ලෙවී කතාව
19 යෙහෝවා දෙවි මෝසෙස්ට තවදුරටත් මෙසේ කීවේය. 2 “මුළු ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘මා ඔබේ දෙවි වන යෙහෝවාය. මා ශුද්ධව සිටින නිසා+ ඔබද ශුද්ධව සිටිය යුතුයි.+
3 “‘ඔබ සියලුදෙනාම තම තමාගේ පියාටද මවටද ගෞරවයෙන් සලකන්න.+ මා නියම කළ සබත් දිනයන් පවත්වන්න.+ මා ඔබේ දෙවි වන යෙහෝවාය. 4 වැදගැම්මකට නැති දෙවිවරුන්ට නමස්කාර නොකරන්න.+ දේවතා රූප සාදා නොගන්න.+ මා ඔබේ දෙවි වන යෙහෝවාය.
5 “‘ඔබ යෙහෝවා දෙවි වන මට හවුල් පූජාවක්+ ඔප්පු කරනවා නම් මගේ අනුමැතිය ලබාගැනීමට හැකි වන අයුරින් එය ඔප්පු කරන්න.+ 6 පූජාව ඔප්පු කරන දවසේදී හා ඊට පසුවදා එයින් අනුභව කළ යුතුයි. නමුත් තුන්වන දවස දක්වා පූජාවෙන් යමක් ඉතුරු වුණොත් එය ගින්නෙන් පුලුස්සා දමන්න.+ 7 තුන්වන දවසේදී එම පූජාවෙන් ඉතුරු වන දේ අනුභව කළොත් එය ඉතා පිළිකුල් දෙයකි.+ දෙවි එම පූජාව සතුටින් පිළිගන්නේ නැත.+ 8 එයින් අනුභව කරන තැනැත්තා යෙහෝවා දෙවිගේ ශුද්ධ දේ කෙලෙසූ නිසා ඔහු තම වරදට ගණන් දිය යුතුයි.+ එම තැනැත්තාව මරා දැමිය යුතුයි.
9 “‘ඔබ දේශයේ අස්වැන්න නෙළන විට කෙත්වල මායිම් දක්වාම අස්වැන්න නෙළීමෙන් වළකින්න. අස්වැන්න නෙළූ පසු කෙතේ අතහැරුණු කරල් එකතු නොකරන්න.+ 10 එමෙන්ම ඔබ මිදිපල නෙළන විට අතහැරුණු පල නැවත නෙළා නොගන්න.+ තැනින් තැන වැටුණු පලද එකතු නොකරන්න. පීඩාවට පත්ව සිටින තැනැත්තාටද විදේශිකයාටද ඒවා ඉතුරු කළ යුතුයි.+ මා ඔබේ දෙවි වන යෙහෝවාය.
11 “‘ඔබ සොරකම් නොකළ යුතුයි.+ එකිනෙකාව රැවටීමෙන්ද+ එකිනෙකාට වංචා කිරීමෙන්ද වැළකී සිටිය යුතුයි.+ 12 ඔබ මගේ නාමයෙන් දිවුරා බොරු නොකිව යුතුයි.+ එසේ කළොත් ඔබේ දෙවිගේ නාමයට ඔබ අපහාස කරන්නහුය. මා යෙහෝවා දෙවිය. 13 ඔබේ ආශ්‍රිතයාට වංචාවක් නොකරන්න.+ ඔහුගේ දේ කොල්ල කෑමෙන් වළකින්න.+ කුලීකරුවෙකුගේ දවසේ වැටුප පසුවදා උදෑසන වන තෙක් ඔබ ළඟ තබා නොගන්න.+
14 “‘ඔබ බිහිරි කෙනෙකුට ශාප නොකළ යුතුයි. අන්ධ මිනිසෙකු ඉදිරියේ බාධකයක් නොතැබිය යුතුයි.+ මා යෙහෝවා දෙවිය. ඔබ ඔබේ දෙවිට ගරුබිය+ දැක්විය යුතුයි.
