පරිච්ඡේදය 30
“මහා බැබිලෝනිය වැටුණාය!”
1. දෙවෙනි දේවදූතයා දැනුම් දෙන්නේ කුමක් ගැනද? මහා බැබිලෝනියෙන් නියෝජනය වෙන්නේ කුමක්ද?
දැන් දෙවිගේ විනිශ්චයේ පැය පැමිණ තිබෙනවා. දෙවිගෙන් ලැබෙන මෙම පණිවුඩයට සවන් දෙමු. “ඉන්පසු දෙවන දේවදූතයෙක් ඇවිත්, ‘ඈ වැටුණාය! සියලු ජාතීන්ට තම වේශ්‍යාකමේ කෝපය නමැති වයින් බීමට බල කළාවූ මහා බැබිලෝනිය වැටුණාය!’ යි කීවේය.” (එළිදරව් 14:8) මේ එළිදරව් පොතේ මහා බැබිලෝනිය ගැන සඳහන් වෙන මුල් වතාවයි. එළිදරව් 17වන පරිච්ඡේදයේ ඇයව විස්තර කර තිබෙන්නේ රාගයෙන් මත් වූ වේශ්‍යාවක් ලෙසයි. ඇය කවුද? ඇයගෙන් ලොව පුරා අධිරාජ්‍යයක් හා සමානව පවතින ලෝකයේ සියලුම අසත්‍යය උගන්වන ආගම් නියෝජනය වෙනවා. පුරාණ බැබිලෝනියේ දුෂ්ට ස්වාභවය හා එහි ආගමික වතාවත් හා ඉගැන්වීම් පවත්වාගෙන යන සියලුම ආගම් එයට ඇතුළත්. දෙවිගේ ස්ත්‍රියගේ වංශයෙන් බිහි වන අයට විරුද්ධව සටන් කිරීම සඳහා සාතන් මෙම ව්‍යාජ ආගමික සමූහය යොදාගන්නවා.—එළිදරව් 12:17.
2. (අ) බැබිලෝනියේ ආභාසය ඇති ආගම් ලොව පුරා පැතිරුණේ කෙසේද? (ආ) මහා බැබිලෝනියේ ප්‍රධාන කොටස කුමක්ද? එය ප්‍රබල සංවිධානයක් ලෙස ඉස්මතු වුණේ කොයි කාලයේදීද?
2 මීට වසර 4,000කටත් කලින් බාබෙල් නමැති කොත සාදන්නට පටන්ගත් අයගේ භාෂාව යෙහෝවා දෙවි වියවුල් කළේ බැබිලෝනිය නම් නගරයේදීයි. ප්‍රතිඵලයක් ලෙස එකම භාෂාව කතා කළ අය කණ්ඩායම් ලෙස එකතු වී ලොව පුරාම විසිරී ගියා. ඔවුන් විසිර යද්දී ඔවුන් ඇදහූ ආගමික විශ්වාසයන් සහ වත්පිළිවෙත්ද රැගෙන ගියා. අද ලෝකයේ පවතින බොහෝ ආගම්වලත් එහි මූලික අංග ලක්ෂණ දක්නට ලැබෙනවා. (උත්පත්ති 11:1-9) සාතන්ගේ අණසක යටතේ පවතින මේ ලෝකයේ ආගමික අංශය හඳුන්වන්නේ මහා බැබිලෝනිය ලෙසයි. (යොහන් 8:43-47ද බලන්න.) ලෝකයේ ආගම් අතුරින් වඩාත් ප්රබලව පවතින්නේ සත්‍යයෙන් ඉවත් වී ඇති ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලි සමූහයයි. ක්‍රිස්තු වර්ෂ සතරවන සියවසේ සිට එය ඉතා ප්‍රබල, සංවිධානයක් ලෙස බිහි වී ඇති අතර ඔවුන් අනුගමනය කරන වත්පිළිවෙත් ඉගැන්වීම් ආදියට පදනම සපයන්නේ දේවවචනය වන බයිබලය නොව පුරාණ බැබිලෝනියේ ආගමික විශ්වාසයනුයි.—2 තෙසලෝනික 2:3-12.
3. මහා බැබිලෝනිය වැටුණායයි කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
3 සමහරවිට අපට මෙසේ සිතිය හැකියි. ‘පොදුවේ ආගම් දැන් වුණත් පොළොව පුරා තම අණසක පතුරුවා ඇති නිසා මහා බැබිලෝනිය වැටී ඇතැයි කියා දේවදූතයා දන්වන්නේ ඇයි?’ මෙය තේරුම්ගැනීමට ක්‍රි.පූ. 539දී ඉපැරණි බැබිලෝනිය වැටුණු අවස්ථාවේදී සිදු වූ දේ අපට සලකා බලන්න පුළුවන්. බැබිලෝනිය නුවරේ වැටීමත් සමඟ ඊශ්‍රායෙල් ජාතියට නිදහස ලබා තම මව්බිමට ගොස් සැබෑ නමස්කාරය නැවත ආරම්භ කරන්න ප්‍රස්තාව උදා වුණා. ඒ හා සමානව 1919දී දෙවිගේ ඊශ්‍රායෙල් ජාතිය එනම් අභිෂේක ලත් අයත් නිදහස ලබා දෙවිගේ ආශීර්වාද ඇතුව සැබෑ නමස්කාරය නැවත පිහිටෙව්වා. අද දින දක්වාම එය පැතිර පවතිනවා. මේ සියල්ලෙන් පැහැදිලි වෙන්නේ මහා බැබිලෝනිය 1919දී වැටුණු බවයි. දෙවිගේ ජනයාව බියගන්වා යටපත් කරන්න දැන් මහා බැබිලෝනියට හැකියාවක් නැහැ. මීට අමතරව මහා බැබිලෝනිය තුළ බොහෝ අභ්‍යන්තර ප්‍රශ්නත් හටගත්තා. වර්ෂ 1919 සිට ආගමේ නාමයෙන් සිදු වන අල්ලස් දූෂණ, වංක ක්‍රියා හා අනාචාරය ප්‍රසිද්ධ වී තිබෙනවා. යුරෝපයේ බොහෝ රටවල මිනිසුන් පල්ලි යන්නේ නැති තරම්. ඇතැම් සමාජවාදී රටවල ආගම් සලකන්නේ මහජනයාව නොමඟ යවන දෙයක් ලෙසයි. දෙවිගේ සත්‍ය වචනය වූ බයිබලයට ඇලුම් කරන සියල්ලන් මහා බැබිලෝනිය හෙළා දකිනවා. එමනිසා දැන් එම ආගම්වලට ඉතිරිව ඇත්තේ යෙහෝවා දෙවිගේ ධර්මිෂ්ඨ විනිශ්චයන්වල ප්‍රතිඵලයක් ලෙස ලැබෙන විනාශය අද්දකින්නයි.
මහා බැබිලෝනියේ නින්දාසහගත වැටීම
4-6. ‘මහා බැබිලෝනිය සියලු ජාතීන්ට තම වේශ්‍යාකමේ කෝපය නමැති වයින් බීමට බල කළේ’ කෙසේද?
4 මහා බැබිලෝනිය වැටී ඇති ආකාරය අපි දැන් වඩාත් විස්තර ඇතුව සෝදිසි කර බලමු. දේවදූතයා අපට කියන්නේ ‘මහා බැබිලෝනිය සියලු ජාතීන්ට තම වේශ්‍යාකමේ කෝපය නමැති වයින් බීමට බල කළ’ බවයි. මින් අදහස් කරන්නේ කුමක්ද? මහා බැබිලෝනිය ජාතීන් තම අණසක යටතට ගත් ආකාරය එයින් විස්තර වෙනවා. නිදසුනක් ලෙස යෙහෝවා දෙවි යෙරෙමියාට මෙසේ පැවසුවා. “මේ උදහසේ මිදි යුෂ [වයින්] පාත්‍රය මාගේ අතින් ගෙන මා විසින් ඔබ යවන සියලු ජාතීන්ට මෙයින් පොවන්න. ඔවුහු බී මා විසින් ඔවුන් අතරට යවන කඩුව නිසා ඔබ මොබ වැනි වැනී උමතු වන්නෝය.” (යෙරෙමියා 25:15, 16) ක්‍රිස්තු පූර්ව හයවන සහ සත්වන සියවස්වලදී යෙහෝවා දෙවි ඉපැරණි බැබිලෝනිය යොදාගෙන බොහෝ ජාතීන්ට පීඩා නමැති සංකේතවත් කුසලානෙන් පානය කිරීමට සැලැස්සුවා. දෙවිගෙන් ඉවත්ව ගිය යූදා රාජ්‍යයත් මීට ඇතුළත් වූ අතර, ප්‍රතිඵලයක් ලෙස දෙවිගේ සෙනඟව වහලුන් ලෙස ගෙන ගියා. නමුත් පසුව බැබිලෝනියේ රජ “ස්වර්ගයේ දෙවි” වන යෙහෝවාට ඉහළින් යන්නට උත්සාහ කළ නිසා එයත් වැටී ගියා.—දානියෙල් 5:23.
