ විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි දෙවි ඇති කරපු විවාහ සැලැස්ම.
2 පාවුල් මෙහෙම ලිව්වා. “විවාහය සියලුදෙනා ගෞරවයෙන් සැලකිය යුතු දෙයකි. එලෙසම විවාහයට කිසිදු කැළැලක් සිදු වීමට ඉඩ නොදිය යුතුයි.” (හෙබ්‍රෙ. 13:4) ඒක බැරෑරුම් මඟ පෙන්වීමක්. විවාහ බැඳීම ඔයා වටින දෙයක් විදිහට සලකනවාද?
3. විවාහය ගැන යේසුස් දීපු වටිනා උපදෙස මොකක්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)
3 ඔයා විවාහය සලකන්නේ වටිනා එකක් විදිහට නම් ඔයා ආදර්ශයට ගන්නේ යේසුස්ව. දික්කසාදය ගැන පරිසිවරු යේසුස්ගෙන් ප්‍රශ්න කරද්දී මුල්ම විවාහය ගැන දෙවි කියපු මේ දේ යේසුස් එයාලට කිව්වා. “මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වෙයි. එවිට ඔවුන් දෙදෙනා එක් කෙනෙකු මෙන් වෙයි.” ඔහු මෙහෙමත් කිව්වා. “දෙවි ඔවුන්ව එලෙස එක් කළ නිසා කිසි මිනිසෙක් ඔවුන්ව වෙන් නොකළ යුතුයි.”—මාක් 10:2-12 කියවන්න; උත්. 2:24.
4. විවාහය සම්බන්ධයෙන් යෙහෝවා දෙවිගේ ප්‍රමිතිය වුණේ මොකක්ද?
4 විවාහ සැලැස්ම ඇති කළේ දෙවි කියලත් ඒක හැමදාටම තියෙන්න ඕනෙ බැඳීමක් කියලත් යේසුස් පිළිගත්තා. මුල්ම විවාහය සිදු කරපු වෙලාවේ දෙවි ආදම් සහ ඒවට කිව්වේ නැහැ කවදා හරි එයාලට දික්කසාද වෙන්න පුළුවන් කියලා. ඒ දෙන්නා සදාකාලෙටම එක් කෙනෙකු මෙන් ජීවත් වෙනවා දකින්නයි දෙවිට ඕනෙ වුණේ.
විවාහ සැලැස්මට තාවකාලිකව බලපාපු දේවල්
5. මරණය විවාහ සැලැස්මට බලපෑවේ කොහොමද?
5 ආදම්, ඒව පව් කළාට පස්සේ හුඟක් දේවල් වෙනස් වුණා. මරණය ඒ එක වෙනසක්. ඒක විවාහ සැලැස්මටත් බලපෑවා. පාවුල් ක්‍රිස්තියානීන්ට කිව්වා විවාහක යුවළකගෙන් එක් කෙනෙක් මිය ගියොත් ඒ විවාහ බැඳීම එතනින් ඉවර වෙනවා කියලා. ඒ නිසා ජීවත්ව ඉන්න කෙනාට තවත් කෙනෙක් එක්ක විවාහ වෙන්න පුළුවන් කියලත් එයා කිව්වා.—රෝම 7:1-3.
6. දෙවි විවාහය සලකන විදිහ ගැන නීතියෙන් පැහැදිලි වෙන්නේ මොකක්ද?
