“ඔබගේ පැමිණ සිටීමේ ලකුණ කුමක් වනු ඇත්ද?”
“මෙම දේවල් සිදුවනු ඇත්තේ කවදාද? ඔබගේ පැමිණ සිටීමටත්, දේවල පිළිවෙළේ සමාප්තියටත් ලකුණ කුමක් වනු ඇත්ද?”—මතෙව් 24:3, NW.
1, 2. ජනයා අනාගතය ගැන උනන්දු වන බව පෙනෙන්නේ කුමකින්ද?
බොහෝ දෙනෙක් අනාගතය ගැන උනන්දු වෙති. ඔබත් එසේද? ෆියූචර් ෂොක් නමැති තම පොතේ මහාචාර්ය ඇල්වින් ටොෆ්ලර් සටහන් කළේ, “අනාගතය පිළිබඳව අධ්‍යයනය කිරීමට යොමු වී ඇති සංවිධානවල ක්ෂණික වැඩිවීමක්” තිබෙන බවය. ඔහු ඊට මෙසේද එකතු කළේය: ‘අනාගතය ගැන යොමු වන යම් යම් ආයතනවල බිහිවීම; එංගලන්තයේ, ප්‍රංශයේ, ඉතාලියේ, ජර්මනියේ සහ එක්සත් ජනපදයේ අනාගතය ගැන සැලකිලිමත් වන සඟරා ප්‍රකාශන බිහි වීම; අනාවැකි පළ කිරීම ගැන විශ්වවිද්‍යාල පාඨමාලාවල ව්‍යාප්තිය අප විසින් දැක තිබේ.’ ටොෆ්ලර් මෙසේ නිගමනය කළේය: “ඇත්ත වශයෙන්ම, යම් පූර්ණ අර්ථයකින් අනාගතය ‘දැනගැනීමට’ කිසිවෙකුට නොහැක.”
2 සයින්ස් ඔෆ් තිංස් ටු කම් නමැති පොත පවසන්නේ මෙසේයි: “සාමුද්‍රික ශාස්ත්‍රය, පළිඟු ගෝල නිරීක්ෂණය, ජ්යෝතිඃශාස්ත්රය, කාඩ්පත් බැලීම, යී ජිං යන මේ සියල්ල අපගේ නියමිත අනාගතයේ රැඳී පවතින්නේ කුමක්ද යන්න ගැන අපට යම් අදහස් දෙන, සංකීර්ණ බවින් අඩු හෝ වැඩි යම් උපක්රමයන්ය.” එහෙත් එවැනි මිනිස් උපක්රමවලට හැරෙනවා වෙනුවට, ස්ථිරසාර උල්පතක් වන යෙහෝවඃ දෙවියන්වහන්සේ වෙතට හැරීම අපට වඩාත් හොඳය.
3. අනාගතය පිළිබඳ දැනුම ලැබීම සඳහා දෙවියන්වහන්සේ දෙස බැලීම සුදුසු වන්නේ මන්ද?
3 සැබෑ දෙවියන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක: “මා යෝජනාකළ ලෙසම සිදුවන්නේය; මා අදහස් කළ ලෙසම ස්ථිරවන්නේය.” (යෙසායා 14:24, 27; 42:9) එසේය, බොහෝ විට කථා කිරීම සඳහා මිනිසුන් යොදා ගනිමින්, අනාගතයේදී කුමක් සිදුවනු ඇත්දැයි මිනිස් වර්ගයාට උපදෙස් දීමට යෙහෝවඃවහන්සේට හැකි වී තිබේ. මෙම අනාගතවක්තෘවරුන්ගෙන් එක්කෙනෙක් මෙසේ ලීවේය: “දෙවියන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] තමන්ගේ රහස [රහසිගත කාරණය, NW] තමන් මෙහෙකරුවන්වූ අනාගතවක්තෘවරුන්ට එළිදරව් නොකර කිසිවක් නොකරන සේක.”—ආමොස් 3:7, 8; 2 පේතෘස් 1:19, 21.
4, 5. (අ) අනාගතය සම්බන්ධයෙන් යේසුස්වහන්සේ උපකාරවත් විය හැක්කේ මන්ද? (ආ) උන්වහන්සේගේ ප්‍රේරිතයන් කළ ඒකාබද්ධ විමසුම කුමක්ද?
4 යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරුන්ගෙන් ප්‍රධානියා වූ සේක. (හෙබ්‍රෙව් 1:1, 2) දැන් අප වටා සිදුවෙමින් පවතින දේවල් පුරෝකථනය කරන්නා වූ යේසුස්වහන්සේගේ කැපී පෙනෙන අනාවැකිවලින් එකක්, අපි අපගේ අවධානයට යොමු කරමු. වර්තමාන දුෂ්ට පිළිවෙළ නිම වී, ඒ වෙනුවට දෙවියන්වහන්සේ භූමික පාරාදීසයක් පිහිටුවනවාත් සමඟම නොබෝ කලකින් සිදුවන්නට යන දේ පිළිබඳ තීක්ෂ්ණ බුද්ධියක් මෙම අනාවැකිය අපට ලබා දෙයි.
