පරිච්ඡේදය 16
පිම්මේ යන අශ්වයන් සතරදෙනා!
දර්ශනය 3—එළිදරව් 6:1-17
සිදු වන දේ: අසරුවන් හතරදෙනාගේ ගමන; පූජාසනය යට සිටින තම දිවි පිදූ සාක්ෂිකරුවෝ; උදහසේ මහත් දවස
ඉටු වන කාලය: වර්ෂ 1914 සිට මේ දුෂ්ට සමාජයේ විනාශය දක්වා
1. යේසුස් විවෘත කරන මේ අපූරු ලියවිල්ලේ අඩංගු දේවල් ගැන යෙහෝවා දෙවි යොහන්ට හෙළි කරන්නේ කෙසේද?
අප ජීවත් වන මේ අර්බුදකාරී කාලයේදී “තව කෙටි කලකින් සිදුවීමට නියමිත දේවල්” ගැන අප ඇත්තටම උනන්දු විය යුතුයි. ඒ අපත් ඒවාට සම්බන්ධ වන නිසයි! දැන් යේසුස් මේ අපූරු ලියවිල්ල විවෘත කිරීමටයි යන්නේ. අපි යොහන් සමඟ එයට අවධානය දෙමු. යොහන්ට එය කියවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එයට හේතුව දෙවි එහි තොරතුරු යොහන්ට දන්වන්නේ ‘සංකේතාත්මකවයි.’ ඔහු ත්‍රාසයෙන් පිරි ජවනිකා කිහිපයක්ම දකිනවා.—එළිදරව් 1:1, 10.
2. (අ) යොහන් දකින්නේ සහ අසන්නේ මොනවාද? කෙරුබ්වරයාගේ පෙනුමෙන් පැහැදිලි වෙන්නේ කුමක්ද? (ආ) පළමු කෙරුබ්වරයාගේ අණ යොමු කෙරෙන්නේ කාටද? ඔබ එසේ පිළිතුරු දෙන්නේ ඇයි?
2 යේසුස් මෙම ලියවිල්ලේ පළමු මුද්‍රාව කඩන විට යොහන් කියන දේට සවන් දෙන්න. “තවද, බැටළු පැටවා මුද්‍රා සතින් එකක් කඩනවා දුටිමි. ජීවීන් හතරදෙනාගෙන් එක් කෙනෙක්, ගිගුරුම් හඬකින් මෙන් කතා කොට, ‘එන්න’ යයි කියනවා මට ඇසුණේය.” (එළිදරව් 6:1) මෙය පළමු කෙරුබ්වරයාගේ කටහඬයි. සිංහයෙකුගේ වැනි පෙනුමක් ඇති මේ කෙරුබ්වරයාගෙන් යොහන්ට පැහැදිලි වන දේ නම්, දෙවි ධර්මිෂ්ඨව තීන්දු කර ඇති දේ ක්‍රියාත්මක කිරීමට ඔහුගේ සංවිධානය නිර්භීතව පියවර ගන්නා බවයි. ‘එන්න’ කියා අණ දෙන්නේ කාටද? මෙම දර්ශනයට හවුල් වෙන්න යොහන්ට දැනටමත් ආරාධනා කර ඇති නිසා මෙහි “ගිගුරුම් හඬකින්” ‘එන්න’ කියා කතා කරන්නේ වෙනත් අයට මිස යොහන්ට නම් නෙවෙයි. (එළිදරව් 4:1) එනම් යොහන් දකින්න යන අපූරු ජවනිකා සතරක පළමුවැන්නට සහභාගි වන අයටයි.
සුදු අශ්වයා සහ තේජවත් අසරුවා
3. (අ) යොහන් දැන් විස්තර කරන්නේ කුමක්ද? (ආ) බයිබලයට අනුව මෙම සුදු අශ්වයාගෙන් නියෝජනය වෙන්නේ කුමක්ද?
3 යොහන් වගේම අද දින දෙවිට උද්යෝගයෙන් සේවය කරන යොහන් පන්තිය සහ වෙනත් බැටළුවන් ඉතා වේගයෙන් සිදු වන සිද්ධීන් මාලාවක් දැන් දකිනවා! යොහන් මෙසේ කියනවා. “බලන්න! සුදු පැහැති අශ්වයෙකු මම දුටිමි. ඌ පිට ඉඳගෙන සිටි තැනැත්තාට දුන්නක් තිබුණේය. ඔටුන්නක්ද ඔහුට දෙන ලදි. ඔහු ජයගනිමින් ගොස් සම්පූර්ණ ජයග්‍රහණයක් ලැබුවේය.” (එළිදරව් 6:2) “එන්න” කියා නැඟූ ඒ බලවත් හඬ නිසා සුදු අසරුවෙක් පැමිණෙනවා. බයිබලයේ අශ්වයන්ව බොහෝ දුරට භාවිත කරන්නේ යුද බලය දැක්වීමටයි. (ගීතාවලිය 20:7; හිතෝපදේශ 21:31; යෙසායා 31:1) මෙම ශක්ති සම්පන්න අශ්වයාගේ දිදුලන සුදු පැහැයෙන් ශුද්ධකම සහ නිකැළැල්භාවය නියෝජනය වෙනවා. (එළිදරව් 1:14; 4:4; 7:9; 20:11 බලන්න.) මේ අනුව මෙම සුදු අශ්වයාගෙන් නියෝජනය වෙන්නේ යෙහෝවා දෙවිගේ ප්‍රමිතියට අනුව සිදු වන සාධාරණ වූ ධර්මිෂ්ඨ වූ යුද්ධයක්.—එළිදරව් 19:11, 14ද බලන්න.
4. සුදු අශ්වයා පිට සිටින අසරුවා කවුද? පැහැදිලි කරන්න.
4 මේ අශ්වයා පිට සිටින අසරුවා කවුද? සාමාන්‍යයෙන් යුද්ධයකදී පාවිච්චි කරන ආයුධයක් වන දුන්නක් ඔහුට තිබෙන අතර, ඔටුන්නක්ද ඔහුට දෙනු ලබනවා. ස්වාමීන්ගේ දවස අතරතුරේදී ඔටුනු පැළඳ සිටින ධර්මිෂ්ඨ අයට සිටින්නේ යේසුස් සහ වැඩිමහල්ලන් 24දෙනාගෙන් නියෝජනය වන පිරිස පමණයි. (දානියෙල් 7:13, 14, 27; ලූක් 1:31-33; එළිදරව් 4:4, 10; 14:14)a නමුත් මේ තැනැත්තා වැඩිමහල්ලන් 24දෙනාගෙන් කෙනෙක් විය නොහැකියි. එයට හේතුව ඔවුන්ගෙන් කෙනෙකුට යම් විශේෂ වරප්‍රසාද ලැබෙන බව එළිදරව් පොතේ සඳහන් වෙන්නේ නැති නිසයි. මේ නිසා මෙම අසරුවා වෙන කිසිවෙකු නොව යේසුස් ක්‍රිස්තුස්ම විය යුතුයි. යොහන් මෙහිදී දකින්නේ ස්වර්ගයේ සිට යෙහෝවා දෙවි “මාගේ රජ්ජුරුවන් සිටෙව්වෙමි” කියා යේසුස් ගැන පැවසූ දේ ඉටු වන ආකාරයයි. “ඔබේ කොටසට පොළොව සීමාන්තය දක්වාද දෙන්නෙමි” කියාද යෙහෝවා දෙවි ඔහුට පැවසුවා. මෙය ඉටු වුණේ යේසුස්ව ස්වර්ගයේ රජු ලෙස 1914දී පත් කළ අවස්ථාවේදීයි. (ගීතාවලිය 2:6-8)b මෙසේ පළමුවන මුද්‍රාව කඩමින් යේසුස් අනාවරණය කරන්නේ ඔටුනු පළන් නව රජු හැටියට යුද්ධ කිරීම සඳහා දෙවි නියම කරන කාලයේදී තමන් පැමිණෙන ආකාරයයි.
5. එළිදරව් 6:2හි ඇති විස්තරයට ගීතිකාකරුගේ විස්තරය සමාන වෙන්නේ කෙසේද?
5 මෙයට සමානව යෙහෝවා දෙවි විසින් පත් කරනු ලබන රජු ගැන ඉතා අලංකාර විස්තරයක් ගීතාවලිය 45:4-7හි දකින්න ලැබෙනවා. එහි මෙසේ සඳහන් වෙනවා. “තේජශ්‍රීයෙන් ජයග්‍රහණය කරා යන්න. සත්‍යයද නිහතමානිකමද ධර්මිෂ්ඨකමද පෙරදැරි කරගෙන අසු පිට නැඟී යන්න. බිය උපදවන දේවල් කිරීමට ඔබේ දකුණත ඔබට උගන්වන්නේය. ඔබේ ඊතල තියුණුය. ඒවා රජුගේ සතුරන්ගේ හදවත් පසාරු කරගෙන යයි. ජනයා ඔබ පාමුල ඇද වැටෙති. සදාකාලයෙන් සදාකාලයට දෙවි ඔබේ සිංහාසනය වන්නේය. ඔබේ රාජ යෂ්ටිය යුක්තිය නමැති රාජ යෂ්ටිය වන්නේය. ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රේම කර, දුෂ්ටකමට වෛර කළෙහිය. එහෙයින් දෙවි, ඔබේම දෙවි, ඔබේ හවුල්කරුවන්ට වඩා ඔබව ප්‍රීතිය නමැති තෛලයෙන් අභිෂේක කළේය.” [NW] මෙම වදන් ගැන දැන සිටි යොහන් ඒවායින් විස්තර කරන්නේ රජු වශයෙන් යේසුස් කටයුතු කරන ආකාරය බව හොඳින් තේරුම්ගන්න ඇති.—හෙබ්‍රෙව් 1:1, 2, 8, 9 බලන්න.
