පරිච්ඡේදය 38
යාහ්ගේ විනිශ්චයන් නිසා ඔහුට ප්‍රශංසා කරන්න!
1. “ස්වර්ගයෙහි මහත් සමූහයකගේ මහත් හඬක් වැනි වූ හඬ” ප්‍රකාශ කරන වචන මොනවාද?
මහා බැබිලෝනිය පහව ගිහින්. මෙය ඇත්තටම ඉතා ප්‍රීතිමත් ආරංචියක්. එනිසා යොහන්ට ස්වර්ගයේ ප්‍රීතිමත් ප්‍රශංසා හඬවල් ඇසීම ගැන පුදුම විය යුතු නැහැ. “මේ දේවල්වලට පසු, ස්වර්ගයෙහි මහත් සමූහයකගේ මහත් හඬක් වැනි වූ හඬක් මට ඇසුණේය. ඔවුහු මෙසේ කීවෝය: ‘ජනයෙනි, යාහ්ට ප්‍රශංසා කරන්න! ගැලවීමත් මහිමයත් පරාක්‍රමයත් අයිති අපේ දෙවිටය. මන්ද ඔහුගේ විනිශ්චයන් සැබෑය, ධර්මිෂ්ඨය. මන්දයත්, සිය වේශ්‍යාකමින් පොළොව දූෂ්‍ය කළ මහත් ගණිකාවට දුන් විනිශ්චය ඔහු ක්‍රියාත්මක කළේය. එමගින් ඔහු තම දාසයන්ගේ ලේ ගැන ඇගෙන් පළිගත්තේය.’ එකෙණෙහිම, ඔවුහු දෙවන වතාවටත් මෙසේ කීවෝය: ‘ජනයෙනි, යාහ්ට ප්‍රශංසා කරන්න! ඇගේ දුම සදාකාලයෙන් සදාකාලයට නඟින්නේය.’”—එළිදරව් 19:1-3.
2. (අ) “යාහ්ට ප්‍රශංසා කරන්න!” යන්න දෙවතාවක්ම යොහන්ට ඇසීමෙන් කාවද්දනු ලබන්නේ කුමක්ද? (ආ) මහා බැබිලෝනියේ විනාශයට සියලුම ගෞරවය හා මහිමය හිමි වෙන්නේ කාටද? පැහැදිලි කරන්න.
2 “ජනයෙනි යාහ්ට ප්‍රශංසා කරන්න!” යන්නෙහි “යාහ්” කියා භාවිත කරන්නේ යෙහෝවා දෙවිගේ නාමය කෙටි කර දැක්වීමක් ලෙසයි. මෙහිදී අපට මතක් වෙන්නේ “පණ ඇති සියල්ලෙනි, යාහ්ට ප්‍රශංසා කරත්වා. ජනයෙනි, යාහ්ට ප්‍රශංසා කරන්න!” යන ගීතිකාකරුගේ වචනයි. (ගීතාවලිය 150:6, NW) “යාහ්ට ප්‍රශංසා කරන්න” කියන ස්වර්ගයේ හඬ යොහන්ට දෙවතාවක්ම ඇසෙනවා. එයින් සනාථ වෙන්නේ සත්‍යය පිළිබඳව දෙවිගේ එළිදරව්ව දිගටම සිදු වන බවයි. යෙහෝවා දෙවි වෙනස් වී නැහැ. බයිබලයේ හෙබ්‍රෙව් ලියවිල්ලේ සඳහන් දෙවි ගැනමයි ග්‍රීක ලියවිල්ලේත් සඳහන් වෙන්නේ. මේ අනුව පුරාණ බැබිලෝනියේ වැටීම සිදු කළ දෙවිමයි දැන් මහා බැබිලෝනියේ විනිශ්චය හා විනාශය සිදු කර තිබෙන්නේ. දෙවි සිදු කළ ඒ දේට සියලුම ගෞරවය හා මහිමය ඔහුට දිය යුතුයි! මහා බැබිලෝනියේ විනාශය ලෝකයේ ජාතීන් අතින් සිදු වුණත් එම ක්‍රියාව සඳහා ඔවුන්ව පෙලඹුවේ යෙහෝවා දෙවියි. එමනිසා අපගේ ගැලවීම සඳහා ප්‍රශංසා දිය යුත්තේ යෙහෝවා දෙවිට පමණයි!—යෙසායා 12:2; එළිදරව් 4:11; 7:10, 12.
3. මහා ගණිකාවට මෙවැනි විනිශ්චයක් ලැබීම සුදුසු වෙන්නේ ඇයි?
3 මහා ගණිකාවට මෙවැනි විනිශ්චයක් ලැබීම සුදුසු වෙන්නේ ඇයි? යෙහෝවා දෙවි නෝවා මාර්ගයෙන් මුළු මිනිස් සංහතියට දුන් නීතියකින් එය පැහැදිලි වෙනවා. ඒ නීතියට අනුව කෙනෙක් නිකරුණේ ලේ වැගිරුවා නම් ඔහුට හිමි වුණේ මරණ දණ්ඩනයයි. මෙම නීතිය නැවතත් ඊශ්‍රායෙල් ජාතියටත් සඳහන් කළා. (උත්පත්ති 9:6; ගණන් කතාව 35:20, 21) මීට අමතරව මෝසෙස්ගේ නීතියට අනුව කෙනෙක් වේශ්‍යාකම් කළා නම් හෝ වෙනත් දෙවිවරුන්ව ඇදහීමට පටන්ගත්තා නම් ඒ පුද්ගලයාටත් මරණ දණ්ඩනය නියම වුණා. (ලෙවී කතාව 20:10; ද්විතීය කතාව 13:1-5) අවුරුදු දහස් ගණනක් තිස්සේ මහා බැබිලෝනිය මහා ලේ වරදකට පත්ව සිටිනවා. ඒ වගේම ඇය කටයුතු කර තිබෙන්නේ ඉතා පිළිකුල් වේශ්‍යාවක් ලෙසයි. උදාහරණයකට රෝමානු කතෝලික සභාවේ පූජකයන්ට විවාහය තහනම් කර ඇති නිසා ඔවුන්ගෙන් බොහෝදෙනෙක් පිළිකුල්සහගත ලෙස දුරාචාරයේ යෙදී තිබෙනවා. ඒ අතරින් ඔවුන් රැසකට ඒඩ්ස් රෝගයත් වැලඳී තිබෙනවා. (1 කොරින්ති 6:9, 10, 1 තිමෝති 4:1-3) නමුත් “ස්වර්ගය දක්වාම ගොඩගැසී” ඇති වඩාත් බරපතළ පාපයකුත් ඇය අතින් සිදු වී තිබෙනවා. එයත් වේශ්යාකමකට සමානයි. එය නම් ඇය ඇගේ සාමාජිකයන්ට බොරු උගන්වා තිබීම හා දූෂිත දේශපාලනඥයන් සමඟ මිත්‍රකම් ඇති කරගෙන තිබීමයි. (එළිදරව් 18:5) දැන් ඇයට නිසි දඬුවම් ලැබී ඇති නිසා ස්වර්ගයේ සිටින සියලුම සමූහයන් නැවතත් දෙවන වරටත් යෙහෝවා දෙවිට ප්‍රශංසා කරනවා.
