යෙහෝවාගේ දවස මනසෙහි ප්රමුඛව තබාගන්න
‘අන්තිම දවස්වලදී කවටකම්කරන්නෝ පැමිණෙන්නෝය.’—2 පේතෘස් 3:3, 4.
1. එක්තරා නවීන දින ක්‍රිස්තියානියෙකුට තිබුණේ මොන හදිසිතාවේ හැඟීමක්ද?
අවුරුදු 66කටත් වැඩිය කාලයක් සේවය කර තිබෙන පූර්ණ-කාලීන දේවසේවකයෙක් මෙසේ ලිව්වා: “මට හැම තිස්සේම වගේ තියුණු හදිසිතාවේ හැඟීමක් දැනිලා තියෙනවා. මගේ කල්පනාවේ හැටියට අර්මගෙදොන් හැම තිස්සේම හෙටඅනිද්දා එනවා වගෙයි තේරෙන්නේ. (එළිදරව් 16:14, 16) මගේ තාත්තාත්, එයාට ඉස්සෙල්ලා හිටපු එයාගේ තාත්තාත් වගේ, මම ප්‍රේරිත [පේතෘස්] උනන්දු කළ විදිහටයි මගේ ජීවිතය ගත කරල තියෙන්නේ; ඒ කියන්නේ: ‘යෙහෝවාගේ දවසේ පැමිණතිබීම මනසෙහි ප්රමුඛව තබාගනිමින්.’ මම හැම තිස්සේම පොරොන්දු නව ලෝකය සලකා තියෙන්නේ ‘නොදුටු යථාර්ථයක්’ හැටියටයි.”—2 පේතෘස් 3:11, 12; හෙබ්‍රෙව් 11:1; NW; යෙසායා 11:6-9; එළිදරව් 21:3, 4.
2. යෙහෝවාගේ දවස මනසෙහි ප්රමුඛව තබාගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
2 යෙහෝවාගේ දවස සම්බන්ධයෙන් ගත් කල, ‘මනසෙහි ප්රමුඛව තබාගැනීම’ යන පේතෘස්ගේ යෙදුම අදහස් කරන්නේ අපි එය අපේ මනස්වලින් කල් නොදැමීමයි. යෙහෝවා තම පොරොන්දු වූ නව ලෝකය ස්ථාපිත කිරීමට පෙරාතුව ගන්නා පියවරක් වන, මෙම දේවල පිළිවෙළ විනාශ කරන්න යන දවස ඉතා ළඟ බව අපි අමතක නොකළ යුතුයි. එය අපිට කොතරම් සැබෑ විය යුතුද කිවහොත්, අපි එය පැහැදිලිව, හරියටම අපේ ඇස් පණාපිටම තිබෙනවා වගේ දැකිය යුතුයි. පුරාණයේ විසූ දෙවිගේ අනාගතවක්තෲන්ට එය ඒ තරම්ම සැබෑවක් වුණ අතර, එය ආසන්න යමක් හැටියට ඒ ගැන විටින් විට කතා කළා.—යෙසායා 13:6; යෝවෙල් 1:15; 2:1; ඔබදියා 15; ශෙපනියා 1:7, 14.
3. යෙහෝවාගේ දවස පිළිබඳව උපදෙස් දීමට පේතෘස් පැහැදිලිවම පෙලඹුණේ කුමක් නිසාද?
3 යෙහෝවාගේ දවස, කතාවට කියනවා නම්, “හෙටඅනිද්දා” එනවා වගේ සලකන්න කියා පේතෘස් අපිට උනන්දු කළේ ඇයි? වරදකරුවන්ට දඬුවම් ලැබෙන ක්‍රිස්තුස්ගේ පොරොන්දු වූ පැමිණසිටීම පිළිබඳ අදහස ගැන සමච්චල් කරන්න සමහරුන් පැහැදිලිවම පටන්ගෙන තිබුණු නිසයි. (2 පේතෘස් 3:3, 4) එමනිසා, අපි දැන් සලකා බලන්න යන පේතෘස්ගේ දෙවන ලිපියෙහි 3වන පරිච්ඡේදයෙහි ඔහු මෙම කවටකම්කරන්නන්ගේ චෝදනාවලට පිළිතුරු දෙනවා.
මතක තබාගත යුතු උණුසුම් ආයාචනයක්
4. පේතෘස්ට ඕනෑ කරන්නේ අපි කුමක් සිහියේ තබාගැනීමද?
