පරිච්ඡේදය 28
රෞද්‍ර මෘගයන් දෙදෙනෙක්
දර්ශනය 8—එළිදරව් 13:1-8
සිදු වන දේ: හිස් සතක් ඇති වන මෘගයාටත්, අං දෙකක් ඇති වන මෘගයාටත්, වන මෘගයාගේ රූපයටත් සම්බන්ධ සිද්ධීන්
ඉටු වන කාලය: නිම්රොද්ගේ කාලයේ සිට මහත් පීඩාව දක්වා
1, 2. (අ) යොහන් මකරා ගැන කියන්නේ කුමක්ද? (ආ) මකරා යොදාගන්නා දෘශ්‍යමාන සංවිධානයක් ගැන යොහන් විස්තර කරන්නේ කෙසේද?
එළිදරව් පොත අධ්‍යයනය කිරීමෙන් අපට පැහැදිලි වී තිබෙන්නේ මකරාව පොළොවට හෙළා තිබෙන බවයි. සර්පයාට හෝ ඔහුගේ භූතයන්ට නැවත කවදාවත් ස්වර්ගයට යන්න ලැබෙන්නේ නැහැ. නමුත් “යක්ෂයා කියාද සාතන් කියාද හඳුන්වන, මුළු පොළොවම නොමඟ යවන” මේ මකරා ගැන තවත් බොහෝ තොරතුරු තේරුම්ගත යුතුයි. දැන් අප සලකා බලන්නේ ‘ස්ත්‍රිය හා ඇගේ වංශයට’ එරෙහිව සටන් කිරීම සඳහා සාතන් යොදාගන්නේ කාවද යන්නයි. (එළිදරව් 12:9, 17) සර්පයෙකුට සමාන ඒ මකරා ගැන යොහන් මෙසේ පවසනවා. “ඌ මුහුදෙහි වැලි මත නැවතී සිටියේය.” (එළිදරව් 13:1අ) තම අරමුණු ඉටු කරගැනීමට මකරා යොදාගන්නේ කාවද කියා දැන් අපි සෝදිසි කර බලමු.
2 සාතන් සහ ඔහුගේ භූතයන්ගේ කිසිම බලපෑමක් දැන් ස්වර්ගයට නැහැ. ස්වර්ගයෙන් නෙරපා ඇති මොවුන් ඉන්නේ පොළොවේ. නවීන කාලයේ භූතවාදයට සම්බන්ධ දේවල් ශීඝ්‍ර ලෙස පැතිර යෑමට හේතුව මෙය විය යුතුයි. සර්පයා තම භූතයන්ව තවමත් සංවිධානයක් ලෙස මෙහෙයවනවා. නමුත් මිනිසාව නොමඟ යැවීමට ඔහු යොදාගන්නා යම් දෘශ්‍යමාන සංවිධානයක් තිබෙනවාද? යොහන් අපට මෙසේ කියනවා. “තවද, අං දසයක්ද හිස් සතක්ද ඇති වන මෘගයෙකු මුහුදෙන් මතු වෙනවා මම දුටිමි. උගේ අං මත ඔටුනු දසයක්ද උගේ හිස් මත දේවඅපහාස නාමද තිබිණ. මා දුටු වන මෘගයා දිවියෙකු වැනිය. නමුත් උගේ පාද වලසෙකුගේ පාද මෙන්ද උගේ කට සිංහයෙකුගේ කට මෙන්ද විය. මකරා ඒ මෘගයාට තමාගේ බලයත් තමාගේ සිංහාසනයත් මහත් අධිකාරියත් දුන්නේය.”—එළිදරව් 13:1ආ, 2.
3. (අ) දානියෙල් දර්ශනවලින් දුටුවේ කවර අන්දමේ රෞද්‍ර මෘගයන්ද? (ආ) දානියෙල් 7වන පරිච්ඡේදයේ සඳහන් මහා මෘගයන්ගෙන් නියෝජනය වෙන්නේ මොනවාද?
3 කවුද මේ අද්භූත මෘගයා? බයිබලයම ඊට පිළිතුරු දෙනවා. රෞද්‍ර මෘගයන් ඇතුළත් දර්ශනයක් ක්‍රි.පූ.539දී බැබිලෝනිය වැටීමට පෙර යුදෙව් අනාගතවක්තෘවරයෙකු වූ දානියෙලුත් දුටුවා. දානියෙල් පොතේ 7:2-8හි මුහුදෙන් නැඟී එන මෘගයන් හතරදෙනෙකු ගැන දානියෙල් විස්තර කරනවා. පළමුවෙනියා සිංහයෙකු වගේ. දෙවෙනියා වලසෙකු වගේ. තුන්වෙනියා දිවියෙකු වගේ. ඉන්පසු “භයානක වූ ඉතා ශක්තිමත් වූ සතරවෙනි මෘගයෙක් විය. . . . ඌට අං දසයක් තිබුණේය.” දානියෙල් දුටු මේ මෘගයා යොහන් ක්‍රි.ව. 96දී පමණ දුටු වන මෘගයාට බොහෝ පැතිවලින් සමානයි. යොහන් දකින මෘගයාටත් සිංහයෙකුට, වලසෙකුට, දිවියෙකුට සමාන ගතිලක්ෂණ තිබුණා වගේම ඌට අං දහයක්ද තිබුණා. දානියෙල් දකින මේ මහා මෘගයන්ගෙන් නියෝජනය වෙන්නේ මොනවාද? දානියෙල්ම මෙසේ පැහැදිලි කරනවා. “ඒ මහා මෘගයෝ . . . පොළොවෙහි උපදින රජවරු සතරදෙනෙකි” කියා ඔහු පවසනවා. (දානියෙල් 7:17) ඒ මෘගයන් ‘රජවරුන්’ එනම් පොළොවේ පවතින පාලන නියෝජනය කරනවා.
4. (අ) දානියෙල් 8වන පරිච්ඡේදයේ, බැටළුවාගෙන් හා එළුවාගෙන් නියෝජනය කළේ කාවද? (ආ) එළුවාගේ මහත් අඟ බිඳී ඉන්පසු කුඩා අං හතරක් හටගත්තා කීමෙන් අදහස් කළේ කුමක්ද?
4 දානියෙල් තවත් දර්ශනයකදී අං දෙකක් සහිත බැටළුවෙක් දුටුවා. මේ බැටළුවාට මහත් අඟක් ඇති එළුවෙකු පහර දෙනවා. ඉන් අදහස් කරන දෙය ගාබ්‍රියෙල් දේවදූතයා දානියෙල්ට විස්තර කළේ මෙසේයි. “බැටළුවා නම්, . . . මේදියා දේශයේ සහ පර්සියාවේ දේශයේ රජවරුය. ලොම් ඇති එළුවා ග්‍රීස් දේශයේ රජය.” මෙම එළුවාගේ මහත් අඟ බිඳිනු ලබන බවත් ඉන්පසුව අං සතරක් හටගන්නා බවත් ගාබ්‍රියෙල් පවසනවා. මෙය සිදු වුණේ ඊට අවුරුදු 200කට පසුවයි. ඒ මහා ඇලෙක්සැන්ඩර් මිය ගොස් ඔහුගේ රාජ්‍යය ඔහුගේ සෙන්පතීන් සතරදෙනෙකු අතර බෙදී වෙනම රාජ්‍යවල් සතරක් හටගත් විටයි.—දානියෙල් 8:3-8, 20-25.a
5. (අ) මෘගයා සඳහා භාවිත වන ග්‍රීක වචනයට ඇත්තේ කවර අදහසක්ද? (ආ) එළිදරව් 13:1, 2හි සඳහන් හිස් සතක් ඇති වන මෘගයාගෙන් නියෝජනය වෙන්නේ කුමක්ද?
5 බයිබලයේ කර්තෘ වන යෙහෝවා දෙවි මේ ලෝකයේ පවතින පාලනයන් මෘගයන්ට සමාන කරන බව මෙයින් පැහැදිලි වෙනවා. මෙම මෘගයන්ට ඇත්තේ කවර ගතිලක්ෂණද? එළිදරව් 13:1, 2හි සඳහන් වන මෘගයා ගැන විස්තර කරමින් එක් විශාරදයෙකු පැවසුවේ ඌට “කුරිරු” ගතිගුණ ඇති බවයි. ඔහු මෙසේද පවසනවා. “මෘගයා සඳහා භාවිත කර ඇති ග්‍රීක වචනයේ [θηρίον, තෙරියොන්] අදහස සලකා බලන විට එයින් ඉතා කෲර, විනාශකාරී, භයානක, රෞද්‍ර අද්භූත තිරිසනෙක් ගැන විස්තර කරනවා.”b මිනිසාව තම අණසක යටතේ තබාගැනීමට සාතන් භාවිත කර ඇති ලෙයින් නැහැවී ඇති ලෝකයේ පවතින සියලුම දේශපාලන ක්‍රම මෙයින් මනාවට විස්තර කරනවා. මෙම වන මෘගයාගේ හිස් සතෙන් නියෝජනය වෙන්නේ ඉතිහාසයේ පැවති ලෝක අධිරාජ්‍යයන් සතයි. මේවායින් හයක් එනම් ඊජිප්තුව, ඇසිරියාව, බැබිලෝනියාව, මේද-පර්සියාව, ග්‍රීසිය සහ රෝමය යොහන්ගේ කාලයේ පැවතුණා. සත්වෙනි අධිරාජ්‍යය පැමිණියේ පසුවයි.—එළිදරව් 17:9, 10 බලන්න.
6. (අ) වන මෘගයාගේ හිස් සත මුල් වී තිබෙන්නේ කුමක් කිරීමටද? (ආ) යුදෙව් සමාජයට දෙවි නියම කළ දඬුවම ඉටු කරන්න දෙවි රෝමය යොදාගත්තේ කෙසේද? යෙරුසලමේ සිටි ක්‍රිස්තියානීන්ට සිදු වුණේ කුමක්ද?
