2 සාමුවෙල්
5 කල් යත්ම ඊශ්‍රායෙල්හි සියලු ගෝත්‍ර හෙබ්‍රොන්හි+ සිටි දාවිත්ව+ මුණගැසී මෙසේ කීවෝය. “අපි හැමෝම සහෝදරයන්.*+ 2 සෑහෙන කාලයක ඉඳන්+ ඊශ්‍රායෙල් හමුදාවේ පෙරමුණ ගෙන කටයුතු කළේ ඔබයි.+ සාවුල් අපේ රජ වෙලා ඉන්න කාලේ පවා පෙරමුණ ගත්තේ ඔබයි. ඒ වගේම, ‘මගේ සෙනඟ වන ඊශ්‍රායෙල් ජාතියව රැකබලා ගැනීමට+ මම පත් කරන්නේ ඔබවයි. ඔබව අනිවාර්යයෙන්ම ඊශ්‍රායෙල්හි නායකයා+ ලෙස මම පත් කරමි’ කියා යෙහෝවා දෙවිම ඔබට පැවසුවා.” 3 පසුව ඊශ්‍රායෙල්හි සියලු වැඩිමහල්ලෝද+ හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙත ආවෝය. දාවිත්, යෙහෝවා දෙවි ඉදිරියේ ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගත්තේය.+ ඉන්පසු ඔවුහු දාවිත්ව මුළු ඊශ්‍රායෙල් දේශයේම රජු+ ලෙස අභිෂේක කළෝය.+
4 දාවිත් රජකමට පත් වන විට ඔහුට වයස අවුරුදු තිහක් විය. ඔහු අවුරුදු හතළිහක්+ පුරා රජකම් කළේය. 5 ඔහු හෙබ්‍රොන් සිට අවුරුදු හතකුත් මාස හයක් යූදා ගෝත්‍රය කෙරෙහි රජකම් කළේය.+ ඔහු මුළු ඊශ්‍රායෙල් ජාතිය කෙරෙහිද යූදා ගෝත්‍රය කෙරෙහිද අවුරුදු තිස්තුනක් යෙරුසලමේ සිට+ රජකම් කළේය. 6 රජද ඔහුගේ හමුදාවද යෙරුසලමේ පදිංචිව සිටි යෙබූසිවරුන්ට විරුද්ධව සටන් කිරීමට ගියෝය.+ නමුත් යෙබූසිවරු, දාවිත් මෙතැනට පැමිණෙන එකක් නැහැ කියා සිතමින්, “ඔබට අපේ නුවරට ඇතුල් වෙන්න අවසර නැහැ. නුවරේ ඉන්න අන්ධයන් හා කොරුන් පවා ඔබව පන්නා දමයි”+ කියා දාවිත් රජුට කීවෝය. 7 එහෙත් දාවිත් රජු සියොන් නම් බලකොටුව+ අල්ලාගත් අතර පසුව එය දාවිත්ගේ නුවර+ ලෙස හඳුන්වන ලදි. 8 එදින දාවිත් රජ තම සෙනඟට මෙසේ අණ කළේය. “යෙබූසිවරුන්ට විරුද්ධව සටන් කරන හැමෝම+ ජල මාර්ගය+ දිගේ ගොස් ඔවුන්ගේ අන්ධයන්ටත් කොරුන්ටත් පහර දිය යුතුයි. ඔවුන් මට පිළිකුලක්!” පසු කලෙක, “අන්ධයන්ට හා කොරුන්ට ගෙට ඒමට අවසර නැත” යන කියමන ඇති වූයේ ඒ නිසාය. 9 පසුව දාවිත් රජ සියොන් බලකොටුවේ පදිංචි විය. පසු කලෙක එය දාවිත්ගේ නුවර ලෙස හැඳින්විය. දාවිත් රජ එම නුවරේ සීමා* වටා+ හා නුවර තුළ ඉදි කිරීම් කටයුතු ඇරඹුවේය. 10 ඔහු වඩ වඩා බලවත්+ වූ අතර ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි+ දිගටම ඔහුට උපකාර කළේය.+
11 තීර්හි රජු වන හීරාම්,+ දාවිත් රජු වෙතට දූත පිරිසක්ද+ දාවිත් රජුට මාලිගාවක්+ ගොඩනැඟීමට අවශ්‍ය දේවදාර ලීද+ බිත්ති බඳින්නන්වද වඩු වැඩ කරන්නන්වද යැවීය. 12 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් දේශයේ රජු ලෙස තමාව පත් කර එය ස්ථිර ලෙස පිහිටුවා තිබෙන බව දාවිත්ට තහවුරු විය.+ එමෙන්ම දෙවි ඔහුගේ සෙනඟ+ වෙනුවෙන් තම රාජ්‍යය ගෞරවයට පත් කළ+ බවත් දාවිත් වටහාගත්තේය.