4 තම සහෝදරයන්ට “ප්‍රේමවන්තයෙනි” කියා නැවත නැවත ඇමතීමෙන් ඔවුන් සඳහා ඔහුගේ ස්නේහය ප්රත්යක්ෂ වෙනවා. ඔවුන්ට උගන්වා තිබුණු දේ අමතක නොකරන්න කියා උණුසුම් ලෙස ආයාචනා කරමින්, පේතෘස් මෙලෙස ආරම්භ කරයි: “ප්‍රේමවන්තයෙනි, . . . ශුද්ධවූ අනාගතවක්තෘවරුන් විසින් පළමුවෙන් කියනලද වචනද නුඹලාගේ ප්‍රේරිතයන් කරණකොටගෙන කියෙවු ස්වාමිවූ ගැළවුම්කාරයා[ගේ] ආඥාවද නුඹලාට මතක්වෙන පිණිස, මතක්කරවීම කරණකොටගෙන නුඹලාගේ අවංකවූ සිත් [පැහැදිලි සිතීමේ හැකියාවන්, NW] . . . පුබුදුකරවමි.”—2 පේතෘස් 3:1, 2, 8, 14, 17; යූද් 17.
5. ඇතැම් අනාගතවක්තෲන් යෙහෝවාගේ දවස ගැන පැවසුවේ කුමක්ද?
5 පේතෘස් තම පාඨකයන්ට මතක් කරගන්න උනන්දු කරන්නේ “අනාගතවක්තෘවරුන් විසින් පළමුවෙන් කියනලද” මොන “වචනද”? ඇයි, රාජ්‍ය බලයෙන් යුක්තව ක්‍රිස්තුස්ගේ පැමිණසිටීම සහ අභක්තිකයන්ගේ විනිශ්චය පිළිබඳ ඒවායි. මෙම කියමන්වලට පේතෘස් කලින් අවධානය යොමු කර තිබුණා. (2 පේතෘස් 1:16-18, 20; 2:3-10) නපුරකරන්නන් පිට දෙවිගේ අහිතකර විනිශ්චය ගැන අනතුරු ඇඟවූ, වාර්තාවල සඳහන් පළමුවන අනාගතවක්තෘ ඒනොක්ට යූද් යොමු දක්වනවා. (යූද් 14, 15) ඒනොක්ට පසුව තවත් අනාගතවක්තෲන් පෙනී සිටි අතර, ඔවුන් ලියූ දේ අපි අමතක කර දමනවාට පේතෘස් කැමති නැහැ.—යෙසායා 66:15, 16; ශෙපනියා 1:15-18; සෙකරියා 14:6-9.
6. යෙහෝවාගේ දවස ගැන අපිව ආලෝකනය කරන්නේ ක්‍රිස්තුස් සහ ඔහුගේ ප්‍රේරිතයන් කියූ මොන මොන දේවල්ද?
6 ඊට අමතරව, “ස්වාමිවූ ගැළවුම්කාරයා[ගේ] ආඥාව” මතක තබාගන්න කියාත් පේතෘස් තම පාඨකයන්ට කියනවා. යේසුගේ ආඥාවට මෙම අනුශාසනාව ඇතුළත්: “ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් නුඹලා කෙරේ නොපැමිණෙන පිණිස . . . නුඹලාගේ සිත් බර නොවන හැටියට බලාගන්න [ඔබ ගැන අවධානයෙන් සිටින්න, NW].” නියමිත “කාලය කවදා වේදැයි නුඹලා නොදන්න බැවින් ප්‍රවේසම්වී, අවදිව ඉ[න්න].” (ලූක් 21:34-36; මාර්ක් 13:33) ප්‍රේරිතයන්ගේ කියමන් කල්පනාවට ගන්නත් පේතෘස් අපිව උනන්දු කරනවා. උදාහරණයක් හැටියට ප්‍රේරිත පාවුල් මෙසේ ලිව්වා: “රාත්‍රියෙහි සොරෙකු එන්නාක් මෙන් [යෙහෝවාගේ] දවස පැමිණෙ[න්නේය]. එබැවින් වෙන තැනැත්තන් මෙන් අපි නිදා නොගෙන, අවදිව මත් නොවී [සිහියෙන් යුක්තව, NW] සිටිමු.”—1 තෙසලෝනික 5:2, 6.
කවටකම්කරන්නන්ගේ තෘෂ්ණා
7, 8. (අ) දෙවිගේ අනතුරු අඟවන පණිවිඩ ගැන සමච්චල් කරන අය මොන වගේ මනුෂ්‍යයන්ද? (ආ) කවටකම්කරන්නන් කියා සිටින්නේ කුමක්ද?
7 කලින් සඳහන් කළ පරිදි, පේතෘස්ගේ අනුශාසනාවට හේතුව වුණේ, පුරාණ කාලවල ඉශ්රායෙල්වරුන් යෙහෝවාගේ අනාගතවක්තෲන්ට අවමන් කර තිබුණා වගේ, සමහරුන් එවැනි අනතුරු ඇඟවීම්වලට ගරහන්න පටන්ගෙන තිබීමයි. (2 ලේකම් 36:16) පේතෘස් මෙසේ පැහැදිලි කරයි: “අන්තිම දවස්වලදී තමුන්ගේ තෘෂ්ණා ලෙස හැසිරෙන්නාවූ . . . සරදම්කරමින් කියන්නාවූ කවටකම්කරන්නෝ පැමිණෙන්නෝයයි පළමුකොට දැනගන්න.” (2 පේතෘස් 3:3, 4; ඇල අකුරු අපේය.) මෙම කවටකම්කරන්නන්ගේ තෘෂ්ණාවන් “අභක්තික දේවල්” සඳහා බව යූද් කියනවා. ඔවුන් “මෘගාකාර මනුෂ්‍යයන්ද, ආත්මිකත්වය නැති අයද” වශයෙන් ඔහු ඔවුන්ව හඳුන්වනවා.—යූද් 17-19, NW.