ජය ගනිමින් ඉදිරියට යන්න
6. (අ) අසරුවාට දිගටම ජයගන්න සිදු වෙන්නේ ඇයි? (ආ) මෙසේ යුද්ධ කරන අසරුවාගේ ජයග්‍රාහී ගමන සිදු වෙන්නේ කිනම් කාලය අතරතුරේදීද?
6 යේසුස් රජ වෙන්නේ යෙහෝවා දෙවිගේ ප්‍රධාන සතුරා වන සාතන් නමැති යක්ෂයාගේ සහ ඔහුගේ අරමුණුවලට දැන හෝ නොදැන අනුබල දෙන මිනිසුන්ගේ දැඩි විරෝධය මැදයි. ඔටුනු පළන් මේ නව රජ හැටියට ඔහු ජයගන්නා පිණිස යුද්ධයට යන්නේ ඒ නිසයි. යේසුස් රජ වූ වහාම ස්වර්ගයේ මහා යුද්ධයක්ද ඇති වුණා. මිකායෙල් (අර්ථය “දෙවිට සමාන කවුද?”) යන නම දරමින් සටන් කළ යේසුස්, සාතන්ව හා ඔහුගේ භූතයන්ව පරාජය කර ඔවුන්ව පොළොවට හෙළුවා. (එළිදරව් 12:7-12) දහස් අවුරුදු පාලනයේ අවසානය දක්වාම දිවෙන ස්වාමීන්ගේ දවසේ මුල් දශක ගණනාව පුරාම, එනම් අද දක්වාම යේසුස්ගේ මෙම ජයග්‍රාහී ගමන සිදු වෙනවා. ඒ අතරතුර බැටළු ගුණැති මිනිසුන්වද එක් රැස් කරනු ලබනවා. මේ මුළු ලෝකයම තවමත් “දුෂ්ටයාගේ බලයට යටත්” වී තිබුණත් යේසුස් ඉතා ප්‍රේමණීය ලෙස තම අභිෂේක ලත් සහෝදරයන්ව හා වෙනත් බැටළුවන්ව රැකබලා ගන්නවා. මේ හැම කෙනෙකුටම ඇදහිල්ලේ සටනින් ජයගැනීමට අවශ්‍ය උපකාරද ඔහු ලබා දෙනවා.—1 යොහන් 5:19.
7. ස්වාමීන්ගේ දවසේ මේ දක්වා ගත වූ කාලය තුළ යේසුස් පොළොව මත ලබා ඇති ජයග්‍රහණ මොනවාද? අපේ අධිෂ්ඨානය කුමක් විය යුතුද?
7 ස්වාමීන්ගේ දවසේ මේ දක්වා ගෙවී ඇති වසර 90කට වැඩි කාලයක් පුරා යේසුස් ලබා ඇති වෙනත් ජයග්‍රහණ මොනවාද? ලොව පුරාම දෙවිගේ ජනයාට නොයෙකුත් දුෂ්කරතා හා පීඩාවලට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා. ඔවුන් පෞද්ගලිකව හා සභාවක් හැටියට වුණත් මුහුණ දී ඇති මෙම දුෂ්කරතා පාවුල් වින්ද දේවලට සමානයි. (2 කොරින්ති 11:23-28) විඳදරාගැනීම සඳහා ‘සාමාන්‍යය ඉක්මවූ බලයක්’ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අවශ්‍ය වී තිබෙනවා. එය විශේෂයෙන්ම සැබෑවක් වී තිබෙන්නේ යුද්ධ හා ප්‍රචණ්ඩකාරිත්වය පවතින රටවලයි. (2 කොරින්ති 4:7) නමුත් තත්වය කොතරම් දරුණු වුණත් පාවුල්ට මෙන් එම විශ්වාසවන්ත සාක්ෂිකරුවන්ටද මෙසේ කීමට හැකි වී තිබෙනවා. “ස්වාමීන් මා ළඟ සිටගෙන, මා මාර්ගයෙන් දේශනා කිරීම සම්පූර්ණයෙන්ම ඉටු වන පිණිසත්, සියලු ජාතීන්ට එය අසන්න ලැබෙන පිණිසත් මට බලය දුන්නේය.” (2 තිමෝති 4:17) යේසුස් ඔවුන් වෙනුවෙන් ජයගත්තා. අපිද අපේ ඇදහිල්ලේ සටන සම්පූර්ණයෙන්ම ජයගැනීමට අදිටන් කරගනිමු. එවිට යේසුස් අප වෙනුවෙනුත් දිගටම ජයගන්නා බවට නිසැක වෙන්න අපට පුළුවන්.—1 යොහන් 5:4.
8, 9. (අ) ලොව පුරා සිටින සාක්ෂිකරුවන් ලබා තිබෙන ජයග්‍රහණ මොනවාද? (ආ) යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලබා ඇති වර්ධනය විශේෂයෙන්ම කැපීපෙනෙන්නේ කවර තැන්වලද?
8 ලොව පුරා යෙහෝවාගේ සාක්ෂිකරුවන් තම ජයග්‍රාහී රජුගේ මඟ පෙන්වීම යටතේ බොහෝ ජයග්‍රහණ අත් කරගෙන තිබෙනවා. වර්ෂ 1918දී සාතන් යටතේ ක්‍රියා කරන මේ ලෝකයේ ආණ්ඩු බයිබල් ශිෂ්‍යයන්ට එරෙහිව තාවකාලික ‘ජයක්’ ලැබුවත් ඔවුන්ව සම්පූර්ණයෙන් විනාශ කර දමන්න යේසුස් ඉඩ දුන්නේ නැහැ. වර්ෂ 1919දී ඔවුන්ව සිරභාරයෙන් නිදහස් කරගත් යේසුස්, “පොළොවේ ඈත කෙළවරෙහි ඇති ස්ථානය දක්වා” ශුභාරංචිය ප්‍රකාශ කිරීම පිණිස ඔවුන්ව ශක්තිමත් කළා.—එළිදරව් 13:7; ක්‍රියා 1:8.
9 දෙවන ලෝක මහා යුද්ධයට පෙර සහ ඒ අතරතුර බොහෝ රටවල ඒකාධිපති බලවතුන් උත්සාහ කළේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් සම්පූර්ණයෙන්ම නැති කර දමන්නටයි. නමුත් මෙම රටවල සිටි ආගමික නායකයන්, විශේෂයෙන්ම කතෝලික සභාවේ නායකයන් එම පාලකයන්ට කෙළින්ම හෝ වක්‍රාකාරව ඒ සඳහා සහයෝගය දුන්නා. ඒ වුණත් 1939දී දෙවන ලෝක යුද්ධය ආරම්භ වන විට ලොව පුරා සිටි සාක්ෂිකරුවන් 71,509දෙනා එම යුද්ධය අවසන් වූ 1945දී 1,41,606ක් දක්වා වැඩි වුණා. මොවුන්ගෙන් 10,000ක් පමණ දෙනෙක් සිරගතව හා ගාල් කඳවුරුවල සිටිද්දීත් 2,000ක් පමණ ඝාතනය කර තිබියදීත් මෙවැනි වර්ධනයක් ඇතිවීම විශේෂයි. එදා පටන් අද දක්වා ක්‍රියාශීලී සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව මිලියන හයකට වඩා වැඩි වී තිබෙනවා. වැඩිම වර්ධනයක් සිදු වී තිබෙන්නේ කතෝලික රටවලයි. ඒ වගේම ඉතා දරුණු ලෙස පීඩා ඇති වූ ඉතාලිය, ජපානය සහ ජර්මනිය වැනි රටවලයි. මේ රටවල් තුනේ පමණක් දැන් ක්‍රියාශීලී සාක්ෂිකරුවන් 6,00,000කට වඩා සිටිනවා.—යෙසායා 54:17; යෙරෙමියා 1:17-19.
10. අපගේ ජයග්‍රාහී රජ, ‘ශුභාරංචිය වෙනුවෙන් කතා කරන්නත්, එය නීත්‍යනුකූලව පිහිටුවන්නත්’ අවශ්‍ය ජයග්‍රහණ ලබන්න ආශීර්වාද කර තිබෙන්නේ කෙසේද?
10 අපගේ ජයග්‍රාහී රජ උද්යෝගයෙන් ක්‍රියා කරන සිය ජනයාට තවත් පැතිවලින් ආශීර්වාද කර තිබෙනවා. ඒ අධිකරණය හා පාලකයන් ඉදිරියේ “ශුභාරංචිය වෙනුවෙන් කතා කිරීමේදීත්, එය නීත්‍යනුකූලව පිහිටුවීමේදීත්” ජයග්‍රහණ කිහිපයක්ම ලබාගැනීමටයි. (ෆිලිප්පි 1:7; මතෙව් 10:18, 24:9) මේ අතරින් ආජෙන්ටිනාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ග්‍රීසිය, තුර්කිය, ස්වාසිලන්තය, ස්විට්සර්ලන්තය සහ තවත් රටවල් ගණනාවක නීතිය මගින් ලැබූ ජයග්‍රහණ ගැන සඳහන් කළ හැකියි. එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් දිනා ඇති නඩු 50 අතරින් “ප්‍රසිද්ධියේ හා ගෙයින් ගෙට” ශුභාරංචිය පතළ කිරීමේ අයිතියද, පිළිම වන්දනාවකට සමාන දේශානුරාගී උත්සවලවලට සහභාගි වීමෙන් වැළකී සිටීමේ අයිතියද දිනාගෙන තිබීම විශේෂත්වයක්. (ක්‍රියා 5:42; 20:20; 1 කොරින්ති 10:14) මෙසේ, ලොව පුරා සාක්ෂියක් දැරීමට මාර්ගය විවෘත වී තිබෙනවා.