6 දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන්න නීතියේ විවාහයට සම්බන්ධ කාරණා ගැන සඳහන් වුණා. ඊශ්‍රායෙල් ජාතිකයෙක්ට භාර්යාවන් කීපදෙනෙක්ව විවාහ කරගන්න නීතියෙන් අවසර තිබුණා. ඒක දෙවි නීතිය දෙන්න කලින් ඉඳන් ඊශ්‍රායෙල්වරුන් අතරේ දකින්න තිබුණ දෙයක්. ඒත් නීතිය නිසා ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න පුරුෂයන්ට ඉඩක් ලැබුණේ නැහැ. උදාහරණෙකට ඊශ්‍රායෙල් පුරුෂයෙක් එයාගේ දාසියකව විවාහ කරගෙන පස්සේ කාලෙක තවත් කෙනෙක්ව විවාහ කරගත්තා කියලා හිතන්න. ඒ පුරුෂයා දිගටම එයාගේ පළවෙනි බිරිඳව රැකබලා ගනියි කියලත් එයාගේ අවශ්‍යතා ඉටු කරයි කියලත් දෙවි බලාපොරොත්තු වුණා. (නික්. 21:9, 10) අද අපි ඉන්නේ ඒ නීතිය යටතේ නෙමෙයි වුණත් දෙවි විවාහ සැලැස්ම වටින එක්ක විදිහට සලකනවා කියලා ඒකෙන් අපි ඉගෙනගන්නවා.
7, 8. (අ) ද්විතීය කතාව 24:1ට අනුව දික්කසාද වෙන්න නීතියෙන් ඉඩ දුන්නේ මොන වගේ අවස්ථාවකදීද? (ආ) දික්කසාදය ගැන යෙහෝවා දෙවිට හැඟෙන්නේ කොහොමද?
7 නීතියේ දික්කසාදය ගැන සඳහන් වුණේ මොනවාද? යුවළක් දික්කසාද වෙන එක මුල් විවාහ සැලැස්මට ඇතුළත් වුණේ නැහැ. ඒත් තමන්ගේ බිරිඳ “නොමනා ආකාරයකින් හැසිරෙන බව” පුරුෂයෙක් දැනගත්තොත් එයාව දික්කසාද කරන්න පුරුෂයාට නීතියෙන් අවසර තිබුණා. (ද්විතීය කතාව 24:1 කියවන්න.) ඒ වගේ හැසිරීමකට ඇතුළත් වෙන්නේ මොනවාද කියලා නීතියේ විස්තර කරලා තිබුණේ නැතත් ඒකෙන් අදහස් වුණේ සුළු සුළු වැරදි නෙමෙයි නින්දාවක් ගෙනාපු, බරපතළ වැරදි කියලා හිතන්න පුළුවන්. (ද්වි. 23:14) ඒත් යේසුස්ගේ කාලේ වෙද්දී යුදෙව්වන් හුඟදෙනෙක් හැම පොඩි දේකටම තමන්ගේ බිරිඳව දික්කසාද කළා.—මතෙ. 19:3.
8 දික්කසාදය ගැන යෙහෝවා දෙවිට හැඟෙන විදිහ ඔහු අනාගතවක්තෘ මලාකි මාර්ගයෙන් කිව්වා. ඒ කාලේ දික්කසාදය සාමාන්‍ය දෙයක් වෙලා තිබුණා. දෙවිට සේවය නොකළ, තරුණ වයසේ හිටපු ස්ත්‍රීන්ව විවාහ කරගන්න නිසා හුඟක් පුරුෂයන් තමන්ගේ පළවෙනි බිරිඳව දික්කසාද කළා. ඒත් දෙවි කිව්වේ “මම, දික්කසාද වීම හෙළාදකින්නෙමි” කියලයි. (මලා. 2:14-16) ඒකෙන් තේරෙනවා විවාහය ගැන දෙවිට මුලින් තිබුණ හැඟීම වෙනස් වෙලා තිබුණේ නැහැ කියලා. මුල්ම විවාහය සිදු කරද්දී දෙවි කිව්වේ ‘මිනිසෙක් තම බිරිඳට ඇලුම් වන්නේය. ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය’ කියලා. (උත්. 2:24) විවාහය ගැන යේසුස්ට හැඟුණෙත් ඒ විදිහටමයි කියලා ඔහු කියපු මේ දෙයින් තේරෙනවා. ‘දෙවි ඔවුන්ව එක් කළ නිසා කිසි මිනිසෙක් ඔවුන්ව වෙන් නොකළ යුතුයි.’—මතෙ. 19:6.
