දෙවෙනි රාජාවලිය
24 යෙහෝයාකිම් රජ පාලනය කරපු කාලේ බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර්+ යෙරුසලමට විරුද්ධව ආවා. අවුරුදු තුනක් යෙහෝයාකිම් නෙබුකද්නෙෂර්ට යටත් වෙලා හිටියා. ඒත් ඊටපස්සේ එයා නෙබුකද්නෙෂර්ට විරුද්ධව කැරලිගැහුවා. 2 කල්දිවරුන්ගෙයි,+ සිරියානුවන්ගෙයි, මෝවබ්වරුන්ගෙයි, අම්මොන්වරුන්ගෙයි කොල්ලකරුවෝ යෙහෝයාකිම්ට විරුද්ධව එන්න පටන්ගත්තා. එහෙම කරන්න එයාලව පෙලඹුවේ යෙහෝවා දෙවියන්. ඔහු යූදා දේශය විනාශ කරන්න එයාලව දිගටම එව්වා. යෙහෝවා ඔහුගේ සේවකයන් වුණ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් කියලා තිබුණ දේවල් ඒ විදිහටම ඉටු වුණා.+ 3 ඇත්තටම යූදා දේශයට මේ දේ වුණේ යෙහෝවා ඒක තීන්දු කරලා තිබුණ නිසයි. මනස්සේ කරපු වැරදි නිසා+ යූදා අයින්ම කරලා දාන්න දෙවියන් තීරණය කරලා තිබුණා.+ 4 ඒ විතරක් නෙමෙයි මනස්සේ අහිංසක මිනිස්සු ගොඩක් මරලා දාලා+ මුළු යෙරුසලමම ලේ විලක් කරලා තිබුණා. ඒ නිසා යෙහෝවා සමාව දෙන්න කැමති වුණේ නැහැ.+
5 යෙහෝයාකිම්ගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයා කරපු හැම දෙයක් ගැනම යූදාවල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා.+ 6 ඊටපස්සේ යෙහෝයාකිම් මැරුණා. එයාගේ මුතුන්මිත්තන් වගේ එයාවත් තැන්පත් කළා.+ එයාට පස්සේ එයාගේ පුතා වුණ යෙහෝයාකින් රජකමට පත් වුණා.
7 ඊජිප්තුවේ රජ යටත් කරගෙන තිබුණ හැම ප්රදේශයක්ම ඒ කියන්නේ ඊජිප්තු නිම්නයේ*+ ඉඳන් යුප්‍රටීස් ගඟ+ වෙන කල් තිබුණ ප්‍රදේශ බැබිලෝනියේ රජ යටත් කරගත්තා. ඒ නිසා ඊජිප්තුවේ රජ ආයේ කවදාවත් එයාගේ හමුදාව ඊජිප්තු දේශ සීමාවෙන් පිටට යැව්වේ නැහැ.+
8 යෙහෝයාකින්+ රජකමට පත් වෙද්දී එයාට වයස අවුරුදු 18යි. එයා යෙරුසලමේ ඉඳන් මාස තුනක් පාලනය කළා.+ එයාගේ අම්මාගේ නම නෙහෂ්තා. එයා යෙරුසලමේ කෙනෙක් වුණ එල්නාතාන්ගේ දුව. 9 යෙහෝයාකින් එයාගේ තාත්තා වගේම යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් දිගටම කළා. 10 ඒ කාලේදී බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර්ගේ සේවකයන් ඇවිත් යෙරුසලම වැටලුවා.+ 11 එයාලා යෙරුසලම වටලගෙන ඉද්දී බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර් එයාලා ළඟට ආවා.
12 ඉතින් යූදාවල රජ වුණ යෙහෝයාකින් එයාගේ අම්මායි, සේවකයනුයි, අධිපතීනුයි, උසස් නිලධාරීනුයි+ එක්ක බැබිලෝනියේ රජ ළඟට ගිහින් එයාට යටත් වුණා.+ බැබිලෝනියේ රජ පාලනය කරපු අටවෙනි අවුරුද්දේදී එයා යෙහෝයාකින්ව වහලෙක් විදිහට අරගෙන ගියා.+ 13 එයා යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ සහ රජමාලිගාවේ තිබුණ හැම වස්තුවක්ම අරන් ගියා.+ ඊශ්‍රායෙල්වරුන්ගේ රජ වුණ සලමොන් යෙහෝවා දෙවියන්ගේ ගෘහය වෙනුවෙන් හදපු රත්තරන් භාණ්ඩ හැම එකක්ම එයා කෑලිවලට කැපුවා.+ මේ හැම දෙයක්ම යෙහෝවා කියලා තිබුණ විදිහටම වුණා. 14 නෙබුකද්නෙෂර් යෙරුසලමෙන් 10,000දෙනෙක්ව වහලුන් විදිහට අරන් ගියා. අධිපතීන්,+ යුද්දෙට දක්ෂ අය, විවිධ කර්මාන්ත කරපු අය වගේම ලෝහවලින් වැඩ කරපු*+ හැමෝම ඇතුළුව යෙරුසලමේ හිටපු හැමෝවම එයා වහලුන් විදිහට අරන් ගියා. දේශයේ ඉතුරු වුණේ දුප්පත් අය විතරයි.+ 15 නෙබුකද්නෙෂර් යෙහෝයාකින්ව+ වහලෙක් විදිහට බැබිලෝනියට අරගෙන ගියා.+ යෙහෝයාකින් රජගේ අම්මාවත්, එයාගේ භාර්යාවන්වත්, උසස් නිලධාරීන්වත්, දේශයේ හිටපු වංශවත් අයවත් යෙරුසලමේ ඉඳන් බැබිලෝනියට වහලුන් විදිහට අරන් ගියා. 16 ඒ විතරක් නෙමෙයි බැබිලෝනියේ රජ වහලුන් විදිහට යුද්ධයට දක්ෂ පුරුෂයෝ 7,000කුත් විවිධ කර්මාන්ත කරපු අය වගේම ලෝහවලින් වැඩ කරපු* 1,000කුත් අරගෙන ගියා. එයාලා හැමෝම යුද්දෙට හොඳින් පුහුණු කරපු හරිම දක්ෂ අය. 17 බැබිලෝනියේ රජ යෙහෝයාකින්ගේ බාප්පා+ වුණ මත්තනියාව යූදාවල රජ විදිහට පත් කරලා එයාගේ නම ශෙදකියා+ කියලා වෙනස් කළා.
18 ශෙදකියා රජකමට පත් වෙද්දී එයාට වයස අවුරුදු 21යි. එයා යෙරුසලමේ ඉඳලා අවුරුදු 11ක් පාලනය කළා. එයාගේ අම්මාගේ නම හමුතල්.+ එයා ලිබ්නාවල කෙනෙක් වුණ යෙරෙමියාගේ දුව. 19 ශෙදකියා යෙහෝයාකිම් වගේම යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් දිගටම කළා.+ 20 යෙරුසලමේ සහ යූදා දේශයේ මේ හැම දෙයක්ම සිද්ධ වුණේ යෙහෝවා එයාලා එක්ක කේන්තියෙන් හිටපු නිසයි. අන්තිමේදී ඔහු එයාලව අයින්ම කරලා දැම්මා.+ ඒ කාලේදී ශෙදකියා බැබිලෝනියේ රජට විරුද්ධව කැරලිගැහුවා.+