4. මහා බැබිලෝනියේ දුම “සදාකාලයෙන් සදාකාලයටම නඟින්නේය” කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
4 යුද්ධයකින් පසු පරාජය වූ නුවරකට ගිනි තබනවා හා සමානව මහා බැබිලෝනිය ගින්නෙන් දැවී යනවා. එහි දුම “සදාකාලයෙන් සදාකාලයටම නඟින්නේය.” සාමාන්‍යයෙන් පරාජය කළ නුවරකට ගිනි තැබුවායින් පසු එහි පිලිස්සුණු සුන්බුන්වලින් දිගටම දුමක් නඟිනවා. එයින් තවමත් දුම් නඟින විට එය නැවත ගොඩනඟන්න යම් කෙනෙක් උත්සාහ කළොත් දුම් නඟින සුන්බුන්වලින් ඔහු අනිවාර්යයෙන්ම පිලිස්සී යනවා. “සදාකාලයෙන් සදාකාලයට” මහ බැබිලෝනියෙන් දුම් නඟිනවා කීමෙන් අදහස් කරන්නේ එම පිළිකුල්සහගත ‘නුවර’ නැවතත් ගොඩනඟන්න කිසිම කෙනෙකුට බැරි වන බවයි. ඇගේ විනාශය සදාකාලිකයි. අසත්‍යය උගන්වන ආගම් නම් ආයේ කවදාවත් දකින්න ලැබෙන්නේ නැහැ. දෙවි තීන්දු කර ඇත්තේ එයයි. යෙහෝවා දෙවිට ඒ සඳහා ඇත්තෙන්ම ප්‍රශංසාව හිමි විය යුතුයි!—යෙසායා 34:5, 9, 10ද බලන්න.
5. (අ) වැඩිමහල්ලන් 24දෙනා සහ ජීවීන් සතරදෙනා කරන්නේ සහ කියන්නේ මොනවාද? (ආ) යාහ්ට ප්‍රශංසා කරන්න කියා කරන මෙම ගායනය පල්ලිවල කරන ගායනවලට වඩා මියුරු එකක් වෙන්නේ ඇයි?
5 යොහන් කලින් දර්ශනයකදී සිංහාසනය වටා ජීවීන් සතරදෙනා හා වැඩිමහල්ලන් 24දෙනා සිටින ආකාරය දුටු බව ඔබට මතක ඇති. මෙම වැඩිමහල්ලන් 24දෙනා තම ස්වර්ගික තනතුරුවල සිටින අභිෂේක ලත් අය බවත් අපි කලින් සලකා බැලුවා. (එළිදරව් 4:8-11) මෙම දර්ශනයේදීත් යොහන් ඔවුන්ව නැවත දකිනවා. මහා බැබිලෝනියේ විනාශය නිසා තුන්වන වරටත් “යාහ්ට ප්‍රශංසා කරන්න” කියා මහත් හඬින් පවසන්නේ ඔවුනුයි. “වැඩිමහල්ලෝ විසිහතරදෙනාද ජීවීන් සතරදෙනාද වැඳ වැටී, සිංහාසනය මත ඉඳගෙන සිටින දෙවිට නමස්කාර කර, ‘ආමෙන්! ජනයෙනි, යාහ්ට ප්‍රශංසා කරන්න’ යයි කීවෝය.” (එළිදරව් 19:4) ඔවුන් යෙහෝවා දෙවිට මෙම ප්‍රශංසා ගීය ගයන්නේ බැටළු පැටවාට ඔවුන් ගයන ‘අලුත් ගීතිකාවට’ අමතරවයි. (එළිදරව් 5:8, 9) ඔවුන් දැන් ගයන්නේ සුවිශේෂ ජයග්‍රාහී ගීතයක්. ඒ විශ්වයේ මහෝත්තම දෙවි යෙහෝවා මහා බැබිලෝනිය නම් වූ ගණිකාවට එරෙහිව ලැබූ විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙනුයි. යෙහෝවා දෙවිට සියලුම ගෞරවය හා මහිමය ලබා දෙමින් ගයන මොවුන්ගේ හඬ ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලිවල දෙවිට ප්‍රශංසා කරමින් ගැයූ ගීවලට වඩා කොතරම් මියුරුද! ඒ පල්ලිවල කුහක ක්‍රියාකලාපය නිසා යෙහෝවා දෙවිට කොතරම් අගෞරවයක් හා කැළලක් ඇති වී තිබෙනවාද! එවැනි කුහක ගීවල හඬට සවන් දෙන්න ආයේ නම් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ හඬ සදහටම නිහඬ කරනු ලබනවා.
6. අසනු ලබන්නේ කාගේ ‘හඬද?’ ඒ හඬ උනන්දු කරන්නේ කුමක් කිරීමටද? එම හඬට ලැබෙන ප්‍රතිචාරයට හවුල් වෙන්නේ කවුද?
6 යෙහෝවා දෙවි ‘තම නාමය කෙරෙහි ගරුබිය ඇතිව සිටින ලොකු කුඩා අයට’ එනම් අභිෂේක ලත් අයට විපාක දෙන්න පටන්ගත්තේ 1918 සිටයි. එසේ කළේ ඒ වන තෙක් දෙවිට විශ්වාසවන්තව මිය ගිය අභිෂේක ලත් අයව ස්වර්ගයේ ජීවත් වීම සඳහා නැවත නැඟිටුවීමෙනුයි. එහිදී ඔවුන්ට වැඩිමහල්ලන් 24දෙනා ලෙස සේවය කිරීමට ප්‍රස්තාව ලැබුණා. (එළිදරව් 11:18) යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන මේ ගීතිකාව ගැයීමට මොවුන් සමඟ තවත් අයද හවුල් වෙන බව යොහන් පවසන්නේ මෙසේයි. “තවද සිංහාසනයෙන් හඬක් නික්ම මෙසේ කීවේය: ‘ඔහු කෙරෙහි භය ඇති ලොකු කුඩා සියල්ලෙනි, ඔහුගේ සියලු දාසයෙනි, අපේ දෙවිට ප්‍රශංසා කරන්න.’” (එළිදරව් 19:5) මෙම “හඬ” පැමිණෙන්නේ ‘සිංහාසනය මධ්‍යයෙහි’ සිටින යෙහෝවා දෙවිගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ගෙන්. (එළිදරව් 5:6) ස්වර්ගයේ පමණක් නොව මේ පොළොවේද නමස්කාරයේ පෙරමුණ ගන්නා වූ අභිෂේක ලත් යොහන් පන්තිය සමඟ ‘දෙවිගේ සියලු දාසයෝ’ එම ගායනයට හවුල් වෙමින් සිටිනවා. “අපේ දෙවිට ප්‍රශංසා කරන්න” යන ආඥාවට ඔවුන් සියල්ලන්ම මොන තරම් ප්‍රීතියකින් කීකරු වෙමින් සිටිනවාද!
7. මහා බැබිලෝනියේ විනාශයෙන් පසු යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නේ කවුරුන්ද?