11. (අ) අසරුවා තම ‘ජයග්‍රහණය සම්පූර්ණ කරන්නේ’ කෙසේද? (ආ) දෙවෙනි, තුන්වෙනි සහ හතරවෙනි මුද්‍රාවන් කඩන විට, එය අපට බලපෑ යුත්තේ කෙසේද?
11 යේසුස් තම ‘ජයග්‍රහණය සම්පූර්ණ කරන්නේ’ කෙසේද? ඔහු එසේ කරන්නේ අසත්‍යය උගන්වන සියලුම ආගම් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමෙන් සහ ඉන්පසුව සාතන්ගේ දෘශ්‍යමාන සංවිධානයට අයත් සියලුම ඉතිරි කොටස් සදාකාල විනාශය සංකේතවත් කරන ‘ගිනි විලට’ හෙළීමෙනුයි. මේ අන්දමින් යෙහෝවා දෙවි විශ්වයේ නියම පාලකයාණන් බවට තහවුරු කරනු ලබනවා. එදාට “රජවරුන්ගේ රජ” වන අපගේ ස්වාමීන් වන යේසුස්, සාතන්ගේ බලය යටතේ පවතින පීඩිත දේශපාලන බලවතුන් අන්ත පරාජයට ලක් කරන ඒ දවසේ පැමිණීම දෙස අපට මහත් නිසැකකමින් යුතුව බලා සිටිය හැකියි. (එළිදරව් 16:16; 17:14; 19:2, 14-21; එසකියෙල් 25:17) ඒ අතර කාලයේදී යෙහෝවා දෙවි පොළොව මත වර්ධනය වන තම ධර්මිෂ්ඨ ජාතියට අවංක හදවත් ඇති අයව එක් රැස් කරද්දී, සුදු අශ්වයා පිට සිටින මෙම අපරාජිත අසරුවා තම ගමනේ දිගටම යෙදෙනවා. (යෙසායා 26:2; 60:22) දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය පතළ කිරීමේ ප්‍රීතිමත් කාර්යයට ඔබත් අභිෂේක ලත් යොහන් පන්තිය සමඟ හවුල් වෙනවාද? ඔබ එසේ කරමින් සිටිනවා නම් ඊළඟ මුද්‍රා තුන කඩන විට යොහන් දකින දෙයින් යෙහෝවා දෙවිගේ සේවයේ තවත් වැඩියෙන් හවුල් වෙන්න ඔබ පෙලඹෙනවාට සැකයක් නැහැ.
මේ බලන්න! ගින්දර පැහැති අශ්වයෙක්!
12. ස්වර්ගයේ රජ බවට තමන් පත් වන විට පොළොවේ කුමක් සිදු වන බවද යේසුස් පැවසුවේ?
12 යේසුස් පොළොව මත සිටි අවසන් දවස් කිහිපයේදී ඔහුගේ ගෝලයන් ඔහු ළඟට පැමිණ, “ඔබේ පැමිණ සිටීමටද, සමාජ ක්රමයේ අවසාන කාල පරිච්ඡේදයටද ලකුණ කුමක්ද” යයි විමසුවා. ඊට පිළිතුරු දෙමින් යේසුස් මෙසේ පැවසුවා. “ජාතියක් ජාතියකට විරුද්ධවද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවද නැඟී සිටිනු ඇත. මහත් භූමිකම්පාද එක් තැනක් පාසා තවත් තැනක වසංගතද ආහාර හිඟකම්ද ඇති වන්නේය. භයංකාර දර්ශනද ස්වර්ගයෙන් මහත් ලකුණුද වන්නේය.” මේ සියල්ල කී පසු එය “වේදනාවල පටන්ගැන්මක්” වන බවත් ඔහු පැවසුවා. (මතෙව් 24:3, 7, 8; ලූක් 21:10, 11) ලියවිල්ලේ ඉතිරි මුද්‍රා කඩන විට යොහන් දකින දේවල් යේසුස් කී ඒ අනාවැකියට කැපීපෙනෙන අයුරින් සමාන වෙනවා. තේජසට පත් යේසුස් දැන් දෙවෙනි මුද්‍රාව කඩන්න සූදානම්!
13. යොහන් දැන් දකින්න යන දේ ඔහු දකින කෙරුබ්වරයාට වෙනස් වෙන්නේ කෙසේද?
13 “ඔහු දෙවන මුද්‍රාව කැඩූ විට, දෙවන ජීවියා කතා කොට, ‘එන්න!’ යයි කියනවා මට ඇසුණේය.” (එළිදරව් 6:3) ඒ කතා කරන්නේ වස්සෙකුගේ පෙනුමක් ඇති දෙවෙනි කෙරුබ්වරයායි. මෙයින් නියෝජනය වන ලක්ෂණය නම් ධර්මිෂ්ඨ ලෙස යොදාගන්නා බලයයි. නමුත් යොහන් දැන් දකින්නේ බලයේ ඊට සම්පූර්ණයෙන්ම වෙනස් පැත්තක්. එනම් එය ඉතා දරුණු මෙන්ම භයානක ආකාරයකින් විදහාපෙන්වනු ලබන විදිහක්.
14. යොහන් ඊළඟට දකින අශ්වයා සහ අසරුවා විස්තර කරන්න. මේ දර්ශනයෙන් සංකේතවත් කරන්නේ කුමක්ද?
14 “එන්න!” යනුවෙන් දුන් දෙවන අණට පිළිතුරු ලැබෙන්නේ මෙසේයි. “එවිට තවත් අශ්වයෙක්, එනම් ගින්දර පැහැති අශ්වයෙක් පිටත්ව ආවේය. ඌ පිට ඉඳගෙන සිටි තැනැත්තාට, මිනිසුන් ඔවුනොවුන් මරාගන්නා පිණිස, පොළොවෙන් සමාදානය පහ කිරීමට අවසර දෙන ලදි. මහත් කඩුවක්ද ඔහුට දෙන ලදි.” (එළිදරව් 6:4) ඇත්තෙන්ම මෙය භයංකර දසුනක්! ගින්දර පැහැති අශ්වයා සහ අසරුවාගෙන් සංකේතවත් වන දේ ඉතා පැහැදිලියි. ඒ තමයි යුද්ධය. නමුත් ඒ යුද්ධය යෙහෝවා දෙවි විසින් පත් කළ ජයග්‍රාහී රජු කරන ධර්මිෂ්ඨ යුද්ධයක් නම් නෙවෙයි. නමුත් එයින් නියෝජනය වෙන්නේ මිනිසා ඉවක් බවක් නැතුව ලේ වගුරුවමින් ලොව පුරා සිදු කරන කෲර යුද්ධයි. මේ දේ නියෝජනය කිරීමට ගින්දර පැහැති අශ්වයෙකු යොදාගැනීම කොතරම් උචිතද!
15. අප දෙවෙනි අසරුවාගේ ගමනට කිසිම විදිහකින් හවුල් නොවිය යුත්තේ ඇයි?
15 මේ අසරුවා සමඟ ඔහුගේ මාරාන්තික ගමනට හවුල් වෙන්න යොහන්ට නම් කිසිම වුවමනාවක් නැති බව නිසැකයි. එයට හේතුව දෙවිගේ ජනයා “තවත් යුද්ධ ඉගෙන නොගන්නෝය” කියා අනාවැකිවල ලියා තිබීමයි. (යෙසායා 2:4) යොහන් මෙන්ම අද දින ජීවත් වන යොහන් පන්තිය සහ මහත් සමූහය තවමත් මේ “ලෝකයේ” ජීවත් වුණත් ඔවුන් ලේ වගුරවා ඇති මේ සාපරාධී මිනිස් සමාජයේ “කොටසක්” නෙවෙයි. අපගේ යුද්ධය වෙනස් ආකාරයේ එකක්. ඒ යක්ෂයාට සහ ඔහුගේ භූතයන්ට එරෙහිවයි. අපගේ ආයුධත් වෙනස්. ඒවාට ‘බලය ලැබෙන්නේ දෙවිගෙන්.’ ඒවා භාවිත කරන්නේ සත්‍යය ඉතා ප්‍රබල ලෙස ප්‍රකාශ කිරීමටයි.—යොහන් 17:11, 14; 2 කොරින්ති 10:3, 4.
16. රතු අශ්වයා පිට හිඳින අසරුවාට “මහත් කඩුවක්” දුන්නේ කවදාද? කෙසේද?
