ඔබ ස්තුතිවන්ත කෙනෙක් බව පෙන්වනවාද?
කලෙක බටහිර අප්‍රිකාවේ මිෂනාරි නිවසක, ටෙඩි නම් බල්ලෙක් ජීවත් වුණා. කවුරුහරි ටෙඩිට මස් කෑල්ලක් විසි කළ විට, ඌ රස බලන්නේ හෝ හපන්නේ නැතුව එකපාරටම ඒක ගිල දැම්මා. තද අව්වේ හති දමමින්, ඌ බලා සිටියේ ඊළඟ මස් කෑල්ල ඌ දෙසට විසි කරන තුරුයි. මස් ඉවර වුණාට පස්සේ, ඌ නැවත හැරිලා උගේ ගමන යන්න ගියා.
ටෙඩි, තමාට ලැබුණු දෙය සඳහා යන්තමින්වත් කෘතඥතාවක් පළ කළේ නැහැ. කවුරුත් උගෙන් එවැන්නක් බලාපොරොත්තු වුණේත් නැහැ. අනිත් එක, ඌ නිකම්ම නිකම් බල්ලෙක්නේ.
කෘතඥතාව සම්බන්ධයෙන් බලද්දී, අපි බොහෝවිට සත්වයන්ගෙන් අපේක්ෂා කරනවාට වඩා සෙසු මිනිසුන්ගෙන් වැඩි යමක් අපේක්ෂා කරනවා. නිතරම අපව අධෛර්යයට පත් වෙනවා. බොහෝදෙනෙක් ජීවිතයෙන් තමන්ට ගත හැකි දේ ඩැහැගන්න අතර ඔවුන් තව තවත් ගැනීමටමයි උත්සාහ කරන්නේ. මේකත් පුදුම වෙන්න දෙයක් නොවෙයි. අන්තිම දවස්වලදී මිනිස්සු ස්තුතිවන්ත නොවන බව බයිබලයේ පුරෝකථනය කළා.—2 තිමෝති 3:1, 2.
කෙසේවුවත්, දෙවිගේ සේවකයන්ට තිබෙන්නේ වෙනස් ආකල්පයක්. ඔවුන් ප්‍රේරිත පාවුල්ගේ අවවාදය හෘදයට ගන්නවා; ඔහු සෙසු ඇදහිලිවන්තයන්ට මෙසේ අවවාද කළා: ‘ස්තුතිවන්තව සිටින්න.’—කොලොස්සි 3:15.
යෙහෝවා තම ස්තුතිවන්තබව පෙන්වනවා
අගය දැක්වීමේදී යෙහෝවා දෙවි පරිපූර්ණ ආදර්ශය තබනවා. ඔහු තම ඇදහිලිවන්ත සේවකයන්ව සලකන්නේ කෙසේද කියා කල්පනා කර බලන්න. දේවානුභාවය ලත් පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට මෙසේ ලිව්වා: “නුඹලාගේ වැඩයද නුඹලා ශුද්ධවන්තයන්ට කළාවූ, කරන්නාවූ උපස්ථානයෙන් [දෙවිගේ] නාමයට පෙන්නූ ප්‍රේමයද මතකනැතිකරන්ට [ඔහු] අධර්මිෂ්ඨ නැත.”—හෙබ්‍රෙව් 6:10.