8 පේතෘස් පවසන පරිදි, “කිලුටුකමේ තෘෂ්ණාවෙන් මාංසය අනුව හැසිරෙන්නාවූ” බොරු අනාගතවක්තෲන්, ආත්මිකත්වයක් නැති මෙම කවටකම්කරන්නන් අතර සිටිය හැකියි. (2 පේතෘස් 2:1, 9, 14) ඔවුන් අවමන්සහගතව ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන්ගෙන් මෙසේ අසනවා: “ඔහුගේ පොරොන්දු වූ පැමිණසිටීම කොහේද? ඇයි, අපේ පියවරුන් මරණ නින්දෙහි සැතපුණු දා පටන්, සියලු දේවල් මැවීමේ පටන්ගැනීමේ සිට සිදු වූ ආකාරයෙන්ම සිදු වන්නේය.”—2 පේතෘස් 3:4, NW.
9. (අ) දෙවිගේ වචනය පුරාම දකින හදිසිතාවේ හැඟීම යටපත් කරන්න කවටකම්කරන්නන් වෑයම් කරන්නේ ඇයි? (ආ) යෙහෝවාගේ දවස මනසෙහි ප්රමුඛව තබාගැනීම අප සඳහා ආරක්ෂාවක් වන්නේ කොහොමද?
9 මොකටද මෙලෙස සමච්චල් කරන්නේ? ක්‍රිස්තුස්ගේ පැමිණසිටීම ඇතැම්විට කවදාකවත් සිදු නොවෙයි කියාත්, දෙවි කිසිම දවසක මනුෂ්‍ය කටයුතුවලට මැදිහත් වී නැති බවටත්, ඉදිරියටත් මැදිහත් නොවේය කියාත් අඟවන්නේ ඇයි? ඇත්තෙන්ම, දේවවචනය පුරාම දකින හදිසිතාවේ හැඟීම යටපත් කිරීමෙන්, මෙම මෘගාකාර කවටකම්කරන්නන් අන්‍යයන්ව ආත්මික උදාසීන තත්වයකට ඇදදමන්න මාන බලන අතර, ඒ තුළින් ඔවුන්ව ආත්මාර්ථකාමී දූෂණවලට පහසුවෙන් ගොදුරු කරවන්න බලනවා. ආත්මික ලෙස පිබිද සිටීම සඳහා අදදින අපිට මොනතරම් ප්‍රබල දිරිගැන්වීමක්ද! යෙහෝවාගේ දවස මනසෙහි ප්රමුඛව තබාගනිමින්, ඔහුගේ ඇස් අප කෙරෙහි තිබෙන බව හැමවිටම සිහියේ තබාගනිමු! මෙලෙස, යෙහෝවාට ජ්වලිතව සේවය කරන්නත්, අපේ සදාචාර නිර්මලත්වය පවත්වාගන්නත් අපිව පොලඹවනු ලැබේවි.—ගීතාවලිය 11:4; යෙසායා 29:15; එසකියෙල් 8:12; 12:27; ශෙපනියා 1:12.
මුරණ්ඩු සහ නින්දිතයි
10. කවටකම්කරන්නන් වැරදි බව පේතෘස් ඔප්පු කරන්නේ කොහොමද?
10 එවන් කවටකම්කරන්නන් ඉතා වැදගත් කාරණයක් නොසලකා හරිනවා. ඔවුන් එය වුවමනාවෙන්ම නොසලකා හරින අතර, අන්‍යයන්ටත් එය නොසලකා හැරීමට සලස්වන්න වෑයම් කරනවා. ඇයි? ජනයාව වඩාත් පහසුවෙන් නපුරට කැමති කරවාගන්න ඔවුන්ට පුළුවන් වන පිණිසයි. “මන්ද, ඔවුන්ගේ අභිප්‍රායට එකඟව, මෙම කාරණය ඔවුන්ගේ අවධානයෙන් ගිලිහී යන්නේය” [NW] කියා පේතෘස් ලියයි. මොන කාරණයද? ‘දෙවිගේ වචනය කරණකොටගෙන පුරාණයේ පටන් අහසක්ද වතුරෙන් සම්බන්ධකරනලද්දාවූ, වතුර මධ්‍යයෙහිවූ පොළොවක්ද තිබුණු බවටත්, ඒ කරණකොටගෙන එකලට තිබුණු ලෝකය ජලගැල්මට යටවී විනාශවූ බවටත්’ වූ කාරණයයි. (2 පේතෘස් 3:5, 6) ඔව්, නෝවාගේ දවසේදී ජලගැලීම තුළින් යෙහෝවා පොළොවෙන් දුෂ්ටකම තුරන් කළ අතර, මෙය යේසුත් අවධාරණය කළ කාරණයක්. (මතෙව් 24:37-39; ලූක් 17:26, 27; 2 පේතෘස් 2:5) එනිසා, කවටකම්කරන්නන් කියන දේට පටහැනිව, “මැවීමේ පටන්ගැනීමේ සිට සිදු වූ ආකාරයෙන්ම” හැම දෙයක්ම සිදු වී නැහැ.
