ස්වාමිපුරුෂයෙක් හා වැඩිමහල්ලෙක්—අදාළ වගකීම් සමබර කරගැනීම
‘අවේක්ෂකයා එක භාර්යාවකගේ ස්වාමිපුරුෂයෙකු විය යුතුය.’ —1 තිමෝති 3:2, NW.
1, 2. පූජකයන් වශයෙන් තනිකඩභාවය රැකිය යුතුය යන්න ශුද්ධ ලියවිල්ලට පටහැනි වන්නේ මන්ද?
පළමු සියවසේ විශ්වාසවන්ත ක්‍රිස්තියානීහු, තම විවිධ වගකීම් සමබර කරගැනීම ගැන සැලකිලිමත් වූහ. තනිකඩභාවය රකින ක්‍රිස්තියානියෙකු “වඩා යහපතක්” කරන බව ප්‍රේරිත පාවුල් පැවසූ විට, එවැනි මනුෂ්‍යයෙකු ක්‍රිස්තියානි සභාවේ අවේක්ෂකයෙකු ලෙස සේවය කිරීමට වඩාත් සුදුසු තත්වයක සිටින බව ඔහු අදහස් කළාද? වැඩිමහල්ලෙකු වීම සඳහා, තනිකඩභාවයෙන් සිටිය යුතු බවට ඔහු නියම කරමින් සිටියාද? (1 කොරින්ති 7:38) කතෝලික පූජක පක්ෂය තනිකඩභාවය රැකිය යුතු බවට නියම කර ඇත. එහෙත් පූජකයන් වශයෙන් තනිකඩභාවය රැකීම ශුද්ධ ලියවිල්ලට එකඟද? පෙරදිග ඔර්තඩොක්ස් සභා තම මීසමේ පූජකයන්ට විවාහක පුරුෂයන් වීමට ඉඩ දෙන මුත්, බිෂොප්වරුන්ට එසේ කිරීමට අවසරයක් නැත. එය බයිබලයට එකඟද?
2 ක්‍රිස්තියානි සභාවේ අත්තිවාරම සේ සැලකිය හැකි සාමාජිකයන් වූ ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයන් 12දෙනාගෙන් බොහෝදෙනෙක්, විවාහක පුරුෂයෝ වූහ. (මතෙව් 8:14, 15; එපීස 2:20) පාවුල් මෙසේ ලීවේය: “අනික් ප්‍රේරිතයන්ද ස්වාමීන්වහන්සේගේ සහෝදරයන්ද කේපස්ද [පේතෘස්] කරන්නාක්මෙන් ඇදහිලිවන්ත භාර්යාවක් කැඳවාගෙන හැසිරෙන්ට අපටත් අවසර නැද්ද?” (1 කොරින්ති 9:5) “තනිකඩභාවය රැකීම පිළිබඳ නීතිය පල්ලියෙන් ආරම්භ වූ” යමක් බවත් “න[ව] ගි[විසුමේ] දේවසේවකයන් තනිකඩභාවය රැකීමට බැඳී නොසිටි” බවත් නිව් කැතලික් එන්සයික්ලොපීඩියා පිළිගනී. පල්ලියේ නීතියට වඩා, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ ශුද්ධ ලියවිලිමය ආදර්ශය අනුගමනය කරති.—1 තිමෝති 4:1-3.
වැඩිමහල්කම හා විවාහය එකිනෙකට ගැළපේ
3. ක්‍රිස්තියානි අවේක්ෂකයන්ට විවාහක පුරුෂයන් විය හැකි බව පෙන්නුම් කරන්නේ කුමන ශුද්ධ ලියවිලිමය කාරණාද?
3 අවේක්ෂකයන් හැටියට පත් කරනු ලැබූ පුරුෂයන් අවිවාහකයන් විය යුතු බව නියම කරනවා වෙනුවට, පාවුල් තීතස්ට මෙසේ ලීවේය: “මා එන විට නුඹ ක්‍රීතෙහි නැවැත්වූ කාරණය නම්, අඩුව තිබුණූ දේවල් නුඹ විසින් පිළිවෙළට යොදන පිණිසත් මා නුඹට ආඥාකළ ලෙස නුවරක් පාසා වැඩිමහල්ලන් [ග්‍රීක්, ප්රෙ·ස්බිʹටෙ·රොස්] පත්කරන පිණිසත්ය; පත්වෙන අය වනාහි නිදොස්ව, එක භාර්යාවකට පුරුෂයාව, අවකල් ක්‍රියාව ගැන දෝෂාරෝපණය නොලත් කීකරුවූ ඇදහිලිවන්ත දරුවන් ඇතුව සිටින්ට ඕනෑය. මක්නිසාද නායකයා [අවේක්ෂකයෙක්, NW] [ග්‍රීක්, එ·පිʹස්කො·පොස්, මින් “බිෂොප්” යන වචනය රැගෙන ඇත] දෙවියන්වහන්සේගේ ගබඩාකාරයෙක්මෙන් නිදොස්වූ, . . . කෙනෙක්ව සිටින්ට ඕනෑය.”—තීතස් 1:5-8.
