1 ලේකම්
11 කල් යත්ම සියලුම ඊශ්‍රායෙල්වරු+ එකට එකතු වී හෙබ්‍රොන්හි+ සිටි දාවිත්ව මුණගැසී මෙසේ පැවසූහ. “අපි හැමෝම සහෝදරයන්.+ 2 සෑහෙන කාලයක ඉඳන් ඊශ්‍රායෙල් හමුදාවේ පෙරමුණ ගෙන කටයුතු කළේ ඔබයි.+ සාවුල් අපේ රජ වී සිටිය කාලේ පවා පෙරමුණ ගත්තේ ඔබයි. ඒ වගේම යෙහෝවා දෙවි ඔබට මෙසේ පැවසුවා. ‘මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල් ජාතිය රැකබලා ගැනීමට+ මම පත් කරන්නේ ඔබවයි. මම ඔබව අනිවාර්යයෙන්ම ඊශ්‍රායෙල්හි නායකයා+ ලෙස පත් කරන්නෙමි.’” 3 පසුව ඊශ්‍රායෙල්හි සියලුම වැඩිමහල්ලෝද දාවිත් වෙතට ආවෝය. දාවිත්, යෙහෝවා දෙවි ඉදිරියේ ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගත්තේය. ඉන්පසු යෙහෝවා දෙවි සාමුවෙල් මාර්ගයෙන් දී තිබුණු+ මඟ පෙන්වීම්වලට අනුව+ ඔවුහු දාවිත්ව මුළු ඊශ්‍රායෙල් දේශයේ රජු ලෙස අභිෂේක කළෝය.+
4 ඉන්පසු දාවිත් රජ හා මුළු ඊශ්‍රායෙල් සෙනඟ යෙරුසලමට ගියෝය.+ එහි යෙබූසිවරුන්+ වාසය කළ නිසා කලින් එම නගරය හැඳින්වූයේ යෙබූස+ යන නමිනි. 5 එවිට යෙබූසිවරු, “ඔබට අපේ නුවරට එන්න අවසර නැහැ”+ කියා දාවිත්ට පැවසුවෝය. එහෙත් දාවිත් රජ සියොන්+ නම් බලකොටුව අල්ලාගත්තේය. පසුව එය දාවිත්ගේ නුවර+ ලෙස හඳුන්වන ලදි. 6 දාවිත් රජ තමා සමඟ සිටි අයව අමතමින්, “මුලින්ම යෙබූසිවරුන්ට පහර දෙන තැනැත්තාව+ මම ප්‍රධානියෙක් හා අධිපතියෙක් ලෙස පත් කරනවා” කියා පැවසීය. ෂෙරුයියාගේ පුත් යෝවාබ්+ මුලින්ම යෙබූසිවරුන්ට පහර දුන් නිසා ඔහුව ප්‍රධානියෙකු ලෙස පත් කරන ලදි. 7 එතැන් සිට දාවිත් රජු වාසය කළේ ඇතුල් වීමට ඉතා දුෂ්කර වූ එම නුවරෙහිය.+ පසුව එය දාවිත්ගේ නුවර ලෙස හඳුන්වනු ලැබීය.+ 8 දාවිත් රජ නුවරේ සීමා වටා හා නුවර තුළ බොහෝ දේවල් ඉදි කළේය. නමුත් නුවරේ තිබූ ඉතුරු ගොඩනැඟිලි අලුත්වැඩියා කළේ+ යෝවාබ් විසින්ය. 9 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ උපකාරය දාවිත්ට තිබුණු නිසා+ ඔහු තව තවත් බලවත් විය.+
10 දාවිත් රජු යටතේ සේවය කළ එඩිතර මිනිසුන්ව+ අධීක්ෂණය කිරීමට ප්‍රධානීන්ව පත් කර තිබිණ. දාවිත්ව ඊශ්‍රායෙල් දේශයේම රජු බවට පත් කිරීම සඳහා ඔවුහු මුළු ඊශ්‍රායෙල් ජාතිය සමඟ එක්ව දාවිත්ට සහයෝගය දැක්වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස ඊශ්‍රායෙල් දේශය ගැන යෙහෝවා දෙවි පවසා තිබූ දේ+ ඉටු විය. 11 දාවිත් රජු යටතේ සේවය කළ එඩිතර මිනිසුන්ගේ විස්තර මෙසේය. මුලින්ම සඳහන් වන්නේ ඔවුන් අතරින් එඩිතරම තුන්දෙනාගේ ප්‍රධානියා වූ හක්මෝනිගෙන් පැවතෙන යෂොබෙයාම්+ ගැනය. ඔහු එක් අවස්ථාවකදී ඔහුගේ හෙල්ලයෙන් තුන්සියදෙනෙකුව මරා දැමීය.