5 යේසුස්වහන්සේ, තමා අනාගතවක්තෘවරයෙකු බව ඔප්පු කළ සේක. (මාර්ක් 6:4; ලූක් 13:33; 24:19; යොහන් 4:19; 6:14; 9:17) මෙබැවින්, උන්වහන්සේ සමඟ ඔලීව කන්ද මත වාඩි වී යෙරුසලම දෙස බලමින් සිටි අවස්ථාවේ උන්වහන්සේගේ ප්‍රේරිතයන් අනාගතය ගැන මෙසේ උන්වහන්සේගෙන් විමසීම අපට තේරුම් ගත හැක: “මෙම දේවල් සිදුවනු ඇත්තේ කවදාද? ඔබගේ පැමිණ සිටීමටත්, දේවල පිළිවෙළේ සමාප්තියටත් ලකුණ කුමක් වනු ඇත්ද?”—මතෙව් 24:3, NW; මාර්ක් 13:4.
6. මතෙව් 24, මාර්ක් 13 සහ ලූක් 21 අතර ඇති සම්බන්ධතාවය කුමක්ද; එමෙන්ම අප තියුණු ලෙස උනන්දු විය යුතු ප්රශ්නය කුමක්ද?
6 ඔවුන්ගේ ප්රශ්නය සහ යේසුස්වහන්සේගේ පිළිතුර මතෙව් 24, මාර්ක් 13 සහ ලූක් 21වෙනි පරිච්ඡේදවලින් ඔබට සොයා ගන්නට පුළුවන් වේවි.a බොහෝ පැතිවලින් මෙම වාර්තාවන් එකක් තවත් එකක අඩුවක් පුරවන නමුත්, ඒවා සර්වසම නොවේ. නිදසුනක් වශයෙන්, ‘තැනක් තැනක් පාසා සිදුවන වසංගත’ ගැන සඳහන් කරන්නේ ලූක් පමණකි. (ලූක් 21:10, 11; මතෙව් 24:7; මාර්ක් 13:8) අප තර්කානුකූලව මෙසේ ඇසිය යුතුයි, යේසුස්වහන්සේ පුරෝකථනය කරමින් සිටියේ, උන්වහන්සේට සවන් දුන් අයගේ ජීවිත කාලයට පමණක් සීමාවූ දේවල්ද, නැතහොත්, අපගේ කාලය ගැන මෙන්ම, තවත් ඉදිරියෙහි සිදුවීමට තිබෙන දේවල් ගැනත් උන්වහන්සේ පුරෝකථනය කරමින් සිටියාද?
ප්‍රේරිතයන්ට දැනගැනීමට වුවමනා විය
7. ප්‍රේරිතයන් විශේෂයෙන් ඇසුවේ කුමක් ගැනද, නමුත් යේසුස්වහන්සේගේ පිළිතුරේ පරාසය කුමක් වූවාද?
7 යුදෙව්වන්ගේ අගනුවර වන යෙරුසලම දෙවියන්වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බව සිය මරණයට ටික දිනකට පෙර යේසුස්වහන්සේ ප්‍රකාශ කළ සේක. එම නගරයත් එහි උදාර දේව මාලිගාවත් විනාශ වනු ඇත. අනතුරුව ප්‍රේරිතයන්ගෙන් සමහරක්, ‘යේසුස්වහන්සේගේ පැමිණ සිටීමටත් දේවල පිළිවෙළේ සමාප්තියටත් ලකුණක්’ ඉල්ලා සිටියහ. (මතෙව් 23:37–24:3) ඔවුන් මූලික වශයෙන් කල්පනා කරමින් සිටියේ, යුදෙව් පිළිවෙළ හා යෙරුසලම ගැන බවට කිසිඳු සැකයක් නැත, මක්නිසාදයත්, ඉදිරියට සිදුවෙන්නට තිබූ දේවල පුළුල්භාවය ගැන ඔවුන් වටහා ගෙන සිටියේ නැති නිසාය. එහෙත්, යේසුස්වහන්සේ ඔවුන්හට පිළිතුරු දීමේදී, රෝමවරුන් විසින් යෙරුසලම විනාශ කරනු ලැබූ පො.යු. 70 වසර ඇතුළුව එම වසර දක්වා සිදුවීමට තිබූ දෙයින් බොහෝ ඔබ්බට බැල්මක් හෙලූ සේක.—ලූක් 19:11; ක්‍රියා 1:6, 7.
8. යේසුස්වහන්සේ පුරෝකථනය කළා වූ ඇතැම් සිදුවීම් සමහරක් මොනවාද?
8 මෙම සුවිශේෂ වාර්තා තුන තුළ ඔබට කියවන්නට හැකිවාක් මෙන්, ජාතියක් ජාතියකට රාජ්‍යයක් රාජ්‍යයකට එරෙහිව නැගී සිටීම ගැනද, ආහාර හිඟකම් ගැනද, භූමිකම්පා ගැනද, බියජනක දර්ශන ගැන සහ අහසේ ලකුණු ගැනද යේසුස්වහන්සේ කථා කළ සේක. යේසුස්වහන්සේ විසින් එම ලකුණ පිළිබඳව පැවසූ අවුරුද්ද (පො.යු. 33) සහ යෙරුසලම පාළු කරනු ලැබීම සිදුවූ අවුරුද්ද (පො.යු. 66-70) අතර කාලය තුළදී, බොරු අනාගතවක්තෘවරුන් සහ බොරු ක්‍රිස්තුවරුන් නැගී සිටිනවා ඇත. යේසුස්වහන්සේගේ පණිවුඩය ගැන දේශනා කරමින් සිටි ක්‍රිස්තියානින්ට යුදෙව්වන් විසින් පීඩා කරනු ලබනවා ඇත.
