2 කොරින්ති
12 මා මෙලෙස ආඩම්බරයෙන් කතා කළත් එයින් ඇත්තටම ප්‍රයෝජනයක් නැත. දැන් මම ස්වාමීන්ගෙන් මට ලැබුණු ආශ්චර්යවත් දර්ශන+ සහ විශේෂ පණිවිඩ ගැන කතා කරන්නෙමි. 2 ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින පුරුෂයෙකුට සිදු වූ දෙයක් ගැන පැවසීමට මා කැමතිය. මීට වසර දහහතරකට කලින් ඔහුව ‘තුන්වෙනි’ ස්වර්ගයට ඔසවනු ලැබීය.+ ඔහු තම ශරීරය පිටින්ම එහි ගියාද නැත්නම් දර්ශනයකින් එහි ගියාද කියා මම නොදනිමි. ඒ දේ දන්නේ දෙවි පමණි. 3 මා නැවතත් කියන්නේ එවැනි පුරුෂයෙකුව මා හඳුනන බවය. ඔහු තම ශරීරය පිටින්ම එහි ගියාද නැත්නම් දර්ශනයකින් එහි ගියාද+ කියා මම නොදනිමි. ඒ දේ දන්නේ දෙවි පමණි. 4 ඔහුව ඔසවාගනු ලැබුවේ පාරාදීසයකටය.+ එහිදී මිනිසෙකුට කියන්න අවසර නැති, පැවසීමටවත් නොහැකි වචන ඔහුට ඇසිණ. 5 එවැනි මිනිසෙකු ගැන ආඩම්බරයෙන් කතා කිරීමට මට පුළුවන. නමුත් මා ගැනම මම ආඩම්බරයෙන් කතා කරන්නේ නැත. ඒ වෙනුවට මා කතා කරන්නේ මගේ දුර්වලකම් ගැනය.+ 6 ඉදිරියේදී ආඩම්බරයෙන් කතා කිරීමට මට අවශ්‍ය වුණොත්+ මම හොඳ සිහිකල්පනාවෙන් සත්‍යය කතා කරන්නෙමි. නමුත් දැන් මා ඒ දේ කිරීමෙන් වැළකී සිටින්නේ මා පවසන දේ ඇසීමෙන් හෝ මා කරන දේ දැකීමෙන් හෝ මට වෙනත් අයගෙන් අනවශ්‍ය ගෞරවයක් ලබා නොගැනීම සඳහාය. 7 මට අන් අයට වඩා බොහෝ පණිවිඩ එළිදරව් කරනු ලැබූ නිසා මා උත්තමයෙකු කියා කිසි කෙනෙකු නොසිතිය යුතුයි.
ඇත්තෙන්ම මා ගැන මහ ඉහළින් සිතීමට මට කිසිම හේතුවක් නැත.+ මන්ද මගේ ශරීරයට ඇනී තිබෙන කටුවක් හා සමාන පීඩාවකට+ නිතරම මුහුණ දෙන්න මට සිදු වී ඇත. සාතන්ගේ දූතයෙකු හා සමානව ක්‍රියා කරන ඒ දෙයින් මම නිතරම පහර ලබමි. මට ඒ දේ විඳින්න සිදු වී තිබෙන්නේ මා ගැන මහ ඉහළින් නොසිතීම සඳහාය. 8 එය මගෙන් ඉවත් කරන ලෙස මම ස්වාමීන්ගෙන් තුන් වතාවක්ම+ මහත් ඕනෑකමින් ඉල්ලා සිටියෙමි. 9 නමුත් ඔහු මට පැවසුවේ මෙයයි. “මා ඔබට මේ වන තුරු පෙන්වා ඇති මහත් කරුණාව ඔබට ප්රමාණවත්ය.+ මන්ද ඔබේ දුර්වලකම තුළින් මගේ බලය සම්පූර්ණයෙන්ම දැකගත හැකිය.”+ එහෙයින් මම ඉතා සතුටින් මගේ දුර්වලකම් ගැන ආඩම්බරයෙන් කතා කරන්නෙමි.+ මන්ද කූඩාරමකින් ආරක්ෂාවක් ලැබෙනවා හා සමානව ක්‍රිස්තුස් තුළින් ලැබෙන බලයෙන් මට ආරක්ෂාවක් ලැබේ. 10 එමනිසා ක්‍රිස්තුස් වෙනුවෙන් මම ඉතා සතුටින් මගේ දුර්වලකම් ඉවසන්නෙමි. ඊට අමතරව නින්දා අපහාසවලටත් අගහිඟකම්වලටත් විවිධ පීඩා හා දුෂ්කරතාවලටත් මුහුණ දෙන්නෙමි. මන්ද මා එසේ දුර්වල වී සිටින අවස්ථාවලදී මම බලවත් වන්නෙමි.+
11 මා සීමාව ඉක්මවා ආඩම්බරයෙන් කතා කළේ එසේ කිරීමට ඔබ මාව පෙලඹූ නිසාය.+ ඔබ මගේ සුදුසුකම් ගැන මා වෙනුවෙන් කතා කර තිබුණා නම් මට එසේ කතා කිරීමට සිදු වන්නේ නැත. මා වටිනාකමක් නැති කෙනෙකු වුවත්+ ඔබ මහ ඉහළින් සලකන+ නියෝජිතයන්ට* වඩා කිසි ලෙසකින්වත් මා පහත් කෙනෙකු බව කිසිවෙකුට කිව නොහැක. 12 ඇත්තෙන්ම මා යේසුස්ගේ නියෝජිතයෙකු බවට තිබෙන සාක්ෂි ඔබ සියලුදෙනාම දැක ඇත.+ මම බොහෝ දේවල් විඳදරාගනිමින්+ ඔබ අතරෙහි ආශ්චර්යයන්, පුදුම දේවල් සහ වෙනත් බලවත් ක්‍රියා සිදු කළෙමි.+ 13 ඇත්තෙන්ම අන් සියලු සභාවන්ට වඩා ඔබට අඩුවක් සිදු වූයේ එක දෙයක් ගැන පමණයි. ඒ මා ඔබට බරක් නොවී සිටීමයි.+ එය වරදක් නම් මම ඔබෙන් එයට සමාව අයැදිමි.
