යෙරෙමියා
32 යූදාහි රජු වන ශෙදකියා පාලනය කළ දහවන අවුරුද්දේදී+ එනම්, නෙබුකද්රෙෂර් රජුගේ පාලන සමයේ දහඅටවන අවුරුද්දේදී+ යෙරෙමියාට යෙහෝවා දෙවිගෙන් පණිවිඩයක් ලැබිණ. 2 ඒ වන විට බැබිලෝනියේ රජුගේ යුධ හමුදාව යෙරුසලම වටලාගෙන සිටියෝය.+ යෙරෙමියා, යූදාහි රජුගේ මාලිගාව අසලින්ම පිහිටි මුරකරුගේ මළුවේ තිබූ ගොඩනැඟිල්ලක, සිරගෙයි භාරකරුවන් යටතේ සිටියේය.+ 3 යූදාහි රජු වන ශෙදකියා යෙරෙමියාව සිර කිරීමට+ කලින් ඔහුට මෙසේ පැවසුවේය.
“‘යෙහෝවා දෙවිගේ පණිවිඩය මෙයයි’ කියා ඔබ අනාවැකි පවසන්නේ ඇයි?+ ඔබ මෙහෙම පැවසුවා. ‘දෙවිගෙන් මට ලැබුණු පණිවිඩය මෙයයි. “මම මේ නගරය බැබිලෝනියේ රජුගේ අතට භාර දෙන්නෙමි. ඔහු අනිවාර්යයෙන්ම එය යටත් කරගන්නේය.+ 4 යූදාහි රජු වන ශෙදකියාටත් කල්දිවරුන්ගේ අතින් ගැලවීමට නොහැකි වන්නේය. මම ඔහුව අනිවාර්යයෙන්ම බැබිලෝනියේ රජුගේ අතට හසු කර දෙන්නෙමි. ඔහුට ඒ රජු සමඟ මුහුණට මුහුණ ලා කතා කිරීමට සිදු වන්නේය.+ 5 බැබිලෝනියේ රජ, ශෙදකියාව බැබිලෝනියට ගෙන යන්නේය. මා ඔහු ගැන පියවරක් ගන්නා තෙක් ඔහු එහිම රැඳී සිටිනු ඇත.+ ජනයෙනි, ඔබ කල්දිවරුන්ට විරුද්ධව යුද්ධ කර ඔවුන්ව පැරදවීමට කොතරම් උත්සාහ කළත් ඔබට ජය ගැනීමට නම් ලැබෙන්නේ නැත.”+ මෙය යෙහෝවා දෙවිගෙන් ලැබුණු පණිවිඩයකි.’”
6 යෙරෙමියා මෙසේ පැවසුවේය. “යෙහෝවා දෙවි මට පැවසුවේ මෙයයි. 7 ‘ඔබේ පියාගේ සහෝදරයා වන ෂල්ලුම්ගේ පුත් හනමෙල් ඔබ ළඟට පැමිණ මෙසේ කියනු ඇත. “අනාතොත්හි+ තිබෙන මගේ ඉඩම මිල දී ගන්න. මන්ද එය මිල දී ගැනීමට අයිතිය ඇති තැනැත්තා ඔබයි.”’”+
8 කලක් ගත වූ පසු යෙහෝවා දෙවි පැවසූ ලෙසම මගේ පියාගේ සහෝදරයාගේ පුත් හනමෙල්, මුරකරුගේ මළුවේ තිබූ+ ගොඩනැඟිල්ලේ සිටි මා වෙතට පැමිණ මට මෙසේ කීවේය. “බෙන්ජමින් දේශයේ+ අනාතොත්හි ඇති මගේ ඉඩම මිල දී ගන්න.+ මන්ද එම ඉඩම උරුම කරගැනීමට අයිතිය ඇත්තේ ඔබටයි. එය මිල දී ගැනීමේ අයිතියත් ඔබ සතුයි. ඉතින් ඔබ එය මිල දී ගන්න.” එවිට ඒ පණිවිඩය ලැබුණේ යෙහෝවා දෙවිගෙන් බව මම දැනගත්තෙමි.+