ඇදහිලිවන්ත සේවකයන් සඳහා යෙහෝවා දැක්වූ අගය පිළිබඳ ආදර්ශ බහුලව තිබෙනවා. ආබ්‍රහම්ගෙන් පැවතෙන දරුදැරියන්ගේ සංඛ්‍යාව වැඩි කරමින් ඔහු ආබ්‍රහම්ට ආශීර්වාද කළා; එමනිසා ඔවුන් “අහසේ තාරකා මෙන්ද මුහුදු වෙරළෙහි වැලි මෙන්ද” වැඩි වුණා. (උත්පත්ති 22:17) පීඩා යටතේ යෝබ් දැක්වූ ඇදහිලිවන්තකම සඳහා අගය කිරීමක් වශයෙන් යෙහෝවා යෝබ්ගේ විශාල ධන සම්භාරය නැවත ලබා දුන්නා පමණක් නොව ඒවා ‘දෙගුණයකින් වැඩි කළා.’ (යෝබ් 42:10) වර්ෂ දහස් ගණනාවක් පුරා මනුෂ්‍යයන් සමඟ යෙහෝවා කටයුතු කර ඇති ආකාරයෙන් මෙම ප්‍රකාශයේ සත්‍යතාව ඔප්පු වී තිබෙනවා: “[යෙහෝවා] කෙරෙහි සම්පූර්ණ සිත් ඇත්තන්ට පිහිටවෙන පිණිස [ඔහුගේ] බලය පාමින්, [ඔහුගේ] ඇස් පොළොව මුළුල්ලෙහි ඔබමොබ දුවන්නේය.”—2 ලේකම් 16:9.
දෙවිගේ කැමැත්ත කරන්න සොයමින් සිටින අයව අගය කිරීම හා ඔවුන්ට විපාක දීමට ඇති ඔහුගේ නැඹුරුවාව ඔහුගේ පෞද්ගලිකත්වයේ මූලික අංගයන් වෙනවා. මෙය වටහාගැනීම ක්‍රිස්තියානි ඇදහිල්ල සඳහා අත්‍යවශ්‍ය දෙයක්. පාවුල් මෙසේ ලිව්වා: “ඇදහිල්ල නැතුව [ඔහුව] ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද [දෙවි] වෙතට ළඟාවෙන්නා විසින් . . . [ඔහුව] සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.”—හෙබ්‍රෙව් 11:6.
ඒ වෙනුවට යෙහෝවා දැඩි, විවේචනාත්මක ස්වභාවයක් පිළිබිඹු කළා නම්, අපි එක්කෙනෙක්වත් ඉතිරිව සිටින එකක් නැහැ. බොහෝ කලකට පෙර, ගීතිකාකරු මේ කරුණ ඉදිරිපත් කළා: “ඔබ අයුතුකම් ගණනට [ගන්නේ] නම්, ස්වාමිනි, කාට සිටින්ට හැක්කේද?” (ගීතාවලිය 130:3) යෙහෝවා අගය නොකරන හෝ විවේචනය කරන කෙනෙක් හෝ නොවෙයි. ඔහුට සේවය කරන අයව ඔහු ආදරයෙන් රැකබලා ගන්නවා. ඔහු තම ස්තුතිවන්තබව පෙන්වනවා.
යේසු—ගැඹුරින් අගය කරන පුද්ගලයෙක්
තම ස්වර්ගික පියාගේ ගුණාංග පරිපූර්ණ ලෙස විදහාපාමින්, යේසුස් ක්‍රිස්තුස් අන්‍යයන් ඇදහිල්ලෙන් කළ දේවලට තම ස්තුතිවන්තබව පෙන්නුවා. විටෙක යෙරුසලමේ දේවමාළිගාවෙහි සිදු වූ දේ සලකා බලන්න: ‘ඔහු ඇස් ඔසවා, ධනවතුන් තමුන්ගේ පඬුරු ගබඩාවට දමනවා දුටුවේය. එක්තරා දිළිඳු වැන්දඹුවක් කුඩා මිල දෙකක් එහි දමනවාත් ඔහු දැක: සැබවක් නුඹලාට කියමි—මේ දිළිඳු වැන්දඹුව සියල්ලන්ට වඩා දැමුවාය. මක්නිසාද මොවුන් සියල්ලෝම තමුන්ගේ වැඩිමනත් දෙයින් ගබඩාවට පඬුරු දැමුවෝය. නුමුත් මෑ තමාගේ හිඟකමින්, තමාට ජීවිකාවට තිබුණු සියල්ලම දැමුවායයි කීවේය.’—ලූක් 21:1-4.