7 මෙම දාසයන් අතරට මහත් සමූහයද ඇතුළත් වී සිටිනවා. වර්ෂ 1935 සිට මේ අය මහා බැබිලෝනියෙන් පිටතට ඇවිත් තිබෙන අතර “යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇති ලොකු කුඩා සියලුදෙනාටම ඔහු ආශීර්වාද කරන්නේය” කියන දෙවිගේ පොරොන්දුවේ ඉටුවීම ඔවුන් පෞද්ගලිකව අද්දැක තිබෙනවා. (ගීතාවලිය 115:13, NW) මහා බැබිලෝනිය නම් ගණිකාව විනාශ කළායින් පසු ‘අපේ දෙවිට ප්‍රශංසා කරන’ යොහන් පන්තියට සහ ස්වර්ගයේ සිටින සියලුදෙනාටම මෙම මහත් සමූහයට අයත් මිලියන ගණනක් තම හඬත් එකතු කරනවා. ඉන්පසුව නැවත නැඟිටුවනු ලබන ලොකු කුඩා සියල්ලන් මහා බැබිලෝනිය විනාශ වී ඇති බව දැනගන්නා විට ඔවුන්ද යෙහෝවා දෙවිට තවත් ප්‍රශංසා කරනවා නිසැකයි. (එළිදරව් 20:12, 15) ඇත්තටම බොහෝ කලක් පුරා පැවති මෙම පිළිකුල්සහගත ගණිකාව පරාජය කළ යෙහෝවා දෙවිට සියලුම ප්‍රශංසා හා ගෞරවය හිමි විය යුතුයි.
8. යොහන් දුටු මෙම දර්ශනයෙන් මහා බැබිලෝනියේ විනාශයට පෙර ජීවත්ව සිටින අප පෙලඹිය යුත්තේ කුමක් කිරීමටද?
8 මෙම දර්ශනය තුළින් අප පෙලඹිය යුත්තේ කුමක් කිරීමටද? දෙවි අපට පවරා ඇති සේවයේ මුළු හදවතින්ම සහභාගි වීමටයි. එසේනම් මහා බැබිලෝනියව පෙරළා විනාශ කරන්න පෙර ඉතිරි වී ඇති මේ කාලයේදී අපි සියලුදෙනාම මුළු හදවතින්ම දෙවිගේ විනිශ්චයන් ප්‍රකාශ කරමු. ඒත් සමඟම දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය සියල්ලන්ටම ප්‍රකාශ කරමු.—යෙසායා 61:1-3; 1 කොරින්ති 15:58.
‘රජ වී සිටින යාහ්ට ප්‍රශංසා කරන්න!’
9. ‘යාහ්ට ප්‍රශංසා කරන්න!’ කියා පවසන අවසන් හඬ කොතරම් ප්‍රබලද?
9 ප්‍රීතිවීමට තිබෙන තවත් හේතු ගැන යොහන් පවසන්නේ මෙසේයි. “තවද, මහත් සමූහයකගේ හඬක් මෙන්ද, බොහෝ ජල ධාරාවල ශබ්දයක් මෙන්ද, බලවත් ගිගුරුම් හඬක් මෙන්ද වූ ශබ්දයක් මට ඇසුණේය. ඒවා මෙසේ කීවේය: ‘ජනයෙනි, යාහ්ට ප්‍රශංසා කරන්න. මන්ද, සර්වපරාක්‍රම තැනැත්තා වන අපේ දෙවි යෙහෝවා රජකම් කිරීමට පටන්ගෙන ඇත.’” (එළිදරව් 19:6) යෙහෝවා දෙවිට කරන මෙම අවසන් ප්‍රශංසාව ඉතා ප්‍රබලයි. එය කොතරම් ප්‍රබලද කියනවා නම් මෙම ප්‍රශංසාව මුළු විශ්වය පුරාම සිදු වෙනවා. මිනිසුන්ගෙන් සෑදුණු කිසිම ගායක සමූහයකට මෙතරම් මියුරු මෙන්ම ප්‍රබල ගායනයක් කළ නොහැකියි. එය නික්මෙන්නේ ස්වර්ගයෙනුයි. පොළොවේ ගලා හැලෙන කිසිම දිය ඇල්ලකට වඩා එය අලංකාරයි. ඒ වගේම කිසිම කුණාටුවකටත් වඩා එහි හඬ ප්‍රබලයි. ස්වර්ගය පුරා හඬ නැඟෙන මෙම හඬවල් “සර්වපරාක්‍රම තැනැත්තා වන අපේ දෙවි යෙහෝවා රජකම් කිරීමට පටන්ගෙන ඇත” නමැති කාරණා ඉතා උත්කර්ෂවත් අන්දමින් ප්‍රකාශ කරනවා.
10. මහා බැබිලෝනියේ විනාශයෙන් පසු යෙහෝවා දෙවි රජකම් කිරීමට පටන්ගෙන ඇති බව කීමෙන් අදහස් වෙන්නේ කුමක්ද?
10 “දෙවි පුරාණයේ සිටම මාගේ රජුය” කියා ගීතිකාකරු පවසා දැන් අවුරුදු දහස් ගණනක් ගත වී තිබෙන නිසා ‘යෙහෝවා දෙවි රජකම් කිරීමට පටන්ගෙන ඇතැයි’ කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ගීතාවලිය 74:12, NW) ඇත්තටම යෙහෝවා දෙවිගේ පාලනය හෙවත් රජකම පුරාණයේ පටන් අඛණ්ඩව පැවත තිබෙන දෙයක්. එසේනම් ‘යෙහෝවා රජකම් කිරීමට පටන්ගෙන ඇත’ කියා ස්වර්ගයේ සිටින ගායක සමූහය ගායනා කරන්නේ ඇයි? ඒ මහා බැබිලෝනිය විනාශයේ ප්‍රතිඵලයක් ලෙස විශ්වයේ පාලකයා හැටියට යෙහෝවා දෙවිට දැක්විය යුතු කීකරුකමට විරුද්ධ වෙන්න කිසිම කෙනෙක් ඉතිරි නොවන නිසයි. දෙවිට විරුද්ධ වෙන්න කියා ලෝකයේ පාලකයන්ව පොලඹවන්න අසත්‍යය උගන්වන කිසිම ආගමක් ඉතිරි වී නැහැ. පුරාණ බැබිලෝනිය වැටුණු අවස්ථාවේදීත් “ඔබේ දෙවි රජකම් කරන්නේය” කියන හඬ මුළු යෙරුසලම පුරාම අහන්න ලැබුණා. (යෙසායා 52:7) ඒ හා සමානව 1914දී දේවරාජ්‍යය බිහි වුණායින් පසුවත් වැඩිමහල්ලන් 24දෙනා “යෙහෝවා දෙවියනි, ඔබ ඔබේ මහත් බලය අතට ගෙන රජකම් කරන්න පටන්ගත් නිසා අපි ඔබට ස්තුති කරමු” යයි කියමින් දෙවිට ප්‍රශංසා කළා. (එළිදරව් 11:17) දැන් මහා බැබිලෝනියේ විනාශයෙන් පසුවත් “යෙහෝවා රජකම් කිරීමට පටන්ගෙන ඇත” යන හඬ නැවතත් ඇසෙනවා. එයින් අදහස් වෙන්නේ සැබෑ දෙවි වන යෙහෝවාගේ පාලනයට විරුද්ධව නැඟී සිටින්න මිනිසුන් ප්‍රබන්ධ කළ කිසිම දෙවියෙක් ඉතිරි වී නැති බවයි.
බැටළු පැටවාගේ විවාහ මංගල්‍යය අත ළඟයි!