දික්කසාදයට තියෙන එකම පදනම
9. මාක් 10:11, 12 යේසුස් කියපු දෙයින් අදහස් වෙන්නේ මොකක්ද?
9 කිසිම හේතුවක් නිසා ක්‍රිස්තියානියෙක්ට දික්කසාද වෙලා ආයෙත් විවාහ වෙන්න බැරිද? යේසුස් කියපු මේ දේ බලන්න. “තම බිරිඳව දික්කසාද කර වෙන ස්ත්‍රියක විවාහ කරගන්න කෙනෙක් ඇයට ද්‍රෝහි වෙමින් අනාචාරයේ යෙදෙනවා. ඒ වගේම ස්ත්‍රියක් තම ස්වාමිපුරුෂයාව දික්කසාද කර වෙන පුරුෂයෙකු සමඟ විවාහ වෙනවා නම් ඇයත් අනාචාරයේ යෙදෙනවා.” (මාක් 10:11, 12; ලූක් 16:18) විශ්වාසවන්ත බිරිඳක්ව, සැමියෙක්ව දික්කසාද කරලා වෙනත් කෙනෙක්ව විවාහ කරගන්න කෙනෙක් අනාචාරයේ යෙදෙනවා කියන්නේ ඇයි? ඒකට හේතුව කෙනෙක් තමන්ගේ බිරිඳව, සැමියාව දික්කසාද කළා කියලා දෙවි ඉදිරියේ ඒ විවාහය අවසන් වෙන්නේ නැහැ. දෙවි ඒ දෙන්නාව තවමත් සලකන්නේ එක් කෙනෙක් හැටියට. පුරුෂයෙක් තමන්ගේ විශ්වාසවන්ත බිරිඳව දික්කසාද කළොත් බිරිඳ අනාචාරයේ යෙදෙන්න ඉඩ තියෙනවා කියලත් යේසුස් කිව්වා. මොකද ඒ කාලේ දික්කසාද කරපු ස්ත්‍රියකට පුරුෂයෙකුගේ උදව් නැතුව එදිනෙදා අවශ්‍යතා පිරිමහගන්න අමාරු වුණා. ඒ නිසා ආයෙත් විවාහ වෙන්න එයා පෙලඹෙයි. දෙවි ඒක සැලකුවේ අනාචාරයේ යෙදීමක් හැටියට.
10. මොකක් නිසා විතරද කෙනෙක්ට දික්කසාද වෙලා ආයෙත් විවාහ වෙන්න අවසර තියෙන්නේ?
10 දික්කසාදයට තියෙන එකම පදනම ගැන යේසුස් මෙහෙම කිව්වා. “වේශ්‍යාකම නිසා මිස වෙන හේතුවකට තම බිරිඳව දික්කසාද කර වෙන ස්ත්‍රියක විවාහ කරගන්නා කෙනෙක් අනාචාරයේ යෙදෙනවා.” (මතෙ. 19:9) කන්ද උඩ දේශනයේදීත් ඔහු ඒ දේම කිව්වා. (මතෙ. 5:31, 32) ඒ අවස්ථා දෙකේදීම යේසුස් පාවිච්චි කළේ “වේශ්‍යාකම” කියන වචනය. විවාහ වී සිටින පුරුෂයෙකු හා භාර්යාවක අතර සිදු වන ලිංගික සම්බන්ධකම් හැර අනිත් හැම ලිංගික සම්බන්ධකමක්ම විස්තර කරන්න ඒ වචනය පාවිච්චි කළා. ඒකට අනාචාරයේ යෙදීම, ගණිකා වෘත්තියේ නියැලීම, අවිවාහකයන් අතර සිදු වන ලිංගික සම්බන්ධකම්, සමලිංගික ක්‍රියාවන් හා සතුන් සමඟ ලිංගිකව හැසිරීම ඇතුළත්. ස්වාමිපුරුෂයා වේශ්‍යාකමේ යෙදුණොත් බිරිඳකට තීරණය කරන්න පුළුවන් එයාව දික්කසාද කරනවාද නැද්ද කියලා. ඒ හේතුව නිසා දික්කසාද කළොත් දෙවි ඒ දෙන්නාව තවදුරටත් විවාහකයන් හැටියට සලකන්නේ නැහැ.