15 “‘නඩු විභාගයකදී ඔබ අසාධාරණ ලෙස විනිශ්චය නොකළ යුතුයි. දුප්පතාට අනවශ්‍ය සැලකිල්ලක් දැක්වීමෙන්+ හෝ ධනවතාට අනිසි අනුග්‍රහයක්+ දැක්වීමෙන් හෝ වළකින්න. ඔබ විනිශ්චය කරද්දී එකිනෙකාට යුක්තිය ඉටු කළ යුතුයි.
16 “‘ඔබ තැනින් තැන ගොස් ඔබේ ආශ්‍රිතයා ගැන අපහාසාත්මක ලෙස කතා නොකරන්න.+ ඔබේ ආශ්‍රිතයාගේ ජීවිතය නැති කර දැමීමට කුමන්ත්‍රණය නොකරන්න.+ මා යෙහෝවා දෙවිය.
17 “‘ඔබේ සිතින් ඔබේ සහෝදරයාට වෛර නොකරන්න.+ ඔබේ ආශ්‍රිතයා වරදක් කළොත් ඔහුගේ පාපයට ඔබද හවුල් නොවන පිණිස ඔහුට අවවාද කළ යුතුයි.+
18 “‘පළි නොගන්න.+ ඔබේ සහෝදරයා සමඟ අමනාප වී නොසිටින්න.+ ඔබට මෙන් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න.+ මා යෙහෝවා දෙවිය.
19 “‘ඔබ මගේ පනත්වලට කීකරු විය යුතුයි. වර්ග දෙකකට අයත් සතුන් දෙදෙනෙකුට සංසර්ගයේ යෙදීමට ඉඩ නොදෙන්න. ඔබේ කෙත්වල බීජ වර්ග දෙකක් එකට නොවපුරන්න.+ ඔබේ ඇඳුම් මැසීමට නූල් වර්ග දෙකකින් වියන ලද රෙද්දක් භාවිත නොකරන්න.+
20 “‘වෙනත් පුරුෂයෙකුට දීමට පොරොන්දු වූ දාසියක මුදවාගැනීමට පෙර හෝ නිදහස් කිරීමට පෙර හෝ ඇගේ අයිතිකරු ඇය සමඟ සයනය කළොත් ඔහු එම වරදට දඬුවම් ලැබිය යුතුයි. නමුත් ඔවුන් දෙදෙනාව නොමැරිය යුතුයි. මන්ද ඒ අවස්ථාවේදී ඇය නිදහස් වී සිටියේ නැත. 21 ඇගේ අයිතිකරු යෙහෝවා දෙවි වන මට වන්දි පූජාවක් ඔප්පු කළ යුතුයි. පූජාව සඳහා බැටළුවෙකුව සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානයට ගෙනා යුතුයි.+ 22 එම තැනැත්තා කළ පාපයට යෙහෝවා දෙවි වන මගෙන් සමාව ලබාගන්නා පිණිස වන්දි පූජාව සඳහා ගෙනා බැටළුවාව පූජකයා ඔප්පු කළ යුතුයි. එවිට එම තැනැත්තා කළ පාපයට ඔහුට සමාව ලැබෙයි.+
23 “‘ඔබ දේශයට පැමිණි පසු කෑමට ගත හැකි පල දරන ගසක් සිටෙව්වොත් පළමුවෙනි අවුරුදු තුනේදී එහි පල අපවිත්‍ර ලෙස සැලකිය යුතුයි. අචර්මච්ඡේදිත පුද්ගලයෙකු අපවිත්‍රයයි සලකන්නාක් මෙන් ඔබ එම පලද අපවිත්‍රයයි සැලකිය යුතුයි. එබැවින් ඒවා නොකෑ යුතුයි. 24 නමුත් හතරවන අවුරුද්දේදී එහි පල+ ශුද්ධයයි සලකමින් යෙහෝවා දෙවි වන මට කැප කළ යුතුයි. උත්සවයක් පවත්වා මහත් සේ ප්‍රීති වෙමින් එම පල දෙවිට ඔප්පු කළ යුතුයි.+ 25 පස්වෙනි අවුරුද්දේදී ඔබට එහි පල කන්න පුළුවන. ඉන්පසු එම ගස බොහෝ පල දරනු ඇත.+ මා ඔබේ දෙවි වන යෙහෝවාය.