11, 12. (අ) ඉපැරණි යෙරුසලම පුරාණ බැබිලෝනියව හැඳින්වූයේ කෙසේද? මෙයින් අලුත් යෙරුසලම හා මහා බැබිලෝනිය අතර ඇති සම්බන්ධය ගැන අපට හෙළි වෙන්නේ කුමක්ද? (ආ) මහා බැබිලෝනියේ පරාජයෙන් පසු ස්වර්ගයේ දේවදූතයන් ගී ගයන්නේ හා දැනුම් දෙන්නේ කුමක් ගැනද?
11 යෙහෝවා දෙවිට කළ නමස්කාරයේ මධ්‍යස්ථානය වූ යෙරුසලම රූප වන්දනාවට වහල්ව සිටි බැබිලෝනියව හැඳින්වූයේ “මට සතුරුකම් කරන ස්ත්‍රිය” ලෙසයි. (මීකා 7:8, NW) ඒ හා සමානව 1,44,000කින් යුත් ‘ශුද්ධ නුවර වන යෙරුසලම’ මහා බැබිලෝනියව තමාගේ සතුරා ලෙස හඳුන්වන්නේ හොඳ හේතු ඇතුවයි. (එළිදරව් 21:2) දැන් මෙම මහා ගණිකාවට මහත් විනාශයක් සිදු වී තිබෙනවා. ඇය සම්පූර්ණයෙන්ම පාළු වෙලා. ඇයට ගැලවීමක් ලබා දෙන්න ඇගේ භූතවාදී ක්රියාවලටවත් ජ්‍යෝතිඃ ශාස්ත්රඥයන්ටවත් හැකි වී නැහැ. (යෙසායා 47:1, 11-13ද බලන්න.) මෙයින් සැබෑ නමස්කාරය අත් කරගෙන තිබෙන්නේ විශිෂ්ට ජයක්!
12 මහා බැබිලෝනිය නමැති මෙම පිළිකුල්සහගත ගණිකාව දැන් සදහටම විනාශ වී ඇති නිසා බැටළු පැටවාගේ පිරිසිදු වූ නිර්මල මනාලිය වෙතට පූර්ණ අවධානය යොමු කරන්න කාලය ඇවිත්. ස්වර්ගයේ දේවදූතයන් ඉතා ප්‍රීතියෙන් යෙහෝවා දෙවිට ප්‍රශංසා කරමින් පවසන්නේ මෙලෙසයි. “අපි ප්‍රීති වෙමු. අතිශයින් ප්‍රීති වෙමු. ඔහුව මහිමයට පත් කරමු. මන්ද බැටළු පැටවාගේ විවාහ මංගල්‍යය පැමිණ තිබේ. ඔහුගේ භාර්යාවද සූදානම්ව සිටින්නීය. එසේය, අනර්ඝ හණ රෙද්දෙන් ශුද්ධ තැනැත්තන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා නියෝජනය වන හෙයින්, දීප්තිමත් වූද පිරිසිදු වූද අනර්ඝ හණ වස්ත්‍ර පැළඳ සිටීමට ඇයට අවසර දෙන ලදි.”—එළිදරව් 19:7, 8.
13. බැටළු පැටවාගේ විවාහ මංගල්‍යය සඳහා මනාලියව සූදානම් කර ඇත්තේ කෙසේද?
13 යේසුස් ස්වර්ගයේ සිදු වන මෙම විවාහ මංගල්‍යයට තම මනාලියව සූදානම් කිරීම සඳහා සියවස් ගණනාවක් පුරා ප්‍රේමණීය ලෙස පියවර ගෙන තිබෙනවා (මතෙව් 28:20; 2 කොරින්ති 11:2) යේසුස් දෙවිගේ ඊශ්‍රායෙල්ට අයත් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් 1,44,000දෙනාව ක්‍රමානුකූලව පවිත්‍ර කර තිබෙනවා. එසේ කර තිබෙන්නේ “සභාව පැල්ලමක්වත් රැල්ලක්වත් එබඳු කිසිවක්වත් නැතිව, ශුද්ධව සහ කැළැල් නැතිව එහි උපරිම අලංකාරයෙන් තමන් ඉදිරියට ගෙන එන පිණිසය.” (එෆීස 5:25-27) “දෙවිගේ ස්වර්ගික කැඳවීම නමැති තෑග්ග ලබන පිණිස” සෑම අභිෂේක ලත් ක්‍රිස්තියානියෙක්ම තම පරණ පෞද්ගලිකත්වය හා එයට ආවේණික ගතිලක්ෂණ ඉවත් කර දැමිය යුතුයි. මීට අමතරව ඔවුන් අලුත් ක්‍රිස්තියානි පෞද්ගලිකත්වය පැළඳගෙන ‘යෙහෝවා දෙවිට කරන්නාක් මෙන් මුළු හදවතින්ම’ ධර්මිෂ්ඨව ක්‍රියා කිරීම අවශ්‍යයි.—ෆිලිප්පි 3:8, 13, 14; කොලොස්සි 3:9, 10, 23.
14. බැටළු පැටවාගේ මනාලියට අයත් අයව කෙළසීමට සාතන් උත්සාහ කර ඇත්තේ කෙසේද?
14 ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේ පටන් සාතන් මහා බැබිලෝනිය යොදාගෙන බැටළු පැටවාගේ මනාලියට අයත් අභිෂේක ලත් අයව කෙළසීමට උත්සාහ දරා තිබෙනවා. පළමු සියවස අවසන් වූ විට සාතන් ක්‍රිස්තියානි සභාව තුළ බැබිලෝනියේ ආභාසයක් ඇති ඉගැන්වීම් වපුරා තිබුණා. (1 කොරින්ති 15:12; 2 තිමෝති 2:18; එළිදරව් 2:6, 14, 20) අනුන්ගේ ඇදහිල්ල දූෂ්‍ය කරමින් සිටි අය ගැන පාවුල් විස්තර කළේ මෙම වචනවලින්. “එවැනි මිනිස්සු බොරු ප්‍රේරිතයෝය. වංචනික වැඩකරුවෝය. ඔවුහු ක්‍රිස්තුස්ගේ ප්‍රේරිතයන් මෙන් පෙනී සිටින්නෝය. නමුත් එය පුදුමයක් නොවේ. මන්ද, සාතන් පවා ආලෝකයේ දූතයෙකු මෙන් පෙනී සිටින්නේය.” (2 කොරින්ති 11:13, 14) ඉන්පසු සියවස්වලදී මහා බැබිලෝනියේ වෙනත් ආගම් මෙන් දෙවිගෙන් ඈත් වූ ක්‍රිස්තියානියයි කියාගත් පල්ලි සමූහය ධනයට හා තනතුරුවලට මුල් තැන දෙමින් ‘දම් පාට සහ තද රතු පාට වස්ත්‍ර පැළඳගෙන රන්, අනර්ඝ ගල් සහ මුතුවලින්’ සැරසී සිටියා. (එළිදරව් 17:4) ඇගේ පූජක පක්ෂය සහ පාප්වරුන්, කොන්ස්ටන්ටයින් සහ ෂාලිමේන් වැනි ලේ පිපාසිත පාලකයන් සමඟ අත්වැල් බැඳගත්තා. ඇය ‘ශුද්ධ තැනැත්තන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියාවලින්’ නම් සැරසී සිටියේ නැහැ. ඇය ව්‍යාජ මනාලියක් ලෙසයි සැරසී සිටියේ. ඇත්තෙන්ම මෙය සියලුදෙනාම නොමඟ යැවීමට සාතන් කළ නිර්මාණයක්. එමනිසා ඇගේ සදාකාලික විනාශය මොන තරම් සතුටට හේතුවක්ද!
