පාඩම් ලිපිය 46
ඔයාගේ විශාල පලිහ හොඳ තත්වයේ තියෙනවාද?
“විශ්වාසය නමැති විශාල පලිහ ඔබේ අතට ගන්න.”—එෆී. 6:16.
ගීතිකාව 119 සැබෑ විශ්වාසයක් ඇතුව සිටිමු
මේ ලිපියෙන්a
1-2. (අ) එෆීස 6:16 අනුව අපිට “විශ්වාසය නමැති විශාල පලිහ” තියෙන්න ඕනෙමයි කියන්නේ ඇයි? (ආ) අපි බලන්නේ මොන ප්‍රශ්න ගැනද?
“විශ්වාසය නමැති විශාල පලිහ” ඔයා ළඟ තියෙනවාද? (එෆීස 6:16 කියවන්න.) අනිවාර්යයෙන්ම ඒක ඔයා ළඟ ඇති. විශාල පලිහකින් කෙනෙක්ගේ ශරීරයේ වැඩි ප්‍රමාණයක් ආරක්ෂා කරනවා වගේ මේ දුෂ්ට සමාජයේ නරක බලපෑම්වලින් ඒ කියන්නේ අනාචාරය, සැහැසියාව සහ දෙවියන්ගේ ප්‍රමිතිවලට එකඟ නැති ඕනෙම දේකින් ඔයාව ආරක්ෂා කරන්න ඔයාට තියෙන විශ්වාසයට පුළුවන්.
2 ඒත් අපි ජීවත් වෙන්නේ “අවසාන කාලයේ” නිසා අපේ විශ්වාසය හැම දවසකම සෝදිසියට ලක් වෙනවා. (2 තිමෝ. 3:1) ඔයාගේ විශ්වාසය නමැති පලිහ ශක්තිමත්ද කියලා දැනගන්නේ කොහොමද? ඒ පලිහ තදින් අල්ලගෙන ඉන්න පුළුවන් කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි බලමු.
ඔයාගේ පලිහ හොඳින් පරීක්ෂා කරලා බලන්න
3. සොල්දාදුවන් එයාලගේ පලිස් බලාගත්තේ කොහොමද? ඒ ඇයි?
3 අතීතයේදී සොල්දාදුවන් ළඟ තිබුණ පලිස් හම්වලින් ආවරණය කරලයි තිබුණේ. එයාලා පලිහට තෙල් ආලේප කළා. එහෙම කළේ හම්වලින් ආවරණය කරලා තිබුණ කොටස කාලයක් යන කල් හොඳ තත්වයේ තියාගන්නයි. පලිහේ ලෝහ කොටස මලකඩ කන එකෙන් වළක්වගන්නත් ඒකෙන් පුළුවන් වුණා. සොල්දාදුවෙක් තමන්ගේ පලිහට යම් හානියක් වෙලා කියලා දැක්කොත් ඉක්මනින්ම ඒක හරිගස්සගන්න ඕනේ. නැත්නම් ඊළඟ සටනට එයා සූදානම් නැහැ.
4. විශ්වාසය නමැති ඔයාගේ පලිහ ඔයා නිතරම පරීක්ෂා කරලා බලන්න ඕනෙ ඇයි? ඒක කරන්නේ කොහොමද?
