‘මා ශුද්ධව සිටින බැවින් නුඹලා ශුද්ධව සිටිය යුතුය’
“නුඹලා ශුද්ධව සිටිය යුතුය. මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම ශුද්ධය.”—ලෙවී කථාව 19:2.
1. ලෝකයා විසින් ශුද්ධයයි සලකනු ලබන සමහර පුද්ගලයන් නම් කරන්න.
ශුද්ධයයි සලකනු ලබන අය ලෝකයේ ප්‍රධාන ආගම් බොහොමයක සිටිති. ඉන්දියාවේ සුප්‍රසිද්ධ වූ තෙරේසා මව්තුමිය දුප්පතුන් වෙනුවෙන් ඇප කැප වී කටයුතු කරන නිසා බොහෝවිට ශුද්ධයයි සලකනු ලැබේ. පාප්ට “ශුද්ධෝත්තම පියතුමා” යයි කියනු ලැබේ. ඕපුස් ඩේයි නම් නවීන කතෝලික ව්‍යාපාරයේ මූලාරම්භකයා වන හෝසේ මාරියා එස්ක්රිබාව සමහර කතෝලිකයන් විසින් සලකනු ලබන්නේ “ශුද්ධකම සඳහා ආදර්ශයක්” වශයෙනි. හින්දු ධර්මයට ස්වාමිවරු නොහොත් ශුද්ධ මනුෂ්‍යයෝ සිටිති. ශුද්ධ මනුෂ්‍යයෙකු හැටියට ගාන්ධිට ගරු බුහුමන් කරනු ලැබීය. බෞද්ධ ධර්මයට ශුද්ධ භික්ෂූන් සිටින අතර, ඉස්ලාම් ධර්මයට ශුද්ධ අනාගතවක්තෘවරයා සිටියි. එහෙත් ශුද්ධව සිටීමෙන් නිශ්චිත ලෙස අදහස් කරන්නේ කුමක්ද?
2, 3. (අ) “ශුද්ධ” සහ “ශුද්ධකම” යන වචනවල අර්ථය කුමක්ද? (ආ) උත්තර ලැබිය යුතු ප්‍රශ්න සමහරක් මොනවාද?
2 “ශුද්ධ” යන වචනය, “1. . . . දිව්‍ය බලයක් හා සම්බන්ධ දෙයක්; පරිශුද්ධ. 2. නමස්කාර කිරීමට හෝ ගරු බුහුමන් දැක්වීමට වටිනා, නැතහොත් එවැනි ආකාරයට සලකන දෙයක් . . . 3. දැඩි නැතහොත් උසස් සදාචාර මට්ටමකින් යුත් ආගමික හෝ අධ්‍යාත්මික ක්‍රමයක් අනුව ජීවත්වීම . . . 4. ආගමික අරමුණක් සඳහා නියම කරන ලද හෝ වෙන් කරන ලද දෙයක්” ලෙස අර්ථ දක්වා තිබේ. බයිබලයට අනුව ශුද්ධකමේ අර්ථය වන්නේ, “ආගමික පිරිසිදුකම හෙවත් නිර්මලභාවයයි; පරිශුද්ධභාවයයි.” ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස් නමැති බයිබල් ආශ්‍රේය කෘතියට අනුව, “දෙවියන්වහන්සේ වෙනුවෙන් වෙන්ව සිටීම, උන්වහන්සේගේ පක්ෂයට පමණක් අයත්ව සිටීම, නැතහොත් උන්වහන්සේ වෙනුවෙන් පවිත්‍රව සිටීම, . . . දෙවියන්වහන්සේගේ සේවය සඳහා වෙන් කර තැබීමේ තත්වයක් වැනි අදහස් ඛෝʹඪේෂ් යන මුල් හෙබ්‍රෙව් [වචනයෙන්] ප්‍රකාශ වේ.”a
3 ඉශ්රායෙල් ජාතිය ශුද්ධව සිටිය යුතු බවට ආඥා කර තිබිණ. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි මෙසේ සඳහන්ව තිබිණ: “මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය. මා ශුද්ධ බැවින් නුඹලාත් පවිත්‍රවී ශුද්ධව සිටපල්ලා.” ශුද්ධකමේ උල්පත කවුද? අසම්පූර්ණ ඉශ්‍රායෙලිතයන්ට ශුද්ධව සිටිය හැක්කේ කෙසේද? එමෙන්ම ශුද්ධව සිටීමට වූ යෙහෝවඃවහන්සේගේ ආරාධනාවෙන් අපට උගත හැකි පාඩම් මොනවාද?—ලෙවී කථාව 11:44.