13 දාවිත් හෙබ්‍රොන්හි සිට යෙරුසලමට පැමිණි පසු තවත් භාර්යාවන්+ විවාහ කරගත් අතර උපභාර්යාවන්ද+ වැඩි කරගත්තේය. එහිදී ඔහුට දාව තව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. 14 යෙරුසලමේදී ඔහුට දාව උපන් දරුවන්ගේ නම් මේවාය. ෂම්මුවා,+ ෂෝබාබ්,+ නාතන්,+ සලමොන්,+ 15 ඉබ්හාර්, එලිෂුවා,+ නෙෆෙග්,+ යාෆියා,+ 16 එලිෂාමා,+ එලියාදා සහ එලිෆෙලෙත්ය.+
17 දාවිත්ව ඊශ්‍රායෙල්හි රජු ලෙස අභිෂේක කර+ තිබූ බව පිලිස්තිවරුන්ට ආරංචි වූ විට ඔවුහු සියලුදෙනා දාවිත් රජුව අල්ලාගැනීමට ආවෝය. දාවිත් රජ ඒ ගැන දැනගත් විට තමා වෙතට පහසුවෙන් ළඟා වීමට නොහැකි ස්ථානයකට ගියේය.+ 18 පිලිස්තිවරු රෙෆායිම් තැනිතලාවට+ පැමිණ එහි සෑම තැනකම විසිර සිටියෝය. 19 එවිට දාවිත් රජ යෙහෝවා දෙවිගෙන් මෙසේ විමසුවේය.+ “මම පිලිස්තිවරුන්ට පහර දෙන්නද? ඔවුන්ව යටත් කරගන්න ඔබ මට උදව් කරනවාද?” යෙහෝවා දෙවිද, “ගොස් ඔවුන්ට පහර දෙන්න. මම ඔවුන්ව ඔබට යටත් කර දෙන්නෙමි”+ කියා දාවිත් රජුට කීවේය. 20 එබැවින් දාවිත් රජ බාල්-පෙරාෂිම්+ වෙතට ගොස් පිලිස්තිවරුන්ට පහර දුන්නේය. ඒ අවස්ථාවේදී, “වේගයෙන් ගලා යන ජල පහරක් මෙන් යෙහෝවා දෙවි මට ඉදිරියෙන් ගොස් මගේ සතුරන්ව විනාශ කළා”+ කියා දාවිත් රජ කීවේය. ඔහු එම ස්ථානයට බාල්-පෙරාෂිම්*+ යන නම තැබුවේ ඒ නිසාය. 21 පිලිස්තිවරු ඔවුන්ගේ දේවතා රූප+ එහි අත්හැර දමා පලා ගියෝය. දාවිත් රජ සහ ඔහුගේ සෙනඟ එම රූප එතැනින් ඉවත් කළෝය.+
22 පසුව පිලිස්තිවරු නැවතත්+ රෙෆායිම් තැනිතලාවට+ පැමිණ එහි සෑම තැනකම විසිර සිටියෝය. 23 ඔවුන්ට විරුද්ධව සටනට යන්නද කියා දාවිත් රජු යෙහෝවා දෙවිගෙන් විමසූ+ විට ඔහු දාවිත් රජුට මෙසේ කීවේය. “මේ අවස්ථාවේදී ඔවුන්ව ලුහුබැඳ ගොස් පහර නොදෙන්න. වටෙන් ගොස් ඔවුන්ගේ පිටුපසින් තිබෙන බේකා පඳුරු+ ඉදිරියේ සැඟවී සිටින්න. 24 බේකා පඳුරු අතරින් ඔබට අඩි ශබ්දයක් ඇසෙයි. පිලිස්තිවරුන්ට පහර දීමට යෙහෝවා දෙවි වන මා ඔබට ඉදිරියෙන් ගිය බවට එය ඔබට ලකුණක් වෙයි.+ ඒ ශබ්දය ඇසුණු සැණින් ඔබ ඔවුන්ට පහර දෙන්න.”+ 25 දාවිත් රජ යෙහෝවා දෙවි අණ කළ ලෙසම කළේය.+ ඔහු ගෙබා* නුවර+ සිට ගෙෂෙර් නුවර+ දක්වා ගොස් පිලිස්තිවරුන්ට පහර දුන්නේය.+