5 මහා බැබිලෝනියත් යම් ආකාරයකින් මිනිසුන් තම අණසක යටතට ගන්නවා. නමුත් එය සිදු වෙන්නේ වඩාත් සූක්ෂ්ම ආකාරයකටයි. ගණිකාවකගේ සියලු මායාවන් යොදාගනිමින් ‘සියලු ජාතීන්ව මත් කළ’ ඇය ඔවුන් සමඟ සංකේතවත් ලෙස වේශ්‍යාකම් කර තිබෙනවා. එසේ කර තිබෙන්නේ ලෝකයේ පාලකයන් සමඟ ගිවිසුම්වලට එළඹී ඔවුන් හා මිත්‍ර වීමෙනුයි. ආගමික වශයෙන් නොයෙකුත් උපක්‍රම යොදාගනිමින් ජනතාවට විවිධ පැතිවලින් අපහසුතා ඇති කර තිබෙනවා. ඒ නිසා ජනතාවට දේශපාලනමය හා ආර්ථිකමය අතින් පීඩා විඳින්න සිදු වී තිබෙනවා. මහා බැබිලෝනියේ උසිගැන්වීම නිසා බොහෝදෙනෙකුට හිංසා පීඩාවලට මුහුණ දෙන්න සිදු වෙලා. එමෙන්ම ආගමේ නාමයෙන් නොයෙකුත් යුද්ධ ඇති වී තිබෙනවා. එසේ කර තිබෙන්නේ යම් දේශපාලනික හෝ ආර්ථික වාසි ප්‍රයෝජන ලබාගැනීමේ අදහසින්. ඒවා දේවකැමැත්ත කියා කියමින් අනුමත කරන්නත් ඔවුන් උත්සාහ කර තිබෙනවා.
6 විසිවන සියවසේ ආගම් දේශපාලනයට හා යුද්ධවලට මැදිහත් වී ඇති ආකාරය කාටත් රහසක් නම් නෙවෙයි. උදාහරණයකට ෂින්ටෝ ආගම අදහන ජපානය, හින්දු ආගම අදහන ඉන්දියාව, බෞද්ධාගම අදහන වියට්නාමය, “ක්‍රිස්තියානි” ආගම අදහන උතුරු අයර්ලන්තය සහ දකුණු අමෙරිකාවේ රටවල් යනාදිය සඳහන් කළ හැකියි. මීට කලින් ලෝක යුද්ධ දෙකේදී සටන් වැදුණු දෙපැත්තේම පූජකයන් තරුණ සෙබළුන්ට උනන්දු කළේ යුද්ධයට ගොස් ප්‍රතිවාදී හමුදාවල අයව ඝාතනය කරන්න කියායි. මහා බැබිලෝනිය යුද්ධයට හා දේශපාලනයට මැදිහත් වූ තවත් අවස්ථාවක් වුණේ 1936 සිට 1939 දක්වා කාලයේදී ස්පාඤ්ඤයේ හටගත් අභ්‍යන්තර යුද්ධයයි. එවකට ස්පාඤ්ඤ ආණ්ඩුව කතෝලික සභාවේ ධනයට හා බලයට යම් තර්ජනයක් එල්ල කළ නිසා කතෝලික පූජකයන් සහ ඔවුන්ට අනුග්‍රහය දැක්වූ අය ජනයාව උසිගන්වා විශාල ලේ වැගිරීමක් සිදු කළා. ප්‍රතිඵලයක් ලෙස හටගත් ඒ යුද්ධයෙන් අඩුම තරමින් මිනිසුන් 6,00,000ක්වත් මරු දුටුවා.
7. මහා බැබිලෝනිය විශේෂයෙන්ම ඉලක්ක කරගෙන තිබෙන්නේ කාවද? ඒ සඳහා ඇය යොදාගෙන ඇති ක්‍රම මොනවාද?
7 මහා බැබිලෝනිය සාතන්ගේ වංශයෙන් බිහි වූ අසත්‍යය උගන්වන ආගම් සමූහය වන නිසා ඇය ප්‍රධාන වශයෙන් ඉලක්ක කරගෙන තිබෙන්නේ දෙවිගේ “ස්ත්‍රිය” වන ‘ඉහළ තිබෙන යෙරුසලමයි.’ පළමු සියවසේදී ස්ත්‍රියගේ වංශයෙන් බිහි වූ අය ලෙස අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ සභාව පැහැදිලිව හඳුනාගනු ලැබුවා. (උත්පත්ති 3:15; ගලාති 3:29; 4:26) නමුත් මහා බැබිලෝනිය උත්සාහ කර තිබෙන්නේ එම පවිත්‍ර සභාව වරදට පොලඹවා ගන්නයි. බොහෝදෙනෙක් එවැනි වේශ්යාකමකට හසු වන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඇදහිල්ලට විරුද්ධව මහා කැරැල්ලක් සිදු වන බවත් පාවුල් සහ පේතෘස් අනතුරු ඇඟෙව්වා. (ක්‍රියා 20:29, 30; 2 පේතෘස් 2:1-3) යේසුස් සභා සතට ලියූ පණිවුඩවලින් පෙනී යන්නේ යොහන්ගේ ජීවිතයේ ඒ අවසන් අවුරුදු කිහිපය තුළදී පවා මහා බැබිලෝනියේ මෙම දූෂිත උපායන් ක්‍රිස්තියානීන්ට යම් බලපෑමක් කරන්න පටන්ගෙන තිබුණු බවයි. (එළිදරව් 2:6, 14, 15, 20-23) නමුත් ඇය එය කොතරම් දුරට සිදු කරනවාද යන කාරණය ගැන යේසුස් මීට කලින් පැහැදිලි කර තිබුණා.
තිරිඟු සහ කිරිඳි
8, 9. (අ) තිරිඟු සහ කිරිඳි පිළිබඳ යේසුස්ගේ උපමාවෙන් පැහැදිලි වුණේ කුමක්ද? (ආ) “මිනිසුන් නිදාගෙන සිටියදී” සිදු වුණේ කුමක්ද?
8 තිරිඟු සහ කිරිඳි ගැන උපමාවක් පවසමින් කෙතක හොඳ තිරිඟු වැපුරූ මිනිසෙකු ගැන යේසුස් කතා කළා. “මිනිසුන් නිදා සිටියදී” සතුරෙක් පැමිණ තිරිඟු අතරේ කිරිඳි වපුරා ගියා. මේ නිසා කිරිඳිවලින් තිරිඟු වැසී ගියා. යේසුස් මේ උපමාව පැහැදිලි කළේ මෙලෙසයි. “හොඳ බීජ වපුරන්නා නම් මනුෂ්‍ය පුත්‍රයාය. කෙත නම් ලෝකයය. හොඳ බීජ නම් රාජ්‍යයේ පුත්‍රයෝය. කිරිඳි නම් දුෂ්ටයාගේ පුත්‍රයෝය. ඒවා වැපුරූ සතුරා නම් යක්ෂයාය.” ඉන්පසුව තිරිඟු සහ කිරිඳි ‘සමාජ ක්රමයේ අවසාන කාල පරිච්ඡේදය’ දක්වා වැඩීමට ඉඩහරින බව සහ ඒ කාලයේදී දේවදූතයන් සංකේතවත් තිරිඟු ‘රැස් කරන’ බව මෙම උපමාව පැහැදිලි කරමින් යේසුස් පැවසුවා.—මතෙව් 13:24-30, 36-43.