බැටළු පැටවාගේ භාර්යාව සූදානම්ව සිටී
15. මුද්‍රා කිරීම සිදු වෙන්නේ කෙසේද? සෑම අභිෂේක ලත් ක්රිස්තියානියෙකුගෙන්ම බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?
15 වසර 2,000කට පමණ පසුව දැන් 1,44,000දෙනාගෙන් සමන්විත මනාලිය පන්තිය සූදානමින් සිටිනවා. ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේ පටන් ඇදහිලිවන්ත අභිෂේක ලත් අය “පොරොන්දු කරන ලද ශුද්ධාත්මයෙන් [එනම් දෙවිගේ බලයෙන්] . . . මුද්‍රා කරනු ලැබූ” අතර, එසේ කළේ ‘මිදීමේ මිලයක් තුළින් නිදහස ලැබීමේ දවසක් සඳහායි.’ පාවුල් පැවසූ පරිදි දෙවි “අප පිට සිය මුද්‍රාවද තබා, අපට අපේ සිත් තුළ, අත්තිකාරමක් වශයෙන් ආත්මය [එනම් තම බලය] දී තිබේ.” (එෆීස 1:13; 4:30; 2 කොරින්ති 1:22) අභිෂේක ලත් සෑම කෙනෙක්ම ‘කැඳවාගත් තෝරාගත්’ අයයි. හැමෝම තම ‘විශ්වාසවන්තභාවය’ ඔප්පු කළ යුතුයි. (එළිදරව් 17:14) නමුත් ‘බැටළු පැටවාගේ භාර්යාව සූදානම්ව සිටිනවා’ කියා කිව හැක්කේ කොයි අවස්ථාවේදීද?
16. (අ) පාවුල්ගේ මුද්‍රා කිරීම ස්ථිර කළේ මොන අවස්ථාවේදීද? අප ඒ බව දන්නේ කෙසේද? (ආ) බැටළු පැටවාගේ භාර්යාව සම්පූර්ණයෙන්ම ‘සූදානම්ව සිටින්නේ’ කවදාද?
16 දශක ගණනාවක් පුරා නොයෙකුත් පරීක්ෂාවලට සාර්ථකව මුහුණ දීමෙන් පසු පාවුල් මෙසේ පැවසුවා. “මම යහපත් සටනෙහි සටන් කළෙමි. මම දිවීම අවසන් කළෙමි. මම ඇදහිල්ල රක්ෂා කළෙමි. මෙතැන් පටන්, ධර්මිෂ්ඨකම නමැති ඔටුන්න මා සඳහා තබා තිබේ. ධර්මිෂ්ඨ විනිශ්චයකරු වන ස්වාමීන් ඒ දවසේදී මට එය ප්රදානය කරන්නේය. එහෙත් මට පමණක් නොව, ඔහුගේ ප්‍රකාශ වීම ගැන ආශාවෙන් සිටින්නාවූ සියල්ලන්ටත් ඔහු එය ප්රදානය කරන්නේය.” (2 තිමෝති 4:7, 8) පාවුල් මේ වචන පැවසුවේ ඔහු පොළොවේ ජීවතුන් අතර සිටිද්දීයි. නමුත් මෙයින් පැහැදිලි වෙන්නේ ඒ අවස්ථාවේදී පවා තමා ස්වර්ගයේ ජීවත් වීමට සුදුසුයි කියා දෙවි තීන්දු කර තිබුණු බවයි. ඔහුගේ මුද්‍රා කිරීම ස්ථිර කර තිබුණා. ඒ හා සමානව 1,44,000දෙනාගෙන් තවමත් පොළොව මත ඉතිරි වී සිටින සියලුදෙනාවත් යෙහෝවා දෙවිට අයිති අය ලෙස මුද්‍රා කරන අවස්ථාව පැමිණෙනවා. එයින් කියාපාන්නේ ස්වර්ගයේ ජීවත් වීමට ඔවුන් සුදුසුයි කියා දෙවි තීන්දු කර ඇති බවයි. (2 තිමෝති 2:19) බැටළු පැටවාගේ භාර්යාව සම්පූර්ණයෙන්ම සූදානම්ව සිටින්නේ එවිටයි. ඒ අවස්ථාවේදී ස්වර්ගයේ සිටින 1,44,000දෙනාගෙන් වැඩිදෙනා අමරණීය ජීවිතයක් භුක්ති විඳිමින් සිටින අතර, ඉතිරි අය පොළොව මත සිටියත් දෙවිට විශ්වාසවන්ත වූ අය ලෙස ඔවුන්ව අනුමත කර තිබෙනවා. ඔවුන්ගේ මුද්‍රා කිරීම ස්ථිර කර තිබෙනවා.
17. බැටළු පැටවාගේ විවාහ මංගල්‍යය ඇතැම්විට සිදු වෙන්නේ මොන අවස්ථාවේදීද?
17 දැන් සියලුම 1,44,000දෙනාගේම මුද්‍රා කිරීම ස්ථිර වී ඇති නිසා යෙහෝවා දෙවි තම අරමුණට එකඟව මහත් පීඩාවේ සතරදිග සුළං අල්ලා සිටින දේවදූතයන්ට ඒවා මුදාහරින්න කියා නියෝග කරනවා. (එළිදරව් 7:1-3) මුලින්ම දෙවිගේ විනිශ්චය ඉටු වෙන්නේ මහා බැබිලෝනියට විරුද්ධවයි. ඉන්පසුව යේසුස් ඉතා ක්ෂණිකව සාතන්ගේ දුෂ්ට ලෝකයේ ඉතිරි වී ඇති සෑම දෙයක්ම විනාශ කිරීමට පියවර ගන්නවා. අන්තිමේදී ඔහු සාතන්ව සහ ඔහුගේ භූතයන්ව ආගාධයට හෙළනවා. (එළිදරව් 19:11–20:3) ඒ වන විටත් අභිෂේක ලත් අයගෙන් කිහිපදෙනෙක් පොළොවේ ජීවත්ව සිටිනවා නම් යේසුස් සම්පූර්ණ ජයග්‍රහණයක් ලැබූ වහාම ඔවුනුත් ස්වර්ගයට ගොස් මනාලිය පන්තියේ සෙසු සාමාජිකයන්ට එකතු වෙයි කියා සිතාගත හැකියි. දෙවි අරමුණු කර ඇති දේට එකඟව බැටළු පැටවාගේ විවාහ මංගල්‍යය ඇතැම්විට සිදු වෙන්නේ ඒ අවස්ථාවේදීයි.
18. බැටළු පැටවාගේ විවාහයේදී සිදු වන දේවල අනුපිළිවෙළ තේරුම්ගැනීමට ගීතාවලිය 45 උපකාරවත් වෙන්නේ කෙසේද?
