උත්පත්ති
15 එම දේවල් සිදු වූ පසු, යෙහෝවා දෙවි ආබ්රම්ට දර්ශනයකින්+ මෙසේ කීවේය. “ආබ්රම්, භය නොවන්න.+ මම ඔබට පලිහක් මෙන් වන්නෙමි.+ ඔබට බොහෝ ආශීර්වාද ලැබෙන්නේය.”+ 2 එවිට ආබ්රම් මෙසේ කීවේය. “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, මට තවමත් දරුවෙක් නැහැ. ඔබ දෙන ආශීර්වාද උරුම වෙන්නේ කාටද? මගෙන් පසු උරුමක්කරු වෙන්නේ දමස්කයේ එලියේසර්.”+ 3 ආබ්රම් මෙසේද කීවේය. “ඔබ තවමත් මට දරුවෙක්+ දුන්නේ නැහැ. ඒ නිසා මගේ උරුමක්කාරයා වන්නේ මගේ නිවසේ සේවකයෙක්!”+ 4 නමුත් යෙහෝවා දෙවි ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබේ සේවකයා ඔබේ උරුමක්කාරයා නොවන්නේය. ඔබෙන්ම පැවත එන කෙනෙක් ඔබේ උරුමක්කාරයා වන්නේය.”+
5 ඉන්පසු දෙවි ඔහුව කූඩාරමෙන් පිටතට කැඳවා මෙසේ කීවේය. “අහස දෙස බලා තාරකා ගණන් කරන මෙන් මම ඔබෙන් ඉල්ලමි. ඔබට ඒවා ගණන් කළ හැකි නම් එසේ කරන්න.+ ඔබෙන් පැවතෙන අයත් එලෙසම වන්නෝය.”+ 6 ආබ්රම් යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබුවේය.+ ඒ නිසා දෙවි ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ගණන් ගත්තේය.+ 7 දෙවි ආබ්රම්ට මෙසේද කීවේය. “මා යෙහෝවා දෙවිය. ඔබට මේ දේශය උරුමයක් ලෙස දෙන පිණිස ඔබව කල්දිවරුන්ට අයත් ඌර් නම් නගරයෙන් පිටතට ගෙන ආවේ මමය.”+ 8 එවිට ආබ්රම් මෙසේ ඇසුවේය. “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, මේ දේශය උරුම කරගන්න යන බව මම දැනගන්නේ කොහොමද?”+ 9 දෙවි ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. “අවුරුදු තුනක් වයසැති වැස්සියකද අවුරුදු තුනක් වයසැති එළුදෙනකද අවුරුදු තුනක් වයසැති බැටළුවෙකුද කොබෙයියෙකුද පරෙවි පැටවෙකුද මා වෙතට රැගෙන එන්න.”+ 10 ආබ්රම් මේ සියලු සතුන්ව ගෙනැවිත් දෙකට කැපුවේය. ඔහු ඒ එක් එක් සතාගේ කොටස් එකිනෙකට ගැළපෙන සේ පේළියට තැබුවේය. නමුත් කුරුල්ලන්ව ඔහු කොටස්වලට කැපුවේ නැත.+ 11 පක්ෂීහු එම මළ සතුන් මත වහන්න පටන්ගත්තෝය.+ නමුත් ආබ්රම් උන්ව එළවා දැමුවේය.
12 ඉර බැස යෑමට පෙර, ආබ්රම් බර නින්දකට වැටුණේය.+ භයානක වූ මහත් අන්ධකාරයක් ඔහුව වට කරගත් බව ඔහු සිහිනෙන් දුටුවේය. 13 ඉන්පසු දෙවි ආබ්රම්ට මෙසේ කීවේය. “ඔබෙන් පැවත එන්නන් තමන්ට අයිති නැති දේශයක විදේශිකයන් ලෙස ජීවත් වෙයි කියා මම ස්ථිර වශයෙන්ම ඔබට කියමි.+ ඔවුහු එම දේශයේ වැසියන්ට දාසකම් කරන්නෝය. එම වැසියෝ අවුරුදු හාරසියයක් පුරා ඔවුන්ට හිරිහැර කරන්නෝය.+ 14 නමුත් ඒ ජාතිය මම විනිශ්චයට ලක් කරන්නෙමි.+ පසුව දාසකම් කළ ඔබේ සෙනඟ වස්තු සම්භාරයක් ඇතුව එම දේශයෙන් පිටත්ව යන්නෝය.+ 15 එහෙත් ඔබ යහපත් ජීවිතයක් භුක්ති විඳ මහලු වියේදී+ සමාදානයෙන් මිය යනු ඇත. ඔබේ මුතුන්මිත්තන් මෙන් ඔබවද තැන්පත් කරනු ලබයි. 16 එහෙත් හතරවන පරම්පරාවේදී ඔබෙන් පැවතෙන අය නැවත මේ දේශයට පැමිණෙන්නෝය.+ මන්ද අමෝරිවරුන්ගේ පාපතර ක්රියා පහත්ම අඩියට බසින්නේ ඒ වන විටය.”+
17 ඉර බැස ගිය පසු ඝන අන්ධකාරයක් ඇති විය. එවිට දුම් නඟින උදුනක්ද ගිනි පන්දමක්ද ඔහුට පෙනුණේය. ගිනි පන්දම සත්ව කොටස් මැදින් ගියේය.+ 18 ඒ දවසේදී යෙහෝවා දෙවි ආබ්රම් සමඟ ගිවිසුමක්+ ඇති කරගනිමින් මෙසේ කීවේය. “ඊජිප්තු ගඟේ සිට යුප්රටීස් නම් මහ ගඟ+ දක්වා විහිදෙන මේ දේශය මම ඔබෙන් පැවතෙන්නන්ට දෙන්නෙමි.+ 19 කේනිවරුන්,+ කෙනිෂ්ෂිවරුන්, කද්මොනිවරුන්, 20 හිත්තීවරුන්,+ පෙරිස්සිවරුන්,+ රෙෆායිවරුන්,+ 21 අමෝරිවරුන්, කානානිවරුන්, ගිර්ගාෂිවරුන් හා යෙබූසිවරුන් ජීවත් වන ඒ මුළු දේශයම මම ඔවුන්ට යටත් කර දෙමි.”+