6 හිස් සතක් ඇති වන මෘගයාට සිරුරක් මෙන්ම අං දහයක් ඇත්තාක් සේ මිනිස් ඉතිහාසයේ ඉහත සඳහන් ප්‍රධාන ලෝක බලවේග සතට අමතරව තවත් බලවේග පැවත තිබෙන බව අප මෙහිදී මතක තබාගත යුතුයි. නමුත් හිස් සතෙන් නියෝජනය වෙන ලෝක බලවේගයන්ගේ විශේෂ ගතිලක්ෂණය වෙන්නේ ඔවුන් දෙවිගේ ජනයාට පීඩා කරන්න මුල් වී ඇති ආකාරයයි. ක්‍රිස්තු වර්ෂ 33දී දෙවිගේ පුත්‍රයා මරා දැමීමට සාතන් යොදාගත්තේ රෝම අධිරාජ්‍යයයි. දෙවි තමා තෝරාගත් ජාතිය වූ නොඇදහිලිකාර යුදෙව්වන් ජාතියක් ලෙස අත්හැරියේ ඒ කාලයේදීයි. පසුව එම ජාතිය පිට තමා තීන්දු කළ විනිශ්චය ඉටු කිරීමට ක්‍රි.ව. 70දී රෝමයට ඉඩහැරියා. නමුත් දෙවිගේ සැබෑ ඊශ්‍රායෙල්, එනම් අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ඇතුළත් සභාවට කලින්ම ඒ ගැන අනතුරු අඟවලයි තිබුණේ. මේ අනුව යෙරුසලමේ හා යූදා දේශයේ සිටි මේ අය යොර්දාන් ගඟෙන් එගොඩට පලා ගොස් ආරක්ෂාව ලැබුවා.—මතෙව් 24:15, 16; ගලාති 6:16.
7. (අ) මේ දුෂ්ට සමාජයේ අවසාන කාලයත් ස්වාමීන්ගේ දවසත් ආරම්භ වූ විට සිදු වුණේ කුමක්ද? (ආ) එළිදරව් 13:1, 2හි වන මෘගයාගේ සත්වන හිස කවුද?
7 කොහොමනමුත් ක්‍රි.ව. පළමු සියවස අවසන් වූ විට මෙම මුල් සභාවේ බොහෝදෙනෙක් සැබෑ ඇදහිල්ලෙන් වැටිලයි සිටියේ. කිරිඳි හෙවත් ‘දුෂ්ටයාගේ පුත්‍රයන්ගේ’ බලපෑම නිසා සැබෑ තිරිඟු හෙවත් “රාජ්‍යයේ පුත්‍රයෝ” යටපත් වී ගියා. නමුත් මේ දුෂ්ට සමාජයේ අවසාන කාලය පටන්ගත් විට අභිෂේක ලත් ක්‍රිස්තියානීන් නැවතත් කණ්ඩායමක් ලෙස සංවිධානය වුණා. ප්‍රතිඵලයක් ලෙස ස්වාමීන්ගේ දවසේදී ධර්මිෂ්ඨ අය ‘සූර්යයා මෙන් දීප්තියෙන් බැබළෙන්න’ පටන්ගත්තා. (මතෙව් 13:24-30, 36-43) ඒ කාලයේදී රෝමය කියන අධිරාජ්‍යයක් තිබුණේ නැහැ. ලෝකයේ ප්රබලතම අධිරාජ්‍යයන් හැටියට සිටියේ දැවැන්ත බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය හා අමෙරිකා එක්සත් ජනපදයයි. වන මෘගයාගේ සත්වන හිස එකම ලෝක අධිරාජ්‍යයක් ලෙස ක්‍රියා කරන පාලන දෙකක් වූ බව පැහැදිලි වුණා.
8. එංගලන්ත-අමෙරිකානු ලෝක අධිරාජ්‍යය වන මෘගයෙකුට සමාන කිරීම යෝග්‍ය දෙයක් වෙන්නේ ඇයි?
8 දැනට ලෝකයේ පවතින පාලන බලවේගයන් වන මෘගයෙකුට සමාන කිරීම අගෞරවණීය දෙයක් ලෙස බොහෝදෙනෙක් සිතුවා. ඒ නිසා දෙවන ලෝක මහා යුද්ධය පැවති කාලයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව පැවැත්වූ නඩුවලදී සමහරදෙනෙක් චෝදනා කළේ සාක්ෂිකරුවන් ආණ්ඩුවලට අගෞරව කරන බවයි. නමුත් අද ලෝකයේ ජාතීන් බොහොමයක් ජාතික ලාංඡන වශයෙන් මෘගයන්ගේ හෝ සතුන්ගේ රූප භාවිත කරන්නේ නැද්ද? නිදසුනක් ලෙස බ්‍රිතාන්‍යය සිංහයෙකුවත්, එක්සත් ජනපදය රාජාලියෙකුවත්, චීනය මකරෙකුවත් ජාතික ලාංඡන ලෙස යොදාගන්නවා. එසේනම් ශුද්ධ වූ බයිබලයේ කර්තෘ වන යෙහෝවා දෙවි ලෝකයේ පවතින පාලන නියෝජනය කිරීමට මෘගයන් භාවිත කිරීම ගැන කිසිම කෙනෙකුට චෝදනා කරන්න බැහැ.
9. (අ) වන මෘගයාට බලය ලැබෙන්නේ සාතන්ගෙන් බව බයිබලයේ සඳහන් දේට කිසිම කෙනෙක් විරුද්ධ නොවිය යුත්තේ ඇයි? (ආ) සාතන්ව බයිබලයේ විස්තර කර තිබෙන්නේ කෙසේද? ඔහු ආණ්ඩුවලට බලපෑම් කරන්නේ කෙසේද?
9 මීට අමතරව වන මෘගයාට බලය ලැබෙන්නේ සාතන්ගෙන් බවට බයිබලයේ සඳහන් වී තිබෙන අතර, එම අදහසට කිසිම කෙනෙක් විරුද්ධ නොවිය යුතුයි. ඒ දේ පවසන්නේ දෙවියි. ඔහු ඉදිරියේ ‘ජාතීහු කලයකින් වැටෙන දිය පොදක් හා සමානයි. තරාදියේ ධූලි මෙන් ගණන් ගනු ලබනවා.’ දෙවිගේ වචනයේ මෙම ජාතීන් ගැන විස්තර කර තිබෙන විදිහ ගැන කෝප වෙනවා වෙනුවට ඔවුන් කළ යුත්තේ දෙවිගේ අනුමැතිය දිනාගැනීමට උත්සාහ කිරීමයි. (යෙසායා 40:15, 17; ගීතාවලිය 2:10-12) සාතන් ලෝකයේ දේශපාලනික කටයුතුවලට ප්‍රබල බලපෑමක් සිදු කරන මහා රැවටිලිකාරයෙක්. ඔහුව බයිබලයේ විස්තර කර තිබෙන්නේ “ආලෝකයේ දූතයෙකු” ලෙසයි. එනිසා ඔහු පව්කාරයන්ව නිරයක දමා පිලිස්සීමට බලා සිටින මිථ්‍යා කථාවල සඳහන් පුද්ගලයෙක් කියා නොසිතිය යුතුයි. මීට අමතරව එවැනි ‘නිරයක්’ පවතින්නෙත් නැහැ.—2 කොරින්ති 11:3, 14, 15; එෆීස 6:11-18.
10. (අ) වන මෘගයාගේ අං දසයේ සෑම එකකටම ඔටුන්නක් තිබීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) අං දහය හා ඔටුනු දසයෙන් සංකේතවත් කරන්නේ කුමක්ද?
10 මෙම වන මෘගයාගේ හිස් සත මත අං දහයක්ද තිබෙනවා. සමහරවිට හිස් හතරක එක අඟ බැගිනුත් හිස් තුනක අං දෙක බැගිනුත් තිබුණා විය හැකියි. උගේ අං මත ඔටුනු දහයකුත් තිබුණා. දානියෙල්ගේ පොතේ සඳහන් ඉතා බියකරු මෘගයන්ට අං තිබුණු ආකාරය ඔබට මතක ඇති. නිදසුනක් ලෙස බැටළුවෙකුගේ හිස මත තිබූ අං දෙකින් නියෝජනය වුණේ කොටස්කරුවන් දෙදෙනෙකුගෙන් එනම් මේදියාවෙන් සහ පර්සියාවෙන් සෑදුණු ලෝක අධිරාජ්‍යයයි. එළුවෙකුගේ හිසේ හටගත් අං සතරෙන් නියෝජනය වුණේ ග්‍රීක අධිරාජ්‍යයේ මහා ඇලෙක්සැන්ඩර්ගේ මරණයෙන් පසුව හටගත් අධිරාජ්‍යයන් සතරයි. (දානියෙල් 8:3, 8, 20-22) නමුත් යොහන් දකින මේ වන මෘගයාගේ අං දහයෙන් රජවරුන් දහදෙනෙක් නියෝජනය කරන්නේ නැහැ. එයට වෙනම අර්ථයක් තිබෙනවා. (දානියෙල් 7:24ද, එළිදරව් 17:12ද බලන්න.) මෙම අංවලින් නියෝජනය වෙන්නේ සාතන්ගේ අණසක යටතේ පවතින ලෝකයේ සියලුම ස්වාධීන පාලනයන්. මේ සියලුම අං ප්‍රචණ්ඩකාරී සහ කලහකාරී අං හැටියට සලකන්න පුළුවන්. මීට අමතරව වන මෘගයාගේ හිස් සතෙන් නියෝජනය වන ලෝක අධිරාජ්‍යයන් එකම කාලයේ පාලනය කරන්නේ නැහැ. එක් කාලයක් පුරා පාලනය කරන්නේ එක අධිරාජ්‍යයක් බැගින් පමණයි. එමනිසා ඔටුනු දසයෙන් පැහැදිලි වෙන්නේ කාලයෙන් කාලයට බලපවත්වන මෙම ලෝක අධිරාජ්‍යයන් පවතින කාලයේදීම වෙනත් ස්වාධීන පාලනයන්ද ලොව පුරා පවතින බවයි.