11. බිරිඳ, සැමියා වේශ්‍යාකමේ යෙදුණත් එයාගෙන් දික්කසාද නොවී ඉන්න කෙනෙක් තීරණය කරන්න පුළුවන් ඇයි?
11 තමන්ගේ බිරිඳ, සැමියා වේශ්‍යාකමේ යෙදුණොත් එයාගෙන් දික්කසාද වෙන්න ඕනෙමයි කියලා යේසුස් කිව්වේ නැහැ. උදාහරණෙකට ස්වාමිපුරුෂයා වේශ්‍යාකමේ යෙදුණත් එයාගෙන් දික්කසාද නොවී ඉන්න බිරිඳක් තීරණය කරන්න පුළුවන්. මොකද එයා තාමත් සැමියාට කලින් වගේම ආදරේ ඇති. පුරුෂයාට සමාව දීලා බිඳුණු බැඳීම ආයෙත් ඇති කරගන්න එයා කැමති ඇති. අනික එයා දික්කසාද වෙලා ආයෙත් විවාහ නොවී හිටියොත් විවිධ අභියෝගවලට මුහුණ දෙන්නත් එයාට වෙයි. උදාහරණෙකට එදිනෙදා ජීවත් වෙන්න එයාට මුදල් ඕනේ. එයාට ලිංගික අවශ්‍යතා ඇති වෙයි. තනිකමක් දැනෙයි. දික්කසාදය දරුවන්ට බලපාන්න පුළුවන්. සැමියා නැතුව දරුවන්ව සත්‍ය මාර්ගයේ ඇති දැඩි කරන එක තවත් අමාරු වෙන්න පුළුවන්.—1 කොරි. 7:14.
12, 13. (අ) හොෂෙයාගේ විවාහ ජීවිතේට මොකද වුණේ? (ආ) හොෂෙයා ගොමෙර්ව ආයෙත් භාරගත්තේ ඇයි? ඒ සිද්ධියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
12 අනාගතවක්තෘ හොෂෙයාගේ විවාහ ජීවිතෙන් අපිට වැදගත් දෙයක් ඉගෙනගන්න පුළුවන්. දෙවි හොෂෙයාට කිව්වා ගොමෙර්ව විවාහ කරගන්න කියලා. පස්සේ කාලෙක එයා “වේශ්‍යාකමේ” යෙදෙනවා කියලත් ඒකේ ප්‍රතිඵලයක් හැටියට එයාට දරුවන් ලැබෙනවා කියලත් දෙවි කිව්වා. ගොමෙර්ට හොෂෙයාගෙන් පුතෙක් ලැබුණා. (හොෂෙ. 1:2, 3) පස්සේ වෙනත් පුරුෂයෙක්ගෙන් ගොමෙර්ට දුවෙක්ව සහ පුතෙක්ව ලැබුණා. එයා කීප සැරයක්ම වේශ්‍යාකමේ යෙදුණත් හොෂෙයා එයාව දික්කසාද කළේ නැහැ. අන්තිමට ගොමෙර් හොෂෙයාව අත්හැරලා ගිහින් වහලියක් වුණා. ඒත් හොෂෙයා එයාව මිල දී ගත්තා. (හොෂෙ. 3:1, 2) ඊශ්‍රායෙල්වරුන් දෙවිට ද්‍රෝහි වෙලා වෙනත් දෙවිවරුන්ට නමස්කාර කළත් දෙවි ආයේ ආයේ එයාලට සමාව දුන්න විදිහ පෙන්නන්න දෙවි හොෂෙයාගේ විවාහ ජීවිතය යොදාගත්තා. ඒකෙන් අපි ඉගෙනගන්නේ මොකක්ද?