4 ඒ සොල්දාදුවන් වගේ ඔයාත් නිතරම විශ්වාසය නමැති ඔයාගේ පලිහ සෝදිසි කරලා ඒක දිගටම හොඳ තත්වයේ තියාගන්නවා නම් ඕනෙම වෙලාවක සටන් කරන්න ඔයාට පුළුවන්. ක්‍රිස්තියානීන් වන අපිට ලොකු සටනක් කරන්න තියෙනවා. අපි භූත සේනාවන්ට විරුද්ධව සටන් කරනවා. (එෆී. 6:10-12) ඔයාගේ පලිහ හොඳ තත්වයේ තියාගන්න එක ඔයාම කරන්න ඕනෙ දෙයක්. ඒක ඔයා වෙනුවෙන් වෙන කාටවත් කරන්න බැහැ. අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න තරම් ශක්තිමත් විශ්වාසයක් ඔයාට තියෙනවාද කියලා දැනගන්නේ කොහොමද? මුලින්ම උදව් ඉල්ලලා දෙවියන්ට යාච්ඤා කරන්න. ඊළඟට බයිබලේ හොඳින් අධ්‍යයනය කරලා දෙවියන් ඔයාව දකින්නේ කොහොමද කියලා තේරුම්ගන්න උත්සාහ කරන්න. (හෙබ්‍රෙ. 4:12) බයිබලේ මෙහෙම කියනවා. “ඔබේම නුවණෙහි රඳා නොසිට මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න.” (හිතෝ. 3:5, 6) ඒක මතකයේ තියාගෙන ඔයා ළඟදී ගත්ත තීරණ ගැන ටිකක් හිතන්න. උදාහරණෙකට ඔයා ආර්ථික ප්‍රශ්නයකට මුහුණ දුන්නාද? ඒ ප්‍රශ්නෙදී “මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැත. මම ඔබව කිසිදාක අසරණ නොකරන්නෙමි” කියලා හෙබ්‍රෙව් 13:5 යෙහෝවා දෙවියන් දීලා තියෙන පොරොන්දුව ඔයාට මතක් වුණාද? ඔහු උදව් කරයි කියන නිසැකකම ඒ පොරොන්දුව නිසා ඔයාට ඇති වුණාද? එහෙමනම් ඔයාගේ පලිහ ඔයා හොඳ තත්වයේ තියාගෙන ඉන්නවා කියලා පැහැදිලියි.
5. ශක්තිමත් විශ්වාසයක් ඔයාට තියෙනවාද කියලා සෝදිසි කරලා බලද්දී සමහරවිට ඔයාට මොකක් දැනගන්න ලැබෙයිද?
5 ඔයාවම සෝදිසි කරලා බලද්දී විශ්වාසය දුර්වල කරන දෙයක් ඔයා තුළ තියෙනවා කියලා සමහරවිට ඔයාට තේරෙයි. උදාහරණෙකට ඕනෑවට වඩා කනස්සලු වෙන නිසා, බොරු අදහස් නිසා, අධෛර්යය කරවන හැඟීම් නිසා ඔයාගේ විශ්වාසයට හානි වෙලා කියලා ඔයාට තේරෙයි. එහෙම දෙයක් වෙලා නම් ඔයාගේ විශ්වාසය තවත් හානියට ලක් වෙන්න ඉඩ නොදී ඒක රැකගන්න පුළුවන් කොහොමද?
කනස්සල්ල, බොරුව, අධෛර්යය විශ්වාසයට හානියක්
6. අපි වධ වෙන සමහර දේවල් මොනවාද?
6 සමහර දේවල් ගැන අපි වධ වෙන එක හොඳ දෙයක්. උදාහරණෙකට යෙහෝවා දෙවියන්ව සහ යේසුස්ව සතුටු කරන්න පුළුවන් කොහොමද කියන එක ගැන අපි හැම තිස්සෙම හිතනවා. (1 කොරි. 7:32) හිතන්න, අපි අතින් බරපතළ වරදක් වුණා කියලා. දෙවියන් එක්ක තිබුණ බැඳීම ආයෙත් ඇති කරගන්නේ කොහොමද කියලා හිතලා අපි ගොඩක් වධ වෙනවා. (ගීතා. 38:18) ඒ වගේම අපේ සැමියාව, බිරිඳව සතුටින් තියන්න පුළුවන් කොහොමද කියලත් පවුලේ අය, සභාවේ අය වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේවල් ගැනත් අපි නිතරම හිතනවා.—1 කොරි. 7:33; 2 කොරි. 11:28.
7. හිතෝපදේශ 29:25 අනුව අපි මිනිසුන්ට බය වෙන්න ඕනෙ නැත්තේ ඇයි?