11. මුල් ක්‍රිස්තියානීන් නියම කාලයට කලින් ඇති කරගත් මොන අපේක්ෂාවන් නිසාද ඇතැම් අය ඔවුන්ව සමච්චලයට ලක් කළේ?
11 ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන්ට ඒ වන විට සැබෑ නොවූ අපේක්ෂාවන් තිබුණු නිසා, කවටකම්කරන්නන් ඔවුන්ට අවමන් කරන්න ඇති. යේසුගේ මරණයට මදක් කලින්, ඔහුගේ ගෝලයන්, “[දෙවිගේ] රාජ්‍යය වහාම එළිදරව්වේයයි” සිතමින් සිටියා. ඊළඟට, ඔහුගේ නැවත නැඟිටීමෙන් පසු, රාජ්‍යය වහාම පිහිටුවන්න යනවාද කියා ඔවුන් විමසුවා. ඒ වගේම, පේතෘස් තම දෙවන ලිපිය ලියන්න අවුරුදු දහයකට පමණ කලින්, ප්‍රේරිත පාවුල් හෝ ඔහුගේ හවුල් සාමාජිකයන්ගෙන් ලැබුණු බවට පැවසූ, “[යෙහෝවාගේ] දවස ළංවී තිබේයයි” ඇඟවූ ‘වචනයකින්’ හෝ “ලියුමකින්” සමහරුන් ‘කලබල’ වුණා. (ලූක් 19:11; 2 තෙසලෝනික 2:2; ක්‍රියා 1:6) කොහොම වුණත්, යේසුගේ ගෝලයන්ගේ එවන් අපේක්ෂාවන්, බොරු ඒවා නොව, නමුත් නියම කාලයට කලින් ඉස්මතු වූ ඒවා පමණයි. යෙහෝවාගේ දවස ඉදිරියේදී එනවාමයි!
දේවවචනය විශ්වාසදායකයි
12. ‘යෙහෝවාගේ දවස’ පිළිබඳ එහි අනාගතවාක්‍යයන් සම්බන්ධයෙන් දෙවිගේ වචනය විශ්වාසවන්ත බව ඔප්පු කර ඇත්තේ කොහොමද?
12 කලින් ගෙනහැර දැක්වූ පරිදි, යෙහෝවාගේ පළිගැනීමේ දවස ළඟ බවට ක්‍රිස්තියානි යුගයට කලින් සිටි අනාගතවක්තෲන් නිතර අනතුරු ඇඟෙව්වා. යෙහෝවා තම හිතුවක්කාර ජනයාට එරෙහිව විනිශ්චය ක්‍රියාත්මක කළ විට, සුළු පරිමාණයේ ‘යෙහෝවාගේ දවසක්’ පො.යු.පෙ. 607දී පැමිණියා. (ශෙපනියා 1:14-18) පසුව, බබිලෝනිය සහ මිසරය ඇතුළු වෙනත් ජාතීන්, ‘යෙහෝවාගේ එවැනි දවසකට’ ගොදුරු වුණා. (යෙසායා 13:6-9; යෙරෙමියා 46:1-10; ඔබදියා 15) පළමුවන සියවසේ යුදෙව් දේවල පිළිවෙළේ අවසානය ගැනත් පුරෝකථනය කර තිබූ අතර, රෝම හමුදාවන් පො.යු. 70දී යුදය වැනසූ විට එය සිදු වුණා. (ලූක් 19:41-44; 1 පේතෘස් 4:7) එනමුත්, පේතෘස් යොමු දක්වන්නේ විශාලත්වයෙන් සමස්ත ලෝක ජලගැල්ම පවා කුඩාවීමට සලස්වන අනාගත ‘යෙහෝවාගේ දවසක්’ වෙතටයි!
13. මේ දේවල පිළිවෙළේ අවසානය ස්ථිරයි කියන කාරණය පැහැදිලි වන්නේ කුමන ඓතිහාසික නිදර්ශනයෙන්ද?