18 ඒ අවස්ථාවේදී සිදු වන දේවල අනුපිළිවෙළ ගීතාවලිය 45හි විස්තර කර තිබෙනවා. මුලින්ම බලයට පත්ව සිටින රජ තම සතුරන්ව පරාජය කරනවා. (1-7 පද) ඊළඟට විවාහය සිදු කරනවා. ස්වර්ගික මනාලිය කැටුව යන්නේ ඇගේ මිතුරියන් වන පොළොවේ සිටින මහත් සමූහයයි. (8-15 පද) ඊළඟට දරුපල ලැබෙනවා. ඒ දරුවන් නම් නැවත නැඟිටුවා පරිපූර්ණත්වයට පැමිණෙන අයයි. ඔවුන්ට එය ලැබෙන්නේ ‘පොළොවෙහි අධිපතීන්ගේ’ අධීක්ෂණය යටතේ මොවුන්ගෙන් පව්කාර ස්වභාවය ක්‍රමානුකූලව ඉවත් කරන විටයි. (16, 17 පද) බැටළු පැටවාගේ විවාහයත් සමඟ ආශීර්වාද රැසක් ගලා එන බව මෙයින් පැහැදිලි වෙනවා.
ආරාධිතයන්ට හිමි වන සන්තෝෂය
19. එළිදරව් පොතේ සඳහන් සන්තෝෂයට හේතු වන කාරණා හතෙන් හතරවැන්න කුමක්ද? සන්තෝෂවත් වන මෙම අවස්ථාවට හවුල් වෙන්නේ කවුරුන්ද?
19 යොහන් දැන් සන්තෝෂයට හේතු වන කාරණා සතෙන් හතරවැන්න ගැන පවසන්නේ මෙසේයි. “ඔහු [යොහන්ට මේ දේවල් හෙළි කරමින් සිටි දේවදූතයා] මට කතා කොට, ‘මෙසේ ලියන්න: බැටළු පැටවාගේ විවාහ මංගල්‍යයේ සන්ධ්‍යා භෝජනයට ආරාධනා කරනු ලැබූ අය සන්තෝෂවත්ය’ යි කීවේය. ‘මේවා දෙවිගේ සැබෑ වචන වන්නේය’ කියාද ඔහු මට කීවේය.” (එළිදරව් 19:9)a “බැටළු පැටවාගේ විවාහ මංගල්‍යයේ සන්ධ්‍යා භෝජනයට” ආරාධනා කරනු ලබන්නේ යේසුස්ගේ මනාලිය වන අභිෂේක ලත් අයවයි. (මතෙව් 22:1-14ද බලන්න.) සියලුම අභිෂේක ලත් අය මෙම ආරාධනය ලැබීමෙන් සන්තෝෂය අද්දකිනවා. මේ ආරාධනය ලැබූවන්ගෙන් වැඩිදෙනෙක් දැනටමත් ස්වර්ගයේ එනම් විවාහ මංගල්‍ය භෝජනය සිදු වන ස්ථානයේ සිටිනවා. තවමත් පොළොව මත සිටින අයටත් ආරාධනයක් ලැබී තිබෙන නිසා ඔවුන් සිටින්නේ සන්තෝෂයෙන්. එම මංගල්‍ය භෝජනයට ඔවුන් අනිවාර්යයෙන්ම සහභාගි වෙනවා. (යොහන් 14:1-3; 1 පේතෘස් 1:3-9) ඔවුන්ව ස්වර්ගයට නැවත නැඟිටවනු ලබන විට මනාලිය පන්තියට අයත් සියලුදෙනා එක්සත්ව බැටළු පැටවා සමඟ එම ප්‍රීතිමත් විවාහයට සහභාගි වෙනවා නිසැකයි.
20. (අ) “මේවා දෙවිගේ සැබෑ වචන වන්නේය” කියා පැවසීමෙන් අදහස් වෙන්නේ කුමක්ද? (ආ) දේවදූතයා පවසන දේ යොහන්ට බලපාන්නේ කෙසේද? දේවදූතයා දෙන උපදෙස කුමක්ද?
20 “මේවා දෙවිගේ සැබෑ වචන වන්නේය” කියා දේවදූතයා කියනවා. මෙහි “සැබෑ” යන වචනයට අදාළ ග්‍රීක වචනයේ (අලෙතිනොස්) අර්ථය නම්, “අවංක” හෙවත් “විශ්වාස කළ හැකි” යන්නයි. මෙම වචන යෙහෝවා දෙවිගෙන් පැමිණෙන නිසා ඒවා විශ්වාසවන්තයි. ඒවා සැක කරන්න අවශ්‍ය නැහැ. (1 යොහන් 4:1-3ද, එළිදරව් 21:5ද, එළි 22:6ද බලන්න.) එම විවාහ මංගල්‍යයට ආරාධනා කරනු ලැබූ කෙනෙකු හැටියට යොහන් මෙම වචන ඇසීමෙන් හා මනාලිය පන්තියට ඉදිරියේදී හිමි වන ආශීර්වාද ගැන සිතා බැලීමෙන් මහත් ප්‍රීතියක් ලබන්න ඇති. මෙය ඔහුට කොතරම් තදින් බලපානවාද කියනවා නම් ඔහු කරන යම් දෙයක් නිසා ඔහුට යම් උපදෙසක් දෙන්න දේවදූතයාට සිදු වෙනවා. යොහන් මෙසේ පවසනවා. “එවිට මම, ඔහුට නමස්කාර කරන පිණිස ඔහුගේ පාමුල වැඳ වැටුණෙමි. නමුත් ඔහු මට කතා කොට, ‘පරෙස්සම් වන්න! එසේ නොකරන්න! මා ඔබගේත්, යේසුස් පිළිබඳ සාක්ෂි දැරීමේ කාර්යය පැවරී ඇති ඔබේ සහෝදරයන්ගේත් සෙසු දාසයෙකු පමණි. දෙවිට නමස්කාර කරන්න. . . . ’ යි කීවේය.—එළිදරව් 19:10අ.
21. (අ) එළිදරව් පොතෙන් අපට දේවදූතයන් ගැන හෙළි වෙන්නේ කුමක්ද? (ආ) ක්‍රිස්තියානීන් දේවදූතයන් සම්බන්ධයෙන් දැරිය යුතු ආකල්පය කුමක්ද?
21 එළිදරව් පොත පුරාම අප දකින්නේ දේවදූතයන් ඉතා විශ්වාසවන්තව හා කඩිසරව සේවය කරන පිරිසක් බවයි. දෙවි සත්‍යය එළිදරව් කිරීමට ඔවුන්වත් යොදාගන්නවා. (එළිදරව් 1:1) ඔවුන් මිනිසුන් සමඟ ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයට හා සංකේතවත් පීඩා වැගිරවීමේ කාර්යයට හවුල් වෙනවා. (එළිදරව් 14:6, 7; 16:1) සාතන්ව සහ ඔහුගේ භූතයන්ව ස්වර්ගයෙන් පලවාහැරීමට ඔවුන් යේසුස් සමඟ හවුල් වුණා. දෙවිගේ මහත් දවසේ යුද්ධයේදීත් ඔවුන් යේසුස්ගේ පැත්තෙහි සටන් කරනවා. (එළිදරව් 12:7; 19:11-14) යෙහෝවා දෙවි ඉදිරියේම පෙනී සිටීමේ වරප්‍රසාදයත් ඔවුන් සතුයි. (මතෙව් 18:10; එළිදරව් 15:6) ඔවුන්ට කොතරම් වරප්‍රසාද හිමි වුණත් ඔවුන් කටයුතු කරන්නේ දෙවිගේ යටහත් දාසයන් ලෙසයි. මෙයින් පැහැදිලි වෙන්නේ දේවදූතයන්ට නමස්කාර කිරීම නුසුදුසු දෙයක් බවයි. මීට අමතරව යම් “සාන්තුවරයෙක්” හෝ දේවදූතයෙක් මාර්ගයෙන් දෙවිට නමස්කාර කිරීම සඳහාවත් ඉඩක් නැහැ. (කොලොස්සි 2:18) මේ අනුව යෙහෝවා දෙවිට පමණක් නමස්කාර කරන සැබෑ ක්‍රිස්තියානීන් තමන්ගේ සියලුම ඉල්ලීම් යේසුස්ගේ නාමයෙන් දෙවිට ඉදිරිපත් කරනවා.—යොහන් 14:12, 13.