ඉශ්රායෙල් ශුද්ධකමේ උල්පතට සම්බන්ධ වූ ආකාරය
4. ඉශ්රායෙල්හි, යෙහෝවඃවහන්සේගේ ශුද්ධකම පිළිබිඹු කරනු ලැබුවේ කෙසේද?
4 යෙහෝවඃ දෙවියන්වහන්සේට දුන් නමස්කාරයට සම්බන්ධ සෑම දෙයක්ම ශුද්ධයයි සැලකීම ඉශ්රායෙල්හි වගකීම විය. ඒ ඇයි? යෙහෝවඃවහන්සේම ශුද්ධකමේ මූලාරම්භය හා උල්පත වන නිසාය. ශුද්ධ මණ්ඩපය මෙන්ම ඇඳුම් පැළඳුම් හා සැරසිලි සූදානම් කිරීම පිළිබඳ මෝසෙස්ගේ වාර්තාව මෙම වචනවලින් අවසන් වේ: “ඔව්හු පවිත්‍ර රනින් ශුද්ධ කිරීටයේ තහඩුව සාදා ඊ පිට ස්වාමීන්වහන්සේට ශුද්ධය යන ලියවිල්ල මුද්‍රාවක කැටයම් මෙන් ලියුවෝය.” තනි රත්තරනින් තැනූ මෙම දිලිසෙන තහඩුව උත්තම පූජකයාගේ මකුටයේ සවි කරනු ලැබූ අතර, ඔහු විශේෂ ශුද්ධකමින් යුත් සේවයක් සඳහා වෙන් කරනු ලැබූ බව ඉන් අඟවන ලදි. හිරු එළියෙන් දිලිසුණු කැටයම් කළ මෙම ලියවිල්ල දුටු හැම අවස්ථාවකදීම, ඉශ්‍රායෙලිතයන්ට යෙහෝවඃවහන්සේගේ ශුද්ධකම ගැන නිතිපතා සිහිගැන්වීමක් ලැබිණ.—නික්මයාම 28:36; 29:6; 39:30.
5. අසම්පූර්ණ ඉශ්‍රායෙලිතයන්ව ශුද්ධයයි සලකනු ලැබීමට හැකි වූයේ කෙසේද?
5 එහෙත් ඉශ්‍රායෙලිතයන්ට ශුද්ධව සිටීමට හැකි වූයේ කෙසේද? යෙහෝවඃවහන්සේ සමඟ කිට්ටු සම්බන්ධයක් පැවැත්වීමෙන් හා උන්වහන්සේට නිර්මල නමස්කාරය පිරිනැමීමෙන් පමණි. අති “ශුද්ධ තැනැන්වහන්සේ[ට]” ශුද්ධකමින්, එනම් ශාරීරික හා ආත්මික පිරිසිදුකමින් යුක්තව නමස්කාර කිරීමට නම්, උන්වහන්සේ පිළිබඳ ඒකාන්ත දැනුමක් ඔවුන්ට අවශ්‍ය විය. (හිතෝපදේශ 2:1-6; 9:10) එබැවින් නිර්මල චේතනාවකින් හා නිර්මල හෘදයකින් දෙවියන්වහන්සේට නමස්කාර කිරීම ඉශ්රායෙලිතයන්ගෙන් අපේක්ෂා කෙරිණ. නමස්කාරයේදී යම් කුහකකමක් දැක්වීම, යෙහෝවඃවහන්සේගේ පිළිකුලට හේතු වනු ඇත.—හිතෝපදේශ 21:27.
යෙහෝවඃවහන්සේ ඉශ්‍රායෙල්ව හෙළාදැකීමට හේතුව
6. මලාකීගේ කාලයේ සිටි යුදෙව්වන් යෙහෝවඃවහන්සේගේ මේසය සැලකුවේ කෙසේද?