13 තමන්ගේ බිරිඳ, සැමියා වේශ්‍යාකමේ යෙදුණොත් නිදොස් කෙනාට තීරණයක් ගන්න වෙනවා. එයාට දික්කසාද වෙන්නත් ආයේ විවාහ වෙන්නත් නිදහස තියෙනවා කියලා යේසුස් කිව්වා. ඒත් වරද කරපු කෙනාට සමාව දෙන්න නිදොස් කෙනා තීරණය කරනවා නම් ඒකෙත් වරදක් නැහැ. හොෂෙයා කළෙත් ඒ දේමයි. ගොමෙර්ව ආයෙත් භාරගත්තාට පස්සේ හොෂෙයා එයාට කිව්වා වෙන පුරුෂයෙක් එක්ක සම්බන්ධකම් පවත්වන්න එපා කියලා. ටික කාලයක් යන කල් හොෂෙයාත් ගොමෙර් එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවේ නැහැ. (හොෂෙ. 3:3) ඒත් කාලෙකට පස්සේ හොෂෙයා ආයෙත් ගොමෙර් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වන්න ඇති. දෙවි ඊශ්‍රායෙල්වරුන්ට සමාව දීලා එයාලත් එක්ක කලින් තිබුණ බැඳීම ආයෙත් ඇති කරගන්න කොයි තරම් කැමැත්තකින් ඉන්නවාද කියලා ඒ සිද්ධියෙන් පැහැදිලි වුණා. (හොෂෙ. 1:11; 3:3-5) විවාහ බැඳීම ගැන ඒකෙන් අපි ඉගෙනගන්නේ මොකක්ද? වේශ්‍යාකමේ යෙදුණ සහකරු, සහකාරිය එක්ක නිදොස් කෙනා ආයෙත් ලිංගික සම්බන්ධකම් පවත්වනවා නම් ඒකෙන් පේන්නේ එයා වරදකරුට සමාව දීලා කියලයි. (1 කොරි. 7:3, 5) ඊටපස්සේ දික්කසාද වෙන්න එයාට පදනමක් නැහැ.
දුෂ්කරතාවලට මුහුණ දුන්නත්
14. 1 කොරින්ති 7:10, 11 කියන විදිහට යුවළක් මොකක් කරන්න ඉඩ තියෙනවාද?
14 යෙහෝවා දෙවි සහ යේසුස් වගේ දෙවිගේ හැම සේවකයෙක්ම විවාහය ගෞරවනීය දෙයක් විදිහට සලකන්න ඕනේ. ඒත් සමහරුන්ට ඒක කරන්න බැරි වෙලා තියෙනවා. මොකද අපි හැමෝම පාපය උරුම කරගත්ත අය. (රෝම 7:18-23) මුල් සියවසේ හිටපු සමහරු විවාහ ජීවිතේ බරපතළ ප්‍රශ්න අද්දැක්කා. ඒ නිසයි පාවුල් මෙහෙම ලිව්වේ. “භාර්යාවක් ඇගේ ස්වාමිපුරුෂයාව අත් නොහැරිය යුතුයි.” ඒත් සමහර යුවළයන් වෙන් වුණා.—1 කොරින්ති 7:10, 11 කියවන්න.
15, 16. (අ) විවාහ ජීවිතේ ප්‍රශ්න ඇති වෙද්දී යුවළක් උත්සාහ කරන්න ඕනෙ මොකක් කරන්නද? ඒ ඇයි? (ආ) ඒ දේ යෙහෝවා දෙවිට සේවය නොකරන බිරිඳක්, සැමියෙක් ඉන්න කෙනෙක්ට අදාළ වෙන්නේ කොහොමද?