9 පසුව මම අනාතොත්හි තිබූ ඉඩම+ මගේ පියාගේ සහෝදරයාගේ පුත් හනමෙල්ගෙන් මිල දී ගත්තෙමි.+ මම රිදී ෂෙකෙල් දහහතක්* කිරා ඔහුට දුන්නෙමි.+ 10 ඉන්පසු මම ඔප්පුවක් ලියා+ එය මුද්‍රා කළෙමි.+ මුදල් කිරා බැලීම+ ඇතුළු මේ සියල්ල මා කළේ සාක්ෂිකරුවන් ඉදිරිපිටදීය.+ 11 නීතිරීතිවලට අනුව සකස් කළ මුද්‍රා තැබූ ඔප්පුවත්+ ඔප්පුවේ මුද්‍රා නොතැබූ පිටපතත් ගෙන 12 මසේයාගේ පුත්‍රයා වූ නෙරියාගේ පුත්‍රයා වන+ බාරුක්ගේ+ අතට දුන්නෙමි. මගේ පියාගේ සහෝදරයාගේ පුත් හනමෙල් ඉදිරියෙත් ඒ ඔප්පුවට අත්සන් තැබූ+ සාක්ෂිකරුවන් ඉදිරියෙත් මුරකරුගේ මළුවේ ඉඳගෙන සිටි අනිකුත් යුදෙව්වන් සියලුදෙනා ඉදිරියෙත් මම එම ඔප්පුව ඔහුට දුන්නෙමි.+
13 ඉන්පසු ඔවුන් සියලුදෙනා ඉදිරියේ මම බාරුක්ට මෙසේ අණ කළෙමි. 14 “ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා මෙසේ පවසන්නේය. ‘මුද්‍රා තැබූ ඔප්පුවත් මුද්‍රා නොතැබූ පිටපතත්+ බොහෝ කාලයක් තබාගැනීම සඳහා මැටි බඳුනක දමන්න.’ 15 මන්ද ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා මෙසේ පවසන්නේය. ‘ගෙවල් දොරවල්ද ඉඩකඩම්ද මිදිවතුද මේ දේශය තුළ නැවත මිල දී ගන්නා කාලයක් ඉදිරියේදී පැමිණෙන්නේය.’”+
16 නෙරියාගේ පුත්+ බාරුක්ගේ අතට ඉඩමේ ඔප්පුව භාර දුන් පසු+ යෙහෝවා දෙවිට මම මෙසේ යාච්ඤා කළෙමි.+ 17 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි,+ ඔබ ඔබේ මහත් බලයෙන් අහසත් පොළොවත් සෑදුවා.+ එය ඔබට කිසිසේත් අපහසු කාර්යයක් නොවෙයි.+ 18 මනුෂ්‍යයන් දහස් ගණනකට මහත් ප්‍රේමයක්* පෙන්වන,+ පියවරුන් කළ වැරදිවලට ඔවුන්ගේ දරුවන්ට පවා දඬුවම් කරන+ සැබෑ දෙවි ඔබයි. බලවත්,+ ශ්‍රේෂ්ඨ තැනැත්තාත්+ ඔබයි. ඔබේ නාමය+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.+ 19 ඔබේ අරමුණු ඉතා ශ්‍රේෂ්ඨයි.+ ඔබේ මහත් ක්‍රියාවලට සීමාවක් නැහැ.+ ඔබ එක් එක් මනුෂ්‍යයා ගත කරන ජීවිතයට අනුවද ඔහුගේ හැසිරීම් රටාවට අනුවද ඔවුන්ට නිසි ප්‍රතිඵල ලබා දෙන පිණිස+ ඔවුන් දෙසට නෙත් යොමා සිටිනවා.+ 20 ඊජිප්තු දේශයේදී ඔබ කළ ආශ්චර්යයන් ගැනත් ඔබ කළ පුදුමසහගත ක්‍රියා ගැනත් අද වන තුරුම ඊශ්‍රායෙල් සෙනඟ හා වෙනත් මනුෂ්‍යයන් අතරේ කතාබහට ලක් වෙනවා.+ අතීතයේදී මෙන් ඉතා ළඟදීම ඔබේ නාමය සියලුදෙනා අතරේ ගෞරවයට පත් වන බව ස්ථිරයි.+ 21 ඔබේ මහත් බලයෙන් ඔබ පුදුම ක්‍රියාද ආශ්චර්යයන්ද+ සිදු කර, සියලුදෙනාම භීතියට පත් කරමින්+ ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආවා.+