6 ඉශ්‍රායෙලිතයන් උදාසීන ලෙස, දේවමාළිගාවට වැදගැම්මකට නැති දෝෂ සහිත පූජා ගෙනා විට, මෙය මනාව පැහැදිලි විය. තම ප්‍රොපේත මලාකී තුළින්, යෙහෝවඃවහන්සේ ඔවුන්ගේ ගුණයෙන් අඩු පූජා හෙළා දුටුසේක: “නුඹලා කෙරේ මට ප්‍රසන්නයක් නැත, නුඹලාගේ අත්වලින් පූජාවක් මා විසින් පිළිගන්නෙත් නැතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. . . . නුමුත් නුඹලා: ස්වාමීන්වහන්සේගේ මේසය පිළිකුල්ය, එහි ඵල එනම් එහි ආහාර නීචයයි කීමෙන් ඒ නාමය කෙලහන්නහුය. තවද: මෙය කොපමණ මහත් වෙහෙසක්දැයි කියා නුඹලා එය සුළුකළහුයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක; තවද කොල්ලකාගත්තාවූද කොරවූද ලෙඩවූද සතුන් නුඹලා ගෙනාවහුය; මෙසේ නුඹලා ගෙනැවිත් ඔප්පුකරන්නහුය. මම නුඹලාගේ අත්වලින් එය පිළිගනිම්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක.”—මලාකී 1:10, 12, 13.
7. පොදු යුගයට පෙර පස්වන සියවසේදී යුදෙව්වන් කුමන අශුද්ධ ක්‍රියාවල නිරත වූවාද?
7 පොදු යුගයට පෙර පස්වන සියවසේදී පමණ, යුදෙව්වන්ගේ බොරු ව්‍යවහාරයන් හෙළාදැකීමට දෙවියන්වහන්සේ මලාකීව යොදාගත්සේක. පූජකයන් දුර්වල ආදර්ශයක් තබමින් සිටි අතර, ඔවුන්ගේ හැසිරීම ශුද්ධ වූ බව කිසිසේත් කිව නොහැක. ඔවුන්ගේ මූලිකත්වය අනුගමනය කරමින් සිටි ජනයා ප්‍රතිපත්තිවලට නිසි ලෙස ඇලී නොසිටි අතර, ඇතැම්විට වඩාත් තරුණ මිථ්‍යාදෘෂ්ටික භාර්යාවන් හා විවාහ වීමේ අදහසින්, ඔවුහු තම භාර්යාවන් දික්කසාද කිරීමට පවා නැඹුරු වූහ. මලාකී මෙසේ ලීවේය: “ස්වාමීන්වහන්සේ නුඹ සහ නුඹේ තරුණ වයසේ භාර්යාවත් අතරේ සාක්ෂිව සිටි නිසාය; ඈ නුඹේ පංගුකාරීව, නුඹේ ගිවිසුමේ භාර්යාවව සිටින නුමුත්, නුඹම ඈට විරුද්ධව ද්‍රෝහිකම්කළෙහිය.b . . . එබැවින් නුඹලාගේ ආත්මය ගැන ප්‍රවේසම්වෙයල්ලා, කිසිවෙක් තමාගේ තරුණ වයසේ භාර්යාවට විරුද්ධව ද්‍රෝහිලෙස ක්‍රියා නොකෙරේවා. මක්නිසාද [භාර්යාවන්] අත්හැරදැමීමට මම ද්වේෂකරමියි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක.”—මලාකී 2:14-16.
8. දික්කසාදය පිළිබඳ නූතන මතය ක්‍රිස්තියානි සභාවේ සමහරුන්ට බලපා තිබෙන්නේ කෙසේද?
8 නූතන කාලවල, පහසුවෙන් දික්කසාද විය හැකි රටවල් බොහොමයක, දික්කසාද අනුපාතය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ. මෙය ක්‍රිස්තියානි සභාවට පවා බලපා තිබේ. බාධක ජයගෙන තම විවාහය සාර්ථක කරගැනීමට වැඩිමහල්ලන්ගේ උපකාරය පතන්නේ නැතුව, බොහෝදෙනෙකු දික්කසාදයට ඉක්මන් වී ඇත. මෙය බොහෝදුරට දරුවන්ගේ හැඟීම්වලට ඉමහත් සේ බලපායි.—මතෙව් 19:8, 9.