4. (අ) විවාහය ක්‍රිස්තියානි අවේක්ෂකයන්ට නියම කරන දෙයක් නොවන බව අප දන්නේ කෙසේද? (ආ) වැඩිමහල්ලෙකු වන තනිකඩ සහෝදරයෙකුට තිබෙන වාසිය කුමක්ද?
4 අනික් අතට, වැඩිමහල්ලෙකු වීම සඳහා විවාහ වී සිටිය යුතු බවටද ශුද්ධ ලියවිලිවල නියම කර නැත. යේසුස්වහන්සේ තනිකඩයෙක්ව සිටිසේක. (එපීස 1:22) පළමු සියවසේ ක්‍රිස්තියානි සභාවේ කැපීපෙනෙන අවේක්ෂකයෙක් වූ පාවුල්, එවකට තනිකඩයෙක්ව සිටියේය. (1 කොරින්ති 7:7-9) අදදින, වැඩිමහල්ලන් ලෙස සේවය කරන තනිකඩ ක්‍රිස්තියානීහු බොහෝදෙනෙක් සිටිත්. ඔවුන් තනිකඩව සිටින නිසා, අවේක්ෂකයන් හැටියට තිබෙන යුතුකම් ඉටු කිරීමට ඇතැම්විට ඔවුන්ට වැඩි කාලයක් තිබිය හැක.
‘විවාහක තැනැත්තා දෙගිඩියාවෙන් සිටී’
5. විවාහක සහෝදරයන් කුමන ශුද්ධ ලියවිලිමය කාරණය පිළිගත යුතුද?
5 ක්‍රිස්තියානි පුරුෂයෙකු විවාහ වන විට, තම කාලය හා අවධානය ඉල්ලා සිටින නව වගකීම් තමා භාරගන්නා බව ඔහු තේරුම් ගත යුතුය. බයිබලය මෙසේ ප්‍රකාශ කරයි: “අවිවාහක තැනැත්තේ ස්වාමීන් වහන්සේ ප්‍රසන්න කරන්නේ කෙසේ දැ යි සිතමින් උන් වහන්සේගේ කාරණා ගැන අධික සැලකිල්ලක් දක්වන්නේ ය. විවාහක තැනැත්තේ තම භාර්යාව සතුටු කරන්නේ කෙසේ දැයි සිතමින් ලෝකයේ කාරණා ගැන අධික සැලකිල්ලක් දක්වන්නේ ය. මෙලෙස ඔහුගේ සිතෙහි දෙගිඩියාවක් පවතී.” (1 කොරින්ති 7:32-34, නව අනුවාදය) දෙගිඩියාවෙන් සිටින්නේ කුමන අර්ථයෙන්ද?
6, 7. (අ) විවාහක පුරුෂයෙකු ‘දෙගිඩියාවෙන්’ සිටින ආකාරයක් නම් කරන්න. (ආ) පාවුල් විවාහක ක්‍රිස්තියානීන්ට දෙන්නේ කුමන උපදේශයද? (ඇ) වැඩ පැවරුමක් පිළිගැනීමට පුරුෂයෙකු ගන්නා තීරණයට මෙය බලපෑ හැක්කේ කෙසේද?
6 එක් දෙයක් නම්, විවාහක පුරුෂයෙකුට තවදුරටත් තමාගේ ශරීරය කෙරෙහි අධිකාරයක් නැතිවීමය. පාවුල් ඒ කාරණය මැනවින් පැහැදිලි කළේය: “භාර්යාවගේ ශරීරය කෙරෙහි බලය ඇත්තේ ඈට නොව පුරුෂයාටය. එසේම පුරුෂයාගේ ශරීරය කෙරෙහි බලය ඇත්තේ ඔහුට නොව භාර්යාවටය.” (1 කොරින්ති 7:4) විවාහය ගැන කල්පනා කරන සමහරුන්, තම විවාහයේ ලිංගික සම්බන්ධකම්වලට ප්‍රධාන තැන නොදීමට යන නිසා, මෙය එතරම් වැදගත් නොවන කාරණයක් හැටියට සැලකිය හැක. කෙසේවෙතත්, විවාහයට පෙර නිර්මලභාවය රැකීම ශුද්ධ ලියවිලිමය නියමයක් නිසා, තම අනාගත කලත්‍රයාගේ ලිංගික අවශ්‍යතා මොනවාද කියා ක්‍රිස්තියානීහු ඇත්තටම නොදනිති.