22 “පසුව ඔබ මේ සෙනඟගේ මුතුන්මිත්තන්ට පොරොන්දු වූ ලෙස කිරියෙන් හා පැණියෙන් ඉතිරෙන මේ දේශය+ ඔවුන්ට ලබා දුන්නා.+ 23 ඔවුන් මේ දේශයට ඇවිත් එය හිමි කරගත්තා.+ නමුත් ඔවුන් ඔබට සවන් දුන්නේවත් ඔබේ අණපනත්වලට කීකරු වුණේවත් නැහැ.+ ඔබ ඔවුන්ට අණ කළ කිසිවක් ඔවුන් කළේ නැහැ.+ මේ සියලු විපත්ති ඔබ ඔවුන් පිටට ගෙන ආවේ ඒ නිසයි.+ 24 බලන්න සිදු වී තිබෙන දේ! නගරය අල්ලාගන්නා පිණිස+ කල්දිවරුන් නගරය වටා බැම්මක් ඉදි කර තිබෙනවා.+ යුද්ධ,+ සාගත+ හා වසංගත+ ඇති වී තිබෙන නිසා කල්දිවරුන් අනිවාර්යයෙන්ම මේ නගරය අල්ලාගනියි.+ ඔබ පැවසූ ලෙසම සෑම දෙයක්ම සිදු වෙනවා.+ 25 විශ්වයේ පාලකයා වන යෙහෝවා දෙවියනි, මේ නගරය කල්දිවරුන්ගේ අතට පත් වන බව දැන දැනම,+ ‘සාක්ෂිකරුවන් ඉදිරියේ+ ඉඩම මිල දී ගන්න’+ කියා ඔබ මට පැවසුවේ ඇයි?”
26 එවිට යෙහෝවා දෙවි යෙරෙමියාට මෙසේ පැවසුවේය. 27 “යෙහෝවා වන මම මුළු මිනිස් සංහතියේම දෙවිය.+ මට කළ නොහැකි කිසිවක් තිබේද?+ 28 යෙහෝවා දෙවි වන මම මෙසේ පවසමි. ‘මම මේ නගරය කල්දිවරුන්ගේ අතටත් බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර්ගේ අතටත් භාර දෙමි. ඔහු එය යටත් කරගන්නේය.+ 29 මේ නගරයට විරුද්ධව යුද්ධ කරන කල්දිවරු පැමිණ එයට ගිනි තබා එය සම්පූර්ණයෙන්ම විනාශ කර දමනු ඇත.+ මාව උදහසට පත් කරන බව දැන දැනත් නිවෙස්වල පිහිටි පැතලි වහල මත බාල් දෙවියාට සුවඳ දුම්ද වෙනත් දෙවිවරුන්ට පාන පූජාද ඔප්පු කළ සෑම නිවසක්ම නගරයත් සමඟම විනාශ වී යනු ඇත.’+
30 “‘ඊශ්‍රායෙල් හා යූදා සෙනඟ ඔවුන්ගේ තරුණ කාලයේ සිටම මා ඉදිරියේ කළේ දුෂ්ට දේවල්මය.+ ඊශ්‍රායෙල් සෙනඟ දේවතා රූප සාදාගෙන මාව උදහසට පත් කරන්නෝය.’+ මෙසේ පවසන මා යෙහෝවා දෙවිය. 31 ‘මේ නගරය ගොඩනැඟූ දා සිට අද දක්වාම මෙහි සිදු වී තිබෙන්නේ මාව උදහසට පත් කරවන දේවල්මය.+ ඒ නිසා මම මේ නගරය විනාශ කර දමන්නෙමි.+ 32 ඊශ්‍රායෙල්+ හා යූදා සෙනඟ+ මා ඉදිරියේ නපුරු දේ කර මාව උදහසට පත් කළෝය.+ යූදා සෙනඟද යෙරුසලමේ වැසියෝද ඔවුන්ගේ රජවරුද+ අධිපතීහුද+ පූජකයෝද+ අනාගතවක්තෘවරුද+ 33 දිගටම මට පිටු පෑවෝය.+ මා හිමිදිරි උදෑසන සිට නොනවත්වා ඔවුන්ට කාරණා ඉගැන්වුවත් ඔවුන්ගෙන් එක් කෙනෙක්වත් මට ඇහුම්කන් දී මා දුන් හික්මවීම් පිළිගත්තේ නැත.+ 34 මාගේ නාමය දරන මාගේ ගෘහයේ පවා ඔවුහු පිළිකුල්සහගත රූප තබා එය අපවිත්‍ර කළෝය.+ 35 යූදා වැසියන්ව පාපයට පොලඹවන පිණිස+ ඔවුහු බාල් දෙවියාට පූජා ඔප්පු කිරීම සඳහා බෙන්හින්නොම් නිම්නයේ+ පූජනීය ස්ථාන ගොඩනැඟුවෝය.+ ඔවුහු තම පුත්‍රයන්ව හා දූවරුන්ව ගින්නෙන් දවා+ මෝලෙක්ට+ පූජා කළෝය. එවැනි පිළිකුල්සහගත දෙයක් කරන්න කියා මම ඔවුන්ට අණ කළේ නැත.+ එවැනි අදහසක්වත් මාගේ සිතට පහළ වුණේ නැත.’+