13 මතු පැමිණෙන ඒ විනාශය පිළිබඳ තම විස්තරය පේතෘස් හඳුන්වා දෙන්නේ: “එම වචනයෙන්” යන්න පැවසීමෙනුයි. ‘දෙවිගේ වචනය කරණකොටගෙන’ ජලගැල්මට කලින් පැවති පොළොව, “වතුරෙන් සම්බන්ධකරනලද්දාවූ, වතුර මධ්‍යයෙහිවූ” බව ඔහු පවසා තිබුණා පමණයි. දෙවිගේ අණට නොහොත් වචනයට අනුව ජලය ඇදහැලුණු විට, බයිබලයෙහි මැවීමේ වාර්තාවෙහි විස්තර කර තිබෙන මෙම තත්වය ජලගැල්ම සිදුවීමට සැලැස්සුවා. පේතෘස් තවදුරටත් මෙසේ පවසයි: “දැන් පවතින අහසද පොළොවද [දෙවිගේ] එම වචනයෙන් විනිශ්චයෙත් අභක්තිකයන්ගේ විනාශයෙත් දවස දක්වා ඉතුරුකරනු ලැබ ගින්නෙන් දැවීමට තබා තිබේ.” (2 පේතෘස් 3:5-7; උත්පත්ති 1:6-8) එසේ සිදු වන බවට යෙහෝවාගේ සහතිකය අපිට තිබෙනවා! ඔහු තම මහත් දවසේ ගිනිමය උදහසින්, “අහසද පොළොවද”—එනම් මේ දේවල පිළිවෙළ—අවසානයකට පත් කරන්න යනවා! (ශෙපනියා 3:8) ඒත් කවදාද?
අන්තිමය පැමිණීම කෙරෙහි තිබෙන මහත් උනන්දුව
14. අපි දැන් “අන්තිම දවස්වල” ජීවත් වන බව අපිට නිසැක විය හැක්කේ ඇයි?
14 අන්තිමය කවදාද පැමිණෙන්නේ කියා දැනගැනීමට යේසුගේ ගෝලයන්ට වුවමනා වුණ බැවින්, ඔවුන් ඔහුගෙන් මෙසේ විමසුවා: “ඔබගේ පැමිණසිටීමටත් දේවල පිළිවෙළේ නිමාවටත් ලකුණ කුමක් වනු ඇද්ද?” [NW] ඔවුන් පැහැදිලිවම අසමින් සිටියේ යුදෙව් පිළිවෙළ අවසන් වෙන්නේ කවදාද කියන එකයි; නමුත් යේසුගේ උත්තරය මූලිකව යොමු වුණේ වර්තමාන ‘අහස සහ පොළොව’ විනාශයට ලක් වෙන්නේ කවදාද යන්න වෙතටයි. යේසු මහත් යුද්ධ, ආහාර හිඟකම්, භූමිකම්පා, රෝග සහ අපරාධ වැනි දේවල් පුරෝකථනය කළා. (මතෙව් 24:3-14; ලූක් 21:5-36) යේසු “දේවල පිළිවෙළේ නිමාව” සඳහා දුන් ලකුණේ ඉටුවීමත්, “අන්තිම දවස්” මොනවාද කියා හඳුන්වනු ලබන දේවල් හැටියට ප්‍රේරිත පාවුල් සඳහන් කළ දේවලුත් අපි 1914 වර්ෂයේ පටන් දැක තිබෙනවා. (2 තිමෝති 3:1-5) සැබවින්ම, මෙම දේවල පිළිවෙළේ අන්තිමය සිදු වෙන්න යන කාලයෙහි අපි ජීවත් වන බවට සාක්ෂි එමටයි!
15. යේසුගේ අවවාදය මධ්‍යයෙහි වුවත්, ක්‍රිස්තියානීන් කුමක් කිරීමට නැඹුරු වී තිබෙනවාද?
15 යෙහෝවාගේ දවස සිදු වෙන්න යන්නේ කවදාද යන්න දැනගැනීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් මහත් උනන්දුවක් පෙන්වා තිබෙනවා. ඒ මහත් උනන්දුව නිසා, එය කවදාද එන්නේ කියන එක තක්සේරු කරන්න ඔවුන් ඇතැම් අවස්ථාවන්වලදී තැත් කර තිබෙනවා. ඒත් යේසුගේ මුල් ගෝලයන් කළාක් මෙන් කිරීමෙන්, නියමිත “කාලය කවදා වේදැයි” අප “නොදන්න” බවට වූ තම ස්වාමියාගේ අවවාදය කල්පනාවට ගන්න ඔවුන් අසමත් වී තිබෙනවා. (මාර්ක් 13:32, 33) ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන් නියම කාලයට කලින් ඇති කරගත් අපේක්ෂාවන් නිසා කවටකම්කරන්නන් ඔවුන්ව අවමානයට ලක් කර තිබෙනවා. (2 පේතෘස් 3:3, 4) කොහොම වුණත්, යෙහෝවාගේ කාලසටහනට අනුව, යෙහෝවාගේ දවස නිසැකවම පැමිණෙන බව පේතෘස් සහතික කරනවා.