7 ‘ආත්මික දේවල් කෙරෙහි මනසින් ඇලුම්ව’ සිටින යුවළක් පවා එකිනෙකාගේ ලිංගික අවශ්‍යතා ගැන සැලකිලිමත් විය යුතු බව පාවුල් පවසයි. කොරින්තියේ විසූ ක්‍රිස්තියානීන්ට ඔහු මෙසේ අවවාද කළේය: “පිරිමියා ස්වාමි පුරුෂයකු මෙන් ද, ස්ත්‍රිය බිරියක මෙන් ද සිය යුතුකම් නොවළහා ඉටු කළ යුතුයි. දෙදෙනම අන්‍යොන්‍ය ඕනෑ එපාකම් පිරිමැසිය යුතුයි. යාච්ඥාවේ නිරත වීම සඳහා දෙදෙනාම කලින් සම්මුතියට පැමිණ මිස, සිය යුතුකම් ප්‍රතික්ෂේප නොකළ යුතුයි. පසුව ඔබගේ ආත්මික දමනය රහිත කමින් යක්ෂ පරීක්ෂාවලට ඉඩ නොතබන ලෙස විවාහ යුතුකම් යළි අරඹන්න.” (රෝම 8:5; 1 කොරින්ති 7:3, 5, ඇත්ත ඇති තැන) මෙම අවවාදය අනුගමනය නොකළ විට, කාමමිථ්‍යාචාරයට වැටී තිබීම කනගාටුවට කරුණකි. මෙවැනි තත්වයක් උද්ගත විය හැකි නිසා, යම් දිගු කාලපරිච්ඡේදයකට තම භාර්යාවගෙන් වෙන් වී සිටීමට සලස්වන පැවරුමක් පිළිගැනීමට කලින්, විවාහ වූ ක්‍රිස්තියානියෙකු කාරණය ගැන බැරෑරුම් ලෙස කල්පනා කළ යුතුය. ඔහු තනිකඩයෙකුව සිටි විට තිබූ නිදහසම, ඔහුට තවදුරටත් තිබෙන්නේ නැත.
8, 9. (අ) විවාහක ක්‍රිස්තියානීන් “ලෝකයේ කාරණා ගැන අධික සැලකිල්ලක්” දක්වන බව පාවුල් පැවසූ විට, ඔහු අදහස් කළේ කුමක්ද? (ආ) විවාහක ක්‍රිස්තියානීන් කුමක් කිරීම ගැන අධික සැලකිල්ලක් දැක්විය යුතුද?
8 වැඩිමහල්ලන් ඇතුළුව, විවාහ වූ ක්‍රිස්තියානි පුරුෂයන් “ලෝකයේ [කොʹස්මොස්] කාරණා ගැන අධික සැලකිල්ලක්” දක්වන බව කිව හැක්කේ කුමන අර්ථයකින්ද? (1 කොරින්ති 7:33, න.අ.) සැබෑ ක්‍රිස්තියානීන් සියලුදෙනාම ප්‍රතික්ෂේප කළ යුතු ලෝකයේ නරක දේවල් ගැන පාවුල් කතා කරමින් නොසිටි බව ඉතා පැහැදිලිය. (2 පේතෘස් 1:4; 2:18-20; 1 යොහන් 2:15-17) “අභක්තිකකමද ලෞකික [කො·ස්මි·කොස්ʹ] තෘෂ්ණාද එපාකර, . . . සිහියෙන් යුක්තවද ධර්මිෂ්ඨලෙසද භක්තිවන්තලෙසද මේ ලෝකයෙහි ජීවත්වෙන පිණිස” දේවවචනය අපට උපදෙස් දෙයි.—තීතස් 2:12, 13.
9 එමනිසා, විවාහක ක්‍රිස්තියානියෙකු “ලෝකයේ කාරණා ගැන අධික සැලකිල්ලක්” දක්වන බව කීමෙන් අදහස් කරන්නේ, සාමාන්‍ය විවාහ ජීවිතයකට අයත් ලෞකික දේවල් ගැන ඔහු හෝ ඇය යුක්තිසහගත ලෙස සැලකිලිමත් වන බවයි. මීට ඉඳුම් හිටුම්, ආහාර පාන, ඇඳුම් පැළඳුම්, විනෝදාස්වාදය ඇතුළත් වන අතර, දරුවෝ සිටිත් නම්, මීට ඇතුළත් වන වෙනත් අනන්ත අප්‍රමාණ දේවල් ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් දරුවන් නොසිටින යුවළකගේ විවාහය පවා සාර්ථක වීමට නම්, ස්වාමිපුරුෂයා හා භාර්යාව යන දෙදෙනාම තමන්ගේ විවාහ කලත්‍රයාව ‘සතුටු කිරීම’ කෙරෙහි දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. ක්‍රිස්තියානි වැඩිමහල්ලන් අදාළ වගකීම් සමබර කරගන්නා අතරතුර, ඔවුන් මෙය විශේෂයෙන්ම සැලකිල්ලට ගත යුතුය.
