පරිච්ඡේදය 40
සර්පයාගේ හිස පොඩි කිරීම
දර්ශනය 14—එළිදරව් 20:1-10
සිදු වන දේ: සාතන්ව අගාධයට හෙළීම. දහස් අවුරුදු පාලනය. මිනිස් වර්ගයා මතට එන අන්තිම පරීක්ෂණය සහ සාතන්ගේ විනාශය
ඉටු වන කාලය: මහත් පීඩාවේ අවසානයේ සිට සාතන්ගේ විනාශය දක්වා
1. බයිබලයේ මුල්ම අනාවැකිය ඉටු වී තිබෙන්නේ කෙසේද?
ඔබට බයිබලයේ සඳහන් මුල්ම අනාවැකිය මතකද? එය ප්‍රකාශ කළේ යෙහෝවා දෙවි විසිනුයි. ඔහු සර්පයාට පැවසුවේ මෙසේයි. “මම ඔබත් ස්ත්‍රියත් අතරෙහිද ඔබේ වංශයත් ඇගේ වංශයත් අතරෙහිද සතුරුකම තබන්නෙමි. ඒ වංශය ඔබේ හිස පොඩි කරන්නේය. ඔබ ඔහුගේ විලුඹ පොඩි කරන්නෙහිය.” (උත්පත්ති 3:15) කලින් පරිච්ඡේදවල ස්ත්‍රියක් හා සමාන යෙහෝවා දෙවිගේ ස්වර්ගික සංවිධානයට විරුද්ධව සාතන් යුද්ධ කර තිබෙන ආකාරය අපි සලකා බැලුවා. (එළිදරව් 12:1, 9) පොළොව මත සිටින සාතන්ගේ වංශය එනම් ඔහුගේ අණසක යටතේ පවතින ආගම්, දේශපාලනය සහ මහා පරිමාණයේ පවතින ව්‍යාපාර යන මේ සියල්ල එකතු වී ස්ත්‍රියගේ වංශයෙන් බිහි වී ඇති යේසුස් ක්‍රිස්තුස්ට සහ පොළොව මත සිටින ඔහුගේ අභිෂේක ලත් අනුගාමිකයන් 1,44,000දෙනාට දරුණු ලෙස පීඩා කර තිබෙනවා. (යොහන් 8:37, 44; ගලාති 3:16, 29) ඇත්තටම සාතන් අතින් යේසුස් ඉතා වේදනාකාරී මරණයක් අද්දැක්කා. නමුත් මෙය විලුඹක සිදු වන සුව කළ හැකි තුවාලයක් හා සමාන වුණා. එයට හේතුව දෙවි තම විශ්වාසවන්ත පුත්‍රයාව තුන්වන දවසේදී නැවත නැඟිටෙවූ නිසයි. (ක්‍රියා 10:38-40) දැන් මෙම අනාවැකියේ අවසාන ඉටුවීමට අපි පැමිණ සිටිනවා.
2. සර්පයාව පොඩි කරන්නේ කෙසේද? පොළොව මත සිටින සාතන්ගේ වංශයට සිදු වෙන්නේ කුමක්ද?
2 සර්පයා සහ ඔහුගේ වංශයට සිදු වෙන්නේ කුමක්ද? ක්‍රිස්තු වර්ෂ 56දී පමණ පාවුල් රෝමයේ සිටි ක්‍රිස්තියානීන්ට ලියූ දිග ලිපියෙන් ඒ පිළිබඳව යමක් හෙළි වෙනවා. එය අවසන් කරමින් ඔහු ඔවුන්ට දිරිගැන්වූයේ මෙසේයි. “සමාදානය දෙන දෙවි, තව කෙටි කලකින් සාතන්ව ඔබේ පාද යට දමා පොඩි කරන්නේය.” (රෝම 16:20) මෙය නිකම්ම සුළු තුවාලයක් නම් නෙවෙයි. සාතන්ව සම්පූර්ණයෙන්ම පොඩි කර දමනු ලබනවා! පාවුල් මෙහිදී භාවිත කළ ග්‍රීක වචනයේ (සින්ට්රිබෝ) තේරුම නම් යම් දෙයක් කුඩුපට්ටන් කිරීම නැත්නම් සුනුවිසුනු කිරීමයි. පොළොව මත පවතින සාතන්ගේ වංශය ස්වාමීන්ගේ දවසේදී බොහෝ පීඩාවලට ලක් වන අතර, මහත් පීඩාවේදී මහා බැබිලෝනියව හා ලෝකයේ පවතින සියලුම පාලන ක්‍රම සහ ඔවුන්ට අත හිත දෙන ව්‍යාපාරිකයන් සහ හමුදාවන් සම්පූර්ණයෙන්ම පොඩි කර දමනු ලබනවා. (එළිදරව් 18 සහ 19 පරිච්ඡේද) මෙම වංශ දෙක අතර ඇති සතුරුකම යෙහෝවා දෙවි අවසානයකට ගෙනෙන්නේ මෙයාකාරයෙනුයි. දෙවිගේ ස්ත්‍රියගේ වංශයෙන් බිහි වන අය සර්පයාගේ වංශයෙන් බිහි වන සියලුම අයව පරාජය කර විනාශ කරනවා.
සාතන්ව අගාධයට හෙළීම
3. යොහන් කියන ආකාරයට සාතන්ට සිදු වෙන්න යන්නේ කුමක්ද?
3 සාතන්ට හා ඔහුගේ භූතයන්ට සිදු වෙන්න යන්නේ කුමක්ද? යොහන් අපට මෙසේ පිළිතුරු දෙනවා. “තවද, දේවදූතයෙකු අගාධයේ යතුරද මහත් දම්වැලක්ද අතැතිව, ස්වර්ගයෙන් බැස එනවා මම දුටිමි. ඔහු මකරාව, එනම් යක්ෂයාද සාතන්ද වන මුල් සර්පයාව අල්ලා අවුරුදු දහසකට බැඳ තැබුවේය. අවුරුදු දහස අවසන් වන තුරු, ඔහු ජාතීන්ව තවත් නොමඟ නොයවන පිණිස, ඔහුව අගාධයට හෙළා, එය වසා මුද්‍රා කළේය. ඉන්පසු, කෙටි කලකට ඔහුව මුදාහැරීමට නියමිතය.”—එළිදරව් 20:1-3.
4. අගාධයේ යතුර ඇති දේවදූතයා කවුද? අප ඒ බව දන්නේ කෙසේද?
4 යෙහෝවා දෙවිගේ පරම සතුරාව මෙසේ ඉවත් කිරීමට නම් මෙම දේවදූතයාට අතිමහත් බලයක් තිබිය යුතුයි. ඔහු කවුද? ඔහුට “අගාධයේ යතුරද මහත් දම්වැලක්ද” තිබෙනවා කියා පවසද්දී අපට පෙර සඳහන් දර්ශනයක් මතක් වෙනවා. ඒ පළඟැටියන්ගේ රජ වන යේසුස් පිළිබඳ දර්ශනයයි. ඔහුව හැඳින්වූයේ “අගාධයේ දේවදූතයා” හැටියටයි. (එළිදරව් 9:11) එසේනම් මේ දර්ශනයේ සඳහන් දේවදූතයා තේජසට පත් යේසුස් ක්‍රිස්තුස්ම විය යුතුයි. ඔහුගේ ප්‍රධාන අරමුණ යෙහෝවා දෙවි විශ්වයේ නියම පාලකයා බව ඔප්පු කිරීමයි. ඒ අරමුණ ක්‍රියාත්මක වන ආකාරය ඔහු කරන දේ තුළින් අපි නැවතත් දකිනවා. සාතන්ව ස්වර්ගයෙන් නෙරපා දැමුවෙත් මහා බැබිලෝනිය විනිශ්චය කරන්නෙත් “පොළොවේ රජවරුන්ද ඔවුන්ගේ සේනාද” දෙවිගේ මහත් දවසේ යුද්ධයේදී නැති කරන්නෙත් මේ අග්රදේවදූතයායි. එසේනම් සාතන්ව අගාධයට දැමීමේ මෙම අතිවැදගත් කාර්යය ඔහු වෙනත් දේවදූතයෙකුට කොහොමටවත් පවරන්නේ නැහැ.—එළිදරව් 12:7-9; 18:1, 2; 19:11-21.
