පළවෙනි රාජාවලිය
21 ඒ දේවල්වලට පස්සේ යෙෂ්‍රෙයෙල් නගරයේ එක සිද්ධියක් වුණා. යෙෂ්‍රෙයෙල්වල+ නාබොත් කියලා කෙනෙක් හිටියා. එයාට මිදිවත්තක් තිබුණා. සමාරියේ රජ වුණ ආහබ්ගේ මාලිගාවට අල්ලපු වත්තේ තමයි ඒක තිබුණේ. 2 දවසක් ආහබ් රජ නාබොත්ට මෙහෙම කිව්වා. “ඔයාගේ මිදිවත්ත මට දෙන්න. ඒක තියෙන්නේ මගේ මාලිගාව ළඟමනේ. මං හිතාගෙන ඉන්නේ ඒකේ එළවළු වවන්න. මං ඒක වෙනුවට ඊට වඩා හොඳ මිදිවත්තක් ඔයාට දෙන්නම්. එහෙම නැත්නම් ඔයා කැමති නම් ඒකේ වටිනාකමට ඔයාට සල්ලි දෙන්නම්.” 3 ඒත් නාබොත් ආහබ්ට මෙහෙම කිව්වා. “රජතුමනි, මගේ මුතුන්මිත්තන්ගෙන් මට උරුම වුණ දේ ඔබට දෙනවා තියා එහෙම දෙයක් කරන එක ගැන මට හිතන්නවත් බැහැ. මොකද යෙහෝවා එහෙම කරන්න එපා කියලා තියෙනවා.”+ 4 “මගේ මුතුන්මිත්තන්ගෙන් මට උරුම වුණ දේ ඔබට දෙන්න මට බැහැ” කියලා නාබොත් කිව්ව නිසා ආහබ් මූණ එල්ලගෙන ගෙදර ගියා. ගොඩක් කලකිරිලා හිටපු එයා ඇඳට වෙලා බිත්තිය දිහා බලාගෙන හිටියා. එයා කෑම කෑවෙත් නැහැ.
5 එයාගේ බිරිඳ වුණ යෙසබෙල්+ එයා ළඟට ඇවිල්ලා “ඔයා කන්නෙත් නැතුව මෙහෙම දුකෙන් ඉන්නේ ඇයි” කියලා ඇහුවා. 6 එතකොට ආහබ් එයාට මෙහෙම කිව්වා. “යෙෂ්‍රෙයෙල්වල ඉන්න නාබොත්ට මං කිව්වා ‘ඔයාගේ මිදිවත්ත මට විකුණන්න. එහෙම නැත්නම් ඔයා කැමති නම් ඒක වෙනුවට මම වෙන එකක් දෙන්නම්’ කියලා. ඒත් එයා ‘මගේ මිදිවත්ත ඔබට දෙන්න බැහැ’ කියලා කිව්වා. ඒකයි මං දුකෙන් ඉන්නේ.” 7 එයාගේ බිරිඳ වුණ යෙසබෙල් “ඔයා ඊශ්‍රායෙල්වල රජ නේද? දැන් නැඟිටලා ගිහින් කෑම කාලා සතුටින් ඉන්න. යෙෂ්‍රෙයෙල්වල ඉන්න නාබොත්ගේ මිදිවත්ත මං ඔයාට අරන් දෙන්නම්”+ කියලා කිව්වා. 8 ඊටපස්සේ යෙසබෙල් ආහබ්ගේ නමින් ලියුම් ලියලා රජගේ මුද්‍රාවෙන් ඒවා මුද්‍රා කළා.+ එයා නාබොත් ජීවත් වුණ නගරයේ හිටපු වැඩිමහල්ලන්ටයි,+ වංශවත් අයටයි ඒ ලියුම් යැව්වා. 9 ඒ ලියුම්වල එයා මෙහෙම සඳහන් කළා. “සෙනඟට නිරාහාරව ඉන්න දවසක් නියම කරන්න. ඊටපස්සේ සෙනඟව රැස් කරලා එයාලා ඉස්සරහා නාබොත්ට ඉඳගන්න දෙන්න. 10 කිසි වැඩකට නැති මිනිස්සු දෙන්නෙක්ව ගෙනල්ලා නාබොත් ඉස්සරහා ඉන්දවන්න. එයාලට කියන්න ‘ඔයා දෙවියන්ටයි, රජටයි ශාප කළා’+ කියලා නාබොත්ට විරුද්ධව සාක්ෂි දෙන්න කියලා.+ ඊටපස්සේ එයාව එළියට අරන් ගිහින් එයාට ගල් ගහලා මරන්න.”+
11 නාබොත් ජීවත් වුණ නගරයේ හිටපු වැඩිමහල්ලනුයි, වංශවත් අයයි යෙසබෙල් එවපු ලියුම්වල තිබුණ විදිහටම කළා. 12 එයාලා නිරාහාරව ඉන්න දවසක් නියම කරලා සෙනඟව රැස් කළා. නාබොත්ට ඒ සෙනඟ ඉස්සරහා ඉඳගන්න දුන්නා. 13 ඊටපස්සේ කිසි වැඩකට නැති මිනිස්සු දෙන්නෙක් ඇවිල්ලා එයාට ඉස්සරහින් ඉඳගත්තා. ඒ දෙන්නා සෙනඟ ඉස්සරහා නාබොත්ට විරුද්ධව මෙහෙම චෝදනා කරන්න පටන්ගත්තා. “නාබොත් දෙවියන්ටයි, රජටයි ශාප කළා.”+ ඊටපස්සේ මිනිස්සු නාබොත්ව නගරයෙන් එළියට අරන් ගිහින් එයාට ගල් ගහලා එයාව මරලා දැම්මා.+ 14 ඊටපස්සේ එයාලා යෙසබෙල්ට මේ පණිවිඩේ යැව්වා. “නාබොත්ට ගල් ගහලා මරලා දැම්මා.”+
15 නාබොත්ට ගල් ගහලා මැරුවා කියලා යෙසබෙල්ට ආරංචි වුණ ගමන්ම එයා ආහබ්ට මෙහෙම කිව්වා. “යෙෂ්‍රෙයෙල්වල+ හිටපු නාබොත් මැරිලා. දැන් ගිහින් එයා විකුණන්න බැහැ කියලා කියපු මිදිවත්ත අයිති කරගන්න.” 16 නාබොත් මැරිලා කියලා දැනගත්ත ගමන්ම ආහබ් යෙෂ්‍රෙයෙල්වල හිටපු නාබොත්ගේ මිදිවත්ත අයිති කරගන්න ඒකට ගියා.
