එසකියෙල්
22 යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය. 2 “මනුෂ්‍ය පුත්‍රය, ලේ වගුරුවනු ලැබූ මෙම නුවර+ විනිශ්චය කරන්න ඔබ සූදානම්ද?+ ඇයව විනිශ්චය කරන්න! ඇය සිදු කළ සියලුම පිළිකුල්සහගත දේවල් ගැන ඇයට දැනුම් දෙන්න.+ 3 ඔබ මෙසේ පැවසිය යුතුයි. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ලේ වගුරුවන නුවර,+ විනිශ්චය පැමිණෙන තෙක්ම ඔබ ලේ වගුරුවන්නෙහිය.+ ඔබේ වැසියන් නුවර මධ්‍යයෙහිම ලේ වගුරුවමින් පිළිකුල්සහගත රූප තනා අපවිත්‍ර වී ඇත.+ 4 ඔබ වැගිරවූ ලේවලට ඔබ වග කිව යුතුය.+ ඔබ තැනූ පිළිකුල්සහගත රූප නිසා ඔබ අපවිත්‍ර වී සිටින්නෙහිය.+ ඔබට තව ඉතුරුව ඇත්තේ ඉතා කෙටි කාලයකි. ඔබව විනිශ්චය කිරීම සඳහා කාලය පැමිණෙනු ඇත. එහෙයින් මම ජාතීන් ඉදිරියේ ඔබව නින්දාවට පත් කරන්නෙමි. සියලු දේශයන්හි වෙසෙන ජනයා ඔබව සමච්චලයට ලක් කරනු ඇත.+ 5 ඔබ මහත් සේ වියවුලට පත්ව සිටින්නෙහිය. ඔබේ නාමය කෙලෙසී ඇත. එබැවින් ළඟපාත හා දුර ඈත සිටින සියලු දේශවල වැසියන් ඔබව සමච්චලයට ලක් කරනු ඇත.+ 6 ඊශ්‍රායෙල් දේශයේ අධිපතීන්+ නුවර මැද හැසිරෙන ආකාරය දෙස බලන්න. අනුන්ගේ ලේ වගුරුවන පිණිස ඔවුහු තමන් සතු බලය* අතකොළුවක් කරගෙන සිටිති.+ 7 ඔවුහු තම පියාටත් මවටත් අවමන් කර ඇත.+ ඔවුන් ඔබ තුළ වාසය කරන විදේශිකයන්ට වංචා කර ඇත.+ පියා නැති දරුවන්ට හා වැන්දඹුවන්ට ඔවුහු හිරිහැර කළෝය.”’”+
8 “‘ඔබ මාගේ ශුද්ධස්ථාන හෙළාදකින්නෙහිය. මා නියම කළ සබත් දවස් කඩ කර මට අගෞරව කරන්නෙහිය.+ 9 අන්‍යයන්ට නින්දා අපහාස කරමින් ලේ වැගිරවීමට මාන බලන අය+ ඔබේ වැසියන් අතර සිටිති. ඔවුහු කඳුවල තබා ඇති රූපවලට පිදූ දේ අනුභව කරති.+ ඔබේ ඇස් ඉදිරියෙහිම ඔවුහු ඉතා නින්දිතව හැසිරෙන්නෝය.+ 10 ඔවුන් අශික්ෂිත දේ කරමින් තම පියාට මහත් නින්දාවක් ගෙන දී ඇත.*+ ඔවුන් ස්ත්‍රියකගේ ඔසප් කාලයේදී ඇයට බලහත්කාරකම් කර ඇයව නින්දාවට පත් කර ඇත.+ 11 ඇතමෙක් තම මිතුරාගේ බිරිඳ සමඟ අනාචාරයේ යෙදී ඇත.+ තවත් සමහරෙක් තමාගේම ලේලිව කෙලෙසමින් ඇය සමඟ නින්දිත ලෙස හැසිර ඇත.+ එමෙන්ම තවත් අයෙක් තම පියාගේ දියණියට එනම්, තමාගේම සහෝදරියට පවා බලහත්කාරකම් කර ඇයව නින්දාවට පත් කළේය.+ 12 ඔබ ලේ වගුරුවන පිණිස අල්ලස් ගෙන ඇත.+ ඔබ පොලී අය කරන්නෙහිය.*+ අයුතු ලෙස අන්‍යයන්ගෙන් ලාභ උපයාගන්නෙහිය.+ ඔබ බලපුළුවන්කාරකම් පෙන්වමින්+ ඔබේ ආශ්‍රිතයන්ට අයිති දේ වංචනික ලෙස පැහැරගන්නෙහිය.+ ඔබට මාව සම්පූර්ණයෙන්ම අමතක වී ඇත.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.