5. අගාධයේ දේවදූතයා සාතන් වන යක්ෂයාට කරන්නේ කුමක්ද? ඒ ඇයි?
5 මම රතු පාට මකරාව ස්වර්ගයෙන් හෙළූ විට ඔහුව හඳුන්වා තිබුණේ “යක්ෂයා කියාද සාතන් කියාද හඳුන්වන, මුළු පොළොවම නොමඟ යවන මුල් සර්පයා” ලෙසයි. (එළිදරව් 12:3, 9) දැන් ඔහුව අල්ලා අගාධයට හෙළන විටත් ඔහුව හඳුන්වා තිබෙන්නේ “මකරා, එනම් යක්ෂයාද සාතන්ද වන මුල සර්පයා” ලෙසයි. මුළු පොළොවම නොමඟ යැවූ මෙම අපහසාත්මක, විරුද්ධකාරයා වූ යක්ෂයා අල්ලා දම්වැලකින් බැඳ “අගාධයට” හෙළනවා. ඔහු “ජාතීන්ව තවත් නොමඟ නොයවන පිණිස” ඒ අගාධය වසා මුද්‍රා කරනු ලබනවා. සාතන්ව මෙසේ හිර කර තබන්නේ අවුරුදු දහසකටයි. ප්‍රතිඵලයක් ලෙස ඇඳිරි ගෙයක සිටින සිරකරුවෙකු මෙන් ඒ කාලය තුළදී මිනිස් වර්ගයාට බලපෑම් කරන්න ඔහුට බැරි වෙනවා. අගාධයේ දේවදූතයාගේ මෙම ක්‍රියාව නිසා දේවරාජ්‍යයේ යටත්වැසියන්ට සාතන්ගෙන් කිසිම තර්ජනයක් එල්ල වෙන්නේ නැහැ. එය මොන තරම් සහනයක් වේවිද!
6. (අ) අගාධයට භූතයන්ව හෙළන බවට ඇති සාක්ෂි මොනවාද? (ආ) දැන් ආරම්භ වෙන්නේ කුමක්ද? ඒ ඇයි?
6 භූතයන්ට සිදු වෙන්නේ කුමක්ද? ඔවුන්වත් “විනිශ්චය පිණිස වෙන් කර” තිබෙනවා. (2 පේතෘස් 2:4) සාතන්ව හඳුන්වා තිබෙන්නේ “භූතයන්ගේ පාලකයා වන බෙල්සෙබුබ්” ලෙසයි. (ලූක් 11:15, 18; මතෙව් 10:25) මෙම භූතයන් සාතන්ට මෙතරම් කාලයක් පුරා සහයෝගය දක්වා ඇති නිසා ඔවුන්ටත් අනිවාර්යයෙන්ම සාතන්ගේ විනිශ්චයම ලැබෙනවා. ඇත්තටම මේ භූතයන් බොහෝ කාලයක් තිස්සේ මේ අගාධයට භයෙන් සිට තිබෙනවා. එක අවස්ථාවකදී “භූතයෝ අගාධයට යන ලෙස තමන්ට අණ නොකරන මෙන්” යේසුස්ගෙන් අයැද සිටියා. (ලූක් 8:31) ඒ නිසා සාතන්ව අගාධයට හෙළන විට ඔහුගේ භූතයන්වද ඔහු සමඟම අගාධයට හෙළනවා. (යෙසායා 24:21, 22ද බලන්න.) මෙසේ සාතන්ව සහ ඔහුගේ භූතයන්ව අගාධයට දමන විට යේසුස් ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය ආරම්භ වෙනවා.
7. (අ) සාතන් සහ ඔහුගේ භූතයන් අගාධයේ සිටින්නේ කුමන තත්වයකද? අප ඒ බව දන්නේ කෙසේද? (ආ) මිනී වළ සහ අගාධය එක සමානද? (පාදසටහන බලන්න.)
7 සාතන් සහ ඔහුගේ භූතයන් අගාධයේ සිටින විට ඔවුන් ක්‍රියාශීලී තත්වයක සිටීද? හිස් සතක් ඇති රතු පාට වන මෘගයා ගැන සඳහන් වූ දෙය ඔබට මතකද? ඌ “කලින් සිටියේය. දැන් නැත, එහෙත් ඌ අගාධයෙන් පිටතට නැඟී එන්නට සූදානමින් සිටින්නේය” කියා සඳහන් වුණා. (එළිදරව් 17:8) ඌ අගාධයේ සිටි විට ‘ඌ නැත’ කියා කීමෙන් අදහස් වුණෙ ඌ කිසිවක් කර කියාගත නොහැකි අක්‍රියාශීලී තත්වයක සිටි බවයි. ඒ හා සමානව යේසුස් ගැන කතා කරමින් පාවුල් පැවසුවේ මෙසේයි. “ක්‍රිස්තුස්ව මළවුන්ගෙන් ගෙන ඒමට, ‘අගාධයට බැස යන්නේ කවුද?’” (රෝම 10:7) යේසුස් අගාධයේ සිටි විට ඔහු මිය ගොස් සිටියා.a එසේනම් සාතන් සහ ඔහුගේ භූතයන් අවුරුදු දහසක් පුරා අක්‍රියාශීලී තත්වයක සිටී කියා නිගමනය කරන්න පුළුවන්. මිය ගොස් සිටින කෙනෙකු මෙන් ඔවුන්ට කිසිම දෙයක් කරන්න බැරි වෙනවා. ධර්මිෂ්ඨකමට ඇලුම්ව සිටින අයට එය මොන තරම් ප්‍රීතියට හේතුවක්ද!
අවුරුද දහසකට විනිශ්චයකරුවෝ
8, 9. සිංහාසනවල ඉඳගෙන සිටින අය ගැන යොහන් අපට කියන්නේ කුමක්ද? ඒ අය කවුරුන්ද?
8 දැන් යොහන් දහස් අවුරුදු පාලනයේ මුලදී සිදු වන දෙයකට අපේ අවධානය යොමු කරනවා. “තවද, මම සිංහාසන දුටිමි. ඇතමෙක් ඒවා මත ඉඳගත්තෝය. විනිශ්චය කිරීමට බලය ඔවුන්ට දෙන ලදි.” (එළිදරව් 20:4අ) තේජසට පත් යේසුස් සමඟ ස්වර්ගයේ සිංහාසන මත ඉඳගෙන පාලනය කරමින් සිටින්නේ කවුරන්ද?
9 මේ අය නම් දානියෙල් පොතේ සඳහන් “මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි කෙනෙකු” සමඟ රාජ්‍යයේ පාලනය කරන ‘ශුද්ධ තැනැත්තනුයි.’ (දානියෙල් 7:13, 14, 18, NW) ඒ අය තමයි යෙහෝවා දෙවි ඉදිරියේම ස්වර්ගයේ සිංහාසනවල ඉඳගෙන සිටින වැඩිමහල්ලන් 24දෙනා. (එළිදරව් 4:4) මොවුන්ට යේසුස්ගේ මුල් ගෝලයන් 12දෙනාද ඇතුළත් වෙනවා. එයට හේතුව යේසුස් ඔවුන්ට දුන් මේ පොරොන්දුවයි. “සැබවින්ම මම ඔබට කියමි, නැවත-මැවීමේදී, මනුෂ්‍ය පුත්‍රයා තම තේජවත් සිංහාසනයේ ඉඳගන්නා කල මා අනුව ආ ඔබද සිංහාසන දොළොසක ඉඳගෙන, ඊශ්‍රායෙලයේ ගෝත්‍ර දොළොස විනිශ්චය කරන්නහුය.” (මතෙව් 19:28) මොවුන් අතරට පාවුල් සහ කොරින්ති සභාවේ අවසානය දක්වා විශ්වාසවන්තව සිටි ක්‍රිස්තියානීන්ද ඇතුළත් වෙනවා. (1 කොරින්ති 4:8; 6:2, 3) ලෝකයෙන් ජයගත් ලවොදිසීයේ ක්‍රිස්තියානීන්ද මොවුන්ට ඇතුළත් වෙනවා.—එළිදරව් 3:21.