9 යේසුස්, පාවුල් සහ පේතෘස් අනතුරු ඇඟවූ දේ ඇත්තටම සිදු වුණා. ‘මිනිසුන් නිදාගෙන සිටි’ කාලය කියන්නේ යේසුස්ගේ ප්‍රේරිතයන් මිය ගියායින් පසු කාලයයි. එසේ නැත්නම් දෙවිගේ රැළ රැකබලා ගැනීමේ වගකීම ගැන ක්‍රිස්තියානි අවේක්ෂකයන් නොසැලකිලිමත් වෙන්න පටන්ගත් කාලයයි. ප්‍රතිඵලයක් ලෙස බැබිලෝනියේ ආභාසය සභාවට කෙමෙන් කෙමෙන් කාන්දු වී ඇදහිල්ලට විරුද්ධව කැරලි ගැසීමක් සභාව තුළම සිදු වෙන්න පටන්ගත්තා. (ක්‍රියා 20:31) සභාව තුළ තිරිඟුවලට වඩා බොහෝසෙයින් වැවෙන්න පටන්ගත්තේ කිරිඳියි. මෙයාකාරයට සියවස් ගණනාවක් පුරා මහා බැබිලෝනිය තම අණසක පතුරුවමින් දෙවිගේ ස්ත්‍රියගේ වංශයෙන් බිහි වූ අය යටපත් කරගෙන සිටියා.
10. එක්දහස් අටසිය හැත්තෑ ගණන්වලදී සිදු වුණේ කුමක්ද? මහා බැබිලෝනිය ඊට විරුද්ධව ක්‍රියා කළේ කෙසේද?
10 නමුත් 1870 ගණන්වල සිට අභිෂේක ලත් ක්‍රිස්තියානීන් මහා බැබිලෝනියේ සියලුම පිළිකුල්සහගත ඇදහිලිවලින් ඉවත් වීමට දැඩි උත්සාහයක් ගත්තා. ඔවුන් ක්‍රිස්තියානියයි කියාගත් ආගම්වල ඉගැන්වූ මිථ්‍යාදෘෂ්ටික මූලධර්ම අත්හැරිය අතර, ජාතීන් සඳහා නියම කරන ලද කාලය 1914දී අවසන් වන බවත් බයිබලය යොදාගෙන නිර්භීතව දේශනා කළා. සැබෑ නමස්කාරය මෙලෙස නැවතත් පිහිටුවන්න පටන්ගත් විට මහා බැබිලෝනියේ ප්‍රධාන පාර්ශ්වයක් වූ ‘ක්‍රිස්තියානි’ පූජක පක්ෂය ඊට දැඩි සේ විරුද්ධ වුණා. පළමු ලෝක මහා යුද්ධයේදී ඔවුන් ඒ කාලයේ පැවති නොසන්සුන්කාරී වාතාවරණය යොදාගෙන විශ්වාසවන්ත ක්‍රිස්තියානීන්ගේ මෙම කුඩා කණ්ඩායම නැති කර දැමීමට උත්සාහ කළා. වර්ෂ 1918දී මෙම අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම වගේ මර්දනය කරනු ලැබුවා. සියලුදෙනා සිතුවේ මහා බැබිලෝනියේ වෑයම සාර්ථක වී ඇය ජයක් ලැබූ බවයි.
11. පුරාණ බැබිලෝනිය වැටීම නිසා සිදු වුණේ කුමක්ද?
11 ක්‍රිස්තු පූර්ව 539දී අහංකාර බැබිලෝනිය නුවර ප්‍රබල වැටීමක් අද්දුටු ආකාරය අපි දැනටමත් සාකච්ඡා කළා. ඒ අවස්ථාවේදී “බැබිලෝනිය වැටුණේය, වැටුණේය” යන හඬ පැතිර ගියා. බැබිලෝනිය නම් ප්‍රබල ලෝක අධිරාජ්‍යය සයිරස් රජු ප්රමුඛ මේද-පර්සියාවේ හමුදාවට පරාජය වුණා. බැබිලෝනිය නුවර විනාශ නොවුණත් එතෙක් ඔවුන්ට තිබූ බලය අතින් ප්‍රබල වැටීමක් අද්දුටුවා. ප්‍රතිඵලයක් ලෙස වහල්ව සිටි යුදෙව්වන් නිදහස ලබා යෙරුසලමට ගොස් සැබෑ නමස්කාරය තම රටේ නැවත පිහිටෙව්වා.—යෙසායා 21:9; 2 ලේකම් 36:22, 23; යෙරෙමියා 51:7, 8.
12. (අ) අපගේ කාලයේදී, මහා බැබිලෝනිය වැටුණු බව පැවසිය හැක්කේ කෙසේද? (ආ) යෙහෝවා දෙවි ‘ක්‍රිස්තියානි’ පල්ලි එකහෙළාම ප්‍රතික්ෂේප කර ඇති බව පැහැදිලි වෙන්නේ කුමකින්ද?
12 මහා බැබිලෝනිය වැටුණාය යන හඬ අපේ කාලයේදීත් පැතිර තිබෙනවා! ක්‍රිස්තියානියයි කියාගත් පල්ලි අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට එරෙහිව 1918දී ලබාගත් ජය ඉතා කෙටි කලකින් ඔවුන්ට නැතිව ගියා. වර්ෂ 1919දී යොහන් පන්තියට අයත් මෙම අභිෂේක ලත් අයව සංකේතවත් ආකාරයකින් නැවත නැඟිටුවනු ලැබුවා. මහා බැබිලෝනියට තවදුරටත් දෙවිගේ ජනයාව බියගන්වා යටපත් කරන්න හැකි වුණේ නැහැ. ඒ අතින් ඇය වැටුණා කියා පැවසිය හැකියි. යේසුස්ගේ මෙම අභිෂේක ලත් සහෝදරයන් ආගාධයෙන් නැඟී ආ පළඟැටියන් මෙන් දේවසේවය සඳහා සූදානම් වෙන්න පටන්ගත්තා. (එළිදරව් 9:1-3; 11:11, 12) මේ අය නූතන “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” වූ අතර ඔවුන්ගේ ස්වාමියා පොළොවේ තමා සන්තක සියලු දේ කෙරෙහි ඔවුන්ව පත් කළා. (මතෙව් 24:45-47) යෙහෝවා දෙවි ඔවුන්ව මේ අන්දමින් යොදාගත් නිසා එයින් පැහැදිලි වුණේ තමා දෙවිගේ නියෝජිතයන් බව කියා සිටින පල්ලි ඔහු එකහෙළාම ප්‍රතික්ෂේප කර ඇති බවයි. සැබෑ නමස්කාරය නැවත පිහිටුවනු ලැබුවා. ඒ වගේම මහා බැබිලෝනියේ ඉපැරණි සතුරා වූ ස්ත්‍රියගේ වංශයෙන් බිහි වන අයව, එනම් 1,44,000දෙනාට අයත් ඉතිරි අයව මුද්‍රා කිරීමේ කාර්යය නිම කිරීමටද අවස්ථාව උදා වුණා. එය සාතන්ගේ මෙම දුෂ්ට ආගමික සංවිධානයට මොන තරම් ප්‍රබල පරාජයක්ද!
ශුද්ධ තැනැත්තන්ගේ විඳදරාගැනීම
13. (අ) තුන්වන දේවදූතයා ප්‍රකාශ කරන්නේ කුමක්ද? (ආ) වන මෘගයාගේ ලකුණ ලබන අයට යෙහෝවා දෙවි ගෙනෙන විනිශ්චය කුමක්ද?
13 තුන්වන දේවදූතයා පවසන දේට අපි දැන් සවන් දෙමු. “එවිට තුන්වන දේවදූතයෙක් ඔවුන්ට පසුව ඇවිත්, මහත් හඬින් මෙසේ කීවේය: ‘යමෙකු වන මෘගයාටත් උගේ රූපයටත් නමස්කාර කරන්නේද, තමාගේ නළලෙහි හෝ අතෙහි හෝ සලකුණක් ලබන්නේද, ඔහු, දෙවිගේ උදහස නමැති කුසලානයට වත් කළ දෙවිගේ කෝපය නමැති අමිශ්‍ර වූ වයින් බොනවා ඇත.’” (එළිදරව් 14:9, 10අ) එළිදරව් 13:16, 17ට අනුව ස්වාමීන්ගේ දවසේදී වන මෘගයාගේ රූපයට වන්දනා නොකරන අයට දුක් වේදනා විඳීමට හෝ මරණය පවා අද්දැකීමට සිදු වන බව අපි කලින් දුටුවා. නමුත් දැන් අපට පැහැදිලි වෙන්නේ “ඒ සලකුණ, එනම් වන මෘගයාගේ නම හෝ උගේ නමෙහි අංකය” ඇති අය මත විනිශ්චයක් ගෙන ඒමට යෙහෝවා දෙවි තීරණය කර තිබෙන බවයි. යෙහෝවා දෙවිගේ ‘කෝපය නමැති කුසලානෙන්’ බීමට ඔවුන්ට සිදු වෙනවා. මින් අදහස් කරන්නේ කුමක්ද? එය තේරුම්ගැනීමට ක්‍රි.පූ. 607දී යෙහෝවා දෙවි යෙරුසලමට ‘ඔහුගේ කෝපය නමැති කුසලානෙන්’ බීමට බල කළ අවස්ථාව සලකා බලමු. ප්‍රතිඵලයක් ලෙස එම නුවර බැබිලෝනිය හමුදාව අතින් “පාළුව සහ විනාශයත් කෑම හානිය සහ කඩුවත්” අද්දුටුවා. (යෙසායා 51:17, 19) ඒ හා සමානව, පොළොවේ දේශපාලන බලවේග සහ ඔවුන්ගේ රූපය වන එක්සත් ජාතීන්ගේ සංවිධානයට වන්දනාමාන කරන අය යෙහෝවා දෙවිගේ කෝපය නමැති කුසලානෙන් බොන විට, දරුණු විනාශයක් අද්දකින්න ඔවුන්ට සිදු වෙනවා. (යෙරෙමියා 25:17, 32, 33) ඔවුන්ව සහමුලින්ම නැති කර දමනවා.