වටිනාකම සම්බන්ධයෙන් බලද්දී, විශේෂයෙන්ම එම පොහොසත් ජනයා දැමූ දෙය හා සැසඳූ විට, එය සුළු සම්මාදමක් වුණා. එහි පැමිණ සිටි වැඩිදෙනෙක් ඇයව දකින්නත් නැතුව ඇති. එහෙත්, යේසු එම වැන්දඹුවව දැක්කා. ඔහු ඇගේ තත්වයන් තේරුම්ගත්තා. යේසු ඇයව දුටු අතර, ඇයව අගය කළා.
ධනවත් ස්ත්‍රියක් වූ මරියා සම්බන්ධව තවත් සිද්ධියක් තිබෙනවා. යේසු කෑමකට වාඩි වී සිටියදී, ඇය යේසුගේ පාද හා හිස මත ඉතා මිල අධික සුවඳ තෙල් වර්ගයක් වත් කළා. සමහරු ඇගේ ක්‍රියාව විවේචනය කළා; එම තෙල් විකුණා ඒ මුදල දුප්පතුන්ට උපකාර කිරීමට පාවිච්චි කරන්න තිබුණා කියා ඔවුන් හේතු දැක්වුවා. යේසු ප්‍රතිචාරය දැක්වුවේ කෙසේද? ඔහු මෙසේ පැවසුවා: “ඈ නිකම් උන්නාවේ; නුඹලා ඈට කරදරකරන්නේ මක්නිසාද? ඈ මට කළේ යහපත් ක්‍රියාවක්ය. සැබවක් නුඹලාට කියමි—ලොව මුළුල්ලේ ශුභාරංචිය ප්‍රකාශකරනු ලබන සෑම තැන්වලදීම මේ ස්ත්‍රිය කළ ක්‍රියාවත් ඈ ගැන සිහිවීමක් කොට කියනු ලබන්නේය.”—මාර්ක් 14:3-6, 9; යොහන් 12:3.
අනර්ඝ තෙල වෙනත් ප්‍රයෝජනවත් දෙයක් සඳහා නොයෙදවීම ගැන යේසු විවේචනාත්මක වෙමින් තැවුණේ නැහැ. ඔහු මරියාගේ ප්‍රේමයේ හා ඇදහිල්ලේ ත්‍යාගශීලී විදහාදැක්වීම අගය කළා. ඇගේ කදිම ක්‍රියාව මතකයට නැඟීමක් වශයෙන් එම සිද්ධිය බයිබලයෙහි වාර්තා කර තිබෙනවා. යේසු ගැඹුරින් අගය දැක්වූ කෙනෙක් වූ බව මේ වාර්තා මෙන්ම වෙනත් ඒවා පෙන්වනවා.
ඔබ දෙවිගේ සේවකයෙක් නම්, යෙහෝවා දෙවි හා යේසුස් ක්‍රිස්තුස් යන දෙදෙනාම, පවිත්‍ර නමස්කාරය වැඩිදියුණු කිරීමට ඔබ දරන වෑයම ගැඹුරින් අගය කරන බවට ඔබට සහතිකයක් තබාගත හැකියි. ඒ දැනුම අපව ඔවුන් වෙත ඇදී යෑමටත්, අප ස්තුතිවන්ත අය බව ඔප්පු කරමින් ඔවුන්ව අනුකරණය කිරීමටත් පොලඹවයි.
සාතන්ගේ විවේචනාත්මක ස්වභාවය
ස්තුතිවන්තබව නොපෙන්වන තැනැත්තෙක් වන යක්ෂයා වූ සාතන්ගේ ආදර්ශය අපි දැන් සලකා බලමු. සාතන්ගේ අගය නොදැක්වීම, දෙවිට විරුද්ධව විනාශකාරි කැරැල්ලක් දියත් කිරීමට ඔහුට මඟ පෑදුවා.