7 ඒත් යම් දේවල් ගැන ඕනෑවට වඩා හිතලා කනස්සලු වෙන එක ඔයාගේ විශ්වාසයට හානියක්. උදාහරණෙකට අපිට ඕනෙ කරන කෑම, ඇඳුම් තියෙයිද කියලා හිතලා අපි ඕනෑවට වඩා කනස්සලු වෙනවා ඇති. (මතෙ. 6:31, 32) ඒ නිසා මුදල් හොයන්න අපි වැඩි අවධානයක් දෙන්න පෙලඹෙයි. සල්ලි ගැන ඒකෙන් අපිට ආසාවක් ඇති වෙන්න පුළුවන්. ඒ ආසාවට අපි ඉඩ දුන්නොත් යෙහෝවා දෙවියන් ගැන අපිට තියෙන විශ්වාසය දුර්වල වෙලා ඔහු එක්ක අපිට තියෙන බැඳීමට හානියක් වෙයි. (මාක් 4:19; 1 තිමෝ. 6:10) ‘අනිත් අය මං ගැන කොහොම හිතනවා ඇද්ද’ කියලා අපි ඕනෑවට වඩා හිතන්න ගියොත් ඒකෙනුත් ලොකු කනස්සල්ලක් ඇති වෙයි. මිනිසුන් අපිට සමච්චල් කරයි හෝ විරුද්ධවාදිකම් එල්ල කරයි කියලා බය වෙලා යෙහෝවා දෙවියන්ව අසතුටු වෙන දෙයක් වුණත් කරන්න අපි පෙලඹෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මිනිසුන්ට බය නොවී ඉන්න අවශ්‍ය ශක්තිය, ධෛර්යය දෙන්න කියලා යෙහෝවා දෙවියන්ට කන්නලව් කරන්න.—හිතෝපදේශ 29:25 කියවන්න; ලූක් 17:5.
8. බොරු තොරතුරු අහන්න ලැබෙද්දී අපි මොකක්ද කරන්න ඕනේ?
8 “බොරුවේ පියා” වන සාතන් තමන් යටතේ ඉන්න අය මාර්ගයෙන් යෙහෝවා දෙවියන් ගැනත් අපේ සහෝදර සහෝදරියන් ගැනත් බොරු පතුරුවනවා. (යොහ. 8:44) උදාහරණෙකට සත්‍ය ඉගැන්වීම් අත්හැරපු අය ඉන්ටර්නෙට් එක, TV එක සහ වෙනත් මාධ්‍යයන් හරහා යෙහෝවා දෙවියන්ගේ සංවිධානය ගැන බොරු එහෙම නැත්නම් විකෘති කරපු තොරතුරු පතුරුවනවා. සාතන් අපිට එල්ල කරන “ගිනිමය ඊතලවලට” ඒ බොරුත් ඇතුළත්. (එෆී. 6:16) කවුරු හරි කෙනෙක් අපි එක්ක ඒ වගේ බොරු තොරතුරු කතා කළොත් අපි මොකද කරන්න ඕනේ? අපි කොහොමටවත් ඒවාට ඇහුම්කන් දෙන්න හොඳ නැහැ. මොකද අපිට යෙහෝවා දෙවියන් ගැනත් අපේ සහෝදර සහෝදරියන් ගැනත් විශ්වාසයි. සත්‍ය ඉගැන්වීම් අත්හැරපු අය එක්ක කිසිම සම්බන්ධයක් තියාගන්න එපා. කිසිම හේතුවක් නිසා අඩුම තරමේ කුතුහලය නිසාවත් එයාලා එක්ක වාද කරන්න යන්න එපා.
9. අධෛර්යය කරවන හැඟීම් අපිට බලපාන්න පුළුවන් කොහොමද?