14. වන මෘගයාට සහ උගේ රූපයට නමස්කාර කරන අය විනාශ වෙන්න කලින්ම ඔවුන්ට සිදු වෙන්නේ කුමක්ද? යොහන් ඒ ගැන විස්තර කරන්නේ කෙසේද?
14 නමුත් මෙම විනාශයට කලින් පවා වන මෘගයාගේ ලකුණ ඇති අයට සංකේතවත් ආකාරයකින් බොහෝ වධ හිංසා විඳින්න සිදු වෙනවා. ඒ ඔවුන්ට යෙහෝවා දෙවිගේ අනුමැතිය නැති බව දැනෙන නිසයි. වන මෘගයාට සහ උගේ රූපයට වන්දනාමාන කරන අය ගැන කතා කරමින් දේවදූතයා යොහන්ට මෙසේ පැහැදිලි කරනවා. “තවද ඔහු, ශුද්ධ දේවදූතයන් ඉදිරියෙහිත් බැටළු පැටවා ඉදිරියෙහිත් ගින්නෙන්ද ගෙන්දගම්වලින්ද වධ කරනු ලබන්නේය. ඔවුන්ගේ දුක් විඳීමේ දුම සදාකාලයෙන් සදාකාලයට නඟින්නේය. වන මෘගයාට හා උගේ රූපයට නමස්කාර කරන අයටවත් උගේ නාමයෙහි සලකුණ ලබන අයටවත් දිවා රෑ දෙකෙහි කිසි විවේකයක් නොලැබෙන්නේය.”—එළිදරව් 14:10ආ, 11.
15, 16. එළිදරව් 14:10හි සඳහන් ‘ගින්න සහ ගෙන්දගම්වලින්’ අදහස් කරන්නේ කුමක්ද?
15 ඇතැම් අය සිතන්නේ මෙහි ගිනි සහ ගෙන්දගම් ගැන සඳහන් කර තිබෙන නිසා නිරාගින්නක් ඇති බවට එය සාක්ෂියක් කියායි. නමුත් එයට සමාන අනාවැකියක් ගැන සොයා බැලීමෙන් එම වචනවලින් ඇත්තටම අදහස් කරන්නේ කුමක්ද කියා අපට තේරුම්ගත හැකියි. යෙසායාගේ කාලයේදී යෙහෝවා දෙවි ඒදොම් ජාතියට අනතුරු අඟවමින් කියා සිටියේ ඔවුන් ඊශ්‍රායෙල් ජාතියට සතුරුකම් කළ නිසා ඔවුන්ට දඬුවම් ලැබෙන බවයි. දෙවි මෙසේ පැවසුවා. “එහි [ඒදොම්හි] දියපාරවල් කීල්ද එහි ධූලි ගෙන්දගම්ද එහි බිම දැවෙන කීල්ද කරනු ලබන්නේය. ඒක රෑ දාවල් නොනිවෙන්නේය. එහි දුම නිතරම නඟින්නේය. එය පරම්පරාවෙන් පරම්පරාවට පාළුව තිබෙන්නේය. සදාකාලයටම කිසිවෙක් ඒ මැදින් නොයන්නේය.”—යෙසායා 34:9, 10.
16 ඒදොම් ජාතිය සදාකල් දැවෙන පිණිස යම් ආකාරයක නිරාගින්නකට දමනු ලැබුවාද? නැහැ. නමුත් යමක් ගින්නෙන් හා ගෙන්දගමින් සම්පූර්ණයෙන්ම දැවී යන්නාක් මෙන් එම ජාතිය ලෝකයෙන් සදහටම තුරන් වී ගියා. ඔවුන් ලැබූ දඬුවමේ ප්‍රතිඵලය වුණේ යම් ස්ථානයක සදාකල් වධ විඳීම නම් නෙවෙයි. නමුත් ‘හිස්කමයි, කිසිවක් නැතිකමයි.’ (යෙසායා 34:11, 12) මෙම අදහස ‘සදාකාලයටම ඉහළට නඟින’ දුමෙන් මනාව විස්තර කරනවා. උදාහරණයකට යම් නිවසක් ගින්නකින් විනාශ වී ගිය පසු ඒ ගින්න නිවී ගියත් සුන්බුන්වලින් දුමක් නඟිනවා. ඒ දුම දකින අය දන්නවා ගින්නක් නිසා මහත් විනාශයක් සිදු වී ඇති බව. අද වුණත් ඒදොම්ට සිදු වූ ‘විනාශයේ දුම නිතරම නඟිනවා’ කියා පැවසිය හැකියි. මන්ද දෙවිගේ සේවකයන් එම විනාශයෙන් දැන් පවා වැදගත් පාඩමක් ඉගෙනගන්නා නිසයි.
17, 18. (අ) වන මෘගයාගේ ලකුණ ලබන අයට සිදු වෙන්නේ කුමක්ද? (ආ) වන මෘගයාට වන්දනාමාන කරන අයට වධ කරනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ඇ) “ඔවුන්ගේ දුක් විඳීමේ දුම සදාකාලයෙන් සදාකාලයට නඟින්නේය” කියා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
17 වන මෘගයාගේ ලකුණ තිබෙන සියලුදෙනාම ගින්නෙන් විනාශ වී යන්නා සේ සදහටම විනාශ වී යනවා. එළිදරව් පොතේ පසුවට සඳහන් කරන්නේ ඔවුන්ගේ මළ සිරුරු භූමදාන කරන්නේවත් නැති බවයි. ඒවා සතුන්ගේ හා කුරුල්ලන්ගේ ආහාර වෙනවා. (එළිදරව් 19:17, 18) එමනිසා ඔවුන් සදහටම වධ වේදනා විඳිනවා කියා කියන්න බැහැ. නමුත් ඔවුන් “ගින්නෙන්ද ගෙන්දගම්වලින්ද වධ කරනු ලබන්නේ” කෙසේද? මින් අදහස් කරන්නේ සත්‍යය ප්‍රකාශ කරද්දී ඔවුන්ගේ සැබෑ තත්වය හෙළි වී ඔවුන් දෙවිගෙන් ලබන විනිශ්චය ගැන දැනගන්නා බවයි. මෙයට ප්‍රතිචාරයක් ලෙස ඔවුන් දෙවිගේ සේවකයන්ට විරුද්ධව නොයෙකුත් අපහාස ගෙනෙන අතර, හැකි සෑම අවස්ථාවකදීම දේශපාලනික වන මෘගයාව යොදාගෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට පීඩා කරන්න සහ ඔවුන්ව මරුමුවට පවා පත් කරන්න උත්සාහ දරනවා. නමුත් අන්තිමේදී යමක් ගින්නෙන් සහ ගෙන්දම්වලින් පිලිස්සී යන්නා සේ දෙවිට විරුද්ධ වී සිටින මේ අය විනාශ වෙනවා. එවිට “ඔවුන්ගේ දුක් විඳීමේ දුම සදාකාලයෙන් සදාකාලයට නඟින්නේය.” එයින් අදහස් කරන්නේ යෙහෝවා දෙවි ඔවුන්ට විරුද්ධව ගෙනා විනිශ්චය බේරී ජීවත් වන අයට කවදාවත් අමතක නොවන බවයි. යම් හේතුවක් නිසා දෙවිගේ පාලනයට විරුද්ධව නැවතත් කැරැල්ලක් හටගත්තොත් ඒ විනිශ්චය පදනමක් ලෙස යොදාගෙන කැරලිකරුවන්ව වහාම ඉවත් කළ හැකියි. දෙවිගේ පාලනය ගැන නැවතත් ප්‍රශ්නයක් හටගන්නේ නම් නැහැ.