යෙහෝවාගේ දෘෂ්ටිය දැරීම අවශ්‍යයි
16. අපි කුමන අනුශාසනාව ප්‍රඥාවන්තව කල්පනාවට ගන්නවාද?
16 අපි කාලය පිළිබඳව යෙහෝවාගේ දෘෂ්ටිය දැරීම අවශ්‍යයි; පේතෘස් අපිට දැන් ඒකයි සිහි කරන්නේ: “නුමුත්, ප්‍රේමවන්තයෙනි, [යෙහෝවාට] එක දවසක් අවුරුදු දහසක්මෙන්ය, අවුරුදු දහසක් එක දවසක්මෙන්ය යන මේ එක කාරණය මතකනැති නොකරන්න.” අවුරුදු 70ක් හෝ 80ක් වන අපේ ආයු කාලය එයත් සමඟ සැසඳුවොත් එය කොතරම් කෙටිද! (2 පේතෘස් 3:8; ගීතාවලිය 90:4, 10) එනිසා දෙවිගේ පොරොන්දුවල ඉටුවීම ප්‍රමාද වෙනවායයි දැනෙනවා නම්, අපි දෙවිගේ අනාගතවක්තෘවරයාගේ අනුශාසනාව පිළිගැනීම අවශ්‍යයි: “[නියමිත කාලය] ප්‍රමාදවෙතත් ඒ ගැන [නොකඩවා, NW] බලාසිටින්න; මක්නිසාද එය පසු නොබැස පැමිණෙනවාම ඇත.”—හබක්කුක් 2:3, ඇල අකුරු අපේය.
17. බොහෝදෙනෙකු අපේක්ෂා කළාටත් වඩා අන්තිම දවස් ඉදිරියට ඇදීගොස් තිබුණත්, අපිට කුමක් ගැන නිසැක විය හැකිද?
17 බොහෝදෙනෙකු අපේක්ෂා කළාටත් වඩා වැඩියෙන් මෙම පිළිවෙළෙහි අන්තිම දවස් ඉදිරියට ඇදීගොස් ඇත්තේ ඇයි? ඊළඟට පේතෘස් පැහැදිලි කරන ආකාරයට එය හොඳ හේතුවක් නිසයි: “ප්‍රමාදයයි සමහරුන් සලකන හැටියට [යෙහෝවා] තමන්ගේ පොරොන්දුව ගැන ප්‍රමාද නොව[න්නේය]; නුමුත් සියල්ලන්ම පසුතැවිලිවෙනවාට මිස කිසිවෙක් විනාශවෙනවාට [ඔහු] නොකැමැතිව, නුඹලා කෙරෙහි බොහෝ කල් ඉවස[න්නේය].” (2 පේතෘස් 3:9) මුළු මනුෂ්‍ය සංහතියේ ශුභසිද්ධියට වඩාත් හොඳ කුමක්ද කියන එක යෙහෝවා සැලකිල්ලට ගන්නවා. ඔහු මනුෂ්‍යයන්ගේ ජීවිත ගැන සැලකිලිමත් වෙනවා; මන්ද ඔහු මෙසේ පවසනවා: “දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත්වෙනවාට මිස, දුෂ්ටයා නසිනවාට මම ප්‍රසන්න නොවෙමි.” (එසකියෙල් 33:11) එබැවින් අපේ සර්ව-ප්‍රඥාවන්ත, ප්‍රේමනීය මැවුම්කරුගේ අරමුණ ඉටු කිරීමට, අන්තිමය වඩාත්ම ගැළපෙන කාලයකදී පැමිණෙයි කියා අපිට නිසැක විය හැකියි!
පහවයන්නේ කුමක්ද?
18, 19. (අ) මෙම දේවල පිළිවෙළ විනාශ කිරීමට යෙහෝවා අධිෂ්ඨානපූර්වකව සිටින්නේ ඇයි? (ආ) පේතෘස් මේ පිළිවෙළේ අවසානය විස්තර කරන්නේ කොහොමද? එමෙන්ම ඇත්තටම විනාශ කරනු ලබන්නේ මොනවාද?
18 යෙහෝවා තමාට සේවය කරන අයට සැබවින්ම ප්‍රේම කරන නිසා, ඔවුන්ට ශෝකය ඇති කරවන හැම කෙනෙක්වම ඔහු සිඳදමන්න යනවා. (ගීතාවලිය 37:9-11, 29) පාවුල් කලින් කළාක් මෙන්, මෙම විනාශය අනපේක්ෂිත කාලයක පැමිණෙන බව ගෙනහැර දක්වමින්, පේතෘස් මෙසේ ලියයි: “සොරෙකුමෙන් [යෙහෝවාගේ] දවස පැමිණෙන්නේය; ඒ දවසේදී අහස මහත් ඝෝෂාවකින් පහවයන්නේය; මහාභූතයෝද තද උෂ්ණයෙන් නාස්තිවී යන්නෝය, පොළොවද එහි තිබෙන කර්මාන්තද දාලායන්නේය [අනාවරණය වන්නේය, NW].” (2 පේතෘස් 3:10; 1 තෙසලෝනික 5:2) සැබෑ අහස සහ පොළොව ජලගැල්මේදී පහව නොගියාක් මෙන්, යෙහෝවාගේ දවසේදීත් ඒවා පහව යන්නේ නැහැ. එසේනම්, “පහවයන්නේ” නැතහොත් විනාශ වෙන්නේ කුමක්ද?