11. වන මෘගයාගේ “හිස් මත දේවඅපහාස නාම” තිබෙනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
11 වන මෘගයාගේ “හිස් මත දේවඅපහාස නාමද” තිබෙනවා කීමෙන් අදහස් කරන්නේ ඌ තමාගේ ගෞරවය සොයමින් යෙහෝවා දෙවි සහ යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඉතා දැඩි අගෞරවයක් දක්වන බවයි. දෙවිගේ සහ ක්‍රිස්තුස්ගේ නාම යොදාගෙන තම දේශපාලන අරමුණු ඉටු කරගන්නට මෙම මෘගයා ක්‍රියා කර තිබෙනවා. ඒ වගේම අසත්‍යය උගන්වන ආගම් සමඟ එකට වැඩ කරමින් දේශපාලනයට හවුල් වෙන්න පූජක පක්ෂයටද ඉඩහැර තිබෙනවා. නිදසුනක් වශයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට බිෂොප්වරයන්ද ඇතුළත්. ප්‍රංශයේ සහ ඉතාලියේ දේශපාලනික කටයුතුවලදී කතෝලික කාදිනල්වරු වැදගත් කාර්යයක් ඉටු කරන අතර මෑතකදී දකුණු අමෙරිකාවේද පූජකයන් දේශපාලන නිලතල භාරගෙන තිබෙනවා. තමන්ගේ මුදල් නෝට්ටුවල “අපි දෙවි කෙරෙහි විශ්වාසය තබමු” වැනි ආගමික පාඨ මුද්‍රණය කර ඇති අතර, ඔවුන්ගේ කාසිවල කොටා ඇති දේශපාලකයන්ගේ රූප අසලින් සඳහන් කර ඇත්තේ ඔවුන්ට “දෙවිගේ ආශීර්වාදය” තිබෙන බවයි. පිළිකුල්සහගත ජාතිවාදී දේශපාලනික කටයුතුවලට දෙවිව මෙසේ සම්බන්ධ කිරීමට උත්සාහ කර ඇති නිසා මේ සියල්ලම දේවඅපහාස හැටියට සැලකිය හැකියි.
12. (අ) වන මෘගයා “මුහුදෙන්” මතු වෙනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? මෙම මුහුද පවතින්නේ කොයි කාලයේ පටන්ද? (ආ) මකරා තමාගේ මහත් අධිකාරය වන මෘගයාට දුන්නායයි කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
12 මෙම වන මෘගයා මතු වෙන්නේ “මුහුදෙන්.” ඇත්තටම මිනිස් ආණ්ඩු බිහි කිරීමට දායක වන කැලඹුණු නොසන්සුන්කාරී ජනතාව නියෝජනය කිරීමට “මුහුද” කදිම සංකේතයක්. (යෙසායා 17:12, 13) මෙම නොසන්සුන්කාරී මුහුද බිහි කළ මුල්ම මෘගයා මතු වුණේ නෝවාගේ කාලයේ සිදු වුණු ජලගැල්මෙන් පසුවයි. එනම් ක්‍රි.පූ. 21වන සියවසේදීයි. ඒ සමාජය යෙහෝවා දෙවිට එළිපිටම විරුද්ධ වෙන්න පටන්ගත්තා. ප්‍රතිඵලයක් ලෙස ඔවුන් දෙවිට විරුද්ධ වූ පාලනයක් ආරම්භ කළා. ඒ නිම්රොද්ගේ පාලනයයි. (උත්පත්ති 10:8-12; 11:1-9) මෙම මුහුද බිහි කළ වන මෘගයාගේ සත්වන හිස ප්‍රබල වී තිබෙන්නේ ස්වාමීන්ගේ දවසේදීයි. එයට “සම්පූර්ණ අධිකාරයද ඒවායේ තේජසද” ලබා දී ඇත්තේ මකරායි. (ලූක් 4:6 බලන්න.) මෙම වන මෘගයා නොසන්සුන්කාරී මිනිස් සංහතිය යොදාගෙන සාතන් කරන නිර්මාණයක් බව මෙයින් පැහැදිලි වෙනවා. ඇත්තටම “මේ ලෝකයේ පාලකයා” සාතන්.—යොහන් 12:31.
මාරක පහර
13. (අ) ස්වාමීන්ගේ දවසේ මුල් භාගයේදී වන මෘගයා මතට එන විපත්තිය කුමක්ද? (ආ) එක් හිසකට මාරක පහරක් එල්ල වූ විට, මුළු වන මෘගයාටම එය බලපාන්නේ කෙසේද?
13 ස්වාමීන්ගේ දවසේ මුල් කාලයේම මෙම වන මෘගයාට මහත් විපත්තියක් ඇති වෙනවා. යොහන් ඒ ගැන පවසන්නේ මෙසේයි. “උගේ හිස්වලින් එකක් මැරෙන තරමටම කැපී තිබුණාක් මෙන් මට පෙනුණේය. නමුත් ඌට වැදුණු මාරක පහර සුව විය. මුළු පොළොවම ගෞරවයෙන් යුතුව ඒ වන මෘගයා පසුපස ගියේය.” (එළිදරව් 13:3) මෙම වන මෘගයාගේ එක් හිසකට මාරක පහරක් ලැබුණු බව මෙම පදයේ කියනවා. නමුත් 12වන පදයේ කියන්නේ මුළු මෘගයාටම ඒ පහර බලපෑ බවයි. එයට හේතුව වන මෘගයාගේ හිස් සියල්ලම එකවිටම පාලනය කරන්නේ නැති නිසයි. කාලයෙන් කාලයට ලෝක අධිරාජ්‍යයක් සේ බලපවත්වන්නේ එක හිසක් පමණයි. තමන්ගේ පාලන කාලයේදී ඒ සෑම අධිරාජ්‍යයක්ම දෙවිගේ සේවකයන්ට පීඩා කර තිබෙනවා. (එළිදරව් 17:10) ස්වාමීන්ගේ දවස ආරම්භ වන විට ලෝක අධිරාජ්‍යය ලෙස බලය පවත්වන්නේ සත්වෙනි හිසයි. එමනිසා එම හිසට ලැබෙන මාරක පහර මුළු මෘගයාටම බලපානවා.
14. මෙම මාරක පහර ලැබුණේ කවදාද? සාතන්ගේ වන මෘගයාට මාරක පහර බලපෑ අන්දම විස්තර කර තිබෙන්නේ කෙසේද?
14 මෙම මාරක පහරෙන් අදහස් වෙන්නේ කුමක්ද? පසුව සඳහන් වෙන්නේ එය කඩු පහරක් වූ බවයි. කඩුව යුද්ධය නියෝජනය කිරීමට උචිත සංකේතයක්. ස්වාමීන්ගේ දවසේ මුල්භාගය තුළ වැදුණු මේ කඩු පහර පළමු ලෝක මහා යුද්ධයට සම්බන්ධයි. මෙම යුද්ධය නිසා සාතන්ගේ දේශපාලනික වන මෘගයාට නොයෙකුත් අලාභහානි සහ අපහසුතාවන්ට මුහුණ දෙන්න සිදු වුණා. (එළිදරව් 6:4, 8; 13:14) එම යුද්ධයේ හමුදා නිලධාරියෙක් වූ මොරීස් ජෙනෙවුවා ඒ ගැන මෙසේ පැවසුවා. “වර්ෂ 1914 අගෝස්තු 2වනදා තරම් ඓතිහාසික වැදගත්කමකින් යුත් දිනයක් නැති බව කවුරුත් පිළිගන්නවා. මුලින්ම යුරෝපයත් පසුව මුළු ලෝකයමත් ඉතා දරුණු යුද්ධයකට ඇද වැටුණේ එදා සිටයි. එතෙක් සමාජයේ සම්මතයන් හැටියට පැවති දේවල්, ඇති කරගත් ගිවිසුම්, පැවති සදාචාර ප්‍රමිති ආදි සියල්ලම දෙදරුම් කෑවා. දිනක් දිනක් පාසා අප දුටුවේ මිනිස් සමාජයේ අත්තිවාරම බිඳ වැටෙන ආකාරයයි. කිසිම කෙනෙක් මෙතරම් විපර්යාසයක් වෙයි කියා අපේක්ෂා කළේ නැහැ. එදා සිදු වූ විපර්යාසයන් නිසා ඇති වූ ප්‍රතිඵල අපි තවමත් අත්විඳිනවා.”—Maurice Genevoix, member of the Académie Française, quoted in the book Promise of Greatness (1968).
15. වන මෘගයාගේ සත්වන හිසට මාරක පහරක් ලැබුණේ කෙසේද?
15 වන මෘගයාගේ සත්වන හිසෙන් නියෝජනය වන ලෝක අධිරාජ්‍යයට ඒ යුද්ධය මහත් පාඩුවක් වුණා. යුරෝපයේ වෙනත් රටවලට සමානව බ්‍රිතාන්‍යයේ තරුණ සොල්දාදුවන් විශාල සංඛ්‍යාවක් යුද්ධයට බිලි වුණා. උදාහරණයකට 1916දී ප්‍රංශයේ සොම් නදිය අසල සිදු වූ සටනේදී බ්‍රිතාන්‍ය සොල්දාදුවන් 4,20,000ක්ද, ප්‍රංශ සොල්දාදුවන් 1,94,000ක්ද, ජර්මානු සොල්දාදුවන් 4,40,00ක්ද මිය ගියා. එසේ නැත්නම් බරපතළ තුවාල ලැබුවා. ඒ කියන්නේ 10,00,000කට වැඩි ගණනක්! මෙම යුද්ධය බ්‍රිතාන්‍යයේ මෙන්ම යුරෝපයේ අනිකුත් රටවල ආර්ථිකයටත් ප්‍රබල පහරක් වුණා. දැවැන්ත බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට සිදු වූ පාඩුවෙන් ගොඩ එන්න තවමත් ඔවුන්ට හැකි වී නැහැ. ලෝකයේ ප්‍රධාන රටවල් 28ක් සම්බන්ධ වූ ඒ යුද්ධය නිසා මුළු ලෝකයටම ප්‍රබල පහරක් එල්ල වුණා. පළමු ලෝක මහා යුද්ධයෙන් අවුරුදු 65කට පමණ පසු 1979 අගෝස්තු 4වන දින ලන්ඩනයේ පුවත්පතක මෙවැනි අදහසක් පළ වුණා. “ලෝකයේ පැවති සාමය හා සමඟිය 1914දී ලොවෙන් සදහටම අතුරුදහන් වී ගියා.”—The Economist.
16. පළමු ලෝක මහා යුද්ධයේදී එක්සත් ජනපදයත් සත්වන හිසට සම්බන්ධ බව පෙන්නුම් කළේ කෙසේද?