හොඳ ස්වාමිපුරුෂයෝ මෙන්ම හොඳ වැඩිමහල්ලෝ
10. ක්‍රිස්තියානියෙකු වැඩිමහල්ලෙකු හැටියට සුදුසුකම් ලැබීමට නම්, ඔහුගේ සහෝදරයන්ට මෙන්ම පිටත සිටින්නන්ට කුමක් නිරීක්ෂණය කිරීමට හැකි විය යුතුද?
10 වැඩිමහල්ලෙකු වීමට විවාහ වී සිටීම අවශ්‍ය නොවුවත්, වැඩිමහල්ලෙකු වශයෙන් සේවය කිරීම සඳහා නිර්දේශ කරනු ලැබීමට කලින් ක්‍රිස්තියානි පුරුෂයෙකු විවාහ වී සිටී නම්, නිසි ලෙස මූලිකත්වය හෙබවීමට අමතරව, තමා යහපත්, ප්‍රේමනීය ස්වාමිපුරුෂයෙකු වීමට වෑයම් කරන බවට ඔහු සාක්ෂි සැපයිය යුතුමය. (එපීස 5:23-25, 28-31) පාවුල් මෙසේ ලීවේය: “යම් පුරුෂයෙක් අවේක්ෂකයෙකුගේ නිලය අත් කරගැනීමට වෑයම් කරන්නේ නම්, ඔහු යහපත් වැඩකට ආශා වන්නේය. එමනිසා අවේක්ෂකයා නිර්දෝෂ විය යුතුය; එක භාර්යාවකගේ ස්වාමිපුරුෂයෙකු විය යුතුය.” (1 තිමෝති 3:1, 2, NW) වැඩිමහල්ලෙකුගේ භාර්යාව සෙසු ක්රිස්තියානියක වුවත්, නොවුවත්, හොඳ ස්වාමිපුරුෂයෙකු වීමට ඔහු පූර්ණ උත්සාහයක් දරන බවට පැහැදිලි විය යුතුය. ඇත්තෙන්ම, ඔහු තම භාර්යාව හොඳින් රැකබලා ගන්නා බවත්, වෙනත් වගකීම් හොඳින් හසුරුවන බවත් සභාවෙන් පිට අයට පවා පැහැදිලි විය යුතුය. පාවුල් මෙසේද පැවසීය: “නින්දාවටද යක්ෂයාගේ මලපතටද නොවැටෙන පිණිස ඔහු පිටත අයවලුන්ගෙන් යහපත් සාක්ෂි ඇතුව සිටින්ට ඕනෑය.”—1 තිමෝති 3:7.
11. “එක භාර්යාවකගේ ස්වාමිපුරුෂයෙකු” යන යෙදුම කුමක් අඟවයිද, එනිසා ආරක්ෂා වීමට වැඩිමහල්ලන් කුමන ක්‍රියාමාර්ගය ගත යුතුද?
11 ඇත්තෙන්ම “එක භාර්යාවකගේ ස්වාමිපුරුෂයෙකු” යන යෙදුම බහු විවාහය තහනම් කරන මුත්, විවාහයේ විශ්වාසවන්තකම රැකීමද ඉන් ඇඟවේ. (හෙබ්‍රෙව් 13:4) සභාවේ සහෝදරියන්ට උපකාර කරද්දී වැඩිමහල්ලන් විශේෂයෙන්ම පරෙස්සම් විය යුතුය. උපදෙස් හා සැනසීම අවශ්‍ය සහෝදරියක බැහැදකින්ට යද්දී, ඔවුන් තනිව සිටීමෙන් වැළකී සිටිය යුතුය. වෙනත් වැඩිමහල්ලෙකු හෝ උපස්ථායක සේවකයෙකු සමඟ, එසේ නැතහොත් එය දිරිගන්වන බැහැදැකීමක් නම්, තම භාර්යාව සමඟ පවා එවැනි බැහැදැකීමක් කිරීම නුවණට හුරුය.—1 තිමෝති 5:1, 2.
12. වැඩිමහල්ලන්ගේ හා උපස්ථායක සේවකයන්ගේ භාර්යාවන් වෑයම් කළ යුත්තේ කුමන විස්තරයට අනුකූල වීම සඳහාද?