+ 12 ඊළඟට සඳහන් වන්නේ අහෝහිගෙන්+ පැවතෙන දෝදෝගේ පුත් එලියාසර්+ ගැනය. ඔහුද එඩිතරම තුන්දෙනාගෙන් කෙනෙකි.+ 13 පිලිස්තිවරුන් යුද්ධයක් සඳහා පාස්-දම්මිම්+ නම් ස්ථානයේ රැස් වූ විට දාවිත් සමඟ සිටියේ ඔහුය. එම ස්ථානයේ බාර්ලි වගා කර තිබුණේය. එහි ජීවත් වූ සෙනඟ පිලිස්තිවරුන්ට භය වී එතැනින් පලා ගොස් තිබිණ.+ 14 එහෙත් ඔහු එතැනට ගොස් පිලිස්තිවරුන්ට දිගටම පහර දී එම ප්‍රදේශය බේරාගත්තේය. ඔහු ලවා එම ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය+ අත් කර දුන්නේ යෙහෝවා දෙවිය.+
15 ප්‍රධානීන් ලෙස කටයුතු කළ මිනිසුන් තිස්දෙනාගෙන් තුන්දෙනෙක්+ අදුල්ලාම්හි ගුහාවේ+ සැඟවී සිටි දාවිත් ළඟට ගියෝය. ඒ අවස්ථාවේදී පිලිස්තිවරු රෙෆායිම් තැනිතලාවේ+ කඳවුරු බැඳගෙන සිටියෝය. 16 දාවිත් සිටියේ ඉතා දුෂ්කර ස්ථානයකය.+ ඒ වන විට පිලිස්තිවරුන් ඔවුන්ගේ මුර හමුදාවක්+ බෙත්ලෙහෙමෙහි රඳවා තිබිණ. 17 දිනක් මහත් පිපාසයකින් සිටි දාවිත් රජ මෙසේ කීවේය. “බෙත්ලෙහෙමට+ ඇතුල් වන දොරටුව ළඟ තිබෙන පොකුණෙන් මට වතුර ටිකක් බොන්න තිබුණා නම්!”+ 18 එවිට ඒ තිදෙනා පිලිස්තිවරුන්ගේ කඳවුරට කඩාවැද බෙත්ලෙහෙමට ඇතුල් වන දොරටුව අසල තිබූ පොකුණෙන් වතුර ඇද දාවිත් වෙතට ගෙන ගියෝය.+ නමුත් දාවිත් රජ එය බිව්වේ නැත. ඔහු යෙහෝවා දෙවි ඉදිරියේ එය බිමට වත් කළේය.+ 19 ඔහු ඒ අවස්ථාවේදී මෙසේ කීවේය. “මම දෙවිට ගරු කරන කෙනෙක්. ඉතින් මේ මිනිස්සු ඔවුන්ගේ ජීවිත පරදුවට තියලා ගෙනාපු මේ වතුර මම කොහොම බොන්නද! මම මේ වතුර බිව්වොත් ඒක හරියට ඔවුන්ගේ ලේ+ බොනවා වගෙයි.” එසේ කියා ඔහු ඒ වතුර නොබීවේය.+ එඩිතර පුරුෂයන් තිදෙනා කළ වීර ක්‍රියා අතරින් ඒවා සමහරකි.
20 යෝවාබ්ගේ+ සහෝදර වූ අබිෂයි,+ ඔවුන් අතර සිටි තවත් එඩිතර තුන්දෙනෙකුගේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය. ඔහුද එක අවස්ථාවකදී ඔහුගේ හෙල්ලයෙන් තුන්සියදෙනෙකුව මරා දැමුවේය. මුලින්ම සඳහන් කළ තිදෙනා හා සමාන කීර්තියක් ඔහුටද තිබිණ. 21 ඔහු සමඟ සිටි අනික් දෙදෙනාට වඩා ඔහු කැපීපෙනුණේය. ඒ නිසා ඔහු ඔවුන්ගේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය. එනමුත් මුලින්ම සඳහන් කළ තිදෙනා තරම් ඔහු කැපීපෙනුණේ නැත.+