10. (අ) යොහන් රජවරුන් 1,44,000දෙනා ගැන සපයන විස්තර මොනවාද? (ආ) යොහන් අපට කලින් පැවසූ දේට අනුව මෙම රජවරුන් 1,44,000දෙනා අතර සිටින්නේ කවුරුන්ද?
10 ‘මිනිසුන් අතරින්, දෙවි සහ බැටළු පැටවා සඳහා පළමු පල වශයෙන් මිල දී ගෙන ඇති’ මෙම අභිෂේක ලත් ජයගන්නන් 1,44,000දෙනා සඳහා සිංහාසන සූදානම් කරනු ලබනවා. (එළිදරව් 14:1, 4) යොහන් මෙසේ පවසනවා. “එසේය, ඔවුන් යේසුස් ගැන දැරූ සාක්ෂිය නිසාත්, දෙවි ගැන කතා කළ නිසාත් පොරවෙන් මරනු ලැබූ අයව මම දුටිමි. ඔවුහු වන මෘගයාටවත් උගේ රූපයටවත් නමස්කාර නොකළාවූද, තමුන්ගේ නළලෙහිවත් අතෙහිවත් සලකුණ නොලැබුවාවූද අය වෙති.” (එළිදරව් 20:4ආ) මේ රජවරුන් අතර දිවි පුද කළ අභිෂේක ලත් අය සිටිනවා. මීට කලින් පස්වෙනි මුද්‍රාව කඩද්දී තමන්ගේ ලේ ගැන පළිගන්නේ තව කොපමණ කලකින්ද කියා ඔවුන් යෙහෝවා දෙවිගෙන් ඇසුවා ඔබට මතක ඇති. ඒ අවස්ථාවේදී ඔවුන්ට සුදු සළුවක් දී ටික වේලාවක් නවතින්න කියාත් පැවසුවා. නමුත් මේ අවස්ථාව වන විට රජවරුන්ගේ රජු සහ ස්වාමිවරුන්ගේ ස්වාමියා වන යේසුස් අතින් මහා බැබිලෝනිය හා ලෝකයේ ජාතීන් විනාශ වී ඇති නිසාත් සාතන්ව අගාධයේ හෙළා ඇති නිසාත් ඔවුන්ගේ ලේවල පළිය ගෙන අවසානයි.—එළිදරව් 6:9-11; 17:16; 19:15, 16.
11. (අ) “පොරවෙන් මරනු ලැබූ අය” කියන්නේ කාටද? (ආ) සියලුම 1,44,000දෙනා තම ජීවිත පූජා කරන බව කිව හැක්කේ ඇයි?
11 මෙම රාජකීය විනිශ්චයකරුවන් 1,44,000දෙනාම “පොරවෙන් මරනු ලැබූ” අයද? නැහැ. එසේ මැරෙන්න ඇත්තේ ඔවුන්ගෙන් කිහිපදෙනෙක් පමණයි. නමුත් මෙම විස්තරය භාවිත කරන්නේ යම් ආකාරයකින් හෝ තම දිවි පුද කරන්න සිදු වූ සියලුම අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව විස්තර කිරීමටයි.b (මතෙව් 10:22, 28) සාතන්ට අවස්ථාවක් ලැබුණා නම් ඔවුන් සියලුදෙනාවම පොරවෙන් මරා දමනවා නිසැකයි. නමුත් ඇත්තම කිව්වොත් යේසුස්ගේ අභිෂේක ලත් සහෝදරයන් සියලුදෙනාම තම දිවි පුද කරමින් මිය යන්නේ නැහැ. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් මිය ගොස් ඇත්තේ අසනීප හෝ මහලු වීම නිසයි. නමුත් යොහන් දකින මේ කණ්ඩායමට මොවුන් සියලුදෙනාම ඇතුළත් වෙනවා. එයට හේතුව අභිෂේක ලත් සෑම කෙනෙකුගේම මරණය පූජනීය එකක් වන නිසයි. (රෝම 6:3-5) මීට අමතරව ඔවුන්ගෙන් එක් කෙනෙක්වත් මේ ලෝකයේ කොටසක් නොවූ නිසා ඔවුන් ලෝකයේ වෛරයට ලක් වුණා. ලෝකය ඔවුන්ව සැලකුවේ මළ අය ලෙසයි. (යොහන් 15:19; 1 කොරින්ති 4:13) ඔවුන්ගෙන් එක් කෙනෙක්වත් වන මෘගයාට හෝ උගේ රූපයට නමස්කාර කළේ නැහැ. එමනිසා ඔවුන් මිය ගිය විට එක් කෙනෙකුටවත් ඒ වන මෘගයාගේ ලකුණ තිබුණේ නැහැ. සියලුදෙනාම මිය ගියේ ජයගන්නන් හැටියටයි.—1 යොහන් 5:4; එළිදරව් 2:7; 3:12; 12:11.
12. මෙහි රජවරුන් 1,44,000දෙනා ගැන යොහන් පවසන්නේ කුමක්ද? ඔවුන් නැවත ජීවත් වෙන්නේ කවදා සිටද?
12 ජයගත් මේ අය දැන් නැවත ජීවත් වෙනවා. යොහන් මෙසේ පවසනවා.“ඔවුහු නැවත ජීවත් වී, ක්‍රිස්තුස් සමඟ අවුරුදු දහසක් රජකම් කළෝය.” (එළිදරව් 20:4ඇ) මේ අනුව මෙම විනිශ්චයකරුවන්ව නැවත නැඟිටුවන්නේ ලෝකයේ ජාතීන්ව විනාශ කිරීමෙන් හා සාතන්ව සහ ඔහුගේ භූතයන්ව අගාධයට දැමීමෙන් පසුවද? නැහැ. මේ අභිෂේක ලත් අයගෙන් වැඩිදෙනෙක් ජීවනය ලබන්නේ මීට කලිනුයි. මන්ද දෙවිගේ මහත් දවසේ යුද්ධයේදී ඔවුන් යේසුස් සමඟ යුද්ධයට හවුල් වූ බව සඳහන් වන නිසයි. (එළිදරව් 2:26, 27; 19:14) පාවුල් පැවසූ ආකාරයට ඔවුන්ව ස්වර්ගයේ ජීවිතයකට නැවත නැඟිටුවන්න පටන්ගත්තේ 1914දී යේසුස් පැමිණ සිටින කාලයේ ආරම්භයෙන් අනතුරුවයි. මෙම නැවත නැඟිටීම යම් අනුපිළිවෙළකට සිදු වන බවත් ඔහු සඳහන් කළා. (1 කොරින්ති 15:51-54; 1 තෙසලෝනික 4:15-17) මෙයින් පැහැදිලි වෙන්නේ ඔවුන්ගේ නැවත නැඟිටීම එනම් ඔවුන්ව නැවත ජීවත් කරවීම යම් කාලයක් පුරා සිදු වන බවයි. එසේ නැවත ජීවත් වන විට ස්වර්ගයේ අමරණීය ජීවිතයක් ඔවුන්ට තිළිණ කරනු ලබනවා.—2 තෙසලෝනික 1:7; 2 පේතෘස් 3:11-14.
13. (අ) මෙහි 1,44,000දෙනා පාලනය කරන අවුරුදු දහස ඇත්තටම අවුරුදු දහසක්ද? ඒ ඇයි? (ආ) හියරපොලිස් නුවරේ පේපියස් නමැත්තා මෙම අවුරුදු දහස ගැන විශ්වාස කළේ කුමක්ද? (පාදසටහන බලන්න.)