18 දෙවිගේ සතුරන්ට වධ වේදනා දෙන මේ පණිවුඩය අද ඉදිරිපත් කරමින් සිටින්නේ කවුරුන්ද? තමන්ගේ නළලේ දෙවිගේ මුද්‍රාව නැති මිනිසුන්ට වධ කිරීමට අභිෂේක ලත් පළඟැටියන්ට බලය ලැබී තිබෙන බව අපි කලින් සාකච්ඡා කළා. (එළිදරව් 9:5) දේවදූතයන්ගේ මඟ පෙන්වීම ඇතුව ක්‍රියා කරන ඔවුන් වධ වේදනා ගෙන දෙන බව පෙනී යනවා. මෙම අභිෂේක ලත් පළඟැටියන් කොතරම් උත්සාහයක් දරනවාද කිවහොත් “වන මෘගයාට හා උගේ රූපයට නමස්කාර කරන අයටවත් උගේ නාමයෙහි ලකුණ ලබන අයටවත් දිවා රෑ දෙකෙහි කිසි විවේකයක්” ලැබෙන්නේ නැහැ. අවසානයේදී ඔවුන්ව විනාශ කළායින් පසු “ඔවුන්ගේ දුක් විඳීමේ දුම” සදහටම ඉහළ නඟිනවා. ඉන් අදහස් වෙන්නේ යෙහෝවා දෙවි මෙම විශ්වයේ නීත්‍යනුකූල පාලකයාණන් බවට තිබෙන සාක්ෂි සදහටම කාගෙත් මතකයේ රැඳෙන බවයි. ඒ උතුම් අවස්ථාව පැමිණෙන තෙක් යොහන් පන්තියට අයත් සියලුදෙනා විඳදරාගත යුතුයි. තුන්වන දේවදූතයා අවසානයේදී මෙසේ පවසනවා. “දෙවිගේ ආඥාද යේසුස් කෙරෙහි වූ ඇදහිල්ලද රක්ෂා කරන්නන් වන ශුද්ධ තැනැත්තන්ට විඳදරාගැනීම අවශ්‍ය වන්නේ මෙහිදීය.”—එළිදරව් 14:12.
19. ශුද්ධ තැනැත්තන් විඳදරාගත යුත්තේ ඇයි? ඔවුන් ශක්තිමත් වෙන්නේ යොහන් පවසන කවර දෙයින්ද?
19 ‘ශුද්ධ තැනැත්තන් විඳදරාගැනීම’ කොතරම් වැදගත්ද! ඔවුන් දිගටම යේසුස් ක්‍රිස්තුස් තුළින් යෙහෝවා දෙවිට පමණක් භක්තිය හා ගෞරවය ලබා දිය යුතුයි. ඔවුන් ඉදිරිපත් කරන පණිවුඩය ජනප්‍රිය එකක් නම් නෙවෙයි. ඒ නිසා බොහෝ පීඩා හා විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න ඔවුන්ට සිදු වෙනවා. සමහරවිට මරණය අද්දකින්නත් සිදු වෙනවා. නමුත් යොහන් ඊළඟට පවසන දෙයින් ඔවුන් ශක්තිමත් වෙනවාට සැකයක් නැහැ. “තවද, ‘මෙසේ ලියන්න: මෙතැන් පටන් ස්වාමීන් තුළ මැරෙන මළවුන් සන්තෝෂවත්ය. ආත්මය මෙසේ කියන්නේය: එසේය, ඔවුහු තමුන්ගේ වෙහෙසීම්වලින් විවේක ගනිත්වා! මන්ද ඔවුන් කළ දේ ඔවුන් සමඟ යන්නේය’ යි කියන හඬක් ස්වර්ගයෙන් නික්මෙනවා මට ඇසුණේය.”—එළිදරව් 14:13.
20. (අ) යොහන් සඳහන් කරන පොරොන්දුව යේසුස් පැමිණ සිටින කාලය ගැන පාවුල් පැවසූ දේට ගැළපෙන්නේ කෙසේද? (ආ) සාතන්ව ස්වර්ගයෙන් නෙරපා දැමුවායින් පසු මිය යන අභිෂේක ලත් අයට ලැබෙන්නේ මොන විශේෂ වරප්‍රසාදයද?
20 මෙම පොරොන්දුව යේසුස් පැමිණ සිටින කාලය ගැන පාවුල් පැවසූ දේට ගැළපෙනවා. ඔහු පැවසුවේ මෙසේයි. “ක්‍රිස්තුස් සමඟ එක්සත්ව මැරී සිටින අය පළමුවෙන් නැඟිටින්නෝය. ඉන්පසුව, ජීවත්ව ඉතිරිව සිටින අපි [එනම් ස්වාමීන්ගේ දවසේ තවමත් ජීවත්ව සිටින අභිෂේක ලත් අය] ස්වාමීන්ව අහසේදී හමු වන පිණිස, ඔවුන් සමඟ වලාකුළුවලින් ඔසවාගනු ලබන්නෙමු.” (1 තෙසලෝනික 4:15-17) සාතන්ව ස්වර්ගයෙන් නෙරපා දැමුවායින් පසු ක්‍රිස්තුස් සමඟ මිය ගිය අයව පළමුව නැඟිටුවනු ලැබුවා. (එළිදරව් 6:9-11ද බලන්න.) ස්වාමීන්ගේ දවසේදී මිය යන අභිෂේක ලත් අයට විශේෂ වරප්‍රසාදයක් පොරොන්දු වී තිබෙනවා. ඔවුන් මිය ගිය සැණින්, එනම් “ඇසිපිය හෙළන සැණින්” ඔවුන්ව ස්වර්ගයට නැවත නැඟිටුවනු ලබනවා. (1 කොරින්ති 15:52) ඔවුන් ධර්මිෂ්ඨකමින් කළ දේ කිසිදා අමතක වෙන්නෙත් නැහැ.
පොළොවේ අස්වැන්න
21. “පොළොවේ අස්වැන්න” ගැන යොහන් අපට පවසන්නේ කුමක්ද?
21 යොහන් පවසන විදිහට මෙම විනිශ්චය දවසේදී තවත් අයද ආශීර්වාද ලබනවා. “බලන්න! සුදු පැහැති වලාකුළක්ද, ඒ වලාකුළ මත මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි කෙනෙකු ඉඳගෙන සිටිනවාද මම දුටිමි. ඔහුගේ හිස මත රන් ඔටුන්නක්ද ඔහුගේ අතෙහි මුවහත් දෑකැත්තක්ද තිබිණ. එවිට තවත් දේවදූතයෙක් දේවමාලිගාවෙන් නික්ම ඇවිත්, වලාකුළ මත ඉඳගෙන සිටින තැනැත්තාට මහත් හඬින් මෙසේ කියන්නේය: ‘ඔබේ දෑකැත්ත යොදා කපන්න. මන්ද, පොළොවේ අස්වැන්න හොඳින් පැසී තිබෙන හෙයින්, එය නෙළීමට පැය පැමිණ තිබේ.’ එවිට, වලාකුළ මත ඉඳගෙන සිටි තැනැත්තා තම දෑකැත්ත පොළොව වෙත යොමු කළේය. පොළොවේ අස්වැන්න නෙළනු ලැබුවේය.”—එළිදරව් 14:14-16.
22. (අ) සුදු වලාකුළ මත ඉඳගෙන සිටින රන් ඔටුන්නක් පැළඳ සිටින තැනැත්තා කවුද? (ආ) අස්වැන්න එකතු කිරීමේ කාර්යය නිමාවට පත් වෙන්නේ කවදාද? කෙසේද?