19 “අහස” වගේ මනුෂ්‍යවර්ගයා කෙරෙහි බලපවත්වා ඇති මිනිස් ආණ්ඩු අවසන් වන අතර, “පොළොව” නොහොත් අභක්තික මිනිස් සමාජයත් එලෙසම පහ වේවි. “මහත් ඝෝෂාව” ඇතැම්විට අහසේ ශීඝ්‍ර පහවයෑම අඟවනවා ඇති. අදදින පහත් වූ මිනිස් සමාජය සකස් කිරීමට ඉවහල් වන “මහාභූතයෝ” “නාස්තිවී” යාවි, නැතහොත් විනාශ කරනු ලැබේවි. එමෙන්ම, “පොළොවද එහි තිබෙන කර්මාන්තද” “අනාවරණය වන්නේය.” යෙහෝවා මුළු මහත් ලෝක පිළිවෙළක්ම එහි යුක්තිසහගත අවසානයට ගෙනෙද්දී, ඔහු මනුෂ්‍යයන්ගේ දුෂ්ට ක්‍රියා සහමුලින්ම එළිදරව් කරන්න යනවා.
ඔබේ බලාපොරොත්තුව කෙරෙහි නෙත් යොමාගෙන සිටින්න
20. ඉදිරියෙහි තිබෙන සිදුවීම් පිළිබඳ අපේ දැනුම අපේ ජීවිතයට බලපෑ යුත්තේ කොහොමද?
20 මෙම චමත්කාරජනක සිදුවීම් අතළඟව තිබෙන බැවින්, අපි “ශුද්ධ වූ හැසිරීමේ කටයුතුවල සහ දේවභක්තියේ ක්‍රියාවල” නිරත විය යුතු අතරම, “යෙහෝවාගේ දවසේ පැමිණතිබීම බලාසිටිමින් සහ මනසෙහි ප්රමුඛව තබාගනිමින්” සිටිය යුතු බව පේතෘස් කියනවා. ඒ ගැන කිසිම සැකයක් නැහැ! “අහස ගිනි ඇවිලී නාස්තිවෙනවා ඇත, මහාභූතයෝද දාලා උණුවීයන්නෝය.” (2 පේතෘස් 3:11, NW, 12) මෙම චමත්කාරජනක සිදුවීම් හෙට වුණත් සිදු වෙන්න පටන්ගත හැකි බැවින්, අපි කරන හැම දෙයක්ම හෝ කරන්න සැලසුම් කරන හැම දෙයකටම එය බලපෑ යුතුයි.
21. වර්තමාන අහස සහ පොළොව වෙනුවට පිහිටුවනු ලබන්නේ කුමක්ද?
21 පරණ පිළිවෙළ වෙනුවට එන්නේ කුමක්ද කියා පේතෘස් අපිට දැන් කියන්නේ මෙසේ පවසමිනුයි: “එහෙත් ධර්මිෂ්ඨකම වාසයකරන අලුත් අහසක්ද අලුත් පොළොවක්ද [ඔහුගේ] පොරොන්දුවේ හැටියට අපි බලා සිටිමු.” (2 පේතෘස් 3:13; යෙසායා 65:17) ආහ්, මොනතරම් විශාල සහනයක්ද! ක්‍රිස්තුස් සහ ඔහුගේ සහායක පාලකයන් 1,44,000දෙනාගෙන් “අලුත්” ආණ්ඩුමය “අහස” සෑදෙන්න යන අතර, මේ ලෝකයෙහි අවසානයෙන් බේරී ජීවත් වන ජනයාගෙන් “අලුත් පොළොව” සෑදෙන්න යනවා.—1 යොහන් 2:17; එළිදරව් 5:9, 10; 14:1, 3.
හදිසිතාව සහ සදාචාරමය නිර්මලත්වය පවත්වාගන්න
22. (අ) ඕනෑම ආත්මික කැළලක් හෝ දෝෂයක් මඟහරින්න අපිට උපකාර කරන්න යන්නේ කුමක්ද? (ආ) පේතෘස් අපිට අනතුරු අඟවන්නේ මොන අන්තරාව ගැනද?