9. යේසුස්වහන්සේගේ අනාවැකිය පො.යු. පළමු සියවසේ ඉටු වූයේ කෙසේද?
9 ඉතිහාසඥ ෆ්ලේවියස් ජොසේෆස් තහවුරු කරන්නාක් මෙන්, ලකුණේ මෙම අංගයන් ඇත්තටම සිදු විය. කවදා හෝ රෝමවරුන් විසින් පහර දෙන්නට පෙර, බොරු මෙසියස්වරුන් කැරලි ගැසීම් ඇවිස්සූ බව ඔහු ලියයි. යුදෙයාවේ සහ වෙනත් තැන්වල භයානක භූමිකම්පා සිදු විය. රෝම අධිරාජ්‍යයේ බොහෝ ප්‍රදේශවල යුද්ධ හට ගැණිනි. දරුණු සාගත ඇතිවූවාද? ඇත්තෙන්ම ඔව්. (ක්‍රියා 11:27-30 සසඳන්න.) රාජ්‍යය දේශනා කිරීමේ වැඩය ගැන කුමක් කිව හැකිද? පොදු යුගයේ 60 හෝ 61 පමණේදී, කොලොස්සිවරුන්හට ලිපිය ලියන විට, දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිබඳ එම “ශුභාරංචියේ බලාපොරොත්තුව”—අප්‍රිකාවේ, ආසියාවේ, යුරෝපයේ පුළුල් ලෙස මිනිසාගේ දෙසවනට යොමු වී තිබුණි.b—කොලොස්සි 1:23.
“එවිට” අන්තිමය
10. අප ග්‍රීක් භාෂාවේ ටොʹටේ යන වචනය ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි, තවද එහි තිබෙන වැදගත්කම කුමක්ද?
10 යම් පැතිවලින්, යේසුස්වහන්සේ මෙම අනාගත සිදුවීම් ඉදිරිපත් කළේ පිළිවෙළකින් සිදුවන ඒවා හැටියටය. උන්වහන්සේ මෙසේ පැවසූ සේක: “රාජ්‍යයේ මේ ශුභාරංචිය . . . ප්‍රකාශකරනු [දේශනා, NW] ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය.” ඉංග්‍රීසි බසින් පළ වී ඇති බයිබල් බොහෝ විට, “එවිට” [then] යන වචනය යොදන්නේ, “එමනිසා” හෝ “නමුත්” යන සරල අර්ථයක් ඇතිවයි. (මාර්ක් 4:15, 17; 13:23) කෙසේවෙතත්, මතෙව් 24:14හි, “එවිට” යන වචනය පදනම් වී ඇත්තේ ග්‍රීක් භාෂාවේ ටොʹටේ නමැති ක්‍රියා විශේෂණය මතයි.c ග්‍රීක් විශාරදයන් පවසන්නේ, ටොʹටේ වනාහි, “නියමිත කාලයේදී සිදුවීමට තිබෙන යමක් හැඳින්වීමට” හෝ “පසුව සිදුවන සිද්ධියක් හඳුන්වා දීමට” යොදන “කාලයේ නිදර්ශක ක්‍රියා විශේෂණයක්” හැටියටය. එමනිසා, යේසුස්වහන්සේ, පුරෝකථනය කළේ, රාජ්‍යය පිළිබඳ දේශනා කිරීමක් හා එවිට (හෙවත්, ‘ඊට පසු’ හෝ ‘ඉන්පසුව’) “අවසානය” පැමිණෙනු ඇති බවය. කොයි අවසානයද?
11. යෙරුසලමේ විනාශයට ඍජුවම සම්බන්ධ වී ඇති සිද්ධීන්වලට යේසුස්වහන්සේ අවධානය යොමු කළේ කෙසේද?
11 යේසුස්වහන්සේගේ අනාවැකියේ එක් ඉටු වීමක් යුදෙව් පිළිවෙළේ අවසානය දක්වා කාලය තුළදී සිදුවූ සිද්ධීන් තුළ සොයාගත හැකිය. යේසුස්වහන්සේ විසින් පුරෝකථනය කළා වූ යුද්ධ, භූමිකම්පා, ආහාර හිඟකම් සහ වෙනත් දේවල් දශක තුනක කාල පරිච්ඡේදයක් පුරා සිදු විය. එහෙත්, මතෙව් 24:15, මාර්ක් 13:14 සහ ලූක් 21:20 පටන්, තාදාසන්න විනාශයකට කෙළින්ම සම්බන්ධ වූ සිද්ධීන් ගැන අපි කියවමු.—වගුවේ තනි තිත් සහිත ඉර සැලකිල්ලට ගන්න.
12. මතෙව් 24:15 ඉටු වීමට රෝම හමුදාව සම්බන්ධ වූයේ කෙසේද?