අනාවැකිවලට යේසුස් සම්බන්ධ වන ආකාරය
22. දේවදූතයා යොහන්ට පවසන්නේ කුමක්ද? ඔහු පවසන දෙයින් අදහස් වෙන්නේ කුමක්ද?
22 ඊළඟට දේවදූතයා මෙසේ කියනවා. “මන්ද, අනාවැකි දෙනු ලබන්නේ යේසුස් පිළිබඳව සාක්ෂි දැරීම සඳහාය.” (එළිදරව් 19:10ආ) දේවදූතයා එසේ පවසන්නේ ඇයි? යෙහෝවා දෙවි අනාවැකි පළ කරන්නේ තම අරමුණු තුළ යේසුස් ඉතා වැදගත් කාර්යයක් ඉටු කරන නිසයි. උදාහරණයකට බයිබලයේ සඳහන් මුල්ම අනාවැකියේ වංශයක් තුළින් බිහි වන ගැලවුම්කරුවෙක් ගැන කතා කළා. (උත්පත්ති 3:15) ඒ ගැලවුම්කරු යේසුස්. ඉන්පසුව එළිදරව් වූ දේවලුත් ඒ මූලික පොරොන්දුව මත පදනම් වී තිබුණා. “සියලු අනාගතවක්තෘවරු ඔහු [යේසුස්] ගැන සාක්ෂි දරන්නෝය” කියා පේතෘස් අන්‍යජාතික කොර්නේලියස්ට පැවසුවේ ඒ නිසයි. (ක්‍රියා 10:43) වසර 20කට පමණ පසුව පාවුල් මෙසේ පැවසුවා. “දෙවිගේ පොරොන්දු කොපමණ වුවත්, යේසුස් මාර්ගයෙන් ඒවා එසේය වී තිබේ.” (2 කොරින්ති 1:20) ඊටත් වසර 43කට පසුව යොහන්ද අපට මෙසේ මතක් කරනවා. “සත්‍යය පැමිණියේ යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙනි.”—යොහන් 1:17.
23. යේසුස්ට හිමි උසස් තනතුර හා බලතල නිසා යෙහෝවා දෙවිට අප දෙන නමස්කාරය බාල නොවෙන්නේ ඇයි?
23 මේ හේතුව නිසා යෙහෝවා දෙවිට අප දෙන නමස්කාරය බාල වෙනවාද? නැහැ. “දෙවිට නමස්කාර කරන්න” කියා දේවදූතයා දුන් අවවාදය අප අමතක නොකළ යුතුයි. යේසුස් නමස්කාරය තමාටම ලබාගන්න යෙහෝවා දෙවි සමඟ කොහොමටවත් තරඟ කරන්නේ නැහැ. (ෆිලිප්පි 2:6) සියලු දේවදූතයන් ‘[යේසුස්] ඉදිරියේ වැඳ වැටිය’ යුතු බවත්, සියලුම මැවිලි යේසුස්ගේ උසස් තත්වය පිළිගෙන ‘සියල්ලන් යේසුස්ගේ නාමයෙන් දණ නැමිය’ යුතු බවත් බයිබලයේ සඳහන් වී තිබුණත් එසේ කළ යුත්තේ “පියාණන් වන දෙවිගේ තේජස සඳහා” බව පැහැදිලිවම සඳහන් කර තිබෙනවා. (හෙබ්‍රෙව් 1:6; ෆිලිප්පි 2:9-11) යේසුස්ට ඉතා උසස් බලතල ලබා දුන්නේ යෙහෝවා දෙවියි. යේසුස්ට තිබෙන බලතල පිළිගැනීමෙන් අපි ඇත්තටම ගෞරවය දෙන්නේ යෙහෝවා දෙවිටයි. අපි යේසුස්ගේ පාලනයට යටත් වෙන්නේ නැත්නම් අපි කරන්නේ යෙහෝවා දෙවිව ප්‍රතික්ෂේප කිරීමයි.—ගීතාවලිය 2:11, 12.
24. අප ඉදිරියේ තිබෙන සුවිශේෂ සිදුවීම් දෙක මොනවාද? අපගේ මුවින් පිට විය යුත්තේ කවර වචන පෙළද?
24 එසේනම් ගීතාවලිය 146 සිට 150 දක්වා සඳහන් ගීතිකාවල මුල් වචන පෙළ එනම් “ජනයෙනි, යාහ්ට ප්‍රශංසා කරන්න” කියා අපි එක හඬින් ගයමු. ලෝකය පුරා අධිරාජ්‍යයක් ලෙස පැවතුණු අසත්‍යය උගන්වන සියලුම ආගම් ඉතා ඉක්මනින් යෙහෝවා දෙවි අතින් පරාජය වෙන්න යනවා. බැටළු පැටවාගේ විවාහ මංගල්‍යයත් ළං වී තිබෙනවා. මේ සියලු දේ අපේක්ෂාවෙන් අපි සැමෝම එක හඬින් යෙහෝවා දෙවිට ප්‍රීතියෙන් හා සතුටින් ප්‍රශංසා කරමු.
[පාදසටහන]
a එළිදරව් 1:3; 14:13; 16:15 බලන්න.
[273වන පිටුවේ කොටුව]
“සොදොම සහ ගොමෝරා වෙතට”
වර්ෂ 1987 නොවැම්බර් 12වනදා ලන්ඩනයේ පුවත්පතක ඉහත සඳහන් මාතෘකාව යටතේ ලිපියක් පළ වුණා. (පුවත්පතේ නම, Daily Telegraph) එම ලිපියේ සඳහන් වුණේ එංගලන්ත සභාවේ නායක පූජකවරුන්ගේ මහා සම්මේලනයක් ඉදිරියේ ගෙනා යෝජනාවක් ගැනයි. එම යෝජනාවට අනුව සමලිංගික “ක්‍රිස්තියානීන්ව” පල්ලියෙන් නෙරපා දමන ලෙස ඉල්ලීමක් කර තිබුණා. ගොඩ්ෆ්‍රි බාකර් නම් පුවත්පත් ලේඛකයා ඒ ගැන වාර්තා කළේ මෙසේයි. “කැන්ටර්බරියේ අගරදගුරු තැන ඉතා ශෝකයෙන් මෙසේ පැවසුවා. ‘ශාන්ත පාවුලුතුමා එංගලන්ත සභාවට ලිපියක් එව්වා නම්, එය මොන ආකාරයේ ලිපියක් වේවිද කියන ප්‍රශ්න ඇසීම උචිතයි.’” තම අදහස් දක්වමින් බාකර් පැවසුවේ මෙසේයි. “එය සොදොම් සහ ගොමෝරා වෙතට යන මැයින් යුත් ලිපියක් විය යුතුයි.” පසුව ඔහු මෙසේද පැවසුවා. “අගරදගුරු රන්සි පැවසුවේ එය රෝම 1වන පරිච්ඡේදයේ සඳහන් තොරතුරු ඇතුළත් ලිපියකට සමාන වෙයි කියායි.”