9, 10. යෙහෝවඃවහන්සේට පිරිනමන නමස්කාරය ගැන අප කල්පනා කර බැලිය යුත්තේ කෙසේද?
9 ඉහත සඳහන් කාරණාවලින් පැහැදිලි වන පරිදි, මලාකීගේ කාලයේ පැවති නින්දිත තත්වය හේතුවෙන්, යෙහෝවඃවහන්සේ නොසඟවා යූදාහි බාල නමස්කාරය හෙළා දකිමින්, නිර්මල නමස්කාරය පමණක් පිළිගත් බව පෙන්වූසේක. විශ්වයේ පරමාධිපති ස්වාමීන් හා සැබෑ ශුද්ධකමේ උල්පත වන යෙහෝවඃ දෙවියන්වහන්සේට අප පිරිනමන නමස්කාරයේ ගුණය ගැන කල්පනා කර බැලීමට මෙය අපව පෙලඹවිය යුතු නොවේද? අප දෙවියන්වහන්සේට ඇත්තටම ශුද්ධ සේවයක් පිරිනමනවාද? අප දිගටම ආත්මික ලෙස පිරිසිදු තත්වයක් රැකගැනීමට උත්සාහ කරනවාද?
10 කළ නොහැකි දෙයක් වන පරිපූර්ණව සිටීම හෝ අපේ තත්වය අන් අය සමඟ සැසඳීම හෝ කළ යුතු බවක් මින් අදහස් කරන්නේ නැත. එහෙත් දෙවියන්වහන්සේට නමස්කාර කරද්දී, සෑම ක්‍රිස්තියානියෙකුම තමාගේ පෞද්ගලික තත්වයන්ට එකඟව තමාගේ උපරිමය කරමින් සිටිය යුතු බව එයින් අදහස් කෙරේ. අපේ නමස්කාරයේ ගුණය මීට ඇතුළත්ය. අපේ පරිශුද්ධ සේවය අපේ උපරිමය විය යුතුයි—එනම් එය ශුද්ධ සේවයක් විය යුතුයි. එය ඉටු කරන්නේ කෙසේද?—ලූක් 16:10; ගලාති 6:3, 4.
නිර්මල හෘදයන් නිර්මල නමස්කාරයට මඟ පාදයි
11, 12. අශුද්ධ හැසිරීම නික්මෙන්නේ කොතැනින්ද?
11 පුද්ගලයෙකු කරන කියන දෙයින් හෘදයෙහි තිබෙන දේ පැහැදිලි වන බව යේසුස්වහන්සේ පැහැදිලිවම ඉගැන්වූසේක. ආත්ම-ධර්මිෂ්ඨ වූ නමුත් අශුද්ධ ඵරිසිවරුන්ට යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “පොළොං වංශය, නපුරුව සිටින නුඹලා යහපත් දේ කෙසේ කියවුද? මක්නිසාද සිතේ [හෘදයේ, NW] පූර්ණකමෙන් මුඛය කථාකරයි.” දුෂ්ට ක්‍රියා, හෘදයේ නොහොත් ඇතුළාන්ත මනුෂ්‍යයා තුළ හටගන්නා දුෂ්ට සිතුවිලිවලින් නික්මෙන බව උන්වහන්සේ පසුව පෙන්නුම් කළසේක. උන්වහන්සේ මෙසේ කීසේක: “කටින් පිටවෙන දේ නික්මෙන්නේ සිතින්ය; මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ එයින්ය. මක්නිසාද නපුරු සිතිවිලි, මිනීමැරුම්, කාමමිථ්‍යාචාරකම්, වේශ්‍යාකම්, සොරකම්, බොරු සාක්ෂිකීම් සහ අපහාසකිරීම් සිතින් නික්මෙන්නේය. මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ මේ දේවලින්ය.”—මතෙව් 12:34; 15:18-20.