16 පළමු ලෝක මහා යුද්ධයේදී එක්සත් ජනපදයත් සත්වන හිසට සම්බන්ධ බව පැහැදිලි වුණා. ඔවුන්ගේ දායකත්වයෙන් එංගලන්ත-අමෙරිකානු ලෝක අධිරාජ්‍යය බිහි වුණා. මෙම යුද්ධය පැවති මුල් අවුරුදු කිහිපයේදී මහජන විරෝධය නිසා එක්සත් ජනපදය යුද්ධයට සම්බන්ධ වුණේ නැහැ. නමුත් එස්මි විංෆීල්ඩ්-ස්ට්‍රැට්ෆඩ් නම් ඉතිහාසඥයා පැවසුවේ මෙසේයි. “මෙම ඉතා අර්බුදකාරී අවස්ථාවේදී බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය තමන් අතර පවතින මතභේද අමතක කර එකඟතාවකින් යුතුව කටයුතු කිරීමට තමන්ට කොතරම් හේතු ඇද්දැයි වටහාගෙන අත්වැල් බැඳගන්නා තෙක් සියලුදෙනාම මහත් උනන්දුවකින් බලා සිටියා.” ඒ දේ සිදු වුණා. වර්ෂ 1917දී ප්‍රබල ලෙස බැට කා සිටි බ්‍රිතාන්‍ය ප්රමුඛ මිත්‍ර පාක්ෂික හමුදාව වෙනුවෙන් සොල්දාදුවන් සහ අවි ආම්පන්න ආදිය ලබා දීමට එක්සත් ජනපදය දායක වෙන්න පටන්ගත්තා. මේ දායකත්වය නිසා සත්වන හිස නියෝජනය කරන බ්‍රිතාන්‍යය හා එක්සත් ජනපදය ජය අත් කරගත්තා.
17. යුද්ධයෙන් පසු සාතන්ගේ ලෝකයට සිදු වුණේ කුමක්ද?
17 යුද්ධයෙන් පසුව උදා වුණේ බොහෝ වෙනස් ලෝකයක්. සාතන්ගේ ලෝකයට මාරක පහරක් විඳින්න සිදු වුණත් එම ප්‍රබල පසුබෑමෙන් ගොඩ ඇවිත් පෙරටත් වඩා ප්‍රබල වෙන්න ඒ ලෝකයට හැකි වුණා. මෙලෙස ගොඩ එන්න හැකි වුණු නිසා සියලුදෙනාගේ ගෞරවයට එය ලක් වුණා.
18. මිනිස් වර්ගයා “ගෞරවයෙන් යුතුව ඒ වන මෘගයා පසුපස” ගියා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
18 ඉතිහාසඥ කනිෂ්ඨ චාල්ස් එල්. මී මෙසේ සඳහන් කරනවා. “පළමුවන ලෝක මහා යුද්ධයෙන් මුළු මිනිස් සමාජය දෙදරා ගියත් එයින් වැදගත් සිදුවීම් රාශියකට මං විවෘත වුණා. බොහෝ ජාතීන්ට හා පොදු ජනයාට නිදහස ලැබුණා. ස්වාධීන පාලනයන් ගෙන ගිය රටවල් බොහොමයක් බිහි වුණේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.” යුද්ධයෙන් පසු ඇති වූ මෙම අලුත් වකවානුවේ සිදු වූ මෙම වෙනස්කම්වලටත් ප්රබලව දායක වුණේ වන මෘගයාගේ සුව වූ සත්වන හිසයි. ජාතීන්ගේ සංගමය සහ ඉන්පසුව බිහි වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය නිර්මාණය කිරීමට එකම ලෝක අධිරාජ්‍යයක් ලෙස ක්‍රියා කළ මෙම පාලන දෙකම පෙරමුණ ගත්තා. වර්ෂ 2005 වෙද්දී එක්සත් ජනපදය ප්රමුඛ ලෝකයේ දියුණු රටවල වඩාත් උසස් ජීවන තත්වයක්, රෝග මර්දනය කිරීමට වඩාත් සාර්ථක ක්‍රම හා උසස් තාක්ෂණයක් දකින්න ලැබෙනවා. මිනිසුන් 12දෙනෙකුව සඳට යවන්නත් එය සමත් වී තිබෙනවා. පොදුවේ සියලුම මිනිසුන් “ගෞරවයෙන් යුතුව ඒ වන මෘගයා පසුපස” යෑමට හේතුව අපට මෙයින් පැහැදිලි වෙනවා.
19. (අ) මිනිසා වන මෘගයාට ගෞරවය ලබා දෙනවාට අමතරව තවත් දෙන්නේ කුමක්ද? (ආ) අනිවාර්යයෙන්ම පොළොවේ සියලු රාජ්‍යයන් කෙරෙහි බලයක් ඇත්තේ කාටද? එසේ සිතීමට තිබෙන පදනම කුමක්ද? (ඇ) සාතන් වන මෘගයාට බලය ලබා දී ඇත්තේ කෙසේද? මිනිසාගෙන් බහුතරයට මෙය බලපා ඇත්තේ කෙසේද?
19 මිනිසා ඒ වන මෘගයාට ගෞරව කරනවාට අමතරව තවත් දෙයක් කරනවා. යොහන් එය මෙසේ පැහැදිලි කරනවා. “මකරා, වන මෘගයාට අධිකාරිය දුන් නිසා ඔවුහු මකරාට නමස්කාර කළෝය. එසේම, ‘වන මෘගයාට සමාන කවුද? ඌට විරුද්ධව යුද්ධ කළ හැක්කේ කාටද?’ යන වචන පවසමින් වන මෘගයාටද නමස්කාර කළෝය.” (එළිදරව් 13:4) යේසුස් මේ පොළොවේ සිටිද්දී සාතන් කියා සිටියේ පොළොවේ සියලු රාජ්‍යයන් තමන්ගේ බලයට යටත් බවයි. යේසුස් පවා එය පිළිගත්තා. ඔහු සාතන්ව හැඳින්වූයේ ලෝකයේ පාලකයා හැටියටයි. ඒ නිසා යේසුස් ඒ කාලයේ දේශපාලනයට කොහොමටවත් හවුල් වුණේ නැහැ. සැබෑ ක්‍රිස්තියානීන් ගැනත් පවසමින් යොහන් මෙසේ ලිව්වා. “අප දෙවිගෙන් වන බවත්, මුළු ලෝකයම දුෂ්ටයාගේ බලයට යටත් බවත් අපි දනිමු.” (1 යොහන් 5:19; ලූක් 4:5-8; යොහන් 6:15; 14:30) සාතන් වන මෘගයාට අධිකාරිය දෙන්නේ ලෝකය විවිධ රටවල් හා ජාතීන් හැටියට බෙදා ඒ හැම එකකටම වෙන වෙනම බලය ලබා දීමෙනුයි. ඒ නිසා ඒ සෑම රටකම වන මෘගයා නියෝජනය කරන පාලනයක් තිබෙනවා. දෙවිගේ ප්‍රේමයෙන් එක්සත්ව අත් වැල් බැඳගෙන සිටින මිනිස් සමාජයක් වෙනුවට මිනිසා තම රට, ජාතිය හා ගෝත්‍රය ගැන අභිමානවත් හැඟීම් ඇති කරගෙන බෙදී සිටිනවා. තම රට ජාතිය ගැන එවැනි හැඟීම් ඇති කරගෙන සිටින ඒ හැම රටක්ම වන මෘගයාට නමස්කාර කරනවා කියා පැවසිය හැකියි. මුළු වන මෘගයාම සියලුදෙනාගේ ගෞරවය හා නමස්කාරය ලබාගන්නා ආකාරය මෙයින් පැහැදිලි වෙනවා.
20. (අ) මිනිසුන් වන මෘගයාට නමස්කාර කරන්නේ කෙසේද? (ආ) යෙහෝවා දෙවිට නමස්කාර කරන ක්‍රිස්තියානීන් වන මෘගයාට කිසිම අන්දමකින් නමස්කාර නොකරන්නේ ඇයි? ඔවුන් අනුගමනය කරන්නේ කාගේ ආදර්ශයද?
20 ඔවුන් වන මෘගයාට නමස්කාර කරනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? ඒ ඔවුන් දෙවිට වඩා රට ජාතියට ආලය කරන බවයි. සාමාන්‍යයෙන් බොහෝදෙනෙක් තමන් උපන් රටට ඉතාමත් ළැදියි. සැබෑ ක්‍රිස්තියානීන් ගැන කුමක් කිව හැකිද? ඔවුන් තමන් ජීවත් වන රටේ පාලකයන්ට, ජාතික ලාංඡනවලට හා රටේ නීති රීතිවලට ගරු කරනවා. ඒ වගේම යහපත් පුරවැසියන් ලෙස සමාජයේ හා තම අසල්වාසීන්ගේ ශුභසිද්ධිය තකා වැඩ කරමින් ජීවත් වෙනවා. (රෝම 13:1-7; 1 පේතෘස් 2:13-17) නමුත් එක රටක් තවත් රටකට වඩා උතුම් කියා සිතමින් ඔවුන් එයට ගරුබුහුමන් දක්වන්නේ නැහැ. ක්‍රිස්තියානීන් පටු ජාතිවාදී ආකල්ප දරන අය නෙවෙයි. එමනිසා යෙහෝවා දෙවිට නමස්කාර කරන ක්‍රිස්තියානීන් වන මෘගයාව නියෝජනය කරන කිසිම පාලනයකට ජාතිවාදී හැඟීම් ඇතුව නමස්කාර කිරීමක් කරන්නේ නැහැ. එසේ කරනවා නම් ඔවුන් කරන්නේ වන මෘගයාට බලය දුන් මකරාට නමස්කාර කිරීමයි. “වන මෘගයාට සමාන කවුද?” කියා ගෞරවයෙන් යුතුව අසන්න ඔවුන්ට බැහැ. ඔවුන් අනුගමනය කරන්නේ “දෙවිට සමාන කවුද?” යන අර්ථය ඇති නාමය දරන මිකායෙල්ගේ ආදර්ශයයි. ඔවුන් පක්ෂපාත වෙන්නේ යෙහෝවා දෙවිගේ විශ්වනීය පාලනයටයි. දෙවි නියම කරන කාලයේදී මිකායෙල්, එනම් යේසුස් ක්‍රිස්තුස් සාතන්ව පරාජය කර පොළොවට හෙළුවාක් මෙන් මෙම වන මෘගයාට එරෙහිවත් සටන් කර ඌව පරාජය කරනවා.—එළිදරව් 12:7-9; 19:11, 19-21.
