ද්විතීය කතාව
25 “මිනිසුන් දෙදෙනෙකු අතර යම් ආරවුලක් ඇති වුණොත්+ එය විසඳාගැනීමට ඔවුන් විනිශ්චයකරුවන් ඉදිරියට පැමිණිය යුතුයි.+ ඒ විනිශ්චයකරුවන් ධර්මිෂ්ඨයා හා දුෂ්ටයා කවුද කියා පැහැදිලිව හඳුනාගෙන නිවැරදි තීන්දුවක් දිය යුතුයි.+ 2 වරදකරුව හඳුනාගත් පසු දඬුවමක් ලෙස ඔහුට පහර දීමට තීන්දු කර ඇත්නම්+ ඔහුව බිම දිගා කර, වරදේ බරපතළකම හැටියට ඔහුට ගැසිය යුතුයි.+ එය සිදු විය යුත්තේ විනිශ්චයකරුගේ අධීක්ෂණය යටතෙයි. 3 නමුත් ඔහුට පහරවල් හතළිහකට වඩා ගැසීමට අවසර නැහැ. ඔබේ සහෝදරයෙක් වූ ඔහුට ඊට වැඩියෙන් පහර දුන්නොත්+ සියලුදෙනා ඉදිරියේ ඔහු නින්දාවට පත් වෙයි.
4 “ගවයෙක් කමතේ කරල් පාගන විට උගේ කට බඳින්න එපා.+
5 “සහෝදරයන් කිහිපදෙනෙකු සිටින පවුලක එක් සහෝදරයෙක් විවාහ වූ පසු දරුවන් නොමැතිව ඔහු මිය ගියායයි සිතන්න. එවැනි අවස්ථාවක ඔහුගේ බිරිඳව වෙනත් පවුලක කෙනෙකුට විවාහ කර නොදිය යුතුයි. ඒ වෙනුවට ඔහුගේ සහෝදරයෙක් මස්සිනාගේ යුතුකම් ඉටු කරමින් ඇයව විවාහ කරගත යුතුයි.+ 6 එසේ විවාහ වූ පසු ඇය බිහි කරන කුලුඳුල් පුත්‍රයාට මිය ගිය සහෝදරයාගේ නම ලබා දිය යුතුයි.+ එවිට ඒ මිය ගිය තැනැත්තාගේ පෙළපත ඊශ්‍රායෙල් දේශයෙන් නැති වී නොයයි.+
7 “නමුත් ඔහු තම මිය ගිය සහෝදරයාගේ බිරිඳව විවාහ කරගැනීමට අකමැති නම් ඒ වැන්දඹුව නුවරේ දොරටු අසල රැස්ව සිටින වැඩිමහල්ලන් ළඟට ගොස්+ මෙසේ පැවසිය යුතුයි. ‘මගේ සැමියා මිය ගිහින්. නමුත් ඔහුගේ සහෝදරයා කැමති නැහැ මාව විවාහ කරගන්න. මගේ සැමියාගේ පෙළපත ඊශ්‍රායෙල් දේශයෙන් නැති වෙයි කියා දැන දැනත් ඔහු මස්සිනාගේ යුතුකම් ඉටු කරන්න කැමති නැහැ.’ 8 එවිට නුවරේ වැඩිමහල්ලන් ඔහුව කැඳවා ඔහුගෙන් ඒ ගැන ඇසිය යුතුයි. ‘ඇයව විවාහ කරගන්න මගේ කැමැත්තක් නැහැ’+ කියා ඔහු පැවසුවොත් කළ යුත්තේ මෙයයි. 9 ඔහුගේ සහෝදරයාගේ බිරිඳ ඔහුගේ පාදයෙන් පාවහනක් ගලවා+ ඔහුගේ මුහුණට කෙළ ගසා,+ ‘සහෝදරයාගේ පවුල ගැන තැකීමක් නැති කෙනෙකුට සැලකිය යුත්තේ මෙහෙමයි’+ කියා නුවරේ වැඩිමහල්ලන් ඉදිරියේ පැවසිය යුතුයි. 10 එතැන් පටන් ඔහුගේ පෙළපත ඊශ්‍රායෙල් දේශයේ ‘පාවහනක් ගලවනු ලැබූ තැනැත්තාගේ පෙළපත’ ලෙස හැඳින්විය යුතුයි.
11 “පුරුෂයන් දෙදෙනෙක් අතර දබරයක් ඇති වී ඔවුන් පොර අල්ලන විට එක් කෙනෙකුගේ භාර්යාව තම පුරුෂයාට උපකාර කිරීමේ අදහසින් අනික් තැනැත්තාගේ ලිංගේන්ද්‍රියෙන් අල්ලාගත්තොත්+ 12 ඊට දඬුවමක් වශයෙන් ඇගේ අත කපා ඉවත් කරන්න. ඇයට කිසි අනුකම්පාවක් පෙන්වන්න එපා.+
13 “ඔබේ මල්ලේ නියම බර ඇති මිනුම් පඩියකුත් අඩු බර ඇති මිනුම් පඩියකුත් තබාගන්න එපා.+ 14 ඔබේ නිවසේ නියම ඒපා මිනුමක්*+ සහ හොර ඒපා මිනුමක් තබාගන්න එපා. 15 ඔබේ මිනුම් පඩි සියල්ල නිවැරදි විය යුතුයි. ඔබේ ඒපා මිනුමද නිවැරදි එකක් විය යුතුයි. ඔබ එසේ කළොත් යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශයේ බොහෝ කාලයක් පුරා ජීවත් වෙන්න ඔබට හැකි වෙයි.+ 16 එවැනි වංචනික දේවල් කරන තැනැත්තන්ව යෙහෝවා දෙවි පිළිකුල් කරයි.+
17 “ඔබ ඊජිප්තුවෙන් නිදහස් වී ගමන් කරමින් සිටි විට අමලෙක්වරුන් ඔබට කළ දේ හොඳින් මතක තබාගන්න.+ 18 ගමන් විඩාව නිසා ඔබ අතරේ බොහෝදෙනෙක් සිටියේ හොඳටම හෙම්බත් වෙලයි. නමුත් දෙවිට කිසිම ගරුබියක්+ නොදැක්වූ අමලෙක්වරුන්, හෙම්බත් වී පිටුපසින්ම ගමන් කළ අයට පහර දුන්නා. 19 ඒ නිසා ඔබ අමලෙක්වරුන් කියන ජාතිය සම්පූර්ණයෙන්ම නැති කර දැමිය යුතුයි.+ ඔබ එසේ කළ යුත්තේ යෙහෝවා දෙවි ඔබට උරුම කර දෙන දේශයට ගොස් එහි පදිංචි වී කිසිම සතුරෙකුගෙන් හිරිහැරයක් නොවිඳිමින් සමාදානයෙන් ජීවත් වන කාලයේදීයි.+ යෙහෝවා දෙවිගේ ආශීර්වාද ලබන ඒ කාලයේදී අමලෙක්වරුන්ට කළ යුතු දේ අමතක කරන්න එපා.