22 සුදු වලාකුළ මත ඉඳගෙන සිටින තැනැත්තා කවුදැයි හඳුනාගැනීම අපහසු නැහැ. සුදු වලාකුළක් මත සිටින රන් ඔටුන්නක් පැළඳ සිටින මනුෂ්‍ය පුත්‍රයෙකුට සමාන තැනැත්තා යේසුස්. දානියෙල් දර්ශනයකින් දුටු දේවරාජ්‍යයේ රජු ඔහුයි. (දානියෙල් 7:13, 14; මාක් 14:61, 62) නමුත් මෙහි සඳහන් කරන අස්වැන්න කුමක්ද? යේසුස් පොළොවේ සිටින විට මිනිසුන්ව ගෝලයන් කිරීමේ කාර්යය ඔහු සමාන කළේ මිනිස් සංහතිය නමැති කෙතෙන් අස්වැන්නක් නෙළන ආකාරයටයි. (මතෙව් 9:37, 38; යොහන් 4:35, 36) මෙම අස්වැන්න එකතු කිරීම නිමාවට පත් වෙන්නේ ස්වාමීන්ගේ දවසේදීයි. ඒ යේසුස් සිය පියාණන් වෙනුවෙන් දේවරාජ්‍යයේ රජු ලෙස දෙවිගේ විනිශ්චයන් ක්‍රියාත්මක කරන විටයි. මේ අනුව 1914 පටන් ඔහු පාලනය කරන කාලය ‘අස්වැන්න නෙළීම’ සඳහා වෙන් වූ ඉතා ප්‍රීතිමත් කාලයක්.—ද්විතීය කතාව 16:13-15ද බලන්න.
23. (අ) අස්වැන්න එකතු කරන්න කියා අණ කරන්නේ කවුද? (ආ) වර්ෂ 1919 පටන් මේ දක්වා සිදු වී ඇත්තේ කුමක්ද?
23 යේසුස් රජ කෙනෙක් සහ විනිශ්චයකරුවෙක් වුණත් අස්වැන්න කැපීමේ කාර්යය පටන්ගැනීම සඳහා තම දෙවි වන යෙහෝවාගෙන් අනුමැතිය ලැබෙන තෙක් බලා සිටිනවා. එම වචනය එන්නේ “දේවමාලිගාවෙන්” දේවදූතයෙකුගේ මාර්ගයෙන්. යේසුස් වහාම ඊට කීකරු වෙනවා. මුලින්ම 1919 සිට යේසුස් තම දේවදූතයන් මාර්ගයෙන් පියවර ගන්නේ 1,44,000දෙනාව එකතු කිරීමේ කාර්යය නිම කිරීමටයි. (මතෙව් 13:39, 43; යොහන් 15:1, 5, 16) ඊළඟට එකතු කරනු ලබන්නේ වෙනත් බැටළුවන්ට අයත් මහත් සමූහයයි. (යොහන් 10:16; එළිදරව් 7:9) වර්ෂ 1931 සිට 1935 අතර කාලයේදී වෙනත් බැටළුවන්ට අයත් සෑහෙන පිරිසක් එකතු වෙන්න පටන්ගත්තා. වර්ෂ 1935දී එළිදරව් 7:9-17හි සඳහන් මහත් සමූහය කවුද කියා පැහැදිලිව අවබෝධ කරගැනීමට යෙහෝවා දෙවි මාර්ගය විවෘත කළා. ඒ කාලය පටන් විශේෂ අවධානයක් දුන්නේ මෙම සමූහය එකතු කිරීමටයි. වර්ෂ 2005 වෙද්දී මහත් සමූහයට අයත් සංඛ්‍යාව මිලියන හයක් ඉක්මවා තිබුණා. ඒ සංඛ්‍යාව තව තවත් වැඩි වෙන බව පෙනී යනවා. මනුෂ්‍ය පුත්‍රයාට සමාන තැනැත්තා මේ අන්තිම කාලයේදී ඉතා විශාල අස්වැන්නක් ප්‍රීතියෙන් නෙළාගෙන තිබෙන බව පැහැදිලියි.—නික්මයාම 23:16ද; නික් 34:22ද බලන්න.
පොළොවේ මිදිවැල පෑගීම
24. පස්වෙනි දේවදූතයාගේ අතේ තිබෙන්නේ කුමක්ද? හයවෙනි දේවදූතයා ශබ්ද නඟා කියන්නේ කුමක්ද?
24 ගැලවීමට නියමිත අයව එකතු කිරීම නිමා වෙද්දී, තවත් අස්වැන්නක් එකතු කිරීම සඳහා අවස්ථාව එළඹෙනවා. යොහන් ඒ ගැන පවසන්නේ මෙසේයි. “තවත් දේවදූතයෙක්ද [පස්වෙනියා] ස්වර්ගයෙහි තිබෙන දේවමාලිගාවෙන් නික්ම ආවේය. ඔහු සතුවද මුවහත් දෑකැත්තක් තිබිණ. එවිට තවත් දේවදූතයෙක් [හයවෙනියා] ආවේය. පූජාසනය වෙතින් නික්ම ආ ඔහුට ගින්දර කෙරෙහි අධිකාරිය තිබිණ. මුවහත් දෑකැත්ත ඇතිව සිටි තැනැත්තාට ඔහු මහත් හඬින් කතා කරමින්, ‘ඔබේ මුවහත් දෑකැත්ත යොදා, පොළොවේ මිදිවැලෙහි ඇති මිදිපොකුරු රැස් කරන්න. මන්ද එහි මිදි ඉදී තිබේ’ යයි කීවේය.” (එළිදරව් 14:17, 18) මෙයින් පෙනී යන්නේ ස්වාමීන්ගේ දවසේදී දේවදූතයන්ට අස්වැන්න නෙළීමේ විශාල කාර්යයක් භාර දී තිබෙන බවයි. නරක අස්වැන්නෙන් හොඳ අස්වැන්න වෙන් කිරීමත් එයට ඇතුළත්.
25. (අ) පස්වන දේවදූතයා දේවමාලිගාවෙන් පැමිණෙනවා කීමෙන් අදහස් වෙන්නේ කුමක්ද? (ආ) අස්වැන්න එකතු කිරීමට ලැබෙන ආඥාව “පූජාසනය වෙතින් නික්ම ආ” දේවදූතයාගෙන් ලැබීම සුදුසු වෙන්නේ ඇයි?
25 මෙම පස්වෙනි දේවදූතයා පැමිණෙන්නේ ස්වර්ගීය දේවමාලිගාවේ සිටින යෙහෝවා දෙවිගෙනුයි. මෙම අවසාන අස්වැන්නත් නෙළනු ලබන්නේ යෙහෝවා දෙවිගේ කැමැත්තට එකඟව බව මෙයින් පැහැදිලියි. මෙම දේවදූතයා තම කාර්යය ආරම්භ කළ යුත්තේ “පූජාසනය වෙතින් නික්ම ආ” තවත් දේවදූතයෙකු ලබා දෙන පණිවුඩයකට එකඟවයි. පූජාසනය ගැන කියද්දී අපට මතක් වෙන්නේ මරණය දක්වා විශ්වාසවන්තව සිටි අයගේ රුධිරය එම පූජාසනය යට තිබුණු බවයි. ඔවුන් පැවසුවේ “ශුද්ධ වූද සැබෑ වූද පරමාධිපති ස්වාමිනි, පොළොවෙහි වාසය කරන්නන්ව විනිශ්චය කිරීමෙන් සහ අපේ ලේ ගැන ඔවුන්ගෙන් පළිගැනීමෙන් ඔබ වැළකී සිටින්නේ තව කොපමණ කලකටද?” කියායි. (එළිදරව් 6:9, 10) තමන් වෙනුවෙන් පළිගන්නා ලෙස කළ එම ඉල්ලීමට එකඟව පියවර ගනු ලබන්නේ පොළොවේ මිදිවැලේ මිදිපොකුරු එකතු කරද්දීයි.
26. ‘පොළොවේ මිදිවැල’ කියන්නේ කුමකටද?
26 ‘පොළොවේ මිදිවැල’ කියන්නේ කුමකටද? හෙබ්‍රෙව් ලියවිල්ලේ යුදෙව් ජාතියව හඳුන්වා ඇත්තේ යෙහෝවා දෙවිගේ මිදිවැල ලෙසයි. (යෙසායා 5:7; යෙරෙමියා 2:21) ඒ හා සමානව යේසුස් ක්‍රිස්තුස්ව සහ ඔහු සමඟ සේවය කරන අයවද හඳුන්වා තිබෙන්නේ මිදිවැලක් ලෙසයි. (යොහන් 15:1-8) මෙහිදී මිදිවැලක් භාවිත කර තිබෙන්නේ පල දැරීමේ වැදගත්කම අවධාරණය කිරීමටයි. එයට එකඟව සැබෑ ක්‍රිස්තියානි ‘මිදිවැල’ දෙවිට ප්‍රශංසා ගෙන එමින් හොඳ පලදාවක් නිපදවා තිබෙනවා. (මතෙව් 21:43) නමුත් “පොළොවේ මිදිවැල” කියන්නේ සැබෑ මිදිවැලට නොව සාතන්ගේ ව්‍යාජ මිදිවැලටයි. එනම් සාතන්ගේ අණසක යටතේ පවතින ලෝකයේ සියලුම පාලන ක්‍රමයි. මුළු ඉතිහාසය පුරාම එම මිදිවැලේ “මිදිපොකුරු” ඉතා දූෂිත බවත් යක්ෂාකාර බවත් පැහැදිලිව දැකගැනීමට හැකි වී තිබෙනවා. මෙම විෂකර මිදිවැල මත බොහෝ බලපෑම් කර තිබෙන්නේ ව්‍යාජ ක්‍රිස්තියානි ආගම් ප්රමුඛ මහා බැබිලෝනියයි.—ද්විතීය කතාව 32:32-35ද බලන්න.