15 එදා හිටපු සමහරු වෙන් වෙන්න තීරණය කරපු හේතු පාවුල් විස්තර කළේ නැහැ. ඒත් ඒකට හේතුව දෙන්නාගෙන් එක් කෙනෙක් වේශ්‍යාකමේ යෙදුණ නිසා නෙමෙයි කියලා අපි දන්නවා. මොකද හේතුව ඒක නම් නිදොස් කෙනාට දික්කසාද වෙන්න නිදහස තිබුණා. පාවුල් කිව්වේ තමන්ගේ සැමියාගෙන් වෙන් වෙන්න තීරණය කරන බිරිඳක් “වෙනත් කෙනෙකු සමඟ විවාහ වීමෙන් වැළකී සිටිය යුතුයි. එසේ නැතහොත් ඇගේ ස්වාමිපුරුෂයා සමඟ නැවත සමඟි විය යුතුයි” කියලා. මොකද ඒ දෙන්නාව දෙවි තාමත් සලකන්නේ විවාහක යුවළක් හැටියට. වේශ්‍යාකමක් සිදු වෙලා නැත්නම් යුවළක් උත්සාහ කරන්න ඕනෙ විවාහ ජීවිතේ ඇති වෙන ප්‍රශ්න විසඳගෙන ආයෙත් සමාදාන වෙන්න. එයාලට වැඩිමහල්ලන්ගේ උදව් ඉල්ලන්නත් පුළුවන්. එහෙම වෙලාවලදී වැඩිමහල්ලන් පැති ගන්නේ නැතුව බයිබලෙන් අවශ්‍ය මඟ පෙන්වීම් දෙන්න ඕනේ.
16 ඒත් සැමියා, බිරිඳ දෙවිට සේවය නොකරනවා නම් විවාහ ජීවිතේ ප්‍රශ්න ඇති වෙද්දී වෙන් වුණාට කමක් නැද්ද? අපි බලපු විදිහට දෙන්නාගෙන් එක් කෙනෙක් වේශ්‍යාකමේ යෙදුණොත් දික්කසාද වෙන්න බයිබලේ අවසර දීලා තියෙනවා. ඒත් යුවළකට වෙන් වෙන්න පුළුවන් හේතු බයිබලේ සඳහන් වෙන්නේ නැහැ. පාවුල් මෙහෙම කිව්වා. “ස්ත්‍රියකට දෙවිට නමස්කාර නොකරන ස්වාමිපුරුෂයෙකු සිටියත් ඇය සමඟ ජීවත් වෙන්න ඔහු තුළ කැමැත්තක් ඇත්නම් ඇයත් තම ස්වාමිපුරුෂයාව අත් නොහැරිය යුතුයි.” (1 කොරි. 7:12, 13) ඒ උපදෙස අදටත් අදාළයි.
17, 18. බරපතළ ප්‍රශ්න තිබුණත් සමහර යුවළයන් වෙන් නොවී ඉන්න තීරණය කරලා තියෙන්නේ ඇයි?
17 කොහොමවුණත් තමන්ගේ බිරිඳ එක්ක ජීවත් වෙන්න තමන් තුළ කැමැත්තක් නැහැ කියලා ‘දෙවිට නමස්කාර නොකරන සමහර ස්වාමිපුරුෂයන්’ පෙන්නලා තියෙනවා. උදාහරණෙකට එයා බිරිඳට දරුණු විදිහට පහර දෙනවා ඇති. ඒකෙන් තමන්ගේ සෞඛ්‍යයට, ජීවිතේට හානියක් වෙන්න පුළුවන් කියලා බිරිඳට හිතෙන්න පුළුවන්. එහෙම නැත්නම් බිරිඳගෙත් දරුවන්ගෙත් එදිනෙදා අවශ්‍යතා සපයන එක එයා පැහැරහරිනවා ඇති. දෙවිට නමස්කාර කරන එකෙන් බිරිඳව වළක්වනවා ඇති. ඒ වගේ දේවලට මුහුණ දෙන බිරිඳක් තීරණය කරන්න පුළුවන් තමන්ගේ ස්වාමිපුරුෂයාගෙන් වෙන් වෙන්න. සමහරවිට බිරිඳ එක්ක ජීවත් වෙන්න තමන් තුළ කැමැත්තක් නැහැ කියලා පුරුෂයා කියන එකක් නැහැ. ඒත් එයා වැඩ කරන විදිහෙන් ඒක තේරෙන නිසා වෙන් වෙන්න බිරිඳක් තීරණය කරන්න ඉඩ තියෙනවා. ඒ වගේ ප්‍රශ්නවලට මුහුණ දුන්නත් වෙන් නොවී ඉන්න තීරණය කරන අයත් ඉන්නවා. එයාලා උත්සාහ කරන්නේ විඳදරාගෙන විවාහ ජීවිතේ ප්‍රශ්න විසඳගන්න. ඒකෙන් ප්‍රයෝජනයක් තියෙනවාද?