13 ඔවුන් රජවරුන් හා විනිශ්චයකරුවන් හැටියට කටයුතු කරන්නේ අවුරුදු දහසකටයි. එය ඇත්තටම අවුරුදු දහසක්ද? එසේ නැත්නම් යම් දීර්ඝ, අවිනිශ්චිත කාලයක් දැක්වීමට යොදා ඇති සංකේතයක්ද? පළමුවන සාමුවෙල් 21:11හි නම් “දහස් ගණන්” භාවිත කර තිබෙන්නේ සංකේතවත් ආකාරයකිනුයි. නමුත් එළිදරව් පොතේ “දහස” භාවිත කර තිබෙන්නේ නිශ්චිත අංකයක් ලෙසයි. එළිදරව් 20:5-7හි “අවුරුදු දහස” යනුවෙන් තුන්වතාවක්ම එය නිශ්චිත සංඛ්‍යාවක් ලෙස භාවිත කර තිබෙනවා. විනිශ්චයක් සිදු වන මේ කාලය “දවසක්” ලෙස හඳුන්වමින් පාවුල් පැවසුවේ මෙසේයි. “මුළු ලෝකයම ධර්මිෂ්ඨකමින් විනිශ්චය කිරීමට ඔහු [දෙවි] දවසක් නියම කර තිබේ.” (ක්‍රියා 17:31) යෙහෝවා දෙවිට එක දවසක් අවුරුදු දහසක් මෙන් බව පේතෘස් සඳහන් කරන නිසා මේ විනිශ්චය දවස ඇත්තටම අවුරුදු දහසක් වීම ඉතා සුදුසුයි.c—2 පේතෘස් 3:8.
මළාවූ අනික් අය
14. (අ) “මළාවූ අනික් අය” ගැන යොහන් පවසන්නේ කුමක්ද? (ආ) ‘ජීවනයට පැමිණීම’ කීමෙන් අදහස් කරන දේ තේරුම්ගැනීමට පාවුල් පැවසූ දේ උපකාරවත් වෙන්නේ කෙසේද?
14 නමුත් මේ රජවරුන් විනිශ්චය කරන්නේ කාවද කියන ප්රශ්නය මතු වෙනවා. ඒ යොහන් ඊළඟට පවසන මේ දේ නිසයි. “(මළාවූ අනික් අය අවුරුදු දහස අවසන් වන තුරු ජීවනයට පැමිණියේ නැත.)” (එළිදරව් 20:5අ) මෙහිදී ‘ජීවනයට පැමිණීම’ කීමෙන් අදහස් කරන දේ තේරුම්ගැනීමට අවට පාඨ සම්බන්ධය උපකාරවත් වෙනවා. අවස්ථාවට අනුව මෙම යෙදුමට විවිධ අර්ථ තිබිය හැකියි. උදාහරණයකට පාවුල් සෙසු අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ගැන පැවසුවේ මෙසේයි. “ඔබ ඔබේ වැරදි සහ පාපවල මැරී සිටිය නමුත් දෙවි ඔබව ජීවත් කළේය.” (එෆීස 2:1) මෙයින් අදහස් කරන්නේ මුල් සියවසේදීම අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව ‘ජීවත් කළ’ බවයි. එයින් අදහස් කරන්නේ යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඔවුන් ඇදහිල්ල දැක්වූ නිසා ඔවුන් ධර්මිෂ්ඨයයි ප්‍රකාශ කරනු ලැබූ බවයි.—රෝම 3:23, 24.
15. (අ) යේසුස් මිහිපිට ජීවත් වූ කාලයට කලින් යෙහෝවා දෙවිට සේවය කළ අය දෙවි සමඟ භුක්ති වින්දේ මොන වගේ තත්වයක්ද? (ආ) වෙනත් බැටළුවන් ‘ජීවනයට පැමිණෙන්නේ’ කෙසේද? ඔවුන් පූර්ණ ලෙස පොළොව උරුම කරගන්නේ කොයි අවස්ථාවේදීද?
15 යේසුස් මිහිපිට ජීවත් වූ කාලයට කලින් යෙහෝවා දෙවිට සේවය කළ අයවත් දෙවිගේ මිතුරන් ලෙස ධර්මිෂ්ඨ බව ප්‍රකාශ කළා. මේ අනුව ආබ්‍රහම්, ඊසක් සහ යාකොබ් වැනි අය මිය ගොස් සිටියත් ඔවුන් “ජීවතුන්” අතර සිටිනවා කියාත් සඳහන් වෙනවා. (මතෙව් 22:31, 32; යාකොබ් 2:21, 23) නමුත් එවැනි පුරාණ ඇදහිලිවන්තයන්ගෙන් සහ නැවත නැඟිටුවනු ලබන අන් සියලුදෙනාගෙන් පව්කාර ස්වභාවය ඉවත් කර පරිපූර්ණත්වයට ගෙනා යුතුයි. මේ හා සමානව මෙම දුෂ්ට ලෝකයේ විනාශයෙන් බේරෙන මහත් සමූහය සහ පාරාදීස පොළොවේදී ඔවුන්ගෙන් බිහි විය හැකි දරුවන්ව ක්‍රමානුකූලව පරිපූර්ණත්වයට ගෙනා යුතුයි. මෙය සිදු වෙන්නේ අවුරුදු දහසක් පුරා පවතින විනිශ්චය දවසේදීයි. එය සිදු කරන්නේ යේසුස් සහ ඔහු සමඟ පූජකයන් මෙන්ම රජවරුන් ලෙස කටයුතු කරන අය විසිනුයි. ඒ සඳහා පදනම සපයන්නේ යේසුස්ගේ ජීවිත පූජාවයි. දහස් අවුරුදු පාලනය අවසානයේදී මෙම “මළාවූ අනික් අය” ‘ජීවනයට පැමිණ’ තිබෙනවා කීමෙන් අදහස් වෙන්නේ ඔවුන් පරිපූර්ණ මිනිසුන් බවට පත් වී ඇති බවයි. ඉන්පසුව ඔවුන් අවසාන පරීක්ෂණයකට මුහුණ දිය යුතුයි. නමුත් ඒ පරීක්ෂණයට ඔවුන් මුහුණ දෙන්නේ පරිපූර්ණ මනුෂ්‍යයන් ලෙසයි. ඔවුන් මෙම පරීක්ෂණයෙන් සමත් වන විට ඔවුන් සදාකල් ජීවත් වීමට සුදුසු අය ලෙස දෙවි ප්‍රකාශ කරනවා. එයින් අදහස් වෙන්නේ ඔවුන් පූර්ණ ලෙස ධර්මිෂ්ඨ අය වන බවයි. “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකාලයටම ජීවත් වන්නෝය” කියන පොරොන්දුවේ ඉටුවීම ඔවුන් පූර්ණ ලෙස අද්දකින්නේ ඒ අවස්ථාවේදීයි. (ගීතාවලිය 37:29, NW) දෙවිට කීකරු වන මිනිස් වර්ගයා ඉදිරියේ ඇත්තේ මොන තරම් දීප්තිමත් අනාගතයක්ද!
පළමුවන නැවත නැඟිටීම
16. යොහන් යේසුස් සමඟ රජවරුන් ලෙස පාලනය කරන අයගේ නැවත නැඟිටීම හඳුන්වන්නේ කෙසේද? ඒ ඇයි?
16 ‘නැවත ජීවත් වී, ක්‍රිස්තුස් සමඟ අවුරුදු දහසක් රජකම් කරන්න’ යන අය ගැන යොහන් දැන් මෙසේ පවසනවා. “මෙය පළමුවන නැවත නැඟිටීම වේ.” (එළිදරව් 20:5ආ) මෙය “පළමුවන නැවත නැඟිටීම” කියා හඳුන්වන්නේ ඇයි? එය පළමුවෙන්ම සිදු වන නැවත නැඟිටීම වන නිසයි. එය අද්දකින අය “දෙවි සහ බැටළු පැටවා සඳහා පළමු පල” ලෙසයි හඳුන්වා තිබෙන්නේ. (එළිදරව් 14:4) වැදගත්කම අතිනුත් එය පළමුවන නැවත නැඟිටීම කියා හැඳින්වීම යෝග්‍යයි. මන්ද එසේ නැඟිටින අය යේසුස් සමඟ දේවරාජ්‍යයේ හවුල් පාලකයන් හා මිනිස් වර්ගයන්ව විනිශ්චය කරන අය බවට පත් වන නිසයි. මීට අමතරව යේසුස් ක්‍රිස්තුස් හැර අමරණීය ජීවිතයක් ලබන බව බයිබලයේ සඳහන් වන්නේ මේ අය ගැන පමණයි.—1 කොරින්ති 15:53; 1 තිමෝති 6:16.