ශුද්ධ තැනැත්තන්ට එරෙහිව යුද්ධ කිරීම
21. සාතන් වන මෘගයාව යොදාගන්නා ආකාරය යොහන් විස්තර කරන්නේ කෙසේද?
21 තමාගේ අරමුණු මුදුන්පත් කරගැනීමට සාතන් මෙම වන මෘගයාව යොදාගන්නා ආකාරය යොහන් විස්තර කරන්නේ මෙසේයි. “තවද, මහත් දේවල්ද දේවඅපහාසද කියන කටක් ඌට [හිස් සතක් ඇති වන මෘගයාට] දෙන ලදි. මාස හතළිස්දෙකකට අධිකාරියද ඌට දෙන ලදි. එවිට ඌ දෙවිට විරුද්ධව අපහාස කරන පිණිසද ඔහුගේ නාමයට සහ ඔහුගේ වාසස්ථානයටත්, එනම් ස්වර්ගයෙහි වාසය කරන්නන්ටත් අපහාස කරන පිණිසද ඔහුට විරුද්ධව කට ඇරියේය. තවද, ශුද්ධ තැනැත්තන්ට විරුද්ධව යුද්ධ කර ඔවුන්ගෙන් ජයගැනීමට ඌට අවසර දෙන ලදි. සියලු ගෝත්‍රයන්ද ජනයන්ද භාෂාවන්ද ජාතීන්ද කෙරෙහි අධිකාරියත් ඌට දෙන ලදි. පොළොවෙහි වාසය කරන සියලුදෙනාද ඌට නමස්කාර කරන්නෝය. ලෝකය පිහිටුවීමේ සිට ඔවුන්ගෙන් කිසිවෙකුගේ නම් මරන ලද බැටළු පැටවාගේ ජීවන ලියවිල්ලෙහි ලියවී නැත.”—එළිදරව් 13:5-8.
22. (අ) මාස 42ක කාලය අදාළ වෙන්නේ මොන කාලයටද? (ආ) ඒ මාස 42 තුළදී අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට එරෙහිව “ජයගැනීමට” වන මෘගයාට හැකි වුණේ කෙසේද?
22 දානියෙල්ගේ අනාවැකියකත් වන මෘගයෙකුගෙන් නිකුත් වුණු අඟක් ශුද්ධ තැනැත්තන්ට අවුරුදු තුනහමාරක කාලයක් පීඩා කරන ආකාරය ගැන සඳහන් වෙනවා. ඒ අවුරුදු තුනහමාර මෙහි සඳහන් මාස 42කට සමාන බව පෙනී යනවා. (දානියෙල් 7:23-25; එළිදරව් 11:1-4ද බලන්න.) මෙම කාලය අදාළ වෙන්නේ 1914 සිට 1918 දක්වා කාලයටයි. ඒ කාලයේදී යුද්ධයට හවුල්ව සිටි රටවල් වන මෘගයන් හා සමානව එකිනෙකාව ඉරාගනිමිනුයි සිටියේ. වන මෘගයාට නමස්කාර කරන්නත් ජාත්‍යාලය නමැති ආගම ඇදහීමටත් තමන්ගේ රට වෙනුවෙන් දිවි පුදන්න පවා සූදානම් වන්න කියාත් සියලුම පුරවැසියන්ට බල කළා. මෙවැනි පීඩනයක් එල්ල වූ නිසා තමන් යෙහෝවා දෙවිටත් ඔහුගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්ටත් කීකරු විය යුතු බව තේරුම්ගත් අභිෂේක ලත් බොහෝදෙනෙක් නොයෙකුත් හිරිහැරවලට හා අපහසුතාවන්ට ලක් වුණා. (ක්‍රියා 5:29) ඔවුන් වින්ද පීඩා ඉතාමත් දරුණු වුණේ 1918 ජූනි මාසයේදීයි. ඔවුන්ට එරෙහිව “ජයගැනීමට” වන මෘගයාට හැකි වුණේ එවිටයි. සිදු වුණේ කුමක්ද? එක්සත් ජනපදයේ වොච්ටවර් සමිතියේ ප්‍රධාන නිලධාරීන් සහ වෙනත් නියෝජිතයන්ට බොරු චෝදනා එල්ල කර ඔවුන්ව සිරගත කරනු ලැබුවා. ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ ක්‍රිස්තියානි සහෝදරයන්ගේ සේවා කටයුතුවලට බොහෝ බාධා ඇති වුණා. “සියලු ගෝත්‍රයන්ද ජනයන්ද භාෂාවන්ද ජාතීන්ද කෙරෙහි” බලය තිබුණු නිසා වන මෘගයා දෙවිගේ සේවකයන්ගේ වැඩකටයුතු නතර කරන්න පියවර ගත්තා.
23. (අ) ‘බැටළු පැටවාගේ ජීවන ලියවිල්ල’ කුමක්ද? වර්ෂ 1918 පටන් නිමාව කරා ළඟා වී තිබෙන්නේ කුමන කාර්යයද? (ආ) සාතන්ගේ ලෝකය “ශුද්ධ තැනැත්තන්ට” විරුද්ධව ලැබූ ජය හිස් එකක් වුණේ ඇයි?
23 සාතන් සහ ඔහු යටතේ පැවති මුළු ලෝකය විශිෂ්ට ජයක් ලැබුවා කියා සිතන්න ඇති. නමුත් එයින් ඔවුන්ට ඇත්තටම ජයක් ලැබුණේ නැහැ. මන්ද සාතන්ගේ දුෂ්ට ලෝකයට අයත් කිසිම කෙනෙකුගේ නාමය “බැටළු පැටවාගේ ජීවන ලියවිල්ලෙහි” ලියනු නොලබන නිසයි. මෙම සංකේතවත් ලියවිල්ලේ අඩංගු වෙන්නේ යේසුස් සමඟ ස්වර්ග රාජ්‍යයේ පාලනය කරන්නට යන අයගේ නම්. මෙම ලියවිල්ලට මුලින්ම නම් ඇතුල් කරන්න පටන්ගත්තේ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදීයි. එතැන් පටන් තව තවත් නම් එයට ඇතුළත් කර තිබෙනවා. වර්ෂ 1918 පටන් රාජ්‍යයට උරුමකම් කියන 1,44,000දෙනාගේ ඉතිරි අයව මුද්‍රා කිරීමේ කාර්යය එහි නිමාව කරා ළඟා වී තිබෙනවා. ඉතාමත් ළඟදී ඒ සියලුදෙනාගේම නම් බැටළු පැටවාණන්ගේ ජීවන පොතේ නොමැකෙන ලෙස සටහන් වෙයි. වන මෘගයාට නමස්කාර කරන දෙවිගේ විරුද්ධවාදීන් කිසිවෙකුගේ නම් ඒ ලියවිල්ලේ සටහන් වෙන්නේ නැහැ. ඒ නිසා මේ සතුරන් “ශුද්ධ තැනැත්තන්ට” විරුද්ධව ලබන ජය හිස් එකක්.
24. යොහන් විමසිලිමත්ව සිටින අයගෙන් ඉල්ලා සිටින්නේ කුමකට සවන් දෙන්න කියාද? අසන්න ලැබෙන වචන දෙවිගේ සේවකයන්ට බලපාන්නේ කෙසේද?
24 විමසිලිමත්ව සිටින අයගෙන් යොහන් ඉල්ලා සිටින්නේ හොඳින් සවන් දෙන්න කියායි. “යමෙකුට කන් ඇත්නම්, ඔහු අසාවා” කියා පවසමින් ඔහු මෙසේ කියනවා. “යමෙකු වහල්කමට යෑමට නියමිත නම් ඔහු වහල්කමට යන්නේය. යමෙක් කඩුවෙන් මරන්නේ නම් ඔහුවත් කඩුවෙන් මරනු ලැබිය යුතුය. ශුද්ධ තැනැත්තන්ට විඳදරාගැනීමත් ඇදහිල්ලත් අවශ්‍ය වෙන්නේ මෙහිදීය.” (එළිදරව් 13:9, 10) ක්‍රිස්තු පූර්ව 607ට පෙර කාලයේදී යෙරෙමියාත් වහල්කමට යෑමක් ගැන සඳහන් කළා. එයින් ඔහු පෙන්නුම් කළේ නොඇදහිලිකාර යෙරුසලම මතට යෙහෝවා දෙවිගේ විනිශ්චය අනිවාර්යයෙන්ම පැමිණෙන බවයි. (යෙරෙමියා 15:2; යෙරෙමියා 43:11ද, සෙකරියා 11:9ද බලන්න.) මීට අමතරව කඩුවෙන් මරන අය ගැනත් යේසුස් යම් අදහසක් පළ කළා. යේසුස් දැඩි පරීක්ෂාවකට ලක් වූ අවස්ථාවකදී පැවසුවේ “කඩු ගන්න සෑම කෙනෙක්ම කඩුවෙන් නසින්නේය” කියායි. ඔහු අදහස් කළේ තම අනුගාමිකයන් මොනම තත්වයකට මුහුණ දුන්නත් තම ස්ථාවරයෙන් ඉවත් නොවිය යුතු බවයි. (මතෙව් 26:52) ඒ හා සමානව වන මෘගයාට නමස්කාර කරමින් පසුතැවිලි නොවී සිටින කිසිම කෙනෙකුට දෙවිගේ විනිශ්චයෙන් බේරෙන්න ලැබෙන්නේ නැහැ. මීට අමතරව ස්වාමීන්ගේ දවසේ සිටින දෙවිගේ සේවකයන් බයිබල් ප්‍රමිතිවලට තදින් ඇලී සිටිය යුතුයි. ඉදිරියේ මුහුණ දිය යුතු පීඩා හා පරීක්ෂාවලින් ජයගැනීමට අප සියලුදෙනාම විඳදරාගැනීමත් නොසැලෙන ඇදහිල්ලක් ඇතුව සිටීමත් අවශ්‍ය වෙනවා.—හෙබ්‍රෙව් 10:36-39; 11:6.
