විනිශ්චයකරුවෝ
21 ඊශ්‍රායෙල්වරු මිෂ්පාවල+ රැස් වුණ වෙලාවේ දිවුරලා මෙහෙම පොරොන්දු වෙලා තිබුණා. “අපි කවුරුත් අපේ දුවෙක්ව බෙන්ජමින්වරුන්ට බන්දලා දෙන්නේ නැහැ.”+ 2 සෙනඟ බෙතෙල්වලට+ ඇවිල්ලා සැබෑ දෙවියන් ඉස්සරහා ඉඳගෙන හවස් වෙන කල් හයියෙන් අඬඅඬ හිටියා. 3 එයාලා මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා, අනේ මේ වගේ දෙයක් ඊශ්‍රායෙල් දේශයේ වුණේ ඇයි? ඊශ්‍රායෙල් සෙනඟ අතරින් එක ගෝත්‍රයක් මේ විදිහට නැති වෙලා යන්න ඉඩ දුන්නේ ඇයි?” 4 එයාලා ඊළඟ දවසේ උදේ පාන්දරින්ම නැඟිටලා පූජාසනයක් හදලා දවන පූජා සහ හවුල් පූජා ඔප්පු කළා.+
5 ඊටපස්සේ ඊශ්‍රායෙල් සෙනඟ මෙහෙම ඇහුවා. “අපි මිෂ්පාවල යෙහෝවා ඉස්සරහා රැස් වුණ වෙලාවේ ඊශ්‍රායෙල් ගෝත්‍රවලින් අපිත් එක්ක එකතු වුණේ නැත්තේ කවුද?” මොකද එයාලා මිෂ්පාවල ඉද්දී යෙහෝවා ඉස්සරහට ආපු නැති අයව අනිවාර්යයෙන්ම මරලා දානවා කියලා දිවුරලා පොරොන්දු වෙලා තිබුණා. 6 ඊශ්‍රායෙල්වරු ඒ වෙලාවේ හිටියේ එයාලාගේ සහෝදරයන් වුණ බෙන්ජමින්වරු ගැන ලොකු දුකකින්. එයාලා මෙහෙම කිව්වා. “අද ඊශ්‍රායෙල් සෙනඟට එක ගෝත්‍රයක් නැති වෙලා ගිහින්! 7 බෙන්ජමින්වරුන්ගෙන් ඉතුරු වෙලා ඉන්න අයට අපි භාර්යාවන් හොයලා දෙන්නේ කොහොමද? අපි යෙහෝවා ඉස්සරහා දිවුරලා පොරොන්දු වුණානේ+ අපේ එක දුවෙක්වත් එයාලට විවාහ කරලා දෙන්නේ නැහැ කියලා.”+
8 ඊටපස්සේ එයාලා ආයෙත් මෙහෙම ඇහුවා. “මිෂ්පාවල යෙහෝවා ඉස්සරහා සෙනඟ රැස් වුණ වෙලාවේ ඊශ්‍රායෙල් ගෝත්‍රවලින් ආවේ නැත්තේ කවුද?”+ යාබෙෂ්ගිලියද්වලින් කිසිම කෙනෙක් ඇවිල්ලා තිබුණේ නැහැ කියලා එයාලට දැනගන්න ලැබුණා. 9 එයාලා රැස් වෙලා හිටපු හැමෝවම ගණන් කරලා බැලුවාම යාබෙෂ්ගිලියද්වල කිසිම කෙනෙක් එතන හිටියේ නැහැ කියලා පැහැදිලි වුණා. 10 ඉතින් රැස් වෙලා හිටපු සෙනඟ යුද්දෙට දක්ෂම පුරුෂයන් 12,000ක් තෝරගෙන එයාලට මෙහෙම නියෝග කළා. “ගිහිල්ලා යාබෙෂ්ගිලියද්වල ඉන්න හැමෝටම කඩුවෙන් පහර දීලා එයාලව මරලා දාන්න. එක කාන්තාවක්වත් දරුවෙක්වත් ඉතුරු කරන්න එපා.+ 11 ඔයාලා මෙහෙම කරන්න ඕනේ. පිරිමි හැමෝවමයි, විවාහ වෙලා ඉන්න කාන්තාවන් හැමෝවමයි මරලා දාන්න.” 12 යාබෙෂ්ගිලියද්වල හිටපු අය අතරේ පුරුෂයෙක් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වලා නැති අවිවාහක තරුණියන් 400දෙනෙක් හිටියා. එයාලා හොයාගත්ත ඒ තරුණියන්ව කානාන් දේශයේ ෂීලෝ ළඟ තිබුණ කඳවුරට එක්කගෙන ආවා.+