12 වැඩිමහල්ලන් සහ උපස්ථායක සේවකයන් සඳහා නියමයන් ලැයිස්තුගත කරද්දී, එවැනි වරප්‍රසාද සඳහා සලකනු ලබන අයගේ භාර්යාවන් සඳහා ප්‍රේරිත පාවුල්ට යම් උපදෙස් තිබීම ගැනත් සඳහන් කළ යුතුය. ඔහු මෙසේ ලීවේය: “එසේම ස්ත්‍රීවරුන් සන්සුන්වූ, කේලාම් නොකියන්නාවූ, පමණ දැන හැසිරෙන්නාවූ, සියල්ලේදී විශ්වාසවූ අයව සිටින්ට ඕනෑය.” (1 තිමෝති 3:11) එම විස්තරයට අනුකූල වීම සඳහා තම භාර්යාවට උපකාර කිරීමට, ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයෙකුට බොහෝ දේ කළ හැක.
භාර්යාවක කෙරෙහි ශුද්ධ ලියවිලිමය යුතුකම්
13, 14. වැඩිමහල්ලෙකුගේ භාර්යාව සෙසු සාක්ෂිකාරියක නොවුවත්, ඔහු ඇය සමඟ සිට හොඳ ස්වාමිපුරුෂයෙකු විය යුත්තේ මන්ද?
13 වැඩිමහල්ලන්ගේ හෝ උපස්ථායක සේවකයන්ගේ භාර්යාවන්ට දෙන ලද මෙම උපදෙස්, එම භාර්යාවන් කැප වූ ක්‍රිස්තියානීන්ය යන කාරණය වටා ගොඩනඟා ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. ක්‍රිස්තියානීන් “ස්වාමීන්වහන්සේ තුළ පමණක්” විවාහ විය යුතු බැවින්, මෙය සාමාන්‍ය තත්වය වේ. (1 කොරින්ති 7:39) එහෙත්, සහෝදරයෙකු තම ජීවිතය යෙහෝවඃවහන්සේට කැප කරද්දී, ඔහු නොඇදහිලිකාර කෙනෙකු හා විවාහ වී සිටියේ නම්, එසේත් නැතහොත් ඔහු අතින් වරදක් සිදු නොවුවත් තම භාර්යාව සත්‍යයෙන් වැටී යනවා නම්, කුමක් කිව හැකිද?
14 මෙම කාරණයම ඔහුට වැඩිමහල්ලෙකු ලෙස සේවය කිරීමට බාධකයක් නොවනු ඇත. තම භාර්යාව තම විශ්වාසයන්වලට එකඟ නොවන නිසාම, භාර්යාවගෙන් වෙන් වී යෑම යුක්තිසහගත දෙයක් නොවනු ඇත. පාවුල් මෙසේ අවවාද කළේය: “නුඹ භාර්යාවකට බැඳී සිටින්නෙහිද? නිදහස්වෙන්ට නොසොයන්න.” (1 කොරින්ති 7:27) ඔහු තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය: “යම් සහෝදරයෙකුට නොඇදහිලිකාර භාර්යාවක් ඇත්නම්, ඈ ඔහු සමඟ වාසයකරන්ට කැමති නම්, ඔහු ඈ අත් නොහරීවා. . . . නුමුත් නොඇදහිලිකාර පක්ෂය අහක්ව යේනම් අහක්ව යේවා. මෙබඳු කාරණාවලදී සහෝදරයා හෝ සහෝදරී හෝ බැඳී නැත. නුමුත් දෙවියන්වහන්සේ විසින් අප කැඳවා තිබෙන්නේ සමාදානයෙහි පැවතීමටය. මක්නිසාද, භාර්යාව, නුඹ නුඹේ පුරුෂයා ගළවන්නීදෝ නුඹ දන්නේ කොහොමද? නොහොත් පුරුෂය, නුඹ නුඹේ භාර්යාව ගළවන්නේදෝ නුඹ දන්නේ කොහොමද?” (1 කොරින්ති 7:12, 15, 16) තම භාර්යාව සාක්ෂිකාරියක නොවුවත්, වැඩිමහල්ලෙකු හොඳ ස්වාමිපුරුෂයෙකු විය යුතුය.
15. ප්‍රේරිත පේතෘස් ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයන්ට දෙන්නේ කුමන උපදේශයද, වැඩිමහල්ලෙකු නොසැලකිලිමත් ස්වාමිපුරුෂයෙකු බව පැහැදිලි වේ නම්, ප්‍රතිඵලය කුමක් විය හැකිද?