18 ඒ වගේ ප්‍රශ්න නිසා යුවළක් වෙන් වුණත් එයාලට තවත් විවාහයක් කරගන්න බයිබලේ අවසර නැහැ. ඒ නිසා අපි කලින් කතා කරපු අභියෝගවලට ඒ දෙන්නාටම මුහුණ දෙන්න වෙයි. යුවළකට වෙන් නොවී ඉන්න තීරණය කරන්න උදව් වෙන තවත් හේතුවක් පාවුල් සඳහන් කළා. එයා කිව්වේ මෙහෙමයි. “ස්වාමිපුරුෂයා දෙවිට නමස්කාර නොකළත් ඔහුගේ භාර්යාව නිසා ඔහුට ප්‍රයෝජන ලැබේ. භාර්යාව දෙවිට නමස්කාර නොකළත් දෙවිට නමස්කාර කරන තම ස්වාමිපුරුෂයා නිසා ඇයද ප්‍රයෝජන ලබයි. ඒ හේතුව නිසාම ඔවුන්ගේ දරුවන්ව ශුද්ධ අය ලෙස සලකනු ලැබේ. එසේ නොවුණොත් ඔවුන්ගේ දරුවන්ව අපවිත්‍රයි කියා සලකනු ලැබේ.” (1 කොරි. 7:14) විවාහයේ බරපතළ ප්‍රශ්න ඇති වුණත් දෙවිට නමස්කාර නොකරන සැමියාගෙන්, බිරිඳගෙන් වෙන් නොවී ඉන්න හුඟදෙනෙක් ඉන්නවා. පස්සේ කාලෙක ඒ කෙනා දෙවිට නමස්කාර කරන්න පටන්ගත්තාම ඒ අයට මොන තරම් සතුටක් දැනෙනවාද!—1 කොරින්ති 7:16 කියවන්න; 1 පේතෘ. 3:1, 2.
19. දෙවිගේ සේවකයන් හුඟදෙනෙක්ගේ විවාහයන් සාර්ථක ඇයි?
19 දික්කසාදය ගැන යේසුස් උපදෙස් දුන්නා. වෙන් වීම ගැන පාවුල් මඟ පෙන්වීම් දුන්නා. ඒ දෙන්නාටම ඕනෙ වුණේ දෙවිගේ සේවකයන් විවාහය ගෞරවනීය දෙයක් විදිහට සලකනවා දකින්නයි. ලෝකේ පුරාම ඉන්න සාක්ෂිකරුවන් හුඟදෙනෙකුගේ විවාහයන් සාර්ථක වෙලා තියෙන්නේ ඒ උපදෙස් පිළිපදින නිසයි. තමන්ගේ බිරිඳට ආදරේ කරන විශ්වාසවන්ත පුරුෂයන්, සැමියාට ගෞරවයෙන් සලකන ආදරණීය භාර්යාවන් ඔයාගේ සභාවෙත් ඇති. එයාලා දෙවි කියපු මේ දේ ඇත්තක් කියලා ඔප්පු කරනවා. “මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී, තම බිරිඳට ඇලුම් වන්නේය. ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය.”—එෆී. 5:31, 33.