උත්පත්ති
25 ආබ්‍රහම් කෙටූරා නම් වූ ස්ත්‍රිය සමඟ විවාහ+ විය. 2 ඇය ඔහුට දාව සිම්රාන්, යොක්ෂාන්, මේදාන්, මිදියන්,+ ඉෂ්බාක් සහ ෂුවාහ්+ යන පුත්‍රයන් බිහි කළාය.
3 යොක්ෂාන්ට දාව ෂෙබා+ හා දෙදාන්+ බිහි වූහ.
දෙදාන්ගේ පුත්‍රයන් නම් අෂ්ෂුරිම්, ලෙටුෂිම් සහ ලෙයුමිම් යන අයයි.*
4 මිදියන්ගේ පුත්‍රයන් නම් ඒෆා,+ ඒෆෙර්, හනොක්, අබිදා සහ එල්දායා+ යන අයයි.
මොවුන් සියල්ලෝම කෙටූරාගේ පුත්‍රයෝය.
5 ආබ්‍රහම් තමා සතු සියල්ල ඊසාක්ට දුන්නේය.+ 6 නමුත් ඔහු තම උපභාර්යාවන්ගේ පුත්‍රයන්ට තෑගි+ දුන්නේය. ඔහු ජීවත්ව සිටියදීම ඔවුන්ව තම පුත් ඊසාක්ගෙන් වෙන් කර+ නැඟෙනහිර දේශයට+ පිටත් කර යැවීය. 7 ආබ්‍රහම් අවුරුදු එකසිය හැත්තෑපහක් ජීවත් විය. 8 ඔහු මිය යන තුරුම තෘප්තිමත් ජීවිතයක් ගත කළේය. මිය ගිය පසු ඔහුගේ ආදිපියවරුන් මෙන් ඔහුව තැන්පත් කරන ලදි.+ 9 ඔහුගේ පුත්‍රයෝ වූ ඊසාක් සහ ඉෂ්මායෙල් මක්පේලාහි ගුහාවේ ඔහුව තැන්පත් කළෝය. එම ගුහාව තිබුණේ මම්රේට ඉදිරියෙන් පිහිටි හිත්තීවරයෙකු වූ ෂෝහර්ගේ පුත් එෆ්රොන්ගේ ඉඩමේය.+ 10 එය හෙත්ගේ පුත්‍රයන්ගෙන් ආබ්‍රහම් මිල දී ගත් ඉඩමකි. ආබ්රහම්වද ඔහුගේ භාර්යාව වූ සාරාවද තැන්පත් කරනු ලැබුවේ එම ඉඩමෙහිය.+ 11 ආබ්‍රහම් මිය ගිය පසුත් ඔහුගේ පුත් ඊසාක්ට දෙවි දිගටම ආශීර්වාද කළේය.+ ඒ කාලයේදී ඊසාක් ජීවත් වෙමින් සිටියේ බෙයර්-ලහයි-රොයි+ අසල ප්රදේශයකය.
12 හාගර් නම් වූ සාරාගේ ඊජිප්තු ජාතික සේවිකාව ආබ්‍රහම්ට දාව බිහි කළ+ පුත්‍රයා වන ඉෂ්මායෙල්ගේ+ පෙළපත් වාර්තාව මෙයයි.
13 ඉෂ්මායෙල්ගේ පුත්‍රයන්ගේ නම්ද ඒ ඒ නම්වලට අනුව පැවත ආ පවුල්ද මෙසේ විය. ඉෂ්මායෙල්ගේ කුලුඳුල් පුත්‍රයා නෙබායොත්ය.+ ඔහුගේ අනික් පුත්‍රයන් නම් කේදාර්,+ අද්බෙයෙල්, මිබ්සාම්,+ 14 මිෂ්මා, දූමා, මස්සා, 15 හදද්,+ තේමා,+ යෙතූර්, නාෆිෂ් සහ කේදෙමා+ යන අයයි. 16 එක් එක් ගෝත්‍ර භාරව සිටි අධිපතීන් දොළොස්දෙනෙකු වශයෙන් කටයුතු කළ ඉෂ්මායෙල්ගේ පුත්‍රයෝ ඔවුහුය.+ ඔවුන් එක් එක් කෙනාට අයිති වූ ජනපද හා කඳවුරුද+ ඔවුන්ගේ නම්වලින් හඳුන්වන ලදි. 17 ඉෂ්මායෙල් අවුරුදු එකසිය තිස්හතක් ජීවත් වී මිය ගියේය. ඔහුවද තම ආදිපියවරුන් මෙන් තැන්පත් කරන ලදි.+ 18 ඔහුගෙන් පැවත ආ සෙනඟ කූඩාරම් ගසාගෙන සිටියේ ඔවුන්ගේ සහෝදරයන් අසලය.+ ඔවුහු හවිලා+ සිට ඇසිරියාව දක්වා විහිදෙන ප්‍රදේශයේ තැනින් තැන කූඩාරම් ගසාගෙන සිටියෝය. හවිලා තිබෙන්නේ ඊජිප්තුවට යාබදව පිහිටි ෂුර්+ නම් ප්‍රදේශය අසලය.