17. (අ) අභිෂේක ලත් ක්‍රිස්තියානීන් ඉදිරියේ ඇති ප්‍රීතිමත් බලාපොරොත්තුව ගැන යොහන් විස්තර කරන්නේ කෙසේද? (ආ) “දෙවෙනි මරණය” කුමක්ද? ජයගන්නා 1,44,000දෙනා කෙරෙහි එයට “බලයක්” නැත්තේ ඇයි?
17 අභිෂේක ලත් අය ඉදිරියේ ඇත්තේ මොන තරම් ප්‍රීතිමත් බලාපොරොත්තුවක්ද! යොහන් මෙසේ පවසනවා. “පළමුවන නැවත නැඟිටීමට පංගුකාරකමක් ඇති තැනැත්තා සන්තෝෂවත්ය, ශුද්ධය. දෙවන මරණයට ඔවුන් කෙරෙහි බලයක් නැත.” (එළිදරව් 20:6අ) ස්මර්ණාවේ ක්‍රිස්තියානීන්ට යේසුස් පොරොන්දු වුණේ “පළමුවන නැවත නැඟිටීම” ලබන මේ ජයගන්නන්ට “දෙවෙනි මරණයෙන්” කිසිම අනතුරක් හෝ හානියක් අත් වෙන්නේ නැති බවයි. “දෙවෙනි මරණය” භාවිත කර තිබෙන්නේ නැවත නැඟිටීමක් නැති සම්පූර්ණ විනාශයක් දැක්වීමටයි. (එළිදරව් 2:11; 20:14) මෙම අභිෂේක ලත් ජයගන්නන් නොදිරනසුලු හා අමරණීය අය වන නිසා දෙවෙනි මරණයට ඔවුන් කෙරෙහි ‘බලයක් නැහැ.’—1 කොරින්ති 15:53.
18. පොළොවේ නව පාලකයන් ගැන යොහන් දැන් කියන්නේ කුමක්ද? ඔවුන්ගෙන් ඉටු වන සේවය කුමක්ද?
18 මොවුන්ගේ පාලනය සාතන්ගේ අණසක යටතේ පැවති ලෝකයේ රජවරුන්ගේ පාලනයට වඩා කොතරම් වෙනස්ද! ලෝකයේ පාලකයන් වැඩිම වුණොත් පාලනය කර තිබෙන්නේ අවුරුදු 50කට හෝ 60කට පමණයි. වැඩිදෙනාගේ පාලනය සීමා වී තිබෙන්නේ අවුරුදු කිහිපයකටයි. බොහෝදෙනෙක් අතින් පොදු ජනයා පීඩාවට ලක් වුණා. ඇත්තටම පාලකයන් නිතරම වෙනස් වන නිසා පාලන ප්රතිපත්තිද නිතරම වෙනස් වෙනවා. මෙයින් ජනයාට කිසිම ස්ථිරසාර විසඳුම් ලැබෙන්නේ නැහැ. නමුත් පොළොවේ නව පාලකයන් ගැන යොහන් පවසන්නේ මෙසේයි. “ඔවුහු දෙවිගෙත් ක්‍රිස්තුස්ගෙත් පූජකයෝ වන්නෝය; අවුරුදු දහස පුරා ඔහු සමඟ රජකම් කරන්නෝය.” (එළිදරව් 20:6ආ) අවුරුදු දහසක් පුරා යේසුස් සමඟ ඔවුන් පාලනය කරනවා. ඒ කාලයේදී වෙන කිසිම ආණ්ඩුවක් පවතින්නේ නැහැ. ඔවුන් පූජකයන් ලෙස කටයුතු කරන නිසා යේසුස්ගේ ජීවිත පූජාව යොදාගනිමින් කීකරු මිනිසුන්ට හැම අතින්ම පරිපූර්ණත්වය ලබා දෙනවා. රජවරුන් ලෙස ඔවුන් කරන පාලනය තුළින් යෙහෝවා දෙවිගේ ධර්මිෂ්ඨකම හා ශුද්ධකම පිළිබිඹු කරන යහපත් මිනිස් සමාජයකුත් බිහි වෙනවා. අවුරුදු දහසක් පුරා ඔවුන් යේසුස් සමඟ විනිශ්චයකරුවන් ලෙස කටයුතු කරන නිසා කීකරු මිනිසුන්ට සදාකාල ජීවනය නමැති ත්‍යාගය ලබාගැනීමට ඔවුන් ප්‍රේමණීය ලෙස මඟ පෙන්වීම් සපයනවා.—යොහන් 3:16.
අවසාන පරීක්ෂණය
19. දහස් අවුරුදු පාලනයේ අවසානයේදී පොළොවේ සහ එහි සිටින මිනිසුන්ගේ තත්වය ගැන කුමක් කිව හැකිද? එවිට යේසුස් කරන්නේ කුමක්ද?
19 දහස් අවුරුදු පාලනය අවසානයේදී මුළු පොළොවම ඒදන් උයන හා සමාන පාරාදීසයක් බවට පත් වෙනවා. ආදම්ගේ පාපය සියලුදෙනාගෙන්ම ඉවත් කර ඇති නිසාත් අන්තිම සතුරා වන මරණය නැති කර ඇති නිසාත් පරිපූර්ණ මිනිස් වර්ගයාට තමන් වෙනුවෙන් දෙවිට කන්නලව් කරන්න උත්තම පූජකයෙකු තවදුරටත් අවශ්‍ය වෙන්නේ නැහැ. එක ආණ්ඩුවක් යටතේ එක්සත් ලොවක් බිහි කිරීමට වූ දෙවිගේ අරමුණ යේසුස්ගේ පාලනය තුළින් ඉටු වෙනවා. ඒ අවස්ථාවේදී තමයි යේසුස් “තම දෙවිද පියාණන්ද වන තැනැත්තාට රාජ්‍යය භාර දෙන්නේ.”—1 කොරින්ති 15:22-26; රෝම 15:12.
20. අවසාන පරීක්ෂණයේදී සිදු වෙන්නේ කුමක්ද?
20 අවසාන පරීක්ෂණය සඳහා අවස්ථාව එළඹෙන්නේ එවිටයි. ඒදන් උයනේ සිටි ආදම් සහ ඒවට වෙනස්ව පරිපූර්ණත්වයට පත්ව ඇති මිනිස් වර්ගයා දෙවිට විශ්වාසවන්තව සිටීද? සිදු වන දේ යොහන් අපට පවසන්නේ මෙසේයි. “අවුරුදු දහස අවසන් වූ කෙණෙහිම, සාතන්ව තමාගේ සිරගෙයින් මුදනු ලබන්නේය. ඔහු, පොළොවේ කොන් සතරෙහි සිටින ගොග් සහ මාගොග් යන ජාතීන්ව නොමඟ යවා යුද්ධයට රැස් කරන පිණිස පිටත්ව යන්නේය. ඔවුන්ගේ ගණන මුහුදේ වැලි මෙන්ය. ඔවුහු පොළොවේ සෑම පැත්තකින්ම පැමිණ ශුද්ධ තැනැත්තන්ගේ කඳවුරත් ප්‍රිය වූ නුවරත් වැටලුවෝය.”—එළිදරව් 20:7-9අ.
21. සාතන් අවසන් වරට දරන උත්සාහය කුමක්ද? දහස් අවුරුදු පාලනයෙන් පසුවත් සමහරුන් සාතන්ගේ පැත්ත ගන්න එක ගැන අප පුදුම නොවිය යුත්තේ ඇයි?