9 අධෛර්යය කරවන හැඟීම් නිසා අපේ විශ්වාසය දුර්වල වෙන්න පුළුවන්. ප්‍රශ්නවලට මුහුණ දෙද්දී අධෛර්යය කරවන හැඟීම් ඇති වෙයි. එහෙමයි කියලා ප්‍රශ්න මඟහරින්න අපිට බැහැ. ඒත් හැම වෙලාවේම ප්‍රශ්න ගැනම හිතහිත හිටියොත් යෙහෝවා දෙවියන්ගේ පොරොන්දු අපිට අමතක වෙයි. (එළි. 21:3, 4) අධෛර්යය කරවන හැඟීම් අපිට කොයි තරම් බලපාන්න පුළුවන්ද කියනවා නම් යෙහෝවා දෙවියන්ට සේවය කරන්න තරම්වත් ශක්තිය නැහැ කියලා අපිට හැඟෙයි. එතකොට සේවය කරන එක අපි සම්පූර්ණයෙන්ම නවත්තලා දායි.—හිතෝ. 24:10.
10. එක සහෝදරියක් ලියපු ලියුමකින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
10 එක්සත් ජනපදයේ ඉන්න සහෝදරියක් බරපතළ අසනීපයකින් පෙළෙන තමන්ගේ සැමියාව බලාගන්න අතරේ තමන්ගේ විශ්වාසය ශක්තිමත්ව තියාගන්නේ කොහොමද කියලා බලන්න. ලෝක මූලස්ථානයට එවපු ලියුමක එයා මෙහෙම කියනවා. “වෙලාවකට අපිට ලොකු පීඩනයක් දැනෙනවා. අපි අධෛර්යය වෙන වෙලාවලුත් තියෙනවා. ඒත් අපේ බලාපොරොත්තුව ගැන අපිට කිසිම සැකයක් නැහැ. අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න, අපිව ගොඩනංවන්න යෙහෝවා දෙවියන් සපයන හැම දෙයක් ගැනම මට තියෙන්නේ ලොකු අගයක්. ප්‍රශ්න දරාගෙන ඉස්සරහට යන්න දෙවියන්ගෙන් ලැබෙන මඟ පෙන්වීම්, දිරිගැන්වීම් අපිට නැතුවම බැහැ. විශ්වාසය දුර්වල කරන්න සාතන් යොදාගන්න හැම දේකටම විරුද්ධව ඉන්නත් ඒවා අපිට ලොකු හයියක්.” අධෛර්යය කරවන හැඟීම් පරාජය කරන්න අපිට පුළුවන්. ඔයාට එන ප්‍රශ්න සාතන්ට විරුද්ධව ඉන්න ඔයාට ලැබෙන අවස්ථාවක් හැටියට සලකන්න. ඔයාව සනසන්න යෙහෝවා දෙවියන්ට පුළුවන් කියලා විශ්වාස කරන්න. ඔහු ලබා දෙන පෝෂණය අගය කරන්න.
11. අපේ විශ්වාසය ශක්තිමත්ද කියලා සෝදිසි කරලා බලන්න අපි අපෙන්ම අහගන්න ඕනෙ මොන ප්‍රශ්නද?
11 ඔයාගේ විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න ඕනෙ කියලා ඔයාට හිතෙනවාද? පහුගිය මාස කීපයේදී ඕනෑවට වඩා කනස්සලු නොවී ඉන්න ඔයාට පුළුවන් වුණාද? සත්‍ය ඉගැන්වීම් අත්හැරපු අය කියන දේවල් අහන්න, ඒ ගැන වාද කරන්න හිතුණත් එහෙම නොකර ඉන්න ඔයාට පුළුවන් වුණාද? අධෛර්යය කරවන හැඟීම්වලින් යටපත් නොවී ඉන්න ඔයාට පුළුවන් වුණාද? ඒ ප්‍රශ්නවලට “ඔව්” කියලා උත්තර දෙන්න පුළුවන් වුණා නම් ඔයාට තියෙන්නේ ශක්තිමත් විශ්වාසයක්. ඒත් සාතන් අපිට විරුද්ධව තවත් ආයුධ යොදාගන්න නිසා අපි සෝදිසියෙන් ඉන්න ඕනේ. ඒ වගේ ආයුධයක් ගැන දැන් බලමු.