12 පොදු යුගයේ 66දී යුදෙව් කැරැල්ලට ප්‍රතිචාරය දැක්වීමක් වශයෙන්, සෙස්ටියස් ගැලස් යටතේ, රෝමවරු, යෙරුසලමට එරෙහිව යුද වැද, යුදෙව්වන් විසින් ශුද්ධ යයි සලකනු ලැබූ මෙම නගරය වැටලූහ. (මතෙව් 5:35) යුදෙව්වන් ප්‍රතිප්‍රහාර එල්ල කළද, රෝමවරුන් නගරය තුළට බලෙන් කඩා වැදුණි. මතෙව් 24:15 සහ මාර්ක් 13:14හි යේසුස්වහන්සේගේ පුරෝකථනය සනාථ කරමින්, ඔවුන් ‘ශුද්ධස්ථානයේ සිටීමට’ පටන් ගත්තේ, මේ ආකාරයෙන්ය. ඊළඟට පුදුමාකාර යමක් සිදු විණි. නුවර වටලා ගෙන සිටියද, රෝමවරු හදිසියේම ඉවත්ව ගියෝය. ක්‍රිස්තියානින් යේසුස්වහන්සේගේ අනාවැකියේ ඉටුවීම සැණෙකින් හඳුනාගත් අතර, මෙසේ පිටවී යනවාත් සමඟම යුදෙයාවේ සිට යොර්දාන් හරහා පෙරියා කඳුවලට පලා යාමට ඔවුනට මං සැලැස්වීය. ඔවුන් එසේ කළ බව ඉතිහාසය පවසයි.
13. පලායාම සඳහා යේසුස්වහන්සේ දුන් අනතුරු ඇඟවීමට අවනත වීමට ක්‍රිස්තියානින්ට හැකි වූයේ මන්ද?
13 එහෙත්, යෙරුසලම අවටින් රෝමවරුන් දැන් ඉවත්ව ගොස් තිබුණි නම්, පලායාමට යමෙකුට අවශ්‍ය වනු ඇත්තේ මන්ද? යේසුස්වහන්සේගේ වදන්වලින් පෙන්වූයේ, සිදුවී තිබුණු දේවල් ‘යෙරුසලම පාලු කරනු ලැබීම ආසන්න වූ බවට’ ඔප්පු කොට තිබූ බවයි. (ලූක් 21:20) එසේ ය, පාළු කිරීමකි. ‘පටන්ගැන්මේ සිට සිදු වී නැති සහ නැවතත් සිදු නොවනු ඇති පීඩාවක්’ ගැන උන්වහන්සේ පුරෝකථනය කළ සේක. වසර තුනහාමාරකට පමණ පසු, එනම් පො.යු. 70දී, සෙන්පති ටයිටස් යටතේ, රෝම හමුදාවන්ගෙන් යෙරුසලම ඇත්තටම “මහත් පීඩාවක්” අත්දුටුහ. (මතෙව් 24:21; මාර්ක් 13:19) එහෙත් යේසුස්වහන්සේ, එය මීට පෙර සිදුවූ ඒවාටත් එමෙන්ම පසුව සිදුවනු ඇති ඒවාටත් වඩා මහත් පීඩාවක් හැටියට විස්තර කරනු ඇත්තේ මන්ද?
14. පොදු යුගයේ 70දී යෙරුසලමට සිදුවූ දෙය, ඒ දක්වා සිදු නොවුනාවූද, ඉන්පසු කිසි කලෙක සිදු නොවන්නාවූද “මහත් පීඩාවක්” බව කීමට අපට හැක්කේ කෙසේද?
14 පොදු යුගයට පෙර 607දී, යෙරුසලම බබිලෝනියයන් විසින් විනාශ කරන ලද අතර, අපගේ වත්මන් සියවස තුළ නගරයේ දරුණු සටන් ඇති වී තිබේ. එහෙත්, පො.යු. 70දී සිදුවූ දෙය, අද්විතීය ලෙස මහත් පීඩාවක් විය. මාස පහක් පමණ කාලයක් ගත වූ සටන් මෙහෙයුමකින් පසු, ටයිටස්ගේ රෝම යුධ භටයෝ යුදෙව්වන් පරාජය කළහ. ඔවුහු ඔවුන්ගෙන් 11,00,000ක් පමණ මරා දමා, 1,00,000ක් පමණ වහලුන් ලෙස ගෙන ගියහ. එපමණක්ද නොව, රෝමවරු යෙරුසලම සුනු විසුනු කළහ. යුදෙව්වන්ගේ දේව මාලිගාව මත කේන්ද්‍ර ගතව තිබූ ඔවුන්ගේ කලින් අනුමැතියලත් නමස්කාර පිළිවෙළ ස්ථිර වශයෙන් නිමාවට පත් වූ බව මින් සනාථ විණි. (හෙබ්‍රෙව් 1:2) එමනිසා, පො.යු. 70දී සිදුවූ සිද්ධීන් ‘ලොව පටන් ගැන්මේ සිට (එම නගරය, ජාතිය සහ පිළිවෙළ මත) නොවුණා වූ මතු කොයිකලෙකවත් සිදු නොවන්නාවූ මහත්වූ පීඩාවක්’ වශයෙන් සැලකීම නිවැරදිය.—මතෙව් 24:21.d
පුරෝකථනය කළ ලෙස, තවත් දේ සිදුවීමට තිබිණි
15. (අ) යෙරුසලම මත පැමිණි පීඩාවට පසු යේසුස්වහන්සේ පුරෝකථනය කළ පරිදි, පැමිණීමට තිබුණේ කුමානාකාරයේ සිදුවීම්ද? (ආ) මතෙව් 24:23-28හි සඳහන් දේ සලකන කල, යේසුස්වහන්සේගේ අනාවැකිය ඉටුවීම ගැන අප කුමක් නිගමනය කළ යුතුද?