සාතන් තමා තුළ පෝෂණය කර තිබුණු සෑහීමට පත් නොවීමේ විවේචනාත්මක ස්වභාවය, අන්‍යයන් තුළද වගා කරන්න පටන්ගත්තා. ඒදන් උයනේ සිදු වූ සිද්ධීන් සලකා බලන්න. යෙහෝවා මුල් පුරුෂයා හා ස්ත්රියව මවා පාරාදීසමය උද්‍යානයක තබා ඔවුන්ට මෙසේ ප්‍රකාශ කර තිබුණා: “නුඹට උයනේ සියලු ගස්වලින් කැමති ලෙස කන්ට පුළුවන.” නමුත් එක තහනමක් පනවා තිබුණා. දෙවි මෙසේ පැවසුවා: “එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහිය.”—උත්පත්ති 2:16, 17.
කෙසේවුවත්, වැඩි කල් නොගොස්, සාතන් යෙහෝවාගේ විශ්වසනීයත්වයට අභියෝග කළා. යම්දුරකට සාතන්ට වුවමනා වුණේ ඒවගේ කෘතඥතාව සම්පූර්ණයෙන්ම නැති කරමින්, තමන් කැරලි ගසා තිබූ ආකාරයටම යෙහෝවාට විරුද්ධව කැරලිගසන්න ඇයට සැලැස්වීමටයි. “ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපාය කියා [දෙවි] කීවාද” කියා සාතන් ඇසුවා. (උත්පත්ති 3:1) ඔහු පැහැදිලිවම අඟවන්න හැදුවේ දෙවි යම් අනර්ඝ දෙයක්, ඒ කියන්නේ ඇගේ ඇස් ඇරී දෙවි හා සමාන වීමට හැකි යම් දෙයක් ඇයට නොදී සිටින බවයි. තමාට දෙවි බහුලව සපයා ඇති බොහෝ ආශීර්වාද සඳහා ස්තුතිවන්ත වෙනවා වෙනුවට, තහනම් කර ඇති දේට ඒව තුළ තෘෂ්ණාවක් හටගත්තා.—උත්පත්ති 3:5, 6.
ඇති වූ විනාශකාරි ප්‍රතිඵල අප හැමෝම හොඳින් දන්නවා. ඇය “ජීවමාන සියල්ලන්ගේ මවු හෙයින්” ඇයට ඒව යන නම දී තිබුණත්, වෙනත් අර්ථයකින් ඇය මියයන සෑම කෙනෙකුගේම මව බවට පත් වුණා.—උත්පත්ති 3:20; රෝම 5:12.
දෙවිව හා ක්‍රිස්තුස්ව අනුකරණය කරන්න
සාතන් හා යේසු අතර වෙනස සලකා බලන්න. සාතන්ව විස්තර කර තිබෙන්නේ “අපගේ [දෙවි] ඉදිරිපිට රෑ දාවල් අපේ සහෝදරයන්ට වරදතබන්නාවූ, ඔවුන්ගේ වරදතබන්නා” ලෙසයි. (එළිදරව් 12:10) ‘තමා කරණකොටගෙන දෙවි වෙතට ළඟාවෙන්නන් උදෙසා මැදහත්කම් කරන පිණිස තමා නිරතුරුම ජීවත් වන හෙයින්, ඔවුන් කෙළවර දක්වාම ගළවන්ට’ යේසුට “පුළුවන.”—හෙබ්‍රෙව් 7:25.
සාතන් දෙවිගේ සේවකයන්ට චෝදනා කරනවා. යේසු ඔවුන්ව අගය කරන අතර ඔවුන් වෙනුවෙන් මැදහත්කම් කරනවා. ක්‍රිස්තුස්ව අනුකරණය කරන්නන් හැටියට ක්‍රිස්තියානීන්, එකිනෙකා තුළ ඇති හොඳ දකින්නත්, එකිනෙකාව අගය කරන්නත්, එකිනෙකාගේ වටිනාකම තේරුම්ගන්නත් වෑයම් කළ යුතුයි. එසේ කිරීමේදී ඔවුන්, අගය කිරීමේ විශිෂ්ට ආදර්ශය තබන යෙහෝවා දෙවිට ස්තුතිවන්තබව පෙන්වනවා.—1 කොරින්ති 11:1.
[17වන පිටුවේ පින්තූරය]
මරියාගේ හොඳ ක්‍රියාවට යේසු අගය පෙන්නුවා