තව තව දේවල් ලබාගන්න තියෙන ආසාවට අහු වෙන්න එපා
12. ධන සම්පත් ලබාගන්න ආසාවක් ඇති වුණොත් මොකක් වෙන්න පුළුවන්ද?
12 ධන සම්පත් ලබාගන්න තියෙන ආසාව නිසා දන්නෙම නැතුව අපේ විශ්වාසය දුර්වල වෙලා අපි යෙහෝවා දෙවියන්ගෙන් ඈත් වෙන්න පුළුවන්. පාවුල් මෙහෙම කිව්වා. “හේවායෙකු ලෙස සේවය කරන කිසිවෙක් තම සේවයට අදාළ නැති ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වන්නේ නැත. ඔහු එසේ සම්බන්ධ නොවන්නේ තමාව හේවායෙකු ලෙස බඳවාගත් තැනැත්තාගේ අනුමැතිය ලබාගැනීම සඳහාය.” (2 තිමෝ. 2:4) රෝම සොල්දාදුවෙකුට වෙනත් ව්‍යාපාර කටයුතුවලට හවුල් වෙන්න අවසර තිබුණේ නැහැ. යම් සොල්දාදුවෙක් ඒ නීතිය නොසලකා හැරියොත් මොකක් වෙයිද?
13. සොල්දාදුවෙක් ව්‍යාපාර කටයුතුවලට හවුල් නොවී ඉන්න එක වැදගත් ඇයි?
13 මේ සිද්ධිය හිතින් මවාගන්න. සොල්දාදුවන් කණ්ඩායමක් උදේ වරුවේ කඩුවලින් සටන් කරන්න පුහුණු වෙනවා. ඒත් එයාලගේ කණ්ඩායමේ එක සොල්දාදුවෙක් එයාලා අතරේ නැහැ. එයා නගරේ තියෙන වෙළඳපොළක කෑම කඩයක් කරනවා. කණ්ඩායමේ අනිත් සොල්දාදුවන් හවස් වරුවේ එයාලගේ යුද්ධායුධ කට්ටලය පරීක්ෂා කරලා එයාලගේ කඩු මුවහත් කරගද්දී ඒ සොල්දාදුවා කරන්නේ ඊළඟ දවසේ විකුණන්න ඕනෙ කරන කෑම ලෑස්ති කරගන්න එකයි. ඒත් ඊළඟ දවසේ උදේ හදිසියේම සතුරු ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒකෙදී හොඳින් සටන් කරලා හමුදාපතිගේ ප්‍රශංසාව ලබාගන්න පුළුවන් වෙන්නේ කාට කියලාද ඔයා හිතන්නේ? ඔයාත් ඒ සටනට ගිය සොල්දාදුවෙක් නම් ඔයා කැමති කා ළඟ ඉඳන් සටන් කරන්නද? පුහුණු වුණ සොල්දාදුවෙක් ළඟද? නැත්නම් කඩේ වැඩ කරකර හිටපු සොල්දාදුවා ළඟද?
14. ක්‍රිස්තුස්ගේ හේවායන් විදිහට අපි වැදගත් කියලා සලකන්නේ මොකක්ද?
14 සටනට හොඳින් සූදානම් වුණ සොල්දාදුවන් වගේ අපිත් අපේ අවධානය වෙන දේවලට දෙන්නේ නැහැ. අපිට වැදගත් වෙන්නේ අපේ සෙන්පතීන් වන යෙහෝවා දෙවියන්ව සහ යේසුස්ව සතුටු කරන එකයි. සාතන්ගේ දුෂ්ට සමාජය ඉදිරිපත් කරන ඕනෙම දේකට වඩා ඒක අපිට වටිනවා. යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්නත් විශ්වාසය නමැති අපේ පලිහ ඇතුළුව මුළු යුද්ධායුධ කට්ටලයම හොඳ තත්වයේ තියාගන්නත් අවශ්‍ය කාලය සහ ශක්තිය වෙන කිසිම දේකට අපි නොදී ඉන්නේ ඒ නිසයි.