19 ආබ්‍රහම්ගේ පුත් ඊසාක්ගේ පෙළපත් වාර්තාව මෙයයි.+
ආබ්‍රහම් ඊසාක්ගේ පියා විය. 20 පදන්-ආරම්හි සිරියානු ජාතික+ බෙතුයෙල්ගේ+ දුව මෙන්ම සිරියානු ජාතික ලාබන්ගේ සහෝදරිය වූ රෙබෙකාව විවාහ කරගන්නා විට ඊසාක්ට වයස අවුරුදු හතළිහක් විය. 21 ඊසාක්ගේ බිරිඳ කලක් වඳව+ සිටි නිසා ඔහු ඉතා බැගෑපත්ව ඇය වෙනුවෙන් යෙහෝවා දෙවිගෙන් දිගින් දිගටම අයැදීය.+ ඔහු කළ ඉල්ලීම්වලට යෙහෝවා දෙවි සවන් දුන් නිසා,+ කල් යත්ම ඔහුගේ බිරිඳ වූ රෙබෙකා ගැබ්ගත්තාය. 22 ඇගේ කුසෙහි සිටි පුතුන් දෙදෙනා එකිනෙකා සමඟ පොරබදන්න+ පටන්ගත් බැවින් ඇය මෙසේ කීවාය. “මේ විදිහට දුක් විඳින්න වෙනවා නම් ජීවත් වෙලා වැඩක් තියෙනවාද?” ඉන්පසු ඇය ඒ ගැන යෙහෝවා දෙවිගෙන් විමසුවාය.+ 23 එවිට යෙහෝවා දෙවි ඇයට මෙසේ කීවේය. “ඔබේ කුසේ+ දරුවන් දෙදෙනෙක් සිටින අතර ඔවුන්ගෙන් ජාතීන් දෙකක් බිහි වනු ඇත.+ ඔබේ කුසෙන් බිහි වන ඒ ජාතීන් දෙක එකිනෙකාගෙන් වෙන් වෙයි. එක් ජාතියක් අනිකට වඩා බලවත් වනු ඇත.+ වැඩිමලා බාලයාට සේවය කරයි.”+
24 ගැබිනි කාලය සම්පූර්ණ වූ විට ඇගේ කුසෙන් නිවුන් දරුවෝ බිහි වූහ.+ 25 මුලින්ම බිහි වූ දරුවාව පෙනුණේ ලොම්වලින් සෑදූ වස්ත්‍රයක් ඇඳ සිටින්නාක් මෙනි.+ මන්ද ඔහුගේ ඇඟ පුරාම රත් පැහැයට හුරු රෝම තිබිණ. එබැවින් ඔහුට ඒසව්*+ යන නම තබන ලදි. 26 ඔහුගේ සහෝදරයා ඉපදෙන විට ඔහු ඒසව්ගේ විලුඹ+ අල්ලාගෙන සිටියේය. ඒ නිසා ඔහුට යාකොබ්*+ යන නම තබන ලදි. රෙබෙකා ඔවුන්ව බිහි කළ විට ඊසාක්ට වයස අවුරුදු හැටක් විය.
27 දරුවෝ දෙදෙනා වැඩුණෝය. ඒසව් නිතරම දඩයමේ ගිය දක්ෂ දඩයක්කාරයෙක් විය.+ එහෙත් යාකොබ් ධර්මිෂ්ඨ මිනිසෙකි.+ ඔහු ජීවත් වූයේ කූඩාරම්වලය.+ 28 ඊසාක් ඒසව්ට ආදරය කළේය. මන්ද ඒසව් ඊසාක්ට කන්න දඩමස් ගෙනැවිත් දුන්නේය. නමුත් රෙබෙකා ආදරය කළේ යාකොබ්ටය.+ 29 දවසක් යාකොබ් ධාන්‍ය ව්‍යංජනයක් පිසිමින් සිටියේය. එවිට දඩයමේ ගොස් විඩාවට පත්ව සිටි ඒසව් එතැනට ආවේය. 30 ඒසව් යාකොබ්ට මෙසේ කීවේය. “ඔබ පිසිමින් සිටින රතු පාට ව්‍යංජනයෙන් මට ටිකක් දෙනවාද? ඉක්මන් කරන්න, මට හරි මහන්සියි. ඔය ව්‍යංජනයෙන් ටිකක් දෙන්න.” ඔහුට ඒදොම්*+ යන නම ලැබුණේ මේ සිද්ධිය නිසාය. 31 ඒ අවස්ථාවේදී යාකොබ් ඒසව්ට මෙසේ පැවසීය. “ඊට කලින් ඔබේ කුලුඳුල්කම මට විකුණන්න.”+ 32 එවිට ඒසව්, “මම බඩගින්නේ මැරෙන්න යන වෙලාවේ මට මගේ කුලුඳුල්කමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද” යයි කීවේය. 33 යාකොබ්ද, “මුලින්ම ඔබේ කුලුඳුල්කම මට දෙනවා කියා දිවුරා පොරොන්දු වෙන්න”+ යයි කීවේය. එබැවින් ඒසව් දිවුරමින් කුලුඳුල් පුත්‍රයා වශයෙන් තමාට හිමි වරප්‍රසාද යාකොබ්ට වික්කේය.+ 34 යාකොබ් ඒසව්ට රොටිද ධාන්‍ය ව්‍යංජනයද දුන්නේය. ඔහු කා බී+ අවසන් වූ පසු එතැනින් පිටත්ව ගියේය. මෙසේ, ඒසව් තම කුලුඳුල්කම සුළු කොට තැකුවේය.+