15 තම භාර්යාව සෙසු ඇදහිලිවන්තයෙකු වුවත්, නොවුවත්, තම භාර්යාවට තමාගේ ප්‍රේමනීය අවධානය අවශ්‍ය බව ක්‍රිස්තියානි වැඩිමහල්ලා තේරුම්ගත යුතුය. ප්‍රේරිත පේතෘස් මෙසේ ලීවේය: “එසේම, පුරුෂයෙනි, නුඹලාගේ යාච්ඤාවලට බාධා නොපැමිණෙන පිණිස, වඩා දුර්වල භාජනවූ [නුඹලාගේ] භාර්යාවන් සමඟ දැනගැන්මේ හැටියට වාසයකරමින්, ඔවුන් ජීවනයේ අනුග්‍රහයට හවුල් උරුමක්කාරියන්ද බැවින් ඔවුන්ට ගෞරව දෙන්න.” (1 පේතෘස් 3:7) තම භාර්යාවගේ අවශ්‍යතා පිරිමැසීම වුවමනාවෙන්ම අතපසු කරන ස්වාමිපුරුෂයෙක් යෙහෝවඃවහන්සේ සමඟ ඇති තමාගේ සම්බන්ධය අනතුරෙහි තබයි; ‘යාච්ඤාව නොපැමිණෙන ලෙස විශාල වලාකුළකින් වැසීයන්නාක්’ මෙන් යෙහෝවඃවහන්සේ වෙත එළඹීමට තමාට තිබෙන මාර්ගය එමගින් වැසී යා හැක. (විලාප ගී 3:44) මේ නිසා, ක්‍රිස්තියානි අවේක්ෂකයෙකු ලෙස සේවය කිරීමට ඔහු නුසුදුසු තත්වයකට පත් විය හැක.
16. පාවුල් කුමන මූලික කාරණය කැපීපෙනෙන්ට සලස්වයිද, එමෙන්ම වැඩිමහල්ලන්ට මේ ගැන තිබිය යුත්තේ කුමන හැඟීමක්ද?
16 ඉහත සඳහන් පරිදි, පාවුල්ගේ තර්කයේ පරමාර්ථය නම්, පුරුෂයෙකු විවාහ වන විට, තනිකඩ පුරුෂයෙකු වශයෙන් “වියවුල් [බාධාවට පත්, NW] නොවී ස්වාමීන්වහන්සේ කෙරෙහි [නිරතුරුවම, NW] යෙදී” සිටීමට ඔහුට ඉඩ කඩ සලසා දුන් නිදහස ඔහු යම් දුරකට අහිමි කරගන්නා බවය. (1 කොරින්ති 7:35) ඇතැම් විවාහක වැඩිමහල්ලන් පාවුල්ගේ දේවානුභාවය ලත් වචන මත මෙනෙහි කරද්දී, හැමවිටම සමබරතාවක් නොදක්වා තිබෙන බව වාර්තාවලින් පැහැදිලි වේ. හොඳ වැඩිමහල්ලන් කළ යුතුයයි ඔවුන්ට හැඟෙන දේ ඉටු කරගැනීමට තිබෙන ආශාව නිසා, ස්වාමිපුරුෂයන් වශයෙන් ඔවුන්, තමුන්ට හිමි යුතුකම් සමහරක් නොසලකා හැරිය හැක. යම් සභා වරප්‍රසාදයක් පිළිගැනීම තම භාර්යාවන්ගේ ආත්මිකත්වයට අහිතකර බව පැහැදිලිවම පෙනෙන්ට තිබුණත්, එය ප්‍රතික්ෂේප කිරීම සමහරුන්ට දුෂ්කර වනු ඇත. විවාහය හා බැඳි වරප්රසාදයන් භුක්තිවිඳින මුත්, ඒ හා බැඳි වගකීම් ඉටු කිරීමට ඔවුහු කැමති වෙත්ද?
17. අවේක්ෂකයන්ගේ භාර්යාවන් සමහරදෙනෙකුට සිදු වී තිබෙන්නේ කුමක්ද, ඇතැම්විට මෙය මඟහැරීමට හැකිව තිබුණේ කෙසේද?