14 දැන් මා ඔබව හමු වීමට අදහස් කරමින් සිටින්නේ තුන්වෙනි වතාවටය.+ මා පැමිණියත් ඔබට බරක් වන්නේ නැත. මන්ද මට අවශ්‍ය වන්නේ ඔබ සතු දේවල් නොව+ ඔබවය. මා එසේ කියන්නේ සාමාන්‍යයෙන් දරුවන්+ තම දෙමාපියන් වෙනුවෙන් ධනය රැස් කරනවා නොව දෙමාපියන් තම දරුවන් වෙනුවෙන් ධනය රැස් කරන නිසාය.+ 15 ඇත්තෙන්ම මා ඔබ වෙනුවෙන් මා සතු සෑම දෙයක්ම, මගේ ජීවිතය පවා දීමට සතුටු වන්නෙමි.+ මා තුළ ඔබ කෙරෙහි එතරම් ප්‍රේමයක් තිබෙද්දී ඔබ තුළත් මා ගැන එතරම් ප්‍රේමයක් තිබෙන්න තරම් මා වටින්නේ නැද්ද? 16 ඒ කෙසේවෙතත් මම ඔබට බරක් වූයේ නැත.+ නමුත් ඔබ කියන්නේ මා “කපටි” කෙනෙකු බවත් මා ඔබව “උපායශීලීව” අල්ලාගත් බවත්ය.+ 17 මා ඔබ වෙතට එවූ අය ගැන සිතන්න. ඔවුන් මාර්ගයෙන් මා ඔබගෙන් වාසි ප්‍රයෝජන ලබාගත්තාද? 18 ඔබව හමු වීමට මා තීතස්ට උනන්දු කළ අතර ඔහු සමඟ තවත් සහෝදරයෙකුවද එව්වෙමි. තීතස් ඔබගෙන් යම් වාසි ප්‍රයෝජන ලබාගත්තේ නැති බව මම හොඳටම දනිමි.+ ඔහු කටයුතු කළේ මා කටයුතු කළ ආකාරයටම නොවේද? අප දෙදෙනාම දැරුවේ එකම ආකල්පයයි.+
19 අප එසේ කියන්නේ අප නිදොස් පුද්ගලයන් බව ඔප්පු කිරීමට කියා ඔබ සිතනවාද? නැත. අප ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් ලෙස මේ දේවල් ගැන කතා කරන්නේ දෙවි ඉදිරියෙහිය. ප්‍රේමණීය සහෝදරයෙනි, අප සෑම දෙයක්ම කරන්නේ ඔබව දිරිගැන්වීම සඳහාය.+ 20 නමුත් මා පැමිණෙන විට+ මා ඔබෙන් බලාපොරොත්තු වෙනවාට වඩා වෙනස් දෙයක් ඔබ තුළ දකින්න ලැබෙයි කියා මට බියක් ඇත. එලෙසම ඔබ මගෙන් බලාපොරොත්තු වන දේට වඩා වෙනස් දෙයක් කිරීමට මටත් සිදු විය හැක. ඔබ අතරෙහි අඬදබර, ඊර්ෂ්‍යාව,+ කෝපය, වාදවිවාද, කේලම්, කෙඳිරීම්, අහංකාරය, කෝලහල යනාදිය තිබිය හැකියි කියාත් මම බිය වෙමි.+ 21 ඇතැම්විට මා නැවත පැමිණෙන අවස්ථාවේදී මගේ දෙවි මට ලැජ්ජාවක් දැනෙන්න සැලැස්විය හැක. එසේ විය හැක්කේ කලින් පව්කාර ජීවිතයක් ගත කළ අය+ තමන් කළ අපවිත්‍ර දේවල් ගැනවත් වේශ්‍යාකම,*+ නින්දිත හැසිරීම+ යනාදි දේවල් ගැනවත් පසුතැවිලි වී නැති නිසාය. එහෙයින් සමහරවිට මට බොහෝ සෙයින් ශෝක වීමට සිදු වෙයි.