12 අශුද්ධ ක්‍රියාවන් ඉබේම නැතහොත් කලින් පැලපදියම් වූ යම් පදනමක් නැතුව හට නොගන්නා බව තේරුම්ගැනීමට මෙය අපට උපකාර වේ. ඒවා හෘදයෙහි සැඟවී තිබුණු අපවිත්‍ර කල්පනාවල—රහස්‍ය ආශා හා ඇතැම්විට මනඃකල්පිත අදහස්වල ප්‍රතිඵලයක් වෙයි. යේසුස්වහන්සේ මෙසේ කීවේ එනිසාය: “කාමමිථ්‍යාචාරය නොකරවයි කී බව නුඹලා අසා තිබේ. නුමුත් මම නුඹලාට කියමි: ස්ත්‍රියෙකු දෙස රාගයෙන් බලන කවරෙක් නුමුත් එවේලේම ඈ සමග සිතින් කාමමිථ්‍යාචාරය කෙළේය.” වෙනත් වචනවලින් කිවහොත්, යම් ක්‍රියාවක් සිදුවීමට කලින් වේශ්‍යාකම හා කාමමිථ්‍යාචාරය හෘදයෙහි මුල් බැස තිබේ. එවිට, සුදුසු අවස්ථාව එළඹෙන විට අශුද්ධ සිතුවිලි, අශුද්ධ හැසිරීම බවට පරිවර්තනය වෙයි. පැහැදිලිව දැකගත හැකි ප්‍රතිඵල වශයෙන් වේශ්‍යාකම, කාමමිථ්‍යාචාරය, අස්වාභාවික කාම සේවනය, සොරකම් කිරීම, අපහාස කීම් හා ඇදහිල්ල අත්හැරීම දක්නට ලැබේ.—මතෙව් 5:27, 28; ගලාති 5:19-21.
13. අශුද්ධ සිතුවිලි අශුද්ධ ක්‍රියාවලට මඟ පෑදිය හැකි බව පෙන්නුම් කරන නිදර්ශන සමහරක් මොනවාද?
13 මෙය බොහෝ ආකාරවලින් නිදර්ශනය කළ හැක. ඇතැම් රටවල කැසීනෝ ශාලා සෑම තැනකම බිහි වෙමින් පවතින අතර, මෙය සූදුවේ නියැලීමේ ප්‍රස්තා වැඩි කරවීමට මඟ පාදයි. තම මූල්‍යමය ගැටලු විසඳාගැනීම සඳහා මෙම ව්‍යාජ පිළියමේ පිහිට පැතීමට යමෙකු පෙලඹිය හැක. මුළා කරවනසුලු අන්දමකින් තර්ක කිරීම නිසා, සහෝදරයෙකු තම බයිබල් ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කිරීමට හෝ බාල කිරීමට පෙලඹිය හැක.c තවත් උදාහරණයක් වශයෙන්, රූපවාහිනිය, වීඩියෝ පටි, පරිගණක හෝ පොත් තුළින් හෝ වේවා, කාමෝද්දීපන කෘතිවලට නිරාවරණය වීම, අශුද්ධ හැසිරීමෙහි යෙදීමට ක්‍රිස්තියානියෙකුව මඟ පෑදිය හැක. ඔහු තම ආත්මික අවි ආයුධ කට්ටලය නොසලකා හරිනවා නම්, කරන දෙයෙහි බරපතළකම අවබෝධ වීමට කලින්, ඔහු දුරාචාරයට හසු වී හමාරය. එහෙත් පාපයට වැටීම, බොහෝ අවස්ථාවලදී මනසින් ආරම්භ වෙයි. ඔව්, මෙවැනි තත්වයන්හිදී යාකොබ්ගේ මෙම වදන් සැබෑ වෙයි: “එක එක මනුෂ්‍යයා තම තමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හිද පොලඹවනු ලබන කල්හිද පරීක්ෂාකරනු ලබයි. එවිට තෘෂ්ණාව පිළිසිඳගත් කල්හි පාපය වදන්නීය. පාපයද සම්පූර්ණවූ කල්හි මරණය උපදවයි.”—යාකොබ් 1:14, 15; එපීස 6:11-18.