13 “‘ඔබ අයුතු ලෙස ලාභ උපයාගත් නිසාත්+ ඔබ ලේ වැගිරවූ නිසාත්+ මම කෝපයෙන් මගේ අත්ලට ගසාගත්තෙමි.+ 14 මා ඔබට විරුද්ධව පියවර ගන්නා විට එය දරාගැනීමට ඔබට හැකි වෙයිද?+ ඊට නොබියව මුහුණ දීමට ඔබට හැකි වෙයිද?+ මේ සියල්ල පවසන්නේ යෙහෝවා දෙවි වන මමය. මම අනිවාර්යයෙන්ම ඔබට විරුද්ධව පියවර ගන්නෙමි.+ 15 මම ඔබව ජාතීන් අතරට පලවාහැර දේශයන් අතරේ සීසීකඩ විසුරුවන්නෙමි.+ ඔබ අතරේ සිදු වන සියලු අපවිත්‍රකම් සහමුලින්ම ඉවත් කරන්නෙමි.+ 16 වෙනත් ජාතීන්ගේ ඇස් පනාපිටම ඔබව කෙලෙසනු ඇත. එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වෙනවා ඇත.’”+
17 යෙහෝවා දෙවි මට නැවතත් කතා කර මෙසේද පැවසුවේය. 18 “මනුෂ්‍ය පුත්‍රය, ඊශ්‍රායෙල් දේශයේ වැසියන් ලෝහවලින් ඉවත් කරගත් බොර මෙනි.+ එමෙන්ම ඔවුන් සියල්ලන්ම උදුනක දැවෙන තඹ, බෙලෙක්, යකඩ සහ ඊයම් වැනිය. ඔවුහු රිදීවලින් ඉවත් කරගත් බොර හා සමාන තත්වයකට පත් වී ඇත.+
19 “එබැවින් විශ්වයේ පාලකයාණන් වූ යෙහෝවා දෙවි වන මා පවසන මේ දේට සවන් දෙන්න. ‘ඔබ සියලුදෙනාම ලෝහවලින් ඉවත් කරගත් බොර හා සමාන තත්වයකට පත්ව සිටින බැවින්+ මම ඔබව එක් රැස් කර යෙරුසලම මැදට ගෙනෙන්නෙමි.+ 20 රිදී, තඹ, යකඩ,+ ඊයම් හා බෙලෙක් උදුනකට දමා එහි ගින්නට පිඹ+ එම ලෝහ උණු කරගන්නාක් මෙන්+ උදහස්ව සිටින මමද ඔවුන්ව එකතු කර ඔවුන්ට විරුද්ධව ගින්නක් අවුළුවන්නෙමි. 21 ඔබව රැස් කර මාගේ උදහස නමැති ගින්න ඔබට විරුද්ධව අවුළුවන්නෙමි.+ ඔබ නුවර ඇතුළෙහි දිය වී යන ලෝහ මෙන් වන්නහුය.+ 22 එසේය, ඔබ නුවර මැද උදුනක දිය වී යන රිදී මෙන් වන්නහුය. එවිට යෙහෝවා දෙවි වන මා ඔබ මතට මාගේ උදහස වගුරුවා ඇති බව ඔබට පිළිගන්න සිදු වෙනවා ඇත.’”+
23 යෙහෝවා දෙවි මට මේ දේද කීවේය. 24 “මනුෂ්‍ය පුත්‍රය, ඔබ ගොස් දේශයට මෙසේ පවසන්න. ‘ඔබ අපවිත්‍ර දේශයකි. දෙවිගේ කෝපය ප්‍රකාශ වන දවසේදී+ ඔබට වැසි නොලැබෙනු ඇත. 25 ඔබේ අනාගතවක්තෘවරු නුවර ඇතුළෙහිම කුමන්ත්‍රණය කරති.+ ඔවුන් ගොදුරු ඉරා දමන ගොරවන සිංහයන් වැනිය.+ ඔවුහු මිනිස් ජීවිත ගිල දමති.+ වස්තු සම්පත්ද පැහැරගනිති.+ ඔවුන් නිසා නුවරේ සිටින වැන්දඹුවන්ගේ සංඛ්‍යාව වැඩි වී ඇත.+ 26 දේශයේ පූජකයන් මාගේ නීතිය බොහෝ සෙයින් උල්ලංගනය කර ඇත.+ මාගේ ශුද්ධස්ථානද ඔවුහු දිගින් දිගටම කෙලෙසති.+ ශුද්ධ දේ හා පොදු දේ අතර ඇති වෙනස ගැන+ ඔවුන්ට කිසි තැකීමක් නැත.+ පවිත්‍ර හා අපවිත්‍ර දේ අතර ඇති වෙනසද ඔවුහු ජනයාට අවබෝධ කර දී නැත.+ ඔවුහු මාගේ සබත් දවස්ද නොසලකාහරිති.+ ඔවුන් මාව නින්දාවට පත් කර ඇත.+ 27 ලේ වගුරුවන ඔවුන්ගේ අධිපතීන් ගොදුරු ඉරා දමන වෘකයන් වැනිය.+ ඔවුහු අයුතු ලෙස මුදල් ඉපයීමට මිනී මරති.+ 28 එහෙත් බිත්තියක හුණු ගාන්නාක් මෙන් දේශයේ අනාගතවක්තෘවරු ඔවුන්ගේ වැරදි වසා දමති.+ ඔවුහු බොරු දර්ශන දකිති.+ බොරු අනාවැකි කියති.+ යෙහෝවා දෙවි වන මා ඔවුන්ට කිසිවක් නොපැවසුවද, “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි” කියා ඔවුහු ජනයාට කියති. 29 දේශයේ ජනතාව බලහත්කාරයෙන් දේවල් පැහැරගනිති.+ ඔවුහු කොල්ල කමින්,+ අසරණ දුගී අයට පීඩා කරති.+ විදේශිකයන්ට යුක්තිය ඉටු නොකර ඔවුන්ට වංචා කරති.’+
30 “‘පවුර අලුත්වැඩියා කිරීමටත් එහි කැඩී බිඳී ගිය තැන්වල සිට මුර කිරීමටත්+ මම මිනිසෙකුව සෙව්වෙමි.+ එසේ කළේ දේශය විනාශ නොකිරීමට හේතුවක් සෙවීම සඳහාය.+ එහෙත් මට කිසිවෙකු සොයාගත නොහැකි විය. 31 එබැවින් මාගේ උදහස ඔවුන් පිට වගුරුවන්නෙමි.+ මාගේ කෝපය නමැති ගින්නෙන් ඔවුන්ව සහමුලින්ම දවා දමන්නෙමි.+ ඔවුන්ගේ ක්‍රියාවල ප්‍රතිඵල විඳින්න ඔවුන්ට සිදු වනු ඇත.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.”