17 වැඩිමහල්ලෙකු වශයෙන් ජ්වලිතය දැක්වීම ප්‍රශංසාකටයුතු බවට කිසිම සැකයක් නැත. කෙසේවෙතත්, ක්‍රිස්තියානියෙකු සභාව කෙරෙහි තිබෙන තම වගකීම් ඉටු කරද්දී, තම භාර්යාව කෙරෙහි තිබෙන ශුද්ධ ලියවිලිමය වගකීම් පැහැරහරිනවා නම්, ඔහු සමබර වැඩිමහල්ලෙක්ද? සභාවේ සිටින අයට උපකාර කිරීමට ආශා වන අතරතුර, සමබර වැඩිමහල්ලෙකු තම භාර්යාවගේ ආත්මිකත්වය ගැනත් සැලකිලිමත් වනු ඇත. ඇතැම් වැඩිමහල්ලන්ගේ භාර්යාවන් ආත්මික ලෙස දුර්වල වී, ආත්මික ‘නැව බිඳගැනීමට’ ගොදුරු වී තිබේ. (1 තිමෝති 1:19) තමාගේම ගැළවීම ස්ථිර කරගැනීම භාර්යාවකගේ වගකීම වුවත්, “ක්‍රිස්තුස්වහන්සේ සභාව ගැන කරන්නාක්මෙන්” වැඩිමහල්ලා තම භාර්යාව ‘පෝෂණයකොට රක්ෂා කළා’ නම්, ඇතැම් අවස්ථාවලදී, අදාළ ආත්මික ගැටලුව මඟහරවාගත හැකිව තිබිණ. (එපීස 5:28, 29) වැඩිමහල්ලන් ‘තමුන් කෙරෙහිත් මුළු රැළ කෙරෙහිත් අවධානය යොමු කළ’ යුතු බවට සහතිකය. (ක්‍රියා 20:28, NW) ඔවුන් විවාහ වී සිටී නම්, ඔවුන්ගේ භාර්යාවනුත් මීට ඇතුළත්ය.
“මාංසයෙහි දුක්”
18. විවාහක ක්‍රිස්තියානීන් අද්දකින ‘පීඩාවලට’ අයත් සමහර අංගයන් කවරේද, එමෙන්ම මෙය වැඩිමහල්ලෙකුගේ ක්‍රියාකාරකම්වලට බලපෑ හැක්කේ කෙසේද?
18 එම ප්‍රේරිතවරයා මෙසේද ලීවේය: “කන්‍යාවක්ද විවාහවුවත් එයින් ඈට පාපයක් නැත. එසේවී නුමුත් එබන්දන්ට මාංසයෙහි දුක් ඇතිවන්නේය. මම නුඹලා එයින් වලක්වන්ට කැමැත්තෙමි.” (1 කොරින්ති 7:28) තනිකඩභාවය සම්බන්ධයෙන් තම ආදර්ශය අනුගමනය කිරීමට හැකි අයව, විවාහයත් සමඟ අනිවාර්යයෙන්ම පැමිණෙන කාන්සාවලින් ගළවාගැනීමට පාවුල් ආශා විය. දරුවන් නැති යුවළයන්ට පවා, මෙම කාන්සාවලට, සෞඛ්‍ය ගැටලු හෝ මූල්‍යමය අසීරුතා මෙන්ම, තම කලත්‍රයාගේ මහලු වූ දෙමාපියන් සම්බන්ධයෙන් ඉටු කළ යුතු ශුද්ධ ලියවිලිමය වගකීම් ඇතුළත් විය හැක. (1 තිමෝති 5:4, 8) වැඩිමහල්ලෙකු ආදර්ශවත් ආකාරයකින් මෙම වගකීම් ඉසිලිය යුතු අතර, ක්‍රිස්තියානි අවේක්ෂකයෙකු වශයෙන් තිබෙන ඔහුගේ ක්‍රියාකාරකම්වලට මෙය ඇතැම්විට බලපෑ හැක. වැඩිමහල්ලන් වැඩි හරියක් පවුල මෙන්ම සභාව කෙරෙහි තමන්ට හිමි වගකීම් කදිම ආකාරයකින් ඉසිලීම සන්තෝෂයට කරුණකි.
19. “භාර්යාවන් ඇත්තෝ භාර්යාවන් නැත්තන් මෙන් [වන්න]” කියා පැවසූ විට, පාවුල් අදහස් කළේ කුමක්ද?
19 පාවුල් තවදුරටත් මෙසේ පැවසීය: “කාලය ලුහුඬුකරනලද්දේය. මෙතැන් පටන් භාර්යාවන් ඇත්තෝ භාර්යාවන් නැත්තන් මෙන් [වන්න]”. (1 කොරින්ති 7:29) ඇත්තෙන්ම, කොරින්තිවරුන්ට ලියන ලද මෙම පරිච්ඡේදයේ කලින් ලියූ දේ හේතුවෙන්, ක්‍රිස්තියානීන් තම භාර්යාවන්ව යම් ආකාරයකින් නොසලකා හැරිය යුතුයයි ඔහු අදහස් නොකළ බව ඉතා පැහැදිලිය. (1 කොරින්ති 7:2, 3, 33) ඔහු මෙසේ ලිවූ විට, ඔහුගේ අදහස පැහැදිලි කළේය: “මේ ලෝකය භුක්ති විඳින්නෝ අධිකලෙස භුක්ති නොවිඳින්නන් මෙන්ද සිටිය යුත්තෝයයි කියමි. මක්නිසාද මේ ලෝකයේ අන්දම පහවෙවී යන්නේය.” (1 කොරින්ති 7:31) පාවුල්ගේ දවසට හෝ ප්‍රේරිත යොහන්ගේ දවසට වඩා දැන් ‘ලෝකය පහව යමින් පවතින්නේය.’ (1 යොහන් 2:15-17) එබැවින්, ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීම සඳහා යම් පරිත්‍යාග කිරීමේ අවශ්‍යතාව තේරුම්ගන්නා විවාහක ක්‍රිස්තියානීන්ට හැමවිටම විවාහ ජීවිතයේ ප්‍රීති ප්‍රමෝදය හා වරප්‍රසාද මුළුමනින්ම භුක්තිවිඳිය නොහැක.—1 කොරින්ති 7:5.