17 ඔය අතරේ යෙහෝවා තිෂ්බේවල හිටපු එලියාට+ මේ පණිවිඩේ දුන්නා. 18 “සමාරියේ+ ඉඳන් පාලනය කරන ඊශ්‍රායෙල්වල රජ වන ආහබ්ව හම්බ වෙන්න දැන්මම යන්න. එයා දැන් ඉන්නේ නාබොත්ගේ මිදිවත්තේ. එයා ඒකට ගියේ ඒක අයිති කරගන්න. 19 එයාට මෙහෙම කියන්න. ‘යෙහෝවා ඔයාට මේ දේ කියනවා. “ඔයා මනුස්සයෙක්ව මරලා+ එයාගේ මිදිවත්තත් අයිති කරගත්තාද?”’+ ඊටපස්සේ එයාට මෙහෙමත් කියන්න. ‘“බල්ලෝ නාබොත්ගේ ලේ ලෙව කාපු තැනම ඔයාගේ ලේත් ලෙව කනවා”+ කියලා යෙහෝවා කියනවා.’”
20 ආහබ් එලියාට මෙහෙම කිව්වා. “ආහ්, මගේ හතුරා! කොහොමහරි මාව හොයාගත්තා නේද?”+ එතකොට එලියා මෙහෙම කිව්වා. “ඔව්, මං ඔයාව හොයාගත්තා. ඔයාට මේ දේ කියන්න කියලා දෙවියන් කිව්වා. ‘ඔයා යෙහෝවා වන මම වැරදියි කියලා සලකන දේවල් හිතාමතාම කරන නිසා+ 21 මම ඔයා පිටට ලොකු විපතක් ගේනවා. ඔයාගෙන් පැවතෙන හැම කෙනෙක්වම මම අතුගාලා දානවා. ආහබ්ගෙන් පැවතෙන ඊශ්‍රායෙල් දේශයේ ඉන්න දුර්වල, අසරණ අය+ ඇතුළුව හැම පුරුෂයෙක්වම මම නැත්තටම නැති කරලා දානවා.+ 22 මම නෙබාත්ගේ පුතා වුණ යෙරොබොවම්ගේ පවුලේ අයටයි,+ අහියාගේ පුතා වුණ බාෂාගේ පවුලේ අයටයි+ කරපු දේම ඔයාගේ පවුලේ අයටත් කරනවා. මොකද ඔයා මාව හොඳටම කේන්ති ගැස්සුවා. ඔයා ඊශ්‍රායෙල්වරුන්ව වැරදි කරන්න පෙලඹුවා.’ 23 යෙසබෙල් ගැන යෙහෝවා මෙහෙම කියනවා. ‘යෙෂ්‍රෙයෙල්වල තියෙන ඉඩමේදී යෙසබෙල්ගේ මළ කඳ බල්ලෝ කාලා දායි.’+ 24 දෙවියන් මෙහෙමත් කියනවා. ‘නගරවලදී මැරෙන ආහබ්ගේ පවුලේ අයව බල්ලෝ කාලා දානවා. නගරෙන් පිට මැරෙන අයව කුරුල්ලෝ කාලා දානවා.+ 25 යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් හිතාමතාම කරපු ආහබ් වගේ රජ කෙනෙක් මේ වෙන කල් ඉඳලා නැහැ.+ එයා හැම තිස්සේම වගේ එයාගේ බිරිඳ වන යෙසබෙල්ගේ පදේට නැටුවා.+ 26 යෙහෝවා ඊශ්‍රායෙල්වරු ඉස්සරහින් පන්නලා දාපු+ අමෝරිවරු වගේ එයාත් පිළිකුල් රූපවලට* නමස්කාර කළා. ඒ විදිහට එයා කරන්න පුළුවන් හැම පිළිකුල් දෙයක්ම කළා.’”
27 ආහබ් ඒක ඇහුව ගමන්ම එයාගේ ඇඳුම් ඉරාගෙන ගෝණි රෙදි ඇඳගෙන, නිරාහාරව හිටියා. එක වෙලාවක එයා ගෝණි රෙදි පිටින්ම වැතිරිලා හිටියා. තවත් වෙලාවක කරකියාගන්න දෙයක් නැතුව ඒ මේ අත ඇවිද්දා. 28 ඊටපස්සේ තිෂ්බේවල හිටපු එලියාට යෙහෝවා මේ පණිවිඩය දුන්නා. 29 “ආහබ් මම කියපු දේ අහලා නිහතමානී වුණ විදිහ ඔයා දැක්කාද?+ එයා මං ඉස්සරහා ඒ විදිහට යටහත්පහත් වුණ නිසා මම එයාගේ ජීවිත කාලේදී විපත්තිය ගේන්නේ නැහැ. මම එයාගේ පවුලේ අය පිටට විපත්තිය ගේන්නේ එයාගේ පුතාගේ කාලේදී.”+