15 කෙසේවෙතත්, යේසුස්වහන්සේ සිය පුරෝකථනය පළමු සියවසේ පීඩාවට සීමා කළේ නැත. මතෙව් 24:23 සහ මාර්ක් 13:21හි සඳහන් ටොʹටේ හෙවත් “එවිට” යන යෙදීමෙන් අඟවන්නාක් මෙන්, එම පීඩාවට පසු තවත් බොහෝ දේවල් සිදුවෙන්නට යන බව බයිබලය පෙන්වයි. පොදු යුගයේ 70 කාල පරිච්ඡේදයට පසු, ඉදිරියට සිදුවීමට තිබුණේ මොනවාද? යුදෙව් පිළිවෙළ මත එම පීඩාවෙන් පසු, තවත් බොරු ක්‍රිස්තුවරුන් සහ අනාගතවක්තෘවරුන් පෙනී සිටිනු ඇත. (මාර්ක් 13:6, සමඟ මාක් 13:21-23 සසඳන්න.) ඉතා තියුණු ආත්මික දසුනක් ඇත්තාවූද, ක්‍රිස්තුස්වහන්සේගේ “පැමිණ සිටීම” බලා සිටියාවූද අයව මුළා කර නැතත්, ඉතිහාසයෙන් තහවුරු වන්නේ, එවැනි පුද්ගලයන් පො.යු. 70 යෙරුසලමේ විනාශයේ සිට මතු වී තිබෙන බවයි. (මතෙව් 24:27, 28) කෙසේවෙතත් පො.යු. 70දී වූ පීඩාවෙන් පසුව සිදුවූ සිද්ධීන්වලින් සපයන එක් ඇඟවීමක් නම්, මූලික ඉටු වීමක් පමණක් වූ එම පීඩාවට ඔබ්බෙන් යේසුස්වහන්සේ බැලූ බවය.
16. ලූක් 21:24හි යේසුස්වහන්සේගේ අනාවැකියට කිනම් අංගයක් එකතු කරයිද, තවද මෙයට කිනම් වැදගත්කමක් තිබේද?
16 අප මතෙව් 24:15-28 සහ මාර්ක් 13:14-23 සමඟ ලූක් 21:20-24 සැසඳුවහොත්, යේසුස්වහන්සේගේ පුරෝකථනය කිරීම යෙරුසලමේ විනාශයෙන් බොහෝසෙයින් ඔබ්බට යන බවට දෙවන ඇඟවීමක් අපට සොයා ගත හැකියි. ලූක් පමණක් වසංගත ගැන සඳහන් කොට තිබූ බව සිහියට නඟන්න. ඒ හා සමානව, යේසුස්වහන්සේගේ මෙම වදන් සමඟින් මෙම කොටස අවසාන කළේ ඔහු පමණි: “අන්‍යජාතීන්ගේ කාලවල් [ජාතීන්ගේ නියම කරනලද කාලවල්, NW] සම්පූර්ණ වන තෙක් යෙරුසලම අන්‍යජාතීන් විසින් මඬිනු ලබන්නීය.”e (ලූක් 21:24) බබිලෝනියයන් යුදෙව්වන්ගේ අන්තිම රජුව පො.යු.පෙ. 607දී ඉවත් කොට තිබූ අතර, ඉන්පසු, දෙවියන්වහන්සේගේ රාජ්‍යය නියෝජනය කළා වූ යෙරුසලම මඩිනු ලැබීය. (2 රාජාවලිය 25:1-26; 1 ලේකම් 29:23; එසකියෙල් 21:25-27) යළිත් රාජ්‍යයක් පිහිටුවීම සඳහා දෙවියන්වහන්සේහට කාලය පැමිණෙන තෙක්, මෙම තත්ත්වය අනාගතය දක්වා පවතිනු ඇති බව ලූක් 21:24හි යේසුස්වහන්සේ ඇඟවූ සේක.
17. යේසුස්වහන්සේගේ අනාවැකිය ඈත අනාගතයට විහිදෙන බවට අපට තිබෙන තුන්වෙනි ඇඟවීම කුමක්ද?
17 යේසුස්වහන්සේ ඈත අනාගතික ඉටුවීමක් කෙරෙහි යොමු දක්වමින් සිටි බවට තුන්වෙනි ඇඟවීම මෙන්න. ශුද්ධ ලියවිල්ලේ සඳහන් පරිදි, මෙසියස්වහන්සේ මරනු ලැබ නැවත නැගිටවනු ලැබීමටත්, ඉන්පසුව, සතුරන්ව යටත් කිරීමට තම පියාණන් විසින් තමාව එවන තෙක්, උන්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ සිටීමටත් අවශ්‍යව ඇත. (ගීතාවලිය 110:1, 2) සිය පියාණන්ගේ දකුණු පැත්තේ වැඩ සිටීමට සිදුවන බව යේසුස්වහන්සේ ඇඟ වූ සේක. (මාර්ක් 14:62) නැවත නැගිටවනු ලැබූ යේසුස්වහන්සේ රජ වීමටත්, දෙවියන්වහන්සේගෙන් වූ වධකයාණන් වීමටත් යෙහෝවඃවහන්සේගේ දකුණු පැත්තේ බලා සිටින බවට ප්‍රේරිත පාවුල් සනාථ කළේය.—රෝම 8:34; කොලොස්සි 3:1; හෙබ්‍රෙව් 10:12, 13.
18, 19. සුවිශේෂවල ඇති සමාන්තර අනාවැකි කෙරෙහි එළිදරව් 6:2-8හි ඇති සම්බන්ධය කුමක්ද?