14. බොහෝදෙනෙකු තම අශුද්ධ හැසිරීමෙන් ගොඩ ඇවිත් තිබෙන්නේ කෙසේද?
14 දුර්වලකම හේතුවෙන් පව් කරන ක්‍රිස්තියානීන් බොහෝදෙනෙකු සැබෑ පසුතැවිල්ලක් දැක්වීම සතුටට කරුණක් වන අතර, වැඩිමහල්ලන්ට එවැනි අයව ආත්මික ලෙස නඟාසිටුවිය හැක. පසුතැවිල්ලක් නොදැක්වීම නිසා සභා ඇසුරෙන් කපාහරිනු ලබන අයගෙන් බොහෝදෙනෙක් පවා, අවසානයේදී ප්‍රකෘති සිහියට පැමිණ සභාවෙහි නැවත පිහිටුවනු ලබන්නෝය. අශුද්ධ සිතුවිලි හෘදයෙහි මුල්බැසීමට ඔවුන් ඉඩ දුන් විට, සාතන් කෙතරම් පහසුවෙන් ඔවුන්ව ඩැහැගත්තාද කියා ඔවුන්ට අවබෝධ වෙයි.—ගලාති 6:1; 2 තිමෝති 2:24-26; 1 පේතෘස් 5:8, 9.
අපේ දුර්වලකම්වලට මුහුණ දීමේ අභියෝගය
15. (අ) අපේ දුර්වලකම්වලට අප මුහුණ දිය යුත්තේ මන්ද? (ආ) අපේ දුර්වලකම් පිළිගැනීමට අපට උපකාර කළ හැක්කේ කුමකටද?
15 අපේම හෘදය අවංකව දැනහඳුනා ගැනීමට අප පූර්ණ උත්සාහයක් දැරිය යුතුය. අපේ දුර්වලකම්වලට මුහුණ දී, ඒවා පිළිගෙන පරාජය කිරීම සඳහා වෑයම් කිරීමට අප කැමතිද? අපට දියුණු විය හැක්කේ කෙසේද කියා අවංක මිතුරෙකුගෙන් විමසා, ලබන අවවාදයට සවන් දීමටත් අප කැමතිද? ශුද්ධව සිටීමට නම් අප අපේ දුර්වලකම් පරාජය කළ යුතුයි. ඒ ඇයි? සාතන් අපේ දුර්වලකම් දන්නා නිසාය. අපව පාපයටත් අශුද්ධ හැසිරීමටත් පොලඹවා ගැනීම සඳහා ඔහු තම කූටෝපායන් යොදාගනු ඇත. ඔහුගේ කපටි ක්‍රියාවල අරමුණ නම්, අපව දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් ඉවත් කරගැනීමයි. එමගින් අප තවදුරටත් යෙහෝවඃවහන්සේගේ නමස්කාරය සඳහා පවිත්‍ර සහ ප්‍රයෝජනදායක තත්වයක නොසිටිනු ඇත.—යෙරෙමියා 17:9; එපීස 6:11; යාකොබ් 1:19.
16. පාවුල්ට තිබුණේ කුමන සටනද?
16 ප්‍රේරිත පාවුල් පසුව රෝමවරුන්ට ලියන විට පැහැදිලි කළ ආකාරයට, ඔහුටත් පීඩා හා පරීක්ෂා තිබිණ: “මා තුළ එනම් මාගේ මාංසය තුළ කිසි යහපතක් වාසය නොකරන බව දනිමි. මක්නිසාද කැමැත්ත මට ඇත්තේය, නුමුත් යහපත් දෙය කිරීම මට නැත්තේය. මක්නිසාද මම කැමති යහපත නොකර අකමැති නපුර කරමි. . . . අභ්‍යන්තර මනුෂ්‍යයාගේ ප්‍රකාරයට මම දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට ප්‍රියවෙමි. නුමුත් මාගේ සිතේ ව්‍යවස්ථාවට විරුද්ධව යුද්ධකරන්නාවූ, මාගේ අවයව තුළ තිබෙන පාපයාගේ ව්‍යවස්ථාව යටතෙහි මා වහල්කමට පමුණුවන්නාවූ අන්‍ය ව්‍යවස්ථාවක් මාගේ අවයව තුළ තිබෙන බව මට පෙනේ.”—රෝම 7:18-23.