අං දෙකක් ඇති වන මෘගයා
25. (අ) මතු වෙන තවත් වන මෘගයෙකු ගැන යොහන් විස්තර කරන්නේ කෙසේද? (ආ) අලුත් වන මෘගයාගේ අං දෙකෙන් සහ ඌ පොළොවෙන් මතු වෙනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
25 දැන් තවත් වන මෘගයෙක් මතු වෙනවා. යොහන් පවසන්නේ මෙසේයි. “මම වෙනත් වන මෘගයෙකුද දුටිමි. පොළොවෙන් නැඟී ආ ඌට බැටළු පැටවෙකුගේ මෙන් අං දෙකක් තිබුණත්, ඌ මකරෙකු මෙන් කතා කරන්න පටන්ගත්තේය. ඌ පළමු වන මෘගයාට ඇති සම්පූර්ණ අධිකාරිය ඌ ඉදිරියෙහිම ක්‍රියාත්මක කරන්නේය. තවද ඌ, මාරක පහර සුව වූ ඒ පළමු වන මෘගයාට නමස්කාර කිරීමට පොළොවටද එහි වාසය කරන අයටද බල කරන්නේය. තවද, මිනිසුන් ඉදිරියෙහි අහසින් පොළොවට ගිනි බස්වන තරම් මහත් ලකුණු ඌ සිදු කරන්නේය.” (එළිදරව් 13:11-13) මෙම වන මෘගයාට අං දෙකක් තිබෙනවා. එයින් පැහැදිලි වෙන්නේ ඒ මෘගයා දේශපාලන බලවේග දෙකක එකතුවක් වන බවයි. ඌ නැඟී එන්නේ මුහුදෙන් නොව පොළොවෙන්. මෙයින් පැහැදිලි වෙන්නේ ඌ දැනටමත් පවතින බැලූ බැල්මට යම් ස්ථාවරත්වයක් ඇති බව පෙනෙන සාතන්ගේ දුෂ්ට සමාජයෙන් මතු වන බවයි. එය ස්වාමීන්ගේ දවසේදී විශේෂ කාර්යයක් සිදු කරන දැනට පවතින ලෝක අධිරාජ්‍යයක් විය යුතුයි.
26. (අ) අං දෙකක් ඇති මෙම වන මෘගයා කවුද? මේ සතා පළමු වන මෘගයාට සම්බන්ධ වෙන්නේ කෙසේද? (ආ) මෙම සතාට බැටළුවෙකුගේ වැනි අං දෙකක් තිබෙනවා කීමෙන් අදහස් වෙන්නේ කුමක්ද? ඌ මකරෙකු මෙන් කතා කරනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ඇ) ජාතිවාදී හැඟීම් ඇති පුද්ගලයන් ඇත්තටම නමස්කාර කරන්නේ කුමකටද? ජාත්‍යාලය සමාන කර තිබෙන්නේ කුමකටද? (පාදසටහන බලන්න.)
26 මේ වන මෘගයා නම් එංගලන්ත-අමෙරිකානු ලෝක බලයයි. එනම් කලින් වන මෘගයාගේ සත්වන හිසයි. නමුත් මේ හිස වෙනම මෘගයෙකු ලෙස දක්වා තිබෙන්නේ උගෙන් යම් විශේෂ කාර්යයක් ඉටු වන නිසයි. ඇත්තටම මේ මෘගයා ලෝක කටයුතුවලදී ඉතා ස්වාධීනවයි ක්‍රියා කරන්නේ. අං දෙකක් සහිත මෙම වන මෘගයාට එකම කාලයේ පවතින, ස්වාධීනව ක්‍රියා කරන නමුත් එකිනෙකාට සහයෝගය දක්වන පාලන දෙකක් ඇතුළත් වෙනවා. ඌට “බැටළු පැටවෙකු මෙන්” අං දෙකක් තිබීමෙන් පෙන්වන්නේ ඌ මෘදු අහිංසක සතෙක් කියා පෙන්වන්න උත්සාහ කරන බවයි. ඇත්තටම ඒ මෘගයාගෙන් නියෝජනය කරන පාලන දෙක උත්සාහ කරන්නේ ඔවුන් ඉතා සාධාරණ, දියුණු පාලන ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙන්වීමටයි. එමනිසා ලෝකයේ සියලුදෙනාම තමන්ගෙන් පිහිට පැතිය යුතු බව පෙන්වන්නත් මේ වන මෘගයා උත්සාහ කරනවා. නමුත් මේ සතා “මකරෙකු මෙන්” කතා කරනවා. මින් අදහස් කරන්නේ උගේ පාලනය පිළිගන්නේ නැති අයට විරුද්ධව නොයෙකුත් පීඩන හා තර්ජන ඇති කරන බව හා ඔවුන්ට විරුද්ධව සටන් කරන බවයි. දෙවිගේ බැටළු පැටවාගේ පාලනය යටතේ පවතින දේවරාජ්‍යයට යටත් වෙන්න ඒ මෘගයා ජනයාව දිරිගන්වන්නේ නැහැ. ඇත්තටම ඒ වන මෘගයා ඉටු කරන්නේ මහා මකරා වන සාතන්ට අවශ්‍ය කරන දෙයයි. මෙම මෘගයා අනුගමනය කරන බෙදුම්වාදී ප්‍රතිපත්ති නිසා ජනයා අතර නොයෙකුත් භේද සහ වෛරය හටගෙන තිබෙනවා. සියලුම ජාතීන් තම තමන්ගේ ජාතිය උසස් කරගන්න උත්සාහ කරන නිසා මෙහි ප්‍රතිඵලය වෙන්නේ මුලින් ආ වන මෘගයාට නමස්කාරය ලැබීමයි.c
27. (අ) අං දෙකක් ඇති වන මෘගයා අහසින් ගින්දර බස්වනවා කීමෙන් ඌ ගැන අපට පැහැදිලි වෙන්නේ කුමක්ද? (ආ) අද දින බොහෝදෙනෙක් අං දෙකක් ඇති වන මෘගයාව සලකන්නේ කොයි ආකාරයටද?
27 මෙම අං දෙකක් ඇති වන මෘගයා මහත් ලකුණු සිදු කරනවා. අහසින් පොළොවට ගිනි පවා බස්වනවා. (මතෙව් 7:21-23ද බලන්න.) පුරාණ ඊශ්‍රායෙලයේ දෙවිගේ අනාගතවක්තෘවරයෙක් වූ එලියා බාල්ගේ අනාගතවක්තෘවරුන්ට අභියෝග කළ අන්දම අපට මතක් වෙනවා. එලියා යෙහෝවා දෙවිගේ උපකාරයෙන් අහසෙන් ගිනි බැස්සවූ විට ඔහු සැබෑ අනාගතවක්තෘවරයෙකු බවත් බාල්ගේ අනාගතවක්තෲන් බොරුකාරයන් බවත් පැහැදිලිවම ඔප්පු වුණා. (1 රාජාවලිය 18:21-40) බාල්ගේ අනාගතවක්තෲන් හා සමානව අං දෙකක් ඇති වන මෘගයාත් හිතන්නේ තමන්ට අනාගතවක්තෘවයෙක් ලෙස ක්‍රියා කරන්න අවශ්‍ය සුදුසුකම් ඇති බවයි. (එළිදරව් 13:14, 15; 19:20) මේ වන මෘගයා ලෝක යුද්ධ දෙකේදීම දුෂ්ට පාලනයන් විනාශ කළ බවත් කොමියුනිස්ට්වාදය මර්දනය කළ බවත් උදම් අනන්නේ ඒ අදහසින් විය යුතුයි. ඇත්තෙන්ම අද දින බොහෝදෙනෙක් අං දෙකක් ඇති මේ වන මෘගයාව නියෝජනය කරන ලෝක බලය සලකන්නේ මිනිසුන්ගේ නිදහස වෙනුවෙන් සටන් කරන, ජනයාට ධනය හා සැප සම්පත් ලබා දෙන බලවේගයක් ලෙසයි.
වන මෘගයාගේ රූපය
28. යොහන් දකින බැටළු පැටවෙකුගේ මෙන් අං දෙකක් ඇති මෙම වන මෘගයා කියන තරම් අහිංසක නොවන්නේ ඇයි?
28 බැටළු පැටවෙකුගේ මෙන් අං දෙකක් ඇති මෙම වන මෘගයා ඇත්තටම කියන තරම් අහිංසක නැහැ. යොහන් මෙසේ පැහැදිලි කරනවා. “එමෙන්ම, වන මෘගයා ඉදිරියෙහි සිදු කිරීම සඳහා ඌට දෙන ලද ලකුණු මගින් ඌ පොළොවේ වාසය කරන අයව නොමඟ යවන්නේය. තවද, කඩු පහර ලැබූ නමුත් නැවත ජීවනය ලැබූ වන මෘගයාගේ රූපයක් සාදන ලෙස පොළොවේ වාසය කරන අයට ඌ කියන්නේය. වන මෘගයාගේ රූපයට කතා කිරීමට හැකියාව ලැබෙන පිණිසත්, වන මෘගයාගේ රූපයට කිසිසේත් නමස්කාර නොකරන සියල්ලන්ව මරණයට පත් කරන පිණිසත්, වන මෘගයාගේ ඒ රූපයට හුස්ම දීමට ඌට අවසර දෙන ලදි.”—එළිදරව් 13:14, 15.
29. (අ) වන මෘගයාගේ රූපයක් සාදනු ලැබුවේ ඇයි? මෙය සාදනු ලැබුවේ කොයි කාලයේදීද? (ආ) වන මෘගයාගේ රූපය නිකම්ම පණ නැති රූපයක් නොවන්නේ මන්ද?
29 මේ “වන මෘගයාගේ රූපය” හැදුවේ ඇයි? එයට හේතුව හිස් සතක් ඇති වන මෘගයාට කරන නමස්කාරය තවත් තහවුරු කිරීමට හා ඌගේ පැවැත්ම තවත් ස්ථිර කිරීමටයි. මේ රූපය සාදනු ලැබුවේ හිස් සතක් ඇති වන මෘගයාට ලැබුණු මාරක පහරින් සුවයක් ඌ ලැබුවායින් පසුවයි. ඒ කියන්නේ පළමු ලෝක මහා යුද්ධයෙන් පසුවයි. මේ රුපය නෙබුකද්නෙශර් රජු දූරා සමභූමියේ ඉදි කළ පණ නැති රූපයට වඩා වෙනස්. (දානියෙල් 3:1) අං දෙකක් ඇති වන මෘගයා මෙම රූපයට හුස්ම දෙනවා. ඒ තුළින් ඒ රූපයට පණ ඇවිත් ලෝක කටයුතුවලට සම්බන්ධ වෙනවා.