13 ඊටපස්සේ රැස් වෙලා හිටපු ඊශ්‍රායෙල් සෙනඟ රිම්මොන්+ පර්වතයේ හිටපු බෙන්ජමින්වරුන්ට පණිවිඩයක් යවලා එයාලා එක්ක සමාදාන වෙන්න කැමතියි කියලා දැන්නුවා. 14 ඉතින් බෙන්ජමින්වරු එයාලා හිටපු තැනින් එළියට ආවා. ඊශ්‍රායෙල්වරු යාබෙෂ්ගිලියද්වලින් එක්කගෙන ආපු තරුණියන්ව+ එයාලට භාර දුන්නා. ඒත් එයාලා හැමෝටම විවාහ වෙන්න අවශ්‍ය තරම් තරුණියන් ප්‍රමාණයක් එතන හිටියේ නැහැ. 15 බෙන්ජමින් ගෝත්‍රයට වෙච්ච දේ+ ගැන ඊශ්‍රායෙල්වරු හැමෝම දුක් වුණා. මොකද යෙහෝවා ඊශ්රායල්වරුන්ගේ ගෝත්‍ර අතරින් බෙන්ජමින් ගෝත්‍රය වෙන් කළා. 16 ඊශ්‍රායෙල් සෙනඟ අතරේ හිටපු වැඩිමහල්ලන් මෙහෙම ඇහුවා. “බෙන්ජමින් ගෝත්‍රයේ එක ස්ත්‍රියක්වත් ඉතුරු වෙලා නැති නිසා ඉතුරු පුරුෂයන්ට අපි භාර්යාවන් හොයලා දෙන්නේ කොහොමද?” 17 සමහරු මෙහෙම උත්තර දුන්නා. “බෙන්ජමින් ගෝත්‍රයේ ඉතුරු වෙලා ඉන්න අයට දිගටම එයාලාගේ උරුමය තියාගන්න ඉඩ දෙන්න ඕනේ. මොකද ඊශ්‍රායෙල් සෙනඟ අතරින් එක ගෝත්‍රයක් නැති වෙලා යන්න ඉඩ දෙන්න හොඳ නැහැ. 18 ඒත් එයාලට අපේ දුවලව විවාහ කරලා දෙන්න අපිට බැහැ. මොකද අපිම කිව්වානේ ‘බෙන්ජමින්වරුන්ට දුවෙක්ව විවාහ කරලා දෙන කෙනාට ශාප වේවා’+ කියලා.”
19 ඊටපස්සේ එයාලා මෙහෙම කතා වුණා. “බෙතෙල් ඉඳන් ෂීකෙම්වලට යන පාරට නැඟෙනහිරෙනුයි, බෙතෙල්වලට උතුරෙනුයි, ලෙබෝනාවලට දකුණෙනුයි තියෙන ෂීලෝවල+ හැම අවුරුද්දකම යෙහෝවා වෙනුවෙන් උත්සවයක් තියෙනවා නේද?” 20 ඉතින් එයාලා බෙන්ජමින්වරුන්ට මෙහෙම කිව්වා. “ඔයාලා එහෙට ගිහින් මිදිවතුවල හැංගිලා ඉන්න. 21 එදාට ෂීලෝවල තරුණියන් නටන්න නගරෙන් එළියට එයි. එතකොට ඔයාලා මිදිවතුවලින් එළියට ඇවිල්ලා කැමති කෙනෙක්ව අල්ලගන්න. ඊටපස්සේ ඔයාලා තෝරගත්ත බිරිඳව අරගෙන බෙන්ජමින්වරුන්ට අයිති ප්‍රදේශයට යන්න. 22 හදිස්සියෙවත් ඒ තරුණියන්ගේ තාත්තලා හරි සහෝදරයෝ හරි ඇවිල්ලා වෙච්ච දේ ගැන අපිට පැමිණිලි කළොත් අපි මෙහෙම කියන්නම්. ‘ඉතුරු වෙලා ඉන්න බෙන්ජමින්වරු හැමෝටම භාර්යාවන් විදිහට දෙන්න යුද්දෙන් අපිට තරුණියන් හොයාගන්න බැරි වුණා.+ එයාලා ගැන හිතලා අපිට සහයෝගය දෙන්න. අනික ඉතින් ඔයාලා දුන්න දිවුරුම කඩන්නේ නැතුව එයාලට බිරිඳක් දෙන්න වෙන විදිහකුත් නැහැනේ.’”+
23 ඉතින් බෙන්ජමින්වරු එයාලට කියපු විදිහට කළා. එයාලා නටන්න ආපු තරුණියන්ගෙන් එයාලට කැමති අයව අල්ලගත්තා. ඊටපස්සේ එයාලා එයාලට උරුම වෙලා තිබුණ ප්‍රදේශවලට ගිහිල්ලා ආපහු නගර හදලා+ ඒවාවල පදිංචි වුණා.
24 ඒ හැම දේකටම පස්සේ ඊශ්‍රායෙල්වරුනුත් එහෙන් පිටත් වෙලා එයාලාගේ ගෝත්‍රවලට සහ පවුල්වලට අයිති ප්‍රදේශවලට ගියා. එතනින් එයාලා එක් එක් කෙනා තමන්ට උරුම වුණ තැන්වලට ගියා.
25 ඒ කාලේදී ඊශ්‍රායෙල් දේශය පාලනය කරන්න රජ කෙනෙක් හිටියේ නැහැ.+ හැමෝම තමන්ට හරියි කියලා හිතුණ දේ කළා.