17. දුර්වලකම්වලට එරෙහිව කළ සටනින් පාවුල් ජයගත්තේ කෙසේද?
17 පාවුල් කළ අතිවැදගත් දේ නම්, ඔහු තමාගේම දුර්වලකම් පිළිගැනීමයි. ඒවා හමුවේ පවා, ඔහුට මෙසේ පවසන්ට හැකි විය: “අභ්‍යන්තර [ආත්මික] මනුෂ්‍යයාගේ ප්‍රකාරයට මම දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට ප්‍රියවෙමි.” පාවුල් යහපතට ප්‍රේම කොට නපුර ද්වේෂ කළේය. එහෙත් අප සියලුදෙනා හා සමානව පාවුල්ටත්, සාතන්ට, ලෝකයට සහ මාංසයට එරෙහිව සටනක් කිරීමට සිදු විය. එසේනම්, ශුද්ධව සිටිමින්, මේ ලෝකයෙන් හා එහි කල්පනාවලින් වෙන්ව සිටීමට වූ සටනින් ජයගැනීමට අපට හැක්කේ කෙසේද?—2 කොරින්ති 4:4; එපීස 6:12.
අපට ශුද්ධකම රැකගත හැක්කේ කෙසේද?
18. අපට ශුද්ධකම රැකගත හැක්කේ කෙසේද?
18 පහසුම ක්‍රියාමාර්ගය ගැනීමෙන් හෝ තම ආශාවන් වග විභාගයකින් තොරව පිනවාගැනීමෙන් හෝ ශුද්ධකම අත් කරගත නොහැක. එවැනි පුද්ගලයෙකු සෑම විටකම තම හැසිරීම සඳහා නිදහසට කරුණු ඉදිරිපත් කරමින්, වෙනත් යමක් පිට වරද පැටවීමට වෑයම් කරනු ඇත. පවුල් පසුබිම හෝ උරුම වූ ගතිලක්ෂණ හේතුවෙන් තමුන්ට අවාසනාවන්ත ඉරණමක් අත් වූ බව කියා සිටින ඇතමුන් මෙන් නොවී, අපේ ක්‍රියා සඳහා වගකීම දැරීමට ඉගෙනීමේ අවශ්‍යතාව අපට තිබිය හැක. මීට අදාළ මූලික කාරණය පුද්ගලයාගේ හෘදය හා බැඳී පවතී. ඔහුට හෝ ඇයට ධර්මිෂ්ඨකම සඳහා ප්‍රේමයක් තිබේද? ශුද්ධකම සඳහා දැඩි ආශාවක් ඇද්ද? දෙවියන්වහන්සේගේ ආශීර්වාදය සඳහා ආශාවක් තිබේද? ගීතිකාකරු මෙසේ පැවසූ විට ශුද්ධකම සඳහා ඇති අවශ්‍යතාව පැහැදිලි කළේය: “නපුරෙන් ඉවත්ව යහපත්කම් කරව; සමාදානය සොයමින් එය අනුව යව.” ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය: “ප්‍රේමය වංචා රහිත වේවා. නපුරට පිළිකුල්කොට යහපතට ඇලුම්වෙයල්ලා.”—ගීතාවලිය 34:14; 97:10; රෝම 12:9.
19, 20. (අ) අපට අපේ මනස වර්ධනය කරගැනීමට හැක්කේ කෙසේද? (ආ) බලපෑමෙන් යුක්තව පෞද්ගලික පාඩමෙහි යෙදීමට ඇතුළත් වන්නේ කුමක්ද?