26 “‘කිසි ලෙසකින්වත් ඔබ කන කෑමට ලේ මිශ්‍ර නොවිය යුතුයි.+
“‘ඔබ නැකත් බැලීමෙන්ද+ මන්තර ගුරුකම් කිරීමෙන්ද+ වැළකී සිටිය යුතුයි.
27 “‘ඔබ කම්මුල් දෙපස තිබෙන රැවුල කොටට නොකැපිය යුතුයි. ඔබේ රැවුල* විකෘති ලෙස කපා නොගන්න.+
28 “‘මළ අය වෙනුවෙන් ඔබේ ශරීරය කපා නොගන්න.+ ඔබේ ශරීරයේ පච්ච කොටා නොගන්න. මා යෙහෝවා දෙවිය.
29 “‘ඔබේ දුවව ගණිකාවක ලෙස නොදෙන්න.+ ඔබ එසේ කළොත් ඇය නින්දාවට පත් වන්නීය. එමෙන්ම දේශය පුරාම වේශ්‍යාකම් කිරීම ප්‍රචලිත වී දේශය දූෂිත තත්වයකට පත් වනු ඇත.+
30 “‘ඔබ මා නියම කළ සබත් දිනයන් පැවැත්විය යුතුයි.+ මගේ ශුද්ධස්ථානයට ඔබ ගරුබිය දැක්විය යුතුයි.+ මා යෙහෝවා දෙවිය.
31 “‘මායාකාරයන්ගෙන්+ හෝ ශාස්ත්‍ර කියන්නන්ගෙන්+ හෝ උපකාර නොපතන්න. එසේ කළොත් ඔබ අපවිත්‍ර වනු ඇත. මා ඔබේ දෙවි වන යෙහෝවාය.
32 “‘පැසුණු හිසකෙස් ඇති කෙනෙකු ඉදිරියේ නැඟිට සිටින්න.+ මහලු තැනැත්තෙකුට ඔබ ගෞරවයෙන් සැලකිය යුතුයි.+ ඔබ ඔබේ දෙවිට ගරුබිය දැක්විය යුතුයි.+ මා යෙහෝවා දෙවිය.
33 “‘ඔබ සමඟ විදේශිකයෙකු ජීවත් වන්නේ නම් ඔහුට අයුතු ලෙස නොසලකන්න.+ 34 ඔබ සමඟ ජීවත් වන විදේශිකයාට ඔබ සැලකිය යුත්තේ ඔබේම ජාතියේ කෙනෙකුට මෙනි. ඔබ ඔබට මෙන් ඔහුටත් ප්‍රේම කළ යුතුයි.+ මන්ද ඔබද ඊජිප්තු දේශයේ විදේශිකයන් ලෙස ජීවත් වූහ.+ මා ඔබේ දෙවි වන යෙහෝවාය.
35 “‘ඔබ විනිශ්චය කරන විට+ හෝ දිග පළල මනින විට හෝ බර කිරන විට+ හෝ දියර මනින විට හෝ වංක ලෙස ක්‍රියා නොකළ යුතුයි. 36 ඔබ හොර තරාදි+ හෝ හොර පඩි හෝ භාවිත නොකළ යුතුයි. වියළි ද්‍රව්‍ය සහ දියර මැනීම සඳහා නිවැරදි මිමි* භාවිත කරන්න. මා ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා ඔබේ දෙවි වන යෙහෝවාය. 37 එබැවින් ඔබ මගේ සියලු පනත්වලටද තීන්දුවලටද කීකරු වී ඒවා අනුව ජීවත් විය යුතුයි.+ මා යෙහෝවා දෙවිය.’”