21 සාතන්ගේ මෙම අවසාන උත්සාහයේ ප්‍රතිඵලය කුමක්ද? ඔහු “පොළොවේ කොන් සතරෙහි සිටින ගොග් සහ මාගොග් යන ජාතීන්ව” නොමඟ යවමින් ඔවුන්ව “යුද්ධයට” රැස් කරනවා. දේවාරාජ්යයේ පාලනය යටතේ අවුරුදු දහසක් ප්‍රීතියෙන් ගෙවූ පසු සාතන්ගේ පැත්ත ගන්නා අය කවුද? ඒදන් උයනේ පාරාදීසයක් භුක්ති විඳිමින් සිටි පරිපූර්ණ ආදම්ව සහ ඒවව නොමඟ යවන්න සාතන්ට පුළුවන් වූ බව අප අමතක නොකළ යුතුයි. ඒ වගේම මුල් කැරැල්ලේ අයහපත් ප්‍රතිඵල දුටු දේවදූතයන් බොහෝදෙනෙකුව පවා නොමඟ යවන්න ඔහුට හැකි වුණා. (2 පේතෘස් 2:4; යූද් 6) එමනිසා දේවාරාජ්යයේ පාලනය යටතේ අවුරුදු දහසක් ප්‍රීතියෙන් ගෙවීමෙන් පසු පරිපූර්ණ මිනිසුන් අතරින් සමහරදෙනෙක් සාතන්ගේ පැත්ත ගන්න එක ගැන අප පුදුම නොවිය යුතුයි.
22. (අ) ‘පොළොවේ කොන් සතරෙහි සිටින ජාතීන්’ කියා පැවසීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) මෙම කැරලිකරුවන්ට “ගොග් සහ මාගොග්” යන නම් දී තිබෙන්නේ ඇයි?
22 බයිබලයේ මේ කැරලිකරුවන්ව “පොළොවේ කොන් සතරෙහි” සිටින “ජාතීන්” ලෙස හඳුන්වනවා. මිනිස් වර්ගයා නැවතත් ස්වාධීන රට රාජ්‍යවලට බෙදී පවතී කියා මෙයින් අදහස් කරන්නේ නැහැ. නමුත් එයින් අදහස් වෙන්නේ වර්තමානයේ පවතින දුෂ්ට ජාතීන් මෙන් ඔවුන් යෙහෝවා දෙවිගේ ධර්මිෂ්ඨ හා පක්ෂපාත සේවකයන්ගෙන් වෙන් වන බවයි. එසකියෙල්ගේ අනාවැකියේ සඳහන් මාගොග්හි ගොග් කළාක් මෙන් ඔවුන් “නපුරු උපායක්” යෝජනා කරනවා. ඒ අනුව ඔවුන්ගේ අරමුණ වෙන්නේ පොළොව මත දෙවිගේ පාලනය යටතේ පවතින මිනිස් සමාජය විනාශ කර දැමීමයි. (එසකියෙල් 38:3, 10-12) ඔවුන්ට “ගොග් සහ මාගොග්” යන නම් දී තිබෙන්නේ එමනිසයි.
23. මෙම කැරලිකරුවන්ගේ සංඛ්‍යාව “මුහුදේ වැලි මෙන්” කියා පැවසීමෙන් අදහස් වෙන්නේ කුමක්ද?
23 සාතන්ගේ කැරැල්ලට එකතු වන සංඛ්‍යාව “මුහුදේ වැලි මෙන්ය.” නමුත් මෙය කලින් නියම කළ සංඛ්‍යාවක් නම් නෙවෙයි. (යෝෂුවා 11:4ද, විනිශ්චයකාරයෝ 7:12ද බලන්න.) මෙම අවසාන සංඛ්‍යාව තීරණය වෙන්නේ සාතන්ගේ කපටි උපායන්වලට එක් එක් කෙනා ප්‍රතිචාරය දක්වන ආකාරය අනුවයි. මෙම කැරලිකරුවන් “ශුද්ධ තැනැත්තන්ගේ කඳවුරත් ප්‍රිය වූ නුවරත්” වැටලීමට තරම් එඩිතර වන නිසා ඒ සංඛ්‍යාවට සෑහෙන පිරිසක් ඇතුළත් වෙයි කියා පැවසිය හැකියි.
24. (අ) “ප්‍රිය වූ නුවර” කුමක්ද? එය වටලනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) ‘ශුද්ධ තැනැත්තන්ගේ කඳවුරෙන්’ නියෝජනය වෙන්නේ කුමක්ද?
24 මෙම “ප්‍රිය වූ නුවර” එළිදරව් 3:12හි තේජසට පත් යේසුස් ක්‍රිස්තුස් විසින් තම අනුගාමිකයන්ට පැවසූ නුවර විය යුතුයි. එහිදී ඔහු එම නුවර විස්තර කළේ ‘මාගේ දෙවි කෙරෙන් ස්වර්ගයෙන් බැස එන නව යෙරුසලම වන මාගේ දෙවිගේ නුවර’ ලෙසයි. මෙය ස්වර්ගයේ පිහිටි ‘නුවරක්’ වන නිසා පොළොවේ සිටින මෙම කැරලිකරුවන් එය ‘වටලනවා’ කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? ඔවුන් එසේ කරන්නේ “ශුද්ධ තැනැත්තන්ගේ කඳවුර” වැටලීම තුළිනුයි. සාමාන්‍යයෙන් කඳවුරක් තිබෙන්නේ නුවරක පිටතයි. එමනිසා “ශුද්ධ තැනැත්තන්ගේ කඳවුර” කියන්නේ ස්වර්ගයේ පිහිටි නව යෙරුසලමට පක්ෂපාතව පොළොවේ සිටින යටත්වැසියන්ටයි. සාතන්ගේ අණසක යටතේ මෙම කැරලිකරුවන් මේ අයට පහර දෙන විට ස්වාමි වූ යේසුස් එය සලකන්නේ තමාට විරුද්ධව එල්ල කරන ප්‍රහාරයක් ලෙසයි. (මතෙව් 25:40, 45) ‘එම ජාතීන්’ උත්සාහ කරන්නේ ස්වර්ගයේ පිහිටි නව යෙරුසලම විසින් පොළොව පුරා පාරාදීසයක් උදා කරමින් ඉටු කර ඇති සෑම දෙයක්ම විනාශ කර දැමීමටයි. එමනිසා ‘ශුද්ධ තැනැත්තන්ගේ කඳවුරට’ පහර දීම ‘ප්‍රිය වූ නුවරට’ කරන ප්‍රහාරයක් හා සමානයි.
ගිනි සහ ගෙන්දගම් විල
25. “ශුද්ධ තැනැත්තන්ගේ කඳවුර” වෙත කැරලිකරුවන් කරන ප්‍රහාරයේ ප්‍රතිඵල ගැන යොහන් විස්තර කරන්නේ කෙසේද? සාතන්ට මේ නිසා සිදු වන්නේ කුමක්ද?
25 අපේ කාලයේදී දෙවිගේ ඊශ්රායෙලයට විරුද්ධව මාගොග්හි ගොග් කරන ප්‍රහාරය අසාර්ථක වන්නාක් මෙන් සාතන්ගේ මෙම අවසාන ප්‍රහාරයත් කොහොමටවත් සාර්ථක වෙන්නේ නැහැ. (එසකියෙල් 38:18-23) සිදු වන දේ යොහන් විස්තර කරන්නේ මෙසේයි. “නමුත් ස්වර්ගයෙන් ගින්දර ඇවිත් ඔවුන්ව නාස්ති කර දැම්මේය. තවද, ඔවුන්ව නොමඟ යවමින් සිටි යක්ෂයාව ගින්නෙන් සහ ගෙන්දගමින් යුත් විලට හෙළනු ලැබුවේය. වන මෘගයා හා බොරු අනාගතවක්තෘවරයා ඒ වන විටත් එහි සිටියෝය.” (එළිදරව් 20:9ආ-10අ) මේ අවස්ථාවේදී නම් සාතන් නමැති පුරාණ සර්පයාව හෙළන්නේ අගාධයකට නෙවෙයි ගිනිවිලටයි. ගින්නකින් දැවී යන්නාක් මෙන් ඔහුව නැත්තටම නැති කරනු ලබනවා.
26. “ගින්නෙන් සහ ගෙන්දගමින් යුත් විල” සැබෑ ස්ථානයක් නොවන්නේ ඇයි?