18 දේවල පිළිවෙළේ සමාප්තිය ගැන යේසුස්වහන්සේ දුන් අනාවැකිය, පළමු සියවසෙන් ඔබ්බට යන බවට තිබෙන හතරවෙනි හා තීරණාත්මක නිගමනය ගැන දැනගැනීම සඳහා, අපට එළිදරව් 6වෙනි පරිච්ඡේදයට පෙරළිය හැකිය. පොදු යුගයේ 70න් පසුව දශක කිහිපයකට යොමු දක්වමින් ප්‍රේරිත යොහන්, ක්‍රියාකාරි අසරුවන්ගේ පොලඹවනසුලු දර්ශනයක් විස්තර කළේය. (එළිදරව් 6:2-8) “ස්වාමීන්වහන්සේගේ දවස”—එනම් උන්වහන්සේගේ පැමිණ සිටීමේ දවස—වෙත යොමු කර ඇති මෙම අනාවැකිමය දසුන, අපගේ 20වෙනි සියවස සැලකිය යුතු ලෙසින් යුද්ධවලින් පිරි (එළි 6 4වෙනි පදය), හාත්පස පැතිර පවත්නා ආහාර හිඟකම් (5 සහ 6වෙනි පද), සහ “මාරාන්තික වසංගතවලින්” යුත් (එළි 6 8වෙනි පදය) කාලයක් ලෙස හඳුන්වා දෙයි. පැහැදිලිවම, යේසුස්වහන්සේ, සුවිශේෂවල පැවසූ පුරෝකථනයන්ට මෙය සමාන්තරව දිව යන අතර, උන්වහන්සේගේ අනාවැකියට මෙම ‘ස්වාමීන්වහන්සේගේ දවසේදී’ වඩා මහත් ඉෂ්ට වීමක් තිබෙන්නට යන බව ඔප්පු කරයි—එළිදරව් 1:10.
19 මතෙව් 24:7-12 සහ එළිදරව් 6:2-8හි පුරෝකථනය වූ සංයුක්ත ලකුණ 1914දී සිදුවූ ලෝක යුද්ධය පටන් ගැනීමත් සමඟම, අපගේ කාලයේදී පැහැදිලිවම දිස්වෙමින් තිබෙන බව කාරණා දන්නා අය පිළිගනිති. කුරිරු යුද්ධ, විනාශකාරී භූමිකම්පා, ව්‍යසනකාරී සාගත සහ බහුලව පැතිර පවත්නා රෝගවලින් පෙනී යන්නාක් මෙන්, යේසුස්වහන්සේගේ අනාවැකිය දැන් පවා, එහි දෙවෙනි සහ වඩා මහත් ඉටුවීම අද්දකිමින් තිබෙන බව යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ලොව වටා ප්‍රකාශ කොට තිබේ. මෙම ලැයිස්තුවේ අවසානයට සඳහන් කරුණ, යූ.එස්. න්යුස් ඇන්ඩ් වර්ල්ඩ් රිපෝට් (1992 ජූලි 27) මෙසේ පැවසීය: “ගොදුරුවන්නන් මිලියන ගණනක් ඔවුන්ගේ මරණයට යවමින් තිබෙන, ඒඩ්ස් වසංගතය, . . . අපගේ ඉතිහාසයේ වඩාත් දරුණුම ව්‍යසනකාරී වසංගතය විය හැකිය. දහහතරවෙනි සියවසේදී, බ්ලැක් ඩෙත් හෙවත් කළු මරණය නමැති රෝගය, ඉන් දුක් විඳි පුද්ගලයන් මිලියන 25ක් පමණ මරා දැමුවේය. එහෙත්, වසර 2000වන විට, මිලියන 30 සිට මිලියන 110 අතර ජනකායක් ඒඩ්ස් ඇති කරන HIV වෛරසය රැගෙන යන අතර, එය අද දින සිටින මිලියන 12ක් පමණ එම ජනයාගේ ඉහළ නැඟීමක් වනු ඇත. මෙයට කිසි ප්‍රතිකාරයක් නොලැබේ නම්, මේ සියල්ලන්ම මරුමුවට පත්වනවා නිසැකය.”
20. මතෙව් 24:4-22හි මූලික ඉටුවීම ආවරණය කරනු ඇත්තේ කුමක්ද, නමුත් පැහැදිලිව දක්නට තිබෙන අනෙක් ඉටුවීම කුමක්ද?
20 එබැවින්, ප්‍රේරිතයන් ඇසූ දේට යේසුස්වහන්සේ දුන් පිළිතුර ගැන අප කුමක් නිගමනය කළ යුතුද? උන්වහන්සේගේ අනාවැකිය, යෙරුසලමේ විනාශය දක්වා හා ඊට ආශ්රිත වූ සිද්ධීන් ගැන නිවැරදිව පුරෝකථනය කළ අතරම, එය පො.යු. 70ට පසු සිදු වන යම් දේවල් ගැනද සඳහන් කළේය. එහෙත්, මෙම වචනවලින් වැඩි කොටසකට දෙවන හා වඩාත් විශාල ඉෂ්ට වීමක් තිබූ අතර, මෙම වත්මන් දුෂ්ට දේවල පිළිවෙළ නිමා කරනු ඇති මහත් පීඩාව දක්වා දිවෙනු ඇත. මින් අදහස් කරන්නේ මතෙව් 24:4-22හි සඳහන් යේසුස්වහන්සේ කලින් පැවසූ දේ මෙන්ම, මාර්ක් සහ ලූක්ගේ වාර්තාවල ඊට සමාන්තරව පවසා ඇති දේ, පො.යු. 33 සිට පො.යු. 70හි මහත් පීඩාව දක්වා ඉටු වූ බවයි. එහෙත්, එම පදවලටම දෙවෙනි ඉටු වීමක් තිබෙනු ඇති අතර, අනාගතයේදී බොහෝ සෙයින් වඩාත් වැඩි මහත් පීඩාවක් ඊට ඇතුළත් වනු ඇත. මෙම වඩාත් විශාල ඉෂ්ට වීම දැන් අප සමඟය; ඒ පිළිබඳ සාක්ෂි අපට දිනපතාම දැකිය හැකිය.f
යොමු කරන්නේ කුමක් වෙතටද?