30, 31. (අ) ලෝකයේ සිදුවීම් දෙස බලද්දී මේ රූපය කුමක් බව ඔප්පු වෙනවාද? (ආ) මෙම රූපයට නමස්කාර නොකළ නිසා සමහරුන් මරණය අද්දැක තිබෙනවාද? පැහැදිලි කරන්න.
30 මේ වන මෘගයාගේ රූපය ගැන තවත් විස්තර එළිදරව් 17වන පරිච්ඡේදයෙහිත් සොයාගත හැකියි. ඒ පරිච්ඡේදයේ එය විස්තර කර තිබෙන්නේ හුස්ම ගන්නා පණ ඇති, රතු පැහැති, ස්වාධීනව ක්‍රියා කරන වන මෘගයෙකු හැටියටයි. මෙම වන මෘගයාගේ රූපයේ අං මහත් පීඩාව පටන්ගන්නා විට ඉතා දරුණු විනාශයක් සිදු කරන්න නියමිතයි. (එළිදරව් 7:14; 17:8, 16) කවුද මේ වන මෘගයා? ඉතිහාසයේ සිදුවීම් දෙස බලද්දී මෙම රූපය කුමක්දැයි වටහාගන්න පුළුවන්. එය බ්‍රිතාන්‍ය සහ එක්සත් ජනපදය විසින් යෝජනා කරනු ලැබූ හා එහි අනුග්‍රහය යටතේ පවතින සංවිධානයක්. එය මුලින්ම හැඳින්වූයේ ජාතීන්ගේ සංගමය හැටියටයි. මේ ජාත්‍යන්තර ආයතනය ‘කතා කරන්නේ’ මිනිසාට සාමය හා සුරක්ෂිතභාවය උදා කර දෙන්නේ තමන් බවට උදම් අනමිනුයි. නමුත් ඔවුන් අතරවත් සාමයක් නැහැ. එහි සාමාජික ජාතීන් එකට එකතු වෙද්දී බොහෝ වාද විවාද හා බැණවැදීම් ඇති වෙනවා. එම සංවිධානයේ අධිකාරයට යටත් නොවන කිසියම් රටක් හෝ ජාතියක්ව ඔවුන් ‘මරණයට’ පත් කරන්නේ ඔවුන් පිට විවිධ සීමා තහංචි හෝ වෙනත් බාධක පැනවීමෙනුයි. උදාහරණයකට ජාතීන්ගේ සංගමය තම ප්‍රතිපත්තිවලට එකඟව ක්‍රියා නොකළ රටවල් සාමාජිකත්වයෙන් ඉවත් කළා.
31 දෙවන ලෝක මහා යුද්ධයෙන් පසු වන මෘගයාගේ මෙම රූපය එළිදුටුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෙසයි. ඒ සංවිධානය අතින් බොහෝ මිනිස් ඝාතන සිදු වී තිබෙනවා. නිදසුනක් ලෙස 1950දී උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර පැවති යුද්ධයට එක්සත් ජාතීන්ගේ හමුදාවන් හවුල් වුණා. දකුණු කොරියාවේ හමුදා භටයන් සමඟ එකතු වූ එක්සත් ජාතීන්ගේ හමුදාවන් අතින් උතුරු කොරියානුවන් සහ චීන ජාතිකයන් 14,20,000ක් පමණ මැරුම් කෑවා. ඒ වගේම 1960 සිට 1964 දක්වා කාලයේදී එක්සත් ජාතීන්ගේ හමුදාවන් කොංගෝ (කින්චාසා) රටේ රඳවනු ලැබුවා. මීට අමතරව හයවන පාවුලු සහ දෙවන ජුවාම් පාවුලු යන පාප්වරුන් දෙදෙනා ඇතුළුව ලෝක නායකයන් දිගින් දිගටම පැවසුවේ මිනිස් වර්ගයා උදෙසා සාමය උදා කර දිය හැකි එකම සංවිධානය මෙම රූපය බවයි. මිනිස් වර්ගයා මෙම රූපයට සේවය කළේ නැත්නම් ඔවුන් කියා සිටින්නේ මුළු මිනිස් සංහතියම විනාශ වන බවයි. එතුළින් ඔවුන් රූපයට සහයෝගය නොදෙන ඊට නමස්කාර නොකරන සියලුම මිනිසුන්ව සංකේතවත් ආකාරයකින් මරා දමනවා.—ද්විතීය කතාව 5:8, 9.
වන මෘගයාගේ ලකුණ
32. සාතන් ලෝකයේ තමා යටතේ පවතින සියලුම පාලන යොදාගන්නා ආකාරය යොහන් විස්තර කරන්නේ කෙසේද?
32 දෙවිගේ ස්ත්‍රියගේ වංශයේ ඉතිරි අයට දරුණු දුක් පීඩා ඇති කිරීමට සාතන් ලෝකයේ තමන් යටතේ පවතින සියලුම පාලන යොදාගන්නා ආකාරය යොහන් දැන් දකිනවා. (උත්පත්ති 3:15) ඔහු දැන් වන මෘගයාගේ රූපය ගැන නොව මුල් “වන මෘගයාව” විස්තර කරමින් මෙසේ කියනවා. “ලොකු කුඩා, දුප්පත් පොහොසත්, දාස නිර්දාස යන සියලුදෙනාටම, ඔවුන්ගේ දකුණතෙහි හෝ ඔවුන්ගේ නළලෙහි සලකුණක් තබන ලෙස ඌ ඔවුන්ට බල කරන්නේය. ඒ සලකුණ, එනම් වන මෘගයාගේ නම හෝ උගේ නමෙහි අංකය හෝ ඇති යමෙකුට මිස වෙන කිසිවෙකුට මිල දී ගැනීමටවත් විකිණීමටවත් නොහැකි වන්නේය. ප්‍රඥාව අවශ්‍ය වෙන්නේ මෙහිදීය: බුද්ධිය ඇත්තා, වන මෘගයාගේ අංකය ගණන් බලා දැනගනීවා. මන්ද, එය මිනිස් අංකයකි. උගේ අංකය හයසිය හැටහයය.”—එළිදරව් 13:16-18.
33. (අ) වන මෘගයාට ඇති නම කුමක්ද? (ආ) අංක හයෙන් සංකේතවත් වෙන්නේ කුමක්ද? පැහැදිලි කරන්න.
33 වන මෘගයාට නමක් තිබෙනවා. ඒ නම අංකයක්. එනම් 666 නම් අංකයයි. බයිබලයේ අංක හය භාවිත කරන්නේ යෙහෝවා දෙවිගේ සතුරන්ට සම්බන්ධ දෙයක් පෙන්වන්නයි. නිදසුනක් ලෙස රෙෆායිම්හි සිටි ‘යෝධ’ ෆිලිස්තීය මිනිසාට “එක එක අතේ ඇඟිලි හය හයද එක එක පයේ ඇඟිලි හය හය බැගින්” තිබුණා. (1 ලේකම් 20:6) නෙබුකද්නෙශර් තම ආණ්ඩුවේ නිලධාරීන්ව එක ආගමකට ගෙන ඒමට තැනූ රන් රූපය පළලින් රියන් 6ක්ද උසින් රියන් 60ක්ද වුණා. (දානියෙල් 3:1-23) අංක හය කියන්නේ දෙවිගේ මිම්මට අනුව සියලුම පැතිවලින් කිසිම අඩුවක් නැතිව පූර්ණකමක් අදහස් කරන අංක සතට වඩා අඩු සංඛ්‍යාවක්. එමනිසා, අංක හය තුන් වරක්ම දැක්වීමෙන් නියෝජනය වෙන්නේ පූර්ණකමක් වෙනුවට ප්‍රබල අසම්පූර්ණකමක් පවතින බවයි.
34. (අ) මෙම වන මෘගයාට “මිනිස් අංකයක්” තිබෙනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) සාතන් යටතේ තිබෙන ලෝකයේ පවතින පාලනවලට 666 අංකය කදිමට ගැළපෙන්නේ කෙසේද?
34 පුද්ගලයෙකුට නමක් දෙන්නේ ඔහුව හඳුනාගැනීමටයි. එසේනම් මේ අංකයෙන් අප වන මෘගයා ගැන හඳුනාගන්නේ කුමක්ද? යොහන් පවසන්නේ එය ස්වර්ගික අංකයක් නොව ‘මිනිස් අංකයක්’ බවයි. මෙයින් පැහැදිලි වෙන්නේ වන මෘගයා පොළොවේ පවතින මිනිස් පාලන සංකේතවත් කරන බවයි. අංක හය අංක හතට වඩා අඩු වන්නා සේම අංක 666 එම අඩුව තුන් වරක්ම අවධාරණය කරනවා. මෙය ලොව පුරා පවතින සියලුම මිනිස් පාලන නියෝජනය කිරීමට ඉතා යෝග්‍ය අංකයක්. එයට හේතුව මෙම මිනිස් පාලනය යෙහෝවා දෙවිගේ පරිපූර්ණ මිම්ම අසලටවත් එන්න බැරි වී තිබෙන නිසයි. මෙම දේශපාලනික වන මෘගයා අංක 666 යන නමින් ලොව පුරා තම අණසක පතුරුවනවා. මිනිසුන්ට මහත් අපහසුතා ඇති කරමින් දෙවිගේ සේවකයන්ට බොහෝ පීඩා ඇති කරන මෙම වන මෘගයා මෙතෙක් කල් පැවත තිබෙන්නේ දැවැන්ත දේශපාලනඥයන්ගේ මෙන්ම ප්‍රධාන ආගම්වල හා විශාල ව්‍යාපාරවල දායකත්වයෙනුයි.