22 දක්ෂ සටන්කරුවෙකු වූ යෙහෝයාදාගේ+ පුත්‍රයා වූ බෙනායා,+ කබ්ෂෙයෙල් නුවරෙහි+ බොහෝ වීර ක්‍රියා කර තිබිණ. ඔහු මෝවබ්හි අරියෙල්ගේ පුත්‍රයන් දෙදෙනාව මරා දැමුවේය. හිම වැටෙන දවසකදී ඔහු වළක සිටි සිංහයෙකුවද+ මැරුවේය. 23 ඔහු රියන් පහක් උසැති+ ඊජිප්තු ජාතික යෝධයෙකුවද මරා දැමුවේය. ඒ යෝධයාගේ අතේ රෙදි විවීම සඳහා භාවිත කරන පොල්ලකට සමාන වූ හෙල්ලයක් තිබිණ.+ නමුත් ඔහු පොල්ලක් අතැතිව යෝධයා ළඟටම ගොස් ඔහුගේ අතින් හෙල්ලය උදුරාගෙන ඒ හෙල්ලයෙන්ම ඇන ඔහුව මරා දැමුවේය.+ 24 යෙහෝයාදාගේ පුත්‍රයා වූ බෙනායා කළ වීර ක්‍රියා ඒවාය. දෙවෙනියට සඳහන් කළ එඩිතර පුරුෂයන් තිදෙනා හා සමානව ඔහුත් කීර්ති නාමයක් දිනාගෙන තිබිණ. 25 ඔහු අනික් තිස්දෙනාට වඩා කැපීපෙනුණත් මුලින්ම සඳහන් කළ එඩිතර තිදෙනාගේ තත්වයට ඔහු කවදාවත් පත් වූයේ නැත.+ දාවිත් ඔහුව තම ආරක්ෂක නිලධාරියා ලෙස පත් කළේය.+
26 හමුදා බළඇණිවල සිටි එඩිතර මිනිසුන් නම්, යෝවබ්ගේ සහෝදර වූ අසහෙල්,+ බෙත්ලෙහෙම්හි වැසියෙකු වූ දෝදෝගේ පුත් එල්හානාන්,+ 27 හාරෝර්හි වැසියෙකු වූ ෂම්මොත්,+ පෙලොනියවරයෙකු+ වූ හෙලෙෂ්, 28 තෙකෝවා නුවරෙහි වැසියෙකු වූ ඉක්කෙෂ්ගේ පුත්‍ර වූ ඊරා,+ අනාතොත් නුවරෙහි+ වැසියෙකු වූ අබි-එෂෙර්, 29 හූෂාතිය ජාතික සිබ්බෙකයි,+ අහෝහිය ජාතික+ ඉලයි, 30 නෙටොෆාහි වැසියෙකු වූ මහරයි,+ නෙටොෆාහි+ වැසියෙකු වූ බානාහ්ගේ පුත් හේලෙද්,+ 31 බෙන්ජමින්+ ගෝත්‍රයට අයත් ගිබෙයාහි+ වැසියෙකු වූ රීබයිගේ+ පුත්‍රයා වූ ඊතයි, පිරතොන්හි වැසියෙකු වූ+ බෙනායා, 32 ගයෂ්+ තැනිතලාවේ ජීවත් වූ හූරයි, අරබාහි වැසියෙකු වූ අබියෙල්, 33 බහුරීම්හි වැසියෙකු වූ+ අෂ්මාවෙත්, ෂායල්බිම්හි වැසියෙකු වූ එලියාබා, 34 ගීෂොනිය හාෂෙම්ගේ පුත්‍රයන්, හරාරිය ෂාගේගේ පුත්‍රයා වූ යොනාතාන්,+ 35 හරාරිය සාකාර්ගේ පුත්‍රයා වූ+ අහියාම්, ඌර්ගේ පුත්‍රයා වූ එලිෆල්,+ 36 මෙකේරාහි වැසියෙකු වූ හේෆෙර්, පෙලොනියවරයෙකු වූ අහියා, 37 කර්මෙල්හි වැසියෙකු වූ+ හෙෂ්රො, එෂ්බයිගේ පුත්‍රයා වූ නයරයි, 38 නාතන්ගේ+ සහෝදර වූ යෝවෙල්, හග්රීගේ පුත්‍රයා වූ මිබ්හාර්, 39 අම්මොන් ජාතික ෂෙලෙක්, ෂෙරුයියාගේ පුත් යෝවාබ්ගේ ආයුධ රැගෙන යන්නා වූ බියේරොත්හි වැසියෙකු වූ නහරයි, 40 ඉත්රිය ඊරා, ඉත්රිය ගාරෙබ්,+ 41 හිත්තී ජාතික+ උරියා,+ ආලයිගේ පුත්‍රයා වූ සාබාද් 42 සහ රූබෙන් ගෝත්‍රයට අයත් එහි ප්‍රධානියෙකු වූ ෂීසාගේ පුත්‍රයා වූ අදිනාය. අදිනා යටතේ රූබෙන් ගෝත්‍රයට අයත් තවත් තිස්දෙනෙක් සිටියෝය. 43 එමෙන්ම මයකාගේ පුත්‍රයා වූ හානාන්, මිත්නිය යොෂාපාට්, 44 අෂ්ටාරොත්හි වැසියෙකු වූ උස්සියා, අරෝයේර්හි වැසියෙකු වූ හෝතාම්ගේ පුත්‍රයන් වූ ෂාමා හා යෙයීයෙල්, 45 ෂිම්රිගේ පුත්‍රයා වූ යෙදීයයෙල්, ඔහුගේ සහෝදර වූ තිෂීය යෝහා, 46 මහවියෙහි වැසියෙකු වූ එලියෙල්, එල්නයම්ගේ පුත්‍රයන් වූ යෙරිබයි හා යොෂවීයා, මෝවබ් ජාතික ඉත්මා යන අයද 47 එලියෙල්, ඕබෙද් සහ ෂොබාහි වැසියෙකු වූ යයසියෙල්ද එඩිතර මිනිසුන් අතර සිටියෝය.