26 “ගින්නෙන් සහ ගෙන්දගමින් යුත් විල” වධ වේදනා සිදු වන සැබෑ ස්ථානයක් නොවන බව අප දැනටමත් සාකච්ඡා කළා. (එළිදරව් 19:20) සාතන්ට මෙහි සදහටම දැඩි වධ හිංසා පමුණුවන්න යනවා නම් ඔහුව ජීවත් කර තබාගන්නට යෙහෝවා දෙවිට සිදු වෙනවා. නමුත් ජීවිතය දීමනාවක් මිස දඬුවමක් නෙවෙයි. පාපයේ දඬුවම මරණයයි. බයිබලයේ සඳහන් වන ආකාරයට මිය ගිය අයට කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. (රෝම 6:23; දේශනාකාරයා 9:5, 10) මීට අමතරව ගින්නෙන් හා ගෙන්දගමින් යුත් මෙම විලට මරණය සහ මිනී වළත් හෙළන බව අපට පසුව කියවන්න ලැබෙනවා. මරණය හා මිනී වළ කියන්නේ වධ හිංසා දිය හැකි දේවල් නෙවෙයි.—එළිදරව් 20:14.
27. ගින්නෙන් සහ ගෙන්දගමින් යුත් විලෙන් අදහස් වන දේ තේරුම්ගැනීමට සොදොම සහ ගොමෝරාවට සිදු වූ දේ උපකාරවත් වෙන්නේ කෙසේද?
27 මෙම සියලු තොරතුරුවලින් පැහැදිලි වෙන්නේ ගින්නෙන් සහ ගෙන්දගමින් යුත් විල සංකේතයක් බවයි. ගිනි සහ ගෙන්දගම් ගැන සඳහන් කරන විට අපට මතක් වෙන්නේ පැරණි සොදොම සහ ගොමෝරා නුවරවලට සිදු වූ දෙයයි. ඔවුන්ගේ අන්ත දුෂ්ටකම නිසා දෙවි ඔවුන්ව විනාශ කළා. ඒ අවස්ථාවේදී “යෙහෝවා දෙවි, සොදොම් සහ ගොමෝරා පිට යෙහෝවා දෙවි කෙරෙන් ගෙන්දගම්ද ගිනිද වහින්න සැලැස්සුවේය.” (උත්පත්ති 19:24, NW) ඒ නුවරවල වැසියන්ට “සදාකාල ගින්න නමැති යුක්තිසහගත දඬුවම” ලැබුණා කියා පැවසිය හැකියි. (යූද් 7) එයින් අදහස් වෙන්නේ ඒ නුවරවල වැසියන් සදාකාල වධ හිංසාවකට ලක් වුණා කියන එක නෙවෙයි. නමුත් ඒ නුවරවල් දෙක සහ එහි සියලුම වැසියන්ව නැත්තටම නැති කළා කියන එකයි. අදටත් ඒ නුවරවල් දකින්න නැහැ. ඒවා තිබුණේ කොහේද කියාවත් හරියටම කියන්න බැහැ.
28. ගින්නෙන් සහ ගෙන්දගමින් යුත් විල කුමක්ද? එය මරණයට, මිනී වළට සහ අගාධයට වඩා වෙනස් වෙන්නේ කොයි ආකාරයෙන්ද?
28 ගින්නෙන් සහ ගෙන්දගමින් යුත් විලෙන් අදහස් වන දේ බයිබලයේ පැහැදිලි කර තිබෙන්නේ මෙසේයි. “මේ ගිනිවිලෙන් දෙවන මරණය අදහස් වන්නේය.” (එළිදරව් 20:14) යේසුස් කතා කළ ගෙහෙන්නාවට මෙය සමානයි. ගෙහෙන්නාවත් භාවිත කරන්නේ සදාකල් වධ හිංසාවක් දැක්වීමට නොව දුෂ්ටයන් සදහටම විනාශ වී යන බව දැක්වීමටයි. (මතෙව් 10:28) එවැනි කෙනෙක් සම්පූර්ණ විනාශයක් අද්දකින අතර, ඔහුට නැවත නැඟිටීමක් ලැබෙන්නේ නැහැ. මරණයට, මිනී වළට සහ අගාධයට යතුරු ඇති බව සඳහන් වී තිබුණත්, ගින්නෙන් සහ ගෙන්දගමින් යුත් විලට යතුරක් තිබෙන බව නම් සඳහන් වෙන්නේ නැහැ. (එළිදරව් 1:18; 20:1) සංකේතවත් ලෙස ගිනිවිලට යන අයට නම් එයින් මිදීමක් නැහැ.—මාක් 9:43-47ද බලන්න.
සදාකාලයට රෑ දාවල් දෙකේම වධ විඳීම
29, 30. යක්ෂයා, වන මෘගයා සහ බොරු අනාගතවක්තෘ ගැන යොහන් පවසන්නේ කුමක්ද? එයින් අදහස් වෙන්නේ කුමක්ද?
29 යක්ෂයා, වන මෘගයා සහ බොරු අනාගතවක්තෘ ගැන සඳහන් කරමින් යොහන් මෙසේ පවසනවා. “ඔවුන්ට සදාකාලයෙන් සදාකාලයට රෑ දාවල් දෙකේ වධ දෙනු ලබන්නේය.” (එළිදරව් 20:10ආ) මෙයින් අදහස් වෙන්නේ කුමක්ද? වන මෘගයා සහ බොරු අනාගතවක්තෘ නමැති සංකේත මෙන්ම මරණය සහ මිනී වළ ඇත්තටම වධ හිංසාවක් අද්දකිනවා කියා පැවසීම තර්කානුකූල නැති බව අපි දැනටමත් සාකච්ඡා කළා. එමනිසා සාතන්ව ගිනිවිලට හෙළීමෙන් ඔහුට සදාකල් වධ හිංසාවක් ලැබෙනවා කියා විශ්වාස කරන්න පදනමක් නැහැ. ඔහුට අත් වෙන්නේ සම්පූර්ණ විනාශයක්.
30 මෙහි “වධ දෙනු ලබන්නෝය” හැටියට පරිවර්තනය කර තිබෙන්නේ බසානිට්සෝ යන ග්‍රීක වචනයයි. එයට අර්ථ දෙකක් තිබෙනවා. එහි ප්‍රධාන අර්ථය නම් “උරගලක් යොදාගෙන (යම් ලෝහයක්) පරීක්ෂා කිරීමයි.” දෙවන අර්ථය “වධ හිංසා කිරීම” යන්නයි. (The New Thayer’s Greek-English Lexicon of the New Testament) මෙම පදයෙහි අවට පාඨ සම්බන්ධය බැලීමෙන් අපට හෙළි වෙන්නේ මෙම ග්‍රීක වචනයේ ප්‍රධාන අර්ථය යොදාගෙන ඇති බවයි. එනම් සාතන්ගේ මෙම විනාශයෙන් අපට මතක් වෙන්නේ ඔහුගේ පාලනය අසාර්ථක වූ බවයි. එයින් යෙහෝවා දෙවිගේ පාලනය යුක්තිසහගත වූ ධර්මිෂ්ඨ වූ එකම පාලනය බව සදහටම තහවුරු වෙනවා. උරගලක් යොදාගෙන යම් ලෝහයක ගුණය තහවුරු කරන්නා සේ මුළු විශ්වයේ යුක්තිසහගත පාලකයා යෙහෝවා දෙවි බව සදහටම තහවුරු වෙනවා. හදිස්සියේ යෙහෝවා දෙවිගේ පාලනයට විරුද්ධව යම් චෝදනාවක් එල්ල වුණොත් දීර්ඝ කාලයක් පුරා ඒ චෝදනා බොරු බව ඔප්පු කර පෙන්වීමට අවශ්‍ය වෙන්නේ නැහැ.—ගීතාවලිය 92:1, 15ද බලන්න.
31. සාතන්ට ලැබෙන දඬුවම තේරුම්ගැනීමට “වධ දීම” යන අදහස ඇති වචනයට සම්බන්ධ තවත් ග්‍රීක වචන දෙකක් උපකාරවත් වෙන්නේ කෙසේද?