35. වන මෘගයාගේ සලකුණ කෙනෙකුගේ දකුණතේ හෝ නළලේ තැබීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
35 වන මෘගයාගේ සලකුණ කෙනෙකුගේ දකුණතේ හෝ නළලේ තැබීමෙන් අදහස් කරන්නේ කුමක්ද? යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් ජනයාට නීතිය දුන් අවස්ථාවේ ඔහු මෙසේ පැවසුවා. ‘ඔබ මාගේ මේ වචන ඔබගේ හෘදයෙහිද සිතෙහිද තබාගෙන ඔබගේ ඇස් අතරෙහි නළල් පට මෙන්ද ඔබේ අත පිට ලකුණක් මෙන්ද ඒවා බැඳිය යුතුයි.’ (ද්විතීය කතාව 11:19) මින් අදහස් කළේ ඊශ්‍රායෙල්වරුන් දෙවිගේ නීතිය කිසිවිටකත් අමතක නොකළ යුතු බවයි. එවිට ඔවුන්ගේ සිතිවිලි හා ක්‍රියා ඊට එකඟව සකස් කරගත හැකි වෙනවා. ඒ වගේම 1,44,000කින් යුත් අභිෂේක ලත් අයගේ නළල්වල පියාණන්ගේ නාමයද යේසුස්ගේ නාමයද ලියා තිබෙන බවත් සඳහන් වෙනවා. මෙයින් පැහැදිලි වෙන්නේ ඔවුන් යෙහෝවා දෙවි සහ යේසුස් ක්‍රිස්තුස්ට අයිති බවයි. (එළිදරව් 14:1) සාතන්ද වන මෘගයාගේ සලකුණ යොදාගන්නේ එවැනි දෙයක් සඳහායි. භාණ්ඩ මිල දී ගැනීම හෝ විකිණීම වැනි ජීවිතයේ දෛනික කටයුතුවලදී පවා තමාට අවශ්‍ය ආකාරයට දේවල් කරගන්න මේ වන මෘගයා මිනිසුන්ට ප්‍රබල ලෙස බලපෑම් කරනවා. රටක් හෝ ජාතියක් යම් විශේෂිත දින සමරන්නෙත් ඒ බලපෑම නිසයි. සාතන් ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ වන මෘගයාගේ සලකුණ ලබමින් එයට නමස්කාර කිරීමයි. ඉන් අදහස් කරන්නේ ඔවුන්ගේ ජීවිතයේ සෑම අංගයක්ම වන මෘගයාගේ පාලනයට යටත් කරගැනීමයි.
36. වන මෘගයාගේ සලකුණ ප්‍රතික්ෂේප කරන අය මුහුණ දෙන්නේ කවර ගැටලුවලටද?
36 වන මෘගයාගේ සලකුණ ප්‍රතික්ෂේප කරන අය නොයෙකුත් ගැටලුවලට මුහුණ දෙනවා. නිදසුනක් හැටියට, 1930 ගණන්වල සිට නඩු විභාග ගණනාවකටත්, මැර ප්රහාරවලටත් වෙනත් පීඩාවලටත් ඔවුන්ට මුහුණ දෙන්න සිදු වුණා. ඒකාධිපතීන්ගේ පාලනයක් පැවති රටවල ඔවුන්ව ගාල් කඳවුරුවලට දැම්මා. එහිදී බොහෝදෙනෙක් මිය ගියා. දෙවන ලෝක මහා යුද්ධය පැවති කාලයේදී තරුණ සහෝදරයන් යුද්ධයට හවුල් නොවී තම ස්ථාවරයෙහි රැඳී සිටි නිසා බොහෝදෙනෙකුට දිගු සිරදඬුවම් ලැබුණා. සමහරුන්ට දැඩි වධ හිංසා සහ මරණය පවා අද්දකින්න සිදු වුණා. තවත් රටවල ක්‍රිස්තියානීන්ට කිසිම දෙයක් මිලට ගන්නවත් විකුණන්නවත් බැරි වුණා. සමහරුන්ගේ ඉඩම් පවා ඔවුන්ගෙන් පැහැරගත්තා. තවත් අයව දූෂණය කළා. මරා දම්මා. නැත්නම් තමන්ගේ ගම් බිම්වලින් එලවා දමනු ලැබුවා. එයට හේතුව වුණේ තම හෘදය සාක්ෂියට එකඟව දේශපාලන පක්ෂයකට බැඳීම ඔවුන් ප්‍රතික්ෂේප කළ නිසයි.d—යොහන් 17:16.
37, 38. (අ) වන මෘගයාගේ සලකුණ ප්‍රතික්ෂේප කරන අයට ලෝකයේ ජීවත් වීම අසීරු වෙන්නේ ඇයි? (ආ) විශ්වාසවන්තව සිටින්නේ කවුරුන්ද? ඔවුන් අධිෂ්ඨාන කරගෙන සිටින්නේ කුමක් කිරීමටද?
37 ලෝකයේ ඇතැම් රටවල ආගමික විශ්වාසයන් සමාජයට තදින් කාවැදී තිබෙනවා. ඒ නිසා බයිබලයේ සත්‍යයන් ඉගෙනගෙන ඒ වෙනුවෙන් තමන් ගන්නා ස්ථාවරය අත් නොහරින කෙනෙකුට පවුලේ සාමාජිකයන්ගෙන් හා මිතුරන්ගෙන් එල්ල වන බොහෝ පීඩා හා අපහසුතාවලට මුහුණ දෙන්න සිදු වෙනවා. විඳදරාගැනීමට නම් ශක්තිමත් ඇදහිල්ලක් අවශ්‍යයි. (මතෙව් 10:36-38; 17:22) අද ලෝකයේ බහුතරයක් ධනය පසුපස හඹා යන්නේ එය දෙවි කෙනෙක් ලෙස සලකමින්. මිනිසුන් තුළ අවංකකම දකින්න නැති තරම්. මෙවැනි වාතාවරණයක් මැද නිර්දෝෂ ජීවිතයක් ගත කරන්න උත්සාහ කරන සැබෑ ක්‍රිස්තියානියෙක් යෙහෝවා දෙවි තමාව රැකගන්නා බවට පූර්ණ විශ්වාසයක් ඇතුව සිටීම අවශ්‍ය දෙයක්. (ගීතාවලිය 11:7; හෙබ්‍රෙව් 13:18) වර්තමාන ලෝකයේ උසස් සදාචාර ප්‍රමිති රැකගැනීම විශාල අභියෝගයක් වී තිබෙනවා. එයට හේතුව සමාජය පුරාම අනාචාරය පැතිර තිබීමයි. අසනීප වී සිටින ක්‍රිස්තියානීන් පවා දැඩි පීඩනයට ලක් වෙනවා. ඒ දෙවි රුධිරය සම්බන්ධයෙන් දී ඇති නීති කඩ කරන්න කියා වෛද්‍යවරුන් හා වෛද්‍ය කාර්ය මණ්ඩල කරන බලපෑම් නිසයි. (ක්‍රියා 15:28, 29; 1 පේතෘස් 4:3, 4) මීට අමතරව අප රැකියා හිඟයක් ඇති ලෝකයක ජීවත් වන නිසා, සැබෑ ක්‍රිස්තියානීන්ට තම ප්‍රතිපත්ති උල්ලංගනය නොකරන රැකියා සොයාගැනීමත් එන්න එන්නම දුෂ්කර වෙනවා.—මීකා 4:3, 5.
38 වන මෘගයාගේ සලකුණ නැති අයට මේ ලෝකයේ ජීවත් වීම ඉතාමත් අසීරුයි. නමුත් දෙවිගේ නීති උල්ලංගනය කිරීමට කොතරම් පීඩනයක් එල්ල වී තිබුණත් දෙවිගේ ස්ත්‍රියගේ වංශයට අයත් ඉතිරි වූ අභිෂේක ලත් අය සහ ඔවුන් සමඟ එකතු වී සිටින සංඛ්‍යාවෙන් මිලියන හයකට වඩා වන මහත් සමූහයේ අය විශ්වාසවන්තව සිටිනවා. ඔවුන්ට යෙහෝවා දෙවිගේ බලය හා ආශීර්වාදය ඇති බවට ඉන් කොතරම් හොඳින් පැහැදිලි වෙනවාද! (එළිදරව් 7:9) අපි සියලුදෙනාම පොළොවෙහි කොතැනක සිටියත් යෙහෝවා දෙවි සහ ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට පක්ෂව සිටිමින් ඔහුව මහිමවත් කරමු. එසේනම් අපි දිගටම වන මෘගයාගේ සලකුණ ප්‍රතික්ෂේප කරමු.—ගීතාවලිය 34:1-3.
[පාදසටහන්වල]
a මේ ගැන වැඩි විස්තර දැනගැනීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පොතක් වන දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න! යන පොතේ 165-179 පිටු බලන්න.
b The Interpretation of St. John’s Revelation, by R. C. H. Lenski, pages 390-391.
c බොහෝ විද්වතුන් පවසන්නේ ජාත්‍යාලය ආගමකට සමාන කළ හැකි බවයි. මේ අනුව තම රටට ‘නමස්කාර’ කරන ජාතිවාදී හැඟීම් ඇති පුද්ගලයා ඇත්තටම නමස්කාර කරන්නේ ලෝකයේ සියලුම පාලන නියෝජනය කරන වන මෘගයාටයි. එක්සත් ජනපදයේ පවතින ජාතිවාදී හැඟීම් ගැන අපට මෙසේ කියවන්න තිබෙනවා. “ජාත්‍යාලය අතීතයේ පැවති ආගම්වලට බොහෝ දුරට සමානකමක් දක්වනවා. එය හරියට ආගමක් වගෙයි. . . . වර්තමානයේ ජාතිවාදී හැඟීම් ඇති පුද්ගලයා තම ජාතිය දේවත්වයේ ලා සලකනවා. එතුළින් ඔහු පිහිට උපකාර බලාපොරොත්තු වන අතර, එයට පක්ෂ වීමෙන් තෘප්තියක් හා සතුටක්ද අද්දකිනවා. ඔහු යටත් වෙන්නේ හරියට ආගමික බැතිමතෙක් තම ආගමට යටත් වෙන්නාක් මෙන්. තම ජාතිය සදාකාලිකයි. ඒ වෙනුවෙන් තම දිවි පුදන සෑම කෙනෙක්ම තම ජාතියේ සදාකාලික අභිමානයට දායක වෙනවා නියතයි.”—Carlton J. F. Hayes, as quoted on page 359 of the book What Americans Believe and How They Worship, by J. Paul Williams.
d මේ පිළිබඳව නිදර්ශන ගැන දැනගැනීමට පහත සඳහන් මුරටැඹ ලිපි කියවන්න. 1971 සැප්තැම්බර් 1, 520 පි.; 1974 ජූනි 15, 373 පි.; 1975 ජූනි 1, 341 පි.; 1979 පෙබරවාරි 1, 23 පි.; 1979 ජූනි 1, 20 පි.; 1980 මැයි 15, 10 පි.—සිංහලෙන් නැත.
[195වන පිටුවේ පින්තූරය]
වන මෘගයාගේ රූපයට හුස්ම දීමට ඌට අවසර දෙන ලදි