21, 22. තවත් අමතර දේවල් සිදුවීමට තිබූ බවට අනාවැකිමය ඇඟවීමක් අපට සොයා ගත හැක්කේ කොතැනින්ද?
21 “අන්‍ය ජාතීන්ගේ [නියම කරන ලද, NW] කාලවල් සම්පූර්ණ වන” තෙක්, ඒ අතර දීර්ඝ කාල පරිච්ඡේදය තුළ, බොරු අනාගතවක්තෘවරු විසින් මුළා කරවන ලකුණු සිදු කරනු ලබන අයුරු සඳහන් කරමින්, යේසුස්වහන්සේ සිය අනාවැකිය අවසන් කළේ නැත. (ලූක් 21:24; මතෙව් 24:23-26; මාර්ක් 13:21-23) සිදුවීමට යන තවත් බියජනක දේවල්, එනම් ලොව වටා නිරීක්ෂණය කරනු ලබන දේවල් ගැන උන්වහන්සේ දිගටම සඳහන් කළ සේක. මනුෂ්‍ය පුත්‍රයා බලයෙන් සහ මහිමයෙන් යුතුව පැමිණීමත් සමඟ මේවා සම්බන්ධ වනු ඇත. මාර්ක් 13:24-27හි සඳහන් දෙය උන්වහන්සේ විසින් පවසන ලද, දිගටම ඇදී යන අනාවැකිය නියෝජනය කරන්නකි.
22 “ඒ දවස්වලදී, ඒ පීඩාවෙන් පසු ඉර අඳුරුවන්නේය, සඳ එළිය නොදෙන්නේය, තාරකාවෝ අහසෙන් වැටෙන්නෝය, අහසේ ඇති බලපරාක්‍රමයෝද සොලවනු ලබන්නෝය. එකල මනුෂ්‍ය පුත්‍රයා මහත් බලයෙන්ද තේජසින්ද යුක්තව වලාකුල්වල එනවා ඔව්හු දකින්නෝය. එවිට උන්වහන්සේ තමන් දූතයන් යවා, පොළොවේ කෙළවර පටන් අහසේ කෙළවර දක්වා සතර දිගින් තමන්වහන්සේගේ තෝරාගත්තවුන් රැස්කරවනවා ඇත.”
23. පොදු යුගයේ පළමු සියවසෙන් බොහෝ කලකට පසු මතෙව් 24:29-31හි ඉටු වීම කෙරෙහි අපට බලා සිටිය හැක්කේ මන්ද?
23 මනුෂ්‍ය පුත්‍රයා, එනම් නැවත නැගිටුවනු ලැබුවා වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, පො.යු. 70 යුදෙව් පිළිවෙළේ විනාශකාරී අවසානයට පසුව එවන් විශේෂ ආකාරයෙන් පැමිණියේ නැත. ඇරත්, මතෙව් 24:30හි සඳහන් වෙන්නාක් මෙන්, පොළොවේ සියලු ගෝත්‍රයන් උන්වහන්සේව හඳුනා ගත්තේ නැත, එවිට දේව දූතයන් විසින් මුළු පොළොවෙන් ආලේපලත් සියලු ක්‍රිස්තියානින්ව එකතු කරනු ලැබුවේද නැත. එසේ නම්, යේසුස්වහන්සේගේ ආශ්චර්ය සම්පන්න අනාවැකියේ මෙම අමතර කොටස ඉටු වනු ඇත්තේ කවදාද? එය දැන් අප අවට සිදුවෙමින් පවතින සිද්ධීන් තුළ ඉටු වෙමින් පවතිනවාද, නැතහොත්, ඒ වෙනුවට, නුදුරු අනාගතයේදී අපට අපේක්ෂා කළ හැකි දේවල් ගැන අපට දිව්‍ය තීක්ෂ්ණ බුද්ධියක් සපයනවාද? ලූක් යේසුස්වහන්සේගේ මෙම අවවාදය වාර්තා කළ නිසා සහතිකවම අපට එය දැනගන්නට වුවමනා විය යුතුය: “මේ දේ සිදුවෙන්ට පටන්ගන්න කල, නුඹලාගේ මිදීම ළංවූ බැවින්, ඉහළ බලා, හිස් ඔසවාපල්ලා.”—ලූක් 21:28.