31 මීට අමතරව මෙයට සම්බන්ධ තවත් ග්‍රීක වචනයක් වන බසානිස්ටීස් යන වචනයේ තේරුමත් වැදගත් වෙනවා. එහි මූලික අදහස “වධකයා” යන්නයි. එය බයිබලයේ භාවිත කර තිබෙන්නේ “සිරගෙයි භාරකරුවා” ලෙසයි. (මතෙව් 18:34) මෙම අදහසට එකඟව සාතන්ව සංකේතවත් ගිනිවිලේ සදහටම හිර කර තිබෙනවා කියාත් පැවසිය හැකියි. ඒ ‘හිරෙන්’ ඔහුට කවදාත් නිදහසක් ලැබෙන්නේ නැහැ. බසානොස් කියන ග්‍රීක වචනයේ තේරුමද සලකා බලමු. මෙය යොහන්ට හුරු වූ ග්‍රීක සෙප්ටුඅජින්ට් අනුවාදයේ භාවිත කළ අතර එය භාවිත කළේ කෙනෙක් විඳින මරණය කොතරම් ලජ්ජාසහගතද කියා විස්තර කිරීමටයි. (එසකියෙල් 32: 24, 30) මෙම වචනයෙන් අපට පැහැදිලි වෙන්නේ සාතන් ලබන දඬුවම ඉතා ලජ්ජාසහගත එකක් වන බවයි. ඔහුට අත් වෙන්නේ ගින්නෙන් සහ ගෙන්දගමින් යුත් ගිනිවිලේ සදාකල් මරණයක්. ඔහුගේ දුෂ්ට ක්‍රියාත් ඔහු සමඟම විනාශ වෙනවා.—1 යොහන් 3:8.
32. භූතයන්ට ලැබෙන දඬුවම කුමක්ද? අප ඒ බව දන්නේ කෙසේද?
32 නැවතත් මේ පදයේදී භූතයන් ගැන සඳහන් කරන්නේ නැහැ. දහස් අවුරුදු පාලනයෙන් පසු ඔවුන්ව සාතන් සමඟ මුදාහරීද? ඉන් අනතුරුව ඔහු සමඟ ඔවුන්ටත් සදාකාල මරණය නමැති දඬුවම ලැබෙයිද? මෙම ප්‍රශ්නවලට අපට ඔව් කියා පිළිතුරු දෙන්න පුළුවන්. යේසුස් බැටළුවන් සහ එළුවන් පිළිබඳව තම උපමාවේදී පැවසුවේ එළුවන් “යක්ෂයාටත් ඔහුගේ දූතයන්ටත් සූදානම් කර තිබෙන සදාකාල ගින්නට” යන බවයි. (මතෙව් 25:41) මෙහිදී “සදාකාල ගින්න” භාවිත කර තිබෙන්නේ සාතන්ව හෙළනු ලබන ගින්නෙන් හා ගෙන්දගමින් යුත් විල දැක්වීමටයි. යක්ෂයාව ස්වර්ගයෙන් පිටමං කළ විට ඔහුගේ භූතයන්වත් ඔහු සමඟ නෙරපනු ලැබුවා. දහස් අවුරුදු පාලනය ආරම්භයේදී ඔහුව අගාධයට හෙළූ විට භූතයන්වත් එයට හෙළුවා. එමනිසා භූතයනුත් සාතන් සමඟ ගින්නෙන් හා ගෙන්දගමින් යුත් විලේ විනාශ කරයි කියා නිගමනය කළ හැකියි.—මතෙව් 8:29.
33. උත්පත්ති 3:15හි අන්තිමට ඉටු වන දේ කුමක්ද? යෙහෝවා දෙවිගේ බලය මගින් යොහන්ගේ අවධානය යොමු වෙන්නේ කුමක් වෙතටද?
33 මේ විස්තරවලින් අපි දකින්නේ උත්පත්ති 3:15හි සඳහන් අනාවැකිය සම්පූර්ණයෙන්ම ඉටු වන ආකාරයයි. එම අනාවැකියේ අන්තිමට ඉටු වන කොටස ලෙස සාතන්ව ගින්නෙන් හා ගෙන්දගමින් යුත් විලට හෙළන විට යකඩ පොල්ලකින් පොඩි කළ සර්පයෙක් හා සමානව ඔහු මරණය අද්දකිනවා. ඔහුවත් භූතයන්වත් සදහටම නැති වෙනවා. එළිදරව් පොතේ ඔවුන් ගැන ආයේ සඳහන් වෙන්නේ නැහැ. මොවුන්ව විනාශ කිරීමෙන් පසුව පොළොව මත ජීවත් වීමේ බලාපොරොත්තුවෙන් සිටින අයගේ ඉමහත් උනන්දුවට හේතු වන කාරණයක් යෙහෝවා දෙවිගේ බලය මගින් අවධාරණය කරනු ලබනවා. “රජවරුන්ගේ රජු” සහ “කැඳවාගත්තාවූ, තෝරාගත්තාවූ, විශ්වාසවන්ත වූ අය” කරන පාලනය මිනිස් වර්ගයාට බලපාන්නේ කෙසේද? (එළිදරව් 17:14) මෙයට පිළිතුරක් ලබාගන්න නැවතත් දහස් අවුරුදු පාලනයේ මුල සිදු වන දේවලට යොහන් අපගේ අවධානය යොමු කරනවා.
[පාදසටහන්වල]
a යේසුස් මිය ගිය විට ඔහු සිටියේ මිනී වළේ බව වෙනත් බයිබල් පදවල සඳහන් වෙනවා. (ක්‍රියා 2:31) නමුත් මෙයින් අදහස් වෙන්නේ මිනී වළ සහ අගාධය හැමවිටම එක සමාන බව නම් නෙවෙයි. වන මෘගයා සහ සාතන් අගාධයට යනවා කියා සඳහන් වුණත් මිනී වළට යනවා කියා කියන්නේ මිනිසුන් ගැන පමණයි. එයින් අදහස් වෙන්නේ නැවත නැඟිටීමක් බලාපොරොත්තුවෙන් ඔවුන් මරණය නමැති නින්දෙහි පසු වී සිටින බවයි.—යෝබ් 14:13; එළිදරව් 20:13.
b රෝමයේ අපරාධකරුවන්ව ඝාතනය කිරීමට සාමාන්‍යයෙන් භාවිත කළේ පොරවයි. (ග්‍රීක බසින්, පෙලෙකස්). යොහන්ගේ කාලයේදී කඩුවත් භාවිත කරනු ලැබුවා. (ක්‍රියා 12:2) ඇත්තටම මෙහි භාවිත කර ඇති ග්‍රීක වචනයේ (පෙපෙලිකිස්මෙනොන්, “පොරවෙන් මරනු ලැබුවා”) සරල තේරුම නම් “මරනු ලැබුවා” යන්නයි.
c හියරපොලිස් නුවරේ පේපියස් නමැත්තා එළිදරව් පොත ලියූ යොහන්ගෙන් සත්‍යය ඉගෙනගත් කිහිපදෙනෙකුගෙන් බයිබලය ඉගෙනගත් බව සඳහන් වෙනවා. යේසුස්ගේ දහස් අවුරුදු පාලනය අවුරුදු දහසක එකක් හැටියට පේපියස් විශ්වාස කළ බව හතරවන සියවසේ සිටි ඉතිහාසඥයෙකු වූ යූසීබියස් පැවසුවා. (යූසීබියස් නම් එම මතයට එකඟ වුණේ නැහැ).—The History of the Church, Eusebius, III, 39.
[293වන පිටුවේ පින්තූරය]
මළ මුහුද. සොදොම සහ ගොමෝරා නුවර ඇතැම්විට පිහිටා තිබුණු ස්ථානය
[294වන පිටුවේ පින්තූරය]
“මම ඔබත් ස්ත්‍රියත් අතරෙහිද ඔබේ වංශයත් ඇගේ වංශයත් අතරෙහිද සතුරුකම තබන්නෙමි. ඒ වංශය ඔබේ හිස පොඩි කරන්නේය; ඔබ ඔහුගේ විලුඹ පොඩි කරන්නෙහිය”