27. (අ) දෑකැත්ත අතැතිව සිටින දේවදූතයා පොළොවේ මිදිවැලෙන් මිදි රැස් කරන විට සිදු වෙන්නේ කුමක්ද? (ආ) අස්වැන්නේ තරම හෙළි වෙන්නේ හෙබ්‍රෙව් ලියවිල්ලේ ඇති කුමන අනාවැකිවලින්ද?
27 දෙවිගේ විනිශ්චය ක්‍රියාත්මක කළ යුතුමයි! “ඒ දේවදූතයාද තම දෑකැත්ත පොළොවට යොමු කොට පොළොවේ මිදිවැල රැස් කර, දෙවිගේ කෝපය නමැති මහත් වයින් යන්ත්‍රයට එය හෙළුවේය. නුවරින් පිටත, ඒ වයින් යන්ත්‍රයේ මිදි පාගන ලදි. පර්ලොං එක්දහස් හයසියයක් දුරට, අශ්වයන්ගේ කටකලියා තරම් ඉහළට, වයින් යන්ත්‍රයෙන් ලේ පිට විය.” (එළිදරව් 14:19, 20) මෙම මිදිවැලට එරෙහිව යෙහෝවා දෙවිගේ උදහස බොහෝ කලක සිට ප්‍රකාශ කර තිබුණා. (ශෙපනියා 3:8) මේ වයින් යන්ත්‍රයේ මිදි පාගන විට, ජාතීන් සම්පූර්ණයෙන්ම විනාශ වන බව යෙසායාගේ අනාවැකියේ පැහැදිලිව සඳහන් කරනවා. (යෙසායා 63:3-6) මීට අමතරව “තීන්දු දීමේ මිටියාවතේ” ‘මිදි යන්ත්‍රයේ’ “සමූහයෝ” එනම් ජාතීන් සම්පූර්ණයෙන්ම පාගා දමනු ලබන බව යෝවෙල්ගේ අනාවැකියේ සඳහන් කළා. (යෝවෙල් 3:12-14, NW) එතරම් අතිවිශාල අස්වැන්නක් ආයේ නම් නෙළන්නේ නැහැ. යොහන් දකින දර්ශනයට අනුව මිදි පමණක් නොව මුළු සංකේතවත් මිදිවැලම කපා දමා වයින් යන්ත්‍රයට එය හෙළා පාගා දමනු ලබනවා. මෙයින් පැහැදිලි වෙන්නේ පොළොවේ මිදිවැල නැත්තටම නැති කරනු ලබන බවයි.
28. පොළොවේ මිදිවැල පාගන්නේ කවුරුන්ද? වයින් යන්ත්‍රයේ මිදි “නුවරින් පිටත” පාගනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
28 වයින් යන්ත්‍රවලින් “අශ්වයන්ගේ කටකලියා තරම් ඉහළට” ලේ පිට වෙන බව සඳහන් වී ඇති නිසා මෙම දර්ශනයේ වයින් යන්ත්‍රය පාගන්නේ අශ්වයන් විසින් විය යුතුයි. සාමාන්‍යයෙන් බයිබලයේ “අශ්වයන්” යුද්ධයකට සම්බන්ධ කරන නිසා මෙය යුද්ධයක් සිදු වන අවස්ථාවක් විය යුතුයි. සාතන්ගේ මේ දුෂ්ට ලෝකයට එරෙහිව යුධ වදින යේසුස්ගේ දේවදූත හමුදාවන් ගැන කියන්නේ ඔවුන් “සර්ව පරාක්‍රම තැනැත්තා වන දෙවිගේ උදහසේ කෝපය නමැති වයින් යන්ත්‍රයේ මිදි” පාගන බවයි. (එළිදරව් 19:11-16) පොළොවේ මිදිවැල පාගා දමන්නේ දේවදූතයන් බව පැහැදිලියි. මෙම වයින් යන්ත්‍රයේ මිදි ‘නුවරින් පිටත’ පාගනවා කියන්නේ එය සිදු වෙන්නේ ස්වර්ගීය සියොන් කන්දට පිටතින් බවයි. පොළොවේ මිදිවැල පොළොවේදීම පාගා දැමීම සුදුසුයි. නමුත් එම පාගා දැමීමෙන් ස්ත්‍රියගේ වංශයේ ඉතිරි කොටසට (එනම්, ස්වර්ගීය සියොන් කන්දේ පිහිටි ‘යෙරුසලමේ’ භූමික නියෝජිතයන්ට) අයත් අයට කිසිම හානියක් සිදු වෙන්නේ නැහැ. මේ අය සහ මහත් සමූහය යෙහෝවා දෙවිගේ සංවිධානයට අයත්ව සිටින නිසා ඔවුන්ට කිසිම අනතුරක් සිදු වෙන්නේ නැහැ.—යෙසායා 26:20, 21.
29. වයින් යන්ත්‍රයෙන් පිට වන ලේ කොතරම් ගැඹුරට තිබේද? එය කොතරම් දුර පැතිරෙනවාද? මේ සියල්ලෙන් අදහස් කරන්නේ කුමක්ද?
29 මෙම දර්ශනයේ තොරතුරු සලකා බලද්දී අපට මතක් වෙන්නේ දානියෙල් 2:34, 44හි විස්තරයට අනුව දේවරාජ්‍යය නමැති ගල මගින් පොළොවේ රාජ්‍යයන් පොඩි කර දැමීමේ සිද්ධියයි. එහිදී සම්පූර්ණ විනාශයක් සිදු වෙනවා. වයින් යන්ත්‍රයෙන් පිට වන ලේ ගංගාව ඉතා ගැඹුරුයි. එය අශ්වයන්ගේ කටකලියාව දක්වා ඉහළ නඟිනවා. එය පරලොං 1,600ක දුරක් දක්වා පැතිරෙනවා.a මේ මහා සංඛ්‍යාව සෑදෙන්නේ සතර වරක් සතර දහ වරක් දහයෙන් වැඩි කිරීමෙන් (4 x 4 x 10 x 10). මෙම විනාශය මුළු පොළොවටම බලපාන බව මෙයින් මනාව පිළිබිඹු වෙනවා. (යෙසායා 66:15, 16) එම විනාශයෙන් කිසිවක් ඉතිරි වෙන්නේ නැහැ. ආයේ කවුරුවත් ගොඩ එන්නේ නැහැ. මින් අදහස් වෙන්නේ පොළොවේ තිබෙන සාතන්ගේ මිදිවැල නැවත කවදාවත් ලියලන්නේ නැති බවයි.—ගීතාවලිය 83:17, 18.
30. සාතන්ගේ මිදිවැලේ පලදාව කුමක්ද? අපගේ අදිටන විය යුත්තේ කුමක් කිරීමද?