[පාදසටහන්වල]
a මෙම පරිච්ඡේදවල කොටස්, 14 සහ 15වෙනි පිටුවල වගුවෙන් සොයා ගත හැක; සමාන්තර කොටස් තිත් ඉරිවලින් වෙන් කොට තිබේ.
b මෙම සිදුවීම් පිළිබඳ ඓතිහාසික සඳහන් කිරීම් ගැන 1970 ජනවාරි 15දා ද වොච්ටවර් කලාපයේ පිටු 43-5 බලන්න.
c ටොʹටේ යන වචනය මතෙව් සුවිශේෂයේ වාර 80කට වඩා වැඩි ගණනක්ද (මතෙ 24 පරිච්ඡේදයේ 9 වතාවක්), ලූක් පොතේ 15 වතාවක්ද දක්නට තිබේ. මාර්ක් ටොʹටේ භාවිතා කළේ හය වතාවක් පමණි, නමුත් මෙයින් හතරක්ම “ලකුණ” හා සම්බන්ධව පවතී.
d ඉංග්‍රීසි ජාතික ලේඛක මැතිව් හෙන්රි මෙසේ සඳහන් කළේය: “කල්දිවරුන් විසින් යෙරුසලම විනාශ කිරීම ඉතා භයානක එකක් විය, නමුත් මෙය ඊටත් වඩා භයානක විය. එනම් සෑම යුදෙව්වෙකුටම . . . සමූල ඝාතනය වීමේ තර්ජනය ඉන් එල්ල විය.”
e ලූක් 21:24ට පසු ඔහුගේ වාර්තාවේ මාරුවීමක් බොහෝ දෙනෙකුට පෙනී යයි. ආචාර්ය ලියොන් මොරිස් මෙසේ කරුණු දක්වයි: “යේසුස්වහන්සේ කථා කරන්නට යන්නේ අන්‍ය ජාතීන්ගේ කාලවල් ගැනය. . . . විශාරදයන් බොහෝ දෙනෙකුගේ මතය අනුව, දැන් අවධානය යොමු කරවන්නේ මනුෂ්‍ය පුත්‍රයාගේ පැමිණීම වෙතටයි.” මහාචාර්ය ආර්. ගින්ස් මෙසේ ලියයි: “මනුෂ්‍ය පුත්‍රයාගේ පැමිණීම—(මතෙ 24:29-31; මාක් 13:24-27). ‘අන්‍ය ජාතීන්ගේ කාලවල්’ සඳහන් කිරීම මෙම තේමාවට හැඳින්වීමක් සපයයි; [ලූක්ගේ] දෘෂ්ටිය දැන් යොමු වී ඇත්තේ යෙරුසලමේ විනාශයට ඔබ්බෙන් තිබෙන අනාගතයටය.”
f මහාචාර්ය වෝල්ටර් එල්. ලීෆෙල්ඩ් මෙසේ ලියයි: “යේසුස්වහන්සේගේ අනාවැකි, අවස්ථා දෙකකට සම්බන්ධ බවට සහතික ලෙසම නිගමනය කළ හැක: (1) දේව මාලිගාවට සම්බන්ධ ක්‍රි.ව. 70 සිදුවීම් සහ (2) වඩාත් සංකේතාත්මක යෙදුම්වලින් විස්තර කර ඇති ඈත අනාගතයේ සිදුවන සිදුවීම්.” ජෝන්. ආර්. ඩමලෝ විසින් සංස්කරණය කරන ලද විවරණයක මෙසේ පැවසේ: “මෙම ශ්‍රේෂ්ඨ අනුශාසනාවේ තේරුම් ගැනීමට වඩාත් අසීරු දේවල් බොහොමයක් අතුරුදහන් වී යන්නේ, අපගේ ස්වාමීන් ඒවා එක් සිද්ධියකට නොව නමුත් සිද්ධීන් දෙකකට යොමු දැක්වූ බව වටහා ගන්නා විටය, ඇරත් පළමුවැන්න දෙවැන්නේ රූපාකාරයක් වෙයි. . . . විශේෂයෙන් ‘අන්‍ය ජාතීන්ගේ කාලවල්’ ගැන කථා කරන [ලූක්] 21:24 පදය, . . . යෙරුසලමේ වැටීම හා ලෝකයේ අවසානය අතර අනියත කාල පරිච්ඡේදයක් සඳහන් කරයි.”
ඔබට මතකද?
◻ මතෙව් 24:3හි ප්‍රශ්නයට, යේසුස්වහන්සේ දුන් පිළිතුර තුළ, පො.යු. 70 දක්වා දිවගිය කාලය තුළදී කෙබඳු ඉටුවීමක් තිබුණිද?
◻ ටොʹටේ යන වදනේ භාවිතය, යේසුස්වහන්සේගේ අනාවැකිය තේරුම් ගැනීමට අපට උපකාරවත් වන්නේ කෙසේද?
◻ පළමු සියවසේ “මහත් පීඩාව” ඊට පෙර සිදු නොවුනාවූ එකක් වන්නේ කිනම් අර්ථයෙන්ද?
◻ ලූක් යොමු දක්වන්නේ යේසුස්වහන්සේගේ අනාවැකිය පිළිබඳ අපගේ කාලයට සම්බන්ධ වන කුමන අද්විතීය අංගයන් දෙකටද?
◻ මතෙව් 24:4-22හි අනාවැකියට දෙවන හා වඩා මහත් ඉටුවීමක් ඇති බවට යොමු දක්වන ඇඟවීම් කවරේද?
[10වන පිටුවේ පින්තූරය]
පොදු යුගයේ 70දී සිදුවූ පීඩාව යෙරුසලම හා යුදා පිළිවෙළ එදා මෙදා තුර අත්දුටු මහත්ම පීඩාව විය