15. පාවුල් දුන්න අනතුරු ඇඟවීම මොකක්ද? ඒ ඇයි?
15 ‘පොහොසත් වීමට අදිටන් කරගෙන සිටින අය සත්‍ය මාර්ගයෙන් පවා අහක්ව යන්න’ ඉඩ තියෙනවා කියලා පාවුල් අනතුරු ඇඟෙව්වා. (1 තිමෝ. 6:9, 10) පාවුල් කියන්න හැදුවේ අපිට අත්‍යවශ්‍ය නැති දේවල් තව තව ලබාගන්න හදන එකෙන් අපේ අවධානය සම්පූර්ණයෙන්ම ඒකටම යොමු වෙන්න පුළුවන් කියලයි. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ‘කිසි තේරුමක් නැති, හානිකර ආශාවන් බොහොමයක් අපි තුළ හටගනියි.’ ඒ ආශාවන්ට අපේ හිතේ ඉඩක් දෙනවා වෙනුවට අපි මතක තියාගන්න ඕනෙ අපේ විශ්වාසය දුර්වල කරන්න සාතන් ඒ ආශාවන් පාවිච්චි කරනවා කියලා. ඒ නිසා අපි නිතරම අපිවම සෝදිසි කරගන්න ඕනේ.
16. මාක් 10:17-22 සඳහන් වාර්තාව කියවද්දී අපි පෙලඹෙන්න ඕනෙ මොන ප්‍රශ්න ගැන හිතන්නද?
16 අපි කැමති ඕනෙම දෙයක් ගන්න අපිට සල්ලි තියෙනවා වෙන්න පුළුවන්. අපි ආස ඒත් අපිට අත්‍යවශ්‍ය නැති දේවල් අපි මිල දී ගන්නවා නම් ඒක වැරදිද? එහෙම කියන්න බැහැ. ඒත් මේ ප්‍රශ්න ගැන හිතන්න. දෙයක් මිල දී ගන්න අපිට සල්ලි තිබුණත් ඒක පාවිච්චි කරන්න, ඒක නඩත්තු කරන්න අවශ්‍ය කාලය සහ ශක්තිය අපිට තියෙනවාද? අපිට තියෙන දේවලට අපි ඕනෑවට වඩා ඇලුම් කරන්න පටන්ගනියිද? ධන සම්පත් ගැන අපේ හිතේ තියෙන ඇල්ම නිසා යේසුස් කරපු ආරාධනය පිළිගත්තේ නැති තරුණයා වගේ වෙන්න අපිත් පෙලඹෙයිද? (මාක් 10:17-22 කියවන්න.) සරල ජීවිතයක් ගත කරලා අපේ වටිනා කාලය සහ ශක්තිය දෙවියන් සතුටු වෙන දේවල් වෙනුවෙන් යොදවන එක ඊට වඩා කොච්චර වටිනවාද!
විශ්වාසය නමැති පලිහ තදින් අල්ලගන්න
17. අපි කවදාවත් අමතක කරන්න හොඳ නැත්තේ මොකක්ද?
17 අපි ඉන්නේ සටනක කියලා අමතක කරන්න එපා. ඒ නිසා හැම දවසකම අපි ඉන්න ඕනෙ සූදානමින්. (එළි. 12:17) විශ්වාසය නමැති අපේ පලිහ අපි වෙනුවෙන් අරන් යන්න අපේ සහෝදර සහෝදරියන්ට බැහැ. අපේ විශ්වාසය රැකගන්න එක අපේ වගකීමක්.
18. අතීතයේ හිටපු සොල්දාදුවන් එයාලගේ පලිහ තදින් අල්ලගෙන හිටියේ ඇයි?