19 අප යෙහෝවඃවහන්සේගේ දෘෂ්ටිකෝණයෙන් කාරණා දෙස බලමින්, ක්‍රිස්තුස්වහන්සේගේ මනස ඇතුව සිටිනවා නම්, “යහපතට ඇලුම්” වීමට අපට හැක. (1 කොරින්ති 2:16) මෙය ඉටු කරගත හැක්කේ කෙසේද? දේවවචනය නිතිපතා පාඩම් කිරීමෙන් හා එමත මෙනෙහි කිරීමෙනි. මෙම උපදෙස කෙතරම් වාර ගණනක් දී තිබෙනවාද! එහෙත් අප එය ප්‍රමාණවත් ලෙස බැරෑරුම් ආකාරයෙන් සලකනවාද? උදාහරණයක් වශයෙන්, රැස්වීමට පැමිණීමට පෙර, බයිබල් පාඨ හදාරමින්, ඔබ මෙම සඟරාව සැබවින්ම අධ්‍යයනය කරනවාද? අධ්‍යයනය කිරීමෙන් අප අදහස් කරන්නේ, සෑම ඡේදයකම යෙදුම් කිහිපයක් යටින් ඉරි ගැසීම නොවේ. පාඩම් ලිපියක් උඩින් පල්ලෙන් බලා යටින් ඉරි ගැසීම විනාඩි 15කින් පමණ කළ හැක. අප ලිපිය අධ්‍යයනය කළ බව එයින් අදහස් කරනවාද? ඇත්තෙන්ම, සෑම ලිපියකින්ම ඉදිරිපත් වන ආත්මික ප්‍රයෝජනය අධ්‍යයනය කොට උරාගැනීමට පැයක් හෝ දෙකක් පමණ ගත විය හැකිය.
20 සතියක් සතියක් පාසා, පැය කිහිපයකට රූපවාහිනියෙන් ඉවත් වී අපේ පෞද්ගලික ශුද්ධකම ගැන හොඳ අවධානයක් දීම සඳහා අපව හික්මවාගැනීමට අවශ්‍යතාවක් තිබිය හැක. නිතිපතා පාඩම් කරන විට අප ආත්මිකව වර්ධනය වන අතර, හරි තීරණ—එනම් ‘ශුද්ධ වූ හැසිරීමට’ මඟ පාදන තීරණ ගැනීමට අපේ මනස පොලඹවාගැනීමට අපට හැකි වනු ඇත.—2 පේතෘස් 3:11; එපීස 4:23; 5:15, 16.
21. උත්තර ලැබිය යුතු ප්රශ්නය කුමක්ද?
21 ප්රශ්නය වන්නේ, යෙහෝවඃවහන්සේ ශුද්ධව සිටින්නාක් මෙන්, ක්‍රිස්තියානීන් වශයෙන් අපට ශුද්ධව සිටිය හැක්කේ ක්‍රියා හා හැසිරීමට සම්බන්ධ කුමන අමතර ක්ෂේත්රවලද යන්නයි. පරෙස්සමින් සලකා බැලිය යුතු කාරණා කිහිපයක් ඊළඟ ලිපියෙහි ඉදිරිපත් කර තිබේ.
[පාදසටහන්වල]
a වෙළුම් දෙකකින් යුත් මෙම ආශ්‍රේය කෘතිය වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශිතයි.
b “ද්‍රෝහිලෙස” යන්නෙහි තේරුම ගැන වඩාත් පැහැදිලිව සලකා බැලීමට, 1994 මැයි 8, පිබිදෙව්!හි 28වන පිටුවේ “දෙවියන්වහන්සේ ද්වේෂ කරන්නේ කිනම් අයුරක දික්කසාදයද?” යන ලිපිය බලන්න.
c සූදුවේ නියැලීම අශුද්ධ හැසිරීමක් වීමට හේතුව පිළිබඳව වැඩිමනත් තොරතුරු සඳහා වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශිත 1994 දෙසැම්බර් 8, පිබිදෙව්!හි 14-15 පිටු බලන්න.
ඔබට මතකද?
◻ ඉශ්රායෙල්හි ශුද්ධකමේ උල්පත හඳුන්වා දෙනු ලැබුවේ කෙසේද?
◻ මලාකීගේ කාලයේ සිටි ඉශ්‍රායෙලිතයන්ගේ නමස්කාරය අශුද්ධ වූයේ කවර ආකාරවලින්ද?
◻ අශුද්ධ හැසිරීම ආරම්භ වන්නේ කොතැනින්ද?
◻ ශුද්ධව සිටීමට නම්, අප පිළිගත යුත්තේ කුමක්ද?
◻ අපට ශුද්ධකම රැකගත හැක්කේ කෙසේද?