ආත්ම-පරිත්‍යාගශීලී භාර්යාවෝ
20, 21. (අ) ක්‍රිස්තියානි භාර්යාවන් බොහෝදෙනෙකු කිරීමට කැමති පරිත්‍යාගයන් මොනවාද? (ආ) තම ස්වාමිපුරුෂයා වැඩිමහල්ලෙකු වුවත් භාර්යාවකට ඔහුගෙන් යුක්තිසහගත ලෙස කුමක් අපේක්ෂා කළ හැකිද?
20 අනුන්ට ප්‍රයෝජන ගෙන දීම සඳහා වැඩිමහල්ලන් පරිත්‍යාගයන් කරන්නාක් මෙන්, වැඩිමහල්ලන්ගේ භාර්යාවන් බොහෝදෙනෙකුද, විවාහය තුළ තමුන්ට තිබෙන වගකීම් අත්‍යවශ්‍ය රාජ්‍ය කටයුතු සමඟ සමබර කරගැනීමට වෑයම් කර ඇත. අවේක්ෂකයන් හැටියට තම ස්වාමිපුරුෂයන්ට හිමි වගකීම් ඉසිලීමට, ක්‍රිස්තියානි ස්ත්‍රීන් දහස් ගණනක් සහයෝගය දැක්වීමට සතුටු වෙති. ඔවුන් මේ දේ කරන නිසා යෙහෝවඃවහන්සේ ඔවුන්ට ප්‍රේම කරන අතර, ඔවුන් දක්වන කදිම ස්වභාවයට ආශීර්වාද කරනසේක. (පිලෙමොන් 25) කෙසේවෙතත්, පාවුල්ගේ සමබර වූ උපදෙස්වලින් පැහැදිලි වන්නේ, අවේක්ෂකයන්ගේ භාර්යාවන්ට තම ස්වාමිපුරුෂයන්ගෙන් සාධාරණව යම් කාලයක් හා අවධානයක් අපේක්ෂා කළ හැකි බවය. ස්වාමිපුරුෂයෙකු හා අවේක්ෂකයෙකු වශයෙන් තමන්ට හිමි වගකීම් සමබර කරගැනීම සඳහා, තම භාර්යාවන් වෙනුවෙන් ප්‍රමාණවත් කාලයක් මිඩංගු කිරීම විවාහක වැඩිමහල්ලන්ගේ ශුද්ධ ලියවිලිමය යුතුකම වේ.
21 එහෙත්, ස්වාමිපුරුෂයෙකු වීමට අමතරව, ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් පියෙක් නම්, කුමක් කිව හැකිද? මේ නිසා ඔහුගේ වගකීම් වැඩි වන අතර, අවේක්ෂණය කිරීම සඳහා ඔහු ඉදිරියෙහි අමතර ක්ෂේත්රයක් විවෘත වේ; ඊළඟ ලිපියෙහි මේ කාරණය අපට දැකගත හැක.
පුනරීක්ෂණය
◻ ක්‍රිස්තියානි අවේක්ෂකයෙකු විවාහක පුරුෂයෙකු විය හැකි බව පෙන්නුම් කරන්නේ කුමන ශුද්ධ ලියවිලිමය කාරණාද?
◻ තනිකඩ වැඩිමහල්ලෙකු විවාහ වේ නම්, ඔහු කුමක් ගැන සැලකිලිමත් විය යුතුද?
◻ විවාහක ක්‍රිස්තියානියෙකු “ලෝකයේ කාරණා ගැන අධික සැලකිල්ලක්” දක්වන්නේ කුමන ආකාරවලින්ද?
◻ අවේක්ෂකයන්ගේ භාර්යාවන් බොහෝදෙනෙකු කදිම ආත්ම-පරිත්‍යාගශීලී ස්වභාවයක් පෙන්නුම් කරන්නේ කෙසේද?
[17වන පිටුවේ පින්තූරය]
දිව්‍යාණ්ඩු ක්‍රියාකාරකම්වලට බොහෝ කාලය මිඩංගු කිරීමට සිදු වුවත්, වැඩිමහල්ලෙකු තම භාර්යාවට ප්‍රේමනීය අවධානය දිය යුතුය