36 “යුද්ධ, සාගත හා වසංගත නිසා බැබිලෝනියේ රජු යටතට පත් වෙනවායයි ඔබ පැවසූ මේ නගරයේ අනාගතය ගැන ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මෙසේ පවසන්නේය.+ 37 ‘මා මහත් උදහසින් යුක්තව මාගේ සෙනඟව විසුරුවාහරින දේශවලින් මම ඔවුන්ව නැවත එකට එකතු කරගන්නෙමි.+ මම ඔවුන්ව නැවත මේ දේශයට ගෙනැවිත් මෙහි සුරක්ෂිතව ජීවත් වීමට සලස්වන්නෙමි.+ 38 ඔවුන්ව මාගේ සෙනඟ ලෙස පිළිගන්නා අතර+ මම ඔවුන්ගේ දෙවි වන්නෙමි.+ 39 එක්සිත්ව+ එක මඟෙහි ගමන් කිරීමට මම ඔවුන්ට උපකාර කරන්නෙමි. එවිට මට සැමදා ගරුබිය පෙන්වමින් ජීවත් වීමට ඔවුන්ට හැකි වන්නේය. එය ඔවුන්ගෙත් ඔවුන්ගේ දරුවන්ගෙත් යහපතට හේතු වේ.+ 40 සදහටම පවතින ගිවිසුමක් මම ඔවුන් සමඟ ඇති කරගන්නෙමි.+ මම ඔවුන්ව කිසිදා අත්හරින්නේවත් ඔවුන්ට යහපත කිරීමෙන් වළකින්නේවත් නැත.+ ඔවුන් මාව අත්හැර නොයන පිණිස මා කෙරෙහි ගරුබියක් මම ඔවුන් තුළ ඇති කරන්නෙමි.+ 41 ඔවුන් වෙනුවෙන් යහපත් දේවල් කිරීමට මම ඉතා සතුටින් බලා සිටින්නෙමි.+ මම ඔවුන්ව මේ දේශයේ ස්ථිර ලෙස පිහිටුවන්නෙමි.+ මා ඒ දේ කරන්නේ මාගේ මුළු හදවතින්මය.’”
42 “යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. ‘මා සෙනඟ පිටට මේ මහත් විපත්ති සියල්ල ගෙනා ලෙසම මම ඔවුන්ට පොරොන්දු වූ සියලු යහපත් දේවල්ද ලබා දෙන්නෙමි.+ 43 “කිසි මනුෂ්‍යයෙක්වත් ඔවුන්ගේ සතුන්වත් නැතුව මේ දේශය පාළුවට ගිහින්.+ එය දැන් අයිති කල්දිවරුන්ටයි”+ කියා සෙනඟ පවසන මේ දේශයේ නැවත වරක් ඉඩකඩම් මිල දී ගන්නා කාලයක් පැමිණෙන්නේය.’+
44 “‘ජනයා, බෙන්ජමින් දේශයේද+ යෙරුසලම අවට ප්රදේශවලද+ යූදාහි නගරවලද+ කඳුකරයේ පිහිටි නගරවලද පහත් බිම්වල පිහිටි නගරවලද+ දකුණෙහි නගරවලද+ තිබෙන ඉඩම් මිල දී ගෙන, සාක්ෂිකරුවන් ඉදිරියේ+ ඔප්පු සකස් කර ඒවාට මුද්‍රා තබන+ කාලයක් ඉදිරියේදී පැමිණෙන්නේය. මන්ද වහල්භාවයේ සිටින සෙනඟව මම නැවතත් ඔවුන්ගේ දේශයට ගෙනෙන්නෙමි’+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.”