30 අවසාන කාලයේදී අන්තිම අදියරට පැමිණ සිටින අපට මෙම අස්වනු දෙක පිළිබඳ දර්ශනය ඉතා වැදගත් වෙනවා. සාතන්ගේ මිදිවැලේ පල අප සියල්ලන්ටම පැහැදිලිවම පෙනෙනවා. ගබ්සාවන් සහ වෙනත් ආකාරයේ මිනී මැරුම්, ඝාතන සිදු වෙනවා. මිනිසුන් සමලිංගික සේවනයේ, පරදාර සේවනයේ හා වෙනත් ආකාරවලින් අනාචාරයේ හැසිරෙනවා. මිනිසුන් අතර බොරු වංචා සිදු වෙනවා. පවුලේ අය අතර පවා කිසිම සෙනෙහසක් නැහැ. මේ සියල්ල දෙස බලද්දී මේ ලෝකය යෙහෝවා දෙවිට කොතරම් පිළිකුල්ද කියා පැහැදිලියි. සාතන්ගේ මිදිවැලේ හටගන්නා පල ‘තික්ත වස ගෙඩිවලට’ සමාන කළ හැකියි. එය මාරාන්තිකයි. මිනිස් වර්ගයාගේ ශ්‍රේෂ්ඨ මැවුම්කරුට මහත් අගෞරවයක් ගෙන දෙනවා. (ද්විතීය කතාව 29:18, න.අ.; 32:5; යෙසායා 42:5, 8) නමුත් යේසුස්ගේ මඟ පෙන්වීම යටතේ යොහන් පන්තිය සමඟ යහපත් අස්වැන්නක් නෙළීමේ කාර්යයට හවුල් වෙන්න ලැබීම මොන තරම් වරප්‍රසාදයක්ද! එයින් යෙහෝවා දෙවිට මොන තරම් ප්‍රශංසාවක් ලැබෙනවාද! (ලූක් 10:2) අපි කිසිදාක මේ ලෝකයේ මිදිවැලෙන් දූෂිත නොවී සිටීමට අදිටන් කරගනිමු. එසේ අදිටන් කරගැනීමෙන් යෙහෝවා දෙවි තම විනිශ්චයන් ඉටු කරද්දී අපට පොළොවේ මිදිවැලට අත් වන විනාශයෙන් ගැලවිය හැකි වෙනවා නොඅනුමානයි.
[පාදසටහන]
a පරලොං 1,600ක් යනු කිලෝමීටර් 300ක් පමණ. එනම් සැතපුම් 180ක් පමණ—එළිදරව් 14:20, සිංහල ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනයේ පාදසටහන බලන්න.
[208වන පිටුවේ කොටුව]
‘ඇගේ වේශ්‍යාකමේ වයින්’
මහා බැබිලෝනියේ ප්‍රධාන කොටසක් වෙන්නේ රෝමානු කතෝලික සභාවයි. මෙම සභාව පාලනය කරන්නේ රෝමයේ පාප්වරයා විසිනුයි. කතෝලික සභාව කියා සිටින්නේ මේ හැම පාප්වරයෙක්ම ප්‍රේරිත පේතෘස්ගේ (පේදුරුගේ) කාලයේ සිට පවතින පෙළපතක් බවයි. මෙම පාප්වරුන් කිහිපදෙනෙකු කළ ක්‍රියා ගැන මතු දැක්වෙනවා.
ෆොමෝසස් (891-896): “ෆොමෝසස්ගේ මරණින් මාස නවයකට පසුව ඔහුගේ මළ සිරුර සොහොන් ගෙයින් ඉවතට ගෙන විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ නඩු විභාගයක් පවත්වනු ලැබුවා. එහිදී මුලසුන දැරුවේ නව පාප්වරයා වූ ස්ටීවන්. මිය ගිය පාප්වරයා තම තනතුර අයුතු ලෙස පාවිච්චි කළ බවට එහිදී චෝදනා කළ අතර, ඔහුගේ සියලුම ක්‍රියා අවලංගු බව ප්‍රකාශ කළා. . . . පාප්වරයෙකුට හිමි සියලුම ලෝගු එම මළ සිරුරෙන් ඉවත් කළ අතර, දකුණතේ ඇඟිලි කපා දමනු ලැබුවා.”—New Catholic Encyclopedia.
හයවන ස්ටීවන් (896-897): “[ෆොමෝසස් සම්බන්ධ] නඩු විභාගයෙන් මාස කිහිපයකට පසුව ඇති වූ කෝලාහලයක් නිසා ස්ටීවන්ව පාප් ධුරයෙන් ඉවත් කළා. පාප්වරයෙකුට හිමි සියලුම ගෞරවයන් ඔහුගෙන් ඉවත් කර ඔහුව සිරගත කළා. පසුව ගෙල මිරිකා මරා දමනු ලැබුවා.”—New Catholic Encyclopedia.
තුන්වන සර්ජියස් (904-911): “ඔහුට කලින් සිටි පාප්වරුන් දෙදෙනාම සිර කර ගෙල මිරිකා මරා දමනු ලැබුවා. . . . රෝමයේදී තියෝෆිලැක්ටස් පවුලෙන් ඔහුට සහයෝගය ලැබුණු බවට කියන අතර එම පවුලේ දියණියක් වූ මරෝසියාට ඔහුට දාව පුතෙකු (පසුව එකළොස්වන ජුවාම්) බිහි වුණා.”—New Catholic Encyclopedia.
සත්වන ස්ටීවන් (928-931): “දහවන ජුවාම් නම් පාප්වරයා පාප් ධුරය හෙබවූ අවසන් වසර කිහිපයේදී රෝමයේ දෝන පාලිකාව වූ මරෝසියාගේ උදහසට ලක් වූ නිසා ඔහුව සිරගත කර ඝාතනය කරනු ලැබුවා. එවිට මරෝසියා පාප් ධුරය හයවන ලියෝ පාප්වරයාට පිරිනැමුවා. ඔහු එම ධුරයේ මාස 6 1/2ක් සිට මිය ගියා. ඉන්පසුව සත්වන ස්ටීවන් පාප් ධුරයට පත් වුණා. මෙය මරෝසියාගේ බලපෑම මත සිදු වූ බවට කියනවා. . . . අවුරුදු 2ක් පාප් ධුරය හෙබවූ ඔහු සම්පූර්ණයෙන්ම පාලනය වුණේ මරෝසියාගේ අණසක යටතේයි.”—New Catholic Encyclopedia.
එකළොස්වන ජුවාම් (931-935): “සත්වන ස්ටීවන්ගේ මරණයෙන් පසු . . . තියෝෆිලැක්ටස් පවුලේ මරෝසියා 20වන වියේ පසු වූ ඇගේ පුත්‍රයාට පාප් ධුරය හිමි කර දුන්නා. . . . ඔහු පාප් ධුරය දැරුවත් ඔහුවද පාලනය කළේ ඔහුගේ මව විසිනුයි.”—New Catholic Encyclopedia.
දොළොස්වන ජුවාම් (955-964): “පාප් ධුරය හිමි වන විට ඔහුට වයස අවුරුදු 18ක්වත් නැහැ. ඔහු ආගමික දේවල් ගැන කිසිම උනන්දුවක් නොදැක්වූ බවත්, සැපසෙල්ලමට ලොල් වූ කෙනෙකු බවත්, කිසිම සීමාවක් නැතුව අනාචාර ජීවිතයක් ගත කළ බවත් ඔහු පිළිබඳව පළ වූ ලේඛනවල සඳහන් වෙනවා.”—The Oxford Dictionary of Popes.
නවවන බෙනඩික්ට්: (1032-1044; 1045; 1047-1048) “ඔහු ප්‍රසිද්ධ වුණේ තමාගේ පාප් ධුරය තම පඤ්ඤාට විකිණූ කෙනෙක් ලෙසයි. එසේ කළත් ඔහු දෙවරක් එම ධුරය ආපසු ලබාගත්තා.”—The New Encyclopædia Britannica.
ඉහත සඳහන් පාප්වරුන් විශ්වාසවන්ත පේතෘස්ගේ ආදර්ශය කොහොමටවත් අනුකරණය කළේ නැහැ. ඔවුන් ඉතා දුෂ්ට ජීවිත ගත කළා. ඔවුන්ගේ පාලනය යටතේ පැවති කතෝලික සභාවේ මිනී මැරුම්, දේශපාලන ඇඟිලි ගැසීම්, අනාචාරය සහ යෙසබෙල් බලපෑම යනාදි දේවල් පැතිර යන්නට ඔවුන් ඉඩ දුන් අතර ඊට විරුද්ධව කිසිම පියවරක් ගත්තේ නැහැ. (යාකොබ් 4:4) බයිබල් ශිෂ්‍යයන් 1917දී පළ කළ එක් පොතකින් මෙම තොරතුරු මහජනයාට දැනුම් දුන්නා. (පොතේ නම, The Finished Mystery) එය බයිබල් ශිෂ්‍යයන් එම කාලයේදී ‘සියලු ආකාර පීඩාවලින් පොළොවට පහර දුන්’ එක් ක්‍රමයක්.—එළිදරව් 11:6; 14:8; 17:1, 2, 5.
[206වන පිටුවේ පින්තූරය]
රජ වී සිටින යේසුස් දේවදූතයන්ගේ සහය ඇතුව දෙවිගේ විනිශ්චය ඉටු කරයි
[207වන පිටුවේ පින්තූරය]
ක්‍රිස්තු පූර්ව 539දී බැබිලෝනිය වැටුණායින් පසුව, ඇගේ සිරකරුවන්ව නිදහස් කරනු ලැබුවා