18 යුද්දෙකදී නිර්භීතව සටන් කරන සොල්දාදුවන්ට ලොකු ගෞරවයක් ලැබෙනවා. ඒත් සොල්දාදුවෙක් සටන ඉවර වෙලා එද්දී එයාගේ පලිහ නැතුව ආවොත් ඒක එයාට ලැජ්ජාවක්. රෝම ඉතිහාසඥ ටැසිටස් මෙහෙම ලිව්වා. “සොල්දාදුවෙක් එයාගේ පලිහ නැතුව එන එක එයාට ලොකු නින්දාවක්. ඊට වඩා අවනම්බුවක් තවත් නැහැ.” සොල්දාදුවෙක් තමන්ගේ පලිහ තදින් අල්ලගෙන ඉන්න ඒකත් එක හේතුවක්.
19. විශ්වාසය නමැති අපේ පලිහ තදින් අල්ලගෙන ඉන්න පුළුවන් කොහොමද?
19 අපේ පලිහ තදින් අල්ලගෙන ඉන්න පුළුවන් කොහොමද? නිතිපතා රැස්වීම්වලට සහභාගි වෙද්දී, යෙහෝවා දෙවියන්ගේ නම ගැනත් ඔහුගේ රාජ්‍යය ගැනත් අනිත් අයට දැනුම් දෙද්දී අපි කරන්නේ පලිහ තදින් අල්ලගන්න එකයි. (හෙබ්‍රෙ. 10:23-25) අපි හැම දවසකම බයිබලේ කියවලා ඒකේ තියෙන මඟ පෙන්වීම් ජීවිතේ හැම කාරණයකදීම අදාළ කරගන්න උදව් ඉල්ලලා දෙවියන්ට යාච්ඤා කරන එකත් වැදගත්. (2 තිමෝ. 3:16, 17) එතකොට සාතන් අපිට විරුද්ධව යොදාගන්න කිසිම ආයුධයකට බැහැ අපිට සදාකාලික හානියක් කරන්න. (යෙසා. 54:17) ‘විශ්වාසය නමැති අපේ විශාල පලිහ’ අපිට ආරක්ෂාවක් වෙයි. අපි අපේ සහෝදර සහෝදරියන් එක්ක ධෛර්යවන්තව දෙවියන්ට සේවය කරයි. අපේ විශ්වාසය රැකගන්න අපි හැම දවසකම කරන සටන ජය ගන්න අපිට පුළුවන්. ඒත් ඊට වඩා වැදගත්ම දේ වෙන්නේ සාතන්ටයි, එයාට සහය දෙන අයටයි විරුද්ධව යුද්ධ කරලා යේසුස් ජය ගද්දී ඔහුගේ පැත්තේ ඉන්න අපිට ලැබෙන අවස්ථාවයි.—එළි. 17:14; 20:10.
ගීතිකාව 118 “විශ්වාසය තවත් ශක්තිමත් කරන්න”
a සතුරන්ගෙන් එල්ල වුණ ප්‍රහාරවලින් ආරක්ෂා වෙන්න සොල්දාදුවන්ට විශාල පලිහක් තියෙන එක අත්‍යවශ්‍යයි. අපේ විශ්වාසයත් හරියට පලිහක් වගේ. සොල්දාදුවෙක් තමන්ගේ පලිහ දිගටම හොඳ තත්වයක තියාගන්න ඕනෙ වගේ අපේ විශ්වාසයත් අපි දිගටම ශක්තිමත්ව තියාගන්න ඕනේ. “විශ්වාසය නමැති විශාල පලිහ” දිගටම හොඳ තත්වයේ තියාගන්න පුළුවන් කොහොමද කියලා මේ ලිපියෙන් බලමු.
b පින්තූරයේ අදහස: යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන බොරු තොරතුරු පතුරුවන සත්‍ය ඉගැන්වීම් අත්හැරපු අය ගැන වාර්තාවක් TV එකේ පෙන්නද්දී දෙවියන්ට ළැදි පවුලක් ඉක්මනින්ම TV එක වහලා දානවා.
c පින්තූරයේ අදහස: පස්සේ වෙලාවක පවුලේ නමස්කාරය කරද්දී ඒ පවුලේ තාත්තා බයිබලේ කොටසක් යොදාගෙන පවුලේ අයගේ විශ්වාසය ශක්තිමත් කරනවා.