16 මෙම රතු අශ්වයා පිට සිටින අසරුවාට “මහත් කඩුවක්” දීමෙන් අදහස් කරන්නේ කුමක්ද? ඉන් අදහස් වෙන්නේ මිනිසා කරන යුද්ධ කොතරම් මාරාන්තික මෙන්ම විනාශකාරී මුහුණුවරක් ගෙන තිබෙනවාද යන්නයි. සුදු අශ්වයා පිට සිටින අසරුවාට ඔටුන්න ලැබූ 1914 පටන් අප මෙය විශේෂයෙන්ම දකිනවා. මෙයට ප්රබලතම උදාහරණය වෙන්නේ පළමු ලෝක මහා යුද්ධය පටන් උදා වූ කාලයයි. මහා ලේ වැගිරීමක් සිදු වූ 1914-1918 දක්වා වූ එම කාලය තුළදී යුද්ධ ටැංකි, විෂ වායු, ගුවන් යානා, සබ්මැරීන, විශාල කාල තුවක්කු සහ ස්වයංක්‍රීය අවි වැනි දේවල් මහා පරිමාණයෙන් යොදාගත්තා. ඉන් සමහරක් දේවල් යුද්ධයකදී භාවිත කළේ පළමු වතාවටයි. රටවල් 28ක සිටි සොල්දාදුවන් පමණක් නොව සාමාන්‍ය වැසියන් පවා සමස්ත යුද ව්‍යාපාරයට යම් යම් ආකාරවලින් යොදාගනු ලැබුවා. මේ යුද්ධයේදී හමුදා භටයන් මිලියන නවයකට වඩා ඝාතනය කරනු ලැබූ අතර, මිය ගිය හෝ බරපතළ තුවාල ලැබූ සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව හිතාගන්නටවත් බැරි තරම්. පළමු ලෝක මහා යුද්ධයේ අවසානයෙන් පසුව වුණත් කිසිම විටෙක ලොවේ කිසිම තැනක සැබෑ සාමය උදා වුණේ නැහැ. මේ යුද්ධයෙන් වසර 50කට වැඩි කලක් ගත වූවායින් පසුව ජර්මානු දේශපාලන නායකයෙකු වූ කොන්රඩ් ඇඩනොයර් මෙසේ පැවසුවා. “වර්ෂ 1914 පටන් මිනිසුන්ගේ ජීවිතවලින් සාමය හා සුරක්ෂිතභාවය අතුරුදහන් වී තිබෙනවා.” මේ අනුව ගින්දර පැහැති අශ්වයා පිට සිටින අසරුවාට පොළොවෙන් සමාදානය පහ කිරීමට අවසර ලැබී තිබෙන බව ඉතා පැහැදිලියි.
17. පළමු ලෝක මහා යුද්ධයෙන් පසුවත් “මහත් කඩුව” දිගටම භාවිත කර තිබෙන්නේ කෙසේද?
17 ලේ රසය අද්දුටු මේ අසරුවා එතැනින් නතර නොවී දෙවන ලෝක මහා යුද්ධයෙත් ගිනි ඇවිළුවා. මිනිසුන්ව මරා දමන්න යොදාගත් අවි තවත් මාරාන්තික වුණා. දෙවන ලෝක මහා යුද්ධයේ ගොදුරු බවට පත් වූ මිනිස් ජීවිත සංඛ්‍යාව පළමු ලෝක මහා යුද්ධයේ මෙන් හතර ගුණයක්. වර්ෂ 1945දී පරමාණු බෝම්බ දෙකක් ජපානයට හෙළුවේ ලක්ෂ ගණනක් දෙනෙක්ව ඇසිපිය හෙළන ක්ෂණයකින් මරා දමමිනුයි. දෙවන ලෝක මහා යුද්ධ කාලයේදී රතු අශ්වයා පිට හිඳින අසරුවා යුද්ධයෙන් මිනිස් ජීවිත මිලියන 55ක් ඩැහැගත්තා. එයිනුත් තම ලේ පිපාසය සන්සිඳුවා නොගත් මෙම අසරුවා දෙවන ලෝක මහා යුද්ධයෙන් පසුව පවා තවත් මිනිස් ජීවිත මිලියන 20කට වඩා වැඩි ගණනක් තම ‘මහත් කඩුවෙන්’ මරා දැමූ බවට වාර්තා වෙනවා.
18, 19. (අ) දෙවන ලෝක මහා යුද්ධය පටන් යුද තාක්ෂණය බොහෝ සෙයින් දියුණු වුණත් සිදු වූ ඝාතනවලින් පැහැදිලි වෙන්නේ කුමක්ද? (ආ) මිනිස් වර්ගයා මුහුණ දෙන්නේ කිනම් අනතුරටද? සුදු අශ්වයා පිට සිටින අසරුවා එය වළක්වන්නේ කෙසේද?
18 සිදු වී ඇති යුද්ධ දෙස බලද්දී යුද තාක්ෂණය බොහෝ සෙයින් දියුණු වී ඇති බව පෙනෙනවා. නමුත් මින් අපට ප්රබලව පැහැදිලි වෙන්නේ සිත් පිත් නැති රතු අශ්වයා දිගටම ගමන් කරන බවයි. මෙම අශ්වයාගේ ගමන කොහෙන් කෙළවර වෙයිද? සැලසුම්සහගත න්‍යෂ්ටික යුද්ධයක් ඇති වෙයි කියා තිබෙන බිය මදිවට ඇතැම් විද්‍යඥයන් දැන් කියන්නේ හදිසියේ වැරදීමකින් වුණත් න්‍යෂ්ටික යුද්ධයක් ඇති විය හැකි බවයි. නමුත් සුදු අශ්වයා පිට සිටින අසරුවා මෙයට කොහොමටවත් ඉඩ දෙන්නේ නැහැ.
19 මේ මිනිස් සමාජය තුළ ජාතිවාදය, වෛරය හා අහංකාරය තිබෙන තාක් කල් න්‍යෂ්ටික යුද්ධයක් ඇති වෙයි කියන බිය නම් නැති වෙන්නේ නැහැ. එම බිය නිසා සියලුම ජාතීන් තමන් සතු න්‍යෂ්ටික අවි සියල්ලම නැති කර දැම්මත් ඒවා නිපදවීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ඔවුන්ට තිබෙනවා. ඒ නිසා අවශ්‍ය ඕනෑම අවස්ථාවක එම මාරාන්තික අවි නැවතත් නිෂ්පාදනය කරන්න ඔවුන්ට පුළුවන්. එවැනි අවස්ථාවකදී හටගන්නා යුද්ධයක් පහසුවෙන්ම න්‍යෂ්ටික සමූලඝාතනයක් දක්වා උත්සන්න විය හැකියි. මේ ලෝකයේ ජාතීන් අතර පවතින වෛරය හා අහංකාරය නිසා මිනිස් සංහතිය සිටින්නේ කොතරම් අනතුරකද! අපගේ පිහිටට සිටින්නේ සුදු අශ්වයා පිට සිටින අසරුවායි. ගින්දර පැහැති අශ්වයාගේ මාරාන්තික ගමන නතර කිරීමට ඔහු පියවර ගන්නවා නිසැකයි. අපගේ රජ වූ යේසුස් ක්‍රිස්තුස් සාතන්ගේ පාලනය යටතේ පවතින මෙම දුෂ්ට ලෝකය සම්පූර්ණයෙන්ම පරාජය කරනවා. ඒ වෙනුවට සාමය සඳහා වඩාත්ම ස්ථිර පදනමක් සපයන ප්‍රේමය එනම් දෙවිට සහ එකිනෙකාට දක්වන ප්‍රේමය පදනම් කරගත් අලුත් සමාජයක් බිහි කිරීමට ඔහු පියවර ගන්නවා. යුද බිය වැළැක්වීමට මිනිසුන් දරන ව්‍යාජ ප්‍රයත්නවලට වඩා ඒ බලාපොරොත්තුව කොතරම් ස්ථිරද! එමනිසා අපි එම පොරොන්දුව කෙරෙහි අපගේ විශ්වාසය තබමු.—ගීතාවලිය 37:9-11; මාක් 12:29-31; එළිදරව් 21:1-5.
කලු අශ්වයෙක් පිටතට එයි
20. සුදු අශ්වයා පිට සිටින අසරුවා ඕනෑම දරුණු දෙයක් ඉවත් කරයි කියා විශ්වාස කරන්න අපට තිබෙන පදනම කුමක්ද?
20 දැන් යේසුස් කඩන්නේ තුන්වෙනි මුද්‍රාවයි. යොහන්ට දැන් පෙනෙන්නේ කුමක්ද? “ඔහු තුන්වන මුද්‍රාව කැඩූ විට, තුන්වන ජීවියා කතා කොට, ‘එන්න!’ යයි කියනවා මට ඇසුණේය.” (එළිදරව් 6:5අ) තුන්වෙනි කෙරුබ්වරයාට “මිනිසෙකුගේ මෙන් මුහුණක්” තිබෙන බව ඔබට මතක ඇති. මෙය සතුටට හේතුවක්. මන්ද මේ මිනිස් මුහුණෙන් නියෝජනය වෙන්නේ ප්‍රේමය නමැති ගුණාංගයයි. එයින් අපට සිහි වෙන්නේ යෙහෝවා දෙවිගේ සංවිධානය පුරාම දකින ප්‍රේමය මතු පැමිණෙන පාරාදීස පොළොවේදීත් රජයන බවයි. ඒ ප්‍රේමය සැබෑ ප්‍රේමයක්, ස්ථිර ප්‍රතිපත්ති මත පදනම් වූ ප්‍රේමයක්. (එළිදරව් 4:7; 1 යොහන් 4:16) මේ අනුව ‘දෙවි සියලු සතුරන් තම පාද යට දමන තුරු රජකම්’ කරන සුදු අශ්වයා පිට හිඳින අසරුවා හෙවත් යේසුස් ප්‍රේමණීය ලෙස පියවර ගනිමින් යොහන් ඊළඟට දකින දරුණු දේත් ඉවත් කරයි කියා අපට නිසැක විය හැකියි.—1 කොරින්ති 15:25.
21. (අ) කලු අශ්වයා සහ ඌ පිට සිටින අසරුවාගෙන් සංකේතවත් වෙන්නේ කුමක්ද? (ආ) කලු අශ්වයා තවමත් පිම්මේ යන බව ඔප්පු වෙන්නේ කෙසේද?
21 “එන්න!” කියා දෙන තුන්වන නියෝගයට පිළිතුරක් හැටියට යොහන් දකින්නේ කුමක්ද? “බලන්න! කලු පැහැති අශ්වයෙකු මම දුටිමි. ඌ පිට ඉඳගෙන සිටි තැනැත්තා අතේ තරාදියක් තිබුණේය.” (එළිදරව් 6:5ආ) මෙයින් නියෝජනය වෙන්නේ දරුණු සාගතයක්! මෙය නම් කොහෙත්ම ප්‍රීතිමත් පණිවුඩයක් නෙවෙයි. ආහාර තරාදිවලින් කිරා සලාක ක්‍රමයට බෙදා දෙන කාලයක් ස්වාමීන්ගේ දවසේ ආරම්භයේ සිට උදා වෙන බව ඉන් දැක්වෙනවා. මෙය සැබෑවක් වෙමින් 1914 පටන් ලොව පුරා දරුණු ලෙස සාගත පැවත තිබෙනවා. මිනිසුන්ට ආහාර සැපයීම සඳහා සාමාන්‍යයෙන් වෙන් කර ඇති අරමුදල් අවි නිෂ්පාදනය සඳහා භාවිත කරනවා. ගොවිතැන් කරන අයව යුද්ධයට බඳවාගන්නවා. යුද්ධ නිසා සරු වගාබිමුත් විනාශ වෙනවා. මෙවැනි හේතු නිසා ආහාර නිෂ්පාදනය අඩු වී යනවා. නවීන කාලවල සිදු වන යුද්ධ නිසා සාගත ඇති වන ආකාරය මෙයින් පැහැදිලි වෙනවා. පළමු ලෝක යුද්ධ සමයේදී මිලියන ගණනක් කුසගින්නේ මිය ගියේ මේ නිසයි. මේ යුද්ධය නිමා වුණත් කලු අශ්වයා පිට සිටින අසරුවා නතර වුණේ නැහැ. එක්දහස් නවසිය තිස් ගණන්වලදී, යූක්‍රේනයේ පැවති එක සාගතයකින් මිනිසුන් මිලියන පහක් මිය ගියා. දෙවෙනි ලෝක මහා යුද්ධය නිසාද තවත් ආහාර හිඟකම් සහ සාගත ඇති වුණා. එතැනිනුත් කලු අශ්වයා නතර වී නැහැ. ලෝක ආහාර කවුන්සලය නමැති සංවිධානය 1987දී කළ සමීක්ෂණයකට අනුව මිනිසුන් මිලියන 512ක පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන අතර, සෑම දවසකම දරුවන් 40,000ක් කුසගින්න නිසා මිය යනවා.
22. (අ) කටහඬකින් කියන දේ කුමක්ද? කුමක අවශ්‍යතාව ගැනද කියන්නේ? (ආ) තිරිඟු කිලෝ එකක මිලෙන් සහ බාර්ලි කිලෝ තුනක මිලෙන් පැහැදිලි වෙන්නේ කුමක්ද?
22 යොහන් තවදුරටත් මෙසේ කියනවා. “එවිට, ජීවීන් සතරදෙනා මැද ඇති වූ හඬක් වැනි වූ හඬක් මට ඇසුණේය. එය, ‘තිරිඟු කිලෝ එකක් ඩිනාරියකි. බාර්ලි කිලෝ තුනක් ඩිනාරියකි. ඔලීව තෙල්වලටවත් වයින්වලටවත් අනතුරක් නොකරන්න’ යයි කියනවා මට ඇසුණේය.” (එළිදරව් 6:6) අරපිරිමැස්මෙන් ආහාර බෙදා දීමේ අවශ්‍යතාව කෙරුබ්වරු හතරදෙනාම එක හඬින් අවධාරණය කරනවා. මෙයින් අපට මතක් වෙන්නේ ක්‍රි.පූ. 607දී යෙරුසලම විනාශ වීමට පෙරාතුව එහි ජනයාට භීතියෙන් ‘කෑම කිරා පිරිමසා කෑමට හා වතුර මැන බීමට’ සිදු වූ කාලයයි. (එසකියෙල් 4:17) යොහන්ගේ කාලයේදී තිරිඟු කිලෝ එකක් යනු යුද භටයෙකුට දවසකට ලැබෙන කෑම සලාකයයි. තිරිඟු කිලෝ එකක් මිල දී ගැනීමට නම් ඩිනාර් එකක් වැය වුණා. එය සාමාන්‍යයෙන් දවසකට ලැබෙන වැටුපයි. (මතෙව් 20:2)c මේ පුද්ගලයාට දරු පවුලක් හිටියා නම් ඒ වෙනුවට නොපාහින ලද බාර්ලි කිලෝ තුනක් මිලට ගන්න ඔහුට හැකියාව තිබුණා. ඒත් එය සරිලන්නේ කුඩා පවුලකට පමණයි. අනෙක බාර්ලි, තිරිඟු තරම් ඉස්තරම් ආහාරයක් හැටියට සැලකුවේ නැහැ.
23. “ඔලීව තෙල්වලටවත් වයින්වලටවත් අනතුරක් නොකරන්න” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
23 “ඔලීව තෙල්වලටවත් වයින්වලටවත් අනතුරක් නොකරන්න” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? සමහරුන් මෙය දකින්නේ බහුතරය සාගතයෙන් හෝ හාමතෙන් පවා පෙළුණත්, ධනවතුන්ගේ සුඛෝපභෝගී ජීවිතයට කිසිම හානියක් එල්ල නොවන බවයි. නමුත් මැද පෙරදිග රටවල තෙල් සහ වයින් සුඛෝපභෝගී දේවල් ලෙස සැලකෙන්නේ නැහැ. බයිබලය ලියූ කාලවලදී රොටි, තෙල් සහ වයින් සලකනු ලැබුවේ අත්‍යවශ්‍ය ආහාර හැටියටයි. (උත්පත්ති 14:18ද, ගීතාවලිය 104:14, 15ද බලන්න.) බීමට සුදුසු ජලය සොයාගැනීම අපහසු දෙයක් වූ නිසා වයින් භාවිතයට ඔවුන් හුරු වූ අතර, එය ඖෂධයක් හැටියටත් භාවිත වුණා. (1 තිමෝති 5:23) එලියාගේ කාලයේ සාරෆෙත්හි විසූ වැන්දඹුව දිලිඳු කෙනෙක් වුණත් ඉතිරි පිටිවලින් යම් ආහාරයක් සාදාගැනීම සඳහා තෙල් ටිකක් තබාගෙන සිටියා. (1 රාජාවලිය 17:12) ඒ නිසා “ඔලීව තෙල්වලටවත් වයින්වලටවත් අනතුරක් නොකරන්න” යන නියෝගයෙන් පෙනෙන්නේ අත්‍යවශ්‍ය ආහාර නාස්ති නොකර අරපරෙස්සමින් පාවිච්චි කරන ලෙසයි. එසේ නොකළොත් ඊට ‘හානි වේවි.’ එනම් සාගතය නිමවීමට පෙර ඒවා අවසන් වේවි.
24. කලු අශ්වයාගේ ගමන තව වැඩි කාලයක් නොපවතින්නේ ඇයි?
24 සුදු අශ්වයා පිට සිටින අසරුවා ඉතාමත් ළඟදී ඒ කලු අශ්වයාගේ ගමන නතර කරනවා. එය මොන තරම් ප්‍රීතියට හේතුවක්ද! යේසුස්ගේ පාලනය යටතේ උදා වන පාරාදීස පොළොව ගැන මෙසේ ලියා තිබෙනවා. “ඔහුගේ පාලන සමයේදී ධර්මිෂ්ඨයා සාර්ථක වන්නේය. සඳ පවතින තෙක් බොහෝ සමාදානය තිබෙන්නේය. . . . පොළොව ධාන්‍යවලින් පිරී යන්නේය. කඳු මුදුන්ද ධාන්‍යවලින් පිරී ඉතිරී යන්නේය.”—ගීතාවලිය 72:7, 16, NW; යෙසායා 25:6-8ද බලන්න.
සුදුමැලි අශ්වයා සහ අසරුවා
25. යේසුස් හතරවෙනි මුද්‍රාව කඩන විට යොහන්ට ඇසෙන්නේ කාගේ හඬද? මින් අදහස් වෙන්නේ කුමක්ද?
25 යේසුස් දැන් හතරවෙනි මුද්‍රාව කඩනවා. එහි ප්‍රතිඵලය ගැන යොහන් කියන්නේ මෙයයි. “ඔහු හතරවන මුද්‍රාව කැඩූ විට, ‘එන්න’ යයි කියන හතරවන ජීවියාගේ කටහඬ මට ඇසුණේය.” (එළිදරව් 6:7) මේ ඉගිලෙන රාජාලියෙකුගේ පෙනුමක් තිබෙන කෙරුබ්වරයාගේ හඬයි. මින් අදහස් කරන්නේ දුරදක්නා නුවණ හෙවත් ප්රඥාවයි. ඇත්තටම යොහන්ටද, යොහන් පන්තියටද, මිහිපිට දෙවිට සේවය කරන අන් සියලුදෙනාටද දුරදක්නා නුවණක් අවශ්‍යමයි. අද ලෝකයේ සිටින හිතුවක්කාර දුරාචාර ජීවිත ගත කරන මිනිසුන්ට අත් විඳින්න සිදු වී ඇති වසංගතවලින් යම් ආරක්ෂාවක් අපට ලබාගත හැක්කේ එවිටයි.—1 කොරින්ති 1:20, 21.
26. (අ) හතරවෙනි අසරුවා කවුද? ඔහුගේ අශ්වයාව විස්තර කරන පාට ඌට ගැළපෙන්නේ ඇයි? (ආ) හතරවෙනි අසරුවාට පසුපසින්ම පැමිණෙන්නේ කවුද? ඊට ගොදුරු වන අයට සිදු වෙන්නේ කුමක්ද?
26 සතරවන අසරුවා ඒ හඬට ප්‍රතිචාරය දක්වද්දී මතු වන භයංකර දේවල් මොනවාද? යොහන් අපට මෙසේ කියනවා. “බලන්න! සුදුමැලි අශ්වයෙකු මම දුටිමි. ඌ පිට ඉඳගෙන සිටි තැනැත්තාගේ නම මරණයයි. මිනී වළද ඔහු පසුපසින්ම ගියේය.” (එළිදරව් 6:8අ) මේ අන්තිම අසරුවාගේ නම මරණයයි. එළිදරව් පොතේ සඳහන් මේ අසරුවන්ගෙන් තම නම හෙළි කරන එකම අසරුවා මේ හතරවෙනි අසරුවායි. මෙහිදී මරණය නමැති අසරුවා සිටින්නේ සුදුමැලි අශ්වයෙකු පිටයි. සුදුමැලි සඳහා භාවිත කර ඇති වචනය (ග්‍රීක බසින්, ක්ලෝරොස්) යොදාගන්නේ යම් රෝගයක් නිසා සුදුමැලි වූ මුහුණක් විස්තර කිරීමටයි. මරණය පිටුපසින් මිනී වළ පැමිණෙන බවත් සඳහන් වෙනවා. හතරවන අසරුවාගේ ප්‍රහාරයට ගොදුරු වන මහත් සංඛ්‍යාවක් මිනී වළ විසින් ගිලගනු ලබන බව මෙයින් අපට පැහැදිලි වෙනවා. නමුත් ඉදිරියේදී ‘මරණය සහ මිනී වළ එහි සිටි මළවුන්ව භාර දෙන’ කාලයක් ගැන සඳහන් වන නිසා මේ අයට නැවත නැඟිටීමක් තිබෙන බව අපට පැහැදිලි වෙනවා. (එළිදරව් 20:13) නමුත් මේ අය මරණයට ගොදුරු වෙන්නේ කුමන ආකාරවලින්ද?
27. (අ) මරණය නමැති අසරුවා තමාගේ ගොදුරු රැස් කරගන්නේ කෙසේද? (ආ) මරණයට ‘පොළොවේ හතරෙන් කොටසක් කෙරෙහි බලය ලැබුණා’ කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
27 මරණය නමැති අසරුවා තමන්ට ගොදුරු රැස් කරගන්නා ආකාර කිහිපයක් දර්ශනයේ සඳහන් වෙනවා. “දිග කඩුවකින්ද ආහාර හිඟකමින්ද මාරාන්තික වසංගතයෙන්ද පොළොවේ වන මෘගයන් ලවාද මරණය ගෙන ඒමට පොළොවෙන් සතරෙන් කොටසක් කෙරෙහි ඔවුන්ට බලය දෙන ලදි.” (එළිදරව් 6:8ආ) මෙම අසරුවාගේ ගමනට පොළොවේ ජනගහනයෙන් හරියට හතරෙන් එකක් හසු වන බව එයින් අදහස් වෙන්නේ නැහැ. නමුත් පොළොවේ ජනාකීර්ණ මෙන්ම ජනශුන්‍ය වූ විශාල ප්‍රදේශයක් ඔහුට හසු වන බව ඉන් පැහැදිලි වෙනවා. මෙම අසරුවාගේ ගොදුරුවලින් වැඩි හරියක් දෙවන අසරුවාගේ මහත් කඩුවට ගොදුරු වන අය හා තුන්වන අසරුවාගේ සාගත හා ආහාර හිඟකම්වලට ගොදුරු වන අයයි. මීට අමතරව ඔහු තමාගේම ක්‍රමවලිනුත් ගොදුරු රැස් කරගන්නවා. මාරාන්තික වසංගත ඊට ඇතුළත් වෙන අතර ලූක් 21:10, 11හි සඳහන් වී ඇති භූමිකම්පාවලින්ද ඔහු ගොදුරු රැස් කරගන්නවා.
28. (අ) මෙම “මාරාන්තික රෝග” සම්බන්ධව දී ඇති අනාවැකි ඉෂ්ට වී තිබෙන්නේ කෙසේද? (ආ) යෙහෝවාගේ ජනයා අද දින බොහෝ රෝගවලින් ආරක්ෂා වී ඇත්තේ කෙසේද?
28 නවීන කාලයේ “මාරාන්තික වසංගත” මිනිසාට බලපා ඇති ආකාරය සලකා බලමු. පළමු ලෝක මහා යුද්ධයේ සිදු වූ ඝාතනවලින් පසුව 1918-1919 දක්වා හටගත් ස්පාඤ්ඤ උණෙන් මිනිස් ජීවිත මිලියන 20කට වඩා වැඩි ගණනක් මාස කිහිපයක් තුළ විනාශ වුණා. මේ විපතට ගොදුරු නොවූ එකම ප්‍රදේශය වූයේ සාන්ත හෙලේනා නම් කුඩා දිවයිනයි. මෙම වසංගතයට විශාල ජන පිරිසක් ගොදුරු වූ ප්‍රදේශවල මළ කඳන්වල ප්‍රමාණය නිසා ඒවා ගොඩගසා පුලුස්සන්න සිදු වුණා. අද දිනත් හෘදයාබාධ සහ පිළිකා නිසා බොහෝදෙනෙක් මිය යනවා. මේ පිළිකාවලින් බොහොමයක් ඇති වෙන්නේ දුම්කොළ භාවිතය නිසයි. එක්දහස් නවසිය අසූව දශකය පුරා බයිබල් ප්‍රමිතිවලට පිටුපාමින් මිනිස් සමාජය සදාචාරය අතින් ඉතා පිරිහුණු තත්වයකට ඇද වැටුණා. ප්‍රතිඵලයක් ලෙස ‘මාරාන්තික වසංගතවලට’ ඒඩ්ස් රෝගයත් එකතු වුණා. වර්ෂ 2000දී එක්සත් ජනපදයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා ඒඩ්ස් රෝගය “ලෝකයේ මෙතෙක් ඇති වූ දරුණුතම සෞඛ්‍ය උවදුර” විය හැකි බව පැවසුවා. ලොව පුරා මිලියන 52කට ඒඩ්ස් රෝගය වැලඳී ඇති බවත්, ඔවුන්ගෙන් මිලියන 20ක් මිය ගිය බවත් ඔහු පැවසුවා. දෙවිගේ ජනයා දේවවචනයේ නැණවත් උපදෙස්වලට කීකරු වෙමින් වේශ්‍යාකමින් හා රුධිරය ශරීරගත කිරීමෙන් වැළකී සිටින නිසා රෝග බොහොමයකින් ආරක්ෂා වෙන්න ඔවුන්ට හැකි වී තිබෙනවා. මෙය මොන තරම් ආශීර්වාදයක්ද!—ක්‍රියා 15:28, 29; 1 කොරින්ති 6:9-11ද බලන්න.
29, 30. (අ) එසකියෙල් 14:21හි සඳහන් “තද දඬුවම් සතර” අද දිනට අදාළ වෙන්නේ කෙසේද? (ආ) එළිදරව් 6:8හි සඳහන් “වන මෘගයන්” අදාළ වෙන්නේ කුමකටද? (ඇ) සුදුමැලි අසරුවා සිටින දර්ශනයෙන් අපට කාවදින ප්‍රධාන කාරණය කුමක්ද?
29 මිනිසුන් අකල් මරණවලට ගොදුරු වන හතරවෙනි හේතුව ලෙස යොහන් දකින දර්ශනයේ සඳහන් වෙන්නේ වන මෘගයන්. හතරවෙනි මුද්‍රාව කඩද්දී සඳහන් වන දේවල් සතර, එනම්, යුද්ධ, සාගත, රෝග සහ වන මෘගයන් යනාදිය පුරාණයේ අකල් මරණවලට ප්‍රධාන හේතු ලෙස සලකනු ලැබුවා. ඒ නිසා අද දින අකල් මරණවලට හේතු වන සෑම දෙයක්ම ඒවායින් සංකේතවත් වෙනවා. මෙහිදී අපට මතක් වෙන්නේ දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන් මෙම අනතුරු ඇඟවීමයි. “යෙරුසලම මෙන් මනුෂ්‍යයන් සහ මෘගයන්ද සිඳදමන පිණිස මා විසින් ඊට මාගේ තද දඬුවම් සතර වන කඩුවද සාගතයද චණ්ඩ මෘගයන්ද වසංගතයද යැවූ කල්හි තව කොපමණ වැඩියෙන් බලාපොරත්තු හීන වන්නේද?”—එසකියෙල් 14:21, නව අනුවාදය.
30 වන සතුන් බහුලව සැරිසරන රටවල මිනිසුන් නිතරම පාහේ උන්ට ගොදුරු වුණත් වර්තමානයේ වන සතුන් අතින් මිනිසුන්ව ඝාතනය වීම ප්‍රසිද්ධ වෙන්නේ කලාතුරකින්. සමහරවිට ඉදිරියේදී යුද්ධ නිසා විශාල ප්‍රදේශ විනාශ වීමත් සමඟම පලා යන ජන පිරිස් ආහාර හිඟකම නිසා දුබල වී වන සතුන්ගේ ගොදුරු බවට පත් විය හැකියි. නමුත් වන සතුන්ට සමාන මිනිසුන් විශාල පිරිසක් සිටිනවා. ඔවුන්ගේ මෘග ගතිගුණ යෙසායා 11:6-9හි විස්තර කර තිබෙන දේට හාත්පසින්ම වෙනස්. අද දින ලෝකයේ සිදු වන ලිංගික අපරාධ, මිනිස් ඝාතන, ත්‍රස්තවාදය සහ බෝම්බ පිපිරවීම්වලට බොහෝ සෙයින් වග කිව යුත්තේ මෙවැනි අයයි. (එසකියෙල් 21:31ද, රෝම 1:28-31ද, 2 පේතෘස් 2:21ද බලන්න.) මේ අය නිසා මිය යන අයවත් ගොදුරු කරගන්නේ සතරවන අසරුවායි. මේ දර්ශනයේ සුදුමැලි අශ්වයා පිට සිටින අසරුවාගෙන් මූලිකව අදහස් වෙන්නේ මිනිස් වර්ගයා නොයෙක් ආකාරවලින් අකල් මරණවලට ගොදුරු වන බවයි.
31. රතු, කලු සහ සුදුමැලි අශ්වයන්ගේ ගමන නිසා ඇති වී තිබෙන විපත් මැද වුණත් අපට සතුටු විය හැක්කේ ඇයි?
31 ලෝකයේ හාත්පස පැතිර ඇති යුද්ධ, සාගත, රෝග සහ අකල් මරණයට හේතු වන වෙනත් දේවල් දැක අප අධෛර්යය විය යුතු නැහැ. ලෝකයේ පවතින ගැටලු විසඳීමට ලෝකයේ නායකයන් අසමත් වී ඇති නිසාත් අප බලාපොරොත්තු සුන් කරගත යුතු නැහැ. මන්ද මෙම දර්ශනයේ පළමු මුද්‍රා හතර කැඩීමෙන් හෙළි වන දෙයින් අප සහනයක් ලබන නිසයි. රතු, කලු සහ සුදුමැලි අශ්වයන් ගමන් කරන බව පැහැදිලිව දකින්න තිබුණත්, මෙම අශ්වයන්ට කලින් සුදු අශ්වයා පිට සිටි අසරුවා තම ගමන ආරම්භ කළ බව අප සිහියේ තබාගත යුතුයි. යේසුස් දැනටමත් ජය ලබා සිටිනවා. ඒ සාතන්ව ස්වර්ගයෙන් පලවාහැරීමෙන්. මීට අමතරව අභිෂේක ලත් ඉතිරි අයව එක් රැස් කිරීමෙනුත් මහත් පීඩාවෙන් ගැලවීම සඳහා ජාත්‍යන්තර වූ මහත් සමූහයේ මිලියන ගණන් අයව එක් රැස් කිරීමෙනුත් ඔහු දිගටම ජයගනිමින් සිටිනවා. (එළිදරව් 7:4, 9, 14) සම්පූර්ණ ජයග්‍රහණයක් ලබන තෙක් ඔහු නොනවත්වා ගමන් කරනවා.
32. පළමු මුද්‍රා හතර කඩනවාත් සමඟ සිදු වෙන්නේ කුමක්ද?
32 පළමු මුද්‍රා සතර කඩන සෑම වාරයක් පාසා “එන්න!” කියා නියෝගයක් නිකුත් වුණා. මේ සෑම වතාවකදීම අශ්වයෙක් පිට නැඟ සිටින අසරුවෙක් පැමිණියා. මෙම අශ්වයන් දිගටම ගමන් කරනවා. ඔවුන්ගේ ගමන අවසන් වෙන්නේ මෙම දුෂ්ට සමාජයේ අවසානයත් සමඟයි. (මතෙව් 28:20 බලන්න.) නමුත් පස්වෙනි මුද්‍රාව කඩද්දී අපට “එන්න” කියා නියෝග දෙන හඬක් ඇසෙන්නේ නැහැ. නමුත් ඉතිරි මුද්‍රා තුන කඩනවාත් සමඟම යේසුස් අපට තවත් වැදගත් දේවල් හෙළි කරනවා. ඒ මොනවාද? මේ සමහරක් සිදුවීම් මිනිස් ඇසින් දැකගන්නට බැහැ. නමුත් දකින්න පුළුවන් වන සමහරක් දේවල් සිදු වෙන්නේ අනාගතයේදීයි. ඒවා අනිවාර්යයෙන්ම ඉටු වෙනවා. ඒවා මොනවාද කියා දැන් අපි බලමු.
[පාදසටහන්වල]
a නමුත් එළිදරව් 12:1හි සඳහන් ‘ස්ත්රියටද’ “තාරකා දොළොසකින් යුත් ඔටුන්නක්” තිබෙන බව සැලකිල්ලට ගන්න.
b යේසුස් 1914දී දේවරාජ්‍යයේ රජු ලෙස පත් වූ බව වටහාගැනීමට “බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු” යන පොතේ 215-218 දක්වා පිටු කියවන්න.
c පාදසටහන බලන්න.
[92වන පිටුවේ කොටුව]
රජුගේ ජයග්‍රාහී ගමන
එක්දහස් නවසිය තිස් ගණන්වල හා 1940 ගණන්වල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සේවය නීති විරෝධී හා කඩාකප්පල්කාරී දෙයක් බවත් පෙන්වන්නට ඔවුන්ගේ සතුරන් දැඩි සේ වෑයම් කළා. (ගීතාවලිය 94:20) වර්ෂ 1936දී පමණක් එක්සත් ජනපදයේ සාක්ෂිකරුවන්ව අත්අඩංගුවට ගත් අවස්ථා 1,149ක් වාර්තා වුණා. නඩු මඟට පිවිසි සාක්ෂිකරුවන් බොහෝ නඩු ශ්‍රේෂ්ඨාධිකරණය දක්වාම ගෙන ගියා. සාක්ෂිකරුවන් ලැබූ ජයග්‍රහණ කිහිපයක් මතු දැක්වෙනවා.
එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ වැසියන් සාක්ෂිකරුවන්ට විරුද්ධව නඩුවක් පැවරුවා. (Murdock v. Pennsylvania) නමුත් එය විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය 1943 මැයි 3වන දා දුන් තීන්දුව වූයේ මහජනයාට පොත් පත් බෙදා දී මුදලක් ලබාගැනීමට සාක්ෂිකරුවන්ට බලපත්‍රයක් අවශ්‍ය නොවන බවයි. එදිනම ස්ට්රදර්ස් නුවරේ වැසියන් සාක්ෂිකරුවන්ට විරුද්ධව පැවරූ නඩුව (Martin v. City of Struthers) සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව වූයේ ගෙයින් ගෙට යමින් අත්පත්‍රිකා හෝ වෙනත් මුද්‍රිත ප්‍රකාශන බෙදා දීමේදී නිවෙස්වල සීනු නාද කිරීම නීති විරෝධී දෙයක් නොවන බවයි.
මිසිසිපි වැසියන් සහෝදර ටේලර්ට විරුද්ධව පැවරූ නඩුව (Taylor v. Mississippi) සම්බන්ධයෙන් 1943 ජූනි 14වන දා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව වූයේ සාක්ෂිකරුවන් කරන දේශනා සේවයෙන් ආණ්ඩු විරෝධී හැඟීම් ඇවිස්සීමට උත්සාහයක් නොදරන බවයි. එදිනම බටහිර වර්ජිනියාවේ රාජ්‍ය අධ්‍යාපන මණ්ඩලය සාක්ෂිකාර දරුවන්ට විරුද්ධව පැවරූ නඩුවේ අධිකරණය දුන් තීන්දුව වූයේ, යෙහෝවාගේ සාක්ෂිකාර දරුවෙක් ජාතික කොඩියට ආචාර කිරීම ප්‍රතික්ෂේප කළ නිසාම, එම ළමයාව පාසැලෙන් නෙරපීමට පාසැල් අධිකාරීන්ට කිසිම අයිතියක් නැති බවයි. ඊළඟ දවසේදීම ඕස්ට්‍රේලියාවේ මහාධිකරණය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු මත පනවා තිබූ තහනම ඉවත් කළේ එය ‘අසාධාරණව, හිතුවක්කාරව හා කෲර ලෙස’ පැනවූ එකක් බවත් සඳහන් කරමිනුයි.
[94වන පිටුවේ කොටුව]
“පොළොවෙන් සමාදානය පහ කිරීමට අවසර” ලැබූ අසරුවා
තාක්ෂණික දියුණුවේ ප්‍රතිඵලය කුමක්ද? කැනඩාවේ 1987 ජනවාරි 22වන දින පළ වූ පුවත්පත් වාර්තාවක අන්තර්ජාතික සංවර්ධන පර්යේෂණ මධ්‍යස්ථානයේ සභාපති අයිවන් එල්. හෙඩ් කළ දේශනයක තොරතුරු මෙසේ පළ කළා:
“විශ්වාසවන්ත ආරංචි මාර්ගවලින් ලැබී ඇති තොරතුරුවලට අනුව ලෝකයේ සිටින සෑම විද්‍යාඥයන් හා කාර්මික ශිල්පීන් හතරදෙනෙකුගෙන් එක් කෙනෙක් අවි නිෂ්පාදනයට සම්බන්ධ පර්යේෂණවල හා අත්හදා බැලීම්වල යෙදී සිටිනවා. . . . වර්ෂ 1986දී කළ ගණනය කිරීම්වලට අනුව අවි නිෂ්පාදනය සඳහා සෑම විනාඩියකටම ඩොලර් මිලියන 1.5ක් වැය කර තිබෙනවා. . . . මෙතරම් ශිල්පීය ඥානයක් හා මුදලක් වැය කිරීමෙන් වඩාත් සුරක්ෂිත ලෝකයක් බිහි කරන්න හැකි වී තිබෙනවාද? සෝවියට් දේශය සහ එක්සත් ජනපදය සතු න්‍යෂ්ටික ගබඩාවල ඇති අවි දෙවන ලෝක මහා යුද්ධය පුරාම සියලුම යුද භටයන් භාවිත කළ අවි මෙන් 6,000 ගුණයකට වඩා වැඩියි. ඒ කියන්නේ දෙවන ලෝක මහා යුද්ධය වගේ යුද්ධ 6,000ක් කරන්න පුළුවන් අවි ඔවුන්ට තිබෙනවා. වර්ෂ 1945 සිට මේ දක්වා ලෝකයේ කිසිම ගැටුමක් තිබී නැත්තේ සති හතකට අඩු කාලයක් පමණයි. එදා පටන් අන්තර්ජාතික මට්ටමින් හා දේශීය මට්ටමින් යුද්ධ 150කට වැඩිය පැවත තිබෙනවා. මිය ගිය සංඛ්‍යාව මිලියන 19.3ක් බවටත් ගණනය කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය රජයන මේ යුගයේ පවතින මෙම යුද්ධවලට අවි ලැබෙන්නේ නවීන තාක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙසයි.”—The Globe and Mail, Toronto Canada.
වර්ෂ 2005 වෙද්දී මෙවැනි සන්නද්ධ ගැටුම් නිසා මිය ගිය සංඛ්‍යාව මිලියන 20 ඉක්මවා තිබෙනවා.
[98, 99වන පිටුවේ කොටුව]
එළිදරව් පොතේ සාරාංශයක්
එළිදරව් පොත පිළිබඳව අප මෙතෙක් කළ විග්‍රහය නිසා මෙම පොතේ තොරතුරු පෙළගැසී ඇති ආකාරය ගැන අපට පැහැදිලි වෙනවා. මුලින්ම තිබුණේ ඉතා සිත්ගන්නා හැඳින්වීමක්. (එළිදරව් 1:1-9) ඉන්පසුව එය තොරතුරු ඉදිරිපත් කරන්නේ දර්ශන 16ක් මගිනුයි.
1වන දර්ශනය (1:10–3:22): යොහන් මෙම දර්ශනයෙන් දකින්නේ තේජසට පත් යේසුස්වයි. යේසුස් සභා සතට දෙන උපදෙස්ද ඔහුට ලැබෙයි.
2වන දර්ශනය (4:1–5:14): යෙහෝවා දෙවිගේ ස්වර්ගික සිංහාසනයේ අතිවිශිෂ්ට දර්ශනයක්. දෙවි බැටළු පැටවාණන්ට ලියවිල්ලක් භාර දෙයි.
3වන දර්ශනය (6:1-17): එම ලියවිල්ලේ පළමු මුද්‍රා හය කඩමින් බැටළු පැටවාණන්, ස්වාමීන්ගේ දවසේ සිදුවීමට නියමිත දේවල් හෙළි කරයි. අශ්වයන් සතරදෙනෙක් තම ගමන ආරම්භ කරයි. දෙවි වෙනුවෙන් දිවි පිදූ දාසයන්ට සුදු සළු ලැබෙයි. උදහසේ මහත් දවස ගැන විස්තරයක් ලැබෙයි.
4වන දර්ශනය (7:1-17): දෙවිගේ ඊශ්රායෙලයට අයත් 1,44,000දෙනා මුද්‍රා කරන තෙක් දේවදූතයන් විනාශය නමැති සුළං අල්ලාගෙන සිටියි. සියලු ජාතීන්ට අයත් මහත් සමූහයක් තමන් ලබන ගැලවීම ගැන දෙවිට හා යේසුස්ට ප්‍රශංසා කරන අතර ඔවුන්ව එක් රැස් කරනු ලබන්නේ මහත් පීඩාවෙන් බේරී ජීවත් වීම සඳහායි.
5වන දර්ශනය (8:1–9:21): හත්වන මුද්‍රාව කඩන විට, හොරණෑ හතක් පිළිවෙළින් පිඹිනු ලබනවා. මේවායින් පළමු හය පස්වෙනි දර්ශනයට අයත්. මෙම හොරණෑ හය තුළින් යෙහෝවා දෙවි මිනිස් වර්ගයා පිට ගෙනෙන විනිශ්චය ප්‍රකාශ වෙනවා. පස්වන සහ හයවන හොරණෑවලට පළමු සහ දෙවන දුක්ද ඇතුළත් වෙනවා.
6වන දර්ශනය (10:1–11:19): බලවත් දේවදූතයෙක් යොහන්ට කුඩා ලියවිල්ලක් දෙයි. දේවමාලිගාවේ උස පළල දිග ආදිය මනිනු ලබනවා. සාක්ෂිකරුවන් දෙදෙනාගේ අද්දැකීම් ගැනද අපට කියවන්න ලැබෙනවා. මෙම දර්ශනය අවසන් වෙන්නේ හත්වන හොරණෑව පිඹීමත් සමඟයි. එයින් දෙවිගේ සතුරන් පිට පැමිණෙන තුන්වන දුක වන දෙවිගේ සහ ඔහුගේ පුත්‍රයාගේ රාජ්‍යය ගැන දන්වනු ලැබෙයි.
7වන දර්ශනය (12:1-17): මෙයින් දේවරාජ්‍යයේ උපත විස්තර කරයි. ප්‍රතිඵලයක් ලෙස මිකායෙල් සර්පයා වන සාතන්ව පොළොවට හෙළයි.
8වන දර්ශනය (13:1-18): බලවත් වන මෘගයෙක් මුහුදෙන් මතු වෙයි. එම වන මෘගයාට නමස්කාර කරන්න කියා අං දෙකක් ඇති බැටළු පැටවෙකුට සමාන මෘගයෙක් මිනිසාට බල කරයි.
9වන දර්ශනය (14:1-20): සියොන් කන්ද මත සිටින 1,44,000දෙනා පිළිබඳ අලංකාර දර්ශනයක්. දේවදූතයන් දෙන පණිවුඩ මුළු ලොවටම ඇසෙයි. පොළොවේ මිදි අස්වැන්න නෙළනු ලබන අතර දෙවිගේ උදහස නමැති මිදි පැස පාගනු ලබයි.
10වන දර්ශනය (15:1–16:21): ස්වර්ගය පිළිබඳ තවත් දර්ශනයක්. ඉන්පසුව යෙහෝවා දෙවිගේ උදහස නමැති පාත්‍රා සත පොළොවට වගුරුවනු ලබයි. මෙම කොටස අවසන් වෙන්නේ සාතන්ගේ දුෂ්ට සමාජය විනාශ වන ආකාරය පිළිබඳ විස්තරයක් සමඟිනුයි.
11වන දර්ශනය (17:1-18): මහා බැබිලෝනිය නමැති මහා වේශ්‍යාව, රතු-පැහැති වන මෘගයෙකු පිට නැඟී ගමන් කරයි. ඌ කෙටි කලකට ආගාධයට යන නමුත්, නැවත ඉවතට ඇවිත් ඇයව විනාශ කර දමයි.
12වන දර්ශනය (18:1–19:10): මහා බැබිලෝනියේ වැටීම සහ විනාශය ප්‍රකාශ කරයි. ඇගේ විනාශයෙන් පසු ඇතැම් අය වැලපුණත්, තවත් අය යෙහෝවා දෙවිට ප්‍රශංසා කරයි. බැටළු පැටවාණන්ගේ විවාහ මංගල්‍යය ගැන දන්වනු ලබයි.
13වන දර්ශනය (19:11-21): සාතන්ගේ දුෂ්ට සමාජයට, එහි හමුදාවලට සහ ඊට සහයෝගය දක්වන සියල්ලන්ට එරෙහිව දෙවිගේ උදහසේ විනිශ්චයන් ඉටු කිරීමට යේසුස් ස්වර්ගයේ සේනාවන් සමඟ ඉදිරියට එයි. කුරුල්ලන් මළ කුණු කා දමයි.
14වන දර්ශනය (20:1-10): සාතන් නමැති යක්ෂයාව ආගාධයට හෙළනු ලබයි. යේසුස් සහ ඔහු සමඟ රජ කරන අය අවුරුදු දහසකට පාලනය කරයි. මිනිස් වර්ගයා අවසාන පරීක්ෂණයට මුහුණ දෙයි. සාතන් සහ ඔහුගේ භූතයන්ව විනාශ කරයි.
15වන දර්ශනය (20:11–21:8): මිය ගිය අයව නැවත නැඟිටුවන ලබන අතර විනිශ්චය දවස ආරම්භ වෙයි. අලුත් අහසක් සහ අලුත් පොළොවක් බිහි වෙයි. ඉන් ධර්මිෂ්ඨ මිනිස් වර්ගයාට සදාකාල ආශීර්වාද ලැබෙයි.
16වන දර්ශනය (21:9–22:5): බැටළු පැටවාණන්ගේ මනාලිය වන අලුත් යෙරුසලමේ තේජවත් දර්ශනයකින් එළිදරව් පොත අවසන් වෙයි. මිනිස් වර්ගයාව සුව කිරීමට හා ඔවුන්ට ජීවනය ලබා දීමට දෙවි සපයා ඇති දේ ගංගාවක් මෙන් එම නුවරින් ගලා බසී.
එළිදරව් පොත අවසන් වෙන්නේ යෙහෝවා දෙවිගෙන්, යේසුස්ගෙන්, දේවදූතයාගෙන් සහ යොහන්ගෙන් ලැබෙන ඉතා ප්‍රේමණීය උපදෙස් හා සුබපැතුම් සමඟිනුයි. “එන්න!” කියා හැමදෙනෙකුටම ආරාධනා ලැබෙයි.—එළිදරව් 22:6-21.