මෙම ලේඛකයා රෝම 1:26-32හි සඳහන් පාවුල්ගේ මෙම වචන උපුටා දැක්වූවා. ‘දෙවි ඔවුන්ව නින්දිත ලිංගික තෘෂ්ණාවලට භාර දුන්නේය. . . . පුරුෂයෝ පුරුෂයන් සමඟ අශික්ෂිත දේ කළෝය. . . . මෙවැනි දේවල් කරන අය මරණය ලැබීමට සුදුසුය යන දෙවිගේ ධර්මිෂ්ඨ නියෝගය හොඳින් දැන සිටියත්, ඔවුහු ඒ දේවල් කරනවා පමණක් නොව, ඒ දේ කරන අයට අනුබලද දෙති.’ ඔහුගේ නිගමනය වුණේ මෙයයි. “ශාන්ත පාවුලුතුමා කතා කළේ සභාවේ සාමාජිකයන් ගැනයි. නමුත් අගරදගුරු රන්සිගේ ප්රශ්නය පූජකයන් මෙලෙස හැසිරීම ගැනයි.”
අගරදගුරු එවන් ගැටලුවකට මුහුණ දී සිටින්නේ ඇයි? වර්ෂ 1987 ඔක්තෝබර් 22වනදා ලන්ඩනයේ පුවත්පතක සිරස්තලවල මෙසේ සඳහන් වුණා. “‘දේවගැතියන් තිදෙනෙකුගෙන් එක් අයෙක් සමලිංගිකයෙක්’ . . . සමලිංගිකයන් පල්ලියෙන් ඉවත් කළොත් ‘එංගලන්ත සභාව වසා දමන්නට සිදු වෙයි.’” (පුවත්පතේ නම, Daily Mail) සමලිංගික පුරුෂයන්ගේ හා ස්ත්රීන්ගේ ක්‍රිස්තියානි සංගමයේ “ගරු” මහා ලේකම් පැවසූ දේත් එම පුවත්පත් වාර්තාවල සඳහන් වෙනවා. “මේ යෝජනාව පිළිගත්තා නම් එය පල්ලියට මරු පහරක් වෙයි. කැන්ටබරියේ අගරදගුරු තැනත් මේ බව දන්නවා. අප දන්නා විදිහට එංගලන්ත සභාවේ පූජකයන්ගෙන් සියයට 30ත් 40ත් අතර ප්‍රමාණයක් සමලිංගිකයන්. ඇත්තටම පල්ලියේ කටයුතුවලට වඩාත් ක්‍රියාශීලීව සහභාගි වෙන්නේ මේ පිරිසයි.” අනිවාර්යයෙන්ම පල්ලි සාමාජිකයන්ගේ සංඛ්‍යාව එන්න එන්නම අඩු වී යෑමට යම් දුරකට දායක වී ඇත්තේ මෙම සමලිංගිකයන්ගේ සංඛ්‍යාව වැඩිවීමයි.
පල්ලි නායකයන්ගේ සම්මේලනයේ තීරණය කුමක්ද? මෙහි සාමාජිකයන් 388දෙනාගෙන් බහුතරයක් (පූජකයන්ගෙන් සියයට 95ක්) ඡන්දය දුන්නේ මෙම යෝජනාව තවත් ලිහිල් කිරීමට පක්ෂවයි. මේ ගැන 1987 නොවැම්බර් 14වනදා තවත් පුවත්පතක මෙසේ වාර්තා වුණා. “එංගලන්ත සභාව සමලිංගික ක්‍රියාවලට විරුද්ධයි කියා පැවසුවත් ක්‍රියාකලාපයෙන් නම් වැඩි විරුද්ධත්වයක් දකින්න නැහැ. පල්ලියේ මහා සම්මේලනය මේ සතියේදී තීරණය කළේ සමලිංගික ක්‍රියා, වේශ්‍යාකම සහ පරදාර සේවනය යන ගණයට දැමිය නොහැකි බවයි. එමනිසා සමලිංගික ක්‍රියා පාපයක් නොවන බවයි. ඒවා ‘සාමාන්‍යයෙන් විවාහයක් තුළදී සිදු වන සම්මත දෙයින් බැහැර වීමක්’ පමණයි.” (පුවත්පතේ නම, The Economist) කැන්ටබරියේ අගරදගුරුගේ මේ දියාරු මතයට වඩා වෙනස් වූ රෝම 1:26, 27හි සඳහන් පාවුල්ගේ පැහැදිලි වචන මේ පුවත්පතේ උපුටා දැක්වූ අතර ඊට පහළින් ලියා තිබුණේ “පාවුල්තුමා දැරූ මතය නම් ඉතා පැහැදිලියි” කියායි.
මේ සම්බන්ධයෙන් යේසුස් දැරූ ස්ථාවරයත් ඉතා පැහැදිලියි. ඔහු එය ඉතා පැහැදිලිවත් ප්‍රකාශ කළා. තමා පැවසූ දේ ප්‍රතික්ෂේප කළ ආගමික නායකයන්ට වඩා “විනිශ්චය දවසේදී සොදොම් දේශයට විඳදරාගැනීම පහසු වන්නේය” යයි ඔහු පැවසුවා. (මතෙව් 11:23, 24) යේසුස් මෙහිදී භාවිත කළේ භාෂාලංකාරයක්. ඔහු පෙන්වන්න උත්සාහ කළේ දෙවිගේ පුත්‍රයා සහ ඔහුගේ ඉගැන්වීම් ප්‍රතික්ෂේප කළ ආගමික නායකයන් සොදොමේ වැසියන්ට වඩා විනිශ්චයක් ලැබීමට සුදුසු බවයි. යූද් 7වන පදයට අනුව සොදොමේ වැසියන් “සදාකාල ගින්න නමැති යුක්තිසහගත දඬුවම” එනම් සදාකාල විනාශය අද්දුටුවා. (මතෙව් 25:41, 46) ක්‍රිස්තියානියයි කියාගන්නා ආගමික නායකයන් කර තිබෙන්නේ තම අන්ධ වූ සාමාජිකයන්ව දේවරාජ්‍යයේ උසස් සදාචාර ප්‍රමිතිවලින් බැහැර කර ඔවුන්ව මෙම ලෝකයේ පහත් ජීවිතයට යොමු කිරීමයි. එමනිසා ඔවුන් මොන තරම් දරුණු විනිශ්චයක් ලැබිය යුතුද! (මතෙව් 15:14) අසත්‍යය උගන්වන සියලු ආගම් එනම් මහා බැබිලෝනිය ගැන ස්වර්ගයෙන් නික්මෙන හඬක් මහත් හදිසිතාවකින් පවසන්නේ මෙසේයි. “මාගේ සෙනඟෙනි, ඇගෙන් ඉවත්ව යන්න. ඇගේ පාපවලට ඇයත් සමඟ හවුල් වන්නවත්, ඇයට ලැබෙන පීඩාවලින් කොටසක් ලබන්නවත් ඔබ කැමති නැත්නම් ඇගෙන් ඉවත්ව යන්න.”—එළිදරව් 18:2, 4.
[275වන පිටුවේ පින්තූර]
මහා බැබිලෝනිය සුනුවිසුනු කර දැමීම ගැන ස්වර්ගික සේනාවෝ යාහ්ට ප්‍රශංසා කරනවා