22 පේතෘස් තවදුරටත් මෙසේ පවසයි: “ඉන්නිසා, ප්‍රේමවන්තයෙනි, නුඹලා මේ දේවල් බලාසිටින බැවින්, [ඔහු] ඉදිරියෙහි කැලැල් රහිතව, නිදොස්ව, සමාදානයෙන් යුක්තව දකිනු ලබන පිණිස උත්සාහකරන්න. . . . අපගේ [ස්වාමීන්ගේ] ඉවසිලිවන්තකම ගැළවීමයයි සලකන්න.” උනන්දුමත් අපේක්ෂාවකින් බලාසිටිමින්, යෙහෝවාගේ දවස සම්බන්ධයෙන් දැනෙන ඕනෑම ප්‍රමාදයක් දිව්‍යමය ඉවසිලිවන්තකමේ ප්‍රකාශයක් හැටියට සැලකීම ඕනෑම ආත්මික කැළලක් හෝ දෝෂයක් හෝ මඟහැරීමට අපිට උපකාර කරාවි. ඒත්, අනතුරක් පවතී! “අපේ ප්‍රේමවන්ත සහෝදරවූ පාවුල්[ගේ]” ලියවිලිවල, “තේරුම්ගන්ට අමාරු සමහර දේ තිබේ, නූගත් අස්ථිර තැනැත්තෝ අන් ලියවිලිමෙන් තමුන්ගේම විනාශයට ඒවාත් පෙරළති.”—2 පේතෘස් 3:14-16.
23. පේතෘස්ගේ අවසාන අනුශාසනාව කුමක්ද?
23 බොරු ගුරුවරුන් පැහැදිලිවම දෙවිගේ ලබන්න නොවටිනා තරම් වූ කරුණාව ගැන පාවුල් ලියූ දේ පෙරළමින්, නින්දිත හැසිරීමෙහි යෙදීම සඳහා එය නිදහසට කරුණක් ලෙස යොදාගත්තා. පේතෘස් තම සමුගැනීමේ අනුශාසනාව ලියද්දී, ඔහුට මේ දෙය මනසෙහි තිබෙනවා ඇති: “එබැවින්, ප්‍රේමවන්තයෙනි, නුඹලා මේ දේවල් කලින් දැනගන සිටින බැවින්, දුෂ්ටයන්ගේ මුළාවෙන් [නීතිවලට විරුද්ධ වන ජනයාගේ වරදින්, NW] ඇදීගොස් නුඹලාගේම ස්ථිරභාවයෙන් නොවැටෙන පිණිස පරෙස්සම්වෙන්න.” ඔහු තම ලිපිය නිම කරන්නේ මෙසේ උනන්දු කරමින්: “අපගේ ස්වාමිවූ ගැළවුම්කාරවූ යේසුස් [ක්‍රිස්තුස්ගේ] [ලබන්න නොවටිනා තරම් වූ, NW] කරුණාවෙහිද [ඔහුගේ] දැනගැන්මෙහිද [දිගටම, NW] වර්ධනයවෙන්න.”—2 පේතෘස් 3:17, 18.
24. යෙහෝවාගේ සේවකයන් සියල්ලන්ම වැලඳගත යුත්තේ මොන ආකල්පයද?
24 පේතෘස්ට තම සහෝදරයන්ව ශක්තිමත් කරන්න වුවමනා වන බව පැහැදිලියි. මුලින්ම උපුටා දැක්වූ 82 හැවිරිදි ඇදහිලිවන්ත සාක්ෂිකරුවා ඉදිරිපත් කළ ආකල්පය සියල්ලන්ටම තිබීම ඔහුගේ ආශාවයි: “මම ප්‍රේරිතවරයා උනන්දු කළ විදිහටයි මගේ ජීවිතය ගත කරල තියෙන්නේ; ඒ කියන්නේ: ‘යෙහෝවාගේ දවසේ පැමිණතිබීම මනසෙහි ප්රමුඛව තබාගනිමින්.’ මම හැම තිස්සේම පොරොන්දු නව ලෝකය සලකා තියෙන්නේ ‘නොදුටු යථාර්ථයක්’ හැටියටයි.” අපි හැමදෙනාම එයාකාරයෙන්ම අපේ ජීවිත ගත කරමු.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
◻ යෙහෝවාගේ දවස ‘මනසෙහි ප්රමුඛව තබාගැනීම’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
◻ කවටකම්කරන්නන් වුවමනාවෙන්ම නොසලකා හරින්නේ කුමක්ද? ඒ ඇයි?
◻ කවටකම්කරන්නන් ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන්ට අවමන් කර තිබෙන්නේ මොන හේතුවක් නිසාද?
◻ අපි පවත්වාගත යුත්තේ මොන දෘෂ්ටිකෝණයද?
[23වන පිටුවේ පින්තූරය]
යෙහෝවාගේ දවස සහ . . .
[24වන පිටුවේ පින්තූරය]
. . . මතු පැමිණෙන නව ලොව